Sunday, January 26, 2014

ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද


ස්ථානය: කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට...







එහි සැතපී සිටියේ, ලෝක ඉතිහාසයේ, එක්තරා කාලයක,එක්තරා අන්දමක කිසිම විප්ලවයක් නොකල, නිකම්ම නිකං, පරයා ඩෝග් වර්ගයේ, අයාලේ යන සුනඛයෙකි.. බල්ලා ඉඳහිට කන්පට ගසයි, හීනෙන් බුරයි. සමහරවිට  ඌ හීනෙන් පූසෙක් හෝ මීයෙක් පස්සේ පන්නනවා විය හැක. 



මේ සනිදා හිමිදිරි උදෑසනයි. කඩ  මණ්ඩිය පාලුවට ගොස්ය, තවම පෙරදා නිදාගත් නගරය අවදි වී නැත. මේ  පරිසරයේ නිසලබව බිඳුනේ, හංදියේ බේකරියේ පස්සා දොරින් මතුවූ බඩ තඩි පුද්ගලයෙකු, කාටදෝ බැණ වදින හඬකිනි.





" නොදකින්, අදත් මේ පරයා  පාං බාගයක් උස්සල නෙව. අම්මපා, මට  අහුවුනොත් ඕකව, කඩනවා අණ්ඩක්. බැල්ලිගෙ පුතා"



විදුලි සැර වැදුනා සේ, උඩ විසි වී ඇහැරුනු අපේ "ප්‍රොටැගොනිස්ට්" බලු තඩියා ( ස්තූතිය කකා) , ආ‍ඳෙක් සේ හෙමීට ලිස්සා, පල්ලං බසිනු පෙනේ.



ජවනිකා අංක 1:



හංදියේ නිත්‍ය සාමාජිකයින් වු,  පිං ගවයා, නිතරම පොර කන බළලුන් දෙදෙනා , සහ  හික්මීයා සිටියේ විනෝදයෙනි. ඔවුන්ගේ සිනාව,තැන්වල කෙරුනු පොර කෑම, වැනි දෑ හින්දා හරිම කඩිසරබවකුත් දැකගන්නට ලැබුනි. මේ අය අතරින් පිං ගොනාට හැමෝම බිය මුසු ගෞරවයක් දැක් වුයේ, උගේ ඇඟේ "පිං' කියා පච්චයක් කොටාගෙන තිබුණු බැවිනි.



පරිසරයේ මේ නිසලබව බින්දේ, ඉඳ හිට යන එන පෞද්ගලික බස් රියකිනි .හංදියේ නැවතූ  බස් රියක සංගීතයක් ඇසේ: 



පාර්ලිමෙන්තුවට බල්ලො බුරනවා

පාර්ලිමෙන්තුවට ඇතුලට සඳ පායනවා



සිංහයගෙ අතට කඩුව දුන්නෙ කව්ද

ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද





කන්දෙක උස්සා ඒ හඬට කන්දෙන  සුනඛයා  කල්පනාවකට වැටෙයි.

පිංගොනා , අසල කුණු ගොඩින් ඇද ගත් ගෝවා  කොලයක් තලු මරනු පෙනේ.



" ඈ බං ටොමියො, කාටදෑ,මේ හිමිදිරි පාන්දර , බේකරියෙ පාං බාස් දෙස් දෙවොල් තියන්නෙ? උඹට නේද?  අදත් උඹ පාං හොරා කෑවද?"



" පිස්සුද, බං, මං  ඔය අතමාරුවට නෙව  පාං කෑල්ලක් ගන්නෙ. මං ඉතිං බේකරියෙ " ඩේලි කස්ටමර්" නොවැ? ඔය බැන්නට පාං බාසා, මට හරි ආදරෙයි. බැල්ලිගෙ  පුතා කියලමයි කියන්නෙ. කොටින්ම , කුස්සිට රිංගල මාට්‍ටු උනොත්, මට ගහන්නෙ  ගල් බනිස් ගෙඩියකින් හරි පොල් බෑවකින් හරි තමයි. මාත් ඉතිං 'බෑහ්..' ගාලා , රිදුනා වගේ ඇක්ටිං පාරක් එහෙම දාලා, තුන් අණ්ඩෙන් අර ගහපු එකත් අරගෙනම තමා දුවන්නෙ"






"ඇක්ටිං කිව්වා. ඔන්න ගොයියෝ දියුණු කර ගන්නව නං වැඩේ. කෙලින්ම කවුන්සලේටම යන්න ඇහැකි"



" කවුන්සලේ කිව්වෙ අර අපේ කස්ටිය බුරනවැයි කියලා , බස් සිංදුවෙ කියපු පාර්ලි හෝන්තුවද?"" ඒක නෙමෙයි, බොස්, ඇයි අපේ කස්ටිය  ඒකට බුරන්නෙ? එහෙම නං මාත් සපෝට් එකක් දෙන්න එපෑ?"





" හී...හෙහ්..හෙහ්. හෝන්තුව  නෙමෙයි බොල, පාර්ලිමේන්තුව. ඒක මේ  උඹලා අපි වගේ හුදී ජනයාට  ඔට්‍ටු වෙන්න පුලුවන් තැනක් නෙමෙයි බොල. ඒකට යන්න, විසේස සුදුසුකං තියෙන්නෙ ඕනෙ"





" විසේස සුදුසුකං  කිව්වෙ?"





දැන්, දැන්  මේ දෙන්නාගේ කතාවට, අහුමුළුවල සිටි මීයෝ, අසල ගසක සිටි වඳුරෙක් සහ පෙර කී බළලුන් දෙදෙනාද එක් වේ.තමන්ට  ප්‍රේක්ෂකයින් වැඩිවන බව දක්නා පිංගොනා, අං දිග ගෝණෙකු සේ කඳ කෙලින් කොට උස් හඬින් කතා කරයි.








"විසේස සුදුසුකං  කිව්වෙ, රටේ නං දරාපු 'පොරක්' වෙන්න ඕනෙ කියන එකයි"


" ඉතිං  බොස්, කොහොමද එහෙම පොරක් වෙන්නෙ?"




"හොහ්..හොහ්, ඇයි උඹටත් පොරක් වෙන්න හිතුනද? බොල  පොරක් වෙන්න නං, ආස්චර්ය භාණ්ඩ කන්ටේනර් ඒකක් , දෙකක්වත් ගෙන්නන්න ඕනෙ. පාවිච්චි කරපු භාණ්ඩ නං අඩුමගානේ හාර සීයේ පාටිය වත් ගන්න ඕනෙ. නැත්නම්, ඉතිං රත්තරං කිලෝ දෙක තුනක වැඩිං ගිෆ්ට් එකක් දෙන්න ඕනෙ. ආං එතකොට පුළුවනි, ඕන ලොක්කෙකුට බැස්ටිය දීලා 'මට මතක නෑනෙ' කියන්න. හැබැයි, ලෙමන් ෆෆ් නං, පෙට්ටියක් හොඳටෝම ඇති"





" අර ලෙමන් ෆෆ් පෙට්ටිය කොටා බාන වැඩේ නං මටහ් පුළුවනි නෙව, බොස්?"





"මං හිතුව ‍තෝ බඩජාරි කොමට ඕක කියයි කියලා. හහ්.. හිතුව මඳි, ලෙමන් ෆෆ්  කාලා පොරක් වෙන්න. බොල, ඒ විතරක් මඳි, කවදාවත් සීගිරි නොගිය  ගිරවෙකුට විතරයි ලෙමන් ෆෆ් කාලා පොරක් වෙන්න ඇහැකි"




කතාව අසා සිටි වඳුරා ඔලුව කසමින්  :


" මටත් හිතෙනව, බොස් පොරක් වෙන්න. මං හිතන් ඉන්නෙ  දෙල් ගහ ලඟ කූඹි ගුලට  බැස්ටිය දෙන්න. හැබැයි දෙන්න ඕනෙ ධර්මෙන්. මගේ කල්පනාව 'නංවමු කොලනිය' කියලා ව්‍යාපෘතියක් අරඹලා බලෙන්ම ආධාර  එකතු කරන්න. මෙහෙම හිටියට කිසිම වගතුවක් නෑ, ලොක්කා." 





පිං ගොනා තප්පු ලෑවා.

" ආං ඔහේට තේරුනා කතන්දරේ. මේ ටොමියො, ආන්න එයාගෙන්වත් ඉගෙන ගනින් පොරක් වෙන හැටි"





" ඕනෙ නෑ බොස්, ඒක ඇරිච්චාවෙකො. එතකොට සිංහයගෙ අතට කඩුව දුන්නෙ කව්ද?"





" මොකක් කිව්වා? අනේ බං, මං නං නෙමෙයි. අර බල සේනා කස්ටියවත්ද දන්නෙ නෑ?"





" දැන් එතකොට 'ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද?'"





" එව්වා කියන්න බෑ ටොමියො. ඇවිත් කෑවොත්, රතුපස් කන්න තමයි වෙන්නෙ"






ප.ලි:  නොතේරේ නං, බැන්නාට අමනාපයක් නැත :)


 පැහැදිලි කරදීමට නොහැකි බව  කරුණාවෙන් සළකන්න .

කතාවේ ටැම්ප්ලේට් එක හොරා කෑවේ .....ගෙනි. දන්නෝ දනිති :)










Sunday, January 19, 2014

නයි සහ හොරා කයි


ඕං මේ ඊයෙ පෙරෙයිදා උදේක , මං සුපුරුදු පරිදි , හීල සප්පායම් වෙලා ත‍ටු දෙකත් පොරෝගෙන හොඳ නිදි වඩියකට ලක ලෑස්ති වුනා. මට ඇහෙනවා කව්දෝ පිඹිනවා - සුපුරුදු සද්දයක් , ෂූ..ෂූ.... බැලින්නං මෙන්න බොලේ අපේ කොබෝ නයි උන්නාන්සෙ, ආයෙත් අත්ත උඩට වැඩලා.



" අප්පට සිරි ගජ. මේ අපේ ඒජන්ට් කොබා නාග රාජෝත්තමය නොවැ. ඉතිං, ඉතිං , කොහොමද සැප සනීප?  අර එදා හොට බිම ඇනිච්ච එකට තාම පත්තු බඳිනවද? මං නං හිතුවෙ නෑ ඒ වෙච්ච අලකලංචියෙන් පස්සෙ ඔබතුමා ආයෙ මෙහාට සැපත් වෙයි කියලා"





" ආ, ඒ මේ පොඩි ලෑන්ඩින් ගියර් අප්සැට් එකක්, පස්සෙ මං ඒක හදා ගත්තා"



" ඉතිං, මොකදෑ, ඔබතුමා මේ උදෑනැක්කෙ? ආයෙ පැමිණිල්ලක් වත්ද?"



" පැමිණිල්ලක් නං තමා. ඒත් බයවෙන්න කාරි නෑ, මේක ඔහෙට විරුද්ධව දාපු එකක් නොවෙයි. ඔහේ දන්නව නෙව, අර ඇනෝ මී සැට් එක, එයාල කියනවා, අද වැඩිදෙනෙක් ලියනවා කියල කරන්නෙ, කාගෙ හරි එකක් හොරා කන එකලු. ස්වතන්ත්‍ර නිර්මාණ කියලා දෙයක් ඇත්තෙම නැතිලු. එක්කෝ කාගෙහරි එකක්, අරගෙන තමන්ගෙ වගේ දානවලු. නැත්නම් විකි පීඩියාව ගෙඩි පිටින් කොපි කරල දානවලු"






" ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නැ, බලාන ගියාම"





" එක නෙව බස්සො කියන්නෙ. මං අහන්නෙ, ඇයි මුන්දලට බැරි,  ඔය කැත වැඩේ නවත්වන්න. කුජීතයි නෙව? හා, මං කියන්නෙ බොරුද?"





" මේ මොනව කියනවද? ඔබ තුමාගෙ සිරි මුකයෙන් යමක් කීවොත් ආයෙ ඒකෙ හෝදන්න දැයක් තියනවායැ? ඒක නෙමෙයි, සෑර්, ඔය මී සැට් එක  කවදාවත්  හොරකමක් කරලම නැත්ද? නෑ, මං කියන්නෙ , අඩුම තරමේ  මේ චීස් කෑල්ලක්වත්?"







" චෑ,චෑ, අන්න කිව්ව කැත කතාවක්. අපේ  මීයො චීස් හොරා නොකාන බව මං ඉන්තේරුවෙන්ම විස්වාසයි. අනික, චීස් තියෙන්න එපෑයැ කන්න. ඔය පොල් කෑල්ලක් දෙකක් නං පන්නගෙන යන්න ඇති. ඒත් ඒක  ගෙවල්වල කස්ටිය, කරකරලා කැමැත්තෙන්ම දෙන දේ නොවැ? එතන කොහොද හොර කමක්?"





" නෑ මං කිව්වෙ, ඔය මීයො  ලියන කට්ටියද?"





"ලියන කට්ටියද ඇහැව්වා? මේ මොනව කියනවද,  එකෙක් අඩුම ගානෙ පොත් හත අටක්වත් ලියලා ඇති. පුහ්, බලන්න එපෑයැ උන් ලියන අපූරුව, මේ මැල්ලුම් ලියන ගානටම ලියලම දානවා"







" ඒකත් එහෙමද, නෑ, මං කියන්නෙ මේ අනිත් ලියන අප්පුලා, මෙනවම හරි ලියනවා නොවැ. උන් ලියන හන්දා නොවැ, මී අප්පුලට පැමිණිලි කරන්න දෙයක්වත්  තියෙන්නෙ? හරි, වෙන තැනකින් ගත්තමයි කියමුකො. අතනින් මෙතනින් කරුණු හොයාගන්නයි, එව්වා පරිවර්තනය කරන්නයි, සෑහෙන මහන්සියක් වෙන්න ඕනා නෙව"




" ඒ වුනාට බස්සො, හොරා කන එක කැතයිනෙ? මං කියන්නෙ  නං ඒක මහ කුජීතයි"





" ඇත්ත, වැඩේ කැතයි තමා. ඕං බලන්න , මං නං ලියන්නෙ ඔරිමජිනල් එව්වා විතරයි. දැං බලාන්ට , ගුරුත්වාකර්ශණය හොයා ගත්තෙ කව්ද?"





"ගුරුත්වාකර්ශණය? මේ අපේ නිවුටොං ලමය නෙවද? අර ඇපල් ගහක් යට බුදියගෙන ඉන්නකොට ගෙඩියක් ඔලුවට වැටිලා , ටිකක් නුහුගුණේ වගෙත් තිබුණෙ?"





" ආන්න හරි, ඒ ගෙඩිය නිවුටගෙ ඔලු ගෙඩියට අතෑරියෙ කව්ද? ඒ ගෙඩියෙ නැට්ටට  කෙ‍ටුවෙ අපේ පරම්පරාවෙ  මීබස්සෙක්.කොටින්ම, රෝදය නැවත් සොයා ගත්තෙත් බස්සෙක්ම තමා"



" නැවත සොයා ගත්තා කිව්වා? ඇයි ඒක නැතිවෙලා තිබ්බද, කවුරු හරි හොරකං කලාද?"



" නැත්නං, ඔය මීයො සැට් එකක් තමා ඒක උස්සගෙන ගිහින් තිබුනෙ""









"අම්මපා, මං දැන ගෙන හිටිය නෑනෙ"





" එක නෙව  සැර්, මං කියන්නෙ . දැන් බලාන්ට ඔය පහල සැකුරිටි කොම්පැනියෙ අයිතිකාරය කව්ද"









" කිරි අප්පට බස්සො කොටපි. නෑ එයත් බස්සෙක්ද?. එතකොට  මේ ස්වතන්ත්‍ර නිර්මාණවලයි, බකුස්-ටෙක් කොම්පැණියෙයි සම්බන්ධෙ මොකක්ද?"





" කිසිම සම්බන්ධයක් නෑ. ස්වතන්ත්‍ර නිර්මාණ කලත්, එහෙම නොකලත් ඔව්ව ඔක්කොම නිර්මාණ තමයි. ඇයි අවුල්ද?"





" නෑ , මට නං  අවුලක් නෑ. මීයොන්ට තමා අවුල්"





" හා, සෑර් ඒකට  අප්සැට් ගහන්න එපා. මං  මූකලං අවුල් නෙව. සෑර්, රිපෝට් එකේ දාගන්න 'හැම සාර්ථක/චාටර් නිර්මාණයක් පසු පස බස්සෙක් සිට ඇත' කියලා"










Friday, January 17, 2014

හිම










ඉස්සර කාලෙ දවසක
ඇසුව දින හිම කුමාරිගෙ කතාව
පෙරුම් පිරුවෙ නුඹ දකින්නයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම

ගිණියම් වූ කතරක
කහවනු සොයනා විට
සිහින මැව්වේ නුඹ දකින්නයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම



පහු පහු වන ටිට
කොහු, කොහු වනබව
අද මට සිහි කලේ නුඹයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම

අතොරක් නැතිව ආ විට
ගමන දුෂ්කරයි බරබාගෙට
වලංගු නැත, පල්ලං පොල්ලට
ඇන්නොත්, අබ සරණයි මට




ගෙන්දගම් පොලොවට
හිම නයෙක් මෙන් පෙනුනට
අඩ හෝරාවක් හොඳටම ඇති
බීපු රන් කිරි කටින් එන්නට

පෙනුනාට නුඹ ලස්සනට
ආවොත් , දුක තමා මට
අමනාපයක් නෑ නාවාට
හිම, කන්න යැ බස්සොන්ට?




ප.ලි:
කයියක් වගේ එකක්. හොඳද ඈ? :)

Tuesday, January 7, 2014

බුක් මාර්ක්ස්




බුක් මාර්ක්ස් කියන්නෙ හැමෝම පාවිච්චි කරන පහසුකමක්නෙ. වැඩේ තියන්නෙ, තමන්ගෙ බුක් මාර්ක් ලිස්ට් එක දවසින් දවස දික්වෙන කොට , ඒක නඩත්තු කරන්න තියෙන අමාරුවයි.


ඔන්න මම ඉස්සෙල්ලම, අර සාමාන්‍ය බුක්මාර්ක් ටූල් බාර් එකකට

බුක්මාර්ක් 

එකතු කරන්න ගත්තා. මේ ලිස්ට් එක කොච්චර දිග වුනාද කියනව නං, ඒකෙ එක කෙරෝලක ඉඳලා අනිත් කොනට යන්න සෑහෙන වෙලාවක් යනවා. මේ වගේ දිග ලිස්ට් එකකින් තමන්ට අවශ්‍ය ලින්ක් එකක් හොයන එක, එච්චර ලේසි නෑ.

මේක හරියන අටමඟුලක් නොවෙන බව බස්සෙකුට උනත් තේරෙන නිසා, මං ඊලඟට ‍තෝර ගත්තෙ, "visual bookmarks". මං හිතන්නෙ මේක ඉස්සෙල්ලම දුන්නෙ Opera . එයාල ඒකට කිව්වෙ speed dial කියලා. දැන් නං, ක්‍රෝම්, ෆයර් ෆොක්ස් වගේ අනිත් එව්ව වලත් තියනවා.

වැඩේ බොහොම නීට්. බුක්මාර්ක් එකතු කරන එකත් ලේසියි. අවශ්‍ය ලින්ක් එක හොයන එක ඊටත් වඩා ලේසියි, ඇයි හැම ලින්ක් එකකටම අදාල සයිට් එකේ පොඩි පිංතූරයක් දාගන්න නිසා.

මට මේ speed dial සෙල්ලම කොච්චර නැගල ගියාද කියනව නං, දැන් ඒකෙ තියනවා ලින්ක් 250 කටත් එහා :) මගේ ඔක්කොම සිංහල බ්ලොග් ලින්ක් තියෙන්නෙ මේකෙ.

ඔහොම ඉතිං බස්සා speed dial එක්ක දැහැමින් සෙමින්, හැලප කමින් කාලෙ ගතකලා කියමුකො. ඔහොම ඉන්න කොට, එක්තරා සුන්දර උදෑසනක, Opera කිව්වා " මේ , බස්සො, අපේ අලුත්ම අප්ඩේට් එකක් තියනවා, මොකද කියන්නෙ ඉන්ස්ටෝල් කරමුද?" කියලා. මාත් ඉතිං බැලුව, නිකං දෙන එක නොවැ, කෙ‍ටුව "යෙස්" කියන එකට. අලුත් වර්ෂන් එක බොහොම හොඳයි, අරවද , මෙව්වද වැඩ කෝටියයි. ඒ තියා speed dial එකත් අලුත් කරලා ඒකටත් කැටයම් දාලා.

දැං ඉතිං මගේ පරණ බූක්මාර්ක් සැට් එක මේකට ගේන්න එපැයි. ඔය කෙලල තියෙනෙ පාත්තරේටම, එහෙම ඉම්පොර්ට් කරන්න පහසුකමක් මේකෙ නෑ.

ඉතිං මොකේදැයි දන් වළඳන්නෙ කිව්වලු. ඔය speed dial entries ඇත්තටම බුක්මාර්ක් විදිහට සලකන්නෙ නෑ.ඒත් ඔහොම උනාම, ඉස්සර ගොඩ යන්න ක්‍රම දෙකක් තිබ්බා. එකක් speeddial.ini කියන ෆයිල් එක එඩිට් කරලා, අනික opera sync හරහා. අලුත් වර්ෂන්  18,19 දෙකටම මේ ක්‍රම එකක්වත් හරියන්නෙ නෑ. අන්තිමට යාන්තං ගුගල් කරලා, opera වර්ෂන් 12 කොපියක් හොයාගෙන බුක්මාර්ක් ටික බේරගත්තා.









https://addons.opera.com/media/image-cache/extensions/45/8045/1.4.4-rev1/

images/62e5cd75-4639-446d-9479-5ec3d18d1646_details_big.jpeg


මට දැන ගන්න ඕනෙ, ඔහෙලා කොහොමද තමන්ගෙ බුක්මාර්ක් මැනේජ් කරන්නෙ? මීට වඩා හොඳ වෙනත් ක්‍රම තියනවා නං ඒ මොනවාද කියන එකයි








Wednesday, January 1, 2014

Take the Bull by the Horns



http://i.imgur.com/qCQYZhg.jpg










 http://stupid-ideas.blogspot.ca

ඉන්ටනෙට් කියන්නෙ හරකා වගේ සතා. යාප්පුවෙන් තියාගත්තොත් බොහොම ප්‍රයෝජනයි. හැබැයි අනවශ්‍ය වැඩ කරන්න ගියොත් මෙන්න මෙහෙම වෙන්නත් බැරි නෑ





ඇත්තටම අනවශ්‍යයිම කියල කියන්නත් බෑ. දැන් බලමු අපි සිත්තර පටි බාන්නෙ නැත්ද? අර "free software" - නිකං දෙන දෙමල පත්තෙරේ, ගන්නෙ නැත්ද? මොකද නැත්තෙ :)

දැං ඔව්වත් එක්ක, ඇට හුටාමාරක්, වයිරස්, ස්පයි වෙයා එනබව දන්නෙ නැත්ද? මොකද නොදන්නෙ?
එහෙමයි කියල අපි නිකං ඉන්නවද? නෑ, පිංවතුනි, අපි උට්ටාන වීරිය වඩෝගෙන, ඉන්ස්ටෝල් කරගෙන, කරගෙන යනවා




එහෙනං ඉතිං මට දොස් කියන්න එපා, මාත් කොලේ ඕකමයි. ඉන්ස්ටෝල් කලේ වින්ඩෝස් මීඩියා සෙන්ටර් එකට codec pack එකකුයි, තව මොකක්ද නිකං දෙන සැකුරිටි සොෆ්ට්වෙයා කෑල්ලකුයි විතරමයි. සෙල්ලම පටන් ගත්තෙ ඊට පස්සෙ තමා :)



ඉස්සෙල්ලම ඔක්කොම බ්‍රවුසර් වල හෝම් පේජ් රී-ඩිරෙක්ට් කලා. හරි , අවුලක් නෑ කියමුකො. මැනුවලි එක අයින් කලා. එච්චරද? මොන, හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට කිව්වලු:). මෙන්න එනවා, පොප්-අප් පෙරහැරේ. කොටින්ම, අපේ ISP provider එවපු විදිහට on-line survey එකකුත් ආවා. එතකොට නං මට තේරුනා, මේකා දරුණු සතෙක් බව. ඉස්සෙල්ලම මට හිතුනෙ, ටිකක් පරණ දවසකට restore කරන්න. ලේසිම වැඩේ ඒක නෙව?




බස්සො කියන්නෙ ටිකක් නාහෙට නාහන සත්තු ජාතියක්. ඉස්සෙල්ලාම බ්‍රවුසර්වලට දාලා තිබ්බ, plug-in, extension ටික අයින් කලා. ම්හු, සමහර ඒව අයින්කරන්න දෙන්නෙ නෑ. අයින් කලත්, ආයිත් දාගන්නවා :( දැන් තමයි tools ඕන කරන්නෙ.

MS security essentials -
සත පහක උදව්වක් කලේ නෑ. වරුවක් scan කරල ඔක්කොම හොඳයි කිව්වා :)


CCleaner -  සෑහෙන හොඳයි. Uninstaller, start-up cleaner, registry run/run once cleaner වගේ පහසුකම් ගොඩක් තියනවා. ඒත් එකම් අවුල, අයින් කරන්න ඕනෙ මොනවද කියල අපි කියන්න ඕනෙ



Comodo Firewall ver 6.3.3 - ලොකුම උදව්ව කලේ මෙයා. නෙට්වර්ක් ටැ‍ෆික් මොනිටර් කරන්න පුළුවන්.

මේකෙ ඇතුලෙ තව, තව tools තියනවා. KillSwitch, AutoRun Analyzer, Quick Repair වගේ. DNS address වෙනස් කරලා, Host ෆයිල් එකට entries දාල බව හොයාගත්තෙක් මේකෙන්. ඇත්තටම මේක ඇතුලෙම Comodo Cleaning Essentials කියලා හොඳ ස්කෑනර් එකකුත් තියනවා, මෙනු අස්සෙ වැලලිලා. රී-බූට් කරලා, අනික් වයිරස්-ගාඩ් බ්ලොක් කරලා MBR, memory, registry, files නියමෙට ස්කෑන් කරනවා. වැඩිය කියන්න ගියොත් මේක ඇඩ් එකක් වගේ වෙන හින්දා දැනට ඔය ඇති :). ආ, තව එකක් මේ ඔක්කොම "Free software tools" :)



තාම ස්කෑන් කරනවා, 57% , දැනටම MS පොලිස්ට අල්ලන්න බැරිවුනු හොරු හත් දෙනෙක්ම අල්ලලා :)



මේ කතාව ලිව්වෙ, පරාර්ථකාමය උදෙසාම නෙවෙයි. මෙහෙම දෙයක් උනොත්, ඔහෙලා මොකද කරන්නෙ, පාවිච්චි කරන්නෙ මොන tools ද කියලා දැන ගැනීමේ සත්ගුණවත් චේතනාවෙනුයි :)



ප;ලි:

මෙන්න හොයාගත්ත ස්පයිවෙයා ටික. 25 යි, නරක නෑ





ප.ප.ලි : කියපු දේ නොතේරුන අයට



ඔබ ඉන්ටනෙට් එකට ස්ම්බන්ධ වූ විට, නිතරම පොප්-අප් එනවාද? online survey, ෆෝම් පුරවන්න, ඔබ තෑගි දිනූ බව, meet the singles in -----(your) area වගේ එව්වා. ඔබ යම් භාණ්ඩයක් සර්ච් කලවිට, බ්‍රවුසරය ඔබට එය ලාබෙට විකුණන්න හදනවාද? එසේ නම් , මෙන්න මගෙන් සුභ පැතුම්. ඔබගේ කොම්පුටරය, වයිරස් ගොවිපලක් බවට පත්වී ඇත : ලඟදීම ඔබගේ ඉන්ටනෙට් සම්බන්ධය විසන්ධි වියහැකි අතර, ඔබගේ ISP, ඔබට වසරේ හොඳම ගොවියා/ගෙවිලිය  සම්මානය පිරිනමනවා ඇත :)



විසඳුම: වහාම ඔබගේ කම්පුටරය දන්නා අයෙකුට කියා සුද්ද කරවා ගන්න





හුඟ දෙනෙක් කිව්වා, මේ පොස්ට් එක තේරුනේ නෑ කියලා. ඒ අතරේ හිරු ඇහැව්වා හොඳ ප්‍රශ්න දෙකක්. ඇත්තටම, මේ ඒකට උත්තර , නමුත් දිග වැඩිකම නිසාත්, අනික් අයටත් දැන ගන්ට මෙතන දානව



හිරු -දැං ඔය නිකං දෙනවයි කියන හැම නැට්ටම ගන්න ඕනෙද...???? නෑ නේ.... හි හි..



කතාව ඇත්ත. ඒත් මෙන්න මෙහෙම එකකුත් තියනවා.



වයිරස්/ස්පයිවෙයා වලින් ආරක්ශා වෙන හොඳම ක්‍රමය නොදන්න ඇප්ස් ඉන්ස්ටොල් නොකරන ඉන්න එක තමා. එත් අද තියෙන සමාජ රටාවත් එක්ක ඕක කරන්න අමාරුයි. අපි අපේ බිල්ස් ගෙවන්නෙ ඔන්ලයින්. බොහෝවිට සෙල්ස් වලින් බඩු ගන්නෙ , රිසව් කරන්නෙ ඔන්ලයින්. මෙහෙම ඔන්ලයින් ගණුදෙනු කරනවා නං, අනිවාර්යයෙන්ම , කොම්පියුටර් සැකුරිටි ගැන හිතන්න වෙනවා.



එහෙම ඔන්ලයින් ගණුදෙනු නොකරන කෙනෙකුට නං මේක ප්‍රශ්ණයක් නෙමෙයි. මේක පහසුව සහ අවදානම අතර ප්‍රශ්ණයක්.



මම හැමදාම යන සයිට් එකක් තියනවා,
http://www.giveawayoftheday.com  කියලා. මේකෙ හැමදාම එක මුදල් ගෙවා ගතයුතු ඇප් එකක් නිකං දෙනවා, මේක එක්තරා ප්‍රමෝෂන් එකක්. ඒත් මෙතනින් මට සැහෙන හොඳ ඇප්ස් ලැබිලා තියනවා.. හොඳද, නරකද කියල බලන්න ඉන්ස්ටොල් කරලම බලන්න එපැයි.



ඒවගේම Cnet කියන්නෙ ඉස්සර විස්වාසවත් සයිට් එකක් .ඔනම් දෙයක් ගැන රිවිව් කියවන්න හොඳම තැනක්. ඒත් එකෙන් දැන් මොනව හරි ඇප්ස් ඩවුන්ලෝඩ් කලොත් අනාතයි :). අවශ්‍ය ඇප් එකත් එක්කම nagware/annoyware කියන අනවශ්‍ය ඇප්ස් තොගයක් ඉන්ස්ටොල් කරනවා.



හාඩ් ඩිස්ක් පුරෝන, ෆයිල් ඉරේස් කරන වයිරස් අද අඩුයි. තිබුනක් අයින් කරන්න ලේසියි.අද ලොකුම තර්ජ්නය තියෙන්නෙ ස්පයිවෙයා වලින්. මේවා වැඩ කරන්නෙ පාවිච්චිකරන්නාට නොදැනෙන්න. වෙන හානිය වැඩියි. මගේ කොම්පුටරේ නං කිසි ප්‍රශ්නයක් නෑ , කිව්වට ඒකෙ මොන මොන ස්පයිවෙයා තියනවද කියල ස්කෑන් කරන තුරු දැණගන්න විදිහක් නෑ. ඒත්, මං කිව්වාවගේ ඔබේ කොම්පුටරෙයෙ කාටවත් හොරකම් කරන්න තරම් වටිනා දත්ත නැත්නම් ප්‍රශ්ණයක් නෑ.



දැන් අපි හිතමු, අපි ෆෝන් එකෙන් ගෙදරදි පිංතූරයක් ගත්තා කියලා. දැන් ඕක, ඕන කෙනකුට දෙන්න ඇහැකි, බ්ලොග් එකේ දාන්න ඇහැකි, කිසිම හානියක් නෑ කියල නේද හිතන්නෙ? ෆොන් එකේ ලොකේෂන් සර්විසස් ඔන් කරල තිබ්බොත්, ඔය පිංතූරය ඇතුලෙ, ඔබේ ගෙදර GPS ලොකේෂන් එකත් තියනවා. ඒ කියන්නෙ, ඔබ නොදැනම, ඔබේ ගෙදර ඇඩ්‍රස් එක, හැමෝටම දීලා.



කොම්පුටර් ඇක්ස්පර්ට්ලට වගේ නෙමෙයි, අපි වගේ හුදී ජනයාටත් අද කොම්පියුටර් සැකුරිටි ගැන හිතන්න වෙන්නෙ ඔන්න ඔය කාරණාව නිසයි.





Tuesday, December 31, 2013

සුභ අලුත් අවුරුද්දක්

 

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

 newyear-1

අවුරුදු තෑග්ග:

අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML  ටිකක් විතරනෙ. ඔය wordpress blog වල කොමෙන්ට්  වලදිත් පිංතූර , වීඩියෝ එහෙම පෙන්නන්න පුළුවන් ඔයෙ හිතේ. අපිට කොයින්දෑ පූසෝ මාළු, අපි යනවැයි මූදු!

නෑ, මං මේ කිව්වෙ අපි බ්ලොගර්, බ්ලොගර්  අපිට නේ. බ්ලොගර්ගෙ ඔය ඇටෑච් බාත් රූම් නෑ නෙව. නැත්තෙත් නෑ, බලාගෙන හියාම , මෙන්න මෙහෙම කලොත්:

මේක මං හොයා ගත්ත දෙයක් නෙමෙයි. .සම්පූර්ණ තොරනේ විස්තරේම  මෙතන  තියනවා .

ඔරිජිනල් ක්‍රමේ තියෙන්නෙ. blogger template එකේ script  එක මොඩිෆයි කරන විදිහට. ඔහෙලට කියන්න, ඕක ටිකක් බයානක වැඩේ. පොඩි වැ‍රැද්දක් එහෙම වුනොත් " සදා සොත්ති බවන්තුතේ" තමයි. ඇත්තටම මට එහෙම වෙලා තියනවා.

මෙන්න මගේ ක්‍රමේ. මහප්‍රාණ නෑ . කිසිම රිස්ක් එකක් නෑ , බොහොම සරලයි:

ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලා පහත පිලිවෙලට කොටාගෙන, කොටාගෙන යන්න.

ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලාsettings වල තියන layout page එකට යන්න. ඔතන තියනවා "Add a Gadjet" කියලා එකක්. ඇත්තටම තැන් හතරක් තියනවා. අපි මේ කරන්න යන දේ නං පහලම තියන එකක් ‍තෝරා ගත්තත් කාරියක් නෑ..

image

ඔය "Add a Gadjet" එකකට කෙ‍ටුවාම එනවා මෙන්න මෙහෙම එකක්image

. දැන් තියෙන්නෙ ඔය ලිස්ට් එක පහලට scroll කරගෙන යන එකයි. එතකොට හම්බු වෙයි " HTML/JAVA Script" කියල එකක්. අන්න ඒකට කොටන්න. දැන් එයි මෙහෙම කො‍ටුවක්. හෙඩිමට මුකුත් ලියන්න ඕනෙ නෑ. "Content" වලට මං මේ පහත දෙන කොඩ් කෑල්ල අලවලා, මතක ඇතුව "save" එකත් ඔබලා "logout වෙන එකයි තියෙන්නෙ.

image

මෙන්න අලවන්න ඕන කෝඩ් කෑල්ල:

<script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/></script>



දැං මේක වැඩකරන විදිහ:

අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML  ටිකක් විතරනෙ. දැන්, අපිට එයිට අමතර  HTML   සෙට් එකකුත් ලැබෙනවා. සම්පූර්ණ සෙට් එකම ඕනෙ නං අර ඔරිජිනල් සයිට් එකෙන් බලාගන්ට. මට නං වැදගත්ම එක පිංතූර. දාන්නෙ මෙහෙමයි:
කොමෙන්ට් සාමානය විදිහට කොටලා, දාන්න ඕනෙ පිංතූරෙ URL නැත්නම් web address එක කොපි කරහෙන. , පහත විදිහට දානවා, එච්චරයි :)

[im]URL[/im]

Saturday, December 21, 2013

බස්සා සහ කොබෝ නයෙක්






කණ පැලෙන්න සීතල. කාල- ගුණේ අයියා මේ සැරේ නං දෙනව අපිට ඇස්ටි හැලෙන්න. ඕං මේ හීතල උදේක, මං බෙනේ අස්සට රිංගලා හොඳට හරි බරි ගැහිලා, දෙයියනේ කියලා ඇහැ පොඩ්ඩක් පියා ගන්ට ලෑස්ති වුනා.

මට ඇහෙනවා කව්දෝ "ෂූ..., ෂූ" ගානව. මාත් කම්මැලි කමට , තවත් හොඳට පිහා‍ටු පුම්බගෙන, නෑහුනා වගේ හිටියා. මෙන්න බොලේ ඒ වංගියෙ මයෙ කණ ගාවින්ම සද්දෙ ආපි. මං එක ඇහැක් ඇරල බැලුවා

හුටා, නයි කයිද රෝස් පාං කිව්වලු! , මෙන්න බොල නයි තඩියෙක් බෙනේ ලඟ අත්තෙ එතිලා මට පෙනේ කරනවා. මට හීං දාඩිය දැම්මා.


"නමස්කාර්"


" මං නමස්කාර් නෙමෙයි, බස්සා. අනේ පිං ඇති නයි හාමි. මේ අහිංසක පක්සියාව බය නොකර යන්න. මෙහෙම හිටියට ඇඟේ මස් කලඳක් නෑ, පිහා‍ටු විතරමයි"

" හෙහ්, හෙහ්, මං බ්රෙක්ෆස්ට් එක අරගෙනයි ආවෙ. මං ආවෙ ඔහේව ගිලින්න නෙමෙයි, රාජකාරියකට, පැමිණිල්ලක් විභාග කොරාන්ට"


"ඒක මිසක්කා. පැමිණිල්ලක් කිව්වා? මේ මට විරුද්දව? කව්ද ඒ නොසන්ඩාල වැඩේ කරපු අලුගුත්තේරුවා?"


" පැමිණිලි කරල තියෙන්නෙ මීයො කස්ටියක් - ඇනෝ මවුස්ලා"


"ඕක බොරු පැමිණිල්ලක්, නයි රාලහාමි. උන් මාත් එක්ක තරහයි"


" නයි රාළහාමි? මං ඔය සාමාන්‍ය නයෙක් නෙමෙයි. අපි කොබෝ නාග වංසෙ.
 ඉස්පැසල් එජ්න්ට් කොබා. පැමිණිල්ල බොරුද නැද්ද කියල බලන්න තමයි මං ආවෙ. තුමාරා නාම් ක්‍යා හේ - පූරා නාම්?"


"සෑර් හිමාලයෙන් නේද? මං අහල තියනවා. පියාඹගෙනද ආවෙ?සෑර්, අයි ඩෝං නෝ මෙලෝ දෙයක්, හිංගලෙන් නං ඕන දෙයක්"


" සොරි, තමාගෙ සම්පූර්ණ නම කියමු බලන්න?"


" උප්පැන්නෙ තියෙන්නෙ DGM බස්සා කියලා- දොරකඩ ගහේ මූකලං බස්සා"


" හරි, දැං තමාට තියෙන පලමු චෝදනාව: තමාගෙ වංසෙ කබල්ගෑම "


" මං කබල් ගාපු වංසයක් නෑ. අපි උභයකුල පාරිශුද්ධ බකුසු වංසෙ. ඉතිං මං බස්සෙක් නොකියා ගිරවෙක් කියල කියන්නයෑ? දැං , සර් උනත් කිව්වෙ, මං සාමාන්‍ය නයෙක් නෙමෙයි, කොබෝ වංසෙ කියලා.සර්ට ඔනෙ නං දාගන්ට, 'දකුණේ බොදු , කරාටේ උගත්' කියලා. මං නං එදත් බස්සා, අදත් බස්සා"


" හරි ඒක ඇරිච්චාවෙකො. එතකොට තමාගෙ හමේ පාට ගැන උදම් ඈණීම?"


"උදම් ඇනිල්ලක් ගැන නං දන්නෙ නෑ, සර්. මං පැණි පාටයි. පැණි පාටට , ගොඩක් අය කැමතියි. ඒක මයෙ වැරද්දයෑ?"


" නෑ, නෑ, මේකෙ තියෙන්නෙ සුද්දොන්ගෙ වගේ සුදු පාටයි කිව්වය කියලා"


" සෑර්, ඒ මං නෙමෙයි. වෙන කෙනෙක්. අනික එයා සුදුම නෙමෙයි, හෙල්මැලි පාටයි, පාණ්ඩු පාටයි -ප්‍රියංකා චොප්රා වගේ. බලන්ට එපෑ, ප්‍රියංකට මොනවත් කිව්වොත් එයෑයිට යන ඩෝං, මයෙ ත‍ටු ගලෝනව කිව්වා. එත් මං නං කැමති, පැණිපාට දීපිකාට :)"


" හරි, නේන්නං, ඒක ප්‍රින්ටින් බිස්ටේක් එකක්. එතකොට, තමාගෙ ඉහළ මධ්‍යම පන්ති සමාජ තත්ත්වය ගැන ඉඟි කිරීම. චෙරීස්- බෙරීස්, හැම් , බේකන්, චීස් ආදී ඉහළ පන්ති ආහාර ගැන කතා කිරිම. මං අහන්නෙ, ඇයි, කරවල, කොස්, දෙල් වගේ දේශීය ආහාර කන්න බැරි"

" සර් මේ මඟුලක් කියනවා. මං දුප්පත් බස්සෙක්. මෙහේ, කරවල, කොස්, දෙල් අස්ප ගණන්. අපි වගේ දුප්පතුන්ට කන්න ලාබෙට තියෙන්නෙ දේවල් ගැන තමා මං කිව්වෙ"

" හා, හා බස්සො, කට, කට, හොට, හොට. මං කියන්නෙ, ඔය ලියන කොට ඔය දේවල් එහෙම්මම නොලියා පොඩ්ඩක් දේශීය උරුවට ලියනවකො. නැත්නම් අපේ මේ සංවේදී දේශීය බ්ලොග් කියවන්නන්ගෙ හිත් රිදෙනවනෙ. ඔය අයිස් වැස්සට තෙමිලා හෙම්බිරිස්සාව හැදුනා වෙගේ දේවල් වෙනුවට, මල් වැස්සට තෙමිලා උණසන්නිපාතය හැදුනා කියල ලියනවකො"

" එතකොට මෙහෙ ඉන්න මූස්, කැරිබු වගේ මයෙ අසල්වාසියො ගැනත් ලියන්න එපාද?"


" දේශීයකරණය අයිසෙ,දේශීයකරණය. මූස්ට දානව 'අං දිග ගෝණා' කියලා. කැරිබු - මීමින්නා, අහවරයි නෙව"


" අනේ මන්දා සර්. බලාගෙන ගියාම, මට මේ සංවේදී දේශීය මීයොත් එක්ක මේකෙ ලියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ, ඔය කයියක් දෙකක් ඇරෙන්න?"


" ඔහේ කවිත් ලියනවද? කියමු එකක් බලන්න"


අඳුරු ලලා වහිනා කල පිට ඔ‍ටුවම තෙමෙන්න
ලතා මඬුලු අත වැනුවොත්, පණ එපා කියල දුවන්න
දුවන ගිරියෙ,ඉස්සො වඩේ බදිනවදැයි බලන්න
මට නොලැබෙන මසල වඩේ, ඔබට හැකිය ගිලින්න

අම්පාරට පායනවද, වහිනවදැයි කියන්න
මට නොපෙනෙන, ඒ මල්වැසි ඔබට හැකිය දකින්න




"" ඔය තියෙන්නෙ. අල වගේද ගෝව. ආන්න එහෙම ලියනව අපේ දේ අගේ කරල"


"සෑර්. ඒක නෙමෙයි. සීතල යන්නත් එක්ක කෝපි එකක් බොමුද?"


"කෝපි එපා"


" හරි, සැර්ල කෝපි නෙමෙයි බොන්නෙ චායි නෙව. ෂහ්, මා ගාව එව්ව නෑනෙ. මොකද කියන්නෙ,ෂැන්ඩි ටිකක් දාලා හීනියට බ්‍රැන්ඩි සොට් එකක් නමමුද?"


" ෂැන්ඩි එපා"

බ්‍රැන්ඩි සොට් දෙක දාන කොට කොබා නිකම්ම දේශීකරණය උනා, පෙනේ තාලෙට දෙපැත්තට වැනෙන්න ගත්තා.

" මචා.......න්, බෂ්ෂො. උඹ බයවෙන්න එපා. මං ලියන්නං මයෙ රිපෝට් එකේ, මේ චෝදනා සියල්ලටම උඹ නිවැරදිකරු කියලා. එහෙනං අපි කැපුනා, සනා. නමෂ්කාර්"

එහෙම කියපු කොබා. අත්තෙන් ගුවන්ගත වුනා. පියෑඹීම කෙසේ වෙතත්, තලපතා පොලේ ගැහැව්වා වගේ කෙලින්ම බිමට දෙරි ගහපු කොබා, කෙඳිරි ගගා පඳුරු අස්සෙන් ඇදිලා ගියා.

මං හිතන්නෙ පොරට ටේක්-ඔෆ් එක අප්සෙට්. නැහ්නං , මූ මට ඇරියෙ නයෙක් වත්ද? 



ප.ලි:
අයිස් වැහි කියන්නෙ නයි කියල හිතෙනව නං, ඔය පහල පිංතූර බලන එකයි තියෙන්නෙ. මේ ඊයෙ රෑ කාල-ගුනේ අයිය කර්පු වින්නැහිය. ලෝකෙ පෙරලෙනව කිව්වත්, මාව බෙනෙන් එලියට අදිනව නං බොරු :)
























මෙන්න නත්තලට ගස් වලට දාපු අයිසිං. දැන් වැඩේ සම්පූර්ණයි :)