Saturday, October 30, 2021

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි, වින්-ඩිවෝස්


ඔහෙලා දන්නව නෙව, මම වින්ඩෝස් 11 පාවිච්චි කරන එක කල්  දැම්ම බව. ඒත් බැකප්  SSD එකේ, උන්දැ හිටියා. මමත් ඔය සුමානෙකට දෙපාරක් විතර ගිහින්, සැප-දුක අහලත් ආවා. වැඩියම අහන්න ලැබුනෙ, දුකම තමා. ඔය ටික දොහට ජනේල ගෙදර වාහෙලා, මහිතේ එක විසි-තිස් පාරක්වත් අප්ඩේට් එවන්න ඇති. ඕං ඔහොම දුකසේ ඉන්නකොට තමා, එක පාරටම ස්ටාර්ට් බටන් එකයි, සර්ච් එකයි වැඩ කරන්න ගත්තෙ. තව මට මල පීදිලා හිටිය, "ඉස්කෝල පොත" පුරස්නෙත් හරි ගියා. අකුරුත් ලස්සනයි, ඇහැටත් ප්‍රියයි. 

රිවීව් එකක දැක්කා, ඉන්"සයිඩර්" බීටා එක දාගන්නවා නං, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ටෙස් කරන්නත් දෙනවා කියලා. ඇප් ඉස්ටෝරුවට ගිහාම කියපි, ඒක දෙන්නෙ, යැංකි දේසෙ ගොබිලින්ට විතරයි කියලා. මෙව්ව කෙත වැඩ අප්පා! කලින් මට වින්ඩෝස් 11 එපා වෙලා හිටියෙ, තිබ්බ ලෙඩ නිසා නෙව? මෙදා සැරේ තේරුනා, දැන් ඒ හැටිම අප්සෙට් එකක් නෑ කියලා. ඒත් තවම, වින්ඩෝස් 10 ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලට විසඳුමක් නම් නෑ.මගේ ස්ටාර්ට් ඇප් ගෘප්ස් සැට් එක දාලා යන්න වුනාට, හිතට දුකයි තමා. ඒත් අසරණ අපි වෙන මොනවා කරන්නද?  මාත් ගියා, අලුත් මහගෙත් එක්ක දීග කන්න.

වින්ඩෝස් 11 වලින් සැබෑ වෙනසක් වෙන්න නං, ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හරි හැටි වැඩ කරන්න ඕනෙ. ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දුවන්නෙ, වර්චුවල් ස්පේස් එකක වෙන එක අවුලක් නෑ. ඒ ටැක්නිකල් ඩීටේල්ස්, නෝමල් යූසර්ට ට්‍රාන්ස්පේරන්ට්. එව්වා ඔක්කොම OS එක බලාගන්නවා. ප්‍රශ්ණෙ තියෙන්නෙ, ඒක තාම රිලීස් වෙලා නැති එකයි. ඒ වගේම, තාම වින්ඩෝස් 10 අප්ඩේට්ස් එවනවා. පේන විදිහට, තාමත් වින්ඩෝස් 10 සූදානම් කරන පාටයි. ඉදිරියට, දැනට රෙකමන්ඩ් නොකරන, තරමක් පැරණි සිස්ටම් වලටත්, වින්ඩෝස් 11 දාගන්න ඉඩ දෙනවා කියලත් කතාවක් තියනවා. මේවා ඔක්කොම තාම, ටෙස්ට් කරමින් ඉන්න දේවල් වගෙයි පේන්නෙ. 

වින්ඩෝස් ඉන්ස්ටොලේෂන් එක, දැනට දැකපු, හොඳම එක. 80% ක්ම වෙන්නෙ බැක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එකක් විදිහට. ඒ කාලය තුල, අපට සාමාන්‍ය විදිහට වින්ඩෝස් 10 භාවිතා කල හැකියි. ඩවුන්ලෝඩ් කරගෙන, ඉන්ස්ටෝල් කරගෙන, අහක් වෙලා රී-ස්ටාර්ට් එකට යනවා. එතන වැඩිම වුනොත් විනාඩි 10( depending on your system) විතර යනවා. කහින්නෙ, කාරන්නෙ නැතුව ඔක්කොම මටසිලිටු ලෙසම වුනා. පේන විදිහට, නං ඔක්කොම වගේ ඇප්ස්  වැඩ.

බ්ලුටූත් කී-බෝඩ් එක ආයෙ කනෙන්ට් කරන්න ගියාම නං, අවුලක් වුනා. එක අතකට ඒක අවුලකට වඩා, අවුල ලිහිල්ලක්. ටිකක් නැටුවත්, දැන් මගේ තුට්ටු දෙකේ CSR බ්ලුටූත් ඩොංගල් එක, නියමාකාරයට "Microsoft" Generic එකක් විදිහට වැඩ. 





ඉන්ටනෙට් එකේ තියනවා, කොහොමද WSA( Windows sub-system for Android) සහ ඕනෙ නං, Google App ඉස්ටෝරුවම දාගන්න විදිහ. ඒත්, ඒවාත් එක්ක, වෙන මොන,මොන ට්‍රෝජන් අස්පයො එනවද කව්දෑ දන්නෙ? දැනට මේ ඇති, ඉවසගෙන ඉඳලා, Microsoft ඔෆීෂියලි දුන්නාම දාගන්න එක තමා නුවනට හුරු දේ. මම ඔන්-ලයින් පේමන්ට් වලට වින්ඩෝස් භාවිතා නොකලත්, මොකටද නිකං ඉල්ලගෙන කන්නෙ?
පැහැදිලිවම, වින්ඩෝස් 11 හොඳට හාඩ්වෙයා පාවිච්චි කරනවා. ප්‍රොසෙසර්, ග්‍රැෆික්-කාඩ් එහෙමත් වෙනදට වඩා සීතලට දුවනවා. ඉතිං, ඉදිරියට එන්න තියෙන දේත් එක්ක, දැනට පෙරමඟ නිමිති සුභදායකයි.

වින්ඩෝස් 10 පනේ, උඹව දාලා යන්න දුකයි බං. අම්මපා, බොරුවක් මුසාවක් කියනව නං, අහල-පහල හෝතම්බුවෙකුට හෙන ගහන්න ඕනෙ. අපි දෙන්නා, යක්කු ගස් යන ජාමෙ, එකට ඉඳන් බලපු, සිත්තර පටි, දෙන්න එක්ක ගිය වල් ටුවර්, අද වගේ මතකයි මචං. සංසාරෙ හැටි ඔහොම තමයි බාං. බස්සගෙ ත්‍රී-වීල් එකට, තව බොහෝ බබලත්තු නැගලා, බැහැල ගිහින් තියනවා. මේක ඉන්න රට්ටු, හිටවන මාටින්ලා, ලෝකයා මං ගැන නොයෙකුත් කයි-කතන්දර කියාවි. උඹ ඒව අහල හිත අමනාප කරගන්න එපා, සුදෝ.






අම්මපා, මං උඹව මගේ ස්පෙයා-වීල් එක විදිහට තියාගන්නවා. මේ අලුත් මහගෙ, මාව එලියට දාලා දොර වහපු දාකට, මං එඤ්‍ඤං උඹව බලන්න. 

පිදුම: පෝස්ට් එකක් ලියන තුරු, පන්න පන්නා පස්ස හැපූ නමියාට.


But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave Windows 10 in back-up drive

Thursday, October 7, 2021

මැකී ගිය බකුසු දඩමං 0 - රටඉඳි මතක

ගමරාළගෙ කූබිච්චි පෝස්ට් එක කියෙව්වා. බොහෝ කළකට පෙර බස්සෙක් මැදපෙරදිග රස්සාවක් කලා. රස්සාවට ගියේ, පස්සා දොරෙන්. දෑවැන්ත කම්හලක් වෙච්ච එතන හිටිය, ලංකාවෙ, රජ වැඩකාර හාදයෙක්ගෙ  රෙකමදාරුව මත. ටෙස්ට් එකට ආපු, සමහර විශයට අදාල ප්‍රශ්ණ පවා, රජ වැඩකාරයා බස්සට කලින්ම ඉගැන්නුවා. ඉන්ජිනේරු අරාබි ලොක්කා,ආව සහයට-ඩැනී අරාබියෙක් එක්ක සම්මුඛ සාකච්චාවට. ඔක්කොම බලලා, ඩැනී මෙහෙම කිව්වා" දිස් ඉස් අ ඩිෆරන්ට් බෝල් ගේම්, ඩූ යූ තිංක් යූ කැන් හැන්ඩල් දිස්?" කියලා.

"ඇත්ත, ඒත් දෙකේම මූලික සිද්ධාන්ත එකයි. මට පුළුවනි" බස්සාගෙ ඩිප්ලොමැටික් උත්තරේ නිසා රස්සාව ලැබුනා.  මම "මලබාරි නයිට්ස්" වල කියපු සෝමෂේකර් "සෝමු" බාස්කරන් මලබාරිය, බස්සට "ගුරු-මුට්ටි" නැතුවම, අදාල විශය ඉගැන්නුවා. සෙක්ෂන් එකේ බොසා, ගිරා නහයක් සහ උකුසු ඇස් දෙකක් තිබ්බ, කෙට්ටු උස අරාබියෙක්. තෙල බෙදන්න දෙයියා, ඒ ඇරෙන්න කරන එකම දේ බුදියන එක විතරයි.

උදේට ඔක්කොම රැස් කරලා, එයාගෙ පුරාජේරුව කියනවා, අපි අහන් ඉන්නවා. ඔන්න ඊට පස්සෙ, බොසා බුදියනවා, අපි කස්ටිය වැඩට බහිනවා. ඉලෙක්ට්‍රිකල්, මැකෑනිකල්, ඉන්ස්ටෘමන්ටේශන් අංශවල අය, වෙන වෙනම තමන්ගෙ වැඩ කොටස කලා. සෝමු, මම, ගව්ඩා හිටියෙ ඉන්ස්ටෘමන්ටේශන් අංසෙ. "වන් ෆුඩ, වන් බාත" කුමාර් හිටියෙ ඉලෙක්ට්‍රිකල් කොටසෙ. අපි හැන්ඩල් කලේ අඩු වොල්ටේජ්- 70V වෙනකම් විතරයි. ඒත් බොහෝවිට 24V තමයි.

මුලින්ම අපේ කොටසෙ කස්ටිය, එකටම හැමදේම කලත්, පස්සෙ මට තනියම ඔවර්හෙඩ් ක්‍රේන්ස් කරන්න වුනා. පිලිපීන ජාතික, ඉලෙක්ට්‍රිකල් නැඹුරුවක් තිබ්බ සුපවයිසරයා, සහජයෙන්ම කුලෑටි සතෙක් වෙච්ච බස්සවම ඉල්ලලම ගත්ත. සෝමු හිත හොඳ ගොබිල වුනාට, එයැයිගෙ අඹ යාලුව, කර්ණාටක ගව්ඩා රටේ වෙදා. ඉස්සර මාවත් ඇදගෙන යනවා කෑම කන්න. මටත් බලෙන්ම, බෙරි වෙන්න උයාපු, තුනපහ සුවඳ නහය කඩාගෙන යන, ඉන්දියන් කෑම කවනවා. මාත් ඉතිං,  අපූරු පිලිපීන කෑම සුවඳ විඳ,විඳ, කිඹුලා කිරිමැටි ගිලින්නැහෙ ඉන්දියන් කෑම කනවා.  ඊට පස්සෙ, උන් ඔක්කෝම කච, පච ගගා හින්දියෙන් විහිලු කරගන්නවා. මහිතේ ඒ උන් කිව්වෙ, තෝත් හිංදි ඉගෙන ගනින් කියලා වෙන්ටෑ?

මට මේක දිගටම දරාගන්න බැරි වුනා. මම ලිස්සන ක්‍රමවේදය අනුගමනය කලා. සෝමු අහනකොට  "හෑ, අදත් එන්නෙ නැත්ද?" කියලා " ක්‍යාහෙ සෝමු, අල්ලල දාහං , බං" කියලා ගව්ඩා එයාව ඇදන් යනවා. මහිතේ, ගවුඩා තමා කෙටෙව්වෙ. මම හිටියෙ වෙනම, ක්‍රේන්ස්වල නිසා අවුලක් වුනේ නෑ. සුහද කතාබහට "චංගල්පට්ටු" චෙල්ලප්පන් වගේ මිත්‍රයො හිටියා. ඇදලා-පැදලා, දමිල උච්චාරණයෙන් කතාකරපු, චෙල්ලප්පන්ගෙ  කතා විලාසය, ගීතයක් වගේ ලස්සනයි. "හා තම්බී, සෞඛ්‍ය....මා....."

කොම්පැණියෙ ඉහල තලවල හිටිය අරාබියො කූල්-රූම්වල බුදියගත්තා. ගේම ඇදන් ගියේ ආසියාතික "සබ්-කොන්" වහල්ලු. අපේ මට්ටමේ හිටිය අරාබින් කීපදෙනාවත් වැඩක් කරනවා මං දැක්කෙ නෑ. ඔවුන්ට ඒකට අවශ්‍ය දැණුම/උවමනාව තිබ්බෙත් නෑ. නිකං ඉඳලා තෙල් බෙදන්න, අපට වගේ කීප ගුණයක වැටුපක් ලැබෙනවා නං, මොකටද වැඩ කරන්නෙ?

රටේ නීතියට අනුකූලවම, පේ-ග්‍රේඩ් තුනක් තිබ්බා -ලෝකල්, එක්ස්පැට් 1(සුද්දො), එක්ස්පැට් 2 කියලා. අපි අඩුම එක -එක්ස්පැට් 2,එකම රැකියාව කලත් වැටුප වෙනස්. ෆීල්ඩ් එකේ හිටියත්, කැමති වෙලාවක කූල්-රූම් රිංගන නිදහස අපට තිබ්බට, පහලම ස්ථරවල හිටි අවාසනාවන්තයොන්ට ඒ නිදහස තිබ්බෙ නෑ. "අරාබි සුපවයිසරයා එනකොට අපි හැංගෙනවා, බස්සො" කියල කිව්වෙ, උතුරන ඇලුමිනියම්  ලෝදිය හැලියෙ වැඩ කරපු, ඉහින් කනින් දාඩිය මුගුරු දාගත්ත, පිලිපීන ඔපරේටර් වරයෙක්.

එක දවසක්, අධි විදුලිසැර කාන්දුවක් නිසා ක්‍රේන් එකක් පොට්-ලයින් එකේදිම මලා. දැන් ක්‍රේන් එක ගල්-ඉබ්බා වගේ පොට්-ලයින් එක මැද. අනිත් ක්‍රේන් වලට එහාට-මෙහාට යන්නත් නෑ. ඒක යටම තිබ්බ "පොට්" එක පැය ගාණක් ඇතුලත  නඩත්තු නොකලොත්, ලෝහ ගල්වෙලා "මැරෙනවා". අරාබි පොඩි බොසා මටයි,  පිලිපීන සුපවයිසර "සීසර්"ටයි මෙහෙම කිව්වා. "තොපි දෙන්නා, අද යන්නෙ නෑ ගෙදර, මේක මේන්ටනස් බේ එකට දාලා මිස".එහෙම කියලා, ඔෆිස් එකෙත් බුදියන එයා, ඉතුරු නිදි වඩිය නිදා ගන්න ගෙදර ගියා.

ක්‍රේන් එකේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් කන්ට්‍රෝල්ස් පිච්චිලා.  සීසර් ක්‍රේන් එකේ රෝදවල බ්‍රේක් රිලීස් කරලා, වෙන ක්‍රේන් එකකින් කෙලගෙන ඇවිත් ලෙඩාට ඇන්නා. ම්හු...ලෙඩා හෙලවුනේවත් නෑ. මෙව්වා ටොන් බරගාණක දඩ ක්‍රේන්. සීසර්, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ මගෙ දිහා බැලුව. මට මතක්වුනා, ක්‍රේන් එකේ VFD (variable frequency drive) වැඩ බවත්, ඕකෙ ස්පීඩ් කමාන්ඩ් එක PLC එකෙන් එන සිම්පල් ඇනලොග් වොල්ටේජ් එකක් බව. මම ගියා මේන්ටනස් බේ එකට . එතන තිබ්බා, අර ලංකාවෙ රජ වැඩකාරයා හදාපු ඩ්‍රයිව් ඩිමෝ මොඩල් එකක්. ගැලෙව්වා ඒකෙ පොටෙන්ශියෝ මීටර(පොට්) ගැජමැටික් එක. 

ගලවගෙන ආපු ගැජමැටික් එක, ක්‍රේන් එකේ VFD එකට හයි කලා.  පොට් එක අඩුම කරලා, ඩිරෙක්ෂන් සිලෙක්ට් කරලා, සෙට් කර ගත්තා. දැන් සීසරයා ගැහෙනවා, "හරි යයිද, බස්සො?" කියලත් ඇහැව්වා. "දන්නෙ නෑ, කරලම බලමු, වෙන විකල්පයක් නෑ නෙව? මම කිව්වා. ඇයි, මේ අටවන-මාටිං සෙල්ලම දාන්නෙ, ටොන් බරගාණක වසවර්තියෙක් එක්ක නෙව? මට සීසර් කිව්වා, අවුලක් වුනොත්, ඕෆ් කරන්න සුවිච් එකට අත තියාගෙනම ඉන්න කියලා.

"ඔන්" කලාම,ඔය යන්නෙ මල දානෙ, කූඹියා වගේ(තියරියෙ විදිහටම). හප්පේ !දැනිච්ච සනීපයක්? සීසර්ට මාර හැපී. "බස්සො, තව ඔය ගැජමැටික් දෙකතුනක් හදලා තියගන්කො" කියල කිව්වා. ක්‍රේන් එක මේන්ටනස් බේ එකට දාලා අපි දෙන්නා ගෙදර ගියා. එදා සීසරයා නං, කණ සාක්කුවට වටෙන්නම බොන්න ඇති. පිල්ලො කියන්නෙ කන්න, බොන්න සහ "ටීක්" ලන්නම උපන් ජාතියක්.

පස්සෙන්දා, අරාබියගෙ මීටිමේ ස්තූති, ප්‍රශංසා මුකුත් නෑ. ලෙසටම එයැයිගෙ සුපුරුදු පුරාජේරුව නං තිබුනා.එයා ලකුණුත් දාගන්න ඇති, ලොකු බොසාගෙන් "මම ලඟ ඉඳලයි වැඩේ කෙරෙව්වෙ, අරූ ලිස්සන්නමයි බැලුවෙ?" කියලා. දිනක් මිටීමක් කැඳවපු ලොකු අරාබි බොසා,  මෙහෙම කිව්වා: " මෙහෙ වර්ජන, පිකටිං වගෙ ෂිට් නෑ, උඹලා ඔච්චරම ස්මාට් කියල හිතනවා නං, ඇයි නාසා එකට වැඩට යන්නෙ නැත්තෙ?". අවුලක් නෑ,  අඩුමගානෙ බස්සට, උගෙ "අටවන මාටිං" ක්‍රම අත්හදා බලන්න චෑන්ස් එක තිබ්බ එකම මඳෑ?

මම මොනව හරි අටවන වැඩ කරනව කියලා, සීසර් දැණගෙන හිටියා, ඒත් මා ගැන විස්වාසයක් තිව්නා. කිව්වෙ "බස්සො, උඹ ඔය කරන විදිහ, පොතක ලියල තියහංකො" කියල විතරමයි. ලියන්න පුළුවන් ටික ලිව්වත් එක්ක. ඒත් මම කරපු ඔක්කොම උන්දලා දැණගත්තා නං, මාව එලවනවා. ඒත් මම කොහොම හරි ජාම බේරගත්තා. 

අපි හැන්දෑවෙ ගෙදර ගියාම, හදිසි නඩත්තු කරන්නෙ MC( Maintenance Crew). ඕං පස්සෙන්දා එනවා MC ගොබිලා "බස්සො, මේකෙ මෙහෙම ලෙඩක් ආවනෙ? මම මේක හදන්න බෑ කිව්වම, උං කියනවා අර බස්සා නං හදනවා කියලා. මොනවද ඕයි තමුසෙ කලේ?" කියලා. ඒත් මගෙන් පස්සෙ ආව පිල්ලට ඒ වාසනාව තිබිල නෑ. සීසර් එයාට PLC එකට අතවත් තියන්න දෙන්නෙ නෑ,  කියල පස්සෙ සෝමු කිව්වා.  ඒ හාදයා සිංගප්පූරුවට ගියා  අස්වෙලා, කියල පිල්ලො පස්සෙ කිව්වා. නෑ, මම උන්දැව කඩේ යැව්වෙ නෑ, ඒත් හැමදේම කියල දෙන්න බෑ නෙව? පස්සෙ සෝමුට "රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට්" එකට ප්‍රමෝෂන් එකකුත්, ගව්ඩට ඩබල් ප්‍රමෝෂන් එකකුත් ලැබුනලු. ඒත් සෝමු තමයි නියම වැඩ්ඩා. වැඩ දන්නව වුනත්, තෙල බැරි නං හබක්.

මම හැමදාම හිතුවෙ, අරාබිය කියන්නේ, ට්‍රාන්සිට් පොයින්ට් එකක් විතරයි කියලයි. පේන දේම නෙමෙයි ඇතුලෙ තියෙන්නෙ. ලෝකෙම ඉන්න කුඩු මුදලාලිලා, පාතාලයොන්ට ආරක්ෂාව සපයනවා කියන එක ප්‍රසිද්ධ රහසක් නෙව? තව ඉතිං, කළු සල්ලි "අපුල්ලලා" දෙනවා වගේම ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ "හබ්" එකක් විදිහටත් ක්‍රියා කරනවා. රැකියාවත් සමඟ බැඳිච්ච වීසා එකට ඔවුන් කියන්නේ "PR" එක කියලයි. රැකියාව පවතින්නෙ, ඔවුන්ට අවශ්‍ය නම් පමණයි, ඒ එක්කම ඔබේ "PR" එකත් වාෂ්ප වෙනවා. රැකියාව නැති වී, තමන් ගෙ මුළු ලෝකයම කඩා වැටිච්ච කතා නං අපමණයි.

චුත වෙන්නෙ කාලෙ ආවම, අරාබියා මට අනිත් හැමෝටම දෙන සමුගැනීමේ සාදයවත් ( කලෙක්ෂන් - නැතුව උන්දැගෙ සාක්කුවෙන් නෙමෙයි) දුන්නෙ නෑ. ඉතිං මම නෝන්ඩියටම, උන්ට පාටියක් දුන්නා. ඒකට ඇවිත් හොඳට ගිලපු අරාබියා මෙහෙම කිව්වා. " බස්සො, මම උඹව ගන්න කොට, මට ඇඩ්මින් එකේ මලබාරියා කියපු දෙයක් තමයි, ඔහෙට ඕකාගෙන් කිසිම සෙතක් වෙන්නෙ නෑ කියන එක, ඒත් මම උඹව ගත්තා. යූ නෝ, ඔනස්ටි ඉස් ද බෙස්ට් පොලිසි" කියලා.  ඒ හැදුවෙ මම යන්නෙ කොහාටද කියලා ටක්කෙටම කේලම දැණගන්න. හහ්, අපි නොදන්න මොණරතැන්න?😂 මම හිනාවෙලා, ලෙසටම ලිස්සුවා. 

උන්දැට මම යන එකට, මල පැන්න බව මට තේරුනා. ඉන්න තුරු කිසිම හොඳක් තියා, ඇනුවල් ඉන්ක්‍රිමන්ට්වත් අපිට ලැබුනෙ නෑ. අවුලක් නෑ, මම ගත්ත පඩියට සරිලන සේවයක් කල බව, අනිත් අයගෙ ඉඟිවලින් තේරුන නිසා, රස්සාවෙන් යම් සතුටක් ලැබුනා. පස්සෙ ටෙක්නිකල් ස්ටාෆ් එකෙන් වැඩි දෙනෙක් ගිහාම, පඩිය දෙගුණයක් කලාලු. 😁 

☜(゚ヮ゚☜)      ༼ つ ◕_◕ ༽つ        (☞゚ヮ゚)☞    

මේක තමා "මැකී ගිය බකුසු දඩමං" පලමු කොටස. අනුපිලිවෙල මාරුවුනා. වැරැද්ද මගෙ නෙමෙයි, කූබිච්චි පෝස්ට් එක දාන්න පරක්කු කරපු ගමරාළගෙ, බනිමුද උන්දැට? 

ඊළග ජංසන්, නෝ ජංසන්

ඊළග ඊළග ජංසන්, ඒත් නෝ ජංසන්

මම ලිව්වෙ, මගේ අත්දැකීම්, මම දැකපු දේ. වෙන කෙනෙකුට ඒක එහෙම්මම නොවෙනවත් ඇති. අජිත් ගෙනාපු මාතෘකාවට අදාල, මේ පෝස්ට් එක ලියන්න හේතුවුන වීඩියෝව:



(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Tuesday, October 5, 2021

වින්ඩෝස් 11- අවසාන අදියර

වින්ඩෝස් 11 නිකුත් වෙන්න තිබ්බ අද වුනාට ඊයෙම එලියට දැම්මා. අදියර කීපෙකින් කොටස් වශයෙන් දීගෙන යනවා, පෝලිමෙ ඉන්න ඕනෙ කියල තමයි කියන්නෙ. අප්ඩේස් බලන කොට "සුභ පැතුම්. උඹ පාස්" කියල මැසේජ් එකක් ආවට, අප්ඩේට් එක තාම නෑ. ඉතිං මම නං ලෙසටම පෝලිම පැන්නා. මෙතැනට ගියාම ඔහෙලටත් ඕනෙම නම් ගත්තෑකි.

කොහොමද, හොඳද?

අනේ මන්දා? ලොකුම අවුල, මම ඇඩ්ඩිං විදිහට ලොග් වුනාම, ස්ටාර්ට් මෙනු සහ සර්ච් දෙකම වැඩ නොකරන එකයි. ඒත් ලෝකල් එකවුන්ට් එකෙන් ගියාම නං වැඩ කරනවා. ඒත් ඒකෙ තියෙන්නෙ බේසික් සෙටප් එකක්. ලොකුම අවුලකුත් නෑ, ඔක්කොම ප්‍රෝග්‍රෑම් ටික තියෙනවා, ඒත් එක, එක වෙනම ඇඩ් කරගන්න වෙනවා. හැබැයි එහෙම කලාම එව්වා වැඩ කරනවා. ප්‍රෝග්‍රෑම් ඇක්ටිවේෂන්/ රෙජිස්ට්‍රේෂන් නැති වෙලා නෑ.

ඔන්න මම ඉතිං  වින්ඩෝස් 11 ඉඳන් මේ පෝස්ට් එක කොටන්න ගත්තා. චේද දෙකයි ගියේ, දුන්නෙ නැතෑ BSOD. ඒ කිව්වෙ අර කුප්‍රකට blue screen of death, හැබැයි මෙදා සැරේ උන්දෑ

කලු පාටයි. ඊළඟට රී-ස්ටාර්ට් කලාම කිව්වා, ඩිස්ක් එරර් තියෙන කියල චෙක් කරන්න පටන් ගත්තා. කලින් බීටා කොපි කීපයක් එක්ක සෙල්ලං කරපු නිසා මට දන්නවා ඕකෙ විනාසකාරී ප්‍රතිඵලය. මම ඒක ස්කිප් කරලා දැම්මා. 

මට කියන්න පුළුවන් මගේ අත්දැකීම් විතරයි. මේකෙන් ඔහෙල හැමෝටම මෙහෙමම වෙයි කියල ඒකෙන් අදහස් වෙන්නෙත් නෑ. ඒත් මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නම් එච්චර සුභදායක නෑ. එයිට අමතරව වින්ඩෝස් 10 තිබ්බ, මම දිනපතා සතුටින් පාවිච්චි කරපු සමහර පහසුකම්, වින්ඩෝස් 11 දී කප්පාදු කරල තියෙන එකටත්, මගේ වැඩි සතුටක් නෑ.

නිගමනය

කැමති වුනත් නැතත්, අකමැත්තෙන් හරි දවසක, අපි ඔහෙල හැමෝටම මේ වින්ඩෝස් 11 මහගෙත් එක්ක දීග කන්න වෙනවා. ඒක බුදු ශුවර්, ඒත් මම නං දැම්ම කසාද කොලේ කණ අත්සන ගහන්න සූජානං නෑ. එහෙම කලොත් මුන්දෑ මාව අනුභව කරයි කියල, හිත් දෙගිඩියාවක් මට තියෙනවා. වින්ඩෝස් 11 තාම, මගෙ අනිත් ඩ්‍රයිව් එකේ ඉන්නවා, ටෙස්ටිං වලට ඇරුනාම, දිනපතා පාවිච්චියට දැම්ම ( තව ප්‍රධාන අප්ඩේට්ස් කීපයක් එනතෙක්) යන්න අදහසක් තාම නම් නෑ.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Sunday, October 3, 2021

අටවන මාටිංගේ බ්ලොග් එක

රට්ටු හිතාගෙන ඉන්නෙ, මට ඉත්තෑ අමාරුවක් තියෙනවා කියල නෙව? ඇත්ත, කාලෙකට ඉස්සර තිබ්බා, දැන් නෑ . අපි නං ඒවගෙන් පාඩම් ඉගෙන ගත්තා. මම දැන් සිම්පල් බකමූණා. ඒත් මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කාලෙ, ඔය උණ තදේටම තිබ්බා. මාසෙකට සැරයක්වත් බ්ලොග් එකට අලුත් ඇඳුමක් අන්දවනවා. Image credit  , අටවන මාටින් - අනුග්‍රහය නිදි 


අටවන මාටිං ක්‍රමවේදය


රටේම තියන ගැජට්, බැජට් ගෙනත් එල්ලනවා. ආයිස් අප්පා, බලන්න එපෑ එතකොට බ්ලොගේ තිබ්බ කලඑලිය? තොටලඟ තොරණ වගේ. ඒ තියා මවුසා යන්නෙත් දුං දාගෙන. තව නත්තල් කාලෙට බ්ලොග් එකේ හිම වැටෙනවා. ඇයි, ඉතිං පාඨකයොන්ට, දෙන්න එපෑ ෆීලින් එක, ඇඟේ මයිල් ඉස්මයිල් වෙන්න?හා, නැහ්ද මං අහන්නෙ? 

අපිව වළඳන විජට්

අවුලක් නෑ නේද? මොකෑ නැත්තෙ තියනවා. ඔය අටමඟුල් දාගත්තාම, බොලෑ  කම්පූටර විතරක් නෙමෙයි, අපේ එව්ව වලත් ෆෑන් හූ තියන්න ගන්නවා, ජෙට් ඇන්ජිං වගේ. වෙලාවක, කාගෙහරි ලැපක් ගුවංගත වෙන්න වුනත් බැරි කමක් නෑ.  අනික, යකුනේ, මේකට බලන්න එන එකා  එන්නෙ කියවන්න මිසක්කා, තොරණ් බලන්න නෙමෙයි නෙව? ඒව උන් වෙසක් කාලෙ තොටලඟට ගිහින් බලා ගනීවි. බොලාට තියෙන්නෙ ලියන්න මිසක්කා, බ්ලොග් වල ෆ්ලෑෂර් කොට ගෙනත් හයි කරන්න නෙමෙයි. 

මේවා ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්, මැගිලින් අක්කගෙ බුරානිස් ගොයියගෙ කටේ වැරෙන්, කුණු බැනුම් අහල. බයින එක සාධාරණයි නෙව, ඒ කාලෙ බ්ලොග් එක මොබයිල් වලට ලෝඩ් වෙන්නෙ, ඔලුව ජපන් කඳ ජර්මන් ඉට්ටැයිල් එකටලු. 

මේ, කියන පුම්කකට වඳිඤ්ඤා, අර බ්ලොගර් දෙන ඔරිජිනල් තීම් එකක් දාගනිල්ලා. ඒව හොඳට චෙක් කරලයි තියෙන්නෙ. ලැප්ටොප්, මොබයිල්, ටැබ් ඔය ඕන එකකට ඔට්ටුයි. අනික, තර්ඩ්පාටි ජාවා ස්ක්‍රිප්ට් විජට් නං නැති තරමට හොඳයි. වංගියක් ගූගල් මගේ බ්ලොග් එක බ්ලොක් කලා,  ඔහොම ජාවා ස්ක්‍රිප්ට් විජට් එකක් නිසා.

ටිං-ටිං, පෝස්ට් එඩිටින්


අනිත් එක අකුරුවල ප්‍රමාණය. අවාසනාවට අපි හැමෝටම 20-20 විෂන් නෑ, ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. පොඩි කාලෙ රචනා ලියන්න කොට ඉගෙන ගත්ත චේද කැඩිල්ලට මොකද වුනේ? පොඩී අකුරින්, චේද නොකඩා පැදුරු, මාගල් වගේ ලිව්වාම, මගක් කියවන කොට හති. අනිකුත් අවයව වලට වගේම ඇහැටත් වෙහෙස දැනෙනවා. ෆ්‍රී ස්පේස් වලට බයවෙන්න ඕනෙ නෑ. බය වෙන්න ඕනෙ පෝස්ට් එක, සාඩින් වගේ පැක් කරන එකට.

මේ හැම දෙයක්ම කරන්න ඕනෙ කියවන්නාට සොඳුරු අත්දැකීමක් ඇති කරන්නයි. දැන් මේ නීති ඔක්කොම, මම අනුගමනය කරනවයි කියලද හිතන්නෙ? මොන පික්සුද? නීති තියෙන්නෙ අවශ්‍ය වෙලාවට නමන්න. ඒත් සංකල්පය ඔලුවෙ තිබ්බාම ඇති. ක්‍රියේටිව් වෙන්න ඕනෙ නම්, බ්ලොගර් එඩිටර් එකේ , අකුරුවල පාට, හැඩය, මයිනර් හෙඩින් වගේ ටොන් ගාණක් පහසුකම් තියනවා. තව Microsoft Live Writer වගෙ ඔෆ්-ලයින් එඩිටර් එකකින් ලියන්නත් ඇහැකි. හැබැයි, මගේ ප්‍රියතම, මිනිමලිස්ටික් සංකල්පයයි.

ඇහැට අමාරුවක් නැති පෝස්ට් එකකට උදාහරණයක්: මෙතන

අනිච්චාවත සංඛාරා - ප්‍රොෆයිලය


ඔහෙලට කියන්නත් ලැජ්ජයි , එහෙව් සිම්පල් බකමූණෙක්ගෙ ලොගින් එකවුන්ට් එකට නොවැ ගූගලයා කෙලියෙ? ඕං නමෝ විත්තියෙන්ම, අනිත් බ්ලොග්වල කමෙන්ට් කරන කොට කහින්න ගත්තා.හැබැයි මගේම එකේදි කිසිම ලෙඩක් නෑ, පිට තැනකට ගියාම තමා ලෙඩේ එන්නෙ. පස්සෙන් පහු ලෙඩේ උත්සන්න වෙලා කැහැල,කැහැල,කැහැල,කැහැල,කැහැල,කැහැල,කැහැල,.................................................................................ඊයෙ මලා.

බ්ලොග් එක හැදුවෙ ඒ ඊමෙල් එකෙන් නිසා, එයා තමා ඇඩ්ඩිං. මකන්න, වෙනස් කරන්න අමාරුයි. මම කලේ තව ඊමේල් එකක් හදලා, එයාවත් බ්ලොගෙ "ආතර්" කෙනෙක් කරවපු එකයි. ඒ කල්ල, පරණ නම, පරණ ඇවටාර්(පැවිකොන්) එකම දුන්නා. ආතර්ගෙත් ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් ඕන් කරලා නිසා, නම්/මුරපද නොකොටා මොබයිල් එකෙන් තමා ගේම ගෙනියන්නෙ. දැන්  මයෙ බ්ලොග් රෝලට යටින් බැලුවොත් බස්සො දෙන්නෙක් ඉන්නවා පෙනෙයි,  

මඟුලක් කියනවා? ලියන්නෙ කොහොමද, වාෂ්ප වෙනකොට?

හොඳම ක්‍රමය නොවෙනවා ඇති, ඒත් මම දන්නෙ ඔච්චරයි. මේ ඔහෙලා මෙයිට වඩා හොඳ, ලේසි ක්‍රමයක් තියේ නං දාන්ට, ඈ?  ඒක නෙමෙයි, අර සිරාගෙ කාමරේ හිටපු "නැට්ට කොටා" වාෂ්ප වුනා නෙව? දැකපු කෙනෙක් ඉන්නවද? Image credit

 ආ බයවෙන්ට කාරි නෑ, තව ටික කාලයයි, මේ ගැම්ම දිය වෙච්ච ගමන් මාත් යනවා හයිබනේට් කොරාන්ට. වින්ටර් එකත් ඕං හන්දියෙ වංගුව ගාවයි කියන්නෙ. සංසාර චක්කරේ හැටි ඔහොම තමයි කියල කිව්වෙ, අවන්හල ලියන මහේෂ්. දෙකක් නමාගෙනද හිටියෙ ඇහැව්වා? වෙන්ටෑ,  හැබැයි හරි හිතහොඳ ගොබිලා - බල්ලොන්ට ගුලි කව්වවන්ට දෙයියා. 

ඊයෙ අපේ නිදිගෙ උපන්දිනේ. එහෙමයි කියලා ඇරියෙ නෑ, ආං පෝස්ට් එක දාලා. මේ වගේ අඳුරුම අවදියක, එයා කරන්නෙ සමාජ සත්කාරයක්. මෙන්න හිනා කතා දෙකක්, සොසේජස් කතාව ඇත්ත එකක්.

හිනා කතා - ටැක්නිකල් අජීර්ණ වාහෙලාට

නවසිය බර ගණන්වල, කටුබැද්දෙ පොඩි හෝටලේක වෙච්චි කතාවක් :

වේටර් කොලූ: මහත්තයො, පොසේජස් කියලා නියම මස් ජාතියක් ඇවිත් තියනවා, ගේන්නද? තනි කරම මස් කරල!

ඔන්න ගමේ පෝසත්, ඒත් සිදාදිය නුපුරුදු මුදලාලි කෙනෙක්, එයාගෙ ගෝලයෙක් එක්ක කොළඹ හෝටලේකට ගොඩ වැදුනලු තේකක් බොන්න. දැක්කලු ටී-මේකර්, ඒ ජොග්ගුවෙන් මේකට, කිරි තේ දාන විදිහ. හොඳට බලාගෙන හිටිය මුදලාලි, වේටර්ට මෙහෙම කිව්වලු. " ලමයො, අපිටත් කිරි යාරෙ ගානෙ, වෙන වෙනම මැනලා ගේන්න" කියලා.

අන්තිමට කියන්න තියෙන්නෙ, මම බ්ලොග් ලියන්නෙ මගේ ආතල් එකට කියලයි. හරි, වින්දනය බෙදා ගැනීම, පිස්සු කෙලීම, දැණුම බෙදා ගැනීම, හොරා කාපුව ෂෙයාර් කර ගැනීම , ඒව ඔක්කොම අතුරු  ආබාධ.
වැඩේ කැතයි කියලද හිතෙන්නෙ ? 
මන්දා, ඉතිං මට පාංද? 
එතකොට, සමාජ පෙරලියක් ඇති කරන්න, 
සමාජයේ චින්තනය වෙනස් කරන්න? 
තමුසෙට පිස්සුද ඕයි!
(ඡායාරූප අන්තර්ජාලයෙනි)

අනේ පනේ,  ඔය ආයෙ ආව වගේම, මෙතනත් එල්ලිලා හිටපල්ලා!