මේ අසමජ්ජාති මකුලුවොත් එක්ක බෑ නෙව , ආයිබෝං? පොඩ්ඩ ඇත්නං උන් දැල් බඳිනවා. ගූගලයට මාට්‍ටු වෙලා මැකුවොත් කියලා බයට,බ්ලොග් එකේ මකුළුදැල් කඩන්න කියල ආව.
කතිර යුද්දෙත් ලඟ නිසා, ආපු එකේ ඔය මොකක් හරි කොටලම යනවා . මැදමූකලාන පැත්තෙ ගියොත්, ටක්කෙටම මොනවා හරි මාත්තුරුකාවක් හොයාගන්න ඇහැකි නිසා, මං ඒ පැත්තට මංගැච්චුවා.කිතුල් ගස් මණ්ඩිය පහුකරන කොටම ඇහෙනවා , කව්දෝ මහ හයියෙන් කෑ ගහනවා
" කපනව ඩෝ පෙති පෙති. හුරිජ්කරිජ්ජ පාගපු මං හුරුල්ලත් දන්නවා, කුරුල්ලත් දන්නවා"
අම්මට හුඩු, මේ අපේ මැදමූකලානෙ සිංහයා නෙව, දොල ලඟ ගල්තලාවෙ , රා කළයකුත් තියාගෙන ඉන්නෙ? රජගෙදර රිළවත් ඒ ලඟ ම ඉන්නවා.
" ආ, බෂ්ෂො, වරෙන් , වරෙන්. දෙන්නද පොල් කට්ටෙන් දෙකක්. මේ දැං බාපු ගහේ බඩු"
" බොහොම ස්තූතියි , ආයිබෝං. මයෙ පාවිචියක් නෑ. ඒක නෙමෙයි රජෝ, මොකද මේ කස්ටිය ඔබතුමාට හොරා කියල කියන්නෙ?"
" කව්ද ඩෝ එහෙම කියන්නෙ? කපනව ඩෝ පෙති පෙති "
" නෑ , මේ රට්‍ටු තමා එහෙම කියන්නෙ. හරි හොරාමයි කියමුකො. ඒත් ඔබතුමා එසේ මෙසේ හොරෙක් වන්න බෑ නෙව? "
" ආන්න උඹට තේරුනා. හොරා නෙමෙයි, මංකොල්ලකාරයා, හිංගලෙන් කියන්නෙ පයිරේට් කියලා" එතුමා මාව නිවැරදි කලා.
" දැං එතකොට මංකොල්ලකාරයා කියන්නෙ හොරෙක් නෙමෙයිද?"
" තොට පයිත්තියන්ද බොල?" එතුමා සිංහ ගර්ජනා කලා. " මංකොල්ලකාරයා කියන්නෙ ඔය තුට්‍ටු දෙකේ හොරෙක් නෙමෙයි, වැදගත්, හොඳ සමාජ තත්ත්වයක් තියෙන ප්‍රභූවරයෙක්"
" දැං බලාපං බෂ්ෂෝ, හොරා කියන්නෙ. ඔය ගමේ පොල් ගෙඩියක් කඩාගන්න, කුකුලෙක් පන්නගෙන යන සාමාන්‍ය එකාලට නෙව? ආන්න උන්ව තමා ගස් බඳින්න ඕනෙ, පොලෝසියට ගෙනිහිල්ලා අඬු කඩලා උසාවි දාලා නඩු දාන්න ඕනෙ"
" අම්මපා , මං දැනගෙන හිටියෙ නෑනෙ , ඒ වග" මං හූමිටි තිබ්බා.
" ඒක නෙව කියන්නෙ? දැං බලාපං, මංකොල්ලකාරයො ගැන සිත්තරපටි පවා හදලා තියනවා. එතකොට ජනකතා ලියැවිලා තියනවා, අහල නැහ්ද, රොබින්හුඩ්, අලිබබා ගැන එහෙම?"
" ඒත් රජෝ, අලිබබා කියන්නෙ මංකොල්ල කාරයෙක් නෙමෙයි නෙව?"
" ඔන්න, ඔන්න ඉතිං උඹත් මට උගන්නන්න එනවා. හරි, එයා ඇරියෙ නැහ්ද ලස්ස ගාණක වස්තු සම්භාරයකට? එතකොට හොරු හතලිහක්ම අතුරුදහන් කලේ නැහ්ද?"
" ඒක නං එහෙම තමයි, ඒත් එයා හොරුන්ගෙන් හොරා කෑව මිසක්, මංකොල්ල කෑවෙ නෑ නෙව?" මං ඔලුව කස, කස කිව්වා.
"මේ අහපං බෂ්ෂෝ. හොරා කියන්නෙ ඔය පොඩි , පොඩි හොරකං කරන එකාට. ඌ ඒක කරන්නෙ හොරෙන්. අපි, මංකොල්ල කාරයො එහෙම නෑ. අපි හොරකං කරන්නෙ මහ දවල්. ගියා භාණ්ඩාගාරෙට " ඕපන් සෙසමේ" කිව්වා, ගත්තා, වටේ ඉන්න ගෝලයොන්ටත් කට්ටක්, දෙකක් විසිකලා එච්චරයි. කවුරු හරි , අසමජ්ජාති පත්තරකාරයෙක් කට ඇරියොත්' ඇයි, අවුල්ද?' කියල ඇහැව්වා. එව්වා සුදු වෑන් එකක්. උන්දැ චකබ්ලාස්, ගේම ක්ලෝස්. තේරුණාද?"
තේරුණා කියල කියන්න, මං ඔලුව වනාගෙන, වනාගෙන ගිහින් හතර සැරයක් "හූම්, හූම්" කිව්වා. " ඒත් රජෝ , අලිබබාගෙයි, ඔහේගෙයි තියන සමාන කම මොකක්ද?"
" ඇයි බං, අලි බබාට හිටියෙ හොරු හතලිහයි, මං ගාව හිටියා නෙව එකසිය හතලිහකටත් වඩා?" කියලා රජා කිව්වා.
" ඒත් මං දැකලා තියනවා නෙව ඔය මංකොල්ලකාරයොන්ගෙ කරේ ගිරවෙක් ඉන්නවා. දැං ඔබතුමාටත් ඉන්නවද එහෙම එකෙක්?"
" ආ , ඒකට මං අපේ රිළවව පුරුදු කරලයි තියෙන්නෙ. බලන්න එපෑයෑ මූ ගිරව වගේ " විදේශීය කුමන්ත්‍රණ, විදේශීය කුමන්ත්‍රණ" කියන අපූරුව. මං දැං ඔය උගෙ කටට ප්ලාස්ටර් දාලයි තියෙන්නෙ. ඇයි බං, මටත් දැං ඕකම අහල එපාවෙලා ඉන්නෙ"
ඔන්න එතකොටම කැලේ පොඩි වෙන සද්දෙකුයි, මහා කාලගෝට්ටියකුයි ඇහෙන්න ගත්තා.
රා පොල්කට්ටෙන් දෙකක් නමා ගත්ත සිංහයා , සාටකෙන් කට පිහදා ගෙන " ආ , ඔය එන්නෙ අපේ කස්ටිය" කියල කිව්වා.
එතකොටම කැලේ පොඩිකරගෙන ආවෙ අම්බරුවො රෑනක්. උන් පෙලපාලියක් යනවා :
" අපේ හොරා , අපට හොඳා""යන්න ගියත් යන්න දෙන්න බෑ. හැට පැන්නත්, හොරා, හොරාමයි"" වී වන්,වන්,වන්,වන්,වන් නෝනා. හොරාවමයි ඕනා "
" පේනව නේද? ජනතාව තමයි මාව ඉල්ලන්නෙ " ආඩම්බරයෙන් කොන්ද කෙලින් කරගත්ත සිංහයා කිව්වා.
" මුංට සුමාන දෙකක් ගියාම මුකුත් මතක නෑ. ඒක නෙව මුංට අම්බරුවොයි කියන්නෙ" මං ඇඟට , පතට නොදැනෙන්න කියල දැම්මා.
ඔය අතරෙ හිටිය එක මඤ්ඤං අම්බරුවෙක් රජතුමාගෙ කිරිපල්ල අස්සට අතදාලා , වසී බෝලෙ මිරිකුවා.ඊට පස්සෙ, එතුමාම , එතුමාගෙ ආරක්සාව සලස ගත්තා. එනපොට හොඳ නැති නිසා,කෝකටත් සූජනං සරීරෙ කියලා, මම එතනින් ලිස්සලා ගියා.
--------------------------------------------------------------------------------
මෙන්න පිංවතුනි , වැනිල්ල අංක දෙක. මං වැනිලිත් දැක්කා මේ වගෙ වැනිලි නොදැක්කා......