Tuesday, July 12, 2022

පිස්සු හැදෙන මොබයිල් කැමරා තාක්ෂණය

හොම්බ දිග කැමරාවක්
හොඳ ඩිජිටල් කැමරාවක් යනු "හොම්බේ" දිග සහ ඉමේජ් සෙන්සරයේ ධාරිතාව මතම තීරණය කල කාලයක් තිබුනි. ඒත් මොබයිල් කැමරා තාක්ෂණය නිසා, මේ හැම දෙයක්ම වෙනස් විය. 

මිල අධික කැමරාවක් හිමි අයෙක් වුනත්, හොඳ චායාරූපයකට අවස්ථාව ලැබුන හැමවිටම ඒ කැමරාව අතේ තිබ්බෙ නැත.  ඒත් මොබයිල් ෆෝන් එක හැමවිටම, හැමෝම ලඟ තිබුනි. නූතන මොබයිල් ෆෝන් කැමරාව, තවදුරටත් අප දැණ සිටි බාල ෆෝන් කැමරාව නොවේ. පොල් ගහකට බඩගෑවත්, අපේ අතේ තියන මේ ෆෝන් කැමරාව ගැන, පොඩ්ඩක් දැණ ගන්න වටින්නේ එබැවිනි.

දිග විශාල ලෙන්ස්, මොබයිල් ෆෝන්වල ස්ථාපිත කල නොහැකි නිසා, මේ මොබයිල් කැමරා තාක්ෂණය දැන් යන්නෙ වෙනම පාරකය. Apple, Samsung, Xiaomi, Huawei වැනි මොබයිල් ෆෝන් දෑවැන්තයොන්ගෙ කැමරා ෆෝන් අංශ වලට  දහස් ගාණක් සේවයට බඳවා ගත්තේ එබැවිනි.

Huawei  දිග ලෙන්ස් එකක් දෙකට තුනට නමලා, ෆෝන් එකකට ඔබන්න උත්සහයක් ගත් නමුදු, අනිත් කොම්පැණි, අනුගමනය කලේ මල්ටි-ලෙන්ස් ක්‍රමවේදයයි. මේ ක්‍රමයට, ෆෝන්වල අඩු නැතිව තියෙන ප්‍රොසෙසින් පවර් එක, ලෙන්ස් පැත්තෙන් එන සීමාවල් නිසා වෙන අඩුව පුරවනු ලැබේ. මෙහිදී භාවිතා වෙන එක ක්‍රමවේදයක්, "ඉමේජ් ස්ටැකින්" ලෙස හැඳින්වේ.මේ ක්‍රමයේදී, පහත ඇති මැස්සාගේ පිංතූර රාමු 1 සහ 2  භාවිතයෙන් මැස්සාගේ කොන් දෙකම ෆෝකස් වී ඇති 3 වැනි රූප රාමුව ගණනය කිරීමක් සිදු වේ.නූතන මොබයිල් ෆෝන් වලින් සුපර් මැක්‍රෝ පිංතූර පහසුවෙන් ගන්න හැකි මේ නිසාය.

ඊට අමතර, කලින් වෙන වෙනම පිංතූර ගෙන, කම්පූටරයේ සාදා ගන්න වුන HDR -high dynamic range පිංතූර, දැන් කැමරා ෆෝන් ඒ වෙලාවෙම දීමත් සිදුවේ. අද මොබයිල් කැමරා තාක්ෂණය සඳහා කෘතීම බුද්ධිය(AI) සහ කලින් මැණ ගත් ඉමේජ් ඩේටා සහ ඇල්ගොරිතම සෑහෙන්න භාවිතාවේ. අද අපට ට්‍රයි-පොඩ් එකක් නැතුව පැහැදිලිව ෆෝකස් වූ පිංතූර ගත හැක්කේත්, වයිට්-බැලන්ස් ගැන අමතක කල හැක්කෙත් මේ ගණනය කිරීම් වලට පිං සිදුවන්නය.

අඩු ආලෝක- රාත්‍රී චායාරූපකරණය කිරීමට, කලකට පෙර ඉතා මිළ අධික වෘතීය ඩිජිටල් කැමරාවන්ට පවා සරළව, එක එල්ලේ කල නොහැකි වූ දෙයකි. ඩිජිටල් කැමරා ආ මුල් කාලයේ, හොම්බ දිග කැමරාවක් කරේ තියාගන චාරිකාවක් ගිය මට, පෞරානික දෙව්මැදුරු ඇතුලේ එකදු සාර්ථක, අඩු ආලෝක පිංතූරයක්වත් ගත නොහැකි විය. ඒත් අද, මොබයිල් කැමරා තාක්ෂණය අඩු ආලෝක- රාත්‍රී චායාරූපකරණයට සෑහීමකට පත්වියහැකි විසඳුම් සපයා ඇත.

මේ සම්පූර්ණ තාක්ෂණික විස්තර, භාවිතා කරන්නා දැණගන්න අවශ්‍යම නූනත්, පොදු දළ විශ්ලේෂණක් දැණගැනීම ප්‍රයෝජනවත් විය හැක. මේ මොබයිල් කැමරා තාක්ෂණය ගැන ඔබ උනන්දු නම්, වැඩිදුර දැණගන්න පහල වීඩියෝව බලන්න. ( ඔව්,ඔව් යූ-ටියුබ් වීඩීයෝවක් නැත්නම් ඒක බසු පෝස්ටුවක් නොවේ!🤣)




අපිට  ඇස් තුනේ-හතරෙ මිල අධික කැමරා ෆෝන් නෑ , හාංදුරුවනේ. තියෙන්නෙ ඔය පහල තියන චීන ෆෝන් කට්ට.මේ වීඩියෝව බැලුවට පස්සෙ, මෙච්චර කාළයක් තිබ්බා-ගත්තා චායාරූපකරණයේ යෙදුන බසුතොමෝ, කැමරා ඇප් එකේ තිබුණ "more...."  ඇටෑච් බාත් රූම් එකක් සොයා ගත් බව, සියලු බ්ලොග්වාසී හිතමිත්‍රාදීන්ට සන්තෝෂයෙන් දැණුම් දෙමි. ලාංකික දේශපාලනය ඉතිහාස ගතවන මේ තීරණාත්මක යුගයේ, තමන් අත ඇති ෆෝන් කැමරා වලින් ගන්නා චායාරූප, වීඩියෝ වැඩි වැඩියෙන් අපට දැකීමට හැකි වේවා! යන්න මගේ බලාපොරොත්තුවයි.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)