ඉස්සර මං නැවතිලා හිටිය ගෙදරක ගෑල්ලමයෙක් උන්නා. හප්පා , නියම කටු අත්තක් තමා එයා නං. මෙයා දවසක් මට මෙහෙම කිව්වා:
"බකුස් අයියෙ, ඔයා හම්බකරන්න දන්නවා වුනාට, වියදම් කරන්න දන්නෙ නෑ"
උන්දැගෙ අවාසනාවටද, මයෙ වාසනාවටද මන්දා , "වියදම් කරන හැටි" පාඩම් මාලාවක් කරන්න එයාට චෑන්ස් එකක් ලැබුනෙ නෑ. නැහ්නං අනිවා ඩෙෆා උන්දෑ මාව උගස් තියනවා.
බස්සා අරපිරිමැස්මෙන් ජීවත් වෙන සතා. ඒ කිව්වෙ., අනුන්ට ණය නොවී, හම්බ කරන දෙයින් ටිකක් වැහි කාලෙකට ගන්න ඉතුරු කර ගන්නවා.මේ බකුසු ලයිෆ් ඉස්ටැයිල් එක අල්ලන්නෙ නෑ පළගැටියොන්ට. ඉතිං උන් ඇනුම්පද කියනවා
" ඇයි බං ඔච්චර හම්බ කරන්නෙ , යන කොට ගෙනියන්නද?"
" මේ අපි වගේ අඩියක්-පුඩියක් ගහල මනුස්පයෙක් වගේ හිටහංකො"
" අපිටත් ඔයවගේ හම්බවෙනව නං , අපි දනී ජීවත්වෙන හැටි?"
ඒක නං මටත් හිතා ගත්තෑකි. කොච්චර හම්බ වුනත් මාසෙ අන්තිම වෙන කොට යන්නෙ රිම් එකෙන් නෙව? දැනුත් එහෙමයි, වැඩිය හම්බ වුනත් එහෙමම තමා.
මං නං ඇත්තටම දැන්නෙ නෑ, මාත් එක්ක නැවැතිලා ඉන්න හාදය කොච්චර හම්බ කරනවද කියලා. මට ඒක අදාල නෑ, ඇයි මම ජීවත් වෙන්නෙ , මම හම්බ කරන පනං හතරෙන් නිසා.ඒත් අපේ බොහෝ අය එහෙම නෑ. හරියට හොයනවා අනුන්ගෙ විස්තර. ඔය "අඩි-පුඩි" පාටි වලදි කතා කරන්නෙ ඒවා.නැත්නම් දේශපාලනය. මට මේ ඕපදුප, අනුන්ගෙ ඇද හොයලා හිනාවෙලා, තමන්ව පුම්බ ගැනිලි වගේ ඩෝප් කතාබහ දිරවන්නෙ නෑ. ඉතිං මං කරන්නෙ ඔය පාටි වෙලාවට නමට එක දාගන්න , වයින් ටිකක් බීලා හෙමීටම ලිස්සලා යන එකයි. හැම සති අන්තෙම තියන මේ "සාද" වලදි හැමදාම ලිස්සලා ගිහිල්ලම, උන් දැන් මේ වංචාව ගැන දන්නවා.අරහෙම හින්ට් ගහන්නෙ ඒකයි.
ඔය කියන තරම් කැකිරි ගෙඩියක් මට හම්බවෙන්නෙ නෑ. හම්බවෙන එක ටැක්ස් වලට කැපිලා ආවම, ගෙවල් කුලී, ටෙලිෆෝන් ඉන්ටනෙට්, කෑම-බීම, ඉන්ධන සහ ඉන්ෂුවරන්ස් ගෙවන්නම සැහෙන ගානක් යනවා. හැබැයි, ඔය ඔක්කොමත් කරලා , මං කීයක් හරි ඉතුරු කර ගන්නවා.
පහසුකම් තිබුණත් ,මං ඉන්න නගරෙ ටැක්ස් හරිම වැඩියි, අනිත් රටවල් එක්ක සසඳන කොට. ඇත්තටම මට හිතෙන විදිහට, හම්බවෙන ආදායම නියම විදිහට පෙන්නන්නෙ නැති මේ පළගැටි රෑන, මට වඩා ගාණක් අතට ගන්නවා ඇති. ඒ කොච්චර හම්බ වුනත්, එකම සිංදුව තමා හැමදාම ගහන්නෙ.
මගේ ජිවන රටාව හොඳම එකයි කියල මං කියන්නෙ නෑ. ඒත් මේ මං කැමති විදිහ, මට අනුන් ජීවත්වෙන විදිහ වෙනස් කරන්න ඕනෙ නෑ, ඒක එයාලගෙ කැමැත්ත. මං කියන්නෙ මට මගේ විදිහට ඉන්න ඉඩ දෙන්න කියල විතරයි.
මෙහෙම කිව්වට මටයි කියලා අනවශ්‍ය වියදම් නැත්ද? මොකෑ නැත්තෙ? මගේ අනවශ්‍ය මහප්ප්‍රාණ(© හැලපෙ) තමා ගැජමැටික්, ඉලෙක්ට්‍රොනික්ස් සහ කම්පියුටර්.
උදාහරණයක් විදිහට , ඔහෙල දන්නවා නෙව මං මීයොන්ට කැමති බව? මා ගාව තියනවා ඔය මියො දුසිමක් විතර, තව කී-බෝඩ් පහ, හයක්. තව වෛවාරන්න ගැජමැටික් අටෝරාසියක්. ඔය පොතේ විදිහටම ජීවත් වෙන්නත් බෑ නෙව? ගන්න පුළුවන් කම තියනවා නං, ගන්න ඕනෙයි කියල හිතනවා නං, ගත්තා , එච්චරයි.
දැං ඔහෙලට හිතෙයි නෙව, ඇයි මෙච්චර මී පරම්පරාවක්ම ඕනෙ කියලා. මං කියන්නම් ඇයි කියලා.
ඉස්සෙල්ලම ආවෙ නැට්ට තියෙන, බෝලෙ තියෙන මීයා - ගත්තා ඌව
පස්සෙ ආවා බෝලෙ නැති ලේසර් මීයා - ගත්තා ඌවත්
ඊට පස්සෙ නැට්ට නැති, වෑර්ලස් මීයා - ගත්තා ඌවත්
ඊළඟට බ්ලූ ටූත් මීයා - ගත්තා ඌවත්
ආයෙ ආවා කරකවන රෝදෙ නැති ටච් මීයා - ගත්තා දෙන්නෙක්ම
ඔන්න ඔහොමයි මයෙ මී කලෙක්ෂන් එක වැඩි වුනේ. දැං තේරෙනව නේද , ඒක මයෙ වැරැද්ද නෙමෙයි කියලා? ඒ වගේම, මේ හැම මීයම අරන් තියෙන්නෙ සේල් වලදි නියම මිලෙන් බාගෙකටත් අඩුවෙන්.
බස්සගෙයි මීයොන්ගෙයි සම්බන්ධකම් ඔයිටත් වැඩිය ඈතට යනවා. බොහෝම කාළෙකට ඉස්සර බස්සා නැවතිලා හිටියා බකුසු අයියලෑ ගෙදර , මහරගම. එහෙ ඉඳන් තමා වැඩට ගියෙ.උදේ ඉඳන් , රෑ දෙගොඩ හරියක් වෙනකං වැඩකරන බස්සා, වැඩ පොලෙන්ම කාලා ගෙදර එන්නෙ , ඩෝං ගාලා ඇඳට පැනලා බුදිය ගන්න. දෙයියනේ කියලා , බස්සට නින්ද ගැන ප්‍රශ්ණයක් තිබ්බෙ නං නෑ, ඇඳ පෙන්නන්න විතරයි ඕනා. ඒත් මේකට එක හෙනහුරෙක් හිටියා, ඒ මී තඩියෙක්. හැමදාම මහ රාත්තිරියෙ වහලෙන් බහින මේකා සද්ද කරලා බස්සව ඇහැරවනවා. ඇඳේ නෙට් එක දාලා තිබ්බ නිසා හපා කයි කියලා බයක් නැති වුනත්, බකුසු නින්ද කැඩීමේ ආනන්තර්ය පාප කර්මයෙන් උන්දැට ගැලවෙන්න ලැබුනෙ නෑ. ඌට පාඩමක් උගන්වන්න බස්සා දැං දහ අතේ කල්පනා කරනවා. මීයා කිව්වට , මූ " ස්පීඩි ගොන්සාලෙස්" වගේ සතා , බස්සා හැරෙන කොට, මේකා " අරීබා, අරීබා" කියලා විදුලි වේගෙන් අන්තරස්දාන වෙනවා.
බස්සා දැණගෙන හිටියා මීයගෙ ගමන් මාර්ගය. මූ බිත්තිය දිගේ ටිකක් නැගලා, ලයිට් ස්විච් එකට එන එස්ලෝන් බටේ දිගේ තමා
ඉතුරු ගමන. බස්සා එස්ලොන් බටේ ගෑව ග්‍රීස් යන්තමට. ඔන්න එදත් ආව, අපේ "ස්පීඩි ගොන්සාලෙස්" . බස්සා ගත්තා කොස්ස අතට. එදත් වෙනදා වගේම , මීය පැන්නා එස්ලොන් බටේට. ලිස්සුව , වැටුනා බිමට, ආයෙ පැන්නා, ආයෙ ලිස්සුව. ඔහොම තුන් හතර පාරක් , ලිස්සන ගහේ නැග්ග මීයා කෑ ගහගෙන පැනල දිව්වෙ, බස්සා විසින් එල්ල කල කොසු ප්‍රහාරයත් කාගෙනමයි. පස්සෙ පව් කියල හිතුනත්, ඌත් දැණගන්න ඕනෙ නෙව, බස්සොන්ට කොකා පෙන්නන්න යන එකේ ආනිසංස.
බොහෝ කාලෙකට ඉස්සර බස්සා රූපවාහිනී ආයතනයක වැඩ කලා, වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට. මේ ලඟදි දවසක මං දැක්කා අපූරු ගැජමැටික් එකක් , මෙන්න මේක:
වැඩි ගාණකුත් නෑ, ඒත් අනවශ්‍ය මහප්ප්‍රාණ නං තමා. ඕන පාන් බාගයත් රුපියල් හැටයි කියලා ,පිඹල ගිහින් ගත්තා ඒකත්:)
දැන් වීඩියෝ එඩිටින් අංසෙ මොනව හරි කරන්න තමා කල්පනාව. ආසාවට මිසක රැකියාවක් විදිහට නෙමෙයි.
ආ, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මට ඔය ඉස්තිරියාවො දුන්න කරදර ගැන කතාකරන කොට , මං කිව්වා ඒ ගැන පෝස්ට් එකක් ලියන්න තරම් දේවල් තියනවා කියලා, එතකොට අනිත් පැත්තෙන් කියපි "එහෙම නං, මා ගැනත් ලියන්න හොඳේ? මං එහෙම නෑ කියලත් ලියන්න" කියලා.
දැං මේ හදන්නෙ ඒ වෙච්චි පොරොන්දුව ඉස්ට කරන්නයි. බස්සො කියන්නෙ එහෙව් හොඳ පක්සි ජාතියක්:) තව පොඩි හේතුවකුත් නැත්තෙම නෑ. ඔහෙලා කවදා හරි දැකලා තියනවද පිහාටු ගලවපු පක්සියෙක්?
මගේ මේ යාං හෑලි ලියන්න ගිහින් පෝස්ට් එක දිග වැඩි වුනා. දෙවියනි ඔබ කොහිද පස්සෙ ලියඤ්ඤං, ඈ?


