අහල තියන විදිහට, ලංකාවට නිදහස ලැබෙන කොට, ලංකාව ලෝකෙට ණය වෙලා තිබුනෙ නෑලු.
එතකොට සුද්ද ගල විදල උඩරටට පාර කපල, තාරත් දාල තිබුණලු. එතකොට තව, රේල් පාරවල් හදලා, අඟුරු කෝච්චිත් තිබුණලු. කොළඹ ගෑස් වීදී ලාම්පු තිබ්බලු.
තව ඉතිං ට්‍රෑම් කාරුත් තිබ්බලු, ඒක නං කිව්වෙ මනප්පුවා. කොලොම් පුරේ ශ්‍රියා දැකපු, සිංගප්පූරු නායකයා කිව්වලු, සිංගප්පූරුව ලංකාවෙ තත්ත්වයට ගේනව කියලා. උන්දැගෙ වාසනාවටද කොහෙද පස්සෙ ඒ අදහස වෙනස් කරගෙන තියනවා, මෙන්න මේ සිංදුව අහලා
හඳ මාමා උඩින් යතේ...අපෙ මාමා බිමින් යතේ...
හඳ මාමා උඩින් යතේ ඒඒ...... අපෙ මාමා බිමින් යතේ.... ඒඒ.....
අපෙ මාමා ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැනමයි හිතුවේ..
බිමින් කොහොම වෙතත්, සමහරු කියන්නෙ අපි යන්නෙ හොම්බෙන් කියලයි. තව රිම් එකෙන් යනවා කියලත් කියනවා, ඇයි ඒ කියල ඇහුවාම මෙන්න මෙහෙම කියනවා
1. අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන
2. සුද්දගෙ වැරැද්ද - ගියේ කලු සුද්දන්ට රට බාර දීලා
3. මහජනයාගෙ දූපත්/වහල් මානසිකත්ත්වය
ඔන්න ඔය වගේ මහ බරසාර වචන දාලා,තණමල්විල කොල්ලොංගෙ යටිබඩ කොරවෙන ටෝක් දෙනවා. ඔහෙලට කොහොම වෙතත්, මට නං ඔය මෙලෝ අල බෝලයක්වත් තේරෙන්නෙ නෑ . හොඳ වෙලාවට, පැරණි වමේ, තුන් හවුල් ආණ්ඩුව, අපිට පොඩ්ඩක් විතර "සමාජවාදී විකල්පය" රසවිඳින්න, අවස්ථාව දීලා තිබුණ. මිනිස්සු බත් කන්න ඕනෙ දවස් මොනවද, අඳින්න ඕනෙ මොන භූමිතෙල් රෙද්දද කියන එක, තීරණය කලේ ආණ්ඩුව තීරණය කරන එක, කොහොමත් හොඳ දෙයක් නෙමෙයි. හාල් පොලු, මිරිස් පොලු පාරෙ තිබුනා, හාල්, පරිප්පු, උඹලකඩ ගෝනි පිටින් සමූපකාර මැනේජර්ගෙ ගෙදර තිබුනා.
නවසිය හැත්තෑ හතේ සිට අපි ආර්ථිකේ විවුර්ත කලා. වරක් නිදහස රස බලපු මිනිස්සුගෙන් ඒක ආයෙ ගැනීම, දේශපාලන සියදිවි නසා ගැනීමක් වන බව, වමේ පක්ෂ පවා තේරුං අරං, සිංදුව මාරු කලා. පස්සෙ ඔය වමේ, දකුණෙ පක්ෂවල වෙනස හොයාගන්නත් අමාරු තරම මැකිල ගිහින්, එව්වා නිකම්ම දේශපානික වෙළඳ ව්‍යාපාර බවට පත්වුනා. නොවෙච්ච එකම දේ, රටට අවශ්‍ය නායකත්වය, මඟපෙන්නීම නොලැබීමයි.එයාලත් "ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා හිටියා", චන්දදායකයො වෙච්ච අපිත්"ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා හිටියා. අපිත් "ශෂ්‍ය මාරු " ක්‍රමේට අපේ මනාපය දුන්නා, රට එතනමයි. සිංගප්පූරු මාමා උඩින් ගියා...අපෙ මාමා බිමින් ගියා. ඉතිරිය , ඉතිහාසගතයි....
හා, ඒ නොදන්න දේශපාලනෙන් , මේ ඔහෙල අපි වගේ හුදී ජනයාට වැඩක් නෑ කියල බෑ නෙව? අපි කැමති වුනත්, අකමැති වුනත් මේ දේශපාලන විජ්ජාවෙන් අපට ගැලවුමක් නෑ. ලිඳේ වැටිච්ච එකා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ.ඒත් කරුමෙ කියන්නෙ, මේ උලව්ව තේරෙන්නෙ නෑ නෙව? ආන්න එතකොට, අපිට විජ්ජාව පෙන්නන කස්ටිය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අවුරුදු හැත්තෑ පහක්ම අපි " ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා" හිටියා නෙව?
සමහර විට හේතුව ඔය එකක්වත් නොවෙන්නත් පුළුවන්. නැත්නම් අඩු-වැඩි වශයෙන් ඔය ඔක්කොගෙම සම-මිශ්‍රණයක් වෙන්නත් පුළුවනි. වැඩි වශයෙන් වැරැද්ද, දේශපාලකයාගෙ නොවී, චන්දදායකයාගෙ වෙන්නත් පුළුවන්. කෙලින්ම කියනව නං, අපේ කල්කිරියාව, සමාජ සම්මත, සමාජ ආකල්ප මේ එකතැන පල්වීමට හේතුවුනා වෙන්නත් පුළුවන්.
මට මේ වගේ මෝඩ හිතුවිල්ලක් පහල වුනේ. අපේ හිටපු රජා, මොකක්ද කොමිසමකට දීපු සාක්කියක් දැකලා.
චෝදනාව : කොච්චිකඩේ පල්ලියෙ බෝම්බ සිද්ධියට සම්බන්ධ සහරාංගෙ ගෝලයොන්ට ජනපති සමාව දුන්නද?
උත්තරය : මට මතක නෑ, සමහරවිට දෙන්න ඇති
ඇයි, කියවල බලල නෙමෙයිද, අත්සන් කරන්නෙ?
මඟුලක් කියනවා. දවසට සීයක්, හමාරක් අත්සන් ගහන්න තියෙනකොට, කොහෙ කියවන්නද? සහායක ඇඟිල්ල තියල පෙන්නවා, මං අත්සන ගහනවා. මේක වගකීම ගන්න ඕනෙ ජ'පති කාර්‍ය සාධක මණ්ඩලයෙ ලේඛම්ල.
දැන් බලාන්ට, සුද්ද යනකොට අපිට අධ්‍යාපන ක්‍රමයක් දීලා. පාසැල් හදලා , විශ්ව විද්දියාල හදලා දීලා ගියා. අපි කොළඹට කිරි, ගමට කැකිරි ක්‍රමේ හදාගත්තා. මෙරිට් ක්‍රමේට විශ්ව විද්‍යාල වලට ගිය සොච්චම, එහේදි "නිදහස් අද්දියාපනයට අත නොතබනු" කියල දේශපාලනය කලා. උපාධියෙන් පස්සෙ " අපිට රැකියා දියව්" කියලා පිකටිං කලා. පෞද්ගලික අංසය එයාලට කැමති වුනේ නෑ. මේ අය ඉල්ලුවෙ, රජයේ රැකියා. ඒසී රූම් එක, මේසය මත සිංහ කොඩිය සහ තේ එක, සහ දිනපතා පුවත් පත, පැත්තකින් කොම්පීටරය. පත්තරේ බලල , තේ බීලා, කවුරුහරි ගේන ෆයිල් එකේ ඇඟිල්ල තිබ්බාම , අත්සන ගහන රස්සාවක්. මට හිතෙන්නෙ, අපේ සමාජය පුරාම ඔඩු දුවපු පිලිකාවක් තියනවා. එහෙම නෑ. කියල හිතනතාක් කල්, අපිට අබ සරණම තමා.
මේ ඉන්ටනෙට් යුගයේ, මේ බරසාර මාත්තුරුකා , කාටත් තේරෙන බාසාවෙන් තේරුං ගන්න හදපු අහිංසක වෑයමක් මේක. දැන් එතකොට අපේ ප්‍රශ්නවලට උත්තර මෙතන තියනවද? මඟුලක් අහනවා? තප්පර හැටෙන් එහෙම උත්තර දෙන්න ඇහැකි නං, පුත්තලමේද ගෝවා වැවිය හැකිය. ආ, එහෙම කිව්වට පුත්තලමෙ ග්‍රීන් හවුස්වල ගෝවා වවන්න පුළුවන් කියන්නෙ. මගේ පොයින්ට් එක, කාමරේ අලියව දැකලා, නොදැක්කා වගේ ඉන්න එපා කියන එකයි. සමාජ ආකල්ප වෙනස් කරන එක ලේසිපාසු වැඩක් නෙමෙයි. ඒත් නොකල හැකි දෙයකුත් නෙමෙයි. ඒ සඳහා යම් මිලක් ගෙවන්න වේවි. එයින් කොටසක් තමා, දැණුම.