මගේ පලවෙනි රස්සාව අඹතලේ, නවතින්න වුනා ක්වාටස්වල. ක්වාටස් වල මගේ සඟයා වුනේ බලපිටියෙ හිත හොඳ හාදයෙක්. බලපිටියෙ කතා විලාසය, දකුණෙ කතාවට වඩා අමුතුයි. හොඳට ඇදලා පැදලා තමා කතා කරන්නෙ.
ඔන්න දවසක් හැන්දෑවක, අපි දෙන්නා ක්වාටස් එක ඉස්සරහ කොට තාප්පෙ වාඩි වෙලා කයියක් ගහගෙන ඉන්නවා. මේං, කොහේ ඉඳන්ද ආපු බළල් තඩියෙක් යනවා පාරෙ අනිත් පැත්තෙන්. මම කිව්වා " ළූණු ගෙඩි දෙකත් අරගෙන, කොහෙද යන්නෙ , පූසෝ?" කියලා. බලපිටියා කියාපි " මොකා? පූචා නෙමෙයි බොල, ඕකා සෑනා" කියලා. මම ඉතින් මගේ යුතුකම විදිහට, අනෙත් අයටත් විස්තරේ කියලා, එදා ඉඳන් බලපිටියට "සෑනා" කියන නම බෞතීස්ම කලා.
මේක මේ සෑනාම කියපු කතාවක්. බලපිටියෙ පාරක් අයිනෙ කානු කපපු කම්කරු මහත්තුරු කට්ටියක් දවල්ට කන්න ලෑස්ති වුනාලු. බත් එක ඇරලා බලපු එකෙක් මෙහෙම කිව්වලු "හුකා බොල, මාලු කෑල්ල කා..... ලා නෙව? දැන් ඉතිං අම්මගෙ *?@#$$ එක්කද බත් ටික කන්නේ..ඒඒඒ...?" කියලා. වලියට බර වුනත්, හරිම හිතවත් මිනිස්සු.
අඹතලේට එන්න පාරවල් දෙකක් තිබුනා. කඩුවෙල පැත්තට යන අලුත් පාරත්, කැළනි ගඟ අසබඩින් වැටිච්ච පරණ පාරත් මුණගැහෙන්නෙ අඹතලේ හංදියෙදි. හදිස්සියට අලුත් පාරෙ ආවත්, කොට-කොටා එන පරණ පාරටත් මගේ කැමැත්තක් තිබුනා. කීර කොටු, නාන තොටුපලවල් පහු කරලා එන පරණ පාර, මීතොටමුල්ලේ කුණු කන්ද මඟ හැරලයි එන්නෙ. ඒකෙන්
අඹතලේ හංදියට ආවම, පුරං වෙච්ච වෙලක් මැදින් තිබුන ගුරු පාරක් දිගේ එන ෂෝට්-කට් එකක් තිබුනා. ඔය පාරෙ එනකොට පේනවා වෙල අයිනෙ තියෙන නාන පොකුණක්.
.දවසක් පක්සියා එනවා ඔය පාලු ගුරුපාර දිගේ. වැඩි වශයෙන් බිම බලාගෙන සංසුන් ගමනින් වඩින පක්සියාට ඇහෙනවා පොකුනෙ කව්දෝ නානව. එදෙසට නෙත් යොමු කරපු පක්සියාට පේනවා අපූරු දසුනක්. එතන හිටිය ලලනාවක් , දිය රෙද්දෙ ගැටේ බුරුල් කරලා, රෙද්ද සම්පූර්ණයෙන් දිග ඇරලා ආයෙත් ඇඳ ගන්නවා. සෙල්-මුවා වෙච්ච පක්සියා, කාටවත් මේ කතාව කිව්වෙ නෑ. අංගනාව මාව දැක්කෙ නෑ කියලා නං කියන්න බෑ, ඇයි මගේ පැත්තට හැරිලා නෙව රෙද්ද ලිහුවෙ? "මොනවද උලමො බලන්නෙ, ආ ඉඳා බලපිය" වගේ අනුකම්පා සහගත හිතකින් කලාද නං දන්නෙ නෑ. අනික නාන පොකුණු ගාව හොල්මන් තියනවා කියල කතාවකුත් තියෙනව නෙව?
වෙල මැද්දේ ගුරු පාරේ දුටු කලට
හාගන්නට කුඹුරක් දුන්නා යලට
ඇයි උලමෝ, මොනවාවත් අඩුද මට?
ලිස්සල ගියේ ඇයි, නගුලක් නැත්ද බොට?
ක්වාටර්ස් වලට එන, වාහන එන දුර පාර වුනත් නරකම නෑ. පක්සියා ගෙවල්වල හිටපු ගෑල්ලමයි දිහා රබර්-ඇහැ දාගෙන ආවෙ ඒ පාරෙ. ඔන්න දැන් මට මඩ ගහන්න බලන් ඉන්න වාහෙලාටයි මේ කියන්නෙ, රබර්-ඇහැ දාන එක විතරමයි කලේ කියල . ක්වාටර්ස් පටන් ගන්න තැනට උඩින් තිබ්බා පොඩි තේ කඩයක්. අපි යනවා ඕකට තේකක් බීලා, ලැවරියා-හැලප කාලා පත්තරේ කියවන්න. දකුණෙන් ඇවිත් ගමේ බින්න බැහැපු මුදලාලි, මම ගියාම මෙහෙම කියනවා " ඔන්න මහත්තයො, මම අලුත්ම තේ කොල දාලා තමයි තේක හැදුවෙ" කියලා. කොහොමත් ඒ කඩේ තේක රසයි. මුදලාලිත් කොටු පැනලා, ඇණයක් වැදිලා නැවතුනා වෙන්නත් ඇහැකි.
ඔය කඩේට අල්ලලා තිබ්බා පොඩි බොලිබෝල් පිට්ටනියක්. ගමේ තරුණයොයි, අපේ ක්වාර්ටස්වල සේවක මහත්තුරුයි ඕකෙ හවසට සෙල්ලම් කරනවා. අපේ හාදයෙක් හිටියා කුලසේකර කියලා, එයා තමා බෝලෙ "උස්සලා දෙන්නෙ" අනිකාට "ඩෑෂ්" ගහන්න. කුලසේකර බෝලෙ උස්සලා දීලා මෙහෙම කියනවා "ඔන්න වීරෙ" කියලා. මේක බලන් හිටිය, තවත් සේවක මහත්තයෙක් වෙච්ච ප්‍රනාන්දු මෙහෙම කිව්වා "කුලයා මේ උස්සලා දෙන දෙවිල්ලට, මූ ගෑණියෙක් වුනා නං මුළු ගමම ඉවරයි" කියලා.
ක්වාටර්ස් වල ඉන්න කොට කාලයක් අපි උයාගෙන කෑවා. එලවලු ගේන්න ගියේ කඩුවෙල පොලට. එක සති අන්තයක, එක් කෙනෙක් යනවා ඔක්කොටම එලවලු ගේන්න. යන එකාගෙ තේ- අයිස්ක්‍රීම් බිලත් ඒකට දානවා. මගේ වාරෙට පොලේ ගියාම, මම යනවා පොලේ තිබුන ආප්ප කඩේට. ආප්ප ආච්චි සැදැහැවත් බෞද්ධ උපාසිකාවක්. එයා ආප්ප ඉව්වට, බිත්තරේ කඩල දාන්නෙ වෙන්නෙ මට. ඕං ඉතිං, ඊට පස්සෙ මට බිත්තර ආප්පයක් ලැබෙනවා.ගඟ අයිනෙ හුලං වදින ගමන්, පොල් අතු කඩේක, ලෑලි බංකුවක වාඩිවෙලා උණු ආප්ප කන එක වෙනමම ආතල් එකක්. ඒක කාලා, තව අයික්‍රීම් එකකුත් කාලා තමයි, මම බඩු අරගෙන එන්නෙ, අර කිව්ව "සෙල්මුවා" වුන ගුරුපාර දිගේ.
එහෙදි හමුවුන සමහර චරිත අමතක වෙන්නෙ නෑ. පීටර් තමා කිව්වෙ" ආයෙ මොනවද සෑර්, හැන්දෑවට නා....ලා, අරක්කු කාලක් බී....ලා, බත් ජුන්ඩක් කා....ලා, අස්පයෙක් අල්ලන්න යනවා" කියලා. වල් ෆැන්ටා ගැහුවත්, ඒ මිනිස්සු තමන්ගෙ සරල ජීවන රටාවෙන් ගත්ත ආතල් එකේ, අඩුවක් තිබ්බා කියලා මට හිතෙන්නෙ නෑ.
තව හිටියා රණවංස. අත්කොට සුදු කමිසෙ ඇඳලා එන්නෙ. කතාවට අහුවුනොත්, ආයෙ කෝච්චියට අහුවුනා වගේ තමා. අසාමාන්‍ය ලෙස පිරිසිදුයි, උඩරට හාදයෙක්. කොච්චරවත් පනාවයි, කණ්නාඩියයි සාක්කුවෙ. කඩේකින් තේකක් බිව්වොත් බොන්නෙ , අඞුව තියෙන තැනින් කියලා, කුලේ තමයි මට කිව්වෙ.
ආයෙ හිටියා රත්තසේන කියලා සූදු කප්පිත්තෙක්. ඒකාලෙ "රේස් කොලේ" ගැහැව්වෙ
කොටුව/පිට කොටුව හරියෙ. මේකා මහ රෑ යනවා කොලේ ගේන්න කොළඹ, උදේ වෙනතුරු ඉවසිල්ලක් නැතුව. රේස් යුගයට පෙර "ජිම්කානා" කියන අස්ප දිනුමක් ඇදිලා, වෙළඳ ව්‍යාපාරයක් පටන් ගෙන දියුණු වෙච්ච මුදලාලි කෙනෙකුත් ඒ හරියෙ හිටියා. ඒ කඩේ නං තාම තියනවා, නම "තුරඟා". ඔය හරියෙත් තිබ්බා, බස්සා හවසට බිත්තර ආප්ප ගිලපු පොඩි කඩයක්, දැන් නං නැතුව ඇති.
ඒ ජීවිතේ මාරයි කියල නෙවෙයි මම කියන්නෙ. එහෙ කොටු පැනිලිත් තිබ්බා. සමහර ලොක්කොත්, සොක්කොත් දෙගොල්ලම පැන්නා. බස්සො එහෙම නොකලෙ හොඳ නිසා නෙමෙයි, ඇණයක් වදී කියන බයට. ඒකත් එක්තරා ජීවිත අත්දැකීමක්, වෙනම පරිචේදයක්, වෙනමම ආතල් එකක්, එච්චරයි.