Saturday, April 4, 2015

ගොයම් මැස්සෝ සහ සිත්තරපටි බස්සෝ




බොහොම කාලෙකට ඉස්සර කියවපු කතාවක් කෙටි මතක් වුනා. කතාවෙ නම නං මතක නෑ, මයෙ හිතේ ඩබ්ලිව් ඒ සිල්වා මහත්තයා ලියපු කතාවක්ද කොහෙද:





එක ගමක ඉන්නවා යමක්  කමක් තියෙන මුදලාලි කෙනෙක්. ඉස්සරහා ගෙදරට එනවා ඒජන්ත උන්නාන්සෙ කෙනෙක්. මේ  යටත් විජිත කාලේ කතාවක්. ඔය වකවානුවෙ, ආණ්ඩුවෙ ඒජන්ත කියන්නෙ , බොහොම ලොකු සිවිල් බලයක් තිබ්බ තනතුරක්.  මුදලාලියා ටිකක් නාහෙට නාහෙන ගොබිලෙක්, ඒජන්තව සත පහකට ගණන් ගන්නෙ නෑ. ඊටත් වඩා ඒජන්තට  ඉවසන්න බැරි, පුරුද්දක් මේ මුදලාලිගෙ තියනවා. සති අන්තෙ කියන්නෙ,  ඒජන්ත  එයාගෙ වැදගත් යාළුවොන්ව ගෙදරට කැඳවලා සතු‍ටු සාමිචියෙ යෙදෙන දවස.මුදලාලියා මේ  වැඩේ පටන් ගන්නෙ එදාට.




ඉරිදා මුදලාලිගෙ නිවාඩු දවස. මුදලාලි උදේම නාගෙන එනවා ඉස්තෝප්පුවෙ හාන්සි පු‍ටුවට. ලඟ තියෙන කනප්පුවෙ  තියාගන්නව, බැදපු අල පීරිසියකුයි, නැ‍ටුං තෙල් බාගෙ බෝතලයකුයි. තව තියනවා රේඩියෝ කට්ටකුත්. සද්දෙ වැඩිවෙන්න රේඩියෝව දාගන්න මුදලාලි , කකුල් කෙටි දෙකත් හාන්සි පු‍ටුවෙ ඇඳි දෙක උඩ තියාගෙන  වන, වන දැහැන් ගත වෙනවා.



තමන්ගෙ වැදගත් මිතුරන් ඉස්සරහා මේ  මුදලාලියාගෙන් වෙන මදි පුංචිකමට කර කියාගන්න දෙයක් නැතුව ඉන්න එජන්ත තැන, දහ අතේ කල්පනා කරලා ගහනව ප්ලෑනක්. මුදලාලිට දෙනවා, මොකක්ද ගරු තානාන්තරයක්.  ඒක ට්‍රෝජන් අස්පයක්. දැන් මුදලාලියා ඉන්නෙ එජන්ත යටතේ, පහුවෙනි  ඉරිදා සුපුරුදු ආතල් එක ගන්න සෙට් වෙන මුදලාලියාට කතා කරන ඒජන්ත මෙහෙම කියනවා" අයිසෙ, අපි මේ වැදගත් සාකච්චාවක් කරන්නෙ, වහල දානවකො ඔහෙගෙ ඔය කං කරච්චල් රේඩියෝව". එතකොටයි මුදලාලිය තේරෙන්නෙ එජන්ත ඇරපු ඇරිල්ල :)



මං මේ කතාව කිව්වෙ , මගෙ සති අන්ත සිත්තර පටි බලන සෙටප් එකත් ටිකාක් ඒ වගේ නිසා. මං සිත්තර පටි බලන්නෙ කොම්පීතරේ. ඇඳි පු‍ටුවෙ දිගෑදිලා,  කකුල් දෙක තියාගන්නවා බංකුව උඩ. දාගන්නවා හෙඩ් ෆෝන් දෙක. 



ඔය සිත්තර පටිවල සවුන්ඩ් කියන එක බොහොම වැදගත්. ඕකෙ තියනවා නෙව "ඩයිනමික් රේන්ජ්" කියලා උලව්වක්. ඒ කියන්නෙ , අඩුම සද්දෙ ඉඳලා , වැඩිම සද්දෙට තියෙන පරාසය. අපි සිත්තර පටි බලන්නෙ මැද සාලෙ නං, වොලියුම් ටිකක් වැඩිකරලා තියන්න වෙනවා, මොකද නැත්නං අර අඩුම සද්ද නෑහෙන නිසා. දැං එහෙම වොලියුම් සෙට් කලාම, හිටපු ගමන්  අර වැඩි සද්ද එනවා තැපැලෙන්, ඔලුවට පොල්ලෙන් ගැහැව්ව වගේ .  එතකොට අල්ලපු ගෙදර එකා කෝල් කරනවා පොලෝසියට.



ඔය පුරස්නෙ නිසා ටීවී වල තියනවා සෙටින්ග් එකක් ඔය ඩයිනමික් රේන්ජ් එක සප්ප්‍රෙස් කරන්න. එතකොට පොලොසියෙන් එන්නෙ නැ, හැබැයි අර කික් එක එන්නෙ නෑ. ඔය පුරස්න නිසා මං පාවිච්චි කරන්නෙ හෙඩ් ෆෝන්. මයි කාර් - මයි පැස්ටෝල් -මයි  හෙඩ් ෆෝන්.



කොම්පීතරයක් කියන්නෙ සිත්තර පටි බලන්නම හදපු මැසිමක් නෙමෙයි නෙව. හොඳ බ්ලු-රේ කොපියක් බාගත්තාම වීඩියෝ වල අවුලක් නැති වුනාට , සවුන්ඩ් පැත්ත ටිකක් දියුණු කරගන්න වෙනවා. ඉස්සෙල්ලාම හොඳ කොපියක් වෙන්න ඕනෙ. ඒකනෙව බ්ලූ-රේ බාන්නෙ. AC-3 කියන සවුන්ඩ් ෆෝමැට් එක හොඳා.

ඊලඟට අවශ්‍ය වෙනවා AC-3  හාඩ්වෙයා සපෝට් එක තියෙන සවුන්ඩ් කාඩ් එකක්. එව්වා ටිකක් ගණන්. හොයා ගත්තා , යාළුවෙක්ගෙන් රෙපෙයාර් එකකට ඇවිත් ඉතුරු වෙච්ච පරණ සවුන්ඩ් බ්ලාස්ටර් කාඩ් එකක්. හයි කලා, ඒත්  ඩ්‍රයිවර්ස්  තියෙන්නෙ XP වලට විතරයි. ඒක තමා මැනුෆැක්චර්ලගෙ ගේම, ඒ කියන්නෙ ගනින් අලුත් එකක් කියලයි. හහ්, මං ගනියි එව්වා, මං ලංකාවෙ බස්සෙක් නෙව. 



 Daniel_K කියන අපූරු හාදය ලියල තියනවා මේවගෙ  පරණ කාඩ්වලට ඩ්‍රයිවර් එකක්. දැම්මා ඒක, ඔක්කොම  නැති වුනත්, අවශ්‍යම කරන ටික වැඩ. දැං අවශ්‍ය වෙනවා හොඳ හෙඩ් ෆෝන් එකක්. නෑ, නෑ අර අස්ප ගණන් වල එකක් නෙමෙයි, ඒත් තරමක් හොඳ තත්ත්වයේ එකක්.



සේල් දාලා තියෙන වෙලාවට , හාෆ් ප්‍රයිස් වලට ගත්තා මේක. ue 4000හොඳ භාණ්ඩෙ. සැබෑ වෙනසක් තියනවා. කලින් නෑහිච්ච සද්ද ඔක්කොම දැන් ගාණට ඇහෙනවා.Logitech   හෙඩ් ෆොන් ගැන  වගකියන්න බෑ, ඒත් මේක හදන්නෙ එයාල නෙමෙයි. එයාලා මිලදී ගත්ත වෙන කම්පැණි එකක් . අර UE කියන්න එකයි. වටේ තියෙන පැඩින් එක මෙමෙරි ෆොම් වගේ නිසා කණ් සීල් වෙන්න සෙට් වෙනවා. සෑගෙන ගාණකට බේස් තියන්වා. හෙඩ් ෆෝන් වල දුර්වලම කොටස තමා වයර් එක. මේකෙ  ඒක වෙනම ප්ලග් කරන්න පුළුවන්. මං පාවිවිචි කරන්න on-line  එකයි පනහ ගානෙ සැට් එකක්ම ගෙන්න ගත්තා. නෑ, නෑ එකයි පනහ, හෙඩ් ෆෝන් නෙමෙයි, වයර් :)












මේකෙ UE 6000 එහෙම ගන්න නං එපා, ඒක අස්ප ගණන්. එකම වෙනස මේක on ear වර්ශන් එක. මුලදි ටිකක් අපහසු වුනාට පුරුදු වුනාම හරියනවා, Over the ear එව්වා වගේ කන් රත් වෙන්නෙ නෑ.



මං හැම සිත්තර පටියම හයි කොලිටිම බාන්නෙ නැ. කතාව හොඳටම අල්ලලා ගියොත් විතරක් හොඳම කොලිටි එකෙන් ආයෙ බාලා කලෙක්ෂන් එකට දානවා. ඒත් පුළුවන් හැම වෙලාවෙම AC-3 තියෙන කොපියක් බාන්න බලනවා, ඒ සවුන්ඩ් මට වැදගත් නිසා.



එක එක්කෙනාගෙ රසය වෙනස්. ඒත් මගේ  ටයිප් එකේ සිත්තර පටි දෙක තුනකුත් ලියලම දාඤ්ඤං ඈ.




ලඟදිම කලෙක්ෂන් එකට දැම්මෙ:



Ram-Leela



සම්භාව්‍ය ගණයේ එකක් නං නෙමෙයි, ඒත් මං කැමතියි. හරිම වර්ණවත් . සංගීතය සහ දර්ශණ අතින් බොහොම ඉහළයි.







 තව දෙකක්:



Outlander

Centurion



ඔය අන්තිම එක ඇත්ත සිද්දියක් ඇසුරින්  හැදුනු කතාවක්.  Ninth Legion කියන්නෙ බ්‍රිතාන්‍යයේ උතුර අක්‍රමණය කරන්න ඇරපු රෝම හමුදාවක්. සැහෙන විසාල බල ඇණියක්. ගියා ගියාමයි, එහෙම්ම අතුරුදහන් වුනා. අදටත් හරියට දන්නෙ නෑ , මොකද වුනේ කියලා. ලස්සන කතාව. බලන්න.



තව දෙකක්, පරණ වුනත් මසුරං වටිනවා



The Bucket List

The Shawshank Redemption



ආ අර ගොයම් මැස්සා, මේ නිකම් නම රයිම් වෙන්න දාපු එකක්. හැබැයි, " ඕකා ඔය පිහා‍ටු පුම්බං හිටියට මැස්සො බීපු ගොයම් ගහවගේ,  රෝස් කරලත් වැඩක් නෑ, ක‍ටුම විතරයි" කියල නං රට්‍ටු කියල තියනවා :)



පුඩිම : බොහෝවිට අපට අපූරු සිත්තරපටි ඔත්තු බෙදන කුරුමිණියාට



Friday, April 3, 2015

නරි දඩයම


අර බ්ලොග් වසංගතයා ද මොකක්ද එකක් තියනවා නෙව? ඉතිං අපිත් මොකක් හරි වංචාවක් කරන්න එපෑ? 



මේක මේ කෙටි කතාවක්. 








http://wallpaperswa.com/thumbnails/detail/20120331/snow%20animals

%20fox%20jump%201920x1200%20wallpaper

_www.wallpaperhi.com_48.jpg
















http://i.dailymail.co.uk/i/pix/2014/12/05/23C3CFE500000578-0-image-a-116_1417789652073.jpg













http://i.dailymail.co.uk/i/pix/2014/12/05/23C3
D03C00000578-0-image-a-115_1417789652064.jpg








http://i2.mirror.co.uk/incoming/article2874180.ece/alternates/s2197/£££ONLINE-EMBARGO-UNTIL-0001-21213.jpg







http://cdn.iwastesomuchtime.com/1292013090851.gif





Sunday, March 15, 2015

හිටවන කවි






සතියේ දිනවල  බස්සා 

සරල අනුවර්තී චලිතයක

ජීවිතේට කිසිම අලුත්

ගැම්මක් නෑ බං 



යංතං ඇති,අද ඉරිදා

වැඩට යන්නෙ හෙට සඳුදා

කඩල කකා දෙකක් නැමුවෙ

ඒක නිසයි බං



බොරු කියන්නෙ  මොකටෑ බං

හි‍ටු කියලා මරාගත්ත

සුනාමි කාලෙත් ඉඳහිට

මතක් වෙනව දැං



වලියක් නැති ජීවිතයත්

පරිප්පු නැති හෝටලයක්

කියල කව්ද ගල් ඉබ්බෙක්

කිව්ව නේද බං



පල්ලම ඉවරයි දැන්නම්

නිශ්චිත නෑ ඉදිරියෙ මග

ඇන්ජිම නැවතිලා වගෙයි

ගෑසුත් නෑ බං



හොඳ වෑයින් පයින් එකක්

දෙන්න ඕනෙ මයෙ පස්සට

ඇංජිම කික් ස්ටාර්ට් වෙන්නෙ

එතකොට නෙව බං



කිව්වා වගේ නෙවෙයි බොලේ

වැඩේ අමාරුයි කරන්න

බස්සට පොඩි හැලුප් එකක්

දෙන්න බැයිද බං





Friday, February 27, 2015

වඳුරු කතාවක් සහ සිංදුවක්








ඔහෙලා දන්නවද  බස්සො පැවත එන්නෙ වඳුරන්ගෙන් බව? කව්ද කිව්වෙ ඇහැව්වා? නෑ ,නෑ චාර්ලිස් ගොයියා නෙමෙයි. එයා කිව්වෙ  ඒ මිනිස්සු ගැන නෙව?  අපි පියාඹන වඳුරො ජාතියක්ලු, ඔව්වා ගැන හොඳට දන්න හාදයෙක් තමා කිව්වෙ.



මං ඒත් කල්පනා කලා ,මට ඔය නොදන්න යමක් හම්බ වුනාම , මන්කි බිසිනොස් කරලා එව්වා චකබ්ලාස් කරන්නම හිතෙන්නෙ ඇයි කියලා?  දැන් තේරෙනව නෙව? ඕක මයෙ නෙමෙයි, ජම්මෙ වැ‍රැද්ද බව?



වඳුරයි කිව්වම, කතාවක් මතක් වුනා. මේක මේ  නඩු විභාගයක් ගැන කතාවක්:




http://activerain.trulia.com/

image_store/uploads/6/4/0/3

/8/ar123198792083046.jpg



නඩුකාරයා: මොකක්ද පැමිණිල්ල?



පැමිණිලිකරු: ස්වාමීනි, මේ විත්තිකාරයා  කිසිම හේතුවක් නැතුව මගෙ  හොම්බට ඇන්නා




නඩුකාරයා( විත්තිකරුට): යුශ්මතා වරද පිලිගන්නවද? ඇයි එහෙම හේතුවක් නැතුව පැමිණිලිකරුට පහර දුන්නෙ?




විත්තිකරු: වරද පිළිගන්නවා ස්වාමීනි. ඒත් හේතුවක් ඇතුවයි පහර දුන්නෙ. මේ පැමිණිලි කාරයා මට අවුරුද්දකට ඉහත චිම්පන්සියා කියල බැන්නා




නඩුකාරයා: ඉතිං ඇයි මනුස්සයෝ, ඒකට අවුරුද්දකට පස්සෙ ගැහැව්වෙ?




විත්තිකරු: මම ගිය සුමානෙ සත්තුවත්තෙදි තමයි ඉස්සෙල්ලාම චිම්පංසියෙක් දැක්කෙ




ආන්න බලාන්න, එහෙව්, දැකුම්කලු සත්තු ජාතියක් තමා වඳුරො. ඒ නිසා  , අපිට පියාඹන වඳුරො කියනව කියන එක ආඩම්බරයක්.මං පොඩි කාලෙ , ඔය චිම්පන්සියි, ඉස්පන්චියි අතර පොඩි පටලැවිල්ලක් තිවුණා. පස්සෙ මුලින්ම චිම්පන්සියෙක් දැක්කාම ඒක හරි ගියා



දැං මේ සමහරු බනිනවා නෙව, පොස්ට් කොට දානව කියලා. ඇයි දෙයියනේ ලියන්න දෙයක් නැහ්නං වෙන මොනවා කරන්නද? ඕන්න අද නං දිග පෝස්ට් එකක් ලියනවා කියලා පට්ටාං ගන්නවා, ලියාගෙන , ලියාගෙන යනකොට මඟදි හිර වෙනවා.  ආයි ඉතිං මොනවද, ආයෙ නෝ හෙල්ලුං, අර කූඤ්ඤෙ ගලෝපු වඳුරා  හිරවුනා වගේ තමා. දැං ඔහෙලට තේරෙනව නේද හේතුව? මෙව්වා අපේ ජම්මෙ වැරුද්ද බව?



දැං බලාන්ට. ඔහෙලා  අහල තියනව නෙව සිංදු? ඔය හැම සිංදුවකම වගේ  පේලි හතරෙ  කොටස් තුන හතරක්වත් තියනවා නෙව? එහෙම නැහ්නං, එකම  දේ රිපීට් කරල හරි  කොටස් ගාණ සම්පූර්ණ කරනවා නෙව? ඒත් ඔහෙලා අහල තියනවාද  පේලි හතරෙ එකම කොටසක් විතර තියෙන සිංදුවක්.  මොකෑ නැත්තෙ? එහෙම එව්වත් තියනවා. මට  හිතෙන්නෙ මේකෙ ගීත රචකයාත් , මං වගේම ලියාගෙන, ලියාගෙන යනකොට හිරවෙච්චි හාදයෙක්.මිනිහා සැලුනද? නැ, නෙව, හැදුව සිංදු කොටයක්. ඔය තියෙන්නෙ යස අගේට. එහෙම නං මටත් බනින්න එපා පෝස්ට් කොට දානව කියල. අහලා බලන්නකො, ලස්සන සිංදුව, කාගෙද කියල නං දන්නෙ නෑ







Monday, February 9, 2015

කවුළු පියන්පත් වැසෙන වෙලාවට...


ටැක්නිකල් පෝස්ට් වලට අර නැට්ට නැති කස්ටිය කැමති නැති නිසා, හිතුන හයිබ්‍රිඩ් පෝස්ට් එකක් ලියන්න.එහෙමයි කියලා කතාවට හේතු වෙච්ච කාරණාව අමතක කරන එක හොඳ නෑ නෙව.




මම සිංදු අහන්නෙ වැඩට යන එන කොට තමයි. ඒත් අපේ  පරණ බරබාග වල තියෙන රේඩියෝ වල USB ඉන්පුට් එකක් නෑ.තියෙන එකම ඔෆ්ෂන් එක FM ට්‍රාන්ස්මීටර් එකක් තියෙන ගැජමැටික් එකක් අරගෙන රේඩියෝ එකේ  පාවිච්චි නොවන ස්ටේෂන් එකකට ටියුන් කරගන්න එකයි.

මේ වගේ ගැජමැටික් සෑහෙන ගණනක් ටැස්ට් කරලා (හයියෝ ෂල්ලි), අන්තිමට හිතට හරියන එකක් ලැබුණා. හොඳ භාණ්ඩෙ. බ්ලූටූත් එහෙමත් තියනවා.වැඩේ කෙලවුනේ දවසක් ෆෝන් එක කනෙක්ට් කරගෙන GPS දාගෙන නොදන්න තැනක් හොයාගෙන යන්න ගිය වෙලාවෙයි. මේ කියන ගැජමැටික් එක ඔන් කලාම , ගෑණු කටහඬකින් " පවර් ඔන්, කනෙක්ට් යුවර් ෆෝන්" වගේ මොකක්ද උලව්වක් කියනවා. ඒක කමක් නෑ කියමුකෝ.



මේ කියන දෛවෝපගත දවසෙ, බසු මොටා, GPS පිහිටෙන් අර කියපු තැන හොයාගෙන හැටට හැටේ යනවා කියමුකො. දාගත්තා සිංදුවකුත්, ඒක අවුලක් නෑ, එක්සිට් එක ගන්න කිට්‍ටු වෙනකොට සිංදුවෙ සද්දෙ අඩුවෙලා GPS කියනවා ලේන් මාරු කරන්න, ඉස්සරහා හරවන්න වම, දකුණ කියලා. 



ඔන්න එක්සිට් එකට කිට්‍ටු වුනා. GPS විස්තරේ කියන්න කට ඇරියා විතරයි, අර ගැජමැටික් එකේ ගෑණු පරාණෙ කියන්න ගත්තෙ නැතෑ " ෆෝන් වන් කනෙක්ටඩ්, ඉන් කමින් කෝල් ෆෝන් වන්" වගේ මොකක්ද හෑල්ලක්. මට එක්සිට් එක මිස් වුනා. ඊළඟ එක්සිට් එක තියෙන්නෙ තව කිලෝමීටර් හතර, පහකට එහා. ඉඩ ලැබිච්ච ගමන් හැරෙව්වා අතුරු පාරකට. ගැලෙව්වා ගැජමැටික් එක. දැන් නිකං ෆෝන් එකෙන් අහගෙන ගියා යන්න ඕනෙ ගමන.



එහෙමයි කියලා අපි සැලෙනවද? නෑනෙ, හොයලා, හොයලා ebay එකෙන් ගෙන්න ගත්තා මෙන්න මේක.














වැඩි ගාණක් නෑ. කියල තියන විදිහටම වැඩ. හයි කරන්නෙ මෙහෙමයි:











ඔය වීඩියෝ එකේ ඉන්න හාදයා, රේඩියෝ වල පස්සා පැත්තේ , වයර් ගහලා හොඳට පුරුදු හාදයක්, ඒ නිසා එයා එකපාරින් එහෙම කලාට , වැඩේ එච්චරම ලේසි නෑ. හැබැයි, බැරිත් නෑ. කනෙක්ටර් එක ඇඟිලි දෙකක් අතර රඳවාගෙන, ඉවසිල්ලෙන්  උත්සහා කලාම, ගොඩ දාගන්න පුළුවනි.



අමාරුවෙන් හරි කනෙක්ට් කලාම , ලැබෙන වාසි:



1. FM මැතඩ් එක වගේ නෙමෙයි, සිංදු වල හොඳ කොලිටි



2. රේඩියෝ කන්ට්‍රෝල් බටන් වලින්, සිංදු මාරු කරන්න, සද්දෙ අඩු, වැඩි කරන්න ඇහැකි. ෆෝන් එකෙන් සිංදු පටන් ගන්න අවශය නෑ, රේඩියෝ පවර් ඕෆ්, ඔන් කරපු ගමන්, කලින් නවත්තපු තැන ඉඳලා සිංදුව පටන් ගන්නවා



3. ෆෝන් එකත් චාර්ජ් වෙනවා. මේක හරි වැදගත්. දුර ගමනක් GPS පිහිටෙන් යනවා නං, ෆෝන් බැස්ටිය බහිනවා බලා ඉන්දැද්දි.



4.අර ගෑණු පරාණ වල කං කරච්චලේ නෑ :)



කලින් කොළඹ යුගයේ කවි ගැන කියන්න ගිහිල්ලා, මයෙ ත‍ටු සැට් එක ගලවගන්නෙ නැතිව යාංතං බේරුනා. මේ සැරේ කියන්නෙ සිංදුවක් ගැන.






http://www.goodhousekeeping.com/cm/
goodhousekeeping/images/0C/attic-storage-de.jpg

මේ සිංදුව මං මුලින්ම ඇහැව්වෙ, බොහොම කාලෙකට ඉස්සර, දවසක අයියගෙ යාළුවෙක්ගෙ ගෙදරදි. ඒක පරණ ගෙදරක්. මැද සාලෙ ලෑලි සිවිලිමක් තිබුණා. යාළුවගෙ කාමරේ තිබුණෙ, ඒ සිවිලිම උඩ, වහලත් , සිවිලිමත් අතර පොඩි කාමරයක්, මෙන්න මේ වගේ:



රවුම් ජනේලෙකුත් තිබුණා. දැක්ක ගමන් මයෙ හිතට අල්ලලා ගියා. බස්සෙකුට කියාපු තැන. එයා ඔය සිංදුව දාලා, ඒ ගැන මොකක්ද විචාරයකුත් කලා. ඒ වෙලාවෙ ගොම්මං අඳුර වැටෙන වෙලාව. තැනයි, පරිසරයයි, සිංදුවේ  හිත නිවන ගතියයි නිසා, ඒක අදටත් නොමැකෙන ලෙස බකුසු මතකයේ ‍රැඳුනා.














මෙහෙ වුනත්, සමහර ගෙවල් වල, ඔහොම ඇටික් කාමර තියනවා. සමහරු එව්වා ලස්සනට හදලත් තියනවා. ඒත් මයෙ හිතේ, සීත කාලෙට නං, අමාරු ඇති. බොහෝවිට, එව්වා ගබඩා කාමර විදිහට පාවිච්චි කරන්නෙ , එක නිසා වෙන්න ඇති. ඒ මොන ප්‍රශ්ණ තිව්වත්, අදටත් බස්සො, එව්වයෙ  කූඩු හදනවා











Sunday, February 1, 2015

කොළඹ යුගයේ කවි සහ අපේ ගමේ විත්ති






http://lankapura.com/wp-content/uploads/ 2009/04/banyan-tree-at-kalutara.jpg


කොළඹ යුගයේ කවින්ට , මම බොහොම කැමතියි. මට හිතෙන්නෙ  අපේ කවියේ ස්වර්ණමය යුගය කොළඹ යුගය කියලයි. ඒ කාළෙ කවි මඩු , තරග වගේ එව්වත් තිබිල තියනවා.ඒ ඇරුනම  මාසික කවි සඟරා පවා තිබිල තියනවා. අපේ මේ කවියො හිටිවන කවි කියන්න රුසියො. කවියෙක්ගෙ මඟුල් ගෙදරකට ගිය මාකඳුරේ කවියා සභාව මැද මෙහෙම කිව්වලු:




මල්ලව උරා බොයි මල් කැකුලක           රේණු

හතාගොඩත්   හැඬවිය  මංගල            සීනු

උඳුවප් දුරුත්තේ සීතල බෑ                වානු

මොකටද කුඩලි, මේ කාලෙට නැති      ගෑනු


ඒකට පිලිතුරු කවිය කිව්වෙ,එවකට තනිකඩයෙකු වූ කුඩලිගම කවියා:




තිබහට වතුර කළයක් ඇදගනු                මිසක

ඒ ලිඳ තඩලන්න කිසි විටකදී             නොහැක 

කිරි අවැසි නම් වීදුරුවක් හෝ              දෙකක 

රස බලනවා මිස කීම මේ එළ              දෙනක  








තවත් මම කැමති කවියෙක් තමා මීමන ප්‍රේමතිලක. එයට හේතුව,  වික්ටෝරියානු සදාචාරයත්, " බොනවද දහම් පැන්, නැත්නම් පොවන්නද? "  සිහල බොදු මානසිකත්වයත් උපරිම ලෙස පැවතුන ඒ යුගේ  ඔහුගෙ සෘංගාරය මඳ පමණින් මුසුකල අපූරු කවිත්,  උපාසකම්මලාගේ සර්ධාව  වැඩීමට යැයි කියා අතිශයෝක්තියෙන්  දෙසූ බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් දේ නිර්දය ලෙස විවේචනය කල ලිපිත් නිසා වන්නට ඇත.





මෙහෙම කිව්වාට , බස්සොන්ට මොන කවිද? ඌ මේ   මහප්ප්‍රාණ  හෑලි ලියන්න ගියාට, කියවල තියෙන්නෙ ඔය එහෙන් මෙහෙන් කඩල  ඔතන්න ගත්ත  පි‍ටුවක තිබ්බ කයියක්, දෙකක් විතරයි. ඒත් මෙව්ව කියවපු, දැණුම් තේරුම් තියන  අය, මේ  කවි හැකි පමණින්  සංරක්ෂණය කරන්න කරපු සත් ක්‍රියාවක් , ඔය පහළින් තියෙන ලින්ක් වලට ගියාම බලාගත්තෑකි.





කවි මුතු මල්



e තක්සලාව





ඔන්න එහෙනං  මාත් හතර අතට වැඳලා , නමෝ විත්තියෙන් ඉස්සුව කයියක් ගෙඩි පිටින්ම.මේ  විමලරත්න කුමාරගම කවියගෙ " අයියනායක " කවි පෙලෙන් කොටසක්.




සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො  ණේ

කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍             ණේ

මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ              නේ

දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ     නේ



සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී                         ම

කෙම්මුර දවස්වල පානින් සැරසී                      ම

වන අතු කඩා ගස් දෙබලක දැවටී                    ම

මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී      ම


දැන් ඔහෙලට  හිතෙනව නේද, මීමන ගැන කියල  කුමාරගමගෙ කවි දාන්නෙ , මූට මඤ්ඤංද කියලා? නෑ, නෑ ඒකට හේතුවක් කියනවා. කපුවො, සාස්තර කාරයො  , ඔවුන්ගේ අනුග්‍රාහකයොන්ටත් බොහොම අපල මේ කාලෙ, මාත් ඇඟ බේරගන්න එපැයි?

අද කතාව ගම්මැදි හෑල්ලක්ද, මිත්‍යා විස්වාසයක්ද කියල මං දන්නෙ නෑ. එක තීරණය කරන එක ඔහෙලට බාරයි. මගේ රාජකාරික කතාව කියන එක විතරයි


මේ කවි කියවන කොට හිතේ මැවෙන්නෙ අපූරු චිත්‍රයක්.  ඒ විතරක් නෙමෙයි, මේ කවි ඔස්සේ ගියාම  මතක් වෙන්නෙ අපේ ගම සහ එහි සිටි අමතක නොවෙන චරිත. මේක මේ ගම හොඳා, නගරෙ හොඳ නෑ කියන කතාවක් නෙමෙයි. අපේ ගමෙත්, ඒ ගැමි සංස්කෘතියෙත් හොඳ වගේම නරකත් සම-සමව තිබුනා. එව්වා පැත්තකින් තියලා, අද මම කියන්න යන්නෙ එහි ජීවත් වු අපූරු චරිත කීපයක් ගැනයි.



ගමේ  හිටපු වැදගත් තනතුරු දැරූ ,වැඩිහිටි අයට එදා ගම්මු කතාකලේ රාළහාමි කියලයි. මේ කියන රාළහාමිත් එහෙම කෙනෙක්, මට මතක සංදිය වන විට විශ්‍රාමිකව හිටි ඔහු, කලු, උස මහත , මනා පෞරුෂත්වයක් තිබුණු අයෙක්. සරම ඇන්ඳත්, කෝට් බෑයක් අඳින්න අමතක කලේ නෑ.  කොච්චරවත්  ගම වටා ඇවිද, ඇවිද,  නැවති, නැවති  වටපිට බල, බල  ගිය ඔහු හැමෝ එක්කම කතාබහ කලා. ගැමියන්  මූණට ඔහුට කටපුරා රාළහාමි කිව්වත්, නැති තැන කිව්වෙ ඇස්වහ-කටවහ රාළහාමි කියලයි.ඔහුගෙන් තමන් සන්තක හොද දේ වහන් කිරීමට, ඉදිරියට පැමිණ කතාවට අල්ලාගෙන, අවධානය වෙනතක යොමු කිරීමට තැත් කලත්, රාළහාමිගේ උකුසු ඇස් වලින් කිසිම දෙයක් මඟහැරුනේ නෑ. රාළහාමි කතාව අවසානෙයේ, යන්නට පෙර මොකක් හරි කට-කැඩිච්ච කතාවක් කියන්නත් අමතක කලේ නෑ.

මෙවැනි පුද්ගලයකු යම් දෙයක් ගැන හොඳ කිව්වොත්, එයට අපල දෙන බවත්, අමාරුවෙන් හරි යම් දෙයක නරක කියවාගන්න හැකි නම්, එහි ප්‍රතිවිරුද්ධ දේ වන බවත් ගැමියො විස්වාස කලා.



මේ මං අසා තිබෙන, ගමේ ප්‍රසිද්ධ කතා දෙකක්:



කිට්‍ටුව ගෙදරක සාරෙට වැඩුන ඒත් ඵල නොදරන දෙහි ගහක් තිබුනා. සාමාන්‍යයෙන් රාළහාමිව මඟහරින ගෙදර  මූලිකයා එදා රාළහාමිව ගෙදරටම  කැඳවාගෙන ඇවිත් , තේ පැන් වලින් සංග්‍රහ කොට , මිදුලට කැ‍ටුව ගිහින් දෙහි ගහ පෙන්නලා මෙහෙම කිව්වා:



" බලන්නකො රාළහාමි. මේ ගහේ හැටි, එක දෙහි ගෙඩියක්වත් නෑ නෙව?"



ඔහු බලාපොරොත්තු වුනේ, රාලහාමිත් ගහ ගැන නුගුණ කියාවි කියලයි. ඒත් රාළහාමි කිව්වෙ මෙහෙමයි:



" හා, ගෙඩි නැති වුනාට මොකද, ඒකටත් එක්ක ඔය කොල තියෙන්නෙ"



බලා ඉන්දැද්දි වගේ කොල හැලෙන්න ගත්ත දෙහි ගහ කනා‍ටු වෙලා මැරිල ගිය බවයි කියවෙන්නෙ. තව දවසක් දුර තිබෙන ගස්  අතර පිමි පැන, පැන හිටිය  වඳුරු මොටෙක් දිහා බලා " හම්මේ, බලහල්ලකො මුගෙ පිම්ම" යැයි කිවූ බවත්, ඊළඟ පිම්මේදී වඳුරු මොටා පිම්ම වැරදී බිමට පත බෑවුන වගත් තවත් ප්‍රසිද්ධ කතාවක්.







http://archives.dailynews.lk/2009/08/05 /z_page-19-(ARTS)-Sybil-02.jpg


ඊළඟ අමතක නොවෙන චරිතය තමා හංදියෙ  කඩේ මුදලාලි. ගමේ හිටිය තැපැල් පියුං වුන ඔහු බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක්. පසුව පොඩියට කඩයක් පටන්ගෙන එය වැඩිදියුණු කරගත්තා.



මට මේ මුදලාලි මතක් කරන්නෙ, සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කතාවක එන මුස්ලිම් මුදලාලි කෙනෙක්. කතාවෙ ඉන්න  මුදලාලි කවදාවත් පාරිභෝගිකයින්ට " නෑ" කියල කිව්වෙ නෑ, කිව්වෙ " තිබුණා , මේ දැන් ඉවර වුනා" කියලයි. පහුවදා කොළඹ ගිහින් ඒ අහපු දේ ගෙනාව කියල තමා කතාවෙ තිබුනෙ.  අපේ මුදලාලිත් ටිකක් ඒ වගේ,  ගණුදෙණුකාරයාට අනුකූලව සුහද කතාබහ කරන්නත්. ඔහුගේ වෙළඳ භාණ්ඩ ගැන පාරට්‍ටු කරන්නත්, අපේ තැපැල් පියුං මුදලාලිට තිබුණෙ සහජ හැකියාවක්. මෙන්න මෙහෙමයි ඔහුගෙ කතාව



" මෙව්වා නියම මන්නාරම් කරවල මහත්තයො. ගන්න, නියම බඩු", සමහර විට කීරමින් කියා, වේලපු පොඩි හුරුල්ලො වික්කත්, ගණුදෙනු කාරයා ගෙදර ගියේ හිතේ සතුටින්,



තව ලියන්න දේ තිබුනත්, මට බෑ, අදට ඔය ඇති



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Thursday, January 29, 2015

කටකහනවට කියවෙන කවි





http://www.jonkleinphoto.com/_Media/213_sleeping_barred_owl.jpg

මිදුලේ බසු මාලිගාවෙ සක්විති පදවිය ලබන්න

අත්තක් උඩ වාඩිවෙලා , ත‍ටු පොරවන් නිදාගන්න

නයිට් ඩියුටි අහවරවී හණික එමී

උදේ හීල ගිල්ලට පසු හැලප කමී





සීය ලිමිට් අධිවේගෙට

එන්නේ එකසිය විස්සට

බාප්පලා ඉන්නවාද බලනු මැනේ

අහුවුනොතින් අබ සරණයි පියානනේ



බකමූණෝ ඔයා නිදිද?

නැහ්නං, හැලප ගිලිනවාද?

කියා තවත් SMS එවනු මැනේ

ඇතුවත් බැරි, නැතුවත් බැරි අපේ ඇණේ