අහල තියෙන විදිහට අයර්ලන්තය බොහොම ලස්සන රටක්ලු. අයිරිෂ් කෙල්ලො දැක්කාම , ඒක ඇත්ත වෙන්න ඇති කියල හිතෙනවා, එයාලට තියෙන්නෙ නිල්පාට ඇස්.
අයර්ලන්තයත් සමහර දේ වලින් අපේ රටට සමානයි.අපේ සාවියෙත් ඉන්නවා සෑහෙන අයිරිෂ් කස්ටියක්. අයිරිෂ් පබ් කිව්වාම මෙහේ හරි ප්‍රසිද්ධයි. උන්දලා බියර් බොනවා , කණ සාක්කුවෙ හිටින්න. තව එයාලගෙ සාන්තුවරයෙක් ඉන්නවා "සාන්ත පැට්‍රික්" කියලා . එයා වෙනුවෙන් සමරණ දවසට, කොලපාට ඇඳගෙන පෙරහැරක් එහෙමත් යනවා.මෙයාල වැඩියෙන් ඉන්න සමහර ප්‍රාන්ත වල ඒක නිවාඩු දිනයක්. අර අපි නිත්තෑවො කියලා ජාතියක් හිටියයි කියනව වගේ, මෙයාලත් එහෙම කොල ඇඳගත්ත, අඟුටුමිට්ටො (Leprechaun) ගැන විස්වාසයක් තියනවා. සමහර විට , මේ කියන්නෙ මිල්ල සොයා රට පැනපු , නිත්තෑවො වර්ගයක් ගැනද මන්දා?මං නං ඔය දෙතුන්, දෙනෙක්වම දැකලත් තියනවා. නෑ, නෑ නිත්තෑවො නෙමෙයි , අර Leprechaunල - ඔහෙලටත් බලාගන්න පුළුවනි, අර පෙරහැර දාක ආවොත්.
පරම්පරා ගාණක සිවිල් යුද්ධයක් තිබ්බ රටක්. අහල තියනව නේද, IRA එක ගැන. සමහරුන්ට එයාලා freedom fighters, අනික් අයට ත්‍රස්තවාදියො. අපි පොදුවෙ සුද්දො කිව්වට , සුද්දොන්ගෙත් වර්ග තියනවා. එංගලන්තෙ සුද්දො, අයර්ලන්තයත්, ස්කොට්ලන්තයත් බලෙන් තමා අල්ලගෙන හිටියෙ. ස්කොට්ලන්තෙ හිටියා මේරි කියල රැජිනක්. කැපුව නෙව, එංගලාන්තෙ සුද්දො එයාගෙ බෙල්ල. ටක්කෙටම උන්දලා අයර්ලන්තේ කාගෙ හරි බෙල්ලකුත් කපන්න ඇති.
කමාන්ඩෝ ඉට්ටැයිල් එකට , ගෑණුන්ගෙ සායවල් ඇඳලා ගියාට, ඒක හුලඟට උඩයයි කියලා බයට තඩි පැඩ්ලොක් එකකුත් එල්ලගෙන ඉන්න, ස්කොටිෂ් කාරයො සද්දෙ වහල හිටියට, අයිරිෂ් කස්ටිය නං නිකං හිටියෙ නෑ.අහුවෙච්චි තැන ඉංග්ලිෂ් සුද්දොන්ට දුන්නා බැස්ටිය.
ඉංග්ලිෂ් සුද්දොත් පොතේ විදිහටම යුද්ධ කලෙත් නෑ. Kneecapping කියන්නෙ එහෙම ක්‍රමයක්. මේකෙදි විරුද්ධවාදියව මරන්නෙ නෑ. එත් ආයෙ සටන් කරන්න බැරි වෙන්න දණිස් පොල්කට්ට කුඩුවෙන්නම වෙඩි තියනවා.
ගරිල්ලා යුද්ධයක් , පොතේ විදිහට කරන්න බැරි බව අපට වඩා හොඳින් උන් දැණගෙන හිටියා. මේ වගේ සංකීර්ණ ප්‍රශ්ණයකදි කව්ද හරි, වැරදි කියන්න මං දන්නෙ නෑ කොහොම වෙතත්, ඔය ඉතිහාසෙ කටපාඩමෙන් කියන්න දන්න හාදයෙක් නං ඉස්සර මෙහෙ හිටියා, දැන් උන්දෑ පැන්සොන් ගිහිල්ලා. කෝකටත් වැඩිය ඔය ගැන කියන්න ගිහිලා සායම ඇරගන්නෙ නැතිව ඉන්න එක, සරීර සවුක්කියට හොඳයි.
මෙහෙම දුකසේ හිටපු අයිරිෂ්කාරයොන්ට , අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නැහෙ එකදාස් අටසිය බර ගණන්වල දුර්භික්ෂයකිනුත් බෑටකන්න සිද්ද වෙලා තියනවා. බොහෝ දෙනෙක් රට පැනලා. ඔය කියන කාලේ. ඇමෙරිකාවට ආ අයගෙන් වැඩිම ප්‍රතිශතය වෙලා තියෙන්නෙ අයිරිෂ්කාරයො. අයිරිෂ් මැරවරයො ගැනත් සඳහන් වුනාට, වැඩිහරියක් අය මේ අපි ඔහෙලා වගෙ පනං හතරක් හොයාගන්න එදාවේල ටුවර් දුවපු අහිංසකයො. එහෙම ආපු කස්ටිය තමා රේල් පාරවල්, දැං ඔය ගාම්භීරෙට තියෙන පෞරාණික තට්‍ටු බිල්ඩින් එහෙම හදන්න දුක් විඳලා තියෙන්නෙ.
සත්‍ය සිද්ධියක් පදනම් වුනු මේ සිංදුවෙන් කියවෙන්නෙ එහෙම කතාවක්. මං හිතන්නෙ මේ තාලය(celtic) එයාලගෙ ජනකවි වගේ එකක් වෙන්න ඇති.
ආපහු නො එන්නම රට ඇරල ගිය පුතෙකුට තාත්තා ලියන ලියුම් පෙලක්. දුප්පත් අල ගොවියෙක් වෙච්ච තාත්තා, වෙනුවෙන් ලියුම් ලියන්නෙ , ගමේ ඉස්කෝල මහත්තයා . අර " පොප්ඤැක් මාරෝ" වගේ ඇහෙන්නෙ එයැයිගෙ නම -Pat McNamara
ජෝන්ට කවදාවත් ආපහු එන්න බැරි වෙනවා. අම්මා, තාත්තා දෙන්නම සාමදානයේ සැතපෙනවා.එක තැනක සිංදුවෙ කියවෙනවා, අම්මා කිව්වා කියලා, රේල් රෝඩ් වල වැඩ කරන්න එපැයි කියලා. සිංදුවෙ "You say you found work, but won't say what kind" කියන කොටසෙ ,sacrifice generation ලෙස හැඳින්වෙන, ඇමෙරිකාවට සංක්‍රමණය වුනු, මේ පලමු පරම්පරාවෙ දෙමව්පියන්ගෙ මුළු ජීවිත කතාවම ලියැවිලා තියෙනවා. ජෝන්ගෙ සහෝදරයා මයිකල්ගෙ "wee bit of trouble" කියන්නෙ, මයෙ හිතේ එයා IRA එකට බැඳෙන්න ඇති.Kilkelly, Ireland, 18 and 60,.කියන එක කියවන්න ඕනෙ වර්ෂ 1860 කියලයි. Kilkelly කියන්නෙ අයර්ලන්තෙ තියන කුඩා ගම්මානයක්.
මං මේ සිංදුවට කැමති, ඒකෙ තියන දුක්මුසු ගතිය නිසාද, නැත්නම් මේ කියන ජෝනාත් , බස්සෙක් වෙන්ට ඕනෙයි කියල මට හිතෙන නිසාද මන්දා?