ආඩතෝඩ කියන එකේ තේරුම "එළුවන් නොකන" කියලා අහල තියනවා. මේක දෙමල වචනයක්ලු. ඇත්ත නැත්ත බලන්න, එලුවෙක්ගෙන් ඇහැව්වාම, ඌ කියාපි එහෙම ගහක් දැකලා තියා අහලවත් නෑ කියලා. අද බේතකට ගන්නවත් අඩාතෝඩ ගහක් නැතුව ඇති තමා. හැල-යක්ඛ බාසාවෙන් පාවට්ටා , අගල් ආධාර කියලත් කියනව වුනාට, මූකලං බස්සොන්ට එව්වා ආඩතෝඩම තමා.
අපේ වත්තේ, ආතා හිටවපු ආඩතෝඩ ගහක් තිබුණා. ඉඳලා හිටලා, ආයුර්වේද බෙහෙත් වලට ගන්නවා ඇරුනාම වෙන ප්‍රයෝජනයක් ගැන දන්නෙ නෑ.
බකුසු අප්පුච්චා දුන්නා එකටත් බැස්ටිය. අපරාදෙ කියන්න බෑ උන්දෑට ගස් පේන්න බෑ. දවල්ට කාලා, පොරවත් අරං එනකොට ගස් වෙව්ලනවා. එදාට ඉතිං තවත් අසරණ ගහක් නේනගං යනවා. රඹුටන් ගහ, බෙලි ගහ, වැලි අනෝද ගහ, මුරුංගා ගහ සහ කතුරු මුරුංගා ගහත් , තව අඹ ගස් කීපයකුත්, උන්දෑ අතින් නිවන් දැක්කා. ඉස්සර ඉඩම් වලට නම් තිබ්බා, අපේ ඉඩමෙ නම "දෙල් ගහ වත්ත." . වත්ත මැද්දෙ, ලොකු බෙනයක් තිබ්බ, තැම්බුවාම පිටි වගේ වෙන ගෙඩි බර වෙච්ච රටදෙල් ගහක් තිබ්බා. එයාටත්, අපේ ලොක්කගෙ පොරෝ පාරෙන් බේරෙන්න බැරි වුනා.
බෙන වලට ගස් වලට ආදරය කරපු බස්සෙක් වෙච්ච මම, මේ ගැන ලොක්කත් එක්ක කොච්චර හබ කලත්, එයා ලොක්කා නිසා මම පැරදුනා. පස්සෙ , කාමරංකා ගහත් වැලිගංපිටි ගියා. ගස් හිටෙව්වෙ ආතලෑ පරම්පරාව, අපේ අප්පුච්චා ගස් හිටෙව්වද කියලා, කිසිම මතකයක් මට නෑ, ඒත් එයා ගස් කපන්න නං දෙයියා. ඒකට කිව්වෙ "වත්ත සුද්ද කරනවා" කියලයි. අපේ ආතා බිව්වෙ සුරුට්ටු. මේසෙ යට ඉඳලා, වැටිච්ච අප්පුච්චාගේ සිකරැට් බට් එක උරලා මාට්ටු වෙලා ගුටි කාපු බකුසු පැටියාට, වේලිච්ච කොල වලින් සුරුට්ටු ඔතන්න පිහිට වෙච්ච, අපේ ආඩතෝඩ ගහ අදටත් ආදරෙන් සිහියට එනවා.
මේක ගස් ගැන කතාවක්මත් නෙමෙයි. හිංගල බාසාවෙ බොහෝ වචන වල දකුණු ඉන්දියානු සම්භවයක් තියනවා. තමිල්නාඩුවට අල්ලපු ප්‍රාන්තය කේරලයෙ ඉන්නෙ මලබාරි. අපේ අප්පුච්චාගෙ දකුණු ලකේ ගම්මානෙ තිවුන කන්දෙ විහාරයෙ, ගල් පිලිමෙ හදන්න මලබාරි ගල්වඩුවො ආ බව පැරැන්නො කිව්වා. මේ මලබාරි, මතුරපු ගල්කටු වලින්, පහසුවෙන්ම පිලිමය නෙලුව බවත්, කලු බළලෙක් ආ නිසා, දවසක් උයපු කෑම ඔක්කොම විසිකල බවත් කිව්වා. පිලිමෙ නෙලන්න කලුගල ගේන්න, අලි කරත්තයක් පාවිච්චි කලා කියලත් කිව්වා.
ආඩතෝඩා වගේම මලයාලිත්, ලංකාවෙ හිඟයි. ඒත් දෛවයට අනුව, අරාබියෙ මරුකතරෙදි මට මේ අපූරු මලයාලි /මලබාරින්ව ඇසුරු කරන්න චෑන්ස් එකක් ලැබුනා.වෙළදාමට දක්ස, මේ මලබාරීන් කෙතරම් උගත් වුනත්, අතට අහුවෙන ඕනම රස්සාවක් පිලිගන්න මැලි වුනේ නෑ. මේ මලබාරින් ගැන අනිත් ඉන්දියන්කාරයො කියන කතාවක්.
නීල් ආමස්ට්‍රෝන් හඳට ගිහින්, කොඩිය හිටෙව්වාම, ඇහුනලු සද්දයක්. බැලින්නං මලබාරියෙක් "චායි,චායි" කිය, කිය තේ විකුණනවලු. මලබාරින්ගෙ පෙනුම විතරක් නෙමෙයි, කේරලයෙ පරිසරයත් ලංකාවට සමානයිලු. එක මලබාරියෙක් හිටියා, මේකා මාත් එක්ක හිටපු ගමන් උන්ගෙ බාසාවෙන් කියෝගෙන යනවා. මගේ ඇරිච්ච කට දැක්කාම, සොරි කියලා සුද්දගෙ බාසාවට මාරු වෙනවා. කේරලෙත්, මූකලං බස්සො ඇති නේද? කාන්තාරෙක තියෙන උතුරන ලෝදිය හැලියක් වගේ තිබ්බ,ඒ කර්මාන්ත ශාලාව, ක්ෂේම භූමියක් වුනේ, එහෙම හමුවුන මිත්‍රයො නිසා තමා. (උද්දච්ච, කම්මැලි අරාබි කාරයොගෙයි,යම පල්ලොන්ගෙයි වෙනසක් නොපෙනුන නිසා තමා, මම සල්ලි ටිකක් හොයාගෙන, එතනින් චුත වුනෙ)
අනිත් හාදයා කුමාර්. එච්චරම තාක්ෂණික දැනුමක් නොතිබ්බාට, උපන්ගෙයි විදුලි කාර්මිකයා. කතා කරන විදිහ අහන් ඉන්න ආසයි. මාත් ඉතිං ආතල් එකක් ගන්න මෙහෙම අහනවා: ආ, කුමාර් ඉතිං දැන් වැඩ ඉවරවෙලා මොකක්ද කරන්නෙ?
ම්ම්ම්ම්.....ගොයිං ස්ට්‍රේට් හෝම් (අතින් කෙලින් යන හැටි පෙන්නීම), ආප්ටර් (ඔලුව ඔරලෝසු බට්ටාසේ වැනීම) වන් බාත, වන් ඩ්රින්ක, වන් ෆුඩ
අනිත් හාදයා, සෝමෂේකර් "සෝමු" බාස්කරන්. මලයාලි බාසාව කතා කරන්න නහයත් පාවිච්චි වෙන බවත්, "ඩ්" යන්න වෙනුවට "ඩ" යන්න, කාඩ-බෝඩ ලෙස කියවෙන බවත් , කිව්වෙ සෝමු තමයි. Industrial electronics ගැන පලපුරුද්දක් නොතිබුණ මට, කර්මාන්ත උපකරණ තාක්ෂණය, ගුරු මුට්ටි නැතුවම ඉගැන්නුවෙ එයා තමා. ඉන්දියාවෙ න්‍යෂ්ටික විදුලි බලාගාරයක ,කලින් වැඩ කරල තිබුණ ඔහු, ඒ ක්ෂේත්රයේ විශේෂඥයෙක් වගේම, දක්ශ ගුරුවරයෙක් වුනා. යාබද ප්‍රාන්ත නිසා, දෙමල සහ මලයාලම් එක වගේ උනත්, සමහර යෙදුම් වෙනස් කියලයි, ඔහු කිව්වෙ. මම හාරාඇවිස්සුවාම ඔහු මෙහෙම කිව්වා.
මලයාලි බාසාවෙන් , මම ඔබේ "සාරම්" ට ආසයි කියන එකෙන් අදහස් වෙන්නෙ, මම ඔබේ කතා විලාසයට ආසයි කියන එකලු. ඒක දෙමලට හැරෙව්වාම " මම උඹේ ගෑණිට ආසයි" වෙනවලු. බඩුම තමා!
පොල්. තේ, රබර් තියෙන, වලව්වල අලි ඉන්න, සරම් අඳින, ලංකාවට සමාන, කේරලය බලන්න යන්න මම "බකට් ලිස්ට්" එකට දාගත්තා.දුර ඉඳලා සුන්දර කේරලය අත්විඳින්න ඕනෙ නං, මෙන්න මේක බලන්න:
VIDEO
ඒත් අපේ ලාල් කාන්ත සහෝදරයා(brother from a different mother) මෙහෙම කියනවා නෙව?"මම ජිනීවා වල ලෝක කම්කරු සම්මේලනයට ගියා, ඔය පිටරට ගියාම, අපි නවතින්නේ අපේ පක්ෂ සාමාජිකයින්ගෙ ගෙවල් වල නෙව? මට පෙන්නන්න බැරි වැඩේ, උන් පණදාගෙන හදලා, කිරිබත්, ලුණුමිරිස්, ඇඹුල්-තියල් වගේ කෑම මට කව්වන්න හදන එකටයි. මම කෙලින්ම කියනවා" මම මෙහෙ ආවෙ, ලංකාවෙ කෑම කන්න නෙමෙයි, මෙහෙට ආවේනික කෑම කන්නයි"" කියලා . බලාගෙන ගියාම, ඒ කතාවත් ඇත්ත නෙව? ඒ සහෝදරයට, ධනපති කෑම රස බලන්න විචිකිච්චාවක් ආව, එච්චරයි. ඕං ආයෙත් අවුල් වුනා, ඒ සැරේ මගේ කේරල ගමන, බකට් එකේ ගැට්ට උඩට නැග්ගා.
එකම අවුල, අපි වගේ සිම්පල් බස්සෙකුට විචිකිච්චාවක් ආවොත්, රට්ටු "ඇයි ගැලෙව්වෙ, ඉත්තෑ අමාරුවද?" කියල අහන එක නෙව? දැන් බලාන්ට, මං කොච්චර අබංක බකමූණෙක්ද කියලා? මේ ලිපියෙම කොච්චර පෞද්ගලික විස්තර ලිව්වද? ඇයි එතකොට, ලෝකයා මට ගල් ආඳා කියන්නෙ? බසු වරෙත්තුව කියලත් කිව්වා කියහංකො.
ආ , වැලම සුපියල් තුනයි, චීන බඩු ආවා. මේං කැඩිච්ච හාදයා, දැන් ගිණිකසයා වගේ වැඩ😊
If it ain't broke, break it. So, you can make it!
පිංතූර අනුග්‍රහය: අන්තර්ජාලයෙන් සහ මූණුපොත