Sunday, April 22, 2012

The Machine is Us

තාක්ෂණය නිසා ලෝකයට ලැබිච්ච හොඳදේ නරකට වඩා වැඩියි කියලයි මට නං හිතෙන්නෙ. හොඳම දේ තමා යම් නරකක් තියනවා නම්, ඒක තේරුම් ගත්තාම පසු කාළෙක හරි අපි ඒ දේ නිවැරදි කිරීමට උත්සාහ ගැනීම - ඔය පරිසරය සු‍රැකීම වගේ.





මේකත් ඒ වගේ අපට ලැබිච්ච හොඳ දෙයක් .අද බස්සො, බකමූණෝ පවා පල් හෑලි ලියන්නේ මේ නිසානෙ :)) 





ඔය පල්ලෙහා විඩියෝවෙ තියනවා විස්තරේ. ගුහාවල, චිත්‍ර ඇඳලා, පස්සෙ සෙල් ලිපි පුස්කොල පොත් හරහා ආපු අපේ ලේඛන කලාව අද මෙතනට ඇවිල්ලා තියනවා.

                                





ලොකුවට ඕනෙ නෑ, ඔය හීනියට HTML ටිකක් ඉගෙන ගත්තොත් නරකද? දැං ඔහෙලා කියාවි WYSIWYG නැහ්නං what you see is what you get එඩිටර් එකක් Blogger දීලා තියෙන කොට HTML ඉගෙන ගෙන වරිගෙ නහ ගන්නෙ මොන ඇන්නෑවකටද කියලා? හරි ඔය එඩිටර් එකේ දීලා තියන පහසුකං වලිනුත් කීයෙන් කීයද අපි පාවිච්චි කරන්නෙ? simplicity is the real beauty කියන එකට මාත් එකඟ වෙනවා, ඒත් අවශ්‍ය තැන් වල ඔය පාට අකුරු ටිකක් දාලා ඔය කවියක වගේ කැපී පේන්න ඕනෙ තැනක Italic font එකක් පාවිච්චි කලාට මොනව වෙනවද? අනික, දැං බලාන්ට
Blogger comment box එක, ඒකෙ WYSIWYG නෑ, එත් HTML පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි ඒකෙ ඔක්කොම HTML tags පාවිච්චි කරන්න බෑ.





එයිනුත් වැඩියම ප්‍රයෝජන එක තමා:



< a href="වෙබ් ඇඩ්‍රස් එක">පේන්න තියෙන වාක්‍යය<a/>






කියන එක. වැඩි විස්තර මෙතනින් බලා ගන්ට මෙතනට කොටන්න.





Word-press blog comment box එකේ නං මීට වඩා tags support කරනවා. ඒත් උන්න හැටියට මලා මඳැයි කියලා මේ ටිකවත් ඉගෙන ගෙන ඉමු නේද? :))





Thursday, April 12, 2012

Kiss the Girl


කව්ද කියලා තිබ්බා සැමියෙකුට ලැබෙන්න පුළුවන් හොඳම බිරිඳ නම්. කතාකරන්න බැරි බිරිඳක් කියලා. බලාගෙන ගිහාම ඒකෙත් ඇත්තක් ඇති. හා, බොරු නං අහල බලන්නකො ඔය ඕන හස්බංඩෙක් ගෙන් ." අනේ දෙයියෙනේ, මේ උන්දැගෙ වෑර්ලස් එකේ දවසකටවත් බැස්ටි බහිනව නං, මට කනක් ඇහිල ඉන්න" කියලා නොහිතපු හස්බංඩෙක් ඉන්නවාද කියන එක සැකයි.














             





මේ මං කැමතිම කතාවක්. බුදු අම්මෝ මේකෙ ඉන්න ගෙම්බො කන්දරාව.පේනවනේද කස්ටියම කටවල් උල් කරන හැටි?



 වල් ගෙම්බො! උන් ඔහොමමයි ;D







හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! 



               

Friday, March 30, 2012

නා ගෙන ඉවරයි, හා! දැං සබන් ගා ගමු

කලින් සැරේ, අනුන්ගේ කලිසං තමන්ගේ වගේ ඇඳගෙන යාමට ගොස්, කොමෙන්ට් 200 පොස්ට් එකේ දී ඇදගෙන (අ)නා ගත්ත නිසා, මේ සැරේ ලියන්නේ
100% ටැස් කරපු එව්වා විතරය. ඕකට ටොමියා නං කීවේ " ‍තෝ නාන්ට හොර නිසා, ඔහොමවත් නා ගන්න එක හොඳා" කියලාය.




මට හැමදාම තිබුණු ප්‍රශ්ණයක් තමා, Blogger බ්ලොග් වල පළල ඇයි මේ තීරුවක් විදිහට තියෙන්නෙ කියන එක. ඇයි මේ සාගරයයක් වගේ පළලට මොනිටර් තියෙද්දි, අර "ඔබේ තීරය" වගේ පෙන්නන්නේ අපේ කුතුහලය අවුස්සන්නද, නැහ්නං මීයාගේ බෝලෙ ගෙවන්නද කියලා මං දහ අතේ කම්පනා කොරලා තියනවාය. ඔය "කෝපි- ඉස්කිරිප්ට්" එඩිට් කරලා නා ගන්න අකමැති නිසා, මං ඒ වැඩේ අත් ඇරලා දැම්මාය.


ඕන්න දැං Blogger කස්ටිය ඒ පහසුකම අළුත් Dash-Board ඉන්ටෆේස් එකේ සපයලා තියනවා. වැඩේ හරිම ලේසිය.


පලමුව මෙතනට කොටන්න








 දෙවනුව මෙතනට කොටන්න










දැන් අවශ්‍ය කරන බ්ලොග් එක ‍තෝරා ගන්ට




තෙවනුව මෙතනට කොටන්න






හතරවනුව මෙතනට කොටා  "Backup" කර ගැනීම මගේ සරීර සවුක්කියටත් , ඔබගේ බ්ලොග් සවුක්කියටත් ගුණ දායකය




දැං මෙතනට කොටන්න








දැං මෙතනට කොටන්න




දැං මෙව්වා ඇජස් කරගෙන තමන්ට අවශ්‍ය ගානට හදාගන්ට











අවසානෙට මෙතනට කෙ‍ටුවේ නැහ්නං, මෙච්චර වේලා කොරපු ඔක්කොම වතුරේය








Disclaimer: මේ කියාපු විදිහට නොකර හිතූමතේ කූඤ්ඤ ගලවන්ට යන වඳුරන්ගේ වලිග ගැන වගකියනු නොලැබේ.



Read the fine print!: මේ වැඩේ හරියන්න නං තමන්ගේ ටෙම්ප්ලේට් එක මේ පහසුකමට  ගැලපෙන්න ඕනෙ. මගේ එකට මේක හරියන්නෙ නෑ :(





ප.ලි: මොන විදිහට කිව්වත්, ඔය ටෙම්ප්ලේට් මාරු කිරිලි, අළුත්වැඩියා කිරිලි වල පොඩි පහේ යාන්ත්‍රික දෝෂ නැතුවාම නෙමෙයි. බොහෝවිට වෙන්න පුළුවන් දෙයක් තමා, එක විජට්‍ටුවක් අනෙකාගේ කරේ නැගීම. මේක වලක්වා ගන්න නම් ඔය කිව්ව එව්වාට අමතරව මෙහෙම කරන්න:



 

layout වලට කොටලා කොලපාට රවුමෙන් පෙන්නන " single colomn" layout  එක ‍තෝරාගෙන නිල්පාට රවුමෙන් පෙන්නලා තියන විදිහට විජට්‍ටු ටික එක single colomn එකක තියන බවට වග බලාගන්ට. එහෙම කරලා හදපු බ්ලොග් දෙකක් තමා මේ තියෙන්නෙ. 






http://hotambuwa.blogspot.ca/





http://bakamuuna.blogspot.ca/













Thursday, March 22, 2012

අඳුනා ගත්තොත් ඔබ මා........





අඳුනා ගත්තොත් ඔබමා නෙමෙයි , ඔබ - මා, ඒ කිව්වෙ ඔයයි- මමයි 

ඔය පින්තූරෙ ඉන්නෙ , Diogenes of Sinope. එයා පන්සලක තිබිච්චි නාන බාල්දියක ජීවත් උනත් උනාට එහෙමට අවතක්සේරු කරන්ට එපා - එයා දාර්ශණිකයෙක්. Cynic philosophy කියන්නෙ එයාගෙ දර්ශණය. දැන් අහන්ට එපා බල්ලොන්ට මොන දර්ශනේද - ඌරොන්ට මොන සෞඛ්‍යද කියලා. ඔය Cynic කියන වචනෙ බිඳිලා එන්නෙ පුරාණ ග්‍රීක් භාෂාවෙන්, තේරුම " සුනඛයෙක්- මෙන්" කියන එකයි. එයා කිව්වෙ ජීවිතේ තේරුම් ගන්ට නං ,සැප - සම්පත් ප්‍රතික්ශේප කරලා, සොභාව ධර්මයට අනුකුලව ජීවත් වෙන්න ඕනෙ කියලයි.





ඕන්න ඔතනදි තමයි, අපි සීන් එකට එන්නෙ. අපෙ ජීවිතේ සහජයෙන්ම 100% සොභාව ධර්මයට අනුකුල නිසා, එයා අපිට බොහොම හිතවත් උනා. පේනව නේද වටේ සාවධානව ඉඳගෙන දර්ශණය හදාරණ අපේ කස්ටිය?



එව්වා ඇරිච්චාවෙකො, අර ලන්තෑරුම තියනව නේද? ඕක පත්තු කරගෙන එයා , දවසක් මහ දවාලෙ කාවද හෙව්වා. මිනිස්සු ඇහැව්වාම කිව්වෙ, " මං මේ අබංක කුසුමව හොයනවා " කියලයි. ඔහෙලා හිතන්නෙ හම්බ උනා කියලද? නෑ.



එහෙම "අබංක කුසුමව" හොයාපු තව හාදයෙකුට වෙච්ච සංතෑසියක් මේ:













විලියොං කියලා සුද්දෙක් කිව්වලු " ලෝකය රඟ මඩලකි, අපි එහි නළුවෝ වෙමු" කියලා. එක අතකට අනුන්ගෙ වැරදි හොයන්නෙ කොහොමද, අපිත් කරන්නෙ, අපේ කොටස රඟපාන එක කොට?



මේක මට කිව්වෙ, ඒරොප්පෙ ඉහල විබාග පාස් කොරලා, ඉහල රස්සාවක් කරලා, පවුලේ යුතුකං හොඳින් කරපු, ඒත් පසු කාලෙක ආරථික අවපාතෙට අහුවෙලා වැටිලා හිටපු මහත්තයෙක්" ටොමියො, මිනිසුන්ගෙ හැටි සුබාව තේරුං ගන්ට නං අපි වැටෙන්න ඕනෙ. එතකොට පිට එවුන් කොහොම වෙතත්, තමන්ගෙම පවුලෙ අයත් අපි දිහා බලන්නෙ හරියට අත පල්ලෙන් වැටිච්ච ගානටයි" කියලා.



ඒත් බලාපොරොත්තු අත අරින්න එපා. මොකද බලාපොරොත්තු තමයි මිනිසුන්ව ජීවත් කරවන්නෙ. ඒ වගේම කව්ද දන්නෙ මෙන්න මෙහෙම අවංකවම කියන්න පුළුවන් කෙනෙක් ලැබෙයිද කියලා?   :D





Saturday, March 17, 2012

බලු වැඩ

සමහරු අපට බව්වා කියනවා, සමගරු බච්චෝ කියනවා. ගමේ ඉන්න අපි නං නිකම්ම නිකං බල්ලා. "මිනිසාගේ හොඳම මිතුරා" කියන නම්බු නාමෙ ලැබිලා තිබුනට, "බලු වැඩ" කියන්නෙ නං නම්බුකාර වැඩ නෙමෙයි. අපේ නම හම ගියාට එව්වා වැඩියක්ම කරන්නෙ අපි නෙමෙයි , මිනිස්සු.









මේ අසමජ්ජාති බකමූණා අපට කෝචෝක් පාරක් දාලා තිබුනා, ඔය රට රට වල ඉන්න අපේ ඇත්තො කලිසං -කෝට් අඳිනවා කියලා. හහ්, ඇයි අපේ අය එව්වා ඇඳාම මොකද වෙන්නෙ, එයාලත් සරස්-බරස් ගාලා හරි හරියට ඉංගිරිසි කතා කරන කොට. මං මේකට දහ අතේ වැඳලා යන්තං මේක ලියන්ට චෑන්ස් එකක් ඉල්ල ගත්තෙ , පරම්පරාවෙ නම්බුව බේරගන්ටයි.



- ටොමියා -




             

Monday, February 20, 2012

බලු මහත්තය - Pooch in Boots



අදත් උදේ වැඩ ඇරිලා එනකොට බලු මහත්තයව හම්බ වුනා. කච්චිය පිච්චියට ගියත් බල්ලා එළුවෙන් කියන්නෙ බොරු නෙව, ආයිබෝං, ඔය අපූරුවට කෝට්-බෝට් ඇඳලා කකුල් හතරටම සපත්තුත් දාලා හිටියෙ( මෙහෙ වින්ටර් එකේදි බල්ලොන්ට ඇඳුම්, සපත්තු අන්දවනවා.) බල්ලෙක්ගෙ උනත් අවසර ගන්නෙ නැතුව පිංතූර ගන්න එක, මෙහේ හැටියට වැරදි වැඩක් නිසා පින්තූරයක් ගත්තෙ නෑ. මේක ගත්තෙ නං ඉන්ටනෙට් එකෙන්:











ඒත් උගේ ඇති මහත්ත කමක් නං නෑ, මාව දැක්කා විතරයි , මූ සුපුරුදු පරිදි මට ගෙරවිල්ලක් දැම්මා. ඕකා මාත් එක්ක තරහයි. කොහෙද, පටිය අල්ලන් හිටිය අර බඩ තඩි සුද්දා හිටියෙ නැහ්නං මට උන්දැට හොඳවැයින් දෙකක් කියා දෙන්න තිබුනා. ඊට පස්සෙ මේකා අණ්ඩක් එහෙම උස්සලා ලඟ තිබුණු ලයිට් කණුවකට සුළුදිය පාරක් ඇදබෑව. ඔය වැඩේ කරද්දි අණ්ඩෙන් පොඩි සපොට් එකක් දෙන එක ගැන කතාවක් තියනවා. පරම්පරා ගාණකට ඉස්සෙල්ලා උන්ගෙ බලු මුත්තෙක් තාප්පයකය ඔය වැඩේ කරද්දි තාප්පෙ කඩා වැටිලා උන්දැ එතනම අභාවප්‍රාප්ත වෙලා තියනවා. ඒක ගැන හොයන්න පත්කරපු බලු කමි‍ටුවේ නිගමන තමයි මේ:



1. ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයෙකු සෑදූ එම තාප්පය බලු නොවටිනා බවත්

2. මින් ඉදිරියට සියලුම බල්ලන් සුළුදිය බෑමට පෙර අණ්ඩක් ඔසවා තාප්පය ජැක් ගැසිය යුතු බවත්ය.



 මේ කතාව මට කිව්වෙ අපේ ටොමියා. ඇත්ත වෙන්න ඇති, පරයා ඩෝග් වුනාට ඌ එහෙම බොරුවට බුරන බල්ලෙක් නෙමෙයි. හරි, ආයිත් එමුකො ප්‍රධාන මාත්තුරුකාවට. බලු නොවටින මේ බලු ඇඳුම් , අපේ ඇඳුම් වලටත් වැඩිය ගණන්. ඒත් මේ බලු මහත්තුරු සූට්-බූට් දාලා බොහොම උජාරුවට යනකොට මට නං මතක් වෙන්නෙ අර අහිකුණ්ටික ඇත්තො නටන්න ගෙනියන රිලවුන්ව.




"හා,  කඳමලු බැඳගෙන නැන්ද මාමලෑ අහ යන හැටි පෙන්නලා ගහපං පුතා බඩ පිනුමක්!"

Wednesday, February 8, 2012

Part-time Lovers

We are undercover passion on the run

 Chasing love, up against the sun

We are strangers by day, lovers by night

Knowing its so wrong, but feeling so right



I guess that two can play the game

Of part-time lovers

You and me, part-time lovers








මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර අඳුනන බළලෙක් කියපු කතාවක් ." මචං බෂ්ෂො, හොරා කන්න නං පුරුදු වෙන්න එපා. හැබැයි එක එක සැරයක් හොරා කෑවොත්, මඟුල් මේසයක් ඇරලා දුන්නත්, කුස්සියට පැනලා හැලිවලං පෙරල ගෙන කනවා මිසක්, වැදගත් විදිහට කනවා නං බොරු".සිංදුවෙ " Knowing its so wrong, but feeling so right " කියලා කියන්නෙ ඒකනෙ.



මේ අසම්මත ප්‍රේම කතා මෙච්චර රසවත් ඇයි? රසයත් සමඟ එන, අවදානම එයට උත්ප්‍රේරකයක් වෙන නිසාද?


හොරා කාපු කිසිම බළලෙක් ඇත්ත කියන්නෙ නෑ, ඒත් හොඳින් බැලුවොත්, ‍රැව්ල් ගස් අතරි ගෑවිච්ච දැලි පේනවා.ගිය සතියෙ අපේ ටීම් ලීඩර් කෙනෙක් කියුබා ගියා වැකේෂන් එකට. මිනිහගෙ පැටිකිරිය දන්න අය නං කිව්වෙ, එයා තනියම ගියේ කියුබා සුරුට්‍ටු බොන්නම විතරක් නෙමයි කියලයි. වැඩේ කියන්නෙ, කොච්චරවත් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ මුඩ් ගහලා හිටපු හාදයා ආපහු ආවෙ , චන්දෙ කිට්‍ටු වෙච්ච අපේ දේසපාලු උන්නැගේ කෙනෙක් වගේ ප්‍රිය මනාපවයි. උන්දෑ මොල් කලන්තෙටත් බේත් කරගන්ට ඇති!



ගතානුගතිකව, කො‍ටු පැනීම, පිරිමින්ට විශේෂ වෙච්ච වරප්‍රසාදයක් විදිහටයි සැලකෙන්නෙ, විශේෂයෙන්ම ආසියානු සංස්කෘතියෙ. ඒත්, වැඩේ කියන්නෙ මේ කිසිම පිරිමියෙක්ට තමන්ගෙ භාර්‍යාව ඒකට එකට එක කලොත් එය විඳ දරාගන්ට බෑ. මං මේවා දැකලා අහල තියනවා.ඒත් එහෙම කියලා ගෑණු අහිංසකයි කියලා මං කියන්නේ නෑ, මොකද පිරිමිටත් වඩා කිසිම හර්ද සාක්ෂියක් නැති විදිහට වැඩකරන්න දක්ෂ ගෑණු නිසා :p .






I've got something that I must tell

Last night someone rang our doorbell

And it was not you my part-time lover

And then a man called our exchange

But didn't want to leave his name

I guess that two can play the game

Of part-time lovers

You and me, part-time lovers

But, she and he, part-time lovers




චැහ්! මේව්වයෙ හරි වැරදි අහගන්ට අපේ ස'(ර්)ප්‍රියා වත් මේ සාවියට එන්නෙ නෑනෙ. ඒත් ජීවිත කාලයක් අපට පොවලා, දැන් අර‍ටු බැහැපු "හරි මඟේ" වරදකාරී හැඟීම, මේ සමාජයේ "සාමාන්‍ය" දෙයක් වන හොරා කෑමේ නිදහස සමඟ ඉඳලා හිටලාවත් සටන් කරන්නෙ නෑ කිව්වොත්, ඒක ඇත්ත නෙමෙයි.


බඩගිනි වෙලා මා ගිය කල කැන්ටිමට

රස කෑමක් ආවයි මගෙ ඉදිරියට

නහය ලඟින් ගෑවී ගෙනගිය කලට

කන්දෝ, නොකන්දෝ කියලා සිතුනි මට



නිකං බොරු කියන්නෙ මොකටද අපිත් හොරා කාල තියනවා. අපේ ගමේ අල්ලපු වත්තේ, පංසල් වත්තෙ පොල් ගස්, තැඹිලි ගස් වලින් ඇහැව්වොත් ඒවට සාක්කි කියයි.



මේ සිංදුවෙන් කියවෙන්නෙ නං අසම්මත ප්‍රේමයක්,  නැහ්නම් කො‍ටු පැනිල්ලක් පිළිබඳ කතාවකුයි. ඒත් අසම්මතත් නැති, සම්මතත් නැති ප්‍රේම කතාවකුත් තියෙන්න පුළුවනිද? ඇයි බැරි සුදු සුදු මහත්තයගෙයි, අබංක කුසුමගෙයි කතාව. එතකොට සුදු මහත්තයක් පැන්නෙ කො‍ටුද? නැත්නම් අබංක කුසුමගෙ අයියට අහුවුනාම සුදු මහත්තයා ආත-බුත කඩාගෙන දිව්වෙ ඇයි? කව්ද දන්නෙ , "පරම්පරාවෙ නම්බුව ‍‍රැකගන්ට , මලයණ්ඩි" කියලා කවුරුහරි කිව්ව වත්දෑ කියලා? 

මට නං හිතෙන්නෙ සුදු මහත්තයගෙයි, අබංක කුසුමගෙයි කතාවට ගැලපෙන්නෙ මේ සිංදුව කියලා: 

 



        





මේ ඒක නෙමෙයි , ඔහෙලටත් ඔය " part-time love " වගේ දේවල් වෙලා තියෙනවද? නෑ මං මේ කිව්වෙ, ඔය නිකං මේ ඉන්නවා, මේ නෑ වගේ හැඟීමක් එන එව්වා.





මුනිවත හොඳයි, දෙබසින් දුක වැඩි හින්දා