Saturday, June 27, 2015

සහසික සිනමාව, ඌරකඩුව සහ මස් කරල






සතියෙ දවස් පහක් බඩ රස්සාව කරල, මං ඉන්නෙ සති අන්තෙ වෙනකං ඇඟිලි ගැන ගැන. ඒ දවස් දෙකෙන් හෙනහුරාදා බුදියන දවස. ඇයි සිකුරාදා නයිට් එක ඇදලා උදේ නෙව එන්නෙ?  එතකොට  ඉරිදා තමා උයන්න, සොපින් යන්න වගේ සිල්ලර වැඩ කරගන්න තියෙන්නෙ. එතකොට දෙකක් නමා ගන්න, පිලුම් බලන්න , විවේක ගන්න තියෙන්නෙත් ඉරිදට . සඳුදා බෑ, රෑට වැඩට යන්න  දවල්ට බුදියන්න තියන නිසා. 



ගිය සතියෙයි, මේ සතියෙයි දෙකේම , අපේ ලොක්කො මගේ මේ වටිනා සති අන්ත නිවාඩුව කප්පාදු කලා. දැන් ඉරිදත් වැඩ.



දැන් ඉතිං කාලය  තිතට කළමනාකරණය කරන්න වෙනවා. ඒ නිසා මං  ලෑස්ති වුනා හෙනහුරාදා උදේම දෙකක් නමා ගන්න.බයිට් එකට ගත්තෙ දුම් ගැසූ සොසේජස්. සොසේජස් නං එක්කෝ ස්මෝක්ඩ් නැත්නම් පෝලිෂ්. මට චිකන් සොසේජස් නං පෙන්නන්න බෑ. හරියට රබර් කනව වගේ. 



ඔය සොසේජස් හදන එකත් එක්තරා කලාවක්,  හැමෝටම රහට හදන්න බෑ. හොම් මේඩ්, නැත්නම් සමහර මස්කඩ වලත් හදනවා, ඒත් රස නෑ.  අහල තියන විදිහට  බ්‍රිටිෂ් සොසේජස් රසයිලු. මං නං කාලා නෑ. පෝලිෂ් සොසෙජ් නං නියමයි, හැබැයි  ගණන්.  



සොසේජස්  හදන්න ඕනෙ ඌර ගෙන්.  ලංකාවෙ එලිෆ්න්ට් හවුස් එක ඔය කලාව දැනගෙන හිටියා. එයාල හැදුව  සොසේජ් එකක්, ඒකට කිව්වෙ  ලිංගුස් කියල. ගම්මිරිස් යහමින් දාලා හදන ලිංගුස් වල රස, සුද්දගෙ සොසෙජ් එකට දෙවෙනි නෑ.



ලංකාවෙ සොසේජස් සංක්කෘතිය පටන් ගත්ත මුල් දවස් වල වෙච්ච කතාවක් මේක. 



හෝටලේ කෑමට ආ නිත්‍ය ගනුදෙනුකරුවන් දෙදෙනෙක් ලඟට කිට්‍ටු කල වේටර් කොලුවා මෙහෙම කිව්වලු: 

" මහත්තයො, නියම මස් ජාතියක් ඇවිල්ලා තියනවා පොසේජස් කියල. තනිකරම මස් කරල"



අපේ ගම්පලාතෙ තියනව හංදියක් ඌරකඩුව කියල , ඔය කිට්‍ටුව තියන එළුවිල කියන හරියෙ ඉන්නවා   මුස්ලිම් කස්ටිය. මේක වෙලා තියෙන්නෙ බොහෝ කාලෙකට ඉස්සර.  ඌරගෙ නම කියන්නවත් අකමැති ,  දැඩි ඉස්ලාම් භක්තිකයෙක් ඌරකඩුවට යන විදිහ ඇහැව්වෙ මෙහෙමලු: 



" මාත්තියා, අර ඔම්බ නිකං පොල් ලෙල්ල වගේ,  නැට්ට නිකං හනෂ්ෂ වගේ ෂතාගෙ කඩුවට යන්නෙ කොහොමද?"



ට්රූ ඉස්ටෝරි. බොරුවත් නං අල්ලපු ගහේ පොලොස් කොට්ටෝරුවට හෙන ගහන්න ඕනෙ:)



සහසික සිනමාව

මේ වචනෙ ඇහැව්වෙ බොහෝ කාලෙකට ඉස්සර. මං මේ කියන්න යන සිත්තර පටිය වැටෙන්නෙත් ඒ කැටගරියට. හොල්මන්, අත්භූත දේවල් නෑ, අමුතුයි, මිනිස්  හිතේ අඳුරු පැත්ත. Oldboy (2003 film) කියන කොරියන්  ‍ෆිල්ම් එක  බලල තියනවා නං, ටිකක් ඒ වගේ, එච්චරම ටැබූ නෑ. වඩා කිට්‍ටු හිච්කොක්ගෙ  ‍ෆිල්ම් වලට. ‍ෆිල්ම් එකේ නම Wild Tales







මේක ආජන්ටිනා හෝ බ්‍රසීල  සිත්තර පටියක්. සබ් ටයිටල් දාගන තමා බලන්න ඕනෙ. හැම අතින්ම සුපිරි නිර්මාණයක්. කෙටි චිත්‍රපට හයක් එකට ඈඳලා. 

1.1 "Pasternak"

1.2 "Las Ratas" ("The Rats")

1.3 "El más fuerte" ("The Strongest")

1.4 "Bombita" ("Little Bomb")

1.5 "La Propuesta" ("The Proposal")

1.6 "Hasta que la muerte nos separe" ("Until Death Do Us Part")



මං කැමතිම එක "Until Death Do Us Part". කාලෙකට ඉස්සර මං දන්න පවුලක මෙහෙම සිදුවීමක් වුනා. 





බොහොම කාලෙකට ඉස්සර බස්සා රට ඉඳි ගහක තිබ්බ බෙනේක වැඩ වාසය කලා. ඔය අහල පහල හිටිය පැණි කුරුලු ජෝඩුවක් , බස්සගෙ මිත්තරයො.



දෙන්න  ජාඩියට මූඩිය වගේ කැපෙන බොහොම විනෝදයෙන් හිටිය අය. හිටපු ගමන් කිරිල්ලි  වෙනස් වෙන්න ගත්තා.  එකට වැඩකරපු පොලොස් කොට්ටොරුවෙක් එක්ක පටලැවිල්ලක් තියෙනව කියල ආරංචි ආව. අපි  යාලුවොත්, ගෙවල් වලිනුත් සාම සාකච්චා, අවවාද වගේ කරන්න පුළුවන් හැම දේම කලා. දවසක් කුරුල්ලා ගෙදර යනකොට, බාගෙට බීපු  බෝතලේකුයි  වයින් වීදුරු දෙකකුයි තිබිලා . එක වීදුරුවක් බිඳිලා. සම්පූර්ණ ක්‍රයිම් සීන් එකේ  ඔක්කොම එවිඩන්ස්  මේසෙ, ඇඳ, පු‍ටු හැමතැනම තිබිල තියනවා. ජෝඩුව කෙටි සාකච්චාවක් තිබ්බා. කිරිල්ලි   චෝදනාව පිළිගත්තා. කුරුල්ලා දිහා ටික වෙලාවක් දුකසේ බලා හිටිය කිරිල්ලි, ටිකක් අඬලා වෙන් වෙලා ගියා. හැමෝගෙම අනුකම්පාව අසරණ වෙච්ච කුරුල්ලට හිමි වෙනකොට , කිරිල්ලි වැරදිකාරි වුනා.



ඇත්තම කතාව ආරංචි වුනේ පස්සෙ. කුරුල්ලා වෙනුවෙන් සෑහෙන පරිත්‍යාග  තොගයක් කරල තියෙන්නෙ කිරිල්ලියි. මුලදි කිරිල්ලි, බොහොම  සිම්පල් ජේන් කෙනෙක් ලෙස ඉඳලා තියනවා. පරම්පරාගත ප්ලේ බෝයි  කෙනෙක් වෙච්ච කුරුලු හපුව තමා කලින්ම කො‍ටු පැනල මාට්‍ටු වෙලා තියෙන්නෙ. අන්තිමට කිරිල්ලි කරල තියෙන්නෙ, එයාගෙ බේතම ආපහු දෙන එක විතරයි.ඒත් ඒක කෙලවර වුනේ නං සුඛාන්තයකින් නෙමෙයි.



revenge is sweet when served cold


සිත්තර පටිය ගැන කියනවා නම්,අනිත් කොටස් පහ නරකයි කියනවා නෙමෙයි, මං මේ කොටසට වැඩිය කැමතියි. 



කොහොම වුනත්මේ නිර්මාණයට සම්මාන නොලැබුනොත් , ඔව්වා විනිශ්චය කරන එවුන්ට සීනි දාලා වෙඩි තියන්න ඕනෙ, කූඹි කාලා මැරෙන්න :)







Sunday, June 7, 2015

බස්සා සහ සිංහයා








පහුගිය දොහක මං ගියා මැද මූකලානෙ, මිත්තරයෙක් මුනගැහෙන්න. ඔය රූස්ස කැලේ , ගල් දෙබුක්කාවක් ලඟ තියෙනවා දොල පාරක්. මාත් ඒ පැත්තට පියෑඹුව , වතුර ටිකක් බොන්න හිතාගෙන. 



"ෂ්,ෂ්, බෂ්ෂො" කව්දෝ මට කතා  කරන සද්දයක් ආව. ඔහෙලට කියන්න, මට පොඩි බයකුත් ආව, ඔය සාවියෙ හොල්මන් ගැන අහල තිබ්බ නිසා. කව්දෝ  ගොබිලෙක් දොල ලඟ ගල්තලාවෙ  ඉන්නව පේනව.



" බෂ්ෂො, වරෙන් , වරෙන්. උඹලට දැන් අපිව පේන්නෙත් නෑ නේද? කෝ අර කලින් තිබ්බ රාජපක්ස බාවෙ?"



" අම්මට හුඩු, මේ අපේ හිටපු රජතුමා නෙව?  ඉතිං, ඉතිං කෝමද සැප සනීප කාරිය?"



" සැප? සැප කණේ. මතක් කරන්න එපා. අර නිල් බාල්දියට වැටිච්ච නරියා, මගේ රජකම පැහැර ගත්තට පස්සෙ. මේ පේන්නැද්ද ?  විස්කි බ්‍රැන්ඩි ගහපු තේජවන්ත රජෙක් නේද, අද මේ කසියා ගහන්නෙ?" 



" අම්මපා, රජෝ  ඒකනං හැබැව. කොහොමට හිටපු රජෙක්ද , මේ  ඇඳිලා ගිහිල්ලා තියෙන්නෙ?" කොකටත් සූජානං සරීරෙ කියලා මං ගල්තලව ලඟ තිව්ව ගහක ටිකක් උස අත්තක ලෑන්ඩ් කරන ගමන් මං කිව්වා.  බඩගින්නෙ ඉන්න සිංහයක්ව විස්වාස කරන්න බෑ නෙව?  කොහොමත්, උන්දෑ රජවෙලා ඉන්න කොට , රටම උලා කාපු හැටියට , බස්සෙක් මොන කජ්ජක්ද?



" ඌ වළඳන්නෙ මගේ රාජ භෝජන. ඉන්නෙ මගෙ රජ ගෙදර. මූව මකබෑවිලා යන හදි හූණියම් උඹේ  සාත්තරෙ නැහ්ද ගණින්නාන්සෙ? " හිටපු රජතුමා දෙස් දෙවොල් තියන්ට තිබා ගත්තා.



" කොහෙ ඉන්න ගණිතයෙක්ද, රජෝ, ඇයි මතක නැත්ද  ඔබතුමා එයාව පැන්නුවෙ පරාද වෙච්ච වෙලාවෙ"



" හා, හැබෑ නේන්නං. කට ඇරියොත් කිව්වෙ බොරු. උන්දැගෙ සෑස්තරේ තමා මාව නැති කලේ"




" හැබැයි රට්‍ටු නං කියන්නෙ වෙන කතාවක් රජෝ. ඔබතුමා රට වැසියොන්ට 2500න් කන්න කියලා, රටම උලා කෑව කියලයි කියන්නෙ"



"මුංට හෙන ගහන්න එපැයි මේ කියන කතා වලට? රටම කෑවෙ නෑ, පොඩි කෑල්ලක් ඉතුරු කොලා. ඒකත් කන්න සැට් වෙන කොට තමා, මුං මාව පැන්නුවෙ. බලාපං, බෂ්ෂො මුං වගේ කෙලෙහිගුණ නැති ජාතියක්?  මං නේද  මුංව කොටින්ගෙ  කරදරවලින් බේරගත්තෙ? රට වෙනුවෙන් තමන්ගෙ දරුවව පවා හමුදාවට පූජා කලා. වෙන රජෙක් නං එහෙම කරයිද?"



" අනේ මංද? රට්‍ටු නං කියන්නෙ, හමුදාවෙ හිටියට එයා  සටන් බිමක් දැක්කෙවත් නෑ කියලයි. අතට පයට කමාන්ඩර්ලා වැඩට තියාගෙන හමුදාපති වගේලු හිටියෙ."



" ඇයි යකෝ, මුං කියන්නෙ රාජ කුමාරයෙක්  තුවක්කුවක් කරේ තියාගෙන , මැරෙන්න යවන්න ඕනෙ කියලද? ඒකට තමා මේ සාමාන්‍ය සෙබලු ඉන්නෙ."



" රට්‍ටු නං කියන්නෙ , ඔබතුමා යුද්ධෙත් විකුණගෙන කෑව කියලයි "



" කව්ද ඩෝ, එහෙම කියන්නෙ? පෙති, පෙති කපල ඇඹුල් තියල් දානව ඩෝ" රජතුමා සරම කරට ගත්තා.



" හා, හා රජතුමනි, වසී බෝලෙත් පේනවා. සරම පහලට දාන්න, ගැලරියෙ ඉස්කෝලෙ ලමයිනුත් ඉන්නව නෙව?"



" දැං බලාපං, ඒක අර  ගණිතයගෙ වැ‍රැද්ද නෙව? ඕකා කිව්ව නෙව මට සදාකාලික රාජයෝගයක් පිහිටලා තියනවා කියලා. ඉතිං මාත්  කාගෙන, කාගෙන ගියා"



" ඒක නෙමෙයි රජෝ, අර ඔබතුමාගෙ සෙරෙප්පු සුප් බිබී හිටපු ගස් බඳින හාදයා  පැන්නලු නේද අනිත් පැත්තට?"



" මතක් කරන්න එපා දෙපිට කාට්‍ටුවව. රිලවයි, තව ඌරො සැට් එකකුයි විතරයි මයෙත් එක්ක ඉන්නෙ. ආරංචි විදිහට එච්චර සාර සුබාවක් නැතිලු සෙරෙප්පුවට. ඕකා ආයෙ එයි බඩගාගෙන මයෙ සෙරෙප්පුව ලෙව කන්න"



" එයා නං ඔබතුමාටම කැපෙන හාදයා. එතකොට හිටපු ‍රැජිණ ගැන ඔබතුමා මොකක්ද හිතන්නෙ?"



" මතක් කරන්න එපා,ඔය ගෑණිව. මුලින් නරියා කැමති වෙලා නෑ රජ වෙන්න. ඔය ගෑණි තමා ඌව නිල් බාල්දියට තල්ලු කරලා තියෙන්නෙ. ඔය ඔක්කොම කුමන්ත්‍රණ පස්සෙ ඉන්නෙ ඔය ගෑණි තමා"



" ආරංචියෙ හැටියට , උන්දැගෙ  කියන්න තරම් වැ‍රැද්දක් නෑලු. ඔය ඉන්නෙ යස අගේට?"



" ඒක නෙව මැටි බස්සො, මාත් මේ  කොහෙන් හරි කොනක් හොයාගෙන අවුලල රට ගිණි තියන්න හදන්නෙ?"



"  කොන් හොයා ගෙන අදින පරණ කේස් වලින්, දැං ඔබතුමාගෙ කස්ටියගෙ පස්සට ගිණි ඇවිලිලා කියලයි රට්‍ටු කියන්නෙ"




" උඹට ඇත්තම කියන්න මාත් ටිකක් බයේ ඉන්නෙ. ඔය ඉඩ තියන වෙලාවට පන්සල්, කෝවිල් ගානෙ යන්නෙත් ඒ නිසා තමයි"



" අම්මපා රජෝ, එව්වා දැක්කාම මට මතක් වෙන්නෙ අපේ හිටපු රජෙක් - පුෂ්ප කුමාර. උන්දැට නං  ඒ පිං ඉක්මණටම  පල දුන්නා, බොහොම ඉක්මණටම ස්වර්ගස්ථ වුනා"



" මට දැම්ම ස්වර්ගස්ථ වෙන්න බෑ බොල. අම්මපා මතක් වෙනකොට බඩ පපුව දාලා යනවා විඳපු රජ සැප. මොන බාල්දියක් ඇදලා හරි  ආපහු රජ වෙන්න දත කන්නෙ ඒකයි"



 " ඒ කිව්වෙ ආයි රජවෙලා පරණ වැරදි හදාගෙන  යහපාලනේ කරන්න වත්ද?"



" තොට පයිත්තියංද බෂ්ෂො? රෙද්දෙ යහපාලනයක් නෙමෙයි. ඉතුරු වෙච්ච් තැන ඉඳන් ආයිත් කන්න. ආ පරණ වැරදි නං හදා ගන්න තියනවා. පහුගිය වතාවෙ වගෙ  කොන් ඉතුරු කරන්න හොඳ නෑ"



තව මගේ තියනව ලිස්ට් එකක් ගල් ගහලා මරන්න ඕනෙ අය එහෙම. ආ, ඉඳා ගහපං උඹත් මේකෙන් පොල් කට්ටක්. අමුර්තෙ වගේ, රජ බඩු"



" බොහොම ස්තූතියි ඔබතුමාට. මගේ පාව්ච්චියක් නෑ"



" අරී, අවුලක් නෑ, බෂ්ෂො. එහෙනං අපිත් කැපුනා"



ඉතුරු අරිස්ට වඩියත් කටේ හලාගත් හිටපු රජතුමා, ගස්ගල් වල වැදෙමින් සීපදයක් කියාගෙන පල්ලම් බැස්සේය.



නපුරු කලට සතහට පැමිනෙන විපත

එදුරු නොවෙයි කලකම් පල දෙවා මිස

යන්න ගියත් යන්න දෙන්න බෑ

ලොං හැලුනත් රජා, රජා මයි







කැටගරිය : මුට්ටිය දමා බැලීම



ප.ලි: බස්සො දන්න දේශපාලනේ















Saturday, June 6, 2015

නෑම








මේ දැං තමයි ආවෙ. නා ගෙන එන්නං ඈ?



හුටා, සබන් ගෑවෙ නෑ නේද?

Friday, May 29, 2015

Roses from Ireland @)>--}--



https://s-media-cache-ak0.pinimg.com/736x/d9/3c/52/d93c52d78b27c52c10d69b0a18a3d6be.jpg

අහල තියෙන විදිහට අයර්ලන්තය බොහොම ලස්සන රටක්ලු.  අයිරිෂ් කෙල්ලො දැක්කාම , ඒක ඇත්ත වෙන්න ඇති කියල හිතෙනවා, එයාලට තියෙන්නෙ නිල්පාට ඇස්.





අයර්ලන්තයත් සමහර දේ වලින් අපේ රටට සමානයි.අපේ සාවියෙත් ඉන්නවා සෑහෙන අයිරිෂ් කස්ටියක්. අයිරිෂ් පබ් කිව්වාම මෙහේ හරි ප්‍රසිද්ධයි. උන්දලා බියර් බොනවා , කණ සාක්කුවෙ හිටින්න. තව එයාලගෙ සාන්තුවරයෙක් ඉන්නවා "සාන්ත පැට්‍රික්" කියලා . එයා වෙනුවෙන් සමරණ දවසට,  කොලපාට ඇඳගෙන පෙරහැරක් එහෙමත් යනවා.මෙයාල වැඩියෙන් ඉන්න සමහර ප්‍රාන්ත වල ඒක නිවාඩු දිනයක්.  අර අපි නිත්තෑවො කියලා ජාතියක් හිටියයි කියනව වගේ, මෙයාලත් එහෙම කොල ඇඳගත්ත, අඟු‍ටුමිට්ටො (Leprechaun) ගැන විස්වාසයක් තියනවා. සමහර විට , මේ කියන්නෙ මිල්ල සොයා රට පැනපු , නිත්තෑවො වර්ගයක් ගැනද මන්දා?මං නං ඔය දෙතුන්, දෙනෙක්වම දැකලත් තියනවා. නෑ, නෑ නිත්තෑවො නෙමෙයි , අර Leprechaunල - ඔහෙලටත් බලාගන්න පුළුවනි, අර පෙරහැර දාක ආවොත්. 



 පරම්පරා ගාණක සිවිල් යුද්ධයක් තිබ්බ රටක්. අහල තියනව නේද,  IRA එක ගැන. සමහරුන්ට එයාලා freedom fighters, අනික් අයට ත්‍රස්තවාදියො. අපි පොදුවෙ සුද්දො කිව්වට , සුද්දොන්ගෙත් වර්ග තියනවා. එංගලන්තෙ සුද්දො, අයර්ලන්තයත්, ස්කොට්ලන්තයත් බලෙන් තමා අල්ලගෙන හිටියෙ. ස්කොට්ලන්තෙ හිටියා මේරි කියල ‍රැජිනක්. කැපුව නෙව, එංගලාන්තෙ සුද්දො එයාගෙ බෙල්ල. ටක්කෙටම උන්දලා අයර්ලන්තේ කාගෙ හරි බෙල්ලකුත් කපන්න ඇති.






https://s-media-cache-ak0.pinimg.com/736x/28/9a/ff/289affe3b018cbc3e4154894d753c282.jpg

කමාන්ඩෝ ඉට්ටැයිල් එකට , ගෑණුන්ගෙ සායවල් ඇඳලා ගියාට, ඒක හුලඟට උඩයයි කියලා බයට තඩි පැඩ්ලොක් එකකුත් එල්ලගෙන ඉන්න, ස්කොටිෂ් කාරයො සද්දෙ වහල හිටියට, අයිරිෂ් කස්ටිය නං නිකං හිටියෙ නෑ.අහුවෙච්චි තැන ඉංග්ලිෂ් සුද්දොන්ට දුන්නා බැස්ටිය. 



ඉංග්ලිෂ් සුද්දොත් පොතේ විදිහටම යුද්ධ කලෙත් නෑ. Kneecapping කියන්නෙ එහෙම  ක්‍රමයක්. මේකෙදි විරුද්ධවාදියව මරන්නෙ නෑ. එත් ආයෙ සටන් කරන්න බැරි වෙන්න දණිස් පොල්කට්ට කුඩුවෙන්නම වෙඩි තියනවා.



ගරිල්ලා යුද්ධයක් , පොතේ විදිහට කරන්න බැරි බව අපට වඩා හොඳින් උන් දැණගෙන හිටියා.  මේ වගේ සංකීර්ණ ප්‍රශ්ණයකදි කව්ද හරි, වැරදි කියන්න මං දන්නෙ නෑ කොහොම වෙතත්, ඔය ඉතිහාසෙ කටපාඩමෙන් කියන්න දන්න හාදයෙක් නං ඉස්සර මෙහෙ හිටියා, දැන් උන්දෑ පැන්සොන් ගිහිල්ලා. කෝකටත් වැඩිය ඔය ගැන  කියන්න ගිහිලා සායම ඇරගන්නෙ නැතිව ඉන්න එක, සරීර සවුක්කියට හොඳයි.




මෙහෙම දුකසේ හිටපු අයිරිෂ්කාරයොන්ට , අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නැහෙ එකදාස් අටසිය බර ගණන්වල දුර්භික්ෂයකිනුත් බෑටකන්න සිද්ද වෙලා තියනවා. බොහෝ දෙනෙක් රට පැනලා. ඔය කියන කාලේ. ඇමෙරිකාවට ආ අයගෙන්  වැඩිම ප්‍රතිශතය වෙලා තියෙන්නෙ අයිරිෂ්කාරයො. අයිරිෂ් මැරවරයො ගැනත් සඳහන් වුනාට, වැඩිහරියක් අය මේ අපි ඔහෙලා වගෙ පනං හතරක් හොයාගන්න එදාවේල ‍ටුවර් දුවපු අහිංසකයො. එහෙම ආපු කස්ටිය තමා රේල් පාරවල්, දැං ඔය ගාම්භීරෙට තියෙන පෞරාණික තට්‍ටු බිල්ඩින් එහෙම හදන්න දුක් විඳලා තියෙන්නෙ.


https://upload.wikimedia.org/wikipedia/en/1/13/Lunch-atop-a-skyscraper-c1932.jpg



සත්‍ය සිද්ධියක් පදනම් වුනු මේ සිංදුවෙන් කියවෙන්නෙ එහෙම කතාවක්. මං හිතන්නෙ මේ තාලය(celtic) එයාලගෙ ජනකවි වගේ එකක් වෙන්න ඇති.





ආපහු නො එන්නම රට ඇරල ගිය පුතෙකුට තාත්තා ලියන  ලියුම් පෙලක්. දුප්පත් අල ගොවියෙක් වෙච්ච තාත්තා, වෙනුවෙන් ලියුම් ලියන්නෙ , ගමේ ඉස්කෝල මහත්තයා . අර " පොප්ඤැක් මාරෝ" වගේ ඇහෙන්නෙ එයැයිගෙ නම -Pat McNamara



ජෝන්ට කවදාවත් ආපහු එන්න බැරි වෙනවා. අම්මා, තාත්තා දෙන්නම සාමදානයේ සැතපෙනවා.එක තැනක සිංදුවෙ කියවෙනවා, අම්මා කිව්වා කියලා, රේල් රෝඩ් වල වැඩ කරන්න එපැයි කියලා. සිංදුවෙ "You say you found work, but  won't say what kind" කියන කොටසෙ ,sacrifice generation ලෙස හැඳින්වෙන, ඇමෙරිකාවට සංක්‍රමණය වුනු, මේ පලමු පරම්පරාවෙ දෙමව්පියන්ගෙ මුළු ජීවිත කතාවම ලියැවිලා තියෙනවා. ජෝන්ගෙ සහෝදරයා මයිකල්ගෙ "wee bit of trouble" කියන්නෙ, මයෙ හිතේ එයා IRA එකට බැ‍ඳෙන්න ඇති.Kilkelly, Ireland, 18 and 60,.කියන එක කියවන්න ඕනෙ වර්ෂ 1860 කියලයි. Kilkelly කියන්නෙ අයර්ලන්තෙ තියන කුඩා ගම්මානයක්.




 මං මේ සිංදුවට කැමති, ඒකෙ තියන දුක්මුසු ගතිය නිසාද, නැත්නම් මේ කියන ජෝනාත් , බස්සෙක් වෙන්ට ඕනෙයි කියල මට හිතෙන නිසාද මන්දා?











Saturday, May 16, 2015

අනවශ්‍ය මහප්ප්‍රාණ සහ දෙවියනි ඔබ බුදිද?




ඉස්සර මං නැවතිලා හිටිය ගෙදරක ගෑල්ලමයෙක් උන්නා. හප්පා , නියම ක‍ටු අත්තක් තමා එයා නං. මෙයා දවසක් මට මෙහෙම කිව්වා:



"බකුස් අයියෙ, ඔයා හම්බකරන්න දන්නවා වුනාට, වියදම් කරන්න දන්නෙ නෑ"



උන්දැගෙ අවාසනාවටද, මයෙ වාසනාවටද මන්දා , "වියදම් කරන හැටි" පාඩම් මාලාවක් කරන්න එයාට චෑන්ස් එකක් ලැබුනෙ නෑ. නැහ්නං අනිවා ඩෙෆා උන්දෑ මාව උගස් තියනවා.



බස්සා අරපිරිමැස්මෙන්  ජීවත් වෙන සතා. ඒ කිව්වෙ., අනුන්ට ණය නොවී, හම්බ කරන දෙයින් ටිකක් වැහි කාලෙකට ගන්න ඉතුරු කර ගන්නවා.මේ බකුසු ලයිෆ් ඉස්ටැයිල් එක අල්ලන්නෙ නෑ පළගැටියොන්ට. ඉතිං උන් ඇනුම්පද කියනවා



" ඇයි බං ඔච්චර හම්බ කරන්නෙ , යන කොට ගෙනියන්නද?"

" මේ අපි වගේ අඩියක්-පුඩියක් ගහල මනුස්පයෙක් වගේ හිටහංකො" 

" අපිටත් ඔයවගේ හම්බවෙනව නං , අපි දනී  ජීවත්වෙන හැටි?"



ඒක නං මටත් හිතා ගත්තෑකි. කොච්චර හම්බ වුනත් මාසෙ අන්තිම වෙන කොට යන්නෙ රිම් එකෙන් නෙව? දැනුත් එහෙමයි, වැඩිය හම්බ වුනත් එහෙමම තමා.







මං නං ඇත්තටම දැන්නෙ නෑ, මාත් එක්ක නැවැතිලා ඉන්න හාදය කොච්චර හම්බ කරනවද කියලා. මට ඒක අදාල නෑ, ඇයි මම ජීවත් වෙන්නෙ , මම හම්බ කරන පනං හතරෙන් නිසා.ඒත් අපේ බොහෝ අය එහෙම නෑ. හරියට හොයනවා අනුන්ගෙ විස්තර. ඔය "අඩි-පුඩි" පාටි වලදි කතා කරන්නෙ ඒවා.නැත්නම් දේශපාලනය. මට මේ ඕපදුප, අනුන්ගෙ ඇද හොයලා හිනාවෙලා, තමන්ව පුම්බ ගැනිලි වගේ ඩෝප් කතාබහ දිරවන්නෙ නෑ. ඉතිං මං කරන්නෙ ඔය පාටි වෙලාවට නමට එක දාගන්න , වයින් ටිකක් බීලා හෙමීටම ලිස්සලා යන එකයි. හැම සති අන්තෙම තියන මේ "සාද"  වලදි හැමදාම ලිස්සලා ගිහිල්ලම, උන් දැන් මේ වංචාව ගැන දන්නවා.අරහෙම හින්ට් ගහන්නෙ ඒකයි. 



ඔය කියන තරම්  කැකිරි ගෙඩියක් මට හම්බවෙන්නෙ නෑ. හම්බවෙන එක ටැක්ස් වලට කැපිලා ආවම, ගෙවල්  කුලී, ටෙලිෆෝන් ඉන්ටනෙට්, කෑම-බීම, ඉන්ධන සහ ඉන්ෂුවරන්ස් ගෙවන්නම සැහෙන ගානක් යනවා. හැබැයි, ඔය ඔක්කොමත් කරලා , මං කීයක් හරි ඉතුරු කර ගන්නවා.



පහසුකම් තිබුණත් ,මං ඉන්න නගරෙ ටැක්ස් හරිම වැඩියි, අනිත් රටවල් එක්ක සසඳන කොට. ඇත්තටම මට හිතෙන විදිහට, හම්බවෙන ආදායම නියම විදිහට පෙන්නන්නෙ නැති මේ පළගැටි රෑන, මට වඩා ගාණක් අතට ගන්නවා ඇති. ඒ කොච්චර හම්බ වුනත්, එකම සිංදුව තමා හැමදාම ගහන්නෙ. 



මගේ ජිවන රටාව හොඳම එකයි කියල මං කියන්නෙ නෑ. ඒත් මේ මං කැමති විදිහ, මට අනුන් ජීවත්වෙන විදිහ වෙනස් කරන්න ඕනෙ නෑ, ඒක එයාලගෙ කැමැත්ත. මං කියන්නෙ මට මගේ විදිහට ඉන්න ඉඩ දෙන්න කියල විතරයි.



මෙහෙම කිව්වට මටයි කියලා අනවශ්‍ය වියදම් නැත්ද? මොකෑ නැත්තෙ? මගේ අනවශ්‍ය මහප්ප්‍රාණ(© හැලපෙ) තමා ගැජමැටික්, ඉලෙක්ට්‍රොනික්ස් සහ කම්පියුටර්. 



උදාහරණයක් විදිහට , ඔහෙල දන්නවා නෙව මං මීයොන්ට කැමති බව? මා ගාව තියනවා ඔය මියො දුසිමක් විතර, තව කී-බෝඩ් පහ, හයක්. තව වෛවාරන්න ගැජමැටික් අටෝරාසියක්. ඔය පොතේ විදිහටම ජීවත් වෙන්නත් බෑ නෙව? ගන්න පුළුවන් කම තියනවා නං, ගන්න ඕනෙයි කියල හිතනවා නං, ගත්තා , එච්චරයි. 



දැං ඔහෙලට හිතෙයි නෙව, ඇයි මෙච්චර මී පරම්පරාවක්ම ඕනෙ කියලා. මං කියන්නම් ඇයි කියලා.



ඉස්සෙල්ලම ආවෙ නැට්ට තියෙන, බෝලෙ තියෙන මීයා - ගත්තා ඌව

පස්සෙ ආවා බෝලෙ නැති ලේසර් මීයා - ගත්තා ඌවත්

ඊට පස්සෙ  නැට්ට නැති, වෑර්ලස් මීයා - ගත්තා ඌවත්

ඊළඟට බ්ලූ ටූත් මීයා - ගත්තා ඌවත්

ආයෙ ආවා කරකවන රෝදෙ නැති ටච් මීයා - ගත්තා දෙන්නෙක්ම


ඔන්න ඔහොමයි මයෙ මී කලෙක්ෂන් එක වැඩි වුනේ. දැං තේරෙනව නේද , ඒක මයෙ වැ‍රැද්ද නෙමෙයි කියලා? ඒ වගේම, මේ හැම මීයම අරන් තියෙන්නෙ සේල් වලදි නියම මිලෙන් බාගෙකටත් අඩුවෙන්.







බස්සගෙයි මීයොන්ගෙයි සම්බන්ධකම් ඔයිටත් වැඩිය ඈතට යනවා. බොහෝම කාළෙකට ඉස්සර බස්සා නැවතිලා හිටියා බකුසු අයියලෑ ගෙදර , මහරගම. එහෙ ඉඳන් තමා වැඩට ගියෙ.උදේ ඉඳන් , රෑ දෙගොඩ හරියක් වෙනකං වැඩකරන බස්සා, වැඩ පොලෙන්ම කාලා ගෙදර එන්නෙ  , ඩෝං ගාලා ඇඳට පැනලා බුදිය ගන්න. දෙයියනේ කියලා , බස්සට නින්ද ගැන ප්‍රශ්ණයක් තිබ්බෙ නං නෑ, ඇඳ පෙන්නන්න විතරයි ඕනා. ඒත් මේකට  එක හෙනහුරෙක් හිටියා, ඒ මී තඩියෙක්. හැමදාම මහ රාත්තිරියෙ  වහලෙන් බහින මේකා සද්ද කරලා බස්සව ඇහැරවනවා.  ඇඳේ නෙට් එක දාලා තිබ්බ නිසා හපා කයි කියලා බයක් නැති වුනත්, බකුසු නින්ද කැඩීමේ ආනන්තර්ය පාප කර්මයෙන් උන්දැට ගැලවෙන්න ලැබුනෙ නෑ. ඌට පාඩමක් උගන්වන්න බස්සා දැං දහ අතේ කල්පනා කරනවා. මීයා කිව්වට , මූ " ස්පීඩි ගොන්සාලෙස්" වගේ සතා , බස්සා හැරෙන කොට, මේකා " අරීබා, අරීබා" කියලා විදුලි වේගෙන් අන්තරස්දාන වෙනවා.



බස්සා දැණගෙන හිටියා මීයගෙ  ගමන් මාර්ගය. මූ බිත්තිය දිගේ ටිකක් නැගලා, ලයිට් ස්විච් එකට එන එස්ලෝන් බටේ දිගේ තමා



ඉතුරු ගමන. බස්සා එස්ලොන් බටේ ගෑව ග්‍රීස් යන්තමට. ඔන්න එදත් ආව, අපේ "ස්පීඩි ගොන්සාලෙස්" . බස්සා ගත්තා කොස්ස අතට. එදත් වෙනදා වගේම , මීය පැන්නා එස්ලොන් බටේට. ලිස්සුව , වැ‍ටුනා බිමට, ආයෙ පැන්නා, ආයෙ ලිස්සුව. ඔහොම තුන් හතර පාරක් , ලිස්සන ගහේ නැග්ග මීයා  කෑ ගහගෙන පැනල දිව්වෙ, බස්සා විසින් එල්ල කල කොසු ප්‍රහාරයත් කාගෙනමයි. පස්සෙ පව් කියල හිතුනත්, ඌත් දැණගන්න ඕනෙ නෙව, බස්සොන්ට කොකා පෙන්නන්න යන එකේ ආනිසංස.




බොහෝ කාලෙකට ඉස්සර බස්සා රූපවාහිනී ආයතනයක වැඩ කලා, වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට. මේ ලඟදි දවසක මං දැක්කා අපූරු ගැජමැටික් එකක් , මෙන්න මේක:







වැඩි ගාණකුත් නෑ, ඒත් අනවශ්‍ය මහප්ප්‍රාණ නං තමා. ඕන පාන් බාගයත්  රුපියල් හැටයි කියලා ,පිඹල ගිහින් ගත්තා  ඒකත්:)



දැන් වීඩියෝ එඩිටින්  අංසෙ මොනව හරි කරන්න තමා කල්පනාව. ආසාවට මිසක ‍රැකියාවක් විදිහට නෙමෙයි. 



ආ, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මට ඔය ඉස්තිරියාවො දුන්න  කරදර ගැන කතාකරන කොට ,  මං කිව්වා ඒ ගැන පෝස්ට් එකක් ලියන්න තරම් දේවල් තියනවා කියලා, එතකොට අනිත් පැත්තෙන් කියපි "එහෙම නං, මා ගැනත් ලියන්න හොඳේ? මං එහෙම නෑ කියලත් ලියන්න" කියලා.



දැං මේ හදන්නෙ ඒ වෙච්චි පොරොන්දුව ඉස්ට කරන්නයි. බස්සො කියන්නෙ එහෙව් හොඳ පක්සි ජාතියක්:)   තව පොඩි හේතුවකුත් නැත්තෙම නෑ. ඔහෙලා කවදා හරි දැකලා තියනවද පිහා‍ටු ගලවපු පක්සියෙක්? 



මගේ මේ යාං හෑලි ලියන්න ගිහින් පෝස්ට් එක දිග වැඩි වුනා. දෙවියනි ඔබ කොහිද පස්සෙ ලියඤ්ඤං, ඈ?



Monday, May 11, 2015

බස්සෙක්, පිස්සෙක් සහ තවත් එක් ශ්‍රී ලාංකිකයෙක්






පිස්සො කියන්නෙ හරිම අපූරු සත්තු ජාතියක්.බස්සො පිස්සොන්ට කැමති ඒකයි.අනික,

සමහර බස්සොන්ටත්  ලාවට පිස්සු. දැං බලන්න බස්සොන්ට පියාඹන්න පුළුවන් නෙව? ඒ වගේම සමහර පිස්සොත් ඉන්නව පියාඹන්න පුළුවනි කියල හිතන. මේ ඒ වගේ පිස්සෙක්ගෙ කතාවක්:





දවසක් පිස්සො දෙන්නෙක් හොර කුරුම්බා බාන්න ප්ලෑනක් ගහනවලු. මේක වෙලා තියෙන්නෙ රෑක. එක පිස්සෙක්  ගැහව්වලු ටෝච් එක පොල් ගහට. ගහල කිව්වලු " හා , දැන් උඹ මේ ටෝච් එලිය දිගේ ගිහිල්ලා කුරුම්බා ගෙඩි දෙකක් කඩපං" කියලා



අනිකා කිව්වලු" හහ්, උඹ හිතුවද මට පිස්සුයි කියල, ටෝච් එලිය දිගේ ගිහිල්ලා කුරුම්බා කඩන්න? අතර මඟදි උඹ ටෝච් එක නිව්වොත් හුටා නේද?" කියලා .



කිසිම පිස්සෙක් , තමන්ට පිස්සු බව දන්නෙ නෑ වගේම පිළිගන්නෙත් නෑ. පිස්සුව මනින මීටරයක් තාම නැති නිසා, අපිටත් කොච්චර පිස්සුද කියලා අපි දන්නෙත් නෑ. දැං බලාන්ට , කෙනෙකුට කියන්න පුළුවනි මම රහත් වෙලා ඉන්නෙ කියලා, ඇයි ඒකටත් මීටරයක් නෑ නෙව? මේ සමහර කතා ඇහෙන කොට , පිස්සු අපිටද , උන්ටද කියලත් හිතෙන්නෙ නැත්ද?



හරි මේ දෙවන කතාව:



මානසික ආරෝග්‍ය ශාලාවක තිබ්බලු ශ්‍රමදානයක්. දැං කස්ටිය ගජරාමෙට  පස් කපලා , ඒ පස් වෙනතැනකට අදිනවාලු. මේ අවුවස්සෙ එක පිස්සෙක් විල්බැරෝවක් කනපිට හරෝගෙන , පස් කපන තැන ඉඳලා පස් ගෙනිහින් දාන්න ඕනෙ තැනට වෙනකම් එහාට, මෙහාට යනවලු. ඇටෙන්ඩන් කෙනෙක් මේක දැක්කලු. දැකලා කිව්වලු:



" ඈ බොල , මොකක්ද උඹ ඔය කරන පිස්සු වැඩේ තේරුම? ඇයි විබැරෝව කණපිට හරවගෙන යන්නෙ?" කියලා.



පිස්සා කියනවලු මෙහෙම " හහ්, උඹ හිතුවද මට පිස්සුයි කියල? විබැරෝව හරිපිට හරවගෙන ගියොත්, මුං මේකට පස් පුරවනවනෙ?" කියලා.


---------------------------------------------------------------



බ්ලොග් ලෝකෙත් ඉන්නව පිස්සො කීපදෙනෙක්. ඔය අතර හිටියා හරිම අපූරු පිස්සෙක්. අර,"මං පිස්සොත් දැක්කා , ඒවගෙ පිස්සො නොදැක්කා" ජාතියෙ එකෙක්.






http://img3.wikia.nocookie.net/__cb2007

1222164431/marveldatabase/images/2

/25/Persephone_(by_Marta_Dahlig).jpg

මේකා උගත් පිස්සා. ඔය යුරෝපය පැත්තෙ රටක, ආචාර්ය උපාධියට ඉගෙන ගනිමින් හිටියෙ.  බොලොගයක් කොටාගෙන, බත, බුලත සරි කරගෙන අපූරුවට හිටිය මූටත් වැදුනා මල් හී පාරක්. ඒක ආවෙ තැපෑලෙන්. එදා ඉඳන් මුගෙ පිස්සුව හොඳටම තද වුනා. අර කතා ලිවිල්ල එහෙමම නැවතුනා.ඊට පස්සෙ, වැඩි හරියක් ලිව්වෙ කවි. එව්වත් විරහ කවි. මේකා උල ලේනෙක් වගේ අඳෝනා තියන්න තිබා ගත්තාම බල්ලෙකුටවත් බස්සෙකුටවත් අහන් ඉන්න බෑ අඳෝනාව.



ඔව්, ඔව් සත්ය පෙරේමෙ තමා මූව නැති කලේ :). එයත් බ්ලොග් ලියපු කෙනෙක්ලු.  අපි දන්නෙ නෑලු, ගෙස් කරන්න යන්න එපාලු, මොකද එයා ලිව්වෙ ඉංගිරිසි බ්ලොග්ලු. පිස්සා එයාට කිව්වෙ ඔය වයලට්, ජුලියට් වගේ නමක්.



උගේ ලෝකෙයි, බ්ලොග් ලෝකෙයි දෙකම එපා වෙච්චි පිස්සා, හිටපු ගමන් බ්ලොග් ලෝකෙන් අතුරුදහන් වුනා. ඊට ඉස්සෙල්ලා උන්දෑ උපාධිය ගත්තා.ඒ නිසා කොහේ නමුත් හොඳින් ඉන්නව ඇති.



අද ඒ බ්ලොග් එක නෑ. ඒකෙ නම " පිස්සාගේ ලෝකය".පිස්සා කතා ලිව්වෙ , අපූරු ශෛලියකට. මේ යන්න ඉස්සෙල්ලා එයා ලියපු අමතක නොවෙන කතාවක්.මට එයා තරම් ලස්සනට කතාව ලියන්න බෑ, පුළුවන් විදිහට ලියන්නම්:



පිස්සට කතා නායකයා හම්බවෙන්නෙ ආපන ශාලාවකදි. යුරෝපීය හැඩහුරුකම් තියෙන ලස්සන පොඩි කෙලි පොඩ්ඩියක් සමඟ ආ මේ තරුණයා , පිස්සගෙ අවධාණයට යොමුවෙන්නෙ, ඔහුගෙ තිබුණ "අපේ" පෙනුම නිසා. කෙලි පොඩ්ඩි , එතන තිබ්බ වැඩි වියදමක් නැති කෑම තමයි ‍තෝරගන්නෙ.



සුහද සිනහවකින් පස්සෙ දෙන්නා දැණ හඳුනගෙන කතාවට වැටෙනවා.පොඩි කෙල්ල ඔහුගෙ දුව. මේ ඒ  ආගන්තුකයාගෙ ජීවිත කතාව:



ඔහු සරණාගතයෙක් ලෙස යුරෝපයට පැමිණි, තවත් එක් ද්‍රවිඩ ශ්‍රි ලාංකිකයෙක්.යන-එන මං නැතිව, කන්න-බොන්න,  ඉන්න-හිටින්න තැන්  නැතිව ඉබාගාතේ ගිය කාලය ගැන ඔහු ලස්සනට කියල තිබුණා. බොහෝ අය හිතන්නෙ බටහිර රටකට පැන්නාම , එහෙ සුර ලෝකෙ වගේ තමයි කියලා. ඒත් යථාර්තය එච්චර ලස්සන නෑ.සෙට්ල් වුනාට පස්සෙ ජීවිතේ හොඳ වුනත්, පටන් ගැන්ම බොහෝවිට ක‍ටුකයි. 



රෑට බෝට්‍ටු නවතා තිබුණු ජැටියක නිදා ගත්ත හැටිත්, උදේට එන සුදු ජාතික බෝට්‍ටු හිමියො, ඔවුන්ව පයින් ඇනලා අවදි කරපු හැටිත් , ඔහු කියලා තිබුණ. මට හිතෙන්නෙ , ඔහු මුල අමතක නොවෙච්ච  ශ්‍රි ලාංකිකයෙක් කියලයි.





මෙහෙම සිල්ලර වැඩකරමින්, පාවි, පාවි ඉන්න ඔහුට හමු වෙනවා සුදු ජාතික තරුණියක්. ඒ ගතකරපු ජීවිතේ එපා වෙච්ච මේ තරුණයා , එවකටත් යුධ පිටියක් වෙලා තිබ්බත්, ආපහු  ගමරට බලා එන්නෙ බටහිර පන්නයේ ආදර කතා තාවකාලික බව දන්නා නිසයි. 



අපේ පිස්සාට කෙලෙව්වෙත් සත්ය පෙරේමෙ වුනාට, අපේ ද්‍රවිඩ මිත්‍රයගෙ ආදර කතාව මෙතනදි  වෙනස් නැඹුරුවක් ගන්නවා. කෙල්ල එනවා මේකව හොයාගෙන ලංකාවට.



කව්ද අර කිව්වෙ " කෙල්ලො පාරෙ යන බස් වගෙයි. එකක් මිස් වුනොත් අනිකෙ නැගපං, ඒත් ඔය අතර එනවා උඹව "ගෙදර" අරගෙන යන බස් එකක්. ආන්න ඒක නං මිස් කරගන්න එපා පු‍තෝ" කියලා.



අපේ කතා නායකයට තේරෙනවා මේ අර කිව්ව " ගෙදර" අරං යන බස් එක කියලා. දෙන්නා බැඳලා ආපහු යුරෝපයට යනවා. 



අද ඔහු  ශ්‍රි ලාංකික සම්භවයක් තිබෙන, තවත් එක් සාර්ථක අනේවාසිකයක්. අද ඔහුට ගේදොර, යාන වාහන හැම දෙයක්ම තියනවා. ඔහුගේ වෘතීය සඟයන් පුදුම වෙන, ඉතා හොද ආර්ථක පදනමක් ඔහුට තියනවා. ඒ ඔහු අරපිරිමැස්ම දන්න නිසයි. ඒක ඔහුගේ දරුවන්ටත් පිහිටලා තියනවා කියල තමා පිස්සා ලියල තිබ්බෙ.

පිස්සා අන්තිමට කියල තිබ්බෙ" මට ඔබ ගැන ආඩම්බරයි, සහෝදරයා" කියලයි. සාර්ථක, ශ්‍රි ලාංකික සම්භවයක් තිබෙන අය ගැන හි‍ටු කියලා ආඩම්බර වෙන මේ දවස්වල , මටත් කියන්න තියෙන්නෙ " මටත් ඔබ ගැන ආඩම්බරයි, සහෝදරයා" කියලම තමා. අවුලක් නෑ නේද?























Sunday, May 3, 2015

අමතක වීම, බස්සා සහ Selective Memory Loss




ඔය වචනෙ මං මුලින්ම ඇහැව්වෙ, සැහෙන කාලෙකට ඉස්සෙල්ලා මං  වැඩ කරපු තැනකදි. දෙන්නෙක් වාද කරනවා , වෘතීය කාරණයක් ගැන.  එකෙක් අනිකාට කිව්වා "my friend, you have a selective memory loss" කියලා. මේක කිව්ව ගමන් අනිකාගෙ කට වැහුනා. බස්සා ටක් ගාලා ඒකට බුක් මාර්ක් එකක් දාගත්තා  selective memory loss - හරි ලස්සන වචනෙ. selective memory loss සහ short term memory loss අතර වෙනසක් තියනවා උනත්,  පොදු ව්‍යවහාරය සඳහා අපි මේ දෙකම  එක කැටගරියකට දාලා "අමතක වීම" කියල කියමුකො.



බස්සටත් තියනවා නෙව ඔහොම ලෙඩක්. ඒත් ඌට තියෙන්නෙ selective memory loss තමා.මං දහ අතේ දිවුරලා කිව්වත් අනිත් එවුන් කියන්නෙ, මං  මට ඕන දේ විතරක් මතක තියාගෙන අනිත් එව්වා අමතක කරනවා කියලයි. හරි, ඒක එහෙමයිම කියමුකො, ඒත් කාටද ඇහැකි ඔය හැමෝගෙම උපන් දින වගේ එව්වා මතක තියාගෙන ඉන්න 




http://www.brainbehavioroptimization.com/Images/Anatom

yOfShortTermMemory.jpg



පසුබිම



බැරිම තැන මං මේකෙ විද්‍යාත්මක පසුබිම හෙව්වා. ආ, ඔය තියෙන්නෙ  තොරණෙ විස්තරේ. 


ඒකට අනුව , අපේ මොලේ ඔය එදිනෙදාට අවශ්‍යය සිල්ලර මතක විතරක්, අධිවේගී -ඒත් සීමිත කෙටි මතකයෙ තියාගෙන, අනිත්  කුණුකන්දල් මතක ඔක්කෝම, දීර්ඝ මතකයට ගිහින් දානවා. මේක  මේ හාඩ් ඩිස්ක් එකක ඩේටා රෙකෝඩ් කරනවා වගේ නෙමෙයි, ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්. 



මතකය හැමවිටම සම්පූර්ණයෙන් ගෙඩි පිටින්ම ගිහින් දාන්නෙ නෑ. එහෙන් මෙහෙන් හිඩස් ඉන්න තමා ගිහින් දාන්නෙ. ඒ ඉඩ ඉතුරු කරගන්න වෙන්ටෑ? ඒත්  මොලේට ඇහැකිලු ඒ එවුවයෙ "හිස් තැන් පිරවීම " කරලා සම්පූර්ණ මතකයම නැවැත ප්‍රති-නිශ්පාදනය කරන්න. සමහර විට අපි " මේ දිව අග තිබ්බා, ෂහ්, මොකක්ද, මේ මතක නෑනෙ?" කියල ඔලුව කසන්නෙ ඒක වෙන්න ඇති. ආ. ඔලුව කැසිල්ල සහ මතකය අතර සම්බන්ධයක් නම් ඒකෙ කියල තිබ්බෙ නෑ.








http://www.extremetech.com/wp

-content/uploads/2013/09/340-640x426.jpg

මේ තියන්නෙ neural network  එකක පිංතූරයක් .එව්වයෙ තමා මේ මතක කොටස් ගබඩා කරන්නෙ. වෙසක් එකට බලුප් දැම්මා වගෙ ලස්සනට තියෙන්නෙ සම්පූර්ණ මතක රාමුවක්, නැත්නම් සිද්ධියක්  නැවත මතක් කරගන්න කොට , එව්වා අතර ඇතිවෙන සම්බන්ධ.



මං පොඩි අවවාදයක් දෙන්නම්.  ආකාසෙ තියෙන තරු ග්‍රහලෝක එව්වා ඇති වෙච්ච හැටි වගේම, මිනිස් මොලේ වැඩ කරන හැටි ,මතක තියාගන්න හැටි ගැන ඕනවට වැඩිය හොයන්න යන්න එපා. මොකද එව්වා මොලේ මඤ්ඤං වෙන්න මුල. කොටින්ම මේ හුදී ජන අපි ඔහෙල තියා වෛද්‍ය විශේෂඥයො උනත් එව්වා ඔක්කෝම දන්නෙ නෑ. එව්වා එච්චරම ලේසි නැති නිසා නෙව, කණට එකයි , ඇහැට එකයි කිය, කිය වෙන වෙනම විශේෂඥයො ඉන්නෙ? ඈ, එහෙම වෙන්නෙ නෑ කිව්වා ,? හහ්, සාධක ඕනා ?





ඇයි මනුස්සයො, මීට කලින් මොලේ කචල් වෙච්ච බස්සෙක් දැකලම නැහ්ද?



හරි මෙන්න දවසේ වැදගත්ම සොයා ගැනීම.  මතක තියා ගන්න එක වගේම, අමතක  කරවන එකත් , එක වගේම වැදගත් මොලයේ ක්‍රියාවලියක්. ඇයි නේද?   නිකමට හිතන්නකෝ, අපේ  ජීවිතේ දුක්මුසුම අවස්ථාවක( මගේ නං, අම්මා නැතිවෙච්ච දවස) තිබ්බ දුක ඒ විදිහටම සදහටම තිබ්බ නං මොකද වෙන්නෙ කියලා?



දැං තේරෙනව නේද, අමතක වෙන එක මගේ නෙමෙයි, මොලේ වැරද්ද කියලා ?



You are Not Alone 



ඔය අමතකවීම ගැන සිංදු එහෙමත් ලියවිලා තියනවා . මෙන්න එකක්:

" ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුනා ". එහෙම කිව්වෙ මිල්ටන් පෙරේරා ගායකයා. ඊට පස්සෙ එයා මනෝ විද්‍යාව පැත්තට බර වෙන්න මෙහෙම කියනවා.



" උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි"



මතකය ගැන ප්‍රසිද්ධ පුද්ගලයන් කිව්ව එව්වා :




ගරු සිල්වා මැටිතුමා : කොලොන්නාවෙ සිද්දිය ගැන මට මුකුත්ම මතක නෑ( සභාවේ කසු කුසු " වෙඩි වැදුනෙ ඔලුවට නේද, එහෙම නං මොලේට හානියක් නැතුව ඇති?")



හිටපු කොටි නායකයෙක්: සිංහයොන්ට යමක් මතක තියෙන්නෙ සති දෙකයි



ටෙලි නාට්‍ය නිලියක් :හිටපු පෙම්වතුන් ගානවත් මට මතක නෑ.

 (අවුලක් නෑ,මොනව වුනත් ඇත්තම කිව්වා)






http://atomictoasters.com/wp-content/

uploads/2011/01/post-it1-e1294897015964.jpg



මෙන්න කණ සාක්කුවෙ හිටින්න බීපු වෙලාවක ,  ඔය නං-ගම් එහෙම උදේට අමතක වෙලා වෙන හදිසි අනතුරු වලට කදිම විසඳුමක්:


simply "post-it"









ඔය අමතක වීම ගැන බොහොම අපූරු සිත්තරපටි හදලා තියනවා.




http://images2.fanpop.com/image/photos/14400000/

City-Lights-charlie-chaplin-14440733-1600-1258.jpg



City Lights එහෙම අපූරු චාලි චැප්ලින් සිත්තරපටියක්, අර ලඟ නමා ගත්තාම විතරක් මතක්වෙන සල්ලිකාර මිත්තරයගෙ කතාව. 










http://www.savingcase.com/

wp-content/uploads/2011/10/Dori.jpg




තව මතකයි නේද  Finding Nemo එකේ හිටිය ඩෝරිව











මෙන්න අමතක වීම ගැන මම බලපු පට්ටම සිත්තර පටියක්. 





මේක ඇත්තම කතාවක්. කිරියි, පැණියි වගේ ඉන්න තරුණ ජෝඩුවක්. හදිසි අනතුරක්. කෝමා එකකට පස්සෙ බිරිඳට සිහිය එනවා. ඒත්  මතකයෙ පහුගිය අවුරුදු පහ අමතක වෙලා. සැමියාව මතක නෑ. මතක පරණ පෙම්වතාට  , විවහා ගිවිසගෙන හිටිය එක. කෙල්ල පෝසත්, හිතූමතේට කෙරිච්ච විවාහයක්. බොරදියේ මාලු බාන්න ලෑස්ති වෙන කෙල්ලගෙ පෝසත් දෙමව්පියෝ සහ පරණ පෙම්වතා මැද අසරණ වෙන සැමියා.



මේ කතාවට  මං කැමතියි. ජීවිතයේ  දවසක , තමන්ට  හුඟක්ම ලඟින් හිටපු, තමන් හොඳටම දන්නවායැයි හිතපු කෙනෙක්, හිටපු ගමන් අමුත්තෙක් වගේ හැසිරෙන්න ගත්ත වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා නම්, ඔහෙලත් මේකට කැමති වෙයි.



අනිත් කාරණේ තමා, රේෂල් අපේ සාවියෙ. ඔය කියන්නෙ ඩවුන් ටවුන්වල බයිසිකල් පදිනවා කියල


























people will forget what you said, people will forget what you did, but people will never forget how you made them feel.


- Maya Angelou -




Huh,forgive and forget?

I'm not God and I don't have Alzheimer's.


- D.G.M බස්සා -