Saturday, November 28, 2020

පාරාදීසයේ බස්සා,ඔටුවා සහ කාන්තාරයේ කහවනු


පරාදීස වල ඔටුවො නෑ. කාන්තාරවල බස්සො නෑ. සල්ලිකාර ඔටුවො රාමසාන් කාළෙට පරාදීසවලට යනවා, ආතල් ගන්න.  එතකොට පරාදීස වල බස්සො කාන්තර වලට යන්නෙ ඇයි? ඔහෙල හිතන්නෙ, රට ඉඳි කන්න කියලද? නෑ . සල්ලි හොයන්න. 

කොහොමත් මං පෞද්ගලිකව, ඔටුවන්ටත් , ඔටු නීතියටත් කැමතිම නෑ.  ඇයි කියල ඇහැව්වා? මං පොඩි උදාහරණයක්  දෙන්නම්: ඔටුවෙක්, බවලතෙකුට බලහත්කාරකමක් කලොත්, ඔටු නීතියට අනුව වැරදි කාරය බවලතා. බවලතා ඔටුවව කුලප්පු කරල තියෙනවා. ඔටු නීතියට අනුව, ඔටුවා සහජයෙන්ම උපාසක සතෙක්. එහෙම නෑ කියල ඔප්පු කරන්න නං, ඔටුව අහවල් වැඩේ කරන කොට වටවෙලා බලාගෙන හිටිය, තව ඔටුවො හතර දෙනෙක් කියන්න ඕනා, වැරැද්ද ඔටුවගෙ කියලා. කොහොමද සාධාරණේ? කොටින්ම, ඒ කියන්නෙ , අපිට කියල ඇරෝ ගන්න, උඹ මෙහෙ ආවෙ ඇයි කියලයි. බවලත්තු රිපෝට් කරල තියනවා. කැකිල්ලෙ ඔටු නීතියට අනුව, ඔටුව එලියෙ, බවලතා කූඩුවෙ. ආන්න ඒ වගේ සාධාරණ, කිරෙන් පෙරාපු සත්තු ජාතියක් තමා ඔය ඔටුවො. දැන් ඔහෙල අහවි මට ඔටුවො එක්ක ඇරියස් තියනවද කියල? ඔව් තියනවා,  පොදුවෙ හැම ඔටුවටම එහෙම කියන එක "stereotype" සහ "politically correct" නෑ නේද? සෙද්ද, උන්ට කරන්න හොඳයි, මට කියන්න හොඳ නෑ? මම දැක්ක දේ මං කිව්වා, ඇයි අවුල්ද?

අනන්තවත් තුන්වල ලෝකෙ සත්තු එහෙ යනවා. ඇරෝ ගන්න නෙමෙයි වාහෙ, මසුරං හොයන්න. එහෙම හොයන මසුරං, ප්‍රධාන ආදායම වෙච්ච රටවල් පවා, තියනවා කියල අහල තියනවා.

හා, මොලේ කචල්වෙන ඔටු නීතිය  පැත්තක තියලා, ආපු කාරණාවට බහිමුකො.ටිකාක් දිගයි, පුළුවන් කමක් තියනවා නං මේක බලන්න:

ඔහු කියන ඔක්කොම දේ සමඟ එකඟ නූනත්, වැඩි හරියක් හරියි කියල හිතෙනවා. මේකෙ ඩුබායි, සහ බටහිර රටවල් ගැන කතාවෙන නිසා, අදාලයි කියල හිතුනා, මාත් අවුරුදු ගාණක් ඔය කාන්තාරෙ කට්ට කෑව නිසා.

ඩුබායි කියන්නෙ වෙළඳ මධ්‍යස්ථානයක් කිව්වට, වඩා ප්‍රසිද්ධ කළු සල්ලි සුදු කරල දෙන ලොන්ඩරියක් කියලයි. ලෝකෙම ඉන්න හොරුන්ට නං පාරාදීසයක්. දැන් නම්, ඩුබායි, එමිරේට්ස් දිගට හරහට කස්ටියව සේවයෙන් පහ කරනවා. ඒක නරකයි කියල හිතෙනවා නං , ඔය වීඩියෝ එකේ ඉන්න හාදයගෙ  ජීවිත කතාව බලමුකො: උන්දෑ  දෙමව්පියො එක්ක ඩුබායි ඇවිත් තියෙන්නෙ අවු: 2 දි. ඒ කියන්නෙ ඉස්කෝලෙ, යාළුවො, සමාජෙ ඔක්කොම ඩුබායි. හිටපු ටිකේ හොඳට කාලා, බීලා පාටි දාලා, ජීවිතේ හොඳට වින්දා කියන්නෙ. අවුලක් නෑ, ඒක එයාගෙ ජීවිතේ, තීරණයත් එයාගෙ.

බස්සාත් ඩුබායි ගියා. ඒත් කව්දෝ මුලදිම කිව්ව " මේක ගමනාන්තය නොව ට්‍රාන්සිට් එකක් විතරක් කියල හිතන්න" අවවාදය, නොමැකෙන ලෙස මගේ හිතේ කෙටුනා. කෑව, බීවා වුනාට වීඩියෝවෙ හාදයාට තරම් ජීවිතේ හොඳට වින්දා කියල නං කියන්න බෑ.

මේ ජීවන රටා  දෙකෙන් කොයිකද හරි කියන්න බෑ. දෙකම සාපේක්ෂයි. හැබැයි, එකක් කිව්වෑකි. අපේ ජීවිතේ "ලයිෆ් චොයිස්" කියන එව්වා එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂ බව. 

බස්සාත් සෑහෙනෙ කාලෙකට ඉහත එහෙම "ලයිෆ් චොයිස්" එකක් ගත්තා. කාන්තාරෙන්, නත්තල් පප්පගෙ සාවියට කරණමක් ගැහැව්වා. මුලදි නං ලේසි වුනේ නෑ. සීත ඉර්තු ගාණක් ගෙවිල ගියා. ඒත්, ඌත් ඇරියෙ නෑ, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙනම හිටියා. කාළයක් යනකොට, අපි පරිසරයට හැඩ ගැහෙනවා. තව ඉතින් , හිම කුණාටුවල වාහන එලවන හැටි වගේ, දේවල් එහෙම පුරුදු වෙනවා. මොකෑ නැත්තෙ? ඇන්නා ස්වාමීනි ඇන්නා, දෙපාරක්ම පස්සෙන් ඇවිත් ඇන්නා.

දැන් බලමුකො වීඩියෝ එකේ ඉන්න හාදය ගැන. එයා ඔහොම ජොලියෙ ඉන්න කොට, එක්තරා සුන්දර දවසක ආර්ථික අවපාතෙ වගේ අවුලක් ආවා. අර අතුරු මිතුරු දඹදිවතුරු ඔටුවො සැට් එක මෙහෙම කිව්වා" මේ හලෝ. ඔයා අපි වගේ හිටියට ඔටුවෙක් නෙමෙයිනෙ, ඒ නිසා දැන් යන්න". හුටා නේද? කොහෙද යන්නෙ? තමන් නොදන්න, තමාව නොදන්න උපන් රටට? ම්හු... එයා දැනට ඉන්නෙ තායිලන්තෙ.

දැන් ඔහෙල හිතයි, බස්සා දස්ස පක්සියා, වැරදි ""ලයිෆ් චොයිසස්" අරගෙනම නෑ , කියලා. මොකෑ නැත්තෙ? ඒත් බකුසු මාපකයට අනුව වුනත්, වීඩියෝ එකේ හාදයගෙ අවස්ථාව ඛෙදනීයයි. එහෙම දොට්ට දාන තුරු හිටියොත්, තමන්ට "ලයිෆ් චොයිස්" එකක් ගන්න තියෙනෙ අවස්ථාව නැති වෙනවා. 

" තෝ බස්සා. එහෙනං හිටු බස්සෙක් විදිහට, පාත්තයෙක් වෙන්නෙ යන්නෙ නැතුව". මේ බකුසු පරපුරේ ආප්තෝදේශය. වීඩියෝවෙ කියනවනෙ, පඩියෙන් 60% වත් ඉතුරු කරන්න කියලා. හහ්, උන්දැ නං කියයි?

ඔහෙලට කියන්න, අම්මා මුත්තා කිව්වත් , තමන් ගෙ සරල ජීවිත රටාව අත්හරින්නෙ නැති,  කාටවත් හානියක් නැති මං වගේ පක්සියෙකුට රට්ටු කියන කතා? " මොකක්ද බං ඔය ජීවිතේ", " හපෝයි, ඕකට කියන්නෙ පූරුවෙ පව, විඳිනව නෙමෙයි විඳෝනව කියලා" . ඕන්න ඔය වගේ එව්වා. කව්ද කියන්නෙ? එදා වේල ටුවර්ස් දිව්වත්,  ණය වෙලා හරි, පාටි දාන හෝතම්ඹුවා. අපි සැලුනද, පිංවතුනි, නෑ? ඒකත් තව බකුසු "ලයිෆ් චොයිස්" එකක්. කාටවත් ණය නැති, ආර්ථික නිදහස. මම අහල තියනවා ආර්ථික නිදහස ලබාගන්න නං මිලියන් අච්චර ඕනෙ වගේ කතා. මොන බොරුද? අවශ්‍ය සරල ජීවන රටාවයි, දැන් ඔය ඇති කියල "අත්හැරීමයි" විතරයි.

මේ ලිපියේ අරමුණ, ඩුබායි වලට මඩ ගැසීමවත්, බටහිර රටවලට සුදු හුණු ගෑමවත් නෙමෙයි.ජීවිතේ කියන්නෙ එක්තරා ආකාරයක, සූදුවක් බව කියා දීමයි. 
ජීවිතේ ජය ගැනිල්ල කොහොම වෙතත් ජාම බේරගෙන හිටියොත්, මට නං හොඳටෝම ඇති.  ඒකට ඉන්න තැන ගේම් එක දැණගෙන ඒ අනුව ප්ලේ කරන්න ඕනෙ, බුදු බණේ ඕකට කිව්වෙ "මැදුම් පිළිවෙත" කියලයි. කෙනී රොජර්ස් නං කිව්වෙ "The Gambler" කියලයි. නෑ, නෑ එයා කිව්වෙ බණ නෙමෙයි, සිංදු:

You got to know when to hold 'em,
Know when to fold 'em,
Know when to walk away,
And know when to run.
You never count your money
When you're sittin' at the table.
There'll be time enough for countin'
When the deal is done.


Tuesday, November 24, 2020

ආර්ථික විජ්ජාව, ධනවාදය,සමාජවාදී විකල්පය සහ දර්ශණය


අහල තියන විදිහට, ලංකාවට නිදහස ලැබෙන කොට, ලංකාව ලෝකෙට ණය වෙලා තිබුනෙ නෑලු.  

එතකොට සුද්ද ගල විදල උඩරටට පාර කපල, තාරත් දාල තිබුණලු. එතකොට තව, රේල් පාරවල් හදලා, අඟුරු කෝච්චිත් තිබුණලු. කොළඹ ගෑස් වීදී ලාම්පු තිබ්බලු.

 තව ඉතිං  ට්‍රෑම් කාරුත් තිබ්බලු, ඒක නං කිව්වෙ මනප්පුවා. කොලොම් පුරේ ශ්‍රියා දැකපු, සිංගප්පූරු නායකයා කිව්වලු, සිංගප්පූරුව ලංකාවෙ තත්ත්වයට ගේනව කියලා. උන්දැගෙ වාසනාවටද කොහෙද පස්සෙ ඒ අදහස වෙනස් කරගෙන තියනවා, මෙන්න මේ සිංදුව අහලා

හඳ මාමා උඩින් යතේ...අපෙ මාමා බිමින් යතේ...

හඳ මාමා උඩින් යතේ  ඒඒ...... අපෙ මාමා බිමින් යතේ....  ඒඒ.....

අපෙ මාමා ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැනමයි හිතුවේ..

බිමින් කොහොම වෙතත්,  සමහරු  කියන්නෙ අපි යන්නෙ හොම්බෙන් කියලයි. තව රිම් එකෙන් යනවා කියලත් කියනවා,  ඇයි ඒ කියල ඇහුවාම මෙන්න මෙහෙම කියනවා

1. අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන

2. සුද්දගෙ වැරැද්ද - ගියේ කලු සුද්දන්ට රට බාර දීලා

3. මහජනයාගෙ දූපත්/වහල් මානසිකත්ත්වය

ඔන්න ඔය වගේ මහ බරසාර වචන දාලා,තණමල්විල කොල්ලොංගෙ යටිබඩ කොරවෙන ටෝක් දෙනවා. ඔහෙලට කොහොම වෙතත්, මට නං ඔය මෙලෝ අල බෝලයක්වත් තේරෙන්නෙ නෑ . හොඳ වෙලාවට, පැරණි වමේ, තුන් හවුල් ආණ්ඩුව, අපිට පොඩ්ඩක් විතර  "සමාජවාදී විකල්පය" රසවිඳින්න, අවස්ථාව දීලා තිබුණ. මිනිස්සු බත් කන්න ඕනෙ දවස් මොනවද, අඳින්න ඕනෙ මොන භූමිතෙල් රෙද්දද කියන එක, තීරණය කලේ ආණ්ඩුව තීරණය කරන එක, කොහොමත් හොඳ දෙයක් නෙමෙයි. හාල් පොලු, මිරිස් පොලු  පාරෙ තිබුනා, හාල්, පරිප්පු, උඹලකඩ ගෝනි පිටින් සමූපකාර මැනේජර්ගෙ ගෙදර තිබුනා. 

නවසිය හැත්තෑ හතේ සිට අපි ආර්ථිකේ විවුර්ත කලා.  වරක්  නිදහස රස බලපු මිනිස්සුගෙන් ඒක ආයෙ ගැනීම, දේශපාලන සියදිවි නසා ගැනීමක් වන බව, වමේ පක්ෂ පවා තේරුං අරං, සිංදුව මාරු කලා. පස්සෙ ඔය වමේ, දකුණෙ පක්ෂවල වෙනස හොයාගන්නත් අමාරු තරම මැකිල ගිහින්, එව්වා නිකම්ම දේශපානික වෙළඳ ව්‍යාපාර බවට පත්වුනා. නොවෙච්ච එකම දේ, රටට අවශ්‍ය නායකත්වය, මඟපෙන්නීම නොලැබීමයි.එයාලත් "ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා  හිටියා",  චන්දදායකයො වෙච්ච අපිත්"ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා හිටියා. අපිත් "ශෂ්‍ය මාරු " ක්‍රමේට අපේ මනාපය දුන්නා, රට එතනමයි. සිංගප්පූරු මාමා උඩින් ගියා...අපෙ මාමා බිමින් ගියා. ඉතිරිය , ඉතිහාසගතයි....

හා, ඒ නොදන්න දේශපාලනෙන් , මේ ඔහෙල අපි වගේ හුදී ජනයාට වැඩක් නෑ  කියල බෑ නෙව? අපි කැමති වුනත්, අකමැති වුනත් මේ දේශපාලන විජ්ජාවෙන් අපට ගැලවුමක් නෑ. ලිඳේ වැටිච්ච එකා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ.ඒත් කරුමෙ කියන්නෙ, මේ උලව්ව තේරෙන්නෙ නෑ නෙව? ආන්න එතකොට, අපිට විජ්ජාව පෙන්නන කස්ටිය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අවුරුදු හැත්තෑ පහක්ම අපි " ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා" හිටියා නෙව? 

සමහර විට හේතුව ඔය එකක්වත් නොවෙන්නත් පුළුවන්. නැත්නම් අඩු-වැඩි වශයෙන් ඔය ඔක්කොගෙම සම-මිශ්‍රණයක් වෙන්නත් පුළුවනි. වැඩි වශයෙන් වැරැද්ද, දේශපාලකයාගෙ නොවී, චන්දදායකයාගෙ වෙන්නත් පුළුවන්. කෙලින්ම කියනව නං, අපේ කල්කිරියාව, සමාජ සම්මත, සමාජ ආකල්ප මේ එකතැන පල්වීමට හේතුවුනා වෙන්නත් පුළුවන්.

මට මේ වගේ මෝඩ හිතුවිල්ලක් පහල වුනේ. අපේ හිටපු රජා, මොකක්ද කොමිසමකට දීපු සාක්කියක් දැකලා. 

චෝදනාව : කොච්චිකඩේ පල්ලියෙ බෝම්බ සිද්ධියට සම්බන්ධ සහරාංගෙ ගෝලයොන්ට ජනපති සමාව දුන්නද? 

උත්තරය : මට මතක නෑ, සමහරවිට දෙන්න ඇති

ඇයි, කියවල බලල නෙමෙයිද, අත්සන් කරන්නෙ?

මඟුලක් කියනවා. දවසට සීයක්, හමාරක් අත්සන් ගහන්න තියෙනකොට, කොහෙ කියවන්නද? සහායක ඇඟිල්ල තියල පෙන්නවා, මං අත්සන ගහනවා.  මේක වගකීම ගන්න ඕනෙ ජ'පති කාර්‍ය සාධක මණ්ඩලයෙ ලේඛම්ල.

දැන් බලාන්ට, සුද්ද යනකොට අපිට අධ්‍යාපන ක්‍රමයක් දීලා. පාසැල් හදලා , විශ්ව විද්දියාල හදලා දීලා ගියා. අපි කොළඹට කිරි, ගමට කැකිරි ක්‍රමේ හදාගත්තා. මෙරිට් ක්‍රමේට විශ්ව විද්‍යාල වලට ගිය සොච්චම, එහේදි "නිදහස් අද්දියාපනයට අත නොතබනු" කියල දේශපාලනය කලා. උපාධියෙන් පස්සෙ " අපිට රැකියා දියව්" කියලා පිකටිං කලා. පෞද්ගලික අංසය එයාලට කැමති වුනේ නෑ. මේ අය ඉල්ලුවෙ, රජයේ රැකියා. ඒසී රූම් එක, මේසය මත සිංහ කොඩිය සහ තේ එක, සහ දිනපතා පුවත් පත, පැත්තකින් කොම්පීටරය. පත්තරේ බලල , තේ බීලා, කවුරුහරි ගේන ෆයිල්  එකේ ඇඟිල්ල තිබ්බාම , අත්සන ගහන රස්සාවක්. මට හිතෙන්නෙ, අපේ සමාජය පුරාම ඔඩු දුවපු පිලිකාවක් තියනවා. එහෙම නෑ. කියල හිතනතාක් කල්, අපිට අබ සරණම තමා.

මේ ඉන්ටනෙට් යුගයේ, මේ බරසාර මාත්තුරුකා , කාටත් තේරෙන බාසාවෙන් තේරුං ගන්න හදපු අහිංසක වෑයමක් මේක. දැන් එතකොට අපේ ප්‍රශ්නවලට උත්තර මෙතන තියනවද? මඟුලක් අහනවා? තප්පර හැටෙන් එහෙම උත්තර දෙන්න ඇහැකි නං, පුත්තලමේද ගෝවා වැවිය හැකිය. ආ, එහෙම කිව්වට පුත්තලමෙ ග්‍රීන් හවුස්වල ගෝවා වවන්න පුළුවන් කියන්නෙ. මගේ පොයින්ට් එක, කාමරේ අලියව දැකලා, නොදැක්කා වගේ ඉන්න එපා කියන එකයි. සමාජ ආකල්ප වෙනස් කරන එක ලේසිපාසු වැඩක් නෙමෙයි. ඒත් නොකල හැකි දෙයකුත් නෙමෙයි. ඒ සඳහා යම් මිලක් ගෙවන්න වේවි. එයින් කොටසක් තමා, දැණුම.





Friday, November 6, 2020

ව්‍යාකූල සහ නොසේදූ හාලේ බත

 Paranoid කියන වචනෙ ගූගල් ට්‍රන්ස්ලේට් කරන්නෙ"ව්‍යාකූල" කියලයි. දැන් අපි ආයෙ "ව්‍යාකූල" ගූගල් ට්‍රන්ස්ලේට් කලොත්, මේං ඒ වංගියෙ උන්දෑ කියනවා ඒක "Confused" ලු!

හරි, හරි ලිතියම් බැස්ටි වලට, වෙබ් සයිට් වලට පවා බයවෙන බස්සෙක් Paranoid කියල ඔහෙල කියාවි.   ඔය අපේ හෝතම්බු ගොබිල ඉන්නව නේද? උන්දෑ ලංකාවෙදි, වට්ටක්කා ගෙඩියක් වරුගාණක්, පොල් මුඩ්ඩකින් මැද, මැද හේදුවාලු. මට ඒ කතාව පිලිගන්න හේතු තියනවා. මම ප්‍රතිපත්තියක් ලෙස හාල් උණුවතුරෙන් හෝදන්නෙ නෑ. තද සීතකාලෙ හාල් හෝදන කොට දෙපාර පැන්න ගමන් අත, ගල්ටික් වෙනවා, හීතලට. මං කරන්නෙ, තුන්වෙනිපාර හෝදන්නෙ ප්ලාස්ටි හැන්දෙන්. ඕකට මේකා මට හිනාවෙනවා. දැන් එතකොට Paranoid මමද? හෝතම්බුවද?ඉතිං, ඔය සීතකාලෙ ඇල්වතුරින් හාල් සේදීම පිළිබඳ ව්‍යාකූල තත්ත්වය තියෙන අල්ල පනල්ලෙ,මොකක්දෝ ඇනිමෙ එකක් දැක්කා, හාල් තුන් වතාවකට වඩා හෝදන්න එපා කියනවා. ජැපනීස් ඇනිමෙ කියන්නෙ. සූපශාස්ත්‍ර උපදෙස් ගන්න හොඳම තැන නූනත්, ඕකත් මයෙ හිතේ තිබ්බා.

ඕං ඔහොම ඉන්න කොට තමා, මේ හාදයව මුණගැහුනෙ. උන්දැ කිව්වා නෙව, මහ පුදුම කතාවක්!. මගෙන් ඇහුවා, ගන්නෙ "වැකුම් සීල්" කරපු හාල්ද කියලා? මම "ඔව්" කිව්වාම උන්දෑ අහපි " එහෙනං මොකටද වාහෙ හෝදන්නෙ" කියලා. විස්වාස කරාන්ට, මටත් ඔහෙලට හිතුන දේම හිතුනා. මං ටිකක් අදිමදි කලාම, මේකා ඇහුවෙ නැතෑ " ඇයි ඔහෙලා පාන් පිටිත් හෝදලද ගන්නෙ" කියලා? පස්සෙ මෙයා, නවීන හාල් නිශ්පාදන ක්‍රියාවලිය, සේදීමට/නොසේදීමට හේතු, සහල් විශේෂග්ඥ මතයත් එක්ක පෙන්නුවාම, මට පිලිගන්නම වුනා.

බොහොම කාලෙකට ඉස්සර, මගෙ දමිල යාළුවෙක් බතක් ඉව්වා. හාල් හෝදලා, කබලෙ ටිකක් වේලලා, තෙල් ටිකක් දාලා හාල් බැද්දා. ඊට පස්සෙ ඉව්වා. හොඳ රසයි, මොකක්දෝ දෙමල නමක් කිව්වා. බලාගෙන ගියාම ඒ කාල තියෙන්නෙ පයේයා (Paella -pronounce " pai·ei·uh")නැත්නම් රිසෝටෝ නෙව. හරියට හදන ක්‍රමේ වීඩියෝවෙ තියනවා:

හරි, හරි මං දන්නව. හෝතම්බුට පොල් ලෙල්ල අතාරින්න අමාරුයි, මට මගේ අල්පේච්ච ජීවන රටාව අතාරින්න අමාරුයි වගේ ඔහෙලට හාල් සේදීම අතාරින්න අමාරු ඇති. ඒත් මං එයින් එකදෙයක් ඉගෙන ගත්තා. ජීවිත කාලෙම බතුයි, පරිප්පුයි කාපු මම හාල් ගැන දැණන් හිටියෙ කොච්චර ටිකද කියලා? එතකොට පරිප්පු,,,,,,, නෑ, එයා පරිප්පු ගැන කිව්වෙම නෑ. කොහොමත් දැනට හාල් විතරක් ඇති. හැබැයි ගොයියෝ, හෝතම්බුට මාට්ටු උනොත්, ඌ මාව නෑඹිලියෙ  උලලා හෝදනවා.

නෑඹිලියක් නැතුව, කුරුඳු ලිහිණියෙක්ට කියා, හාල් ගරවා ගැනීමට සැරසෙන විදේශිකයක්:

අනුග්‍රහය https://drackey.blogspot.com/2020/10/blog-post.html
                                      හහ්! ගහපං බලන්න? තොගෙ ආච්චිට හාල් ගරන්න.
                                                                ( අනුග්‍රහය:https://drackey.blogspot.com/2020/10/blog-post.html)

බොහෝ කාලෙකට ඉස්සර, චයිනීස් ඩ්‍රැගන් කැෆේ යන පුරුද්දක් තිබුණා. ගියොත්, නොවැරදීම ඕඩර් කරපු දෙයක් තමා "චයිනීස් ඩ්‍රැගන් ස්පෙෂල් රයිස්" . කිරි රහට , තෙතට තිබුණ මේ බතේ තිබුනෙ පුදුම රහක්.දැන් හිතෙනවා ඒ බතත් උඩ කැටගරියට වැටෙන්න ඉඩ තියෙන බව.

එච්චරම දෙයක් නැතුව ඇති, ඒත් පහුගිය පෝස්ට් එකේ වෙළඳ දැන්වීමක් දාලා කල වංචාව මගෑරෙන්න, හරිහමන් පෝස්ට් එකක් ලියන්න හදන අහිංසක පක්සියාට, පොඩි චෑන්ස් එකක් දෙන්න, ඈ?