Monday, June 8, 2020

ස්වයංපෝෂිත සිහිනය


මට මුලින්ම ලිසී ව හමු උනේ කවදාදැයි හරියටම මතක නැත. ලිසී කීවට හරියටම නම ලී සීකීද (Li Ziqi)දන්නෙත් නැත. මොක උනත් ඔන්න ඔහේ දන්න විදිහට ලිසී කියලා කියංඤං. හැබැයි ඒ හඳවල් ගානකට කලින්. එතකොට ලිසී යූටියුබ් එකේ එච්චර ප්‍රසිද්ධ නෑ. හැබැයි ඒ වෙනකොටත් එයා චීනෙ නම් ප්‍රසිද්ධයි. ඔයාලා දන්නවා ඇතිනේ චීන ඉන්ටර්නෙට් එකට වැටක් ගහල තියෙන බව. ඔව්, ඔව් චීන මහා ප්‍රාකාරය තමා. ඒ නිසා, ඒ දවස්වල චීන Weibo සයිට් එකේ තිබ්බ එයාගේ videos youtube වලට පෝස්ට් කලේ වෙන ගොබිලෙක්. දැන් නං එයා youtube වල ඉන්නවා. ඉන්නවා විතරක් නෙමෙයි 10.7 million අනුගාමිකයො ඉන්නවා.

මට හිතෙන්නෙ මේ ස්වයංපෝෂිත කියන සංකල්පය තුලම අවුලක් තියනවා කියලයි. හා දැන් බලාන්ට, ස්වයංපෝෂිත කිව්වාම, හැමදේම තමන්ම හදාගන්න ඕනෙ කියන අන්තයට තල්ලු වෙන්නෙ නැහ්ද? අපි එහෙම වැටක් ගහ ගන්නෙ ඇයි? මට නං එන්නෙ නිකං  eco terrorism වගෙ හැඟීමක්. අපි එහෙම සීමා වැටවල් ගහ ගන්න ඕනෙමද?

හරි වචනෙ sustainable living නැත්නම් eco living වෙන්න ඕනෙ. අර ඉන්නෙ Off the Grid living කරන කස්ටිය. එහෙමයි කියලා සම්පූර්ණයෙන්ම සමාජයෙන් ඈත් වෙන්න හෝ වැරදිලාවත් ඉන්ටනෙට්, ස්මාට් ෆෝන් පාවිච්චි නොකර ඉන්නම අවශයම නෑ. මං හිතන්නෙ ලිසී වැටෙන්නෙ මේ දෙවනි කැටගරියට.  

දැන් අපි ලිසීව පොඩ්ඩක් මෙතන තියලා ලංකාවෙ ඊරියගමට යමුකො ප්‍රේමකුමාර එපිටවල හමුවෙන්න.



මේ පහත කොටස උපුටා ගත්තේ ඉකොනොමැට්ටාගේ රොබින්සන් කෲසෝ සොයායාම පෝස්ට් එකෙන්.

ප්‍රේමකුමාර එපිටවල ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියේ මුද්‍රා නාට්‍ය, බතික් වගේ දේවල් වලට. එහෙත් අපිට වැදගත් වුනේ වෙනත් දෙයක්. ඒ ඔහු විස්තර කළ ඔහුගේ ස්වයංපෝෂිත ජීවිතය. කුඹුරෙන් හාල්. වත්තෙන් එළවලු. ඒ විතරක් නෙමෙයි අර මට පොඩි කාලේ වදයක්ව තිබුණු අනෙක් මූලික ප්‍රශ්නත් ඔහු විසඳාගෙන. ඇඳුම් හදා ගන්න කපු කටින යන්ත්‍රයක්. වෙන එකක් තියා කඩදාසි හදලා ඒ කඩදාසි වල මුද්‍රණය කරන එකත් කරන්නේ ගෙදරමයි. ගෙදර කිවුවට සෘතුව අනුව ජීවත් වෙන්න රම්‍ය, සුරම්‍ය, සුභ කියලා ගෙවල් තුනක්ම තියෙනවා. කියන විදිහට අන්තිමට ඉතිරි වී තියෙන එකම ප්‍රශ්නය කාර් එකට පැට්‍රෝල් ගහන එකයි.


මහත් බලාපොරොත්තු තියාගෙන ගියත් අපිට මුලින්ම පවා දකින්න ලැබුණේ කඩා වැටී තිබුණු ස්වයංපෝෂිත ආර්ථිකයක්. නිවස ඉදිරිපිට හදා තිබුණු රම්‍ය සුරම්‍ය කුටි, කාලයකින් පාවිච්චියට ගෙන නොතිබුණු කපු කටින යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය වගේ දේවල් පෙන්නුවා මතකයි. ක්‍රියාත්මක කර පෙන්නුවේනම් නැහැ. ක්‍රියාත්මක කළ නොහැකි වීමට හේතු පමණයි අපට ලැබුණේ
අපේ ස්වයංපෝෂණ සිහිනය කඩා වැටුණේ කිහිප වරක් අසා කුඹුරු ගැන දැන ගැනීමෙන් පසුවයි. කුඹුරු පොළොන්නරුවේ. මිනිස්සු දම්මවලා වැඩ කරනවාමේ තමයි මම රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැන බරපතල ලෙස හිතපු අන්තිම අවස්ථාව. අපි කිහිප දෙනෙක්ට රොබින්සන් කෲසෝලා වෙන්න බැරිකමක් නැහැ. නමුත්, එය ඉතාම අකාර්යක්ෂම නිසා මේ වැඩේ කළ හැක්කේ වෙන මොන ක්‍රමයකින් හෝ සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් එකතු කරගෙන සිටින ධනවතෙකුට පමණයි
.


උපුටා ගැනීම අවසන්.....





වෙජිටේරියන් අවවාදය :  ලිසී  ඉස්සව පොල්මුඩ්ඩෙන් හෝදලා(crayfish වෙන්නැති), හැබැයි උයන්නේ නං පණ පිටින් :) 




ප්‍රේමකුමාර එපිටවලට සැබැ කරගන්න බැරිවුන ස්වයංපෝෂිත සිහිනය, ලිසී නම් සැබෑ කරගෙන තියෙන විදිහයි, මේ වීඩියෝ වලින් පේන්නේ. වත්තෙන් , අසල කැලෙන් එළවලු. කපු, වූල් වත්තෙන්ම. සමහර වුල් සහ කපු රෙදිත් වියනවා, ස්වභාවික වර්ණ යොදලා රෙදි පාට කරනවා . සමහර රෙදි කඩෙන් වෙන්නටත් බැරි නෑ. මෙතන පුරාජේරු සුරංගනා කතා කියන්නෙ නෑනෙ? කතා නෑතුව, කරන දේ කරල පෙන්නනව, එච්චරයි.ඔයාල ලිසී ගැන ටිකක් හාර ඇවිස්සුවොත් තේරෙයි, ලිසී මේ ජිවන රටාව පටන් ගත්තෙ ධනවතෙක් විදිහට නොවන බව. අවුරුදු අටේදි දෙමාපියන් නැතුව, ආච්චි සීයා ගාව හැදිලා රස්සාවට නගරෙට ගිය, සීයගෙ මරණෙන් පස්සෙ ආච්චිචව බලාගන්න එන ගැමි කෙල්ලක්, ධනවතෙක් වෙන්න බෑනෙ?

දැන් මේකතාව ඇත්තද? ඉකොනොමැට්ටා ප්‍රේමකුමාර එපිටවලගෙ සුරංගනා කතාව ඇත්තද කියල බලන්න පේරාදෙණියෙ ඉඳන් ඊරියගමට ගියා නේ? ඔහෙලට නං මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න ඊට වඩා බොහෝ දුර යන්න වෙනවා. හරියටම කියනව නං දකුණු චීන Sichuan ප්‍රාන්තයට.

දැන් එතකොට විචිකිච්චාව හැදිච්ච කට්ටිය එහෙ ගියාද? ගියාද කියලත් අහනවා දහස් ගාණක් ගියා. මොකක් කිව්වා මසුරන් දෙනවා කිව්වත් යන්නෑ කිව්වා? දැන් නෙවෙයි වාහෙ. මේ කියන්නේ කොරෝන හැදෙන්න ඉස්සෙල්ලා.

මේකේ ඇත්ත නැත්ත ටක්කෙටම කියන්න නම් මන් දන්නෑ. මොකද මම එහේ ගිය එකක්යැ? මාත් ඔය වීඩියෝ වලින් පෙන්නන ටිකතමා දන්නේ? මේ වෙනකොට ලිසී කෝටිපතිනියක්. එහෙම කෙනෙක් මෙහෙම අල්පේච්ච ජිවිතයක් ගත කරයිද? හැබැයි ලිසී කියන්නෙ පට්ට ටැලන්ට් අම්මණ්ඩි කෙනෙක්. එහෙම අය එන්නෙ , නැවකට එකයි.

ලිසී මාකට් කරන්නේ, මොන හත්තිලව්ව තිබුනත් satisfied වෙන්නැති මිනිස්සුන්ට හීන වෙන්නත් පුළුවන්. බලාගෙන ගියාම ඒකෙත් වැරද්දක් නැහැ නේ ? මොකද හොලිවුඩ්, බොලිවුඩ් කරන්නෙත් හීන විකුණන එකම තමා.

එතකොට දැන් එයා යූටියුබ් එකේ ඉන්නේ කොහොමද? එයාට චීන මහා ප්‍රාකාරය නැද්ද? එව්වට තමා පින්වත්නි politics කියලා කියන්නේ. චීන polity bureau එක මේක චීනෙ ප්‍රමෝට් කරන්න හොඳ අවස්ථාවක් කියලා ප්‍රොපගැන්ඩා එකක් විදිහට යූටියුබ් යන්න දුන්නා වෙන්නත් පුළුවන්.
ජෙෆ් බෙසෝස් ගේ concept එකක් අරගෙන ජැක් මා අලිබබා හැදුවා.එහෙව් එකේ ලිසීගේ concept එක අරගෙන වෙනම එකක් හදන එක අවුලක් නෑනේ?










ලිසීගේ වගේම මේකත් ඇත්තට නැත්තද කියල මං දන්නෙ නෑ?  දැනගන්න ඕනෙත් නෑ.  දෙකම හීන විදිහටම තියාගන්න කමා මං කැමති. ඒකත් වෙනම ආතල් එකක් ඈ.






Disclaimer: මෙව්වා බලලා, මේ කොරෝනා පීඩනය පිට, නැට්ට උඩදාගෙන, තියෙන ලබුකැටෙත් දමා ගහල,  ස්වයංපෝෂිත සිහිනෙ හොයාගෙන  ගිහින් කෙලව ගත්තාට, කිසිම මූකලන්  බස්සෙක් වග කියන්නේ නැත.