බොහොම කාළෙකට ඉස්සර, ගමක හිටියා බස්සෙක්. බස්සෙක් කිව්වාට මේකා බසු පැටියෙක්. දවසක ගෙදර ගෙදර පරණ පෙට්ටගමක් අවුස්සපු බස්සට හම්බවුනා
curious owl |
ඉවුම්-පිහුම්, මැහුම්-ගෙතුම්, අත්-බේත්, හප්පේ ඒකෙ තිව්න ජාති. දැක්ක ගමන් බස්සට තේරුනා මේක නං බකුස් පරම්පරාවෙන්, පරම්පරාවට උරුම වෙච්ච මහාර්ඝ පුස්ථක රත්නයක් බව. ඌ පටස් ගාලා ඒක යටි මඩි ගහගත්තා.
දැං කම්පනා කරන කොට හිතෙනවා, කවුරු හරි අපේ පරම්පරාවෙ ඉස්තිරි රත්නයක්, බොහොම මහන්සිවෙලා එකතු කරපු පත්තර ලිපි එකතුවක් බව. ඔය දැං කාලෙ ඉන්න , බතක් , පරිප්පුවක්වත් හරියට උයා ගන්ට බැරි බවලත්තු වගේ නෙමෙයි. ඉස්සර කාළෙ මෑණිවරු , තමන්ගෙ දෝණියැන්දලාට ගෙදර දොරේ වැඩපල හොඳට පුරුදු පුහුණු කලා නෙව.
මෙන්න මේ පොතේ තමා අපේ සාම්ප්‍රදායික ලුණුදෙහි ගැන තීරු ලිපියක් තිබ්බෙ. ලියල තිබ්බෙ කුස්සි අම්මා කෙනෙක් ලියන විදිහට.හදන ක්‍රමය ගැන ඒ හැටි මතකයක් අද නැති වුනත්., මෙන්න මේ කොටස නං මතකයි:
කෑම සංරක්ෂණය කල රට කුස්සියක් සහ කෑම ඉදෙන කන්වත් ඉවසිල්ලක් නැති වණ්ඩු ආප්පයො සැට් එකක් |
"වාරෙට දෙහි යහමින් ඇති කාළෙට, කරන්න හොඳ දෙයක් තමා ලුණුදෙහි දාන එක. ඔය වෑංජනේකට ලුණු ඇඹුල් මදි පාඩුවක් තියේනං, ලුණුදෙහි ගෙඩියක් අරන්, ලූනු, මිරිස් කපලා සම්බෝලයක් හදාගෙන බතත් එක්ක හාමු කොරල ගත්තාම පංකාදුයි"
පොඩිකාලෙ ලමයි කැමති පැණිරස කෑම වලට උනාට , බස්සා කැමති වුනේ ඇඹුලට. (පස්සෙ තමා 'පැණි' වලට රස වැටුනෙ). ගමේ තිබ්බ ගස්වල සියඹලා විතරක් නෙමෙයි, අහල පහල වතුවල ඇඹුල් පළතුරුත්,කඩවල තිව්ව සියඹලා, ලුණුදෙහි සෑහෙන ප්‍රමාණයක් බකුසු බඩට ගියා මයෙ හිතේ.
ලුණු කියන්නෙ විජලකාරකයක්. මේක උදව්වෙනවා කෑම කල්තියා ගන්න. ක්‍රමය සරලයි. ලුණු දාලා වේලනවා. ලුණුදෙහි, කරවල වලදි එහෙම උනාට, ජාඩි වලදි මේ ක්‍රමේ පොඩ්ඩක් ඉතර වෙනස් වෙනවා. ජාඩි වලට ලුණුයි , ගොරකයි දෙකම දානවා. වතුර ගතිය එහෙම්ම තියනවා. ඔය ජාඩිවතුර රස කාරකයක් විදිහට මාළුපිණි වලට පාවිච්චි කරන්නත් ඇහැකි.
ගමේ කුස්සියෙ , ඔය නොයෙක් ක්‍රම වලට කල් තියාගන්න හදපු දේ තිබුණා. වැලි කොස් ඇට, අටුකොස්, වේලපු දෙල් වගේම දුම් මැස්සෙ පුවක් කොලපුවක එල්ලාපු කිතුල් පැණි මුලක්, දෙකක් එහෙමත් තිබුනා. දර ලිපෙන් ගෑස් ලිපට මාරු වෙච්ච අදකාලෙ කුස්සිය, එදා ගැමි ගෙදරක තිබ්බ කුස්සියට වඩා සැපපහසු තැනක් වුවත්, ඒ එක්කම, ලුණු දෙහි, ජාඩි, අටුකොසුත් අභාවයට ගියා කියලයි මට හිතෙන්නෙ.
ජාඩි කාපු නරියෙක් |
හෙරලි පොලොස්
දෙල්, අටුකොස්
ජාඩි හොඳිත්
එක්ක ගුඩුස්
ඔය කවිය " කොරලි හොඳිත්" කියලත් කියනවා. පරණ දේවලට. පාරම්පරික කෑම, බීම වලට මගේ බොහොම කෑදර කමක් තියෙනවා.පැරණි කෑම කල්තබා ගැනීම කියන්නෙ කලාවක්. මේක අධි-ශීතකරණයක කෑම ඔබන එකට වඩා වෙනස්. උදාහරණයක් විදිහට බල මාලු වලත්, බල කරවල වලත් රස අහසට-පොලොව වගේ වෙනස්. මෙහිදි යම් බැක්ටීරියා ක්‍රියාවලියක් සිදුවෙලා රසය වෙනස් වෙනවා. මේ බැක්ටීරියා ක්‍රියාවලිය කොච්චර වැදගත්ද කියලා මෙන්න මේ මිල අධික කෝපි වර්ගය ගැන කියෙව්වාම දැණගන්න ඇහැකි.
Kopi Luwak
කෝපි හදන යන්තරේ |
මං කොහේ හරි දැක්කා, ආහාර වීදුරු බෝතල්වල හුලං නොයන සේ අසුරන ක්‍රමයක්, නැපෝලියන් බොනපාට්ගෙ කස්ටිය දියුණු කලා කියලා.. බඩගින්නේ යුද්ධ කරන්න බැරිබව , හොඳට කාපු බීපු බොනපාට් උන්නැහේ දැණගෙන ඉන්න ඇති.
මේ තියෙන්නෙ තියෙන්නෙ එන්ගලාන්..තෙ "බුදු අම්මෝ" රජ කුස්සියක් - Windsor Castle kitchen . 1819
මේ රජකාලෙ සුද්දන්ගෙ පාන්බාස් කෙනෙක්. "People of the upper crust" කියන කියමන ඇවිල්ලා තියෙන්නෙ පාන් ගෙඩියෙ උඩ කොටස ගියේ බලවතුන්ට වීම නිසයි කියලා මං කොහේ හරි දැකලා තියනවා
හා, එන්න, එන්න ලාබයි. දෙක පනහයි
මං දැන් මේ මොකක් ගැනද කියාගෙන ආවෙ.......?
ආ, හරි ලුණුදෙහි ගැන නෙව? මයෙ ගාව තිව්නා ඔරිජිනල් ලුණු දෙහි ටිකක්. මං ඕක බොහොම අරපරිස්සමට තමා පාවිච්චි කොලේ. මාත් එක්ක ඉන්න අනිත් හෝතම්බුවගෙ බොනපාට් යාලුවො මේක හොරා කාලා. මං කලේ බෝතලේ හංගපු එක. මුංව දීයා කන්ට, උන් ඒකත් හොයාගෙන ආයෙ කාලා. මං ඒ වංගියෙ කලේ ලුණුදෙහි හදපු එකයි. අවුවෙ වේලන්න විදිහක් නෑ. අර තම්බල හදන හොර ක්‍රමේ රසට මං කැමති නෑ. මං හැදුවෙ අවන් එකේ. රස්නෙ අඩුවට දාලා යන්තන් දොර ඇරලා වේලගත්තා. පස්සෙ ලාබෙට ඩිහයිඩ්‍රේටර් එකක් ලැබෙන කොට , පෙරහැර ගිහින් ඉවරයි. නරකම නෑ. පොඩි පැඟිරි රහක් නං තියේ. හොඳම වැඩේ කියන්නෙ අර කලින් ලුණුදෙහි හොරා කාපු , හොර බළල්ලු සැට් එක නෙමෙයි ඒ දිහා ඇහැක් ඇරලා බලන්නෙ :)