මකරා ඉස්සෙල්ලම ආවෙ දකුණෙ දෙවන කැරැල්ල කාලෙ. ඌ රතු කමිසයක් ඇඳලා, තරුවක් ගහපු, කජු ලෙල්ල වගේ තැලිච්ච තොප්පියක් දාලා හිටියා.ඉස්සෙල්ලම කෑවෙ. පලාතෙ චංඩි ටික. අපි මකරට රහසින් පෙම් කලා. මකරගෙ ක්‍රමය හරිම සිම්පල්, ආව තිබ්බ ඔලුව කුඩු වෙන්න. නඩු නෑ, සාක්කි ඕනෙ නෑ, උසාවි , අබ්බගාත්ලා , කල්ප ගණන් ඇදෙන නඩු නෑ. අපි හිතුව , කමක් නෑනෙ , උන් අපරාධකාරෙයො නෙව කියලා. පස්සෙ, මකරා කලාකාරයො. ගුරුවරු, ග්‍රාමසේවකලාව කන කොට නං අපිට හිතුනා , එයාලට නං නිදහසට කාරණා කියන්න චෑන්ස් එකක් දුන්න නං හොඳයි කියලා. මකර පාලනය තුල විවෙචන වලට ඉඩක් නෑ. අපිත් කට පියාගෙන හිටියා, නැත්නම් වෙන්නෙ ඔලුව නැති කරගන්න.
රතු මකරව කන්න ආවෙ කොල පාට මකරෙක්. අලුත් මකර ආවෙ කැලෑ කොල ඇඳුම ඇඳලා බූට්ස් දාලා , දොරවල් ගලවපු පැජරෝ එකේ.අරූ මොන මකරද, මූ නෙව මකරා ?
අපි රතු මකරා ගැන දුක් වුනා. ඌ අපේ පන්තියෙ මකරා. " මොනව වුනත් දුප්පත් සතා, පං මල්ලෙ ගල්කටස් එක දාගෙන ඇවිල්ල , බඩට බත් නැතුව සටන් කලේ " අපි කිව්වා ,
දකුණෙ හිටිය බුරුසුවක් වගෙ උඩු රැව්ල තිබ්බ හාදයෙකුත් අපිත් එක්කම රතු මකරාට වෙච්ච සැන්තෑසිය ගැන දුක් වුනා. එයා දකුණෙ ඉඳන් කොලොම්පුරේට පා ගමනකුත් ගියා.

මකරාධිපතිය හිටියෙ කොලොම්පුරේ. කොණ්ඩෙ සුදු වෙච්ච උස පොරක්. ඒත් මකරාධිපතියගෙ රිමෝට් එක තිබ්බෙ, සතපහ වගෙ හතරැස් මූණක් තිබ්බ උපාසක මහත්තයෙක්ගෙ සාක්කුවෙ. මකර යුද්ධෙ නැගලම ගියා. රතු මකරා නැති භංගස්ථාන වෙලා ගියා.
කාලය ගලාගෙන ගියා. රතු මකරා ගැන අපිට අමතක වෙලා ගියා. ඔය අතරෙ උතුර පැත්තෙන් කලු මකරෙක් මතු වුනා. අපි ඌත් එක්ක යුද්ධෙට කොල මකරව ඇරියා.
මකර යුද්ධෙ දකුණින් , උතුරට මාරු වුනා. කලු මකරා කොලොම්පුරේට බයිසිකල් කාරයෙක් එව්වා. දවසක් හදිසියෙම මකරාධිපතියගෙ වාහනේ පිපිරුවා. මකරාධිපතිය , කුකුලෙක් වගේ රෝස් වෙලා මලා. මූණ හතරැස් උපාසක මහත්තයා ගාවිනුත් , බයිසිකල් කාරයෙක් මාරුවුනා. එයත් නිවන් ගියා."දිඨට ධම්ම වේදනීය කර්ම" මිනිස්සු කිව්වා.
උතුරෙ මකර යුද්ධෙ අවසාන වුනා. ජයග්‍රාහී කොල මකරා නොන්ඩි ගගහා , අත්වාරුවකින් ආවා. අපි නොන්ඩි කොල මකරව , මල් මාලා දාල පිලිගත්තා.ඒත්, ඒ වෙනකොට කොලොම්පුරේ අලුත් මකරෙක් බිහිවෙලා හිටියා. ඒ තමයි, අර පාගමන ගිය බුරුසු රැව්ලා.
බුරුසු රැව්ල් මකරා කෑවෙ අමුතු විදිහකට. ඌ වැඩියම කෑවෙ රට.
අපිට පටි තදකරගන්න කියලා , ඌ කන්න පටන් ගත්තා. උන්දැ චයිනීස් කන්න දෙයියා, ඉඳලා හිටලා ආප්පත් කෑව . ඔය අතුරුපසට , පත්තර කාරයෙක්,රගර් කාරයෙක් එහෙමත් කෑව වුනාට , කවදාවත් එව්වා කෑව කියලා පිලිගත්තෙ නෑ.
අපි බුරුසු රැවුල් මකරා එක්ක සටනට , සෑර් ලාන්ස්ලොට්ව යැව්වා. එයා අලිය පිටේ නැගලා යුද්ධෙට ගියා. රැවුල් මකරා පැරදිලා හෙලි -කොට්ටඋරේක නැගලා පැනලා ගියා.
පස්සෙ රැව්ලා නන්නත්තාර වෙලා හිටියෙ . ඔය අතරෙ, අලිමොටා ගම කෑව. මේකෙන් වුනේ සෑර් ලාන්ස්ලොට්ගෙත් සායම ගිය එක.
දැං බුරුසු රැව්ලා ආයෙ යුද්ධෙට එන්න හදනවා. "මාස්ටර් සර්, මගෙ හිමි තැන දෙන්න " කියලත් කියනවා.
සෑර් ලාන්ස්ලොට් නං කියනවා, එයා කවදාවත් මකරට අඳින්නෙ නෑ කියලා, ඒත් අපට අර අලිමොටාව නං විස්වාස නෑ. ඒත් ඉතිං වෙන කරන්න දේකුත් නෑ, මොනව වුනත් අලි බෙටිත් ඕන වෙන වෙලාවලුත් තියනවා. අලියා ඒ වැඩේට නං දස්සයා
<උපුටා ගැනීම>මකරා හොඳය.මකරා ලස්සනට කරුණාවට ආදරය කරයි.නමුත් ඔහු පවතින්නේ අන්ධකාරයේය.පරමාර්ථය‚ ආත්මාර්ථය වඩවා ගැනීමය.එවිට මකරාගේ අඳුරු කොරපොතු වල අවලස්සන හා නියපොතුවල වේදනාව බාහිරට දැනෙන්නට පටන් ගනී........
මිනිසුන් ඇතුලේ කුඩා මකරකු සිටී.ඒ කුඩා මකරන් මහා මකරකුගේ ආභාෂයෙන් උපත ලද්දන් වේ. මහා මකරුන් මර්දනය කළද කුඩා මකරුන් බැහැර කිරීම ස්වයංශෝධිත ක්‍රියාවක් බව පැහැදිලි කරයි.මේ කාලයේදී මකරුන්ගේ බෝවීම අති බහුලය.දේශපාලනික-සමාජයීය-ආර්ථික-අධ්‍යාපනික-සංස්කෘතික යන විවිධ ස්ථරවල මකර බලපෑම් දැකිය හැකිය.තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ව්‍යාප්ත කල මකර ජාන වල බලපෑම් කිරි පිටි බොනු ලබන කුඩා දරුවකුගේ කිරි ජෝගුව මෙන්ම විශ්‍රාම ගිය වගකිව යුතු පුද්ගලයන්ගේ ජීවන තොරතුරු මඟින් ද ඉදිරිපත් කරනු ඇත.......</උපුටා ගැනීම>
- ධර්මසිරි බණ්ඩාරණායකගේ මකරාක්ෂයා -





