Tuesday, December 22, 2020

බස්සා සහ සපත්තු ලේස්


නෑ, නෑ සෙරෙප්පු සුප් නෙමෙයි, මේ වෙන එකක්. ඇත්ත, ලෝකයා මට " චීප් ****" කියනවා තමා. ඒත් අපි සැලෙයි ඔව්වට, උන්යෑ මට කන්න දෙන්නෙ?

කම්පියුටර් අප්ග්‍රේඩ් වලට ආවම, මගේ ප්‍රතිපත්තිය තමා shoestring budget. බස්සා කියන්නෙ සේල් කාක්කෙක්. දැක්කද ඩීල් එකක්, කොටන්නෙ උඩ පැනලා. සමහර විට මේ සෙල්ලම වරදින වෙලාවලුත් නැත්තෙම නෑ. දැන් බලාන්ට සේල් නිසා කොටල ගත්ත, Intel i5 9400F හොඳම තේරීම නෙවෙයි, මොකද එව්වට එන motherboard ගණන් නිසා, එහෙම කියල බෑ නෙව? දැම්මා shoestring තියරිය, ගත්තා MSI H310m pro-vdh plus motherboard එක. ඔබට සතුටුයිද දැන්? නෑ නෙව.

දැන් මොකක්ද එතකොට ප්‍රශ්ණෙ? අටෝරාසියක් වෙන ප්‍රශ්ණ තිබ්බත්, එව්වා ඉවසතෑකි, අවුල, මේකෙ තියෙන්නෙ SATA port 4 යි. Windows SSD එකයි  , Catalina SSD එකයි ගියාම තව ඉතුරු SATA port දෙකයි. මම ප්‍රතිපත්තියක් විදිහට 8Tb වලට වැඩි HDD නොගන්න නිසා, ඔව් මේක සෑහෙන්න  බොන්න වෙන ප්‍රශ්ණයක්.

කොහොමත්, SATA port වල ඇති ජන්ම speed-limit නිසා SSD වල උපරිම වේගය ලැබෙන්නෙ නෑ(bottleneck). මේකට විසඳුම SATA interface එක භාවිතා නොකරන, PCI bus එකට කෙලින්ම සම්බන්ධ වෙන M.2 Nvme වලට යන එකයි. එත් අපිට කොයිද පූසො මාළු, කියන්නැහෙ, මගෙ ලාබ motherboard එකේ M.2 නෑ.

විසඳුම: තවත් shoestring ගැජමැටික් එකක්: PCI-e to M.2 Nvme extension card. සුපියල් හත-අටකටද කොහොද චීනෙන් ගෙන්න ගත්තෙ. මේක හොඳින් නිරීක්ෂණය කලොත් පේනවා, PCIx1 කොටසට විතරයි ට්‍රැක්ස් සම්බන්ධ වෙන්නෙ කියලා. ඒ තියා අනික් කොටස් ඕනෙ නැත්නම් කඩා දාන්න පුළුවන් විදිහට හිල් පේලියක් දීලත් තියනවා. මගේ දුප්පත් motherboard එකට හොඳට ගැලපෙන පාටයි.

ඔන්න ඔහොම ඉන්න කොට තමා, මෙන්න මෙයාව  Crucial 2TB P1 NVMe M.2 2280 Internal SSD යැංකි සුපියල් 91$කට සේල් දැම්මෙ. මොනවා අහනවද? කෙටුව ස්වාමීනි කෙටුවා. අපේ සාවියට Free Shipping, ටැක්ස් විතරයි. ඔය මං ඩීල් බලන්න යන සයිට් එකේ, ආප්තෝදේශයක් තියනවා, " Buy now, think later" කියලා. මං ඕක අකුරටම පිළිපදිනවා. මොනවද කියන්නෙ, විනාඩි දහයෙන් බඩු ඉවරයි, වාෂ්ප වුනා.


ඊළඟ නැවතුම චීනෙ. Aliexpress වලින් ඕඩර් කලා ලාබෙට heat spreaders. SDD and RAM දෙකටම ගියේ සුපියල් දහයක් විතර තමා. බඩු එන්නෙ එන මාසෙ, අවුලක් නෑ. ඔන්න ඔහොම තමා පිංවතුනි, මේ දවස්වල මයෙ පොකැට් එක හිඳෙන්නෙ.

ඔන්න මාසෙට පෝස්ට් තුනේ කෝට එක ඉවර කලා. සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා! x 2








Saturday, December 19, 2020

We will "meat" again!

මේ ගතවෙන්නේ, එච්චරම හොඳ කාළයක් නූනත්, හෙටත් ඉර පායනවා, මල් පිපෙනවා, කුරුල්ලෝ සිංදු කියනවා, අපි බයිල කියනවා. ඔව්වා ඔහොම තමා. මේවාත් එක්ක ජීවත් වෙන ක්‍රමයක් හදාගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ.  මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි, කියල කව්දෝ කිව්වය කියල මම අහල තියනවා.  ඒක එහෙම නං, අපිට තාම අපේ බලාපොරොත්තු ඉතිරිවෙලා තියනවා කියල හිත හදාගන්න බැරි කමක් නෑනෙ? 

සතුට කියන්නෙ, බලාපොරොත්තුවක් ඇතිවීමත්, එය ඉටුවීමත් අතර සිතේ ඇතිවන හැඟීමක් කියලා අර්ථකතනයක් තියනවා. ඒත් මං හිතන්නෙ සතුටෙ ආයු කාළය, බලාපොරොත්තුව ඉටුවීම පස්සෙත් ටික කාළයක් තිබිලා දියවෙලා යනවා කියලයි. 

මේ කොරෝනා කාලෙ, මං නං බලාපොරොත්තු ගෙන්න ගන්නෙ තැපැල් මාර්ගයෙන්.මේ එහෙම ගෙන්න ගත්ත දෙකක්:

නිතරම ඇසෙන, කියන අසුභ කතා පැත්තක තියලා, මේ උත්සව සමයෙ මට හිතුනා, ටිකක් හරි හිතට සැනසුමක්  ගේන දෙයක් කරන්න. අවාසනාවට බස්සොන්ට කලාත්මක හැකියාවක් නෑ. ඒ නිසා මට හිතුන, මම දැකපු, හිතට සැහැල්ලුවක් ගෙනාපු වීඩියෝ කීපයක්, ඔහෙලත් එක්ක බෙදාගන්න.

කතාකරන බල්ලෙක්: Foo....d, you are always on my mind

අම්මා:

සිංදු වලට කැමති මායා:

හා " meat " හොයාගෙන මෙතන්ට ආපු කස්ටියට මෙන්න මේක:

මගේ අතීසාර දමිල මිත්‍රයෙක් ටික කාලයක් අපිත් එක්ක හිටියා. උම්බලකඩවත් නොකන, භාජනවල කලින් මස් උයල තියනවා කියලා, කෑම කඩවලින් කෑම නොකන මෙයා, මාව බයිට් කරන්නෙ "ඈ බං, උඹ හරි මස් ගොයියා, නේද?" කියලයි. දවසක් මුන්දෑ "වෝක්" එකකට ගිය අල්ලපනල්ලෙ, හෝතම්බු ෆ්‍රීසර්  එකෙන් කුකුලා සින්ක් එකට දාලා, අයිස් දියවෙන්න. ගෙදර ආපු දමිල මිත්‍රයා මට කියනවා " කුකුල ඉන්නවා සින්ක් එකෙන් බෙල්ල එලියට දාගෙන" කියලා.

අපේ ගෙවල් ලඟම Costco එකක් තියනවා. තඩි රෝස් කුකුලා ගෙඩි සුපියල් 7.99 යි. ඒකව ගෙනැල්ලා ආයෙ හොඳට ලුණු-ඇඹුල් දාලා පොඟවලා අර ගැජමැටික් එකේ දාලා ස්කින් එක කරකරනවා. තව එකෙන්ම අල තීරු කිලෝ 2ක විතර පැකට් එකකුත් ගෙනාවා. තෙල් ඕනෙ නෑ. රාත්තල් කාලෙ hot-dog,
beefසහ Polish Sausage එකක් 1.50 ගානෙ ගේනවා. හෝතම්බු ඕකට කියන්නෙ"ඕං යනවා කිඹුලා කන්න" කියලයි. ඔන්න ඔහොමයි බීෆ්/පෝක් hot-dog අස්සෙ ගෙදර එන්නෙ, තනි කරම මස් කරල. ඇයි දෙයියනේ, නැත්නං කොහොමද , අසරණ මාංස බක්සක පක්සියාගෙ දොලදුක නිමෙන්නෙ? එක වංගියක් ඔහොම හොරෙන් පෝක් කුට්ටියක් ගෙනත් මාට්ටුවෙලා, "හා දෙයියො එව්ව බලා ගනීවි" කියලා හෝතම්බු කිව්වා. 

Is Ignorance really bliss?


කොච්චර නොබල ඉන්න හැදුවත්, ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි. කොරෝනා පැණිය ගන්න ආපු ජන ගංගාව ගැන නිව්ස් එකක් බැලුනා. ආයෙ හිත හොඳටම පෑරුනා. ගිලෙන්න යන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා. ඒ වගේම  desperate වුනාම  rational විදිහට නොසිතන එකත් සාමාන්‍ය මිනිස් ගතියක්. ඕකට, එච්චරම පරාර්ථකාමී නැති, අපේ සමාජ මානසිකත්වයත් එකතු වුනාම, අර්බුදයකට හොඳ වට්ටෝරුවක්.

කොරෝනා පාලනය කරන්න බැරිවෙලා තියෙන්නෙ, අපේම නරක පුරුදු නිසා කියලයි කියන්නෙ. පැණිය ගන්න ආපු ජන ගංගාව හිටිය හැටි දැක්කාම, ඇති වෙච්ච හැඟීම සුභවාදී එකක් නම් නෙවෙයි. චීනෙ අල්ලපු වැටේ ඉඳලත්, කොරෝනා සාර්ථකව පාලනය කරගත්ත, හොංකොං වගේ රටවල් එහෙම කලේ කලින්ම ආරක්ෂක විධිවිධාන තරකරගත්ත නිසයි.

එතකොට ඔච්චර දියුණුයි, ක්‍රමානුකූලයි කියන බටහිර රටවලට වුනේ මොකක්ද? මේක ටිකක් සංකීර්ණයි. ආර්ථිකෙයි, ආරක්ෂාවයි බැලන්ස් කරනවා කියන එක "මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වගේ වැඩක්. පෞද්ගලික මට්ටමෙන් ගත්තාම මේක තේරුම් ගන්න ලේසියි. දැන් ඔය කොරෝනා එක, එක අයට බලපාන්නෙ වෙනස් විදිහට කියනවනෙ? සමහරුන්ට බොහොම අසාධ්‍ය/ මාරාන්තික වෙනවා, අනෙක් අයට බොහොම මෘදු ලෙස හැදෙනවා, සමහරුන්ට හැදුනා කියල දන්නෙත් නෑ. දැන් ඔය කොරෝනා විරෝධී/පෙලපාලි යන කස්ටිය ඉන්නවා නෙව? මේ හැමෝම හිතන්නෙ, තමන් ඉන්නෙ අර මෘදු ලෙස හැදෙන ගොඩේ කියලයි. කාටද  අසාධ්‍ය වෙන්නෙ, කාටද  මෘදු ලෙස හැදෙන්නෙ කියලා කවුරුවත් කලින් දන්නෙ නෑ,හැබැයි මේ හැමෝම රෝගය පතුරවනවා. මම දැක්කා සමහරු මුලදි කියනවා, අයියෝ, ෆ්ලූ සීසන් එකට අච්චර-මෙච්චර මැරෙනවා කියල. ඔන්න දැන් සෞඛය බලධාරීන් කියන්නෙ, දැනටමත් ෆ්ලූ සීසන් එක වගේ දහ ගුණයක් මැරිල කියලා.


කොරෝනා ආවෙ ස්වාභාවිකවද, වලක්වන්න පුළුවන්කම තිබිලත් ලෝකෙටම ව්‍යාප්ත වෙන්න ඇරියද? මේ ව්‍යවසනය වෙළදාමක් විදිහට භාවිතාවෙනවද? මේ ප්‍රශ්ණ වලට අපිට කවදාවත් උත්තර  නොලැබෙන්න ඉඩ තියනවා. නිවුස් එකක් දැක්කා, රුසියාව කියල තියනවා වැක්සීන් එක ඩොලර් 9 වගේ  "සාධාරණ" මිලකට ලංකාවෙ ආණ්ඩුවට විතරක් දෙනවා කියලා, අනේ මන්දා?  Wiki Leaks අවශ්‍යතාවය, මට නං තදටම දැනෙනවා. Wiki Leaks වලට විස්තර දුන්නෙ, ඉහල තැන්වලම ඉන්න, හෘද සාක්ෂියක් ඇති මිනිස්සු, අද ඒ අයට ඒ ඉඩ ප්‍රස්ථාව නැති කරලා. සැබෑ "enemies of humanity" ඉන්නෙ එලියෙ කියල හිතෙන්නෙ මට විතරමද? They say "Karma is a bitch". In a true British way, let's say " Oh, f*** sake, there is no karma..

කියන විදිහට, අපට වැක්සීන් එක නොමිලේ ලැබෙන පාටයි. පැණිය කෙසේ වෙතත් වැක්සීන් එක ගැන පවා මගේ නං තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. වැක්සීන් කියන්නෙ බේතක් නෙමෙයි. ගැරන්ටී එකක් නෑ, ආරක්ෂාව සදාකාලික නෑ, කාල සීමාවක් තියනවා. ඒ ඔක්කොටම වඩා, ඕක ගහගත්ත අයට එන "false sense of security" , වඩා භයානක වෙන්න පුළුවනි. වැක්සීන් ගැන හොඳ පැහැදිලි කිරීමක් මෙතන තියනවා:


මට කියන්න තියෙන්නෙ, ආයෙත් JR කියපු දේම තමා " තමුන්නාන්සෙලාගේ ආරක්ෂාව තමුන්නාන්සෙලාම සලසා ගත යුතුයි".

හැමෝටම ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!

Tuesday, December 1, 2020

දෙවියනි! ඔබ කොහිද?

අපි මොන දේස දීපන්කරේ පදිංචියට ගියත්, අපේ සංස්කෘතික බැගේජ් අරං යනවා. ඉන්දියන් කාරයො අපිට එහා. රුසියන් තොප්පිය, ජපන් කෝට් එක එංගලාන්ත සපත්තු වුනාට " හදවත" ඉන්දියන් කියල කිව්වෙ රාජ් කපූර්. ඔන්න ඔය නිසා  ඉන්දියන්කාරයා යන තැන පොඩි දේවාලයක් අටවගෙන පුංචි ඉන්දියාවක් හදාගන්නවා(ඉන්දියන් විතරක් නෙමෙයි, අසල්වැසියො වෙච්ච අපි පවා).නෑ, නෑ  බස්සා ඔව්වට නෑ. කොහොමත් "හුඟක් individualistic සහ ටිකක් introvert" බස්සො මුකුත් හදන්නෙ නෑ. පරිසරට අනුගත වෙනවා   .ප්‍රාජේ තමයි කිව්වෙ.

ඉන්දියාවෙත් දෙයියො තිස් තුන් කෝටියම ඉන්නවා. ඒ වුනාට ලොක්කා ශිව දෙයියො. ගණ, විශ්ණු , සායි බාබා වගේ ජනප්‍රිය දෙවිවරුත්  ඉන්නව, තව කාලි, සරස්වතී වගේ ස්ත්‍රී දෙයියොත් ඉන්නවා. අවසේස දෙවිවරුන්ට ඇපෙත් නැතිවෙලා තියෙන්නෙ ඇයි කියල නං මං දන්නෙ නෑ. ඉන්දියාවෙ මිනිස්-දෙවි සම්බන්ධතාවය හරි අපූරුයි. ඔන්න  හින්දු බැතිමතා දේවාලෙට ගිහිල්ලා පඬුරු පුදලා, බිම පෙරලිල වැඳලා උවමනාව කියනවා. වැඩේ හරි ගියොත්, ආයෙ මොනවද දෙයියංගෙ කරේ රත්තරං, පූසාරිගෙ මල්ල කරේ.  

වැදගත්ම දේ තමා, පාර්ථනාව ඉටු නූනොත්  හින්දු බැතිමතා අනුගමනය කරන ක්‍රමය. යනවා දේවාලෙට. දෙයියට බැනගෙන, බැනගෙන යනවා පස්පඩංගුවේ. ඇඟිල්ල උලුක් කරල කියනවා, තව එක චෑන්ස් එකයි දෙන්නෙ කියලා. ඒකත් හරි නොගියොත් දේවාලෙ මාරු කරල, යනවා වෙන දෙයියෙක් ගාවට. මං හිතන්නෙ, ඉන්දියන්කාරයො අපට වඩා හොඳට දේව ගේම් එක තේරුං අරගෙන තියනවා.

මේ ලඟකදි  මං අපේ ගුජරාති මිත්‍රයා එක්ක ගිය සංවාදයක් මේක:

ගුජරාතියා: ඒ, බස්සො උඹ දෙයියො විස්වාස කරන්නෙ නෑ නේද?

බස්සා:  කොයි දෙයියද? ( මං මගේ සුපුරුදු ලිස්සන න්‍යාය අනුගමනය කලා)

ඌ නෙමෙයි ඇරියෙ, හාර හාරා එකම දේ අහනවා. මටත් මල පැන්නා.

බස්සා: හලෝ, සාර්ර්ර්ර්......කොරෝනා වසංගතයෙන්, තමන්ගෙ දේවාලෙ රැකගත්ත එක දෙයියෙක් මට පෙන්නපං. එතකොට විස්වාස කොරඤ්ඤං.

දැන් ඔහෙල හිතයි, බස්සාගෙ ඔරොප්පුව දේව සභාව එක්කය, එක සර්ව බළධාරී දෙයියෙක් දුන්න නං උන්දෑ සරෙන්ඩර් කියලා, ඒ ඔහෙලට වැරදිලා. ලෝකයේ  විතරක් නෙමෙයි, අපේ රටෙත් ඔය ආගමික,දේව විස්වාසය පාවිච්චි වෙන්නෙ දේශපාලන බලය රැකගන්න තියෙන ආයුධයක් ලෙසයි.

කෝ දැන් බෙලි කපන අයිසිස්? කොරෝනා නිසා ගුහාගත වෙලාද? නෑ "ස්පොන්සර්ලගෙන්" ෆන්ඩ්ස් එන්නෙ නෑ. කොහොමත් දැන් මොසාඩ්(සාතංගෙ පුත්තු), ඩුබායි, සවුදි ගිය නිසා වැඩේ අනාතවෙලා තියෙන්නෙ.

මම අදේවවාදී වුනාට දේව විරෝධී නෑ. ඇත්තට මම කැමතියි දෙයියො ඉන්නවට. මිනිස්සුන්ට දේව සංකල්පය නැතුව බෑ. සමස්ථයක් වශයෙන්, ආගම් වලින් කෙරෙන්නෙ මානුෂික ජීවන රටාවකට මිනිසුන් හික්මීම. අවුල කරන්නෙ දෙයියගෙ නියෝජිතයො. 
ඔය ජර්මනිය දෙකට බෙදලා, සමාජ පර්‍යේෂණයක් කලා නෙව.. සම්ප්‍රධායික දෙයියො එලෙව්වහම, අලුත් දෙවිවරු  පහල වුනා. කාල් මාක්ස් දෙයියො, මාඕ සේතුං දෙයියො වගේ අය. දාස් කැපිටාල් බයිබලය වුනා. හරි ගියේම නෑ. 

කැමති දෙයියෙක් ඇදහුවාට කාරියක් නෑ. හැබැයි මගෙ දෙයියා, බොගෙ දෙයියට වඩා ලොකුයි කියන්නවත්, දෙයියන් වෙනුවෙන් මිනී මරන්න යන්නෙ නැත්නම්.

පෘතුවියේ පිහිටීම, පැවැත්ම, පරිසරය, ජීවය ගහකොළ මේ හැමදෙයක්ම එක්තරා ප්‍රාතිහාර්‍යයක් (දෙයියො නැතුවත්). Goldilocks Zone එකෙන් පොඩ්ඩක් එහාමෙහා වුනා නං බබිත් සුං, බබීගෙ දෙයියත් සුං. මට හිතෙන්නෙ මිනිස්සුන්ට  මේ සංකීර්ණ, සූක්ෂම සමතුලිතතාවය තේරුංගන්න, විසඳන්න ඕනෙ. එබුව  සර්ව බළධාරී දෙයියෙක් සමීකරණයට, වැඩේ ගොඩ.

මම සිම්පල් බස්සෙක්. ඒ නිසා මට ඔය සූත්තරේ විසඳන්න  කිසිම අදහසක් නෑ. මේ දේව විස්වාස ගැන බකුසු මතය ටිකක් කිට්ටුවෙන් යන්නෙ ජපන් ෂින්ටෝ ඇදහීමේ "Kami" කියන සංකල්පයත් එක්ක. Wikipedia වල Kami අර්ථකතනය වැරදියි. Kami කියන්නෙ දෙයියො නෙමෙයි "පූජනීය" වගේ දෙයක්,  ජලය, හුළඟ,  පරිසරය ඔක්කොම Kami- පූජනීයයි. පාවිච්චි කරන්නෙ බොහොම ගරු-සරු ඇතුව. විශ්වයේ රහස් අපට තාම බොහොම දුරයි. එතකං උලාකන්නෙ නැතුව, තියෙන ලබ්බ රැකගනිල්ලා.

එහෙම නැතුව උඩ ඉඳන්,  අපි දෙන දාන-මාන, පඬුරු වල වටිනාකම බලල, මිනිස්සුන් ගෙ ප්‍රාර්ථනා ඉෂ්ථ කරල දෙන, දෙයියො ගැන මගේ එච්චර විස්වාසයක් නෑ. ආගමික නායකයො, රාජ්‍ය නායකයො මේ බොරුව දන්නවා. මං හිතෙන්නෙ කොරෝනා, ශුද්ධ වූ ජලයෙන් හෝදන්න ගිය, එක්කෙනෙක් සුවර්ගස්ත වුනාද, කොහෙද?

මාත් දෙයියො නිසා දුක් විඳින බස්සෙක්. හෝතම්බු  හතරවටේම දෙයියොන්ට පහන් තියනවා. ගෙදරට බීෆ්, පෝක් ගේන්නෙ නෑ. කාටද දුක? ඒත් මම සාධාරණ බස්සෙක් නිසා දුක ඉවසගෙන ඉන්නවා.  හැබෑටම ඌරා කොයි දෙයියගෙ වාහනේද? අනික කතරගමත් "චිකන්" තියනවා නේද?

දැන් මම මේක කිව්වා කියල ඔහෙලා දේව විස්වාසෙ ගැන වෙනස් කෝණයකින් බලාවිද? මොන පිස්සුද?  මිනිස්සු තමන්ගෙ විස්වාස එහෙම ලේසියෙන් අතාරින්නෙ නෑ. මේක අනන්‍යතාවය ගැන ප්‍රශ්ණයක්. ඇදහිලි, විස්වාස "මම" කියන සංකල්පයෙ එක කොටසක්. ඒ නිසා දෙයියා විවේවනය කලාම ,හෙලවෙන්නෙ අපේම බවුන්ඩේසම. මරාගෙන මැරෙනව යකෝ, කියන්න තරං කේන්තියක් එන්නෙ ඒකයි. හොඳ වෙලාවට ප්‍රංසෙ නොහිටියෙ, නැත්නම් මෙලාහටත් බෙල්ල නෑ. Achmed The Dead Terrorist මැලේසියාවෙ තහනං කලා. අපි එහෙම නෑ කිව්වා? හරි එහෙනං අපි පොඩි අත්හදාබැලීමක් කරමුකො. 

දැන් ලංකාවෙ ජාතික මාංශය "චිකන්" කියල  දවසක් පැරා කිව්වා. එතකොට ඔහෙල ගන්නෙත් ප්‍රොසෙස් කරල, පැක් කරපු චිකන් නෙව? අර හාල් හෝදන්න එපා කියපු ගොබිලව මතකයි නෙව? විස්වාස කොරා..න්ට, උන්දෑ කියනව නෙව, චිකනුත් හෝදන්න එපා කියල. නෑ, නෑ පස්ස ගැන නං මුකුත් කිව්වෙ නෑ.

ඇහුව, ඇහුවා, එයැයිට පයිත්තියං නෑලු. හෝදලා ඔක්කොම බැක්ටීරියා මරන්න බෑලු, තම්බලා මිසක්. අපි කරන්නෙ, හෝදනවයි කියලා සින්ක් එකෙයි, අපේ ඇඳුම් වලයි, කුස්සියෙ හතර වටේ බැක්ටීරියා වපුරන එකලු. ඔන්න තියනවා වීඩියෝව. 

ඉතුරු හරිය, මං හොම්බට ඇනල කියන්නෙ ඕනෙ නෑනෙ? ඔන්න පහල තියෙනවා කමෙන්ට්. හා, දැන් ලියපල්ලා නිදහසට කාරණා.

පසු සටහන: මුල් යුගයේ සිංහල බෞද්ධයා දේවාල ගානෙ ගියේ නෑ. සිංහල රජවරුන්ගෙ ඉන්දියන් බිසෝවරුයි, පසුව වඩිග රාජ පරපුර හරහා තමයි, ඉන්දියන් දෙවිවරු ලංකාවට ආවයි කියන්නෙ. ඊට පස්සෙ දෙවිවරු පන්සල් වලට රිංගලා පදිංචි වුනා. කොහොමත්, සිතූපැතූ සම්පත් ලාබෙට එසැණින් දෙන, පොඩි ගාණකට අල්ලපු ගෙදර එකාව මකවන දේව සංකල්පය මාකට් කරන්න ලේසියි නෙව?