ටෝස්ට් කරපු පාන්, බටර්, සොසේජස් තව නොයෙක් පාන් වර්ග සහ අතුරුපස පිරිලා තිබ්බ ඒ බුෆේ එක මට පෙනුනෙ ෆීස්ට් එකක් වගේ. කෑම වගේම පරිසරයත් පැරිසියට වඩා වෙනස්. පෞරානික ගල් බිත්ති, ගල් ඇඳි පාලම්, ගල් අල්ලපු පටු පාරවල් වල තිබ්බෙ අමුතුම සුන්දරත්වයක්.හෝටලේ කොච්චර අල්ලලා ගියාද කියනව නම් , පැරිස් ආවට පස්සෙත් ඒ අයගෙ එකකටම ගියා. නමුත් ඒක අත්වැරැද්දක්, ගමේ හෝටලයෙ තිබ්ච්ච ආතල් එක ඒකෙ තිබ්බෙ නැති වුනාට ගාණ නං ලෙසටම තිබ්බා.
ගිය කාරිය ඉවර කරලා ආයෙ ආවා Gare du Nord ඉස්ටේසමට, ඇම්ස්ටඩෑම් යන්න. මෙදා පොටේ තිබ්බෙ රාජකීය පෙනුමක් තියෙන කොච්චියක්. නම Thalys. එක පාරක් හැලපයත් ඔය කෝච්චිය ගැන ලියල තිබ්බා. TGV කෝච්චියෙ තිබ්බෙ නවීන පෙනුමක් වුනාට, මේ රතු පැහැති පෞරාණික කෝච්චියේ තිබ්බෙ ඒකට ආවෙනික වෙච්ච ප්‍රතාපවත් ගතියක්. මේක දිව්වෙ ප්‍රංසෙ ඉඳලා, බෙල්ජියම හරහා නෙදර්ලන්තෙ ඇම්ස්ටඩෑම් නුවරට. වෙනම බූත් එකක්, ප්ලේන් එකේ වගේ කෑමත් දෙනවා. හැබැයි වෙනම ඉස්ටැයිල් එකකට. කෝච්චිය යන්න ගත්තා. බස්සා අවට සිරි නරඹනවා. ඕං ඇහෙනව ටිලිං, ට්ලිං ගාලා සද්දයක්. කෑම ට්‍රොලියක් තල්ලු කරගෙන ආවෙ නැතෑ බුරුසු රැවුල් බුරුත කෝට් කාරයෙක්. අම්මපා බොරුවක්, මුසාවක් කියනවා නං අපේ හෝතම්බුවාට හෙන ගහන්න ඕනෙ, මෙන්න මේ විදිහටමයි වුනේ.
ට්‍රොලිය ගෙනත් නෑඹිලියෙන් වහල තිබ්බ කෑම ඇරල මොන, මොනවද කිව්වා මට මෙලෝ අල බෝලයක් තේරුනේ නෑ. කෑම අතර විශේෂය වුනේ ලස්සන රෝස පාට අමු මාලු පෙත්තක්. මට ඕනා වුනේ ඒක පැත්තකට කරලා අනිත් ටික කන්න. බුරුසුවා යන්නෙම නෑ, දොර ගාවට වෙලා පනාව දාගෙන මම මාළු පෙත්ත පිල්ලි යවයිද කියල ඔත්තු බලනවා. පස්සෙ අමාරුවෙන් ,වැඩිය නොහප මාලු පෙත්ත ගිල්ලාම බුරුසුගෙ කට කනේ. මට පෙනිච්ච විදිහට ඒක ප්‍රංස චාලිත්තරයක් වගෙයි.
සෙස්ස පස්සට.......