ගමරාළගෙ
කූබිච්චි පෝස්ට් එක කියෙව්වා. බොහෝ කළකට පෙර බස්සෙක් මැදපෙරදිග රස්සාවක් කලා. රස්සාවට ගියේ, පස්සා දොරෙන්. දෑවැන්ත කම්හලක් වෙච්ච එතන හිටිය, ලංකාවෙ, රජ වැඩකාර හාදයෙක්ගෙ රෙකමදාරුව මත. ටෙස්ට් එකට ආපු, සමහර විශයට අදාල ප්‍රශ්ණ පවා, රජ වැඩකාරයා බස්සට කලින්ම ඉගැන්නුවා. ඉන්ජිනේරු අරාබි ලොක්කා,ආව සහයට-ඩැනී අරාබියෙක් එක්ක සම්මුඛ සාකච්චාවට. ඔක්කොම බලලා, ඩැනී මෙහෙම කිව්වා" දිස් ඉස් අ ඩිෆරන්ට් බෝල් ගේම්, ඩූ යූ තිංක් යූ කැන් හැන්ඩල් දිස්?" කියලා.
"ඇත්ත, ඒත් දෙකේම මූලික සිද්ධාන්ත එකයි. මට පුළුවනි" බස්සාගෙ ඩිප්ලොමැටික් උත්තරේ නිසා රස්සාව ලැබුනා. මම
"මලබාරි නයිට්ස්" වල කියපු සෝමෂේකර් "සෝමු" බාස්කරන් මලබාරිය, බස්සට "ගුරු-මුට්ටි" නැතුවම, අදාල විශය ඉගැන්නුවා. සෙක්ෂන් එකේ බොසා, ගිරා නහයක් සහ උකුසු ඇස් දෙකක් තිබ්බ, කෙට්ටු උස අරාබියෙක්. තෙල බෙදන්න දෙයියා, ඒ ඇරෙන්න කරන එකම දේ බුදියන එක විතරයි.
උදේට ඔක්කොම රැස් කරලා, එයාගෙ පුරාජේරුව කියනවා, අපි අහන් ඉන්නවා. ඔන්න ඊට පස්සෙ, බොසා බුදියනවා, අපි කස්ටිය වැඩට බහිනවා. ඉලෙක්ට්‍රිකල්, මැකෑනිකල්, ඉන්ස්ටෘමන්ටේශන් අංශවල අය, වෙන වෙනම තමන්ගෙ වැඩ කොටස කලා. සෝමු, මම, ගව්ඩා හිටියෙ ඉන්ස්ටෘමන්ටේශන් අංසෙ. "වන් ෆුඩ, වන් බාත" කුමාර් හිටියෙ ඉලෙක්ට්‍රිකල් කොටසෙ. අපි හැන්ඩල් කලේ අඩු වොල්ටේජ්- 70V වෙනකම් විතරයි. ඒත් බොහෝවිට 24V තමයි.
මුලින්ම අපේ කොටසෙ කස්ටිය, එකටම හැමදේම කලත්, පස්සෙ මට තනියම ඔවර්හෙඩ් ක්‍රේන්ස් කරන්න වුනා. පිලිපීන ජාතික, ඉලෙක්ට්‍රිකල් නැඹුරුවක් තිබ්බ සුපවයිසරයා, සහජයෙන්ම කුලෑටි සතෙක් වෙච්ච බස්සවම ඉල්ලලම ගත්ත. සෝමු හිත හොඳ ගොබිල වුනාට, එයැයිගෙ අඹ යාලුව, කර්ණාටක ගව්ඩා රටේ වෙදා. ඉස්සර මාවත් ඇදගෙන යනවා කෑම කන්න. මටත් බලෙන්ම, බෙරි වෙන්න උයාපු, තුනපහ සුවඳ නහය කඩාගෙන යන, ඉන්දියන් කෑම කවනවා. මාත් ඉතිං, අපූරු පිලිපීන කෑම සුවඳ විඳ,විඳ, කිඹුලා කිරිමැටි ගිලින්නැහෙ ඉන්දියන් කෑම කනවා. ඊට පස්සෙ, උන් ඔක්කෝම කච, පච ගගා හින්දියෙන් විහිලු කරගන්නවා. මහිතේ ඒ උන් කිව්වෙ, තෝත් හිංදි ඉගෙන ගනින් කියලා වෙන්ටෑ?
මට මේක දිගටම දරාගන්න බැරි වුනා. මම ලිස්සන ක්‍රමවේදය අනුගමනය කලා. සෝමු අහනකොට "හෑ, අදත් එන්නෙ නැත්ද?" කියලා " ක්‍යාහෙ සෝමු, අල්ලල දාහං , බං" කියලා ගව්ඩා එයාව ඇදන් යනවා. මහිතේ, ගවුඩා තමා කෙටෙව්වෙ. මම හිටියෙ වෙනම, ක්‍රේන්ස්වල නිසා අවුලක් වුනේ නෑ. සුහද කතාබහට "චංගල්පට්ටු" චෙල්ලප්පන් වගේ මිත්‍රයො හිටියා. ඇදලා-පැදලා, දමිල උච්චාරණයෙන් කතාකරපු, චෙල්ලප්පන්ගෙ කතා විලාසය, ගීතයක් වගේ ලස්සනයි. "හා තම්බී, සෞඛ්‍ය....මා....."
කොම්පැණියෙ ඉහල තලවල හිටිය අරාබියො කූල්-රූම්වල බුදියගත්තා. ගේම ඇදන් ගියේ ආසියාතික "සබ්-කොන්" වහල්ලු. අපේ මට්ටමේ හිටිය අරාබින් කීපදෙනාවත් වැඩක් කරනවා මං දැක්කෙ නෑ. ඔවුන්ට ඒකට අවශ්‍ය දැණුම/උවමනාව තිබ්බෙත් නෑ. නිකං ඉඳලා තෙල් බෙදන්න, අපට වගේ කීප ගුණයක වැටුපක් ලැබෙනවා නං, මොකටද වැඩ කරන්නෙ?
රටේ නීතියට අනුකූලවම, පේ-ග්‍රේඩ් තුනක් තිබ්බා -ලෝකල්, එක්ස්පැට් 1(සුද්දො), එක්ස්පැට් 2 කියලා. අපි අඩුම එක -එක්ස්පැට් 2,එකම රැකියාව කලත් වැටුප වෙනස්. ෆීල්ඩ් එකේ හිටියත්, කැමති වෙලාවක කූල්-රූම් රිංගන නිදහස අපට තිබ්බට, පහලම ස්ථරවල හිටි අවාසනාවන්තයොන්ට ඒ නිදහස තිබ්බෙ නෑ. "අරාබි සුපවයිසරයා එනකොට අපි හැංගෙනවා, බස්සො" කියල කිව්වෙ, උතුරන ඇලුමිනියම් ලෝදිය හැලියෙ වැඩ කරපු, ඉහින් කනින් දාඩිය මුගුරු දාගත්ත, පිලිපීන ඔපරේටර් වරයෙක්.
එක දවසක්, අධි විදුලිසැර කාන්දුවක් නිසා ක්‍රේන් එකක් පොට්-ලයින් එකේදිම මලා. දැන් ක්‍රේන් එක ගල්-ඉබ්බා වගේ පොට්-ලයින් එක මැද. අනිත් ක්‍රේන් වලට එහාට-මෙහාට යන්නත් නෑ. ඒක යටම තිබ්බ "පොට්" එක පැය ගාණක් ඇතුලත නඩත්තු නොකලොත්, ලෝහ ගල්වෙලා "මැරෙනවා". අරාබි පොඩි බොසා මටයි, පිලිපීන සුපවයිසර "සීසර්"ටයි මෙහෙම කිව්වා. "තොපි දෙන්නා, අද යන්නෙ නෑ ගෙදර, මේක මේන්ටනස් බේ එකට දාලා මිස".එහෙම කියලා, ඔෆිස් එකෙත් බුදියන එයා, ඉතුරු නිදි වඩිය නිදා ගන්න ගෙදර ගියා.
ක්‍රේන් එකේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් කන්ට්‍රෝල්ස් පිච්චිලා. සීසර් ක්‍රේන් එකේ රෝදවල බ්‍රේක් රිලීස් කරලා, වෙන ක්‍රේන් එකකින් කෙලගෙන ඇවිත් ලෙඩාට ඇන්නා. ම්හු...ලෙඩා හෙලවුනේවත් නෑ. මෙව්වා ටොන් බරගාණක දඩ ක්‍රේන්. සීසර්, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ මගෙ දිහා බැලුව. මට මතක්වුනා, ක්‍රේන් එකේ VFD (variable frequency drive) වැඩ බවත්, ඕකෙ ස්පීඩ් කමාන්ඩ් එක PLC එකෙන් එන සිම්පල් ඇනලොග් වොල්ටේජ් එකක් බව. මම ගියා මේන්ටනස් බේ එකට . එතන තිබ්බා, අර ලංකාවෙ රජ වැඩකාරයා හදාපු ඩ්‍රයිව් ඩිමෝ මොඩල් එකක්. ගැලෙව්වා ඒකෙ පොටෙන්ශියෝ මීටර(පොට්) ගැජමැටික් එක.
ගලවගෙන ආපු ගැජමැටික් එක, ක්‍රේන් එකේ VFD එකට හයි කලා. පොට් එක අඩුම කරලා, ඩිරෙක්ෂන් සිලෙක්ට් කරලා, සෙට් කර ගත්තා. දැන් සීසරයා ගැහෙනවා, "හරි යයිද, බස්සො?" කියලත් ඇහැව්වා. "දන්නෙ නෑ, කරලම බලමු, වෙන විකල්පයක් නෑ නෙව? මම කිව්වා. ඇයි, මේ අටවන-මාටිං සෙල්ලම දාන්නෙ, ටොන් බරගාණක වසවර්තියෙක් එක්ක නෙව? මට සීසර් කිව්වා, අවුලක් වුනොත්, ඕෆ් කරන්න සුවිච් එකට අත තියාගෙනම ඉන්න කියලා.
"ඔන්" කලාම,ඔය යන්නෙ මල දානෙ, කූඹියා වගේ(තියරියෙ විදිහටම). හප්පේ !දැනිච්ච සනීපයක්? සීසර්ට මාර හැපී. "බස්සො, තව ඔය ගැජමැටික් දෙකතුනක් හදලා තියගන්කො" කියල කිව්වා. ක්‍රේන් එක මේන්ටනස් බේ එකට දාලා අපි දෙන්නා ගෙදර ගියා. එදා සීසරයා නං, කණ සාක්කුවට වටෙන්නම බොන්න ඇති. පිල්ලො කියන්නෙ කන්න, බොන්න සහ "ටීක්" ලන්නම උපන් ජාතියක්.
පස්සෙන්දා, අරාබියගෙ මීටිමේ ස්තූති, ප්‍රශංසා මුකුත් නෑ. ලෙසටම එයැයිගෙ සුපුරුදු පුරාජේරුව නං තිබුනා.එයා ලකුණුත් දාගන්න ඇති, ලොකු බොසාගෙන් "මම ලඟ ඉඳලයි වැඩේ කෙරෙව්වෙ, අරූ ලිස්සන්නමයි බැලුවෙ?" කියලා. දිනක් මිටීමක් කැඳවපු ලොකු අරාබි බොසා, මෙහෙම කිව්වා: " මෙහෙ වර්ජන, පිකටිං වගෙ ෂිට් නෑ, උඹලා ඔච්චරම ස්මාට් කියල හිතනවා නං, ඇයි නාසා එකට වැඩට යන්නෙ නැත්තෙ?". අවුලක් නෑ, අඩුමගානෙ බස්සට, උගෙ "අටවන මාටිං" ක්‍රම අත්හදා බලන්න චෑන්ස් එක තිබ්බ එකම මඳෑ?
මම මොනව හරි අටවන වැඩ කරනව කියලා, සීසර් දැණගෙන හිටියා, ඒත් මා ගැන විස්වාසයක් තිව්නා. කිව්වෙ "බස්සො, උඹ ඔය කරන විදිහ, පොතක ලියල තියහංකො" කියල විතරමයි. ලියන්න පුළුවන් ටික ලිව්වත් එක්ක. ඒත් මම කරපු ඔක්කොම උන්දලා දැණගත්තා නං, මාව එලවනවා. ඒත් මම කොහොම හරි ජාම බේරගත්තා.
අපි හැන්දෑවෙ ගෙදර ගියාම, හදිසි නඩත්තු කරන්නෙ MC( Maintenance Crew). ඕං පස්සෙන්දා එනවා MC ගොබිලා "බස්සො, මේකෙ මෙහෙම ලෙඩක් ආවනෙ? මම මේක හදන්න බෑ කිව්වම, උං කියනවා අර බස්සා නං හදනවා කියලා. මොනවද ඕයි තමුසෙ කලේ?" කියලා. ඒත් මගෙන් පස්සෙ ආව පිල්ලට ඒ වාසනාව තිබිල නෑ. සීසර් එයාට PLC එකට අතවත් තියන්න දෙන්නෙ නෑ, කියල පස්සෙ සෝමු කිව්වා. ඒ හාදයා සිංගප්පූරුවට ගියා අස්වෙලා, කියල පිල්ලො පස්සෙ කිව්වා. නෑ, මම උන්දැව කඩේ යැව්වෙ නෑ, ඒත් හැමදේම කියල දෙන්න බෑ නෙව? පස්සෙ සෝමුට "රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට්" එකට ප්‍රමෝෂන් එකකුත්, ගව්ඩට ඩබල් ප්‍රමෝෂන් එකකුත් ලැබුනලු. ඒත් සෝමු තමයි නියම වැඩ්ඩා. වැඩ දන්නව වුනත්, තෙල බැරි නං හබක්.
මම හැමදාම හිතුවෙ, අරාබිය කියන්නේ, ට්‍රාන්සිට් පොයින්ට් එකක් විතරයි කියලයි. පේන දේම නෙමෙයි ඇතුලෙ තියෙන්නෙ. ලෝකෙම ඉන්න කුඩු මුදලාලිලා, පාතාලයොන්ට ආරක්ෂාව සපයනවා කියන එක ප්‍රසිද්ධ රහසක් නෙව? තව ඉතිං, කළු සල්ලි "අපුල්ලලා" දෙනවා වගේම ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ "හබ්" එකක් විදිහටත් ක්‍රියා කරනවා. රැකියාවත් සමඟ බැඳිච්ච වීසා එකට ඔවුන් කියන්නේ "PR" එක කියලයි. රැකියාව පවතින්නෙ, ඔවුන්ට අවශ්‍ය නම් පමණයි, ඒ එක්කම ඔබේ "PR" එකත් වාෂ්ප වෙනවා. රැකියාව නැති වී, තමන් ගෙ මුළු ලෝකයම කඩා වැටිච්ච කතා නං අපමණයි.
චුත වෙන්නෙ කාලෙ ආවම, අරාබියා මට අනිත් හැමෝටම දෙන සමුගැනීමේ සාදයවත් ( කලෙක්ෂන් - නැතුව උන්දැගෙ සාක්කුවෙන් නෙමෙයි) දුන්නෙ නෑ. ඉතිං මම නෝන්ඩියටම, උන්ට පාටියක් දුන්නා. ඒකට ඇවිත් හොඳට ගිලපු අරාබියා මෙහෙම කිව්වා. " බස්සො, මම උඹව ගන්න කොට, මට ඇඩ්මින් එකේ මලබාරියා කියපු දෙයක් තමයි, ඔහෙට ඕකාගෙන් කිසිම සෙතක් වෙන්නෙ නෑ කියන එක, ඒත් මම උඹව ගත්තා. යූ නෝ, ඔනස්ටි ඉස් ද බෙස්ට් පොලිසි" කියලා. ඒ හැදුවෙ මම යන්නෙ කොහාටද කියලා ටක්කෙටම කේලම දැණගන්න. හහ්, අපි නොදන්න මොණරතැන්න?😂 මම හිනාවෙලා, ලෙසටම ලිස්සුවා.
උන්දැට මම යන එකට, මල පැන්න බව මට තේරුනා. ඉන්න තුරු කිසිම හොඳක් තියා, ඇනුවල් ඉන්ක්‍රිමන්ට්වත් අපිට ලැබුනෙ නෑ. අවුලක් නෑ, මම ගත්ත පඩියට සරිලන සේවයක් කල බව, අනිත් අයගෙ ඉඟිවලින් තේරුන නිසා, රස්සාවෙන් යම් සතුටක් ලැබුනා. පස්සෙ ටෙක්නිකල් ස්ටාෆ් එකෙන් වැඩි දෙනෙක් ගිහාම, පඩිය දෙගුණයක් කලාලු. 😁
☜(゚ヮ゚☜) ༼ つ ◕_◕ ༽つ (☞゚ヮ゚)☞
මේක තමා "මැකී ගිය බකුසු දඩමං" පලමු කොටස. අනුපිලිවෙල මාරුවුනා. වැරැද්ද මගෙ නෙමෙයි,
කූබිච්චි පෝස්ට් එක දාන්න පරක්කු කරපු ගමරාළගෙ, බනිමුද උන්දැට?
ඊළග ජංසන්, නෝ ජංසන්
ඊළග ඊළග ජංසන්, ඒත් නෝ ජංසන්
මම ලිව්වෙ, මගේ අත්දැකීම්, මම දැකපු දේ. වෙන කෙනෙකුට ඒක එහෙම්මම නොවෙනවත් ඇති. අජිත් ගෙනාපු මාතෘකාවට අදාල, මේ පෝස්ට් එක ලියන්න හේතුවුන වීඩියෝව:
(ඡායාරූප අන්තර්ජාලයෙනි)