එදා තවත් එක් ඒකාකාරී රාජකාරී දිනයක අවසානයක්. සුපුරුදු පරිදි කඩේ ගොස්, බඩු මලු ඉහින්, කනින් එල්ලා ගෙන පාර පනින විට, දුරකථන ඇමතුමක් එනවා. දුරකථන තිරය, වාහනක නලා හඞ, ස්ලාං බලාං ඩෝං.......ඊලඟ මම ඉන්නෙ කලු කෝට් කාරයෙක් ඉස්සරහා. නෑ, නෑ අලුත් කඩේ නෙමෙයි. කෝට් කාරයා මට කියනවා, මගේ"කල් ඉකුත් වූ" බව.
මම ඇහැරෙන්නෙ නුපුරුදු පරිසරයක. මායාකාරියො කතා කරන මිනී ඔලු, ඇල්කෙමි, මන්තර සහ සොම්බි ඉන්න, මේක වැඩවසම් යුගයේ අමුතු නගරයක්.මම දැන් ඒකෙ සොහොන්පල්ලා. ටවුන් බාර් කීපර් තමයි මේයර්. බාර් එකේ නම "ඩෙඩ් හෝර්ස්". එහෙ කස්ටිය කරන්නෙත් බෝතලයක් ගහලා හාන්සි වෙන එකම තමයි. කතා කරන බූරුවෙක් මට මිනී ගෙනත් දෙනවා. බූරුවා මට "කොමරේඩ්" කියා අමතනවා. මං හිතෙන්නෙ ඌ සමාජවාදියෙක්. මිනී වැලලුවාම මට සල්ලි ලැබෙනවා. මෙතන මගෙ රස්සාව මිනී විකුණගෙන කන එක. මිනී වලින් සොම්බි හදලා, උන් ගෙන් පඩි, කෑම නැතුව වැඩ ගත්තෑකි ( කම්කරු පන්තිය සූරාකෑම). පස්සෙ මමත් බාර් එකක් අරිනවා. එක දවසක් බූරුවා ස්ට්‍රයික් කරනවා. ඌ මට "ධනවාදියා" කියල බනිනවා. ගේන එක මිනියකට, කැරට් පහක් ඕනෙ කියලා ඌ හතර ගාතෙ දාලා බිම වැටිලා උපවාසයක් කරනවා. ඉල්ලීම් නොදුන්නොත්, යූනියන් එක දාලා ගෙට ගිනි තියනවා කියල තර්ජනය කරනවා. මම සොහොන්පල්ලෙක් වුනේ "Graveyard Keeper" කියන ගේම් එකේදී. මට මේ ගේම් එක අල්ලලා ගියේ, සැබෑ ලෝකයෙත් අපි කවුරුත් මිනී විකුණගෙන කන චරිත හින්දද මන්දා?
ප්‍රේමකීර්ති ඔහුට කිව්වෙ "පනාපුත්‍ර කුහුඹු පැණියා" (ජැක්+සන්+ඈන්ට්+හනි)කියලයි. කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි නම් වූ ඔහු, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධිධාරියෙක් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්.
ඒ දැණුම අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිර රචක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කලා. තමන්ගෙ වටිනාකම දැණගෙන හොඳට මාකට් කරගත්තා. ඒත් ඒ එක්කම අපට දැණෙන යමක් ඉදිරිපත් කලා.
"ජැකා" කඩුල්ලේ "කුරුස මුදලාලි", ඇල්ල ලඟ වලව්වේ "හාමු මහත්තයා". මේ ඒ අප ආදරය කල ජැකා:
උඹේ සපත්තුව වැළඳ බදා- උඹේ සබුක්කුවෙ පහර කකා
ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ -දෙවියනි මූන් අද කරති නිගා
-(මෙතින්න මාරු වෙනු)-
ඔහු ඉතා දක්ෂ කතාන්දර කාරයෙක්. ඉරිදා ලක්බිම පුවත්පතේ තීරු ලිපි ලෙස පලවූ "පනාපුත්‍ර මතක" එක හුස්මට කියවිය හැකි ලිපි පෙලක්. ඒකෙ තියෙන්නෙ ගමේ විස්තර. හුදී ජන කතන්දර. පොඩි කාලෙ කෙල්ලො එක්ක සෙල්ලං කරපු හැටි, ගොක්කොල කලාව කතෝලික උත්සව වලට ගෙනිච්ච හැටි. තාත්තගෙ, සීයගෙ විස්තර. "කළු ගඟ දිගේ" වගේ ගවේශනාත්මක සංචාර වැඩසටහන් වලට ඔහු ආඩින්ගෙ පැටිකිරිය වගේ ඉතිහාසය, දක්ෂ ලෙස මුසු කලා.
සමහරු ඔහුට නිවන් සුව පැතුව. ජැකාම කියපු විදිහට ඔහු "උපතින් කතෝලික, සගිස්කුරුතිය බෞද්ධ" නිසා සමහරු පටලෝ ගන්න ඇති. තවත් අය අලියට නිවන් සුව පැතුව පැතුව. අලිය බෞද්ධද මන්දා? වාහනයක් කුඩු වෙන්න හැපිච්ච අලියා නැගිටලා ගියාලු. ගිය පාර දිගේ වනජීවී එක ගියත් හොයා ගන්න බැරි වුනාලු. සමහරු කියනවා, ඒක අලි පිල්ලියක් ලු. ජැකාගෙ එක මතක වස්තු කතාවක, කනප්පුවක් ඇවිද්ද්දෝල කම්බි වැටක් පන්නෝපු කතාවක් තියනවා. මේව අදටත් ගැමි ජනයගෙ විස්වාස. ඔහු හුදී ජන හදවතට කතා කලේ එහෙමයි.
ජැකා දේශපාලනය කලා, කඩේ ගියා.ඒක ඔහුගෙ තෝරාගැනීමේ නිදහස. ඒකෙ සදාචාරාත්මක භාවය ගැන නං අනේ මන්දා?මතක විදිහට දේශපාලනයට කඩේ ගිය එකම කලාකාරයා ජැක්සන් විතරක් නම් නෙමෙයි. ඒත් අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැති නිසා මම ඒ ගැන අදහස් දැක්වීමෙන් වළකිනවා. ඒත් ජැකා වටිනා කලාකාරයෙක්. ඔහු අපට යමක් දුන්නා. ඒ ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒ බව කියන්න, මිනිහෙක් මැරෙනතෙක් ඉන්න ඕනෙ නෑ නෙව?
කාෂ්ඨෙට මැලවෙච්ච හැඩක් නොපෙනෙනෙ ලයක
සොච්චමට විකිණිච්ච නමක් නැති චිත්‍රයක
සනුහරෙන් දැලි අඟුරු ගානකොට පෙනි පෙනිම
වචන ගල් මුල් වැදුණ අලිය ගිය කූටරෙම....
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)