- පිටකොටු ගිය බස්සා
බස්සා කැමති තැන් අතරින් පිටකොටුව ඉන්නෙ සෑහෙන උඩින්. අහා! පිටකොටුව, මගේ ප්‍රථම ප්‍රේමය.පිටකොටුවට , ඒකටම ආවේනික වූ පෞරුෂත්වක් තියෙනවා - a city with a character indeed, I must say. ගිණි ගහන අවුවේ වුනත්,

එදාට අර ලූණු කොල තට්‍ටුව බුරුල් වෙනවා. කකුල තියන කොට චිරිස් ගානවා, ඒකටම ගැලපෙන අපූරු සුවඳක් පරිසරයම වෙලා ගන්නවා. ඔය මොනවත්, පිටකොටුවට තිබ්බ බකුසු ආදරේ අඩු කලේ නෑ. මුස්ලිම් පල්ලිය ගාව විකුණපු පොල් වෙරලු අච්චාරු, ෆ්ලුඩා, ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ එක්ක පිටකොටුව ගැන බස්සගෙ තිබ්බ ලව් එෆයාර් එකේ, සුන්දර මතකය අදටත් අඩුවක් නැතුවම තියෙනවා.
- පිටකොටු පුරාණය

කොළඹ කොටුවෙ කොටු දොරකඩ තාප්පේ
ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ
මේ මම කොහේදිද පොතක දැක්ක කවියක්. මම මේක ජන කවියක් කිව්වාම, වතාවක් ඇනෝ මීයක් මයෙ ඇඟට ගොඩ උනා, ඕක කවුරු හරි අපතයෙක් ලියපු රිකන්ඩිෂන් කවියක් කියලා.

- යූ-ටියුබ් සමග පාන් කෑම
සමහරවිට අද මෙව්වා වෙනස් වෙලා ඇති. ඒක එහෙම නං, මං දැනගෙන හිටිය පිටකොටුවෙ මතකය, මමම තියාගන්නම්. කලින් පෝස්ට් එකේ එක්තරා මානවිකාවක් ලියලා තිබ්බා, එයාට ටිවී එකේ කුකරි ප්‍රෝග්‍රෑම් දිහා බලාගෙන ඒ කෑම කනව කියලා හිතාගෙන, මෙලෝ රහක් නැති පාන් කන්න ඇහැකි කියලා. ආන්න දැක්කද පවර් ඔෆ් ඉමැජිනේෂන්! මට එහෙම සුපර් පවර් එකක් නැති නිසා, පොඩි හැලුප් එකක් ගන්න වුනා.
- තැපෑලෙන් ආ පෙට්ටිය සහ හෝතම්බුවාගේ රබර් ඇස
පහුගිය සතියෙ තැපලා ගෙනාව මගේ VR පෙට්ටිය. ඕකත් අරගෙන හොර බළලා වගේ කාමරේට රිංගන්න යනකොට මාට්‍ටු වුනා ගෙදර ඉන්න හෝතම්බුවට:
හෝතම්බු: ඔහොම හිටපං, මොකක්ද ඒ පාර ගත්ත අටංපහුර.
"මේක මේ පිචැර් බලන ගැජමැටික් එකක්. පට්ට ලාබයි, ගෙඩි සුපියල් එකසිය විසි පහක් විතරමයි" මං අහිංසක විදිහට කිව්වා.
මේක මේ ගහපු ගමන් හුටස්ගාලා වැඩකරන එකක් නං නෙමෙයි. මට ඕන වුනේ Google Earth VR රන් කරන්න. Google Earth VR තියෙන්නෙ Steam වල, HTC Vive වලට. Steam එකවුන්ට් හදලා, SteamVR ඉන්ස්ටොල් කරලා සැහෙන දුකක් විඳලා, දැන් වැඩ නං කරනවා.
කෙලින්ම උඩින් ගිහින් බැස්සෙ පිටකොටුවට. මං ඉතිං පක්සිය නෙව, පියෑඹිල්ල ඉතිං අපිට උරුම වෙච්ච් දෙයක්. Street view update වෙන්නෙ කොහොමද කියලා තාම තේරෙන්නෙ නෑ. කම්පුටරේ බලනව වගේ නෙමෙයි, වෙනම අත්දැකීමක්, ඔලුව හරවලා වටේම බලන්න පුළුවන්, පාරවල් දියේ යන්න ලේසියි. මං කැමතිම දේ, මිනිස්සු -අපේ කස්ටිය නිරික්ෂණය කරන එක කරන්න කිසි තහනමක් නෑ. ප්‍රයිවසි නිසා මූණු බොඳකරලයි තියෙන්නෙ. ඒත් උන්නු හැටිය මලා මදැයි?
හප්පේ තවකොච්චර තැන් වලට යන්න තියනව්ද? : හොර්ටන් තැන්න, ගෙලිඔය, නාවලපිටිය, මැද මහනුවර. පොඩිකාලෙ, ගෙලිඔය ඉස්ටෙසමට උඩහින් නෑඳෑ ගෙදරකදි කාපු සැමන් බැදුමක රහ තාමත් මතකයි.ඉති එහේ නොගිහින් කොහොමද? ඕන වෙලාවක , ප්‍රයිවෙට් බස් එකක එල්ලිලා පිටකොටු ගිහින් ඉස්සො වඩේ කොටා බාන්න ඇහැකි ඔහෙලට මේකෙ ගේමක් නැතුව ඇති වුනාට, මේ හිමේ සට,සට ගාලා වෙව්ව, වෙව්ල ඉන්න ඝර්මකලාපීය මූකලං බස්සෙකුට මේක දාහක් වටිනවා.
බොහෝ කාළෙකට ඉස්සර වතාවක් , අපි නඩයක් ගියා හෝර්ටන් තැන්නෙ ගිණි නිවාරණ සතියකට.කොළඹින් රෑ තැපැල් කොච්චියෙ නැගලා ,ඔහියෙන් බහින කොට පාන්දර. පට්ට හීතලේ ඉස්ටේසම ලඟ තිබ්බ පෙට්ටි කඩේකින් තේ බිව්වා. ඊට පස්සෙ බඩු මුට්‍ටුත් කරගහගෙන දැන් නඩේම ගාටනවා පයින්. ඒ පැත්තෙ අයට හොඳ සද්දෙට හූ කියන්න පුළුවන්. ඇහුවාම කියන්නෙ අපොයි තව ටික දුරයි, හූවක දුර කියලයි. මොන හූවක්ද?යනවා,යනවා ඉවරයක් නෑ. අන්තිමට රේන්ජ්ර්ගෙ බංගලාවට යනකොට අපට පාං කියාගන්න බෑ.දැන් ඔහෙල හිතන් ඉන්නෙ , අපි නැවතුනේ ගෙස්ට් හවුස් එකේ කියලද? පිස්සුද? නවාතැන "අල බංගලාව". ඒක හැ'ගර් එකක් වගේ ලොකු මඩුවක්, නිදා ගන්න ඇඳන් දාලා තිබුණා.ජීවිතේ පලවෙනි පාර, හොඳ හීතලක් අත් වින්ද. අපි නිදා ගත්තෙ මේස් දාගෙන. උදේ නැගිටලා බලන කොට අපේ උයන අප්පු, ලිප ලඟ ගිණි තපිනවා. එහෙ පොල්තෙල් විකුණන්නෙ රාත්තල්
ගාණට, ගෙන්නෙ ෂොපින්බෑග් වල, පොල්තෙල් බටර් වගේ මිදෙනවා
සමගි පෙරමුණ ආණ්ඩුවෙ, වගා සංග්‍රාමය කාලෙ හෝර්ටන් තැන්නෙ අල වැව්වලු , වගුරු බිමේ. අල නං බැස්සලු එකසිය ගාණට, ඒවා ගබඩා කරන්න හදපු එක තමා පස්සෙ "අල බංගලාව" වුනේ. වැඩේ අලම වෙලා අත්හරින්න වෙලා තියෙන්නෙ, මෙහෙ අල බහිනකොට නුවර එළියෙ වතුර හිඳිච්ච නිසා :)

- රේන්බෝ ට්‍රවුට් සහ පින්ක් සැමන්
අල බංගලාව අසලින් ගලාගෙන ගිය දොල පාරක්
තිබුණා, වතුර පලිඟු වගේ. ඕකෙන් නාලා ආවාම බත් මරන්න පුළුවනි. මං හිතන්න සීතලට වැඩිය බඩගිනි වෙනවා.ජීවිතේ පලමු වතාවට, මීදුම් තට්‍ටු විදිහට ගලනවා දැක්කෙ එහෙදි, උදේ පාන්දර. මීදුම මැදින් තැන, තැන තාරකා වගේ දිලිසුනේ මුවෝ, ගෝන්නුන්ගෙ ඇස් කියලයි නේවාසික රේන්ජ්ර්තුමා කිව්වෙ. එතුමා බොහොම ප්‍රියමනාප, ප්‍රායොගික, "දැකුම්-කලු" හාදය, අපට දුන්නා බැදපු මාලු. එව්වා රෝස පාටයි. බ්ලැක් පූල් හරි චිමිනි පූල් වල ඉන්න මාලු ජාතියක්. අපිට ආවේණික මාලුවෙක් නෙමෙයි, ගෙනත් බෝකරපු එකෙක්. මාර රහයි.
මෙහෙ තියනවා පින්ක් සැමන්, සොක් අයි සැමන් කියලා දෙකක්. ආන්න ඒ වගේම රහයි. හෝර්ටන් තැන්නෙ ඉබේ වැවෙනවා වැල් ගොටුකොල, ඉන්න කං කෑවෙ එව්වා සම්බල් හදලා.
සැමන් කිව්වාම, ඔය සැමන් මාලුවා බිත්තර දාන්න එන්නෙ මේ සාවියටලුනේ. මෙහෙ වාසගම "සැමන්" කියල තියෙන රතු ඉන්දියානුවොත් ඉන්නව කියන්නෙ. අර අපේ "ඌරු වරිගෙ වන්නිලෑ ඇත්තො" වගේ වෙන්ටෑ. අපේ එපාට්මන්ට් එකෙත් ඉන්නව රතු ඉන්දියානුවෙක්. මං හිතුවෙ පිල්ලෙක්(පිලිපීන) කියලයි. රොකට් එකක් ඇදලා ගිටාර් එක ගහල ජොලියෙ ඉන්නෙ.කල්ලො වගේ නෙමෙයි, හරි
ඩීසන්ට්.
ලඟදි අහුවුනා " පින්ක් සැමන්" ඩීල් එකක්. කෙටුවා පටස් ගාලා. වින්ටරේ කෑම ඉස්ටොක් එකට ගත්තෙ, ටින් 12යි. මඤ්ඤොක්කාත් තැම්බුවා,දැන් කෑම ලෑස්තියි. උඩින් ගිහින් හෝර්ටන් තැන්නට බහින්න විතරයි තියෙන්නෙ.
මෙදා පොටේ නං බස්සා එක්කෝ ඇතිවෙනවා, නැහ්නං නැතිවෙනවා.
I dream all year, but they're not the sweet kind
And the shivers move down my shoulder blades in double time
- මැංචෝසන් චාරිකාව
ටික වෙලාවක් මන්කි-බිසිනොස් පාරක් දැම්මාම, ටියුටෝරියල් ඕනෙ නෑ. මන්කි බිස්නස් කිව්වෙ, අර හරියට දන්නව වගේ ,ඔබන්න තියෙන හැම බටන් එකම ඔබලා අනාගෙන ඉගෙන ගන්න ක්‍රමය. දැන් හරි, ලෝක බෝල මගෙ අතේ.
අර ලෝකාන්ත ප්‍රපාතෙ පහල තියෙන්නෙ , ඕකෙන් පැන්නාම වැටෙනවයි කියන තේ වත්තෙ පැක්ටේරිය වෙන්ටෑ? ඕකත් මට කාළයක ඉඳලා තිබ්බ ප්‍රශ්ණයක් තමා.