Friday, January 17, 2020

ජහුටා පොල








දෙසැම්බරෙත් ඉවර වුනා. වෙනද වගෙම මෙදා සැරෙත් බඩු අරගෙනම නැති වුනා. දැන් ඕකට ලෝකයා එක එක කතා කියනවා. හෝතම්බුවා නං කිව්වෙ " හයියෝ ෂල්ලි" කියලයි. එතකොට අර ඉන්දියන් පොලොස් කොට්ටෝරුවා, ඌත් මොනවදෝ කිව්වා. ඔහෙලට කියන්න ඒ තියා අල්ලපු ගෙදර සුදු නෝනගෙ පූසා, ඌත් මොකද්ද කිව්වා කියහංකො. මං හිතන්නෙ ඌ නං කිව්වෙ "ඤාව්" කියලයි. ඔය මොකා මොනවා කිව්වත්, අපි සැලෙයි ඕවට? ඔහෙලට සැක නං ඔය ඕන බස්සෙකුගෙන් අහල බලන්න " සේල් දාලා තියනව මේක , ගන්නද?" කියල. කෙලින්ම කියයි "හූම්" කියල.






අනික , දැන් මම ගත්තෙ අවශය දේවල් නෙව? දැන් බලාන්ට මයෙ මොනිටරේ අවු 10 වඩා වයසයි. දැන් උන්දැ ඉන්නෙ ලෙඩ ගානෙ, කහිනවා හිරවෙනවා. ඉතිං ඇමසෝනා දැම්මා 4K 1ms, 28"මොනිටරයක් සේල





කෙ‍ටුව පටස් ගාලා.ඉතිං අලියා ගත්තා නං හෙණ්ඩුවක් නොගෙන කොහොමද?



ආ එතකොට සෝඩා හදන මැසිම. ඒක සේල් දැම්මෙ Walmart. එතකොට co2 ගෑස් සිලින්ඩර් සේල් දැම්මෙ Staples.










අපි නිෂාචර පක්සියො බව ඇත්ත. ඒත් අපිට කියලා පාන්, කිඹුලා බනිස්, මාළුපාන් අගුණයක් නෑ නෙව?  මට තියෙන එක අඩුපාඩුවක් තමා. පාන් පෝරණුවට දාලා පිච්චෙන තෙක්  එතන බකන්නිලා ගෙන ඉන්න බැරි කම.  පල්ලෙහා ගෙදර ආච්චි කුස්සිය ගිණිතිබ්බට පස්සෙ , මට හිතුනා කුස්සියකට වඩා  co
unter top oven එකක් හුඟක් ලාබයි කියලා.





කෙ‍ටුවද කියලත් අහනවා? කොටලම දැන් මයෙ හොටත් බාගෙට ගෙවිලා. හැබැයි කොටන්නෙ ඔන්ලයින්, ගෙදරටම ගෙනැල්ල දෙනවා නෙව?





මේ දැන් බෑවා පාන් ගෙඩි දෙකක්. තායි මිරිස් දාල තලාගත්ත පොල් සම්බෝලයි, සැමන් බැදුමයි තියනවා. තව ටිකක් යනව වළඳන්න :)ආ මම සම්බෝල වලට, තක්කාලි , සියඹලා තායි ඉස්සෝ පේස්ට්  ඔක්කොම දානවා.






මම පොඩිකාලෙ මැකරූන් වලට හරිම  කැමතියි.  ඉස්සර දැනගෙන හිටියෙ නෑ මැකරූන්, මැකරෝනි කියන්නෙ ජාති දෙකක් කියලා, ඉතිං දවසක්  තාත්තා ගෙනාව මැකරෝනි.





දැන් පේන විදිහට මැකරූන්ස් අපේ කෑමක් නෙමෙයි. ඔරිජිනල් යුරෝපියන් වර්ෂන් එක හැඩයෙනුත්, රසයෙනුත්, මිලෙනුත් අපේ රටේ සිල්ලර කඩේ වර්ෂන් එකට වඩා වෙනස්. හේතුව Almond flour පවිච්චි කරන නිසා. කෙලගෙන  ආවා Cosco එකෙන් Almond flour කිලෝ එකාමාරක්ම. දැන් දෙන්නම් ජම්බු.







මේ යන්නෙ සීත ඉර්තුවෙ නරකම කාලෙ. ඕං හිම කුණා‍ටුවකුත් එනව කියන්නෙ. මේ කාලෙට බස්සො බෙනෙන් එලියට යන්නෙ නෑ. ඔය සීතල කියන තරම් නරක නෑ. මම කෝපි බොන්නෙ එලියෙ. සට සට ගාලා ගැහි ගැහී උණු කෝපි එකක් බොන එක වෙනමම ආතල් එකක්.



කාලෙකට ඉස්සර කියෙව්ව නම මතක නැති පොතක තිබ්බ කතාවක් මේක. අඳුර වැටිගෙන එන  පරිසරයක්. තද හිමකුණා‍ටුවක ගාට ගාට යන අස්පයෙක් සහ අසරුවෙක්. ඈතින්  කන්දක පේන හොඳින් ආලෝකමත් වුන තානායම් පොලක්. තානායමට යන අසරුවා කියනවා මෙහෙම " මට දැන් අවශ්‍ය උණු කෑම වේලක්  සහ උණුසුම් ඇඳක් පමණයි". කතාවේ හරය: සැප ලැබෙන්නෙ දුකේ අවසානයට.





වැදගත්ම දේ  රිමෝට් එක තමන් ගාව තියෙනෙ එක. ඒ කිව්වෙ කොච්චර වෙලා එලියෙ ඉන්නවද?, ඇටක‍ටු ගල් වේගන එනෙකොට පටස් ගාලා බෙනේට රිංග ගන්න තියෙන හැකියාව.













මට මතක් වෙනවා  කලි සැරේ කාපු පැණි දොඩම්





Friday, March 29, 2019

ඇෆ්ගන් ජෙලබි




මේ දවස්ල රබර් ඇහැ දාන එකා නැති නිසා, දෙයියනේ කියල අතපය දිගෑරලා ගන්න ඕන දෙයක් ගන්නවා. මට වෙලාවකට හිතෙනවා , මේකත් එක්තරා ඇබ්බැහිවීමක්ද කියලත්. හරි, හරි  ඔය ගන්න හැම එකම අත්‍යාවශය භාණ්ඩ ගණයට වැටෙන්නෙ නෑ තමා. එකාක්, දෙකක් "හයියෝ, ෂල්ලි" කෑටගරියටත් වැටෙනවා තමා. ඒත්  බලාන්ට, දැන් බසු කුස්සියෙ පාන් පිච්චෙනවා, කේක් හැදෙනවා. ඒ තියා  කඩලත් තැම්බෙනවා. එහෙම බැලුවාම , සමස්තයක් වශයෙන්  මේ  ව්‍යාපාරයෙන් ලාබයි කියල ඔහෙලට හිතෙන්නෙ නැද්ද?

අනික මේ ප්‍රශ්ණයෙදි මම තනිවෙලා නෑ කියලා ඔය උඩ පිංතූරෙන්ම ඔප්පු වෙනව නේද?







ගුලාබ් ජමූන් කියන්නෙ ඉංදියන් රස කැවිල්ලක්. පිටි වලින් හදාලා බැදපු බෝල  සීනි පැණියක ගිල්ලලා.  මම අහල තියනවා පැණි කැවුම් කියන්නෙ එහෙම  පැණිවල ගිල්ලපු කැවුම් වලට කියලා - එත් කාලා නෑ.


ගුලාබ් ජමූන් මුලින්ම කෑවෙ කවදද කියල මතක නෑ, ඩුබායි වලදි වෙන්න ඕනෙ. ඒත් "හව්" ගාලා එක කටයි කැවෙ- ලව් ඇට් ෆස්ට් බයිට් තමා. පස්සෙ හොයනකොට, ඔය ඉස්ටැයිල් එකේ කෑම වර්ග කීපයක්ම හම්බ වුනා. ජෙලබි නැත්නම් අපි දන්න බූන්දිත් ටිකාක් ඒ කිට්‍ටුවෙන් යන කෑමක්. අපි වගේ හුදී ජනයාට ඔව්වා හැමදාම කඩෙන් කන්න බෑ නෙව? මම ඔය ගැන කම්පනා කර, කර ඉන්න කොට තමා  බස්බූසාව හම්බ වුනේ. බස්බූසා කියන්නෙ  රුලං කේක් එකක්. හදලා ගිල්ලෝනවා සීනී පැණියක.







හැදුවා බලන්න. සාර්තකයි. දැන් මේකෙ ක්‍රමවේදය මෙහෙමයි. පිටි වලින් හදන කේක් වගේ එව්වා , ගිල්ලනවා පැණියක - බඩුම තමා, 



ඊළඟට අත්හදා බැලීම. කිවි හරි ස්ට්‍රෝබෙරි අරගෙන දානවා සිනි හැඳි තුනක් , ඔබනවා ඒකටම කේක් කෑල්ලක්. ටික වෙලාවක් ගියාම ඒකෙම වතුර උනනවා. කෙලින්ම ගුලාබ් ජමූම්.



තව මේ වගේ අත්හදා බලල සාර්ථක වෙච්ච(හෑ, අසාර්ථක වෙච්ච කෑම?  මොකෑ නැත්තෙ , ලොරියකට සැහෙන්න තියනවා)කෑමක් තමා මේ.



රෝස් පාන් හරහට කපලා  උඩින බටර් තලියක් තියලා තප්පර 20ක් මයික්‍රොවේව් කරනවා බටර් යන්තම් දියවෙගන එනතෙක්. දැන්  එකෙන් පාන් පොඟවලා හකුරු සමඟ වලඳනවා.  කිතුල් හකුරු තමා හොඳම, ඒත් හොඳ කිතුල් හකුරු හොයන එක නිකිණි හොයනවා වගේ නිසා, මං දෙන්නං ඒකට ඔත්තුවක්.



චයිනීස් සුපර් මාකට් වල තියනවා තායි  තල් හකුරු ජාතියක්. පැකට් එකේ තියෙන්නෙ "Palm Sugar" කියලා. ඒක   කිතුල් හකුරු වලට කිට්‍ටුවෙන් යනවා.දැන්  කවුරු හරි, කළු දොදොල්, වටලප්පන් එහෙම හදන්න බලාපොරොත්තුවක් තියනවා නං, බැංකුවක් නොකඩා එව්වා හදන්න මේක හොඳ ආදේශකයක් වේවි.

විනාඩි 45 කින් නියම ක්‍රමයට කළු දොදොල් කිලෝ 2ක් හදන පහසු ක්‍රමය  



මේ ඇෆ්ගන් ජෙලබි. පැන්ටම් කියන හිංදි පිචෑර් එකේ ජනප්‍රිය වෙච්ච සිංදුවක්. මේක ඔරිජිනල් එක නෙමෙයි , මම හොයා ගත්ත " ජෙලබි" වර්ශන් එක. මම වැඩිය කැමති මේකට. අර " කොඩිය සුද්දගේ , මල්ලි සිංහයා අපේ" වගේ වැඩක්.  නටන  දෙන්නා රුසියන්. මතකනෙ, ජෙලබි ක්‍රමවේදය? කේක් එක අරගෙන පැණිවල ගිල්ලන්න ඕනෙ. පැණි නැත්නම් වොඩ්කා වුනත් කමක් නැ, ගිල්ලන එකයි වැදගත් කොටස. ඔහෙල බලලම තීරණය කරන්නකො.




Tuesday, February 26, 2019

අගක් මුලක් නැති කතා




ඉඳි ගහයට වාඩිවෙලා විකුණාලා  වතුර කනක්කූ

අරාබියේ මරු කතරේ මගියන්ගේ පවස වැලැක්කූ..ඌ...ඌ....



අම්මට උඩු බස්සෙක්. ලංකාවෙ නේද? නෑ කියන්න නං එපා රජෝ, මට හොට දැක්කාම කිව්වෑකි.  ආ .. මම මාකඳුරේ බකුෂ්. මේ දවස් වල බර්-ඩුබායි බෝඩිමේ ඉන්නෙ. ඉතිං , ඉතිං කෝමද වාසෙ, දේසෙ?



බස්සා: වරදක් නෑ. ඒක නෙමෙයි  පාටිදාලා  පොලිසියට මාට්‍ටු වුනාලු නේද?



බකුෂ්: :ඒක මේමනෙ බොෂ්. පොඩි බිෂ්නස් එකක් කලා පක්කො එක්ක. පස්ෂෙ තිබ්බා  පොල්ලක්. පක්කො දුන්නා අරාබි පොලිසියට ඔත්තුව. අවුලක් නෑ, දැන් කෑම ආණ්ඩුව ගානෙ. සිකුරාදාට බුරියානිත් දෙනවා.



බස්සා: එතකොට ඇයි අරහෙ සිරා රෙද්ද කරට අරං උඩ පනින්නෙ?



බකුෂ්: ආ, එයා එහෙම තමා. දැන් බලාන්ට බොස්. කෝටි ගාණක බඩු නේද?  මං බැලුවෙ රටට විදේශ විනිමය ටිකක්වත් හොයල දෙන්න. බලාන්ටකො, මේ අසමජ්ජාති ආයෝජකයො ආවෙ නෑනෙ අපේ රට ගොඩ දාන්න.



බස්සා: මම ආරංචි ආපු උන්ගෙනුත් , සම්තිං එක ඉල්ලලා  උනුත් ගියා කියලයි.  ඒ වුනාට රට්‍ටු කියන්නෙ, සිරා ඔහේට දුන්නා බැස්ටිය. අරාබියෝ  දැං දෙනවා ඇති සබ්බුව කියලා.



බකුෂ්: මගුලක් කියනවා. මේක තමා  හොරුන්ගෙ පාරාදීසෙ. ලෝකෙම ඉන්න පාතාලයො, හොරුන්ගෙ නායකයො ඔක්කොම ඉන්නෙ මෙහෙ. තව හෝදලා අපුල්ලලා එහෙමත් දෙනවා.



බස්සා: ඒ මොනවද අපුල්ලන්නෙ?



බකුෂ්; : අයි වාහෙ, කලු සල්ලි නෙව? අපිට කොච්චර දේවල් තියනවද ඉගෙන ගන්න අරාබින්ගෙන්. මගෙත් පොඩි අදහසක් තියනවා දේශපාලනේට එන්න. ෂල්ලි ටිකක් එහාට , මෙහාට විෂි කරලා, අනික ඔය  දියවන්නාවෙ ඉන්න  හුඟකට තියෙන සුදුසුකං මටත් තියනවා නෙව?



බස්සා: මං හිතෙන්නෙ නෑ , ලංකාවෙ ඉන්න බුද්ධිමත් ජනතාව ඔහෙට චන්දෙ දෙයි කියලා.



බකුෂ්; ඒම කියන්න එපා බොෂ්. අපිටත් චෑන්ස් එකක් දීලා බලන්න. රට ගොඩ දාන එක සිම්පල්නෙ. ගන්නවා චීනගෙන ණය. ඊට පස්සෙ ලංකාවම චීනට දෙනවා අනූනම අවුරුදු බද්දට.








ට්‍රාන්සිවෙනියාවෙ මේ පෝස්ට් එක බැලුවා. එක දිගේ ගිහින් ගමයගෙ මේ කොමෙන්ට් එක 


 කියෙව්වා.




//ඊයේ පෙරේද ලන්ඩන් ආපු සිංහල අංශ මහාචාර්ය කෙනෙක් කළ කතාව ඇහුවම මට හිතුනේ ඒ මනුස්සය උගන්වන්නේ පාලි ජාතක කතා විතරයි කියල. 1990 මුල භාගේ මට මහාචාර්ය කෙනෙක් හමුවුන ලන්ඩන් වලදි . ඒ මනුස්සය ප්‍රේමදාස ගව ඉඳල මහින්දට මාරු වෙලා දැනුත් විදේශ අංශයේ ලොකු රැකියාවක. පොත් පත් කියවන එකෙක් නම් නෙමේ. මට විශ්ව විද්‍යාලේ මිනිහ කරපු දේවල් කිව්වා. හරිම ජුගුප්සා ජනකයි. පෙම්වතාට ලකුණු දෙන්න පෙම්වතියට කාමරේට එන්න කියපුව. ශිෂ්‍යවියෝ උඩ දෙනවනම් දෙන ලකුණු, යට දෙනවනම් දෙන ලකුණු. යටත් ප්‍රභේද කිහිපයක් තියන හැටි හා අනුකුලව ලකුණු දෙන හැටි. උපාධි නිබන්ධන හා ආචාර්ය උපාධි කොපි කරන හැටි. මේ වගේ උන් මහාචාර්ය වරු වෙන්නේ ලංකාවේම විතරක් වෙන්න ඕනේ. රසික ඕව කලා පීඨ වල වෙන්නේ කියල මට හිතෙන්නේ. මම හිතුව මු බොරු කියනවා කියල. නමුත් පස්සේ එහෙම වෙච්ච ගැහැණු ළමයෙක් නඩු දාන්න උත්සහ කරනකොට තේරුණා ඇත්ත කියල. අන්තරේ ඕව ගැන නිහඬව ඉන්නේ ඇයි කියල මට අදත් තේරෙන්නේ නැහැ.





එලිපිට ඇත අවකෙලි , කිසිවෙකු මැසිවිලි නොකියන්නේ...











Tuesday, January 1, 2019

පයිලට් බස්තියං සහ යක්කු


බස්ස කියන්නෙ නිසාචර පක්සියා බව ඇත්ත.  ඒත් ඔය රට්‍ටු කියන්නැහෙ, බස්සො හෝම්පොලවල් වල ඉඳන්  මහ රෑ මිනිස්සු බයකරනව කියන කතාව නං අමූලික බොරු.  මිනිස්සු අපට කටකතා නොකියැයියෑ, මේ ඩිස්නියත් අපි ගැන එහෙම කියන කොට?





බස්සො එක්ක යක්කුන්ගෙ සම්බන්ධයක් නෑ කියල මං කියන්නෙ නෑ. දැං බලාන්ට,මයෙ අසල්වාසියා යකෙක්. හරියටම කියනව නං යකින්නක්, කට්ට කලුයි. රෑට හිනා වෙනවා, දත් ටික විතරයි පේන්නෙ. මයෙ වැඩි පයුරුපාසානයක් ඇත්තෙ නෑ, උන්දෑ එහෙන් එනවා දැක්කොත් මං මෙහෙන් ලුහුටලා යනවා. යකා දන්නවා ඔය විත්තිය. කුරුමානං අල්ලලා හරියටම අපි එලියට එන වෙලාවටම කොරිඩෝවට එනවා. ඒ විතරක් නං බැරියෑ, මට පෙන්නන්නම බැරි, අර පු* ක්‍රැක් එක පේන්න බාගෙට අඳින එක. ඒත් මං හෝතම්බුවාට කිව්වා, ලංකාවෙ යක්කුන්ව බය කරන්න පු* පෙන්නුවාට, මෙහෙ උන් පු* පෙන්නන්නෙ අපිට කියලා.










කට වැහුවට වැඩක් නෑ, මං රිංගන්නෙ රස නහර අතරට

ඇස් වැහුවට වැඩක් නෑ, මං රිංගන්නෙ සිතිවිලි අතරට



යක්කු ගැන හින්දම නෙවෙයි, ජයන්ත චන්දසිරි බස්සොන්ගෙ රසනහර වලට රිංගන්න දන්නවා. ඇස්වහක් කටවහක් නෑ හොඳට රස වින්දා. අග ටයිටල්වල තියෙන විදිහට නං ඇත්ත කතාවක්ලු. ඔව්වා විස්වාස කරනවද කියලා මයෙන් ඇහැව්වොත්, මයෙ උත්තරේ වැට උඩ. ඒත් ඒ කතා රස විඳින්න ඒක බාදාවක් නෙමෙයි. ඕකට කියන්නෙ විභීෂණ රසය කියලයි කියන්නෙ. කාලෙකට ඉස්සර රෝසි අක්කලෑ කලනත් ලිව්වා ඔහොම කතාවක්, එයාගෙම අත්දැකීමක්.



හ්ම්.. මගෙ අත්දැකීමක් නේද? කාලෙකට ඉස්සර මං හිටියා බෙස්මන්ට් එකක. ඒක නං බෙනයක්ම තමා. ඒක ඇරිච්චාවෙකො, ඕකෙ එන්ට්‍රන්ස් එකේ තියනවා ආවරණයක්. මං හැමදාම කෝපි බොන්නෙ ඔතන, එක්තරා දෛවෝපගත දවසක මධ්‍යම රාත්‍රියේ , බැදපු බිත්තර ගිල්ල බකමූණා සුපුරුදු කෝපි වඩිය බොන්න එලියට ආවා.  පැන්නෙ නැතෑ යකා,වහල උඩින් ඇවිත් මයෙ ඉස්සරහට. කට්ට කලුයි,ලයිට් එලියට ගිනිකණ වැටිච්ච උගෙ ඇස් රතු පාට දිලිසුනා. බකමූණා එතනම සෙල්මුවා  වුනා, ඒත් බයක් හිතට ආවෙ නෑ. ඇයි බොලේ මේක හෝම්පොලක් යෑ, ජනාකීර්ණ නගරෙ නෙව. රවාගෙන හිටිය යකා, විරිත්තලා  චෑස් ගාලා සද්දයක් දාලා , වලිගෙ වන, වන යන්න ගියා.



දැං මට තියන පුරස්නෙ. මෙහෙ යක්කු එක්ක අපි කතා කරන්නෙ මොන බාසාවෙන්ද ? දැං  මෝහිනීව ගමුකො. ඔහෙලා දන්නව නෙව උන්දැගෙ  මායම , අර රෙද්ද කැඩෙන්න එන කතාව.  දැන් මෙහෙදි යකෙක් " හේ, මෑන් වට්ස්' අප්" කියල ඇහැව්වොත්, මං අහන්නෙ ඕන බස්සෙක් හොල්මං වෙන්නෙ නැත්ද?







නත්තල් නිවාඩුවත් ඉවරයි, හෙට වැඩ. නිවාඩු කාලෙත් ඉවරයි, හෙට වැඩ. නිවාඩුවට ජෙට් එකක් එලවන්න පොඩි ට්‍රයි එකක් දුන්නා. Digital Combat Simulator කියන්නෙ පට්ට flight simulator කරන කොම්පැනියක්. ඔය උඩ උඩ වීඩියො එකේ තියන්නෙ. ක දැක්කාම මාව හොල්මං වුනා. මට දැන ගන්න ඕනෙ වුනේ මේ  රියලිස්ටික්  ග්‍රැ‍ෆික් ඇත්තද කියලා. අපි ඉතිං උප්පත්තියෙන්ම පියාඹන කට්ටිය නෙව? කතාව ඇත්ත,මාත් හරිබරි



ගැහිලා කොක්පිට් එකේ වාඩි වෙලා ඕන පු*ක් ප්‍රිති වෙසක් කියලා "ෆ්ලයි" බටන් එක එබුවා. දැන් ජෙට් එක යනවා හෙමීට. නිකං ඩවුන්ලෝඩ් කර ගත්ත නිසාද කොහෙද උන්දලා මට දුන්නෙ පරණ රුසියන් ජෙට් එකක්.  මං වට පිට බැලුවා. කෝ බොලේ මේකෙ සුක්කානම? කෝ ඇක්සලේටරේ? දෙප‍රැන්ද මැද්දෙන්  උඩට ආපු ,  වයිවාරන්න  බටන් තියෙන පොල්ලක් විතරමයි තිබුනෙ. ටික වෙලාවකින්  ජෙට් එකේ හොට පාත් වෙලා  ඩවුන්ද පල්ලං ගමන පටන් ගත්තා.  රෙද්ද්ක් ඇඳගෙන ඒ වීඩියෝ එක නං දාන්න බෑ.



දැං ඔහෙලා දන්නව නේද ඇයි බස්සො ප්ලේන් එලවන්නෙ නැත්තෙ කියලා. වැරදිලාවත් ඔහෙලා ගොඩ වුන ප්ලේන් එකේ කැප්ටන් බස්සෙක් නං, පටස් ගාලා බෙල් එක ගහලා බැහැලා , වෙන ප්ලේන් එකක නගින්න, ඈ?

බඹට පපට, බඹට පපට පට,පට, පට...


ඕං එහෙනං, අපි අපේ පොරොන්දුව ඉස්ට කොලා, ආයිබෝවංඩ. ආයෙ එන නත්තලට හමුවෙමු. හැමෝටම සුභ නවවසරක්!

Thursday, December 13, 2018

ඔ‍ටුව, පිටඔ‍ටුව, හොර්ටන් තැන්න සහ ගූගල් අර්ත්VR







  • පිටකො‍ටු ගිය බස්සා



බස්සා කැමති තැන් අතරින් පිටකො‍ටුව ඉන්නෙ සෑහෙන උඩින්. අහා! පිටකො‍ටුව, මගේ ප්‍රථම ප්‍රේමය.පිටකො‍ටුවට , ඒකටම ආවේනික වූ පෞරුෂත්වක් තියෙනවා - a city with a character indeed, I must say. ගිණි ගහන අවුවේ වුනත්, පිටකො‍ටු හරස් වීදි දිගේ වටපිට බල, බල ඇවිදින්න චෑන්ස් එකක්හම්බවුනොත් බස්සා නෙමෙයි මඟෑරියෙ. ඔය හරස් වීදි අතර තිබුණා ලූණු, අල වගේ තොග ආහාර විකුණන වීදියක්. ඒක එක්තරා විදිහක ඩෙඩ් එන්ඩ් එකක්. පිටකො‍ටුවෙ වංකගිරියෙ හිටපු ගමන් අතරමං වෙන බස්සා, සමහර වෙලාවට ඔය පාරට වැටෙනවා. ඔය පාර හදලා තියෙන්නෙ තාර දාලා නෙමෙයි : ලූණුයි, අලයි දාලා. කල්පාන්තයක් තැම්පත් වෙච්ච් ලූණු කොල තට්‍ටුවකින් තාර වැහිලයි තියෙන්නෙ. පොඩි වැස්සක් තියෙන දවසට ඔය පාරෙ අතරමං වෙන්න තරම් ඔබ වාසනාවන්ත වුනොත් හොඳ අත්දැකීමක් ලබා ගන්න චෑන්ස් එකක් ලැබෙනවා.ඒක වෙනම ආතල් එකක්.







එදාට අර ලූණු කොල තට්‍ටුව  බුරුල් වෙනවා. කකුල තියන කොට චිරිස් ගානවා, ඒකටම ගැලපෙන අපූරු සුවඳක් පරිසරයම වෙලා ගන්නවා. ඔය මොනවත්, පිටකො‍ටුවට තිබ්බ බකුසු ආදරේ අඩු කලේ නෑ. මුස්ලිම් පල්ලිය ගාව විකුණපු පොල් වෙරලු අච්චාරු, ෆ්ලුඩා, ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ එක්ක පිටකො‍ටුව ගැන බස්සගෙ තිබ්බ ලව් එෆයාර් එකේ, සුන්දර මතකය අදටත් අඩුවක් නැතුවම තියෙනවා.





  • පිටකො‍ටු පුරාණය




අපේ යටත් විජිත ඉතිහාසය හොයන කෙනෙකුට පිට කො‍ටුවත්, ඒ අවටත් නිධානයක්. ඩච් මියුසියම් එක, ගෑස් පහ හන්දිය, කයිමන් දොරකඩ, කොඩි ගහ මේ එයින් කීපයක් විතරයි.
කොළඹ කො‍ටුවෙ කො‍ටු දොරකඩ තාප්පේ
ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ

මේ මම කොහේදිද පොතක දැක්ක කවියක්. මම මේක ජන කවියක් කිව්වාම, වතාවක් ඇනෝ මීයක් මයෙ ඇඟට ගොඩ උනා, ඕක කවුරු හරි අපතයෙක් ලියපු රිකන්ඩිෂන් කවියක් කියලා.




අනේ මන්දා , මං දන්නෙ නෑ ඔව්වා. මං බස්සෙක් මිසක් ඉතිහාස විශේෂඥයෙක් නෙමෙයි නෙව? ඒ කොහොම වෙතත්, අද කුරුඳු නැති කුරුඳුවත්ත, ඉස්සර සරුසාර කුරුඳු වගාවක් බව ඇත්ත නං, කොළඹ, කො‍ටුවක් තිබිල තියනවා.කො‍ටුවක් නං කො‍ටු තාප්පෙකුත් තියෙන්න එපැයි. ඒ මදිවට රා විකුණලත් තියනවා. ඒ කාලෙ හිටපු බස්සොත්, ඒ රා බීල තියනවා. කොළඹ ට්‍රෑම් කාර් දුවලත් තියනවා. කරත්ත තිබිලත් තියනවා. ඒ කරත්ත වල බැඳපු ගොන්නුත් ඉඳලා තියනවා. තව ඉතිං, කරත්ත කාරයොත් රා බීල, ඉඳහිට ආප්ප කාල, කො‍ටු පැනලත් තියනවා. ඒකත් වෙනම ආතල් එකක් වෙන්ටෑ?





  • යූ-ටියුබ් සමග පාන් කෑම





සමහරවිට අද මෙව්වා වෙනස් වෙලා ඇති. ඒක එහෙම නං, මං දැනගෙන හිටිය පිටකො‍ටුවෙ මතකය, මමම තියාගන්නම්. කලින් පෝස්ට් එකේ එක්තරා මානවිකාවක් ලියලා තිබ්බා, එයාට ටිවී එකේ කුකරි ප්‍රෝග්‍රෑම් දිහා බලාගෙන ඒ කෑම කනව කියලා හිතාගෙන, මෙලෝ රහක් නැති පාන් කන්න ඇහැකි කියලා. ආන්න දැක්කද පවර් ඔෆ් ඉමැජිනේෂන්! මට එහෙම සුපර් පවර් එකක් නැති නිසා, පොඩි හැලුප් එකක් ගන්න වුනා.





  • තැපෑලෙන් ආ පෙට්ටිය සහ හෝතම්බුවාගේ රබර් ඇස





පහුගිය සතියෙ තැපලා ගෙනාව මගේ VR පෙට්ටිය. ඕකත් අරගෙන හොර බළලා වගේ කාමරේට රිංගන්න යනකොට මාට්‍ටු වුනා ගෙදර ඉන්න හෝතම්බුවට:





හෝතම්බු: ඔහොම හිටපං, මොකක්ද ඒ පාර ගත්ත අටංපහුර.



"මේක මේ පිචැර් බලන ගැජමැටික් එකක්. පට්ට ලාබයි, ගෙඩි සුපියල් එකසිය විසි පහක් විතරමයි" මං අහිංසක විදිහට කිව්වා.



මේක මේ ගහපු ගමන් හුටස්ගාලා වැඩකරන එකක් නං නෙමෙයි. මට ඕන වුනේ Google Earth VR රන් කරන්න. Google Earth VR තියෙන්නෙ Steam වල, HTC Vive වලට. Steam එකවුන්ට් හදලා, SteamVR ඉන්ස්ටොල් කරලා සැහෙන දුකක් විඳලා, දැන් වැඩ නං කරනවා.



කෙලින්ම උඩින් ගිහින් බැස්සෙ පිටකො‍ටුවට. මං ඉතිං පක්සිය නෙව, පියෑඹිල්ල ඉතිං අපිට උරුම වෙච්ච් දෙයක්. Street view update වෙන්නෙ කොහොමද කියලා තාම තේරෙන්නෙ නෑ. කම්පුටරේ බලනව වගේ නෙමෙයි, වෙනම අත්දැකීමක්, ඔලුව හරවලා වටේම බලන්න පුළුවන්, පාරවල් දියේ යන්න ලේසියි. මං කැමතිම දේ, මිනිස්සු -අපේ කස්ටිය නිරික්ෂණය කරන එක කරන්න කිසි තහනමක් නෑ. ප්‍රයිවසි නිසා මූණු බොඳකරලයි තියෙන්නෙ. ඒත් උන්නු හැටිය මලා මදැයි?





  • ලෝකාන්තය සහ කැලෑ ගිණි




හප්පේ තවකොච්චර තැන් වලට යන්න තියනව්ද? : හොර්ටන් තැන්න, ගෙලිඔය, නාවලපිටිය, මැද මහනුවර. පොඩිකාලෙ, ගෙලිඔය ඉස්ටෙසමට උඩහින් නෑඳෑ ගෙදරකදි කාපු සැමන් බැදුමක රහ තාමත් මතකයි.ඉති එහේ නොගිහින් කොහොමද? ඕන වෙලාවක , ප්‍රයිවෙට් බස් එකක එල්ලිලා පිටකො‍ටු ගිහින් ඉස්සො වඩේ කොටා බාන්න ඇහැකි ඔහෙලට මේකෙ ගේමක් නැතුව ඇති වුනාට, මේ හිමේ සට,සට ගාලා වෙව්ව, වෙව්ල ඉන්න ඝර්මකලාපීය මූකලං බස්සෙකුට මේක දාහක් වටිනවා.

බොහෝ කාළෙකට ඉස්සර වතාවක් , අපි නඩයක් ගියා හෝර්ටන් තැන්නෙ ගිණි නිවාරණ සතියකට.කොළඹින් රෑ තැපැල් කොච්චියෙ නැගලා ,ඔහියෙන් බහින කොට පාන්දර. පට්ට හීතලේ ඉස්ටේසම ලඟ තිබ්බ පෙට්ටි කඩේකින් තේ බිව්වා. ඊට පස්සෙ බඩු මුට්‍ටුත් කරගහගෙන දැන් නඩේම ගාටනවා පයින්. ඒ පැත්තෙ අයට හොඳ සද්දෙට හූ කියන්න පුළුවන්. ඇහුවාම කියන්නෙ අපොයි තව ටික දුරයි, හූවක දුර කියලයි. මොන හූවක්ද?යනවා,යනවා ඉවරයක් නෑ. අන්තිමට රේන්ජ්ර්ගෙ බංගලාවට යනකොට අපට පාං කියාගන්න බෑ.දැන් ඔහෙල හිතන් ඉන්නෙ , අපි නැවතුනේ ගෙස්ට් හවුස් එකේ කියලද? පිස්සුද? නවාතැන "අල බංගලාව". ඒක හැ'ගර් එකක් වගේ ලොකු මඩුවක්, නිදා ගන්න ඇඳන් දාලා තිබුණා.ජීවිතේ පලවෙනි පාර, හොඳ හීතලක් අත් වින්ද. අපි නිදා ගත්තෙ මේස් දාගෙන. උදේ නැගිටලා බලන කොට අපේ උයන අප්පු, ලිප ලඟ ගිණි තපිනවා. එහෙ පොල්තෙල් විකුණන්නෙ රාත්තල්




ගාණට, ගෙන්නෙ ෂොපින්බෑග් වල, පොල්තෙල් බටර් වගේ මිදෙනවා


සමගි පෙරමුණ ආණ්ඩුවෙ, වගා සංග්‍රාමය කාලෙ හෝර්ටන් තැන්නෙ අල වැව්වලු , වගුරු බිමේ. අල නං බැස්සලු එකසිය ගාණට, ඒවා ගබඩා කරන්න හදපු එක තමා පස්සෙ "අල බංගලාව" වුනේ. වැඩේ අලම වෙලා අත්හරින්න වෙලා තියෙන්නෙ, මෙහෙ අල බහිනකොට නුවර එළියෙ වතුර හිඳිච්ච නිසා :)



ගිණි නිවාරණේ කිව්වට අපි නිවපු ගින්නක් නෑ. හතර වටේ කරක්ගහපු එක තමා කලේ. දවසට එක ගානෙ අපි එක එක පැති කවර් කලා. ඒ ගියේ කැලෑ ගිනි තියනවද බලන්න. කැලේ කොටි හපුව ඉන්න බවට අපිට කලින්ම අනතුරු හඟවලා තිබ්බෙ. කොටිය කිව්වට එහෙ ඉන්නවයි කියන්නෙ අඳුන් දිවියා- කොටියගෙ පොඩි එකා. අපිට කොටියා හම්බ වුනේ නෑ, කොටියගෙ බෙටි විතරයි. අපේ නඩේ ගුරා කෝ‍ටුවකින් එව්වා විශ්ලේෂණය කරලා කිව්වා, කොටිය මෙතනින් මාරු වෙලා තියෙන්නෙ සැහෙන වෙලාවකට කලින් බව. මට නං විස්වාස කලේම නෑ, කොටියට මලබද්ධය නං . අනික ඌ තාම බ්‍රෙක්ෆ්ස්ට් එක අරගෙනත් නැත්නං. කොහොම උනත් ඌ බස්සොන්ට අකමැති ඇති, එලියට ආවෙම නෑ.එක අතකට නාපු එක හොඳා, නැහ්නං මේක ලියන්න බස්සෙක් නෑ.





  • රේන්බෝ ට්‍රවුට් සහ පින්ක් සැමන්





අල බංගලාව අසලින් ගලාගෙන ගිය දොල පාරක්




තිබුණා, වතුර පලිඟු වගේ. ඕකෙන් නාලා ආවාම බත් මරන්න පුළුවනි. මං හිතන්න සීතලට වැඩිය බඩගිනි වෙනවා.ජීවිතේ පලමු වතාවට, මීදුම් තට්‍ටු විදිහට ගලනවා දැක්කෙ එහෙදි, උදේ පාන්දර. මීදුම මැදින් තැන, තැන තාරකා වගේ දිලිසුනේ මුවෝ, ගෝන්නුන්ගෙ ඇස් කියලයි නේවාසික රේන්ජ්ර්තුමා කිව්වෙ. එතුමා බොහොම ප්‍රියමනාප, ප්‍රායොගික, "දැකුම්-කලු" හාදය, අපට දුන්නා බැදපු මාලු. එව්වා රෝස පාටයි. බ්ලැක් පූල් හරි චිමිනි පූල් වල ඉන්න මාලු ජාතියක්. අපිට ආවේණික මාලුවෙක් නෙමෙයි, ගෙනත් බෝකරපු එකෙක්. මාර රහයි.




මෙහෙ තියනවා පින්ක් සැමන්, සොක් අයි සැමන් කියලා දෙකක්. ආන්න ඒ වගේම රහයි. හෝර්ටන් තැන්නෙ ඉබේ වැවෙනවා වැල් ගො‍ටුකොල, ඉන්න කං කෑවෙ එව්වා සම්බල් හදලා.




සැමන් කිව්වාම, ඔය සැමන් මාලුවා බිත්තර දාන්න එන්නෙ මේ සාවියටලුනේ. මෙහෙ වාසගම "සැමන්" කියල තියෙන රතු ඉන්දියානුවොත් ඉන්නව කියන්නෙ. අර අපේ "ඌරු වරිගෙ වන්නිලෑ ඇත්තො" වගේ වෙන්ටෑ. අපේ එපාට්මන්ට් එකෙත් ඉන්නව රතු ඉන්දියානුවෙක්. මං හිතුවෙ පිල්ලෙක්(පිලිපීන) කියලයි. රොකට් එකක් ඇදලා ගිටාර් එක ගහල ජොලියෙ ඉන්නෙ.කල්ලො වගේ නෙමෙයි, හරි





ඩීසන්ට්.



ලඟදි අහුවුනා " පින්ක් සැමන්" ඩීල් එකක්. කෙ‍ටුවා පටස් ගාලා. වින්ටරේ කෑම ඉස්ටොක් එකට ගත්තෙ, ටින් 12යි. මඤ්ඤොක්කාත් තැම්බුවා,දැන් කෑම ලෑස්තියි. උඩින් ගිහින් හෝර්ටන් තැන්නට බහින්න විතරයි තියෙන්නෙ.
මෙදා පොටේ නං බස්සා එක්කෝ ඇතිවෙනවා, නැහ්නං නැතිවෙනවා.














I dream all year, but they're not the sweet kind


And the shivers move down my shoulder blades in double time









  • මැංචෝසන් චාරිකාව





ටික වෙලාවක් මන්කි-බිසිනොස් පාරක් දැම්මාම, ටියුටෝරියල් ඕනෙ නෑ.  මන්කි බිස්නස් කිව්වෙ, අර හරියට දන්නව වගේ ,ඔබන්න තියෙන හැම බටන් එකම ඔබලා අනාගෙන ඉගෙන ගන්න ක්‍රමය. දැන් හරි, ලෝක බෝල මගෙ අතේ.





අර ලෝකාන්ත ප්‍රපාතෙ පහල තියෙන්නෙ , ඕකෙන් පැන්නාම වැටෙනවයි කියන තේ වත්තෙ පැක්ටේරිය වෙන්ටෑ? ඕකත් මට කාළයක ඉඳලා තිබ්බ ප්‍රශ්ණයක් තමා.











Sunday, December 9, 2018

බස්සා, නත්තල සහ උම්බලකඩ


නත්තල අතලඟ. වින්ටරේ හොට ලඟ. නත්තල කිව්වාම ඔහෙලට මතක් වෙන්නෙ නත්තල් පප්පව නේද?  නත්තලට කව්ද අපි වගේ දෙකයි පනහෙ බස්සොන්ට තෑගි දෙන්නෙ? ඒක නිසා මං කරන්නෙ , නත්තලට මං, මටම තෑගි තැපැල් කරගන්නවා. ඒ කරලා, තැපැලා එනතුරු මග ‍රැකගෙන ඉන්නවා. බලන්න එපෑයැ, තැපලා අර ලියුම් මල්ලයි, පාර්සලුයි කරගහගෙන එන ලස්සන, නත්තල් පප්පා පරාදයි. වැඩේ කියන්නෙ අපේ නත්තල් පප්පල සැට් එකම මේ දවස්වල ඉස්ට්‍රැයික්. මං හිතන්නෙ  ආණ්ඩුවත් එක්ක වලි, වැඩි පඩි ඉල්ලලා. මුංව දීයා කන්න, හරියටම ඉස්ට්‍රැයික් පටන් ගත්තෙ නත්තල් උත්සව සමය අල්ලල  නෙව.





මේ දවස්වල හැම තැනම සේල්. ඔන් ලයින් ගත්ත පොඩි, පොඩි බඩු ඔක්කොම තැපෑලෙ හිර වෙලා. එහෙම කියල පුළුවනෑ, ගියා කඩේ, ගත්තා  පරණ ෆෝන් එකක් : Nokia Lumia 1520. ගෙනාවමයි කරපු ගොන්කම තේරුනේ. හාඩ්වෙයා ස්පෙක්ස් නියමයි ඒත් OS එක මෙලෝ රහක් නෑ - වින්ඩෝස් මොබයිල්. ඒ මදිවට ගඩොල් බාගයක් විතර බරයි. ඉතිං මොකේ දෑ දං වලඳන්නෙ? ඔක්කොටම හපන් අපේ හෝතම්බුවා ඉන්නෙ , ඔය වගේ මට කෙල වෙනකං, හිනා වෙන්න. මට තේරුනා මේක නං මොබයිල් ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න බැරි බව.






මං සැලුනද පිංවතුනි? නෑ, දා ගත්තා Tune in ඔක්කොම සිංහල ඔන් ලයින් රේඩියෝ ටියුන් කරගත්තා. කනෙක්ට් කලා බ්ලූටූත් ස්පීකරේට. නියම කොලිටි වෙබ් රේඩියෝ එකක්, දැං අහනවා ලංකාවෙ රේඩියො එකසිය ගානට.


ඕං ඔය  පහුගිය සෙනසුරාදා හැන්දෑවේ මම දෙකක් නමාගෙන ,කකුල් දෙක පුටුව උඩට අරගෙන අහනවා රේඩියෝ. මතක විදිහට Neth FM. කාලෙකින් අහපු හිතට අල්ලලා ගිය සිංදුවක්. යූ ටියුබ් ගිහින් සිංදුව හොයන කොට, මෙන්න බොලේ අහනවා සිංහල එකද හින්දි එකද කියලා. එතකොටයි පිංවතුනි මට වැඩේ තේරුනේ. ඔරිජිනල් එක හින්දි සිත්තරපට ගීයක්.කොපියක් වුනත් අපේ ගොබිලත් අවුල් නෑ. හින්දි සිංදුවෙ විෂුවල් ලස්සනයි. ඒක බැලුවාම වෙනම කතාවක් හිතේ මැවෙනවා. ඒත් මට හිංදි තේරෙනවයෑ? මං කලේ දෙගොල්ලන්ටම සාධාරණේ ඉස්ට කොරන එකයි. ගත්තා සිංදු දෙකම , එකට අනලා ගැහුවා කලවම් කොත්තුවක්:



ආ දන්න පිංවතෙක් කියනවද ලපල්ල කියන්නෙ මොකක්ද කියලා. අර අපේ ගොබිලා කියන්නෙ උන්දෑ සිහින, සිහින වින්දා කියලා?

මං ලපල්ල නොදන්නවා වුනාට කිරිපල්ල නං දන්නවා. "තොපි ආයෙ අපේ පොඩි එකීගෙ කිරිපල්ල අතගාල තිබුනොත් , ආයෙ දෙකක් නෑ, මං කපනවා තොපේ හික් මීයා". අටමා තමා කියා දුන්නෙ.








මං හිතන්නෙ මට ලැබිච්ච හොඳම තෑග්ග තමා මේක:

HP Windows Mixed Reality Headset VR1000

Walmart එකේ පන්සිය ගාණක්. අඩුම Amazon එකෙත් තුන්සි ගාණක්. Black Friday ඩීල් එකක් තිබ්බා එකසිය විසි ගාණට. දැක්ක ගමන් කෙ‍ටුව උඩ පැනලා. පැය ගාණෙන් ඔක්කොම විකිණිලා ඉවර වුනා.



VR headset මාකට් එකේ උඩින්ම ඉන්නෙ Oculus Rift, HTC Vive එව්වා way out of my league. මේක මං වගේ දුප්පත් බස්සෙකුට හොඳටම හොඳා. හැම අවුරුද්දෙම කොම්පුටරේ අප්ඩේට් කරනවට වඩා, මේක හොඳ අත්දැකීමක්.තාම සර්ව සම්පූර්ණයි කියල කියන්න බැරි උනත්, VR අනාගතය හොඳ වෙන ලකුණු තියනවා.



මට වෙලාවකට හිතෙනවා අපි  නවීන තාක්ෂණයට ඇබ්බැහිවෙලා වැඩිද කියලත්. ආයෙ හිතෙනවා, ඔන්න ඔහෙ තියෙන එකේ , පාවිච්චිකලාම මොකද වෙන්නෙ කියලා. නවීන තාක්ෂණයට නැත්නම් හරි අපි ඔහෙලා මෙහෙම හරි කතා කරන්නෙ කොහොමද?

යූටියුබ් කුකින් වීඩියෝ නිසා මගේ සූප ශාස්ත්‍ර ඥාණය තරමක් වැඩි දියුණුවෙලා තියෙනවා.මගේ පරිප්පුවයි, පොල් සම්බෝලෙයි නරකයි කියන්නමත් බෑ.පොල්සම්බෝලේට ගන්න මිරිස් කබලෙ ටිකක් බැදලා ගන්න ඕනෙ, යන්තං දුඹුරු පාට වෙනකං. එතකොට තමා රහ. මම නම් ඈඹුලට දෙහි, තක්කාලි දෙකම දානවා, ඒත් වැදගත්ම දේ සියඹලා, නියම රස එන්නෙ එතකොට.



එකම අවුල  පොල් බිඳිල්ල තමා. ඇස් ගණන් කරලා හරි දාරෙ හොයලා, කුරුමානම් අල්ලලා පොල් ගෙඩියට පත බෑවම  ඒක බිදෙන්නෙ හරහට නෙමෙයි, දික් අතට, නැත්නම් රුයිතෙට. 

ඊයෙ මං හැදුවා පොල් සම්බලයක් ඩයිනමයිට් වගේ, ඒත් රසයි.  පොල් සම්බලේ රස වැඩිකරගන්න  උම්බලකඩ දාන්නම ඕනෙ. උම්බලකඩ කියන්නෙ ලාබ දෙයක් නෙමෙයිනෙ.

යූටියුබ් එකේ "අපේ අම්මා" කියල දෙනවා උම්බලකඩ හදන විදිහක්. සරලයි, වේලන්නෙ අව්වෙ නෙමෙයි. ඊට කලින් සැරේ අපේ අම්මා එලියෙ වේලපු උම්බලකඩ පූසො අරං ගිහින්.ඒ නිසා මේ සැරේ කියල දෙනවා අව්ව නැතුව හදන ක්‍රමේ. ඒක  මේ වින්ටරේ වෙව්ලන අපි වගේ බස්සොන්ට නියමෙට ගැලපෙනවා.

මගේ පලවෙනි උම්බලකඩ බැච් එක ලිපේ. අපේ අම්මගෙ ගෑස් ලිප්, කුකුල් දැල් මැතඩ් එකනම් මට කරන්න බෑ. අපේ  ගෑස් නෑ ඔක්කොම ඉලෙක්ට්‍රික්. අවන් එකක් තියනවා ටයිමර් නෑ. මේ ලඟදි  පහල තට්‍ටුවෙ සිරියන් කස්ටිය ගේ ගිණි තිබ්බා උයන්න ගිහිල්ලා.

ඔය ඔක්කොම කිරල, මැනලා සලකලා බලල තමා මේක ගත්තෙ: හොද ඩීල් එකක් , සාමාන්‍ය ගාණෙන් බාගයයි. රෝස් කරන්න , බේක් කරන්නත්  පුළුවන්. 



මේක halogen convection oven එකක්. මං හිතන්නෙ ඔහෙ සිංගර් එකේ තියනවා.ටයිමර්, උෂ්ණත්ව පාලනය තියනවා. හොඳම කොටස  වටේටම වීදුරු - උයන එක ට මොකද වෙන්නෙ කියල පේනවා. 



දැන් මේ වෙනකොට ආං එයා උම්බලකඩ වේලනවා,කුස්සියෙ.