Thursday, September 28, 2023

ප්‍රයෝජනවත් බ්‍රව්සර් ඇඩ්-ඔන්/ එක්ස්ටෙන්ෂන්

මේ තියෙන්නෙ ක්‍රෝම් බ්‍රව්සරයට මම දැනට පාවිච්චි කරන Addon/ extension ටික. ඩික්ෂ-නරි තුනයි. 

1. Google Dictionary

2. Google Translate

3. Instant Dictionary

Dictionary නං කොච්චර තිබ්බත් වැඩි නෑ. සමහර ඉංග්‍රීසි වචන වල හරිම තේරුම, යෙදෙන අවස්ථාව අනුව වෙනස් වෙන නිසයි.

ලිඛිත හෝ කතාකරන "පොෂ් ඉංග්‍රිසී" වලට අයත් නොවන, "ස්ලෑන්ග්" නමින් හඳුන්වන කොටසකුත් ඉංග්‍රිසී බාෂාවෙ තියනවා. ඒක එක්තරා ආකාරයක, "බජාර් එකේ බාසාවක්" . මේ ස්ලෑන්ග් රටින් රටට වෙනස් වුනත්, ව්‍යක්ත ඉංග්‍රීසි සඳහා මට ඇමරිකන් ස්ලෑන්ග් වැදගත් වෙනවා. ඒ සඳහා මම යන්නෙ ,  Urban Dictionary  කියන තැනට. තව Thesaurus එකකුත් තියනවා, මේවා සෙට් කරගත්තෑකි, වෙන, වෙන ක්‍රම වලට ඇක්ටිවේට් වෙන විදිහට, ඔප්ෂන් හරහා.

ඊළඟට OneNote web Clipper සහ Single File. දෙකම තමන් බලන වෙබ්-පේජ් එක සේව් කරගන්න ක්‍රම දෙකක්. OneNote එකේදී ඒවා පොතක් විදිහට, කැටගරි සහ වෙන, වෙනම පිටු හදලා සේව් කර ගැනීමේ පහසුකම තියනවා. Single File සරළයි, සම්පූර්ණ වෙබ් පිටුවම, පින්තූර සහිතවම එක ෆයිල් එකකට සේව් කරනවා.

මේ Read Later 
සමහර වෙලාවට එහෙම ස්ථීරව සේව් නොකර, පස්සෙ බලන්න විතරක් අවශ්‍ය වෙන වෙලාවකට  Read Later තමයි හොඳ.  මට නං ඉතාමත් ප්‍රයෝජනවත් එකක්. දිග වීඩියෝවක් බලනකොට, මැදදී මේක හරහා සේව් කලාම, ඊළඟට ඒ බලපු තැන සිට ආයෙ බලන්න පහසුකම තියනවා. ඔය පිංතූරෙ තියෙන්නෙ, වීඩියෝවල බලාපු ප්‍රතිශතය තමයි.

අන්තිමට uBlock Origin නම් හැම බ්‍රව්සර් එකටම දාගෙන තියනවා. සාර්ථක විදිහට හැම පොප්-අප්, මාකටින්, ඇඩ්වටීස්මන්ට් ඔක්කොම බ්ලොක් කරනවා

 මට මඟෑරිච්ච, ඒත් ප්‍රයෝනවත් ඒවා තව ඇති. එහෙම එව්වා තියනවා නං කමෙන්ට්වල දාන්න, ඈ? මම දාල තියෙන  ඇඩ්-ඔන් වලට කෙටුවාම, කලින්ම අදාල ක්‍රෝම් ඇඩ්-ඔන් පිටුවට යන විදිහට ලින්ක් දාලයි තියෙන්නෙ.



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Monday, August 28, 2023

පට්ටි මානසිකත්වය - Herd mentality

 අපේ පැත්තෙ තියෙනවා පැසිෆික් මෝල් කියලා වෙළඳ සංකීර්ණයක්. ඒකෙ වැඩි හරියක්ම ඉන්නෙ චීන්නු. හොර ෆෝන්/අයිපෑඩ් අන්ලොක් කරන "ෂේඩි" බිසිනොස්ද ඇතුලුව, ලාභ නමුත් ගාණෙ හැටියට වටිනා බඩු ගන්න නියම තැන. ඔතන කඩේක "store closing everything must go" සේල් එකකට, අපේ හෝතම්බුවා ගිහිල්ලා. සූ ගාලා චීන ගෑණු බඩු තෝරනවලු. හෝතම්බුවා, ඒ චීන නඩයෙන් ඈත් වෙලා කොනක තිබිච්ච බඩු ලොට් එකක, බඩුවක් බලන්න අතට ගත්තලු. අර චීන නඩේම එතනට කඩා පැනලා, ඉතුරු හොඳ බඩු ටික සිං ගාලා වාෂ්ප කෙරුවලු. 


හෝතම්බුවා කියනවා, එතන හිටියලු, මොකක් හරි භාණ්ඩයක් අතේ තියන්, වට-පිට බල-බල ඉන්න එවුන්, අනිත් එවුන් තෝරන්න මොනවද කියල බලන්න. විශේෂයෙන්ම, මේ සෝෂල් මීඩියා යුගේ මේ "mob behavior" එක බොහොම සුලභ දසුනක්. 


අහල ඇති නෙව කුප්‍රකට The Stanford Prison Experiment ගැන. රංචු ගැහුනාම Power dynamics සහ Abuse of power අපට බලපාන්නෙ කොහොමද කියන එකට මේක හොඳ උදාහණයක්. අපි වැඩිදෙනෙක් බලාගෙන ඉන්නෙම කවුරු හරි පෙරමුණ ගන්නකම්, රැල්ලෙ යන්න. මේ මානසිකත්වය දේශපාලනයෙදි වගේම හමුදාවෙදිත් ප්‍රයෝජනයට ගැනෙනවා. 

Linus Tech Tips(LMG- Linus Media Group) කියන්නෙ, මිලියන 15 අනුගාමිකයො ඉන්න ලොකුම යූ-ටියුබ් ටෙක් චැනල් එකක්. කම්පියුටර් සේල්ස් රෙප්  කෙනෙක් විදිහට ජීවිතේ පටන් ගත්ත ලයිනස්, යූ-ටියුබ්  අධිරාජ්‍යක් ගොඩනැගුව. ඒත් corporate dictatorship විවේචනය කරපු ලයිනස්ම, ඒ තත්ත්වයට පත්වීම දෛවයේ සරදමක්.

මිලියන් ගාණක් අනුගාමිකයො ඉන්න නායකයෙක්, වැරදි පාරෙ ගියොත් ඒකෙන් වෙන සමාජ හානිය බරපතලයි. දැන් ඔහෙලා හිතෙන්නෙ, මේ ගැන දැණුවත් වුනොත් එහෙම වෙන එකක නෑ කියලද? මොන පිස්සුද, සමහර වෙලාවට මාත් ඔය රැල්ලෙම  යන්නෙ යස අපූරුවට?🤣 තත්ත්වය, තරාතිරම , උගත්කම බල නොපාන මේක ස්වභාවික මිනිස් ගතියක්. 

දැන් අපේ හෝතම්බුවාත් සේල් යනවා. පුටියට පිංසිද්ද වෙන්න, දැන් ජීවන වියදම අහස උසට නැගලා නිසා, බ්‍රෑන්ඩඩ් උස්මුරුත්තව හැදිලා හිටිය හෝතම්බුවාත් සේල් යන එකේ වැරැද්දක් මම දකින්නෙ නෑ. ආ, අර වැග්නර් බොසාත් මලාලු නේද? හදිසි අනතුරක් කියන්නෙ, රුසියාවෙ නිසා විස්වාස කරන්නම වෙනවා.


ආර්ට් පුරවපු කැනපි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා මේ සොසයිටියෙ හුඟක් වැඩ කෑලි
එකතු කරගෙන පරණ බඩු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා .....ආර්ට් බොබ්මාලි


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)


Tuesday, August 22, 2023

සොහොන්පල්ලාගේ මතක වස්තුව

එදා තවත් එක් ඒකාකාරී රාජකාරී දිනයක අවසානයක්. සුපුරුදු පරිදි කඩේ ගොස්, බඩු මලු ඉහින්, කනින් එල්ලා ගෙන පාර පනින විට, දුරකථන ඇමතුමක් එනවා. දුරකථන තිරය, වාහනක නලා හඞ, ස්ලාං බලාං ඩෝං.......ඊලඟ මම ඉන්නෙ කලු කෝට් කාරයෙක් ඉස්සරහා. නෑ, නෑ අලුත් කඩේ නෙමෙයි. කෝට් කාරයා මට කියනවා, මගේ"කල් ඉකුත් වූ" බව.

මම ඇහැරෙන්නෙ නුපුරුදු පරිසරයක. මායාකාරියො කතා කරන මිනී ඔලු, ඇල්කෙමි, මන්තර සහ සොම්බි ඉන්න, මේක වැඩවසම් යුගයේ අමුතු නගරයක්.මම දැන් ඒකෙ සොහොන්පල්ලා. ටවුන් බාර් කීපර් තමයි මේයර්. බාර් එකේ නම "ඩෙඩ් හෝර්ස්". එහෙ කස්ටිය කරන්නෙත් බෝතලයක් ගහලා හාන්සි වෙන එකම තමයි.  කතා කරන බූරුවෙක් මට මිනී ගෙනත් දෙනවා. බූරුවා මට "කොමරේඩ්" කියා අමතනවා. මං හිතෙන්නෙ ඌ සමාජවාදියෙක්. මිනී වැලලුවාම මට සල්ලි ලැබෙනවා. මෙතන මගෙ රස්සාව මිනී විකුණගෙන කන එක. මිනී වලින් සොම්බි හදලා, උන් ගෙන් පඩි, කෑම නැතුව  වැඩ ගත්තෑකි ( කම්කරු පන්තිය සූරාකෑම). පස්සෙ මමත් බාර් එකක් අරිනවා. එක දවසක් බූරුවා ස්ට්‍රයික් කරනවා. ඌ මට "ධනවාදියා" කියල බනිනවා. ගේන එක මිනියකට, කැරට් පහක් ඕනෙ කියලා ඌ හතර ගාතෙ දාලා බිම වැටිලා උපවාසයක් කරනවා. ඉල්ලීම් නොදුන්නොත්, යූනියන් එක දාලා ගෙට ගිනි තියනවා කියල තර්ජනය කරනවා. මම  සොහොන්පල්ලෙක් වුනේ "Graveyard Keeper" කියන ගේම් එකේදී. මට මේ ගේම් එක අල්ලලා ගියේ, සැබෑ ලෝකයෙත් අපි කවුරුත් මිනී විකුණගෙන කන චරිත හින්දද මන්දා?


ප්‍රේමකීර්ති ඔහුට කිව්වෙ "පනාපුත්‍ර කුහුඹු පැණියා" (ජැක්+සන්+ඈන්ට්+හනි)කියලයි. කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි නම් වූ ඔහු, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධිධාරියෙක් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්.

ඒ දැණුම අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිර රචක,  නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කලා. තමන්ගෙ වටිනාකම දැණගෙන  හොඳට මාකට් කරගත්තා. ඒත් ඒ එක්කම අපට දැණෙන යමක් ඉදිරිපත් කලා. 

 "ජැකා" කඩුල්ලේ "කුරුස මුදලාලි", ඇල්ල ලඟ වලව්වේ "හාමු මහත්තයා". මේ ඒ අප ආදරය කල ජැකා:



උඹේ සපත්තුව වැළඳ බදා- උඹේ සබුක්කුවෙ පහර කකා
ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ -දෙවියනි මූන් අද කරති නිගා

-(මෙතින්න මාරු වෙනු)-

ඔහු ඉතා දක්ෂ කතාන්දර කාරයෙක්. ඉරිදා ලක්බිම පුවත්පතේ තීරු ලිපි ලෙස පලවූ "පනාපුත්‍ර මතක" එක හුස්මට කියවිය හැකි ලිපි පෙලක්. ඒකෙ තියෙන්නෙ ගමේ විස්තර. හුදී ජන කතන්දර. පොඩි කාලෙ කෙල්ලො එක්ක සෙල්ලං කරපු හැටි, ගොක්කොල කලාව කතෝලික උත්සව වලට ගෙනිච්ච හැටි. තාත්තගෙ, සීයගෙ විස්තර. "කළු ගඟ දිගේ" වගේ ගවේශනාත්මක සංචාර වැඩසටහන් වලට ඔහු ආඩින්ගෙ පැටිකිරිය වගේ ඉතිහාසය, දක්ෂ ලෙස මුසු කලා. 

සමහරු ඔහුට නිවන් සුව පැතුව. ජැකාම කියපු විදිහට ඔහු "උපතින් කතෝලික, සගිස්කුරුතිය බෞද්ධ" නිසා සමහරු පටලෝ ගන්න ඇති. තවත් අය අලියට නිවන් සුව පැතුව පැතුව. අලිය බෞද්ධද මන්දා? වාහනයක් කුඩු වෙන්න හැපිච්ච අලියා නැගිටලා ගියාලු. ගිය පාර දිගේ වනජීවී එක ගියත් හොයා ගන්න බැරි වුනාලු. සමහරු කියනවා, ඒක අලි පිල්ලියක් ලු. ජැකාගෙ එක මතක වස්තු කතාවක, කනප්පුවක් ඇවිද්ද්දෝල කම්බි වැටක් පන්නෝපු කතාවක් තියනවා. මේව අදටත් ගැමි ජනයගෙ විස්වාස. ඔහු හුදී ජන හදවතට කතා කලේ එහෙමයි.

ජැකා දේශපාලනය කලා, කඩේ ගියා.ඒක ඔහුගෙ තෝරාගැනීමේ නිදහස. ඒකෙ සදාචාරාත්මක භාවය ගැන නං අනේ මන්දා?මතක විදිහට දේශපාලනයට කඩේ ගිය එකම කලාකාරයා ජැක්සන් විතරක් නම් නෙමෙයි. ඒත් අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැති නිසා මම ඒ ගැන අදහස් දැක්වීමෙන් වළකිනවා.  ඒත් ජැකා වටිනා කලාකාරයෙක්. ඔහු අපට යමක් දුන්නා. ඒ ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒ බව කියන්න, මිනිහෙක් මැරෙනතෙක් ඉන්න ඕනෙ නෑ නෙව? 




කාෂ්ඨෙට මැලවෙච්ච හැඩක් නොපෙනෙනෙ ලයක
සොච්චමට විකිණිච්ච නමක් නැති චිත්‍රයක
සනුහරෙන් දැලි අඟුරු ගානකොට පෙනි පෙනිම
වචන ගල් මුල් වැදුණ අලිය ගිය කූටරෙම....


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Wednesday, August 9, 2023

බුබුලක ජීවත්වීම වරදක්ද?

Bubble life -cat style
ලෝකයේ සිටින සෑම කෙනෙකුම "බුබුලක්"  ඇත. එකම වෙනස වන්නේ එම බුබුලේ නිර්වචනය, ප්‍රමාණය සහ සංයුතියයි. සමහර අයගේ බුබුලු විශාලයි. සමහර ඒවා කුඩා ය. සමහර ඒවා අන් අයගේ බුබුලු වලට වඩා වෙනස් ය, සමහර ඒවා ඉතා ප්‍රාථමික ය. නමුත් අපි හැමෝම විටින්, විට මේ බුබුලු වල ජීවත් වන්නෙමු. මටද "බුබුලක්" දෙකක් ඇති නිසා,  මට අන් අයගේ "බුබුලු ජීවිත" ගැන අවුලක් නැත. 


ඉන්ටනෙට් බුබුල


වැඩි හරියක් "එක රෑනේ පක්සීන්" ඉන්නා ඉන්ටනෙට් බුබුලේදී පක්සියා, නෝ-නේම්, නෝ-ෆේස් නෝ-නම්බර් මූකලං බස්සාය. බස්සාගේ ඇනෝනිමස් භාවය ගැන, එකෙක් දෙන්නෙක් බකට් ඇද්ද නමුත්, පක්සියා ඒවාට සැලුනේ නැත. 

මා තවදුරටත් ඉන්ටනෙට් බුබුලේ රැඳී සිටින්නේ, මා තවමත් එයට කැමති නිසාය.  මා නොදන්නාදේ , ඔබ දන්නා නිසාය. දැණුමැත්තෝ එයට "සාමූහික බුද්ධිය"(collective intelligence) කියා කියති. නමුත්, මේ රංචු ගැසීමේ ප්‍රතිඵල, සැමවිටම ධනාත්මක වන්නේ යැයි සිතීම මුලාවකි. හේතුව මේ  "රංචු මානසිකත්වය"(Herd mentality/ group thinking) නිසා එන "සාමූහික මෝඩකමේ" බොරු වලවල්‍වල වැටීමේ සම්භාව්‍යතාවයක් ඇති බැවිනි.



නිදිගේ බුබුලෙන් "සැනසුම" පැදුරටත් නොකියා මාරු වී ඇත. කියවන්නට තියෙන පොත් රාක්කයට වී බුකවා ගෙන සිටින බවත්, වෙනදා සිතට සතුට ගෙනා ගීත, චිත්‍රපට අද ඔහුට නියවන බවත් ලියා ඇත. නිදිගේ පසුගිය පෝස්ට් කීපය තුල, වරින් වර කියවුන මවගේ සෞඛ්‍ය පිරිහීම, අපගේ සිතෙත් කණගාටුවක් මෙන්ම බියක් ඇති නොකලා යැයි කීව නොහැකිය. 


රුසියන් බුබුල


නගරයක්, රටක් වුවත් බුබුලක් ලෙස සැලකිය හැක. රුසියන් බුබුලේ ජීවත්වන පුටියා, යුක්‍රේනයේ ධාන්‍යාගාර වලට අහස් ගුණ්ඩු අරින්නේ, රිලවුන් නාසීන් එලවන්නය.  සමහරු කියන්නේ, උන්නැහේගේ "බකට් ලිස්ට්" එකේ තුන් රුසියාවම එක් සේසත් කර, ඔටුණු පළඳින සිහිනයක් තියන බවයි. ඒත් සමහරු කිව්වේ, මේක ධනවාදී කුමණ්ත්‍රනයක් බවයි.බුබුලේ රුස්සන්ට, පුටියා අධ්‍යාත්මික නායකයාය. යුක්‍රේනයට නෙලීම "ඉස්පැසල් මිලිටරි ඔපරේෂොන්‍" ය. ක්‍රිමියන් පාලමට ගැසීම "ත්‍රස්තවාදී " ක්‍රියාවක් ය. බුබුලේ බලය එසේය.චීනාගේ වවුල් වසංගතයෙන් බැටකා, යාන්තං පණ බේරාගත් අපගේ බත්පතට කෙලෙව්වාට, අපි නං කලේ පුටියාගේ මෑණියන්ට පිං අනුමෝදං කරවපු එකය.

පාලම් බුබුල


පාලම් බුබුලේ විසේසත්වය, කවදාවත් පාලමෙන් එගොඩ නොවීමය. පාලමේ ඉන්නාතාක් කල් අලියා ගොඩය. අලියා "කල දුටු කල වල ඉස ගැනීමේ" කලාවේ පිකාසෝය. අලියා නිසා කපුටාත්, මයිනාත්, ඩේසි ආච්චිත් ගොඩය. ඒ නිසා ඩිමෙන්ෂියාවෙන් පෙලෙන රටවැසියාත් ගොඩය.

හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ ඇපත් නැතේ
හෙල ගැඹුරුයි... පුත නොබලන්

අලියා බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ

ඔය කොයි බුබුලත් අන්තිමට ඩාම් වෙනවා ඩූම් වෙනවා - අප්පච්චී

මගේ සතුටු බුබුල


මේ බුබුලේ අන්තර්ගතය කලින්, කලට වෙනස් වන නමුත්, මේ දවස්වල එහි ඇත්තේ 1940 එංගලන්තයයි. Cobblestone ගල් ඇල්ලූ පටු පාරවල්, සන්ග්ලාස් දැමූ අස්පයින් සහිත කරත්ත. ගෑස් පහන් වීදී සිතේ ඇති කරවන්නේ, "හැරී පොටර්" මායා චමත්කාරයකි. මේ කතාව, නැවත ප්‍රතිනිර්මාණයක් කල එකක් වුවත්,  "ඓතිහාසික නිරවද්‍යතාවය" පරිකල්පන බුබුලකට අත්‍යාවශ්‍යම සාධකයක් නොවේ.


සුවපහසු විසිත්ත කාමරය, සැබෑ ගිණි උඳුන මත නිරන්තරයන් පැසෙන තේ පෝච්චිය සහ ඉංග්‍රීසී පතරාසයත්  මෙහිදී ඔබට දැක ගන්නට හැකිවනු ඇත. මෙහි ඇති යැයි පැවසෙන, යෝක්ෂයර් ඇක්සන්ට් එක ගැන මට නුහුරු බවක් දැණුනේම නැත. හොඳින් නිරීක්ෂණය කලොත්, එදවස ඇන්ටීක් නමුත් ප්‍රායෝගික රෙදි සෝදන උපකරණ සහ ක්‍රමවේද බලා ගන්නට අවස්ථාවක් ලැබෙනු ඇත. 



 
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Sunday, July 23, 2023

විහිලු විහිලු විහිලූ - හිරේ වැටෙන විහිලු

 

කොයි බල්ලද යකෝ මේක කෑවෙ?

බංකොළොත් බව සොයන කමිටුවට උපදෙස් ගන්න විශේෂඥ මණ්ඩලයක්

මම දැන ගත්තෙත් පත්තරෙන් හිටං -  ඩුබායි කොන්සල් ජනරාල්

යුරෝපීය කතුන් අපේ රටේ ගෘහ සේවයට එන යුගයක් ජනපති ගොඩනඟනවා – වජිර

එළිය වැටුණ වෙලේ ඉඳන් මී හරකෙක් වගේ වැඩ කරන ඇමති බන්දුල!

අපේ අපේක්ෂකයා රනිල්... අපි තරම් වැඩ පෙන්නපු අය නෑ! - අකිල

Chat GPT යොදාගෙන බුදු දහම ලෝකයට ගෙන යන සැලැස්මක් ජනපති කියයි

ජනාධිපති මන්දිරයෙන් හමු වූ සල්ලි විනාශ වූ මන්ත්‍රීන්ගේ ගෙවල් හදන්න එකතු වුන ඒවා – ගෝඨා

ඉස්පිරිතාලෙට ලක්ෂයක් ගියොත් ලක්ෂයම ආපහු ගෙදර එන්නේ නැහැ... ඒ නිසා තමයි ළඟම මල් ශාලාවක් දාලා තියෙන්නේ - කෙහෙලිය

සෞඛ්‍ය ඇමති කෙහෙළිය හොදටම කරයි.. රට පුරා රජයේ රෝහල් හිස් වෙයි


අපි තාමත් කරත්තේ - ගොන්නු කව්ද කරත්තේ?




(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Sunday, July 9, 2023

බස්සා දුටු අරාබි නිසොල්ලාසයේ අඳුරු පැත්ත

ඔහෙලා අරාබි නිසොල්ලාසෙ කතා කියවල තියනවනෙ?ඒ කතාවලින් මැවෙන්නෙ, අමුතුම ,අද්භූත වගේම සුන්දර පරිසරයක් නේද? අරාබියේ මරු කතරට යන්න ඉස්සෙල්ලා මාත් හිතුවෙ එහෙමම තමයි.කව්ද බූතයෙක් "හබීබි, කම් ටු ඩුබායි" කිව්වා, ඉතිම් මාත් ගියා. පහනෙ බූතයා, මැජික් පලස් නම් දැක්කෙ නෑ. ඔටුවො හිටියා, ජාතිවාදී රාජ පුරුසයො හිටියා, මූණු බාගෙට වහගත්ත රාජ කුමාරියොත් හිටියා. ආ, තව පාරෙ වැඩට වහල්ලුත් හිටියා. අලිබාබාත් මාලිගාවක හිටියා.

ලංකාවෙ ප්‍රමිතිය එක්ක බලන කොට, අපට සෑහෙන්න හොඳට ගෙව්වා. ඒ නිසා දෙපාරක් නොහිතා කැමති, කැමති දේ ගන්න, නානාප්‍රකාර කෑම රසබලන්න අවස්ථාව නං ලැබුනා. ඒත් ඒ සඳහා මිලක් ගෙවන්න වුනා - එලිපිටම පෙනෙන සමාජ අසාධාරණය නොදැක්කා සේ සිටීම.  සමාජය පුරා පැතිරුනු ජාතිවාදය, ආගම්වාදය සහ විශමතාවයන්, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවතුනා. 

ඒ කෘතීම පරිසරයේ සොඳුරු බවට යටින් මොකක්දෝ  අද්භූත, මුස්පේන්තු බවක්, නුහුරු බවක් මට හැමදාම දැණුනා. ඔහෙල දන්නව නොවැ, මම කල්-යල් බලා ලිස්සුව බව? ෆුල් බොඩි ආමර් ඇන්ඳත්, අරාබි කෙල්ලො හරි හැඩයි. හිඩසෙන් පේන ඒ ඇස්වල අනුරාගය පුපුරු ගහනවා. ටක් ගාලා අහක බලන්න ඕනෙ, නැත්නම් බඩුම තමා. මේ ඒ අරාබි කුමාරියන් ගේ කතාවයි.

මේ ඉන්නෙ ප්‍රින්සස් ෂැම්සා. ඇයට හැමදේම වගේ තිබුනා. ලස්සන, ධනය,බලය වගේම බුද්ධිය. ඒත් අරාබි කුමාරිකාවො, රජ පවුල්වල ප්‍රොපටි - වෙලඳ භාණ්ඩ නිසා "නිදහස" නම් තිබුනෙ නෑ.නිදහස සොයාගෙන, වසර 2000  දී, ඈ පවුලේ නිවාඩුවකට ලන්ඩන් ගිය වෙලාවකදි පනිනවා. ඔව්, ඔව් ලෝක පතල, බටහිර  මානුෂික නිදහසේ ප්‍රතිමූර්ථිය වෙච්ච ලන්ඩන්ම තමයි. ඈයට ඕන වුනේ,සාමාන්‍ය මනුස්සයෙක් වගේ, යුනිවර්සිටි ඩිග්‍රියක් අරගෙන,  නිදහසේ ජීවත් වෙන්න. (ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් නූනෙ කොහොමද කියල, මට අද දක්වාම තේරුම් ගන්න බෑ. )

"ඒ හුකාරිස් කොහෙද මාත් එක්ක" කියලා, අලිබාබා යවනවා ගැන්සියක් ලන්ඩන්. දනෝ දහක් බලාගෙන ඉදිද්දී, මහ දවාලෙම ඇයව පැහැරගෙන එනවා. UN, ජිනීවා, ලන්ඩන් ජෝනා, බයි-ඩෝං නෙවෙයි "මීක්" කිව්වෙ. දඞුවම - අද ඈ නිවාස අඩස්සියෙ. හපේ විතරයි -වැජිටබල්. 

2018 පෙබරවාරියෙ, ඇගේ සොයුරිය ප්‍රින්සස් "ලතීෆා" ත් පැනගන්නව ඉන්දියාවට, බටහිර රටකට යන බලාපොරොත්තුවෙන්. ශ්‍රේස්ඨ ඉන්දියාව නං, කලේ කෙලින්ම විකුණුව එකයි කුමාරිව අලිබාබාට. ආයිත්, තවත් වැජිටබල් එකක් තමයි.

ඊලඟ බිල්ල ප්‍රින්සස් "හායා". ඈ ජෝර්දාන රජාගෙ නංගි. ජෝර්දානෙ නිසා ඇයට විලාසිතා කරන්න, ඉහලට ඉගෙන ගන්න නිදහස තිබ්බට ලව් කරන්න නම් නිදහසක් තිබ්බෙ නෑ. ඇගේ, රාජකීය නොවෙන හමුදා පෙම්වතා, "හදිසි අනතුරකින්" අභාවප්‍රාප්ත වෙනවා. ඔන්න ඊට පස්සෙ ඇයව, වයසක අලිබාබගෙ 4 වෙනි බිරිඳද කොහෙද විදිහට විකිණෙනවා.

අපේ කතා නායක අලිබාබාට වයස වුනාට කොණ්ඩෙයි, රැව්ලයි කලුයි. කොණ්ඩෙයි, රැව්ලයි විතරමද ඇහැව්වා? ඒක නං හරියටම දන්නෙ නෑ ආයිබෝං. අපේ අලුත් මනමාලි හරි පැෂන්කාරි නිසා, අලිබාබාවත් දක්කගෙන ලන්ඩන් යනවා අස්පයො අල්ලන්න. කොහොමද ඉන්න උජාරුව, ටොප්හැට්, ටේල්කෝට් ඇඳලා. ලබ්බට කෝටු ගැහැව්වා වගේ නේද? ඒ මඟුලෙත් ආවුස කොටයි.


ප්‍රින්සස් හායා, ලමයි දෙන්නත් එක්ක ලන්ඩන් පනිනවා.

£550m divorce settlement

ජෝර්දාන රජුගේ නංගි නිසාද කොහෙද, ඈ නම් බේරෙනවා. ප්‍රින්සස් හායා නඩුවෙදි කියනවා, ඇගේ දරුවන් අලිබබාගෙන් "බේරගන්න" ඕනෙ කියලා. මේ කතාව නියම තේරුමත්, කූඩු කරපු කුමාරිකාවොන්ගෙ සැබෑ තත්ත්වයත්, අදටත් අභිරහසක්. මේ කතා ටික, මේ ඛේදවාචකයෙ අවසානය නෙමෙයි. මෙයිට වැඩි විස්තර පහත වීඩියෝවෙ තියනවා.

මේ වීඩියෝවෙ දින, වකවානු නම් පටලව ගෙන තියනවා. 2018 පෙබරවාරියෙ පැනලා ගියේ  ප්‍රින්සස් ලතීෆා. ප්‍රින්සස් ෂැම්සා පැන්නෙ 2000 දි, පවුලේ නිවාඩුවකට ලන්ඩන් ගිය වෙලාවකදියි. වීඩියෝව සාරාංශයක් ලෙස ගත්තාම ඕකේ. සමහර ආරංචි, මාලිගාවෙ හිටපු සේවකයන්ගෙ ප්‍රකාශ බැලුවාම, ඇත්තම කතාව මීටත් වඩා අඳුරුයි. ඒත් මෙහෙම හරි මේ කතාව කලාට, කතෘට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

විකි ලින්ක් එක

මම බලාගෙන හිටියෙ මෙහෙම වීඩියෝ එකක් එනතෙක්. ඔව් තටු සැට් එක බේරගන්න තමයි, ඇයි අවුල්ද? මුං චේන් සෝ එකෙන් කුට්ටි කරලා, සූට් කේස් එකේ අරින වාහෙලා ආයිබෝං.  

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Tuesday, July 4, 2023

AliExpress, Temu සහ අටවන මාටින්ලා

ඔහෙලා දන්නවා නෙව, මම චීන ලාබ බඩු වලට කැමති බව. ලාබෙට බඩු ගන්න කොට, ඒ එක්කම එන රිස්ක් එකත් ගන්නම වෙනවා. ඒ "රිස්ක් එක" දැන ගන්න නම්, ඔය බඩු ගලවලා බලන්නම වෙනවා. ආන්න එතකොට තමයි, රට්ටු අපෙන් අහන්නෙ "දැන් කියමු බලන්න, ඇයි ඔහේ ඕක ගැලෙව්වෙ මොන ඉත්තෑ අමාරුවටද කියලා?"


දිනෙන් දින ඉහල යන ජීවන වියදමත් එක්ක, දැන් ඉස්සර තිබ්බ ආතල් නෑ අපෙ හාංදුරුවනේ. ඉස්සර "බ්‍රෑන්ඩඩ්" නැතුව හුස්මවත් නොගත්ත ඇත්තො පවා,දැන් "විකල්ප" හොයනවා. ලාබ බඩු වැඩි හරියක හිල් තියෙන බව ඇත්ත. ආන්න ඒ හිල් හොයාගන්නයි, තියනව නං වහන්නයි තමයි, " ඉත්තෑ අමාරුව" ප්‍රයොජනවත් වෙන්නෙ.

මේ ඉන්නෙ "බිග් ක්ලයිව්". හතර රියන්, නෝ නොන්සන්ස් සුද්දෙක්, වගේම නොම්බර එකේ අටවන මාටින් කෙනෙක්. හරියට කිව්වොත්, "ඉත්තෑ අමාරුව" ආදායම් මාර්ගයක් කරගත්ත, "ගලවන මාටින්" කෙනෙක්. ලෝකෙ වටේම ඉන්න, එයාගෙ රසිකයො එයාට කැඩිච්ච බඩු එවනවා. එයැයි ඒව ගලවලා "පස්චාත් මරණ පරීක්ෂණය" පවත්වනවා. ඉලෙක්ට්‍රොනික්ස් වගේම ඉලෙක්ට්‍රිකල් ගැනත් ඔහුගේ දැණුම ඉතාම ඉහලයි. මේක විරල දැණුම් සංකලනයක්. ඔහු ඉලෙක්ට්‍රොනික්ස් පරිපථ "රිවර්ස් ඉන්ජිනියරින්" කරනවා වගේම, විදුලි පරිපථ වල ආරක්ෂාව ගැනත් උපදෙස් ලබා දෙනවා.

අටවන මාටින් කෙනෙකුට නැතිවම බැරි ආයුධයක් වන "spudger" ගැන මම ඉගෙන ගත්තෙ ඔහුගෙන්. ඔහුගේ රෙකමදාරුව මෙන්න මේක: iSesamo . මීට වඩා ලාබ ඒව තිබ්බට, අනිත් එව්වා වගේ නෙමෙයි, මේ බ්‍රෑන්ඩ් එක කල්පවතිනවලු. දෙකම දෙකයි පනහයි, ෆ්‍රී ෂිපින් ඕඩරයක් මාත් දැම්මා.

අද කාලෙ ගැජමැටික්ස්  ගලවලා තියන්න අය දන්නවා, දැන් ඇණ විතරක් දාලා එන බඩු නැති බව. දැන් වැඩි හරියක් එන්නෙ ප්ලාස්ටික් ටැබ් වලින් ලොක් වෙන එව්වා. සමහර එව්වා ගම් දාලා අලවලා, අනෙක්වා අල්ට්‍රාසොනික් ක්‍රමේට, ප්ලාස්ටික්  වෙල්ඩ් කරලා. මේක කියාපු භාණ්ඩෙ එහෙම එව්වා ගලවන්න.

ඔය උඩ වීඩියෝවෙ තියෙන "රින්ග් ලයිට්" එක මමත් ගෙන්න ගත්තා. ඔය වගේම ලාබම එක තමයි ගත්තෙ. දහ අතේ වලිකෑව, කඩාගන්නෙ නැතුව ගලවන හැටි හොයාගන්න.  බිග් ක්ලයිව්ට පිං දීලා, මමත් ඒක ගලවගත්තා. 



ඔහෙලට කියන්න, කඩාගන්නෙ නැතුව යමක් ගලවන හැටි කියන්නෙ වෙනමම කලාවක්. ඇයි ෂෙකද? තුන්වෙනි පිංතූරෙ තියෙන්නෙ, මගේ එහෙම  ගලවපු, මකබාස් වැඩක්. ටෝච් එකත් නැත, බෙරේ පලුවකුත් නැත.😒

LED රින්ග් ලයිට් කොටස විතරක් ගත්තත්, ගෙවපු ගාණට ලාබයි. දැන් තමයි "ලාබ බඩුවේ හිලක් ඇත" කොටස එන්නෙ. දෙවනි පිංතූරෙ ඉන්න "පසුම්බි ලිතියම් බැටරිය" ඉදිමිලා ඉන්නව පේනවද?  හරි-හමන් චාර්ජින් සර්කිට් එකක් නැතුව, ප්‍රොටෙක්ෂන් නැතුව  ලිතියම් බැස්ටි චාර්ජ් කරන්න ගියාම, වෙන්නෙ ඕකයි.

බැස්ටිය ගාවම ඉන්නෙ  TP4056  Charging Board With Protection Dual Functions(USB Type-C, 1A) මොඩියුල් සෙට් එකක් . වැලක්ම  2.70 යි. ඔයින් එකක් හරහා බැස්ටිය සම්බන්ධ කලා නං එහෙම ඉදිමෙන්නෙ නෑ. ටෙක්නිකල් අජීර්ණය ඇති හුදීජන සුවසෙත පිනිස, TP4056 ලිතියම් බැස්ටි චාජර් මොඩියුල් එකේ  වැඩි විස්තර පහත වීඩියෝවෙ තියෙන්න අරිනවා.


 

මගේ රින්ග් ලයිට් එකේ ඉදිමිච්ච බැටරිය නං කෙලින්ම අරන් දානවා, USB පවර් එකෙන් දුවන්න.රීචාර්ජබල් බැටරි කොටස දානවද කියලා තීරණය කරලා නම් නෑ. 


දැන් අලුත් ෂොපින් සයිට් එකක් තියනවා Temu කියලා. ෆ්‍රී ෂිපින් තිබ්බට " අවම 20" ක බඩු ඕඩර් කරන්න වෙන නිසා, බොහෝවිට අනවශ්‍ය, වැඩකට නැති බඩුත් ඕඩර් කෙරවෙන සම්භාව්‍යතාවයක් තියනවා, ඒත් බඩු නං ලාබයි. ෂිපින් දවස් 10 එනවා, පරක්කු වුනොත්, ගාණක් ආපිට ගෙවනවා. ඒත්  ඉලෙක්ස්ට්‍රොනික්ස් කම්පෝනන්ට්ස් වලට AliExpress වගේ ලොකු සිලෙක්ෂන් එකක් නම් නෑ.

අවවාදය: ඔන්-ලයින් ෂොපින් ඇබ්බැහිවෙන සුළුයි, වගකීමෙන් කඩේ යන්න. 

මම මේ ප්‍රොමෝට් කරන "අටවන-මාටින්" සංස්කෘතිය කියන එකෙන් අදහස් කරන්නේ, " සේෆ්ටි රූල්ස්" විහිලුවක් ලෙස සැලකූ "ඕෂන් ගේට්" ක්‍රමවේදය කියල වරදවා වටහගන්න එපා. ඇත්තටම මම අදහස් කරන්නෙ, ඒකෙ අනිත් පැත්ත - safety is no joke, take it seriously කියන එකයි.


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)