බොහොම කාලෙකට ඉස්සර අපේ ඉස්කෝලවල ගෘහ විද්‍යාව කියල විෂයක් උගන්නලා තියනවා. ඉවුම්-පිහුම්, ගේ දොර අස්-පස් කිරිලි, මැහුම්-ගෙතුම් වගේ එදිනෙදා ජීවිතේට අත්‍යවශය දේවල් තමා මේකට ඇතුලත් වෙලා තිබුනා යැයි කියන්නෙ. මේ විෂය කොච්චර සාර්ථකද කියන්න දන්නෙ නැති වුනත්, සංකල්පයක් විදිහට මේක බොහොම වටිනා එකක්. නමුත් මෙතන බරපතල කොස්සක් - තිබිල තියනවා: මේක උගන්නලා තියෙන්නෙ ගෑල්ලමයින්ට විතරයි.
මං කියන්නෙ , මේක බරපතල gender discrimination එකක්. ඇයි අපි ඔටුවොද? ඇත්ත, මෙව්වා "පිරිමින්ට අයිති නැති, ගෑණු වැඩ" කියන සමාජ සංකල්පයක් තිබුණා තමයි. නමුත් වර්තමානයේ අපේ ජීවන රටාවත් එක්ක මේ සංකල්පය කොහොමවත් ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.අපට තියෙන්නෙ ,අපේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයෙ තියන , වැඩකට නැති විෂයක් හලලා හරි "ගෘහ විද්‍යාව" නැවත රිංගවන්න. මං නං කියන්නෙ ඒක අනිවාර්‍ය විෂයක් කරලා, අකමැති කොල්ලන්ට බලෙන් හරි උගන්නන්න ඕනෙ. උන්දලා පස්සෙ කාලෙක හරි ඒකට පිං දෙයි.
තමන්ගෙ වැඩ තමන්ම කරගන්න, ස්වාධීනව ජීවත්වෙන්න හැකි සමාජයක, මේ"ගෘහ විද්‍යාව" කියන්නෙ බොහොම හුරුබුහුටි කුසලතාවයක්, මිස ලැජ්ජාවෙන්න ඕනෙ කාරණයක් නෙමෙයි. අද බොහෝ අය උසස් අධ්‍යාපනය, රැකියාව වැනි දේ නිසා තරුණ කාලය ගත කරන්නෙ ගෙදරින් පිට, බෝඩින් වල. ජීවිතේ යම් කාලයක් ගෙදරින් පිට ඉන්න නොවිච්ච අය , අද හොයාගන්නත් අමාරුයි. මෙවැනි පුහුණුවක අගය දැනෙන්නෙ අන්න එතකොටයි.
ඒ ඇරත් අද සමාජයේ , කුස්සිය කියන්නෙ පිරිමින්ට තවදුරටත් ආගන්තුක තැනක් නෙමෙයි. මං කියන්නෙ බොරු නං, ඔහෙල ඔය දන්න කියන ගෙවල්වලට හොම්බ දාලා බලන එකයි ඇත්තෙ. ඉස්සෙල්ලාම කුස්සිය පැත්තෙන් ඇහෙයි" ජිංජි බරස්, බරස්" කියල සද්දයක්, ඊට පස්සෙ ගෙදර ගෘහ මූලිකයා, කුස්සිය පැත්තෙන් මතුවෙයි' මං මේ පොඩි රෙපයාර් වැඩක් කර, කර හිටියෙ' කියාගෙන. හොඳට බැලුවොත් පෙනෙයි, සරුවාංගෙ පුරාම පොල් කෙඳි, පොල් කුඩු.
ගෘහ විද්‍යාවට අයත් දේ අතරින් වැදගත්ම, නමුත් වැඩිම අවතක්සේරුවට පාත්‍ර වෙලා තියෙන්නෙ සූප ශාස්ත්‍රය. මට අනුව නං උයනව කියන්නෙ කලාවක්. බෙරි නොවෙන්න, බතට කොච්චර වතුර කියන්න ඕනෙද කියන එකේ සිට , හොද්දට පදමට ලුණු-ඇඹුල් දැමිල්ල දක්වා හැම එකකටම කලාවක්-වෙලාවක්, ගාණක්-මිම්මක් තියනවා.
උදාහරණයක් විදිහට ඇඹුල් ගත්තාම, දෙහි, තක්කාලි, ගොරක, සියඹලා ඔක්කොම ඇඹුල් උනාට එව්වයෙ රස වෙනස්, මොන එක මොන වෑංජනයට දානවද කියන එක තමා කලාව.
තවත් මම දැකලා තියෙන දෙයක් තමා කෑම උයන්න දන්න අය උනත්, දන්න කෑම රෙසිපි ගැන උනත් තියෙන නොදනුවත් කම. සමහරු ඔහේ හිතට එනදේ හොද්දට දානවා , හිතෙන, හිතෙන විදිහට. අපේ හෝතම්බුවාට ඔය ගතිය සැරටම තියනවා.හදිසියෙ හරි, අල, ළූණු අඩුවට දාලා තිබුනොත් උන්දැට ඒක හොඳ නෑ, ගාණ වැඩි එකම තමා හොඳ. මට මතක් වෙන්නෙ බාලා. කාලයක් මම මැලේසියාව ලඟ තිබ්බ දූපතක වැඩකලා. බාලා හිටියෙ අපේ චමරියෙ. එදා බාලා උයන දවස. අපි ගෙදර ආවෙ හොඳට බඩගිනිවෙලා. බාලා ඉන්නවා ඉස්සරහ ඉස්තොප්පුවෙ වාඩිවෙලා කකුල් වන,වන. මුකුත් උයල නැ. ඇහැව්වාම කිව්වෙ මෙහෙම " ගේ හරියෙ, කොත්තමල්ලි, උළුහාල් ඇටයක් නෑ, ඉතිං කොහොමද උයන්නෙ?"
අපේ හෝතම්බුවා මීගමුව පලාතෙ. හරියටම කියනව නම් කිරිමැටියානෙ. මස් , මාළු ගැන අපිට උන්දලා එක්ක හැරෙන්නවත් බෑ. උන්දැගෙ කුකුල්මස් කරියයි, මාළුමිරිස් දාලා මිරිසට හදන සැමන් එකයි පංකාදු පහයි. ඔන්න මං ඉල්ලුව රෙසිපිය:
මං: මචං , දැන් ඔය වෑංජනේ හදන්නෙ කොහොමද?
හෝතම්බුවා: සැමන්, මාළුමිරිස් තුනපහ, මිරිස් අතගාලා පැත්තක තියලා, ලූණු මිරිස්, කරපිංචා තෙලට දාලා , ඒකට අර සැමන් දාලා ගන්නවා.
මාත් ඒ කිව්ව විදිහට හැදුවා, බල්ලෙකුට කටේ තියන්න බෑ.
මං: ඈ බං, මං හැදුව හරිගියේ නෑ නෙව? ඒකට තව මොනව හරි අඩුයි වගේ? සුදු ළූණු දානවද?
හෝතම්බුවා: නැතුව
මං: දැං බලාපං , උඹ ඕක මට කලින් කිව්වෙ නෑනෙ? මේක හරියන්නෙ නෑ. උඹ හදපං , මං බලාගෙන ඉන්නම්.
පස්සෙ බලනකොට අඩුපාඩුව. ඇඹුල්.උන්ද ඒකට තක්කාලිත් දාලා, ගොරක බික් දෙක තුනකුත් දානව. ගොරක නැතුව මේ සම්මජාතියෙ ඒකෙ නියම රහ එන්නෙ නෑ. ගොරක තමා එතන secret ingredient එක.
මං පරිප්පු උයන්නෙ, ඇට බෙරි නෙවෙන්න. මං පරිප්පු හදනවා , මිරිසට පොල්කිරි කඳුලක් නොදා , ගෙදර ළූණු නැත්නම් ඒ මුකුත් නැතුව. කිසි අවුලක් නෑ යස අගේට තියනවා. එකම දේ තෙම්පරාදු කරනවා. දැන් අපි එන්නෙ, වෑංජනේක secret ingredient එක කියන මාතෘකාවට.
සමහර විට මේ එක අත්‍යාවශය දේවල් එකක් හෝ අඩු වුනොත්, බලාපොරොත්තුවෙන රස ලැබෙන්නෙ නෑ. හිංගලෙන් ඔව්වට කියන්නෙ secret ingredient කියලා. සම්බෝලෙට, කරවල බැදුමට සියඹලා සහ අනෙක් බොහෝ වෑන්ජන වලට "oyster sauce" තමා මගේ secret ingredients.
ඉස්සර පොඩිකාලෙ මං පිට ගෙදරකට ගියොත් කෙලින්ම රිංගන්නෙ කුස්සියට, උයන හැටි බලන්න. අපේ ගමේ වයලට් අක්කා තමා , මට ඉස්සෙල්ලාම කරවල බදින හැටි ඉගැන්නුවෙ. ඉස්සෙල්ලාම බැදිය යුත්තේ කරවල බවත්, ලූණු තෙලට අන්තිමට එක්කරන්නේ කරවීම වැලක්වීමට බවත් කී වයලට් අක්කා , "In the game of cooking, timing is everything " නැමති වටිනා පාඩම මට ඉගැන්නුවාය.
කෑම වල texture එක කියන්නෙ බොහොම වැදගත් දෙයක්.
ආහාරයක, ගුණයත්, රසයත් , පෙනුමත් ගන්න නම් මේ texture එක රැකගන වැඩිත් නැතුව, අඩුත් නැතුව උයාගන්න ඕනෙ. විශේෂයෙන්ම එලවළු, බෝංවි, කොල වගේ එව්වා. මේ කලාව චීන්නු හොඳට දන්නවා. ඔබ දකින චයිනීස් කෑම වල, එලවළු ලස්සනට කොලපාටට , කරස් ගාලා හැපෙන පදමට තියෙන්නෙ ඒකයි.තුනපහ අධික ලෙස යොදා , තලප වෙන්න බෙරි කරලා උයන ඉන්දියන් කෑමට මම අකමැතිත් ඒකයි.
අවාසනාවට දේශීය වෙදකම වගේම, අපේ සුප ශාස්ත්‍රයත් අභාවයට යන කලාවක් කියලයි මට හිතෙන්නෙ. තවකෙනෙකුට කියාදෙන්න ඇති අකමැත්ත, මෙව්වා ඉගෙන ගන්න, ලේඛණගත කරන්න උනන්දුවක්, ක්‍රමවත් වැඩපිළිවෙලක් නැතිකම වගේ හේතු ගණනාවක් මෙයට දායක වෙනවා ඇති.මා මෙන්ම ඔබත් බොහෝ විට අසා ඇති සමහරු මෙහෙම කියනවා " අපේ අම්මා හදනවා කිරිකොස් මාළුවක්, ආයෙ මොනවද ඒක එක්ක විතරක් බත් පිඟානක් කතෑකි" .
ප්‍රශ්ණෙ තියෙන්නෙ, ඒ හැකියාව ඊලඟ පරම්පරාවට නොයෑමයි. ඒ නිසා ඒ පරම්පරාවෙ අයට කියන්න වෙන්නෙ " අන්න අතන හෝටලයෙ රෝල්ස් මාරයි, අහවල් හෝටලයෙ බුරියානි එක නියමයි" වැනි කතා විතරයි. පහල විඩියො එකේ 7.58 හරිය බලන්න. කොළඹ හොඳම බුරියානි හදන්නෙ මෙතැන. ලොකු, ලොකු තැන්වලත් මෙතනින් ඕඩර් කරලා අරගෙන ගිහින් විකුනනවා.
VIDEO
මේකට විසඳුමක් ලෙස මා දකින හොඳම දේ ඉන්ටනෙට් එක. මා මේ විෂය ගැන විශේෂඥයෙක් නූනත්, දැනටමත් මේ ගැන ලිපි ලියා ඇති අය උනන්දු කරවීම මගේ අරමුණයි.සොඳුරු සඳවතී ලියපු
"පොඩි කාලේ කාපු බීපුවායේ රස !" කියන ලිපිය දැක්කාම තමා මට මේක ලියන්න හිතුනෙ. අපි ඉවීම අවතක්සේරුවට භාජනය කරන බව මට හිතුනෙ, එතරම් අමාරු දෙයක් ලෙස අප නොදකින
"මිරිස් බැදිල්ල" ගැන මාරයා ලියපු ලිපියක් දැකලා. තව තේනුවර මහත්තයා කාලෙකට ඉහත ලියපු "
අපේ දිව්‍ය භෝජන" ලිපි පෙලත්,
මාතලන් ලියපු "මාළු ඇඹුල් තියල් " ලිපියත් බලන්න වටින එව්වා. මම නං බලල, සේව් කරගත්තා හිටං.
VIDEO Now, this song is stuck in my head :)