Sunday, February 21, 2021

මතක මංතීරුව දිගේ....පහළට නොහොත් ගෑස්පා හංදියෙන් ඉහලට



මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා

එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස  වහිනවා

දවල් බුදියන බස්සො, රෑට නිදි    මරනවා

එලි සමක් නැතිවුනත් බස්සො කවි ලියනවා


අපේ ගම් අඩවියේ හාදයෙක් හමුවුනා

ගල්කන්දෙ පාන් ගැන කවි රසක් මතුවුනා

වැඩි කතාවට ගියොත් පටිත් දිග ඇරෙන්නා

ආඳාගේ ක්‍රමවේදෙ  පිහිට මට තියෙන්නා


මරදානෙ හංදියත් තාම ඔහෙ තියෙනවද

පරණ පොත් කඩ වලට වුන දෙයක් දන්නවද

පෙට්ටිකඩ වල තවත් බුරියානි ඉදෙනවද

චිකන් කරියේ තාම ඉඟුරු පෙති හැපෙනවද


ඔටුව, පිටෝටුව මට හීනෙනුත් පෙනෙනවා

සීනි සම්බල් පාන් රස දිවට දැනෙනවා

දුරින් ඉඳගෙන හිතින් එහි රසය විඳිනවා

හිතේ ඇති පිටෝටුව, නැති බවත් දන්නවා


 

මේ අපි ගැන කියවෙන සිංදුවක්. අර කියන්නෙ "සියොතුන්" කියලා.  හරි, හරි කාක්කො, කොක්කු , පාත්තයො එහෙමත් ඒ කුලේම තමා. ඒත් බස්සත් සියොතෙක් තමා.





Tuesday, December 22, 2020

බස්සා සහ සපත්තු ලේස්


නෑ, නෑ සෙරෙප්පු සුප් නෙමෙයි, මේ වෙන එකක්. ඇත්ත, ලෝකයා මට " චීප් ****" කියනවා තමා. ඒත් අපි සැලෙයි ඔව්වට, උන්යෑ මට කන්න දෙන්නෙ?

කම්පියුටර් අප්ග්‍රේඩ් වලට ආවම, මගේ ප්‍රතිපත්තිය තමා shoestring budget. බස්සා කියන්නෙ සේල් කාක්කෙක්. දැක්කද ඩීල් එකක්, කොටන්නෙ උඩ පැනලා. සමහර විට මේ සෙල්ලම වරදින වෙලාවලුත් නැත්තෙම නෑ. දැන් බලාන්ට සේල් නිසා කොටල ගත්ත, Intel i5 9400F හොඳම තේරීම නෙවෙයි, මොකද එව්වට එන motherboard ගණන් නිසා, එහෙම කියල බෑ නෙව? දැම්මා shoestring තියරිය, ගත්තා MSI H310m pro-vdh plus motherboard එක. ඔබට සතුටුයිද දැන්? නෑ නෙව.

දැන් මොකක්ද එතකොට ප්‍රශ්ණෙ? අටෝරාසියක් වෙන ප්‍රශ්ණ තිබ්බත්, එව්වා ඉවසතෑකි, අවුල, මේකෙ තියෙන්නෙ SATA port 4 යි. Windows SSD එකයි  , Catalina SSD එකයි ගියාම තව ඉතුරු SATA port දෙකයි. මම ප්‍රතිපත්තියක් විදිහට 8Tb වලට වැඩි HDD නොගන්න නිසා, ඔව් මේක සෑහෙන්න  බොන්න වෙන ප්‍රශ්ණයක්.

කොහොමත්, SATA port වල ඇති ජන්ම speed-limit නිසා SSD වල උපරිම වේගය ලැබෙන්නෙ නෑ(bottleneck). මේකට විසඳුම SATA interface එක භාවිතා නොකරන, PCI bus එකට කෙලින්ම සම්බන්ධ වෙන M.2 Nvme වලට යන එකයි. එත් අපිට කොයිද පූසො මාළු, කියන්නැහෙ, මගෙ ලාබ motherboard එකේ M.2 නෑ.

විසඳුම: තවත් shoestring ගැජමැටික් එකක්: PCI-e to M.2 Nvme extension card. සුපියල් හත-අටකටද කොහොද චීනෙන් ගෙන්න ගත්තෙ. මේක හොඳින් නිරීක්ෂණය කලොත් පේනවා, PCIx1 කොටසට විතරයි ට්‍රැක්ස් සම්බන්ධ වෙන්නෙ කියලා. ඒ තියා අනික් කොටස් ඕනෙ නැත්නම් කඩා දාන්න පුළුවන් විදිහට හිල් පේලියක් දීලත් තියනවා. මගේ දුප්පත් motherboard එකට හොඳට ගැලපෙන පාටයි.

ඔන්න ඔහොම ඉන්න කොට තමා, මෙන්න මෙයාව  Crucial 2TB P1 NVMe M.2 2280 Internal SSD යැංකි සුපියල් 91$කට සේල් දැම්මෙ. මොනවා අහනවද? කෙටුව ස්වාමීනි කෙටුවා. අපේ සාවියට Free Shipping, ටැක්ස් විතරයි. ඔය මං ඩීල් බලන්න යන සයිට් එකේ, ආප්තෝදේශයක් තියනවා, " Buy now, think later" කියලා. මං ඕක අකුරටම පිළිපදිනවා. මොනවද කියන්නෙ, විනාඩි දහයෙන් බඩු ඉවරයි, වාෂ්ප වුනා.


ඊළඟ නැවතුම චීනෙ. Aliexpress වලින් ඕඩර් කලා ලාබෙට heat spreaders. SDD and RAM දෙකටම ගියේ සුපියල් දහයක් විතර තමා. බඩු එන්නෙ එන මාසෙ, අවුලක් නෑ. ඔන්න ඔහොම තමා පිංවතුනි, මේ දවස්වල මයෙ පොකැට් එක හිඳෙන්නෙ.

ඔන්න මාසෙට පෝස්ට් තුනේ කෝට එක ඉවර කලා. සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා! x 2








Saturday, December 19, 2020

We will "meat" again!

මේ ගතවෙන්නේ, එච්චරම හොඳ කාළයක් නූනත්, හෙටත් ඉර පායනවා, මල් පිපෙනවා, කුරුල්ලෝ සිංදු කියනවා, අපි බයිල කියනවා. ඔව්වා ඔහොම තමා. මේවාත් එක්ක ජීවත් වෙන ක්‍රමයක් හදාගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ.  මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි, කියල කව්දෝ කිව්වය කියල මම අහල තියනවා.  ඒක එහෙම නං, අපිට තාම අපේ බලාපොරොත්තු ඉතිරිවෙලා තියනවා කියල හිත හදාගන්න බැරි කමක් නෑනෙ? 

සතුට කියන්නෙ, බලාපොරොත්තුවක් ඇතිවීමත්, එය ඉටුවීමත් අතර සිතේ ඇතිවන හැඟීමක් කියලා අර්ථකතනයක් තියනවා. ඒත් මං හිතන්නෙ සතුටෙ ආයු කාළය, බලාපොරොත්තුව ඉටුවීම පස්සෙත් ටික කාළයක් තිබිලා දියවෙලා යනවා කියලයි. 

මේ කොරෝනා කාලෙ, මං නං බලාපොරොත්තු ගෙන්න ගන්නෙ තැපැල් මාර්ගයෙන්.මේ එහෙම ගෙන්න ගත්ත දෙකක්:

නිතරම ඇසෙන, කියන අසුභ කතා පැත්තක තියලා, මේ උත්සව සමයෙ මට හිතුනා, ටිකක් හරි හිතට සැනසුමක්  ගේන දෙයක් කරන්න. අවාසනාවට බස්සොන්ට කලාත්මක හැකියාවක් නෑ. ඒ නිසා මට හිතුන, මම දැකපු, හිතට සැහැල්ලුවක් ගෙනාපු වීඩියෝ කීපයක්, ඔහෙලත් එක්ක බෙදාගන්න.

කතාකරන බල්ලෙක්: Foo....d, you are always on my mind

අම්මා:

සිංදු වලට කැමති මායා:

හා " meat " හොයාගෙන මෙතන්ට ආපු කස්ටියට මෙන්න මේක:

මගේ අතීසාර දමිල මිත්‍රයෙක් ටික කාලයක් අපිත් එක්ක හිටියා. උම්බලකඩවත් නොකන, භාජනවල කලින් මස් උයල තියනවා කියලා, කෑම කඩවලින් කෑම නොකන මෙයා, මාව බයිට් කරන්නෙ "ඈ බං, උඹ හරි මස් ගොයියා, නේද?" කියලයි. දවසක් මුන්දෑ "වෝක්" එකකට ගිය අල්ලපනල්ලෙ, හෝතම්බු ෆ්‍රීසර්  එකෙන් කුකුලා සින්ක් එකට දාලා, අයිස් දියවෙන්න. ගෙදර ආපු දමිල මිත්‍රයා මට කියනවා " කුකුල ඉන්නවා සින්ක් එකෙන් බෙල්ල එලියට දාගෙන" කියලා.

අපේ ගෙවල් ලඟම Costco එකක් තියනවා. තඩි රෝස් කුකුලා ගෙඩි සුපියල් 7.99 යි. ඒකව ගෙනැල්ලා ආයෙ හොඳට ලුණු-ඇඹුල් දාලා පොඟවලා අර ගැජමැටික් එකේ දාලා ස්කින් එක කරකරනවා. තව එකෙන්ම අල තීරු කිලෝ 2ක විතර පැකට් එකකුත් ගෙනාවා. තෙල් ඕනෙ නෑ. රාත්තල් කාලෙ hot-dog,
beefසහ Polish Sausage එකක් 1.50 ගානෙ ගේනවා. හෝතම්බු ඕකට කියන්නෙ"ඕං යනවා කිඹුලා කන්න" කියලයි. ඔන්න ඔහොමයි බීෆ්/පෝක් hot-dog අස්සෙ ගෙදර එන්නෙ, තනි කරම මස් කරල. ඇයි දෙයියනේ, නැත්නං කොහොමද , අසරණ මාංස බක්සක පක්සියාගෙ දොලදුක නිමෙන්නෙ? එක වංගියක් ඔහොම හොරෙන් පෝක් කුට්ටියක් ගෙනත් මාට්ටුවෙලා, "හා දෙයියො එව්ව බලා ගනීවි" කියලා හෝතම්බු කිව්වා. 

Is Ignorance really bliss?


කොච්චර නොබල ඉන්න හැදුවත්, ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි. කොරෝනා පැණිය ගන්න ආපු ජන ගංගාව ගැන නිව්ස් එකක් බැලුනා. ආයෙ හිත හොඳටම පෑරුනා. ගිලෙන්න යන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා. ඒ වගේම  desperate වුනාම  rational විදිහට නොසිතන එකත් සාමාන්‍ය මිනිස් ගතියක්. ඕකට, එච්චරම පරාර්ථකාමී නැති, අපේ සමාජ මානසිකත්වයත් එකතු වුනාම, අර්බුදයකට හොඳ වට්ටෝරුවක්.

කොරෝනා පාලනය කරන්න බැරිවෙලා තියෙන්නෙ, අපේම නරක පුරුදු නිසා කියලයි කියන්නෙ. පැණිය ගන්න ආපු ජන ගංගාව හිටිය හැටි දැක්කාම, ඇති වෙච්ච හැඟීම සුභවාදී එකක් නම් නෙවෙයි. චීනෙ අල්ලපු වැටේ ඉඳලත්, කොරෝනා සාර්ථකව පාලනය කරගත්ත, හොංකොං වගේ රටවල් එහෙම කලේ කලින්ම ආරක්ෂක විධිවිධාන තරකරගත්ත නිසයි.

එතකොට ඔච්චර දියුණුයි, ක්‍රමානුකූලයි කියන බටහිර රටවලට වුනේ මොකක්ද? මේක ටිකක් සංකීර්ණයි. ආර්ථිකෙයි, ආරක්ෂාවයි බැලන්ස් කරනවා කියන එක "මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වගේ වැඩක්. පෞද්ගලික මට්ටමෙන් ගත්තාම මේක තේරුම් ගන්න ලේසියි. දැන් ඔය කොරෝනා එක, එක අයට බලපාන්නෙ වෙනස් විදිහට කියනවනෙ? සමහරුන්ට බොහොම අසාධ්‍ය/ මාරාන්තික වෙනවා, අනෙක් අයට බොහොම මෘදු ලෙස හැදෙනවා, සමහරුන්ට හැදුනා කියල දන්නෙත් නෑ. දැන් ඔය කොරෝනා විරෝධී/පෙලපාලි යන කස්ටිය ඉන්නවා නෙව? මේ හැමෝම හිතන්නෙ, තමන් ඉන්නෙ අර මෘදු ලෙස හැදෙන ගොඩේ කියලයි. කාටද  අසාධ්‍ය වෙන්නෙ, කාටද  මෘදු ලෙස හැදෙන්නෙ කියලා කවුරුවත් කලින් දන්නෙ නෑ,හැබැයි මේ හැමෝම රෝගය පතුරවනවා. මම දැක්කා සමහරු මුලදි කියනවා, අයියෝ, ෆ්ලූ සීසන් එකට අච්චර-මෙච්චර මැරෙනවා කියල. ඔන්න දැන් සෞඛය බලධාරීන් කියන්නෙ, දැනටමත් ෆ්ලූ සීසන් එක වගේ දහ ගුණයක් මැරිල කියලා.


කොරෝනා ආවෙ ස්වාභාවිකවද, වලක්වන්න පුළුවන්කම තිබිලත් ලෝකෙටම ව්‍යාප්ත වෙන්න ඇරියද? මේ ව්‍යවසනය වෙළදාමක් විදිහට භාවිතාවෙනවද? මේ ප්‍රශ්ණ වලට අපිට කවදාවත් උත්තර  නොලැබෙන්න ඉඩ තියනවා. නිවුස් එකක් දැක්කා, රුසියාව කියල තියනවා වැක්සීන් එක ඩොලර් 9 වගේ  "සාධාරණ" මිලකට ලංකාවෙ ආණ්ඩුවට විතරක් දෙනවා කියලා, අනේ මන්දා?  Wiki Leaks අවශ්‍යතාවය, මට නං තදටම දැනෙනවා. Wiki Leaks වලට විස්තර දුන්නෙ, ඉහල තැන්වලම ඉන්න, හෘද සාක්ෂියක් ඇති මිනිස්සු, අද ඒ අයට ඒ ඉඩ ප්‍රස්ථාව නැති කරලා. සැබෑ "enemies of humanity" ඉන්නෙ එලියෙ කියල හිතෙන්නෙ මට විතරමද? They say "Karma is a bitch". In a true British way, let's say " Oh, f*** sake, there is no karma..

කියන විදිහට, අපට වැක්සීන් එක නොමිලේ ලැබෙන පාටයි. පැණිය කෙසේ වෙතත් වැක්සීන් එක ගැන පවා මගේ නං තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. වැක්සීන් කියන්නෙ බේතක් නෙමෙයි. ගැරන්ටී එකක් නෑ, ආරක්ෂාව සදාකාලික නෑ, කාල සීමාවක් තියනවා. ඒ ඔක්කොටම වඩා, ඕක ගහගත්ත අයට එන "false sense of security" , වඩා භයානක වෙන්න පුළුවනි. වැක්සීන් ගැන හොඳ පැහැදිලි කිරීමක් මෙතන තියනවා:


මට කියන්න තියෙන්නෙ, ආයෙත් JR කියපු දේම තමා " තමුන්නාන්සෙලාගේ ආරක්ෂාව තමුන්නාන්සෙලාම සලසා ගත යුතුයි".

හැමෝටම ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!

Tuesday, December 1, 2020

දෙවියනි! ඔබ කොහිද?

අපි මොන දේස දීපන්කරේ පදිංචියට ගියත්, අපේ සංස්කෘතික බැගේජ් අරං යනවා. ඉන්දියන් කාරයො අපිට එහා. රුසියන් තොප්පිය, ජපන් කෝට් එක එංගලාන්ත සපත්තු වුනාට " හදවත" ඉන්දියන් කියල කිව්වෙ රාජ් කපූර්. ඔන්න ඔය නිසා  ඉන්දියන්කාරයා යන තැන පොඩි දේවාලයක් අටවගෙන පුංචි ඉන්දියාවක් හදාගන්නවා(ඉන්දියන් විතරක් නෙමෙයි, අසල්වැසියො වෙච්ච අපි පවා).නෑ, නෑ  බස්සා ඔව්වට නෑ. කොහොමත් "හුඟක් individualistic සහ ටිකක් introvert" බස්සො මුකුත් හදන්නෙ නෑ. පරිසරට අනුගත වෙනවා   .ප්‍රාජේ තමයි කිව්වෙ.

ඉන්දියාවෙත් දෙයියො තිස් තුන් කෝටියම ඉන්නවා. ඒ වුනාට ලොක්කා ශිව දෙයියො. ගණ, විශ්ණු , සායි බාබා වගේ ජනප්‍රිය දෙවිවරුත්  ඉන්නව, තව කාලි, සරස්වතී වගේ ස්ත්‍රී දෙයියොත් ඉන්නවා. අවසේස දෙවිවරුන්ට ඇපෙත් නැතිවෙලා තියෙන්නෙ ඇයි කියල නං මං දන්නෙ නෑ. ඉන්දියාවෙ මිනිස්-දෙවි සම්බන්ධතාවය හරි අපූරුයි. ඔන්න  හින්දු බැතිමතා දේවාලෙට ගිහිල්ලා පඬුරු පුදලා, බිම පෙරලිල වැඳලා උවමනාව කියනවා. වැඩේ හරි ගියොත්, ආයෙ මොනවද දෙයියංගෙ කරේ රත්තරං, පූසාරිගෙ මල්ල කරේ.  

වැදගත්ම දේ තමා, පාර්ථනාව ඉටු නූනොත්  හින්දු බැතිමතා අනුගමනය කරන ක්‍රමය. යනවා දේවාලෙට. දෙයියට බැනගෙන, බැනගෙන යනවා පස්පඩංගුවේ. ඇඟිල්ල උලුක් කරල කියනවා, තව එක චෑන්ස් එකයි දෙන්නෙ කියලා. ඒකත් හරි නොගියොත් දේවාලෙ මාරු කරල, යනවා වෙන දෙයියෙක් ගාවට. මං හිතන්නෙ, ඉන්දියන්කාරයො අපට වඩා හොඳට දේව ගේම් එක තේරුං අරගෙන තියනවා.

මේ ලඟකදි  මං අපේ ගුජරාති මිත්‍රයා එක්ක ගිය සංවාදයක් මේක:

ගුජරාතියා: ඒ, බස්සො උඹ දෙයියො විස්වාස කරන්නෙ නෑ නේද?

බස්සා:  කොයි දෙයියද? ( මං මගේ සුපුරුදු ලිස්සන න්‍යාය අනුගමනය කලා)

ඌ නෙමෙයි ඇරියෙ, හාර හාරා එකම දේ අහනවා. මටත් මල පැන්නා.

බස්සා: හලෝ, සාර්ර්ර්ර්......කොරෝනා වසංගතයෙන්, තමන්ගෙ දේවාලෙ රැකගත්ත එක දෙයියෙක් මට පෙන්නපං. එතකොට විස්වාස කොරඤ්ඤං.

දැන් ඔහෙල හිතයි, බස්සාගෙ ඔරොප්පුව දේව සභාව එක්කය, එක සර්ව බළධාරී දෙයියෙක් දුන්න නං උන්දෑ සරෙන්ඩර් කියලා, ඒ ඔහෙලට වැරදිලා. ලෝකයේ  විතරක් නෙමෙයි, අපේ රටෙත් ඔය ආගමික,දේව විස්වාසය පාවිච්චි වෙන්නෙ දේශපාලන බලය රැකගන්න තියෙන ආයුධයක් ලෙසයි.

කෝ දැන් බෙලි කපන අයිසිස්? කොරෝනා නිසා ගුහාගත වෙලාද? නෑ "ස්පොන්සර්ලගෙන්" ෆන්ඩ්ස් එන්නෙ නෑ. කොහොමත් දැන් මොසාඩ්(සාතංගෙ පුත්තු), ඩුබායි, සවුදි ගිය නිසා වැඩේ අනාතවෙලා තියෙන්නෙ.

මම අදේවවාදී වුනාට දේව විරෝධී නෑ. ඇත්තට මම කැමතියි දෙයියො ඉන්නවට. මිනිස්සුන්ට දේව සංකල්පය නැතුව බෑ. සමස්ථයක් වශයෙන්, ආගම් වලින් කෙරෙන්නෙ මානුෂික ජීවන රටාවකට මිනිසුන් හික්මීම. අවුල කරන්නෙ දෙයියගෙ නියෝජිතයො. 
ඔය ජර්මනිය දෙකට බෙදලා, සමාජ පර්‍යේෂණයක් කලා නෙව.. සම්ප්‍රධායික දෙයියො එලෙව්වහම, අලුත් දෙවිවරු  පහල වුනා. කාල් මාක්ස් දෙයියො, මාඕ සේතුං දෙයියො වගේ අය. දාස් කැපිටාල් බයිබලය වුනා. හරි ගියේම නෑ. 

කැමති දෙයියෙක් ඇදහුවාට කාරියක් නෑ. හැබැයි මගෙ දෙයියා, බොගෙ දෙයියට වඩා ලොකුයි කියන්නවත්, දෙයියන් වෙනුවෙන් මිනී මරන්න යන්නෙ නැත්නම්.

පෘතුවියේ පිහිටීම, පැවැත්ම, පරිසරය, ජීවය ගහකොළ මේ හැමදෙයක්ම එක්තරා ප්‍රාතිහාර්‍යයක් (දෙයියො නැතුවත්). Goldilocks Zone එකෙන් පොඩ්ඩක් එහාමෙහා වුනා නං බබිත් සුං, බබීගෙ දෙයියත් සුං. මට හිතෙන්නෙ මිනිස්සුන්ට  මේ සංකීර්ණ, සූක්ෂම සමතුලිතතාවය තේරුංගන්න, විසඳන්න ඕනෙ. එබුව  සර්ව බළධාරී දෙයියෙක් සමීකරණයට, වැඩේ ගොඩ.

මම සිම්පල් බස්සෙක්. ඒ නිසා මට ඔය සූත්තරේ විසඳන්න  කිසිම අදහසක් නෑ. මේ දේව විස්වාස ගැන බකුසු මතය ටිකක් කිට්ටුවෙන් යන්නෙ ජපන් ෂින්ටෝ ඇදහීමේ "Kami" කියන සංකල්පයත් එක්ක. Wikipedia වල Kami අර්ථකතනය වැරදියි. Kami කියන්නෙ දෙයියො නෙමෙයි "පූජනීය" වගේ දෙයක්,  ජලය, හුළඟ,  පරිසරය ඔක්කොම Kami- පූජනීයයි. පාවිච්චි කරන්නෙ බොහොම ගරු-සරු ඇතුව. විශ්වයේ රහස් අපට තාම බොහොම දුරයි. එතකං උලාකන්නෙ නැතුව, තියෙන ලබ්බ රැකගනිල්ලා.

එහෙම නැතුව උඩ ඉඳන්,  අපි දෙන දාන-මාන, පඬුරු වල වටිනාකම බලල, මිනිස්සුන් ගෙ ප්‍රාර්ථනා ඉෂ්ථ කරල දෙන, දෙයියො ගැන මගේ එච්චර විස්වාසයක් නෑ. ආගමික නායකයො, රාජ්‍ය නායකයො මේ බොරුව දන්නවා. මං හිතෙන්නෙ කොරෝනා, ශුද්ධ වූ ජලයෙන් හෝදන්න ගිය, එක්කෙනෙක් සුවර්ගස්ත වුනාද, කොහෙද?

මාත් දෙයියො නිසා දුක් විඳින බස්සෙක්. හෝතම්බු  හතරවටේම දෙයියොන්ට පහන් තියනවා. ගෙදරට බීෆ්, පෝක් ගේන්නෙ නෑ. කාටද දුක? ඒත් මම සාධාරණ බස්සෙක් නිසා දුක ඉවසගෙන ඉන්නවා.  හැබෑටම ඌරා කොයි දෙයියගෙ වාහනේද? අනික කතරගමත් "චිකන්" තියනවා නේද?

දැන් මම මේක කිව්වා කියල ඔහෙලා දේව විස්වාසෙ ගැන වෙනස් කෝණයකින් බලාවිද? මොන පිස්සුද?  මිනිස්සු තමන්ගෙ විස්වාස එහෙම ලේසියෙන් අතාරින්නෙ නෑ. මේක අනන්‍යතාවය ගැන ප්‍රශ්ණයක්. ඇදහිලි, විස්වාස "මම" කියන සංකල්පයෙ එක කොටසක්. ඒ නිසා දෙයියා විවේවනය කලාම ,හෙලවෙන්නෙ අපේම බවුන්ඩේසම. මරාගෙන මැරෙනව යකෝ, කියන්න තරං කේන්තියක් එන්නෙ ඒකයි. හොඳ වෙලාවට ප්‍රංසෙ නොහිටියෙ, නැත්නම් මෙලාහටත් බෙල්ල නෑ. Achmed The Dead Terrorist මැලේසියාවෙ තහනං කලා. අපි එහෙම නෑ කිව්වා? හරි එහෙනං අපි පොඩි අත්හදාබැලීමක් කරමුකො. 

දැන් ලංකාවෙ ජාතික මාංශය "චිකන්" කියල  දවසක් පැරා කිව්වා. එතකොට ඔහෙල ගන්නෙත් ප්‍රොසෙස් කරල, පැක් කරපු චිකන් නෙව? අර හාල් හෝදන්න එපා කියපු ගොබිලව මතකයි නෙව? විස්වාස කොරා..න්ට, උන්දෑ කියනව නෙව, චිකනුත් හෝදන්න එපා කියල. නෑ, නෑ පස්ස ගැන නං මුකුත් කිව්වෙ නෑ.

ඇහුව, ඇහුවා, එයැයිට පයිත්තියං නෑලු. හෝදලා ඔක්කොම බැක්ටීරියා මරන්න බෑලු, තම්බලා මිසක්. අපි කරන්නෙ, හෝදනවයි කියලා සින්ක් එකෙයි, අපේ ඇඳුම් වලයි, කුස්සියෙ හතර වටේ බැක්ටීරියා වපුරන එකලු. ඔන්න තියනවා වීඩියෝව. 

ඉතුරු හරිය, මං හොම්බට ඇනල කියන්නෙ ඕනෙ නෑනෙ? ඔන්න පහල තියෙනවා කමෙන්ට්. හා, දැන් ලියපල්ලා නිදහසට කාරණා.

පසු සටහන: මුල් යුගයේ සිංහල බෞද්ධයා දේවාල ගානෙ ගියේ නෑ. සිංහල රජවරුන්ගෙ ඉන්දියන් බිසෝවරුයි, පසුව වඩිග රාජ පරපුර හරහා තමයි, ඉන්දියන් දෙවිවරු ලංකාවට ආවයි කියන්නෙ. ඊට පස්සෙ දෙවිවරු පන්සල් වලට රිංගලා පදිංචි වුනා. කොහොමත්, සිතූපැතූ සම්පත් ලාබෙට එසැණින් දෙන, පොඩි ගාණකට අල්ලපු ගෙදර එකාව මකවන දේව සංකල්පය මාකට් කරන්න ලේසියි නෙව?



Saturday, November 28, 2020

පාරාදීසයේ බස්සා,ඔටුවා සහ කාන්තාරයේ කහවනු


පරාදීස වල ඔටුවො නෑ. කාන්තාරවල බස්සො නෑ. සල්ලිකාර ඔටුවො රාමසාන් කාළෙට පරාදීසවලට යනවා, ආතල් ගන්න.  එතකොට පරාදීස වල බස්සො කාන්තර වලට යන්නෙ ඇයි? ඔහෙල හිතන්නෙ, රට ඉඳි කන්න කියලද? නෑ . සල්ලි හොයන්න. 

කොහොමත් මං පෞද්ගලිකව, ඔටුවන්ටත් , ඔටු නීතියටත් කැමතිම නෑ.  ඇයි කියල ඇහැව්වා? මං පොඩි උදාහරණයක්  දෙන්නම්: ඔටුවෙක්, බවලතෙකුට බලහත්කාරකමක් කලොත්, ඔටු නීතියට අනුව වැරදි කාරය බවලතා. බවලතා ඔටුවව කුලප්පු කරල තියෙනවා. ඔටු නීතියට අනුව, ඔටුවා සහජයෙන්ම උපාසක සතෙක්. එහෙම නෑ කියල ඔප්පු කරන්න නං, ඔටුව අහවල් වැඩේ කරන කොට වටවෙලා බලාගෙන හිටිය, තව ඔටුවො හතර දෙනෙක් කියන්න ඕනා, වැරැද්ද ඔටුවගෙ කියලා. කොහොමද සාධාරණේ? කොටින්ම, ඒ කියන්නෙ , අපිට කියල ඇරෝ ගන්න, උඹ මෙහෙ ආවෙ ඇයි කියලයි. බවලත්තු රිපෝට් කරල තියනවා. කැකිල්ලෙ ඔටු නීතියට අනුව, ඔටුව එලියෙ, බවලතා කූඩුවෙ. ආන්න ඒ වගේ සාධාරණ, කිරෙන් පෙරාපු සත්තු ජාතියක් තමා ඔය ඔටුවො. දැන් ඔහෙල අහවි මට ඔටුවො එක්ක ඇරියස් තියනවද කියල? ඔව් තියනවා,  පොදුවෙ හැම ඔටුවටම එහෙම කියන එක "stereotype" සහ "politically correct" නෑ නේද? සෙද්ද, උන්ට කරන්න හොඳයි, මට කියන්න හොඳ නෑ? මම දැක්ක දේ මං කිව්වා, ඇයි අවුල්ද?

අනන්තවත් තුන්වල ලෝකෙ සත්තු එහෙ යනවා. ඇරෝ ගන්න නෙමෙයි වාහෙ, මසුරං හොයන්න. එහෙම හොයන මසුරං, ප්‍රධාන ආදායම වෙච්ච රටවල් පවා, තියනවා කියල අහල තියනවා.

හා, මොලේ කචල්වෙන ඔටු නීතිය  පැත්තක තියලා, ආපු කාරණාවට බහිමුකො.ටිකාක් දිගයි, පුළුවන් කමක් තියනවා නං මේක බලන්න:

ඔහු කියන ඔක්කොම දේ සමඟ එකඟ නූනත්, වැඩි හරියක් හරියි කියල හිතෙනවා. මේකෙ ඩුබායි, සහ බටහිර රටවල් ගැන කතාවෙන නිසා, අදාලයි කියල හිතුනා, මාත් අවුරුදු ගාණක් ඔය කාන්තාරෙ කට්ට කෑව නිසා.

ඩුබායි කියන්නෙ වෙළඳ මධ්‍යස්ථානයක් කිව්වට, වඩා ප්‍රසිද්ධ කළු සල්ලි සුදු කරල දෙන ලොන්ඩරියක් කියලයි. ලෝකෙම ඉන්න හොරුන්ට නං පාරාදීසයක්. දැන් නම්, ඩුබායි, එමිරේට්ස් දිගට හරහට කස්ටියව සේවයෙන් පහ කරනවා. ඒක නරකයි කියල හිතෙනවා නං , ඔය වීඩියෝ එකේ ඉන්න හාදයගෙ  ජීවිත කතාව බලමුකො: උන්දෑ  දෙමව්පියො එක්ක ඩුබායි ඇවිත් තියෙන්නෙ අවු: 2 දි. ඒ කියන්නෙ ඉස්කෝලෙ, යාළුවො, සමාජෙ ඔක්කොම ඩුබායි. හිටපු ටිකේ හොඳට කාලා, බීලා පාටි දාලා, ජීවිතේ හොඳට වින්දා කියන්නෙ. අවුලක් නෑ, ඒක එයාගෙ ජීවිතේ, තීරණයත් එයාගෙ.

බස්සාත් ඩුබායි ගියා. ඒත් කව්දෝ මුලදිම කිව්ව " මේක ගමනාන්තය නොව ට්‍රාන්සිට් එකක් විතරක් කියල හිතන්න" අවවාදය, නොමැකෙන ලෙස මගේ හිතේ කෙටුනා. කෑව, බීවා වුනාට වීඩියෝවෙ හාදයාට තරම් ජීවිතේ හොඳට වින්දා කියල නං කියන්න බෑ.

මේ ජීවන රටා  දෙකෙන් කොයිකද හරි කියන්න බෑ. දෙකම සාපේක්ෂයි. හැබැයි, එකක් කිව්වෑකි. අපේ ජීවිතේ "ලයිෆ් චොයිස්" කියන එව්වා එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂ බව. 

බස්සාත් සෑහෙනෙ කාලෙකට ඉහත එහෙම "ලයිෆ් චොයිස්" එකක් ගත්තා. කාන්තාරෙන්, නත්තල් පප්පගෙ සාවියට කරණමක් ගැහැව්වා. මුලදි නං ලේසි වුනේ නෑ. සීත ඉර්තු ගාණක් ගෙවිල ගියා. ඒත්, ඌත් ඇරියෙ නෑ, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙනම හිටියා. කාළයක් යනකොට, අපි පරිසරයට හැඩ ගැහෙනවා. තව ඉතින් , හිම කුණාටුවල වාහන එලවන හැටි වගේ, දේවල් එහෙම පුරුදු වෙනවා. මොකෑ නැත්තෙ? ඇන්නා ස්වාමීනි ඇන්නා, දෙපාරක්ම පස්සෙන් ඇවිත් ඇන්නා.

දැන් බලමුකො වීඩියෝ එකේ ඉන්න හාදය ගැන. එයා ඔහොම ජොලියෙ ඉන්න කොට, එක්තරා සුන්දර දවසක ආර්ථික අවපාතෙ වගේ අවුලක් ආවා. අර අතුරු මිතුරු දඹදිවතුරු ඔටුවො සැට් එක මෙහෙම කිව්වා" මේ හලෝ. ඔයා අපි වගේ හිටියට ඔටුවෙක් නෙමෙයිනෙ, ඒ නිසා දැන් යන්න". හුටා නේද? කොහෙද යන්නෙ? තමන් නොදන්න, තමාව නොදන්න උපන් රටට? ම්හු... එයා දැනට ඉන්නෙ තායිලන්තෙ.

දැන් ඔහෙල හිතයි, බස්සා දස්ස පක්සියා, වැරදි ""ලයිෆ් චොයිසස්" අරගෙනම නෑ , කියලා. මොකෑ නැත්තෙ? ඒත් බකුසු මාපකයට අනුව වුනත්, වීඩියෝ එකේ හාදයගෙ අවස්ථාව ඛෙදනීයයි. එහෙම දොට්ට දාන තුරු හිටියොත්, තමන්ට "ලයිෆ් චොයිස්" එකක් ගන්න තියෙනෙ අවස්ථාව නැති වෙනවා. 

" තෝ බස්සා. එහෙනං හිටු බස්සෙක් විදිහට, පාත්තයෙක් වෙන්නෙ යන්නෙ නැතුව". මේ බකුසු පරපුරේ ආප්තෝදේශය. වීඩියෝවෙ කියනවනෙ, පඩියෙන් 60% වත් ඉතුරු කරන්න කියලා. හහ්, උන්දැ නං කියයි?

ඔහෙලට කියන්න, අම්මා මුත්තා කිව්වත් , තමන් ගෙ සරල ජීවිත රටාව අත්හරින්නෙ නැති,  කාටවත් හානියක් නැති මං වගේ පක්සියෙකුට රට්ටු කියන කතා? " මොකක්ද බං ඔය ජීවිතේ", " හපෝයි, ඕකට කියන්නෙ පූරුවෙ පව, විඳිනව නෙමෙයි විඳෝනව කියලා" . ඕන්න ඔය වගේ එව්වා. කව්ද කියන්නෙ? එදා වේල ටුවර්ස් දිව්වත්,  ණය වෙලා හරි, පාටි දාන හෝතම්ඹුවා. අපි සැලුනද, පිංවතුනි, නෑ? ඒකත් තව බකුසු "ලයිෆ් චොයිස්" එකක්. කාටවත් ණය නැති, ආර්ථික නිදහස. මම අහල තියනවා ආර්ථික නිදහස ලබාගන්න නං මිලියන් අච්චර ඕනෙ වගේ කතා. මොන බොරුද? අවශ්‍ය සරල ජීවන රටාවයි, දැන් ඔය ඇති කියල "අත්හැරීමයි" විතරයි.

මේ ලිපියේ අරමුණ, ඩුබායි වලට මඩ ගැසීමවත්, බටහිර රටවලට සුදු හුණු ගෑමවත් නෙමෙයි.ජීවිතේ කියන්නෙ එක්තරා ආකාරයක, සූදුවක් බව කියා දීමයි. 
ජීවිතේ ජය ගැනිල්ල කොහොම වෙතත් ජාම බේරගෙන හිටියොත්, මට නං හොඳටෝම ඇති.  ඒකට ඉන්න තැන ගේම් එක දැණගෙන ඒ අනුව ප්ලේ කරන්න ඕනෙ, බුදු බණේ ඕකට කිව්වෙ "මැදුම් පිළිවෙත" කියලයි. කෙනී රොජර්ස් නං කිව්වෙ "The Gambler" කියලයි. නෑ, නෑ එයා කිව්වෙ බණ නෙමෙයි, සිංදු:

You got to know when to hold 'em,
Know when to fold 'em,
Know when to walk away,
And know when to run.
You never count your money
When you're sittin' at the table.
There'll be time enough for countin'
When the deal is done.


Tuesday, November 24, 2020

ආර්ථික විජ්ජාව, ධනවාදය,සමාජවාදී විකල්පය සහ දර්ශණය


අහල තියන විදිහට, ලංකාවට නිදහස ලැබෙන කොට, ලංකාව ලෝකෙට ණය වෙලා තිබුනෙ නෑලු.  

එතකොට සුද්ද ගල විදල උඩරටට පාර කපල, තාරත් දාල තිබුණලු. එතකොට තව, රේල් පාරවල් හදලා, අඟුරු කෝච්චිත් තිබුණලු. කොළඹ ගෑස් වීදී ලාම්පු තිබ්බලු.

 තව ඉතිං  ට්‍රෑම් කාරුත් තිබ්බලු, ඒක නං කිව්වෙ මනප්පුවා. කොලොම් පුරේ ශ්‍රියා දැකපු, සිංගප්පූරු නායකයා කිව්වලු, සිංගප්පූරුව ලංකාවෙ තත්ත්වයට ගේනව කියලා. උන්දැගෙ වාසනාවටද කොහෙද පස්සෙ ඒ අදහස වෙනස් කරගෙන තියනවා, මෙන්න මේ සිංදුව අහලා

හඳ මාමා උඩින් යතේ...අපෙ මාමා බිමින් යතේ...

හඳ මාමා උඩින් යතේ  ඒඒ...... අපෙ මාමා බිමින් යතේ....  ඒඒ.....

අපෙ මාමා ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැනමයි හිතුවේ..

බිමින් කොහොම වෙතත්,  සමහරු  කියන්නෙ අපි යන්නෙ හොම්බෙන් කියලයි. තව රිම් එකෙන් යනවා කියලත් කියනවා,  ඇයි ඒ කියල ඇහුවාම මෙන්න මෙහෙම කියනවා

1. අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන

2. සුද්දගෙ වැරැද්ද - ගියේ කලු සුද්දන්ට රට බාර දීලා

3. මහජනයාගෙ දූපත්/වහල් මානසිකත්ත්වය

ඔන්න ඔය වගේ මහ බරසාර වචන දාලා,තණමල්විල කොල්ලොංගෙ යටිබඩ කොරවෙන ටෝක් දෙනවා. ඔහෙලට කොහොම වෙතත්, මට නං ඔය මෙලෝ අල බෝලයක්වත් තේරෙන්නෙ නෑ . හොඳ වෙලාවට, පැරණි වමේ, තුන් හවුල් ආණ්ඩුව, අපිට පොඩ්ඩක් විතර  "සමාජවාදී විකල්පය" රසවිඳින්න, අවස්ථාව දීලා තිබුණ. මිනිස්සු බත් කන්න ඕනෙ දවස් මොනවද, අඳින්න ඕනෙ මොන භූමිතෙල් රෙද්දද කියන එක, තීරණය කලේ ආණ්ඩුව තීරණය කරන එක, කොහොමත් හොඳ දෙයක් නෙමෙයි. හාල් පොලු, මිරිස් පොලු  පාරෙ තිබුනා, හාල්, පරිප්පු, උඹලකඩ ගෝනි පිටින් සමූපකාර මැනේජර්ගෙ ගෙදර තිබුනා. 

නවසිය හැත්තෑ හතේ සිට අපි ආර්ථිකේ විවුර්ත කලා.  වරක්  නිදහස රස බලපු මිනිස්සුගෙන් ඒක ආයෙ ගැනීම, දේශපාලන සියදිවි නසා ගැනීමක් වන බව, වමේ පක්ෂ පවා තේරුං අරං, සිංදුව මාරු කලා. පස්සෙ ඔය වමේ, දකුණෙ පක්ෂවල වෙනස හොයාගන්නත් අමාරු තරම මැකිල ගිහින්, එව්වා නිකම්ම දේශපානික වෙළඳ ව්‍යාපාර බවට පත්වුනා. නොවෙච්ච එකම දේ, රටට අවශ්‍ය නායකත්වය, මඟපෙන්නීම නොලැබීමයි.එයාලත් "ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා  හිටියා",  චන්දදායකයො වෙච්ච අපිත්"ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා හිටියා. අපිත් "ශෂ්‍ය මාරු " ක්‍රමේට අපේ මනාපය දුන්නා, රට එතනමයි. සිංගප්පූරු මාමා උඩින් ගියා...අපෙ මාමා බිමින් ගියා. ඉතිරිය , ඉතිහාසගතයි....

හා, ඒ නොදන්න දේශපාලනෙන් , මේ ඔහෙල අපි වගේ හුදී ජනයාට වැඩක් නෑ  කියල බෑ නෙව? අපි කැමති වුනත්, අකමැති වුනත් මේ දේශපාලන විජ්ජාවෙන් අපට ගැලවුමක් නෑ. ලිඳේ වැටිච්ච එකා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ.ඒත් කරුමෙ කියන්නෙ, මේ උලව්ව තේරෙන්නෙ නෑ නෙව? ආන්න එතකොට, අපිට විජ්ජාව පෙන්නන කස්ටිය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අවුරුදු හැත්තෑ පහක්ම අපි " ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා" හිටියා නෙව? 

සමහර විට හේතුව ඔය එකක්වත් නොවෙන්නත් පුළුවන්. නැත්නම් අඩු-වැඩි වශයෙන් ඔය ඔක්කොගෙම සම-මිශ්‍රණයක් වෙන්නත් පුළුවනි. වැඩි වශයෙන් වැරැද්ද, දේශපාලකයාගෙ නොවී, චන්දදායකයාගෙ වෙන්නත් පුළුවන්. කෙලින්ම කියනව නං, අපේ කල්කිරියාව, සමාජ සම්මත, සමාජ ආකල්ප මේ එකතැන පල්වීමට හේතුවුනා වෙන්නත් පුළුවන්.

මට මේ වගේ මෝඩ හිතුවිල්ලක් පහල වුනේ. අපේ හිටපු රජා, මොකක්ද කොමිසමකට දීපු සාක්කියක් දැකලා. 

චෝදනාව : කොච්චිකඩේ පල්ලියෙ බෝම්බ සිද්ධියට සම්බන්ධ සහරාංගෙ ගෝලයොන්ට ජනපති සමාව දුන්නද? 

උත්තරය : මට මතක නෑ, සමහරවිට දෙන්න ඇති

ඇයි, කියවල බලල නෙමෙයිද, අත්සන් කරන්නෙ?

මඟුලක් කියනවා. දවසට සීයක්, හමාරක් අත්සන් ගහන්න තියෙනකොට, කොහෙ කියවන්නද? සහායක ඇඟිල්ල තියල පෙන්නවා, මං අත්සන ගහනවා.  මේක වගකීම ගන්න ඕනෙ ජ'පති කාර්‍ය සාධක මණ්ඩලයෙ ලේඛම්ල.

දැන් බලාන්ට, සුද්ද යනකොට අපිට අධ්‍යාපන ක්‍රමයක් දීලා. පාසැල් හදලා , විශ්ව විද්දියාල හදලා දීලා ගියා. අපි කොළඹට කිරි, ගමට කැකිරි ක්‍රමේ හදාගත්තා. මෙරිට් ක්‍රමේට විශ්ව විද්‍යාල වලට ගිය සොච්චම, එහේදි "නිදහස් අද්දියාපනයට අත නොතබනු" කියල දේශපාලනය කලා. උපාධියෙන් පස්සෙ " අපිට රැකියා දියව්" කියලා පිකටිං කලා. පෞද්ගලික අංසය එයාලට කැමති වුනේ නෑ. මේ අය ඉල්ලුවෙ, රජයේ රැකියා. ඒසී රූම් එක, මේසය මත සිංහ කොඩිය සහ තේ එක, සහ දිනපතා පුවත් පත, පැත්තකින් කොම්පීටරය. පත්තරේ බලල , තේ බීලා, කවුරුහරි ගේන ෆයිල්  එකේ ඇඟිල්ල තිබ්බාම , අත්සන ගහන රස්සාවක්. මට හිතෙන්නෙ, අපේ සමාජය පුරාම ඔඩු දුවපු පිලිකාවක් තියනවා. එහෙම නෑ. කියල හිතනතාක් කල්, අපිට අබ සරණම තමා.

මේ ඉන්ටනෙට් යුගයේ, මේ බරසාර මාත්තුරුකා , කාටත් තේරෙන බාසාවෙන් තේරුං ගන්න හදපු අහිංසක වෑයමක් මේක. දැන් එතකොට අපේ ප්‍රශ්නවලට උත්තර මෙතන තියනවද? මඟුලක් අහනවා? තප්පර හැටෙන් එහෙම උත්තර දෙන්න ඇහැකි නං, පුත්තලමේද ගෝවා වැවිය හැකිය. ආ, එහෙම කිව්වට පුත්තලමෙ ග්‍රීන් හවුස්වල ගෝවා වවන්න පුළුවන් කියන්නෙ. මගේ පොයින්ට් එක, කාමරේ අලියව දැකලා, නොදැක්කා වගේ ඉන්න එපා කියන එකයි. සමාජ ආකල්ප වෙනස් කරන එක ලේසිපාසු වැඩක් නෙමෙයි. ඒත් නොකල හැකි දෙයකුත් නෙමෙයි. ඒ සඳහා යම් මිලක් ගෙවන්න වේවි. එයින් කොටසක් තමා, දැණුම.





Friday, November 6, 2020

ව්‍යාකූල සහ නොසේදූ හාලේ බත

 Paranoid කියන වචනෙ ගූගල් ට්‍රන්ස්ලේට් කරන්නෙ"ව්‍යාකූල" කියලයි. දැන් අපි ආයෙ "ව්‍යාකූල" ගූගල් ට්‍රන්ස්ලේට් කලොත්, මේං ඒ වංගියෙ උන්දෑ කියනවා ඒක "Confused" ලු!

හරි, හරි ලිතියම් බැස්ටි වලට, වෙබ් සයිට් වලට පවා බයවෙන බස්සෙක් Paranoid කියල ඔහෙල කියාවි.   ඔය අපේ හෝතම්බු ගොබිල ඉන්නව නේද? උන්දෑ ලංකාවෙදි, වට්ටක්කා ගෙඩියක් වරුගාණක්, පොල් මුඩ්ඩකින් මැද, මැද හේදුවාලු. මට ඒ කතාව පිලිගන්න හේතු තියනවා. මම ප්‍රතිපත්තියක් ලෙස හාල් උණුවතුරෙන් හෝදන්නෙ නෑ. තද සීතකාලෙ හාල් හෝදන කොට දෙපාර පැන්න ගමන් අත, ගල්ටික් වෙනවා, හීතලට. මං කරන්නෙ, තුන්වෙනිපාර හෝදන්නෙ ප්ලාස්ටි හැන්දෙන්. ඕකට මේකා මට හිනාවෙනවා. දැන් එතකොට Paranoid මමද? හෝතම්බුවද?ඉතිං, ඔය සීතකාලෙ ඇල්වතුරින් හාල් සේදීම පිළිබඳ ව්‍යාකූල තත්ත්වය තියෙන අල්ල පනල්ලෙ,මොකක්දෝ ඇනිමෙ එකක් දැක්කා, හාල් තුන් වතාවකට වඩා හෝදන්න එපා කියනවා. ජැපනීස් ඇනිමෙ කියන්නෙ. සූපශාස්ත්‍ර උපදෙස් ගන්න හොඳම තැන නූනත්, ඕකත් මයෙ හිතේ තිබ්බා.

ඕං ඔහොම ඉන්න කොට තමා, මේ හාදයව මුණගැහුනෙ. උන්දැ කිව්වා නෙව, මහ පුදුම කතාවක්!. මගෙන් ඇහුවා, ගන්නෙ "වැකුම් සීල්" කරපු හාල්ද කියලා? මම "ඔව්" කිව්වාම උන්දෑ අහපි " එහෙනං මොකටද වාහෙ හෝදන්නෙ" කියලා. විස්වාස කරාන්ට, මටත් ඔහෙලට හිතුන දේම හිතුනා. මං ටිකක් අදිමදි කලාම, මේකා ඇහුවෙ නැතෑ " ඇයි ඔහෙලා පාන් පිටිත් හෝදලද ගන්නෙ" කියලා? පස්සෙ මෙයා, නවීන හාල් නිශ්පාදන ක්‍රියාවලිය, සේදීමට/නොසේදීමට හේතු, සහල් විශේෂග්ඥ මතයත් එක්ක පෙන්නුවාම, මට පිලිගන්නම වුනා.

බොහොම කාලෙකට ඉස්සර, මගෙ දමිල යාළුවෙක් බතක් ඉව්වා. හාල් හෝදලා, කබලෙ ටිකක් වේලලා, තෙල් ටිකක් දාලා හාල් බැද්දා. ඊට පස්සෙ ඉව්වා. හොඳ රසයි, මොකක්දෝ දෙමල නමක් කිව්වා. බලාගෙන ගියාම ඒ කාල තියෙන්නෙ පයේයා (Paella -pronounce " pai·ei·uh")නැත්නම් රිසෝටෝ නෙව. හරියට හදන ක්‍රමේ වීඩියෝවෙ තියනවා:

හරි, හරි මං දන්නව. හෝතම්බුට පොල් ලෙල්ල අතාරින්න අමාරුයි, මට මගේ අල්පේච්ච ජීවන රටාව අතාරින්න අමාරුයි වගේ ඔහෙලට හාල් සේදීම අතාරින්න අමාරු ඇති. ඒත් මං එයින් එකදෙයක් ඉගෙන ගත්තා. ජීවිත කාලෙම බතුයි, පරිප්පුයි කාපු මම හාල් ගැන දැණන් හිටියෙ කොච්චර ටිකද කියලා? එතකොට පරිප්පු,,,,,,, නෑ, එයා පරිප්පු ගැන කිව්වෙම නෑ. කොහොමත් දැනට හාල් විතරක් ඇති. හැබැයි ගොයියෝ, හෝතම්බුට මාට්ටු උනොත්, ඌ මාව නෑඹිලියෙ  උලලා හෝදනවා.

නෑඹිලියක් නැතුව, කුරුඳු ලිහිණියෙක්ට කියා, හාල් ගරවා ගැනීමට සැරසෙන විදේශිකයක්:

අනුග්‍රහය https://drackey.blogspot.com/2020/10/blog-post.html
                                      හහ්! ගහපං බලන්න? තොගෙ ආච්චිට හාල් ගරන්න.
                                                                ( අනුග්‍රහය:https://drackey.blogspot.com/2020/10/blog-post.html)

බොහෝ කාලෙකට ඉස්සර, චයිනීස් ඩ්‍රැගන් කැෆේ යන පුරුද්දක් තිබුණා. ගියොත්, නොවැරදීම ඕඩර් කරපු දෙයක් තමා "චයිනීස් ඩ්‍රැගන් ස්පෙෂල් රයිස්" . කිරි රහට , තෙතට තිබුණ මේ බතේ තිබුනෙ පුදුම රහක්.දැන් හිතෙනවා ඒ බතත් උඩ කැටගරියට වැටෙන්න ඉඩ තියෙන බව.

එච්චරම දෙයක් නැතුව ඇති, ඒත් පහුගිය පෝස්ට් එකේ වෙළඳ දැන්වීමක් දාලා කල වංචාව මගෑරෙන්න, හරිහමන් පෝස්ට් එකක් ලියන්න හදන අහිංසක පක්සියාට, පොඩි චෑන්ස් එකක් දෙන්න, ඈ?