Tuesday, December 31, 2013

සුභ අලුත් අවුරුද්දක්

 

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

 newyear-1

අවුරුදු තෑග්ග:

අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML  ටිකක් විතරනෙ. ඔය wordpress blog වල කොමෙන්ට්  වලදිත් පිංතූර , වීඩියෝ එහෙම පෙන්නන්න පුළුවන් ඔයෙ හිතේ. අපිට කොයින්දෑ පූසෝ මාළු, අපි යනවැයි මූදු!

නෑ, මං මේ කිව්වෙ අපි බ්ලොගර්, බ්ලොගර්  අපිට නේ. බ්ලොගර්ගෙ ඔය ඇටෑච් බාත් රූම් නෑ නෙව. නැත්තෙත් නෑ, බලාගෙන හියාම , මෙන්න මෙහෙම කලොත්:

මේක මං හොයා ගත්ත දෙයක් නෙමෙයි. .සම්පූර්ණ තොරනේ විස්තරේම  මෙතන  තියනවා .

ඔරිජිනල් ක්‍රමේ තියෙන්නෙ. blogger template එකේ script  එක මොඩිෆයි කරන විදිහට. ඔහෙලට කියන්න, ඕක ටිකක් බයානක වැඩේ. පොඩි වැ‍රැද්දක් එහෙම වුනොත් " සදා සොත්ති බවන්තුතේ" තමයි. ඇත්තටම මට එහෙම වෙලා තියනවා.

මෙන්න මගේ ක්‍රමේ. මහප්‍රාණ නෑ . කිසිම රිස්ක් එකක් නෑ , බොහොම සරලයි:

ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලා පහත පිලිවෙලට කොටාගෙන, කොටාගෙන යන්න.

ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලාsettings වල තියන layout page එකට යන්න. ඔතන තියනවා "Add a Gadjet" කියලා එකක්. ඇත්තටම තැන් හතරක් තියනවා. අපි මේ කරන්න යන දේ නං පහලම තියන එකක් ‍තෝරා ගත්තත් කාරියක් නෑ..

image

ඔය "Add a Gadjet" එකකට කෙ‍ටුවාම එනවා මෙන්න මෙහෙම එකක්image

. දැන් තියෙන්නෙ ඔය ලිස්ට් එක පහලට scroll කරගෙන යන එකයි. එතකොට හම්බු වෙයි " HTML/JAVA Script" කියල එකක්. අන්න ඒකට කොටන්න. දැන් එයි මෙහෙම කො‍ටුවක්. හෙඩිමට මුකුත් ලියන්න ඕනෙ නෑ. "Content" වලට මං මේ පහත දෙන කොඩ් කෑල්ල අලවලා, මතක ඇතුව "save" එකත් ඔබලා "logout වෙන එකයි තියෙන්නෙ.

image

මෙන්න අලවන්න ඕන කෝඩ් කෑල්ල:

<script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/></script>



දැං මේක වැඩකරන විදිහ:

අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML  ටිකක් විතරනෙ. දැන්, අපිට එයිට අමතර  HTML   සෙට් එකකුත් ලැබෙනවා. සම්පූර්ණ සෙට් එකම ඕනෙ නං අර ඔරිජිනල් සයිට් එකෙන් බලාගන්ට. මට නං වැදගත්ම එක පිංතූර. දාන්නෙ මෙහෙමයි:
කොමෙන්ට් සාමානය විදිහට කොටලා, දාන්න ඕනෙ පිංතූරෙ URL නැත්නම් web address එක කොපි කරහෙන. , පහත විදිහට දානවා, එච්චරයි :)

[im]URL[/im]

Saturday, December 21, 2013

බස්සා සහ කොබෝ නයෙක්






කණ පැලෙන්න සීතල. කාල- ගුණේ අයියා මේ සැරේ නං දෙනව අපිට ඇස්ටි හැලෙන්න. ඕං මේ හීතල උදේක, මං බෙනේ අස්සට රිංගලා හොඳට හරි බරි ගැහිලා, දෙයියනේ කියලා ඇහැ පොඩ්ඩක් පියා ගන්ට ලෑස්ති වුනා.

මට ඇහෙනවා කව්දෝ "ෂූ..., ෂූ" ගානව. මාත් කම්මැලි කමට , තවත් හොඳට පිහා‍ටු පුම්බගෙන, නෑහුනා වගේ හිටියා. මෙන්න බොලේ ඒ වංගියෙ මයෙ කණ ගාවින්ම සද්දෙ ආපි. මං එක ඇහැක් ඇරල බැලුවා

හුටා, නයි කයිද රෝස් පාං කිව්වලු! , මෙන්න බොල නයි තඩියෙක් බෙනේ ලඟ අත්තෙ එතිලා මට පෙනේ කරනවා. මට හීං දාඩිය දැම්මා.


"නමස්කාර්"


" මං නමස්කාර් නෙමෙයි, බස්සා. අනේ පිං ඇති නයි හාමි. මේ අහිංසක පක්සියාව බය නොකර යන්න. මෙහෙම හිටියට ඇඟේ මස් කලඳක් නෑ, පිහා‍ටු විතරමයි"

" හෙහ්, හෙහ්, මං බ්රෙක්ෆස්ට් එක අරගෙනයි ආවෙ. මං ආවෙ ඔහේව ගිලින්න නෙමෙයි, රාජකාරියකට, පැමිණිල්ලක් විභාග කොරාන්ට"


"ඒක මිසක්කා. පැමිණිල්ලක් කිව්වා? මේ මට විරුද්දව? කව්ද ඒ නොසන්ඩාල වැඩේ කරපු අලුගුත්තේරුවා?"


" පැමිණිලි කරල තියෙන්නෙ මීයො කස්ටියක් - ඇනෝ මවුස්ලා"


"ඕක බොරු පැමිණිල්ලක්, නයි රාලහාමි. උන් මාත් එක්ක තරහයි"


" නයි රාළහාමි? මං ඔය සාමාන්‍ය නයෙක් නෙමෙයි. අපි කොබෝ නාග වංසෙ.
 ඉස්පැසල් එජ්න්ට් කොබා. පැමිණිල්ල බොරුද නැද්ද කියල බලන්න තමයි මං ආවෙ. තුමාරා නාම් ක්‍යා හේ - පූරා නාම්?"


"සෑර් හිමාලයෙන් නේද? මං අහල තියනවා. පියාඹගෙනද ආවෙ?සෑර්, අයි ඩෝං නෝ මෙලෝ දෙයක්, හිංගලෙන් නං ඕන දෙයක්"


" සොරි, තමාගෙ සම්පූර්ණ නම කියමු බලන්න?"


" උප්පැන්නෙ තියෙන්නෙ DGM බස්සා කියලා- දොරකඩ ගහේ මූකලං බස්සා"


" හරි, දැං තමාට තියෙන පලමු චෝදනාව: තමාගෙ වංසෙ කබල්ගෑම "


" මං කබල් ගාපු වංසයක් නෑ. අපි උභයකුල පාරිශුද්ධ බකුසු වංසෙ. ඉතිං මං බස්සෙක් නොකියා ගිරවෙක් කියල කියන්නයෑ? දැං , සර් උනත් කිව්වෙ, මං සාමාන්‍ය නයෙක් නෙමෙයි, කොබෝ වංසෙ කියලා.සර්ට ඔනෙ නං දාගන්ට, 'දකුණේ බොදු , කරාටේ උගත්' කියලා. මං නං එදත් බස්සා, අදත් බස්සා"


" හරි ඒක ඇරිච්චාවෙකො. එතකොට තමාගෙ හමේ පාට ගැන උදම් ඈණීම?"


"උදම් ඇනිල්ලක් ගැන නං දන්නෙ නෑ, සර්. මං පැණි පාටයි. පැණි පාටට , ගොඩක් අය කැමතියි. ඒක මයෙ වැරද්දයෑ?"


" නෑ, නෑ, මේකෙ තියෙන්නෙ සුද්දොන්ගෙ වගේ සුදු පාටයි කිව්වය කියලා"


" සෑර්, ඒ මං නෙමෙයි. වෙන කෙනෙක්. අනික එයා සුදුම නෙමෙයි, හෙල්මැලි පාටයි, පාණ්ඩු පාටයි -ප්‍රියංකා චොප්රා වගේ. බලන්ට එපෑ, ප්‍රියංකට මොනවත් කිව්වොත් එයෑයිට යන ඩෝං, මයෙ ත‍ටු ගලෝනව කිව්වා. එත් මං නං කැමති, පැණිපාට දීපිකාට :)"


" හරි, නේන්නං, ඒක ප්‍රින්ටින් බිස්ටේක් එකක්. එතකොට, තමාගෙ ඉහළ මධ්‍යම පන්ති සමාජ තත්ත්වය ගැන ඉඟි කිරීම. චෙරීස්- බෙරීස්, හැම් , බේකන්, චීස් ආදී ඉහළ පන්ති ආහාර ගැන කතා කිරිම. මං අහන්නෙ, ඇයි, කරවල, කොස්, දෙල් වගේ දේශීය ආහාර කන්න බැරි"

" සර් මේ මඟුලක් කියනවා. මං දුප්පත් බස්සෙක්. මෙහේ, කරවල, කොස්, දෙල් අස්ප ගණන්. අපි වගේ දුප්පතුන්ට කන්න ලාබෙට තියෙන්නෙ දේවල් ගැන තමා මං කිව්වෙ"

" හා, හා බස්සො, කට, කට, හොට, හොට. මං කියන්නෙ, ඔය ලියන කොට ඔය දේවල් එහෙම්මම නොලියා පොඩ්ඩක් දේශීය උරුවට ලියනවකො. නැත්නම් අපේ මේ සංවේදී දේශීය බ්ලොග් කියවන්නන්ගෙ හිත් රිදෙනවනෙ. ඔය අයිස් වැස්සට තෙමිලා හෙම්බිරිස්සාව හැදුනා වෙගේ දේවල් වෙනුවට, මල් වැස්සට තෙමිලා උණසන්නිපාතය හැදුනා කියල ලියනවකො"

" එතකොට මෙහෙ ඉන්න මූස්, කැරිබු වගේ මයෙ අසල්වාසියො ගැනත් ලියන්න එපාද?"


" දේශීයකරණය අයිසෙ,දේශීයකරණය. මූස්ට දානව 'අං දිග ගෝණා' කියලා. කැරිබු - මීමින්නා, අහවරයි නෙව"


" අනේ මන්දා සර්. බලාගෙන ගියාම, මට මේ සංවේදී දේශීය මීයොත් එක්ක මේකෙ ලියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ, ඔය කයියක් දෙකක් ඇරෙන්න?"


" ඔහේ කවිත් ලියනවද? කියමු එකක් බලන්න"


අඳුරු ලලා වහිනා කල පිට ඔ‍ටුවම තෙමෙන්න
ලතා මඬුලු අත වැනුවොත්, පණ එපා කියල දුවන්න
දුවන ගිරියෙ,ඉස්සො වඩේ බදිනවදැයි බලන්න
මට නොලැබෙන මසල වඩේ, ඔබට හැකිය ගිලින්න

අම්පාරට පායනවද, වහිනවදැයි කියන්න
මට නොපෙනෙන, ඒ මල්වැසි ඔබට හැකිය දකින්න




"" ඔය තියෙන්නෙ. අල වගේද ගෝව. ආන්න එහෙම ලියනව අපේ දේ අගේ කරල"


"සෑර්. ඒක නෙමෙයි. සීතල යන්නත් එක්ක කෝපි එකක් බොමුද?"


"කෝපි එපා"


" හරි, සැර්ල කෝපි නෙමෙයි බොන්නෙ චායි නෙව. ෂහ්, මා ගාව එව්ව නෑනෙ. මොකද කියන්නෙ,ෂැන්ඩි ටිකක් දාලා හීනියට බ්‍රැන්ඩි සොට් එකක් නමමුද?"


" ෂැන්ඩි එපා"

බ්‍රැන්ඩි සොට් දෙක දාන කොට කොබා නිකම්ම දේශීකරණය උනා, පෙනේ තාලෙට දෙපැත්තට වැනෙන්න ගත්තා.

" මචා.......න්, බෂ්ෂො. උඹ බයවෙන්න එපා. මං ලියන්නං මයෙ රිපෝට් එකේ, මේ චෝදනා සියල්ලටම උඹ නිවැරදිකරු කියලා. එහෙනං අපි කැපුනා, සනා. නමෂ්කාර්"

එහෙම කියපු කොබා. අත්තෙන් ගුවන්ගත වුනා. පියෑඹීම කෙසේ වෙතත්, තලපතා පොලේ ගැහැව්වා වගේ කෙලින්ම බිමට දෙරි ගහපු කොබා, කෙඳිරි ගගා පඳුරු අස්සෙන් ඇදිලා ගියා.

මං හිතන්නෙ පොරට ටේක්-ඔෆ් එක අප්සෙට්. නැහ්නං , මූ මට ඇරියෙ නයෙක් වත්ද? 



ප.ලි:
අයිස් වැහි කියන්නෙ නයි කියල හිතෙනව නං, ඔය පහල පිංතූර බලන එකයි තියෙන්නෙ. මේ ඊයෙ රෑ කාල-ගුනේ අයිය කර්පු වින්නැහිය. ලෝකෙ පෙරලෙනව කිව්වත්, මාව බෙනෙන් එලියට අදිනව නං බොරු :)
























මෙන්න නත්තලට ගස් වලට දාපු අයිසිං. දැන් වැඩේ සම්පූර්ණයි :)