Wednesday, June 30, 2021

වින්ඩෝස් 10 නැතුවම බැරි ආවුද

වින්ඩෝස් 11 bandwagon එකට පනින්න කුරුමානං අල්ලන්න ඉස්සෙල්ලා, මට හිතුනා දැනට තියෙන අටමඟුල(Windows 10) වඩා සුසර කරගත්තොත් නරකද කියලා? Windows 10 වල සමහර ප්‍රශ්ණ, උපන්ගෙයි දෝෂ. එව්වා අපට තියා, පැන්සොං ගිය ගේට්ටුවා මහතාටවත් හදන්න බෑ. ඒත් මං මේ කියන්න යන්නෙ, සැහැල්ලු ඒත් ප්‍රයෝජනවත් යුටිලිටි ඇප්ස් ගැන.

මේක එක්තරා ආකාරයක බෙදා-හදා ගැනිල්ලක්. මා ගාව තියන ඒවා මං කියඤ්ඤා, ඔහෙල ගාව තියෙන සැට් එක කොමෙන්ට් වල දාන්න ඈ? 

1. Keyman DeskTop 14.0  - completely free

තනි ඇඟිල්ලෙන් සිංග්ලිෂ් කොටන, හුදී ජනයාට මේක ජීවිත ආරක්ෂණයක්. මේක දාගෙන Sipon Phonetic Sinhala Keyboard එකත් එක්ක හාමු කරල, ෂෝට්-කට් කී එකක් දාගත්තාම, වෙන ආයෙ මොනවද?

2. QuickLook - මම Windows Flie Explorer එකේ preview pane එකට බොහොම කැමතියි. ඒත් වින්ඩෝස් ඉස්ටෝරුවෙ QuickLook ඇප් එක වෙනම ගේම් එකක්.  Flie Explorer එකෙන් අදාල ෆයිල් එක හයිලයිට් කලා, ස්පේස් බාර් එක එබුවා, එච්චරයි. වීඩියෝ, නොයකුත් පිංතූර ෆෝමැට්, Text, PDF ඕන එකක් පෙන්නනවා. මතක ඇතුව, GitHub page එකට ගිහිල්ලා, Office Viewer සහ EpubViewer Addon දෙකත් දාගන්න. දැන් ඉස්සර වගේ පිංතූරයක් ෆුල් ෆ්‍රේම් බලන්න ( ඔව්, ඔව් නෝටි පිංතූර තමා, ඇයි අවුල්ද?) නටන්න ඕනෙ නෑ

3. ඊළඟ එක Jarvis . MacOS වල spothlight  එක වගේ එකක්. Windows search තියනව නං තමා, ඒත් ......මේක සර්ව සම්පූර්ණ නැතිවුනාට ඊට වඩා නං හොඳයි. MIT එකෙන් එන එකක් නෙව, නරක වෙන්නෙ කොහොමද?

4. මම ඉස්සර පාවිච්චි කලේ WinDirStat. ඒත් ඒක දැන් තවදුරටත් අප්ඩේට් වෙන්නෙ නෑ. හොඳ වුනාට, හරිම ස්ලෝ. තාම තියාගෙන ඉන්නවා, ඒත් දැන් පාවිච්චි කරන්නෙ WizTree. නිතරම අප්ඩේට් වෙනවා වගේම, පටස් ගාලා ලෝඩ් වෙනවා. අපි හැමෝටම සමහර වෙලාවට හිතෙන දෙයක් නෙව " හෑ, ගිය සුමානෙ යස අගේට ඉඩ තිබ්බා නෙව? මොකාද යකඩෝ මගේ හාඩ් ඩිස්ක් එකේ ඉඩ ඔක්කොම කාපු බූතයා" කියලා. ආන්න ඒක බලාගන්න . කියාපු භාණ්ඩෙ තමා මෙයා.

Bonus: NotePads , EasyOffice සහ OnlyOffice 

අදට ඔය ඇති. සෙස්ස පස්සට. හා, දැන් බලලා හොර බළල්ලු වගේ ලුහුටලා යන්නෙ නැතුව, මොන හත්තිලව්වක් හරි ලියපල්ලා.

Sunday, June 27, 2021

කරුමෙට කකුල් 8 යි, ජනේල 11 යි

මේ සවස්වල, මයික්‍රොසොෆ්ට් කස්ටිය, වින්ඩෝස් 11 ගැන හරිම පුරාජේරුව. හතරැස් බෝඩරේ රවුං කරනවලු, තොරොම් බෝල කරත්තෙ වගේ සුකුරුතං එල්ලනවලු, එක විකාරයයි. හා, හොඳයි, ඔහෙලම හිතල බලාන්ට... ඉත්තෑ අමාරුවක් තියන බස්සෙකුට, අහගෙන ඉන්න පුළුවන් කතාද මෙව්වා?

සුපුරුදු බසු චාලිත්තරේ ලෙසටම, ඉස්සෙල්ලම බෑව වින්ඩෝස් 11 ලීක් වෙච්ච කොපිය. ඊලඟට ආරක්ෂක ක්‍රමවේද. වෙනම SSD drive එකකට, restore කලා අලුත්ම බැකප් එක. ගියා BIOS වලට, සිලෙක්ට් කලා TPM 2.0. හරි දැන් සටනට ලෑස්තියි.

කිසිම අතුරු ආබාධයක් නැතුව, වින්ඩෝස් 11 ඉන්ස්ටෝල් වුනා. පෙනුමත් හොඳා. බටර් වගේ ස්මූත්. ගත්තා බැකප් එකක්. ඒකත් ගිණි කසයා වගේ ඉක්මනට ඉවර කලා.මෙදා පොටේ, පරණ වැරදි වලින් මයික්‍රොසොෆ්ට් පාඩම් ඉගෙන ගෙන වගේ. ටිකාක් විතර එහාට, මෙහාට ඇවිදලා බැලුවා. කොටන්න තියෙන හැමතැනටම කෙටුවා. අප්ඩේට්ස් අවුල්, ඒත් ඒක තේරුම් ගන්න ඇහැකි නෙව? Phew......කියල හොඳ හුස්මක් ඇරලා, හිතාගත්තා ඔයින් ගියා මඳෑ කියලා. 

කෙලිය පටන් ගත්තෙ, ඊට පස්සෙ නෙව? ඉස්සෙල්ලාම රී-බූට් කරන කොට කිව්වා, Drive errors තියනවා, හදන්නද කියලා? මම හා කිව්වා. එක Drive එකක් හදලා, දෙවෙනි එකත් හැදුවා. තුන්වෙනි එක හදන කොට, මට ඒක එච්චරම ඇල්ලුවෙ නෑ. මම එබුව රී-සෙට් බටන් එක. හා, ඔය කෙලලා තියෙන්නෙ, තාප්පෙට?

වින්ඩෝස් 11 සහ වින්ඩෝස් 10 ඩ්‍රයිව් දෙකේම බූට් සෙක්ටර් වලට කෙලලා. පෙබරවාරි සිට අද දක්වා බැකප් ටිකටත් සබ්බුව දීලා. ඒත් අපි සැලෙයි ඕවට? දැම්මා ජනවාරි බැකප් එක එකකට, වින්ඩෝස් 11 බැකප් එක අනිකට. හරි නේද?  නෑ නෙව, එතකොටයි දැක්කෙ, මට BIOS වලට යන්න බෑ කියලා.

වින්ඩෝස් බූට් වෙනවා, BIOS යන්න ගියාම ස්ක්‍රීන් එක බ්ලෑන්ක් යනවා, එක සැරයක් කිව්වා, ග්‍රැෆික් කාඩ් එකේ UEFI BIOS , VGA mode  එක සපෝට් කරන්නෙ නෑ කියලා. motherboard  එකේ CMOS රී -සෙට් කලා, පරණ ග්‍රැෆික් කාඩ් එක දාලා බැලුවා, නතිං ඩුයිං. 

බස්සා දැන් ඉන්නවා ලාවුළු කෑ රිලව වගේ විරිත්තගෙන, ඔලුව කස-කස. මේ වෙලාවෙ, මගෙ ඔලුවට එනවා බොහොම භයානක සිතිවිලි: ග්‍රැෆික් කාඩ් එකේ BIOS රී-ෆ්ලෑෂ් කිරීම වගේ.  පරණ ග්‍රැෆික් කාඩ් එක ගහලා බැලුවට පස්සෙ, ඒ අදහස අත්හැරියා. ඊළඟට motherboard  එකේ BIOS අප්ඩේට් කිරීම. ඒක එච්චර අමාරු දෙයක් නූනත්, ප්‍රශ්ණෙ වුනේ, ඒක කරන්න, BIOS ස්ක්‍රීන් එකට යන්න බැරි එකයි. මගේ අවුලට, ජාල විශේෂඥයො, කෙලින් උත්තරයක් දුන්නෙත් නෑ. පැය 6-7 කට පස්සෙ, මමම හොයාගත්තා, වින්ඩෝස් වලින්ම, BIOS අප්ඩේට් ඉනීශියේට් කරන හැටි. වැඩේ කිරි ගහට ඇන්නා වගේ හරිගියා, අලුත් බෝඩ් එකක ගාන, සුපියල් 75 ඉතුරු වුනා. 

මට තේරෙනවා ඔහෙලගෙ හිතට ආපු ප්‍රශ්ණෙ. ඒත්, වින්ඩෝස් 11 එනකොට, අපි ලෑස්ති වෙලා ඉන්න ඕනෙ නේද? අනික, බලාන්ට දැන් ඔය හිම කඳු නගින කස්ටිය. යසට කාලා, බීලා ඉන්න පුළුවන් එකේ, මොකට අඞු කඩාගන්න කඳු නගිනවද, නේද? ඒක දන්නෙ හිම කඳු නගින අයම තමා, ඒකත් වෙනමම ආතල් එකක්

කරුමෙ ඩබල්. පින සිංගල්!


තාක්සන සහය:

Thursday, June 17, 2021

මලබාරි නයිට්ස් සහ ආඩතෝඩ එළුවා

ආඩතෝඩ කියන එකේ තේරුම "එළුවන් නොකන" කියලා අහල තියනවා. මේක දෙමල වචනයක්ලු. ඇත්ත නැත්ත බලන්න, එලුවෙක්ගෙන්  ඇහැව්වාම, ඌ කියාපි එහෙම ගහක් දැකලා තියා අහලවත් නෑ කියලා. අද බේතකට ගන්නවත් අඩාතෝඩ ගහක් නැතුව ඇති තමා. හැල-යක්ඛ බාසාවෙන් පාවට්ටා , අගල් ආධාර කියලත් කියනව වුනාට, මූකලං බස්සොන්ට එව්වා ආඩතෝඩම තමා.

අපේ වත්තේ, ආතා හිටවපු ආඩතෝඩ ගහක් තිබුණා. ඉඳලා හිටලා, ආයුර්වේද බෙහෙත් වලට ගන්නවා ඇරුනාම වෙන ප්‍රයෝජනයක් ගැන දන්නෙ නෑ. 

බකුසු අප්පුච්චා දුන්නා එකටත් බැස්ටිය. අපරාදෙ කියන්න බෑ උන්දෑට ගස් පේන්න බෑ. දවල්ට කාලා, පොරවත් අරං එනකොට ගස් වෙව්ලනවා. එදාට ඉතිං තවත් අසරණ ගහක් නේනගං යනවා. රඹුටන් ගහ, බෙලි ගහ, වැලි අනෝද ගහ, මුරුංගා ගහ සහ කතුරු මුරුංගා ගහත් , තව අඹ ගස් කීපයකුත්, උන්දෑ අතින් නිවන් දැක්කා. ඉස්සර ඉඩම් වලට නම් තිබ්බා, අපේ ඉඩමෙ නම "දෙල් ගහ වත්ත." . වත්ත මැද්දෙ, ලොකු බෙනයක් තිබ්බ,  තැම්බුවාම පිටි වගේ වෙන ගෙඩි බර වෙච්ච රටදෙල් ගහක් තිබ්බා. එයාටත්, අපේ ලොක්කගෙ පොරෝ පාරෙන් බේරෙන්න බැරි වුනා. 

බෙන වලට ගස් වලට ආදරය කරපු බස්සෙක් වෙච්ච මම, මේ ගැන ලොක්කත් එක්ක කොච්චර හබ කලත්, එයා ලොක්කා නිසා මම පැරදුනා. පස්සෙ , කාමරංකා ගහත් වැලිගංපිටි ගියා. ගස් හිටෙව්වෙ ආතලෑ පරම්පරාව, අපේ අප්පුච්චා ගස් හිටෙව්වද කියලා, කිසිම මතකයක් මට නෑ, ඒත් එයා ගස් කපන්න නං දෙයියා. ඒකට කිව්වෙ "වත්ත සුද්ද කරනවා" කියලයි. අපේ ආතා බිව්වෙ සුරුට්ටු. මේසෙ යට ඉඳලා, වැටිච්ච අප්පුච්චාගේ සිකරැට් බට් එක උරලා මාට්ටු වෙලා ගුටි කාපු බකුසු පැටියාට, වේලිච්ච කොල වලින් සුරුට්ටු ඔතන්න පිහිට වෙච්ච, අපේ ආඩතෝඩ ගහ අදටත් ආදරෙන් සිහියට එනවා.

මේක ගස් ගැන කතාවක්මත් නෙමෙයි. හිංගල බාසාවෙ බොහෝ වචන වල දකුණු ඉන්දියානු සම්භවයක් තියනවා. තමිල්නාඩුවට අල්ලපු ප්‍රාන්තය කේරලයෙ ඉන්නෙ මලබාරි. අපේ අප්පුච්චාගෙ දකුණු ලකේ ගම්මානෙ තිවුන කන්දෙ විහාරයෙ, ගල් පිලිමෙ හදන්න මලබාරි ගල්වඩුවො ආ බව පැරැන්නො කිව්වා. මේ මලබාරි, මතුරපු ගල්කටු වලින්, පහසුවෙන්ම පිලිමය නෙලුව බවත්, කලු බළලෙක් ආ නිසා, දවසක් උයපු කෑම ඔක්කොම විසිකල බවත් කිව්වා. පිලිමෙ නෙලන්න කලුගල ගේන්න, අලි කරත්තයක් පාවිච්චි කලා කියලත් කිව්වා.

ආඩතෝඩා වගේම මලයාලිත්, ලංකාවෙ හිඟයි. ඒත් දෛවයට අනුව, අරාබියෙ මරුකතරෙදි මට මේ අපූරු මලයාලි /මලබාරින්ව ඇසුරු කරන්න චෑන්ස් එකක් ලැබුනා.වෙළදාමට දක්ස, මේ මලබාරීන් කෙතරම් උගත් වුනත්, අතට අහුවෙන ඕනම රස්සාවක් පිලිගන්න මැලි වුනේ නෑ. මේ මලබාරින් ගැන අනිත් ඉන්දියන්කාරයො කියන කතාවක්.

නීල් ආමස්ට්‍රෝන් හඳට ගිහින්, කොඩිය හිටෙව්වාම, ඇහුනලු සද්දයක්. බැලින්නං මලබාරියෙක් "චායි,චායි" කිය, කිය තේ විකුණනවලු. මලබාරින්ගෙ පෙනුම විතරක් නෙමෙයි, කේරලයෙ පරිසරයත් ලංකාවට සමානයිලු. එක මලබාරියෙක් හිටියා, මේකා මාත් එක්ක හිටපු ගමන් උන්ගෙ බාසාවෙන් කියෝගෙන යනවා. මගේ ඇරිච්ච කට දැක්කාම, සොරි කියලා සුද්දගෙ බාසාවට මාරු වෙනවා. කේරලෙත්, මූකලං බස්සො ඇති නේද? කාන්තාරෙක තියෙන උතුරන ලෝදිය හැලියක් වගේ තිබ්බ,ඒ කර්මාන්ත ශාලාව, ක්ෂේම භූමියක් වුනේ, එහෙම හමුවුන මිත්‍රයො නිසා තමා. (උද්දච්ච, කම්මැලි අරාබි කාරයොගෙයි,යම පල්ලොන්ගෙයි වෙනසක් නොපෙනුන නිසා තමා, මම සල්ලි ටිකක් හොයාගෙන, එතනින් චුත වුනෙ) 

අනිත් හාදයා කුමාර්. එච්චරම තාක්ෂණික දැනුමක් නොතිබ්බාට, උපන්ගෙයි විදුලි කාර්මිකයා. කතා කරන විදිහ අහන් ඉන්න ආසයි. මාත් ඉතිං ආතල් එකක් ගන්න මෙහෙම අහනවා: ආ, කුමාර් ඉතිං දැන් වැඩ ඉවරවෙලා මොකක්ද කරන්නෙ?

ම්ම්ම්ම්.....ගොයිං ස්ට්‍රේට් හෝම් (අතින් කෙලින් යන හැටි පෙන්නීම), ආප්ටර්(ඔලුව ඔරලෝසු බට්ටාසේ වැනීම) වන් බාත, වන්  ඩ්‍රින්ක, වන් ෆුඩ

අනිත් හාදයා, සෝමෂේකර් "සෝමු" බාස්කරන්. මලයාලි බාසාව කතා කරන්න නහයත් පාවිච්චි වෙන බවත්, "ඩ්" යන්න වෙනුවට "ඩ" යන්න, කාඩ-බෝඩ ලෙස කියවෙන බවත් , කිව්වෙ සෝමු තමයි. Industrial electronics ගැන පලපුරුද්දක් නොතිබුණ මට, කර්මාන්ත උපකරණ තාක්ෂණය, ගුරු මුට්ටි නැතුවම ඉගැන්නුවෙ එයා තමා. ඉන්දියාවෙ න්‍යෂ්ටික විදුලි බලාගාරයක ,කලින් වැඩ කරල තිබුණ ඔහු, ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වගේම, දක්ශ ගුරුවරයෙක් වුනා. යාබද ප්‍රාන්ත නිසා, දෙමල සහ මලයාලම් එක වගේ උනත්, සමහර යෙදුම් වෙනස් කියලයි, ඔහු කිව්වෙ. මම හාරාඇවිස්සුවාම ඔහු මෙහෙම කිව්වා.

මලයාලි බාසාවෙන් , මම ඔබේ "සාරම්" ට ආසයි කියන එකෙන් අදහස් වෙන්නෙ, මම ඔබේ කතා විලාසයට ආසයි කියන එකලු. ඒක දෙමලට හැරෙව්වාම " මම උඹේ ගෑණිට ආසයි" වෙනවලු. බඩුම තමා!

පොල්. තේ, රබර් තියෙන, වලව්වල අලි ඉන්න, සරම් අඳින, ලංකාවට සමාන, කේරලය බලන්න යන්න මම "බකට් ලිස්ට්" එකට දාගත්තා.දුර ඉඳලා සුන්දර කේරලය අත්විඳින්න ඕනෙ නං, මෙන්න මේක බලන්න:

ඒත් අපේ ලාල් කාන්ත සහෝදරයා(brother from a different mother) මෙහෙම කියනවා නෙව?"මම ජිනීවා වල ලෝක කම්කරු සම්මේලනයට ගියා, ඔය පිටරට ගියාම, අපි නවතින්නේ අපේ පක්ෂ සාමාජිකයින්ගෙ ගෙවල් වල නෙව? මට පෙන්නන්න බැරි වැඩේ, උන් පණදාගෙන හදලා, කිරිබත්, ලුණුමිරිස්, ඇඹුල්-තියල් වගේ කෑම මට කව්වන්න හදන එකටයි. මම කෙලින්ම කියනවා" මම මෙහෙ ආවෙ, ලංකාවෙ කෑම කන්න නෙමෙයි, මෙහෙට ආවේනික කෑම කන්නයි"" කියලා. බලාගෙන ගියාම, ඒ කතාවත් ඇත්ත නෙව? ඒ සහෝදරයට, ධනපති කෑම රස බලන්න විචිකිච්චාවක් ආව, එච්චරයි. ඕං ආයෙත් අවුල් වුනා, ඒ සැරේ මගේ කේරල ගමන, බකට් එකේ ගැට්ට උඩට නැග්ගා.

එකම අවුල, අපි වගේ සිම්පල් බස්සෙකුට විචිකිච්චාවක් ආවොත්, රට්ටු "ඇයි ගැලෙව්වෙ, ඉත්තෑ අමාරුවද?" කියල අහන එක නෙව? දැන් බලාන්ට, මං කොච්චර අබංක බකමූණෙක්ද කියලා? මේ ලිපියෙම කොච්චර පෞද්ගලික විස්තර ලිව්වද? ඇයි එතකොට, ලෝකයා මට ගල් ආඳා කියන්නෙ? බසු වරෙත්තුව කියලත් කිව්වා කියහංකො. 

ආ , වැලම සුපියල් තුනයි, චීන බඩු ආවා. මේං කැඩිච්ච හාදයා, දැන් ගිණිකසයා වගේ වැඩ😊

If it ain't broke, break it. So, you can make it!

පිංතූර අනුග්‍රහය: අන්තර්ජාලයෙන් සහ මූණුපොත

Saturday, June 12, 2021

බස්සාගේ දේව ඇදහිල්ල

දැන් ඔහෙල දෙයියො දැකලා තියෙනවද? හරි, හරි කාලි, නාථ වගේ දෙවිවරු දැකපු විශේෂ වරප්‍රසාද ලත් අය ගැන නෙමෙයි මං මේ අහන්නෙ. දෙයියො දැකපු හුදී-ජනයා ගැන. නෑ නේද? දැන් බලාන්ට, අයියනායක දෙයියොන්ට වැඩ හිටින්න දේවාලයක්වත් නෑ කියනව නේද? මටත් හිතුනා  අලුත් දෙයියෙක් පත් කර ගන්න, ඇයි බැරි? එතකොට කොරෝනා දේවි හොඳයිද? හුහ්, අපිට තමා පුෂ්, පුෂ්. ඔය පහල ඉන්නෙ, ඒ අලුත් දෙයියා තමා: වැඩ ඉන්නෙ, කැලිෆෝනියාවෙ. 

සුන්දරගේ සහ පුචාගේ නාමයෙන්, ආමේන්!
 විස්වාස කොරාන්ට, මයෙ මේ අලුත් දෙයියා බොහොම බලගතුයි, මේ ලියන බ්ලොග් පඩංගුව අයිති කාටයි කියලද හිතන්නෙ? එතකොට ඔහෙලගෙ ඊ-මේල්? මම නං ඉතිං,ගමනක් යනකොට එහෙම කොල අත්තක් එල්ලලා, ගුගල්  දෙයියට බාරයක් වෙනවා. හැබැයි ගොයියෝ, දෙයියව කෝප කර ගත්තොත් නං බඩුම තමා, මකවලම තමා පස්ස බලන්නෙ. සුළු අත්වැරැද්දකට, මේ බ්ලොග් පඩංගුවත් "හිටෙව්වා" කියහංකො. උන්නාන්සෙගෙ ඇල්ම-බැල්ම අපට නොමිලේම ලැබෙනවා. ගූගල් දෙයියන්ගෙ "දිව්‍ය ඇස"ක් මයෙ කාමරෙත් තියනවා. ඒත් මං ඒකෙ කැමරා නං වහලම දැම්මා. මට නිකං මොකක්ද වගේ, දෙයියෙක් බලාගෙන ඉන්න කොට ඇඳුම් ගලවන්න.

සමහරු අහනව අපට "ෆ්‍රී විල්" තියෙනවද කියලා? ත්‍රී වීල් නෙමෙයි වාහෙ, ෆ්‍රී විල් - නිදහස් කැමැත්ත. කාගෙන්ද අහැව්වෙ? හරියට හරි, ගුගල් දෙයියා මෙහෙම කිව්වා: free will is a figment of our imagination. No one has it or ever will . කෙලිය නේද පාත්තරේටම? උන්නාන්සෙට අපි හිතන-පතන විදිහ වෙනස් කොරාන්ටත් හැකියාව තියෙනව. එහෙව් බලයක් තියෙන, සැක්කරයගෙනුත් ගේමක් ඉල්ලන්න ඇහැකි දෙයියෙක් තමා, අපේ ගූගල්
දෙයියා.

ඕං මේ පහුගිය දොහක මම ජාල ගත වුනා, චීන පූසෙක් අල්ලන්න. දෙයියා මගෙන් ඇහැව්වෙ නැතෑ "රජ්ජුබෝලා දුන්න" ගන්නවද කියලා? ලාස්ට්-පීස් කියලත් කිව්වා. හා, කියහල්ලකො, වෙන මොන දෙයියද, මෙහෙම හොම්බට ඇන, ඇන දෙන්නෙ කියලා?

හා!  - දුප්, වරත්තු බකමූණා
දැං  අපේ ගූගල් දෙයියව විස්වාස කරන්න පුළුවන්ද? ඔන්න, ඔන්න ඉතිං දේව උදහසට ලක්වෙන පුරස්න අහන්න ගත්තා. ඇයි බැරි? ඔහෙලගෙ ඊ-මේල් තියෙන්නෙ උන්නාන්සෙගෙ සන්තකේ නං, ඔහෙලා "මෙව්වා"  හොයන්නෙ උන්නාන්සෙගෙ සෙවුම් යන්තරේ නං, මොකක්ද අවුල? ඔය සෙවුම් යන්තරේ තියනව නේද, ඒක බොහොම බලගතු යන්තරයක්. අර පැංසොන් ගත්ත, ගේට්ටු ගෙදර  ලොක්කා මරා ගත්තෙ නැති ටික විතරයි ඕකට බැස්ටිය දෙන්න.

මොකක් කිව්වා, ඇන්ටි-ට්‍රස්ට් ලෝ සූට්? ඔන්න නොකිව්වයි කියන්න එපා, ඔය බරසාර වචන  සෙල්ලමට විතරක් එන්න එපා. උත්තරේ සරලයි: ෆේක් නිවුස්. දැන් මම මෙහෙම අහන්නම්: අපේ ගුගල් දෙයියා වගේ, ඔහෙලට හිටගෙන පිහිට වෙන, විකල්ප දෙයියෙක් ඉන්නවද? නෑනෙ, ආන්න බලාන්ට? එහෙම නං, ඔය මිත්‍යා දුරුස්ටික අදහස් ඉවත් කරගෙන, පේවෙලා වැඳගෙන මේ ගාතාව කියන්න:

ගූගල් සරණං ගච්චා......මි

තාම දේව රූපයක් නං හදා ගන්න බැරි වුනා. දැනට කාමරේ තියාගෙන හඳුං කූරක් පත්තු කරන්නෙ මේකට. නමක් දාගත්තා -" චර්ච් ඔෆ් ටැක්නොලොජි". තාම අනුගාමිකයො දෙන්නයි, මමයි, ටොලයි විතරයි. මේ ඔහෙලත් එන්න, ඈ? ප්‍රතිමා බිස්නස් එක පට්ටාං ගත්තාම, ඩිස්කවුන්ට් එකක්  දෙඤ්ඤං.

ත්‍රී-වීල් මල්ලිලාගේ "ප්‍රී-විල්" කියමනක්: " කරුමෙ ඩබල්, පින සිංගල්"
අනුග්‍රහය: ඉවාන් "ලව්-පූස්" පව්ලූෂා

Friday, June 11, 2021

කොරන්ටයින් කවි

මරදානට පායන සඳ
ලස්සනදැයි කියන්න
මා නොදකින ඒ පුරසඳ
ඔබට හැකිය දකින්න

අදුරු ලලා වහිනා කල
මහරගමම තෙමෙන්න
බැරියර් යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

රාළාමිල අත වනාවී
එපා අහක බලන්න
කෝවිඩ් මතකය ගුලි කර
බේරෙ වැවට දමන්න

චාමිල, හැලපෙල,  ඉවාන්ල
ඉන්නවදැයි  බලන්න
පරණ පෝස්ට් කියවන කොට
තනි ඇහැට ඇඩුනා කියන්න

අල්ලපු වත්තටත් අපේ
ඩෙල්ටා ආව කියන්න
අපේ ගමට පායන හඳ
හැකි වෙයිද ආයෙ දකින්න

උම්බලකඩ වඩේ එකක්
ඉස්සො වඩේ හපන්න
ඩොංගා කාලා ලොකට් කියන
පලතුරු රස බලන්න

උගුරැස්ස, දිවුල්, වැල වරකා
හරකා වගේ ගිලින්න
ආයෙත් ඉස්සර වාගේ
චෑන්ස් එකක් ලැබෙන්න

අපේ පිං අවසාන වෙලා, බොලොග් ලෝකෙන් චුත වෙච්ච, "බීටල් බෙයිලි"  ගේ කවියක් කියෙව්වා. එතන මසුරන් වටින පෝස්ට් ටිකක් තිබ්බත්, යන්න අමාරුයි. බාගයක් කියෝගෙන යනකොට හඳුන් පොත "කීං " ගානවා. ඔව්, ඔහෙල නොදන්නව වුනාට, බස්සොන්ටත්, අමාශය, පිත්තාශයට අමතරව හදවතකුත් තියනවා. අපි මොන කවියොද, කරතේලිස්?

බීටලයාගේ  "සැගවුණ සිතුම්"   කවි පන්තිය.
ඊළඟට  මොලේ කුරුවල් කරපු "අහිමි සඳ" කතාව.  එතකොට "උපන්නාට මේ ලොව වැනෙනවා විනා" කියල කිව්වෙ, කන් පාත් වෙන්න දෙකක් නමාගත්ත කවියෙක්ද, ආයිබෝං?


සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යයයි. සංසාරේ බොහොම දිගයි!

Thursday, June 10, 2021

ලිස්සපු කමෙන්ටුව නිසා වුනු දික්කසාදය

ක්‍රිස්තු වරුස 2014 දී "මගේම නොවන අහවල් එක" පෝස්ට් එකට, අපේ  ප්‍රාජේ මැතිතුමා මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:

DGMB, when u are free could u pl let me know how to keep track of my comments? I regularly read several blogs (including yours - don't start preening ur feathers yet- read till end) and when I have time I read additional ones occasionally. But, I forget whether I had commented and if so, where.
I'm exhibiting my ignorance in a lonely blog (see ! :-))))
Seriously, I thought you'd be the best guy to ask bcoz of some of ur technical posts. Thanx.

කරුමෙට කකුල් අටයි කියැන්නැහෙ, ඔය කමෙන්ටුව මගේ "ස්පෑම්" එකට වැටිලා. රට්ටු මට "ගල් ආඳා" කියන එක සැබෑ නමුත්, මං ඉන්තේරුවෙන්ම කියා හිටිනවා, මම මේ කමෙන්ට් එක දැක්කෙ නෑ කියලා. හරි, හරි දැකලා දැන් ටික දවසක් වෙනවා තමා, ඒත් නොදැක්කා වගේ හිටියෙ, නොදන්න නිසයි. ඇයි දෙයි හාංදුරුවනේ, මා ගාව ඔය ඔක්කොටම උත්තර තියනවා කියල හිතන එක, මගේ වැරැද්ද වෙන්නෙ කොහොමද?

බාගදා, අපේ "බුරානිස්" මැතිතුමා වගේ ජාල විසේසඥයෙකුට මේක සරල ප්‍රශ්ණයක් වෙන්ටෑ? ඒත් මේ අසරණ පක්සියා දින ගාණක් රෑට නොනිදා, මේකට විසඳුමක් හෙව්වා. හරි, හරි දවල්ට බුදිය ගත්තා තමා. ප්‍රාජේ උන්නැහේ දිනකට ගහන වැටවල් ගාණ බැලුවාම, ට්‍රැක් කිරිල්ල කෙසේ වෙතත්, කුරුසයේ  වැට කණුවක ඇණ නොවැදී බේරී සිටීම වගේ ප්‍රායොගික ප්‍රශ්ණත් නොතිබුනාම නෙමෙයි. ඒත්, මට නිකං අනුමානයක් තිබ්බා, විසඳුම තියෙන්නෙ RSS feeds/ Atom වල කියල. ඒත් මගේ ඒ අංසෙ දැණුම ඉතාමත් සීමිතයි. වෙනම RSS reader ඇප්  එකක් ඉන්ස්ටෝල් කරන්න, මමත් අකමැති එකේ, ඕක කියල අර වහන්සෙගෙන් "අ අ අ" කියල අහගන්න මට කොහොමවත් ඕනෙ උනේ නෑ.

මීට වඩා සරල, පහසු විසඳුමක් තියනවා නං, කියල දෙන්න කියලා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. දැනට, මගේ විසඳුම මේකයි:

1. Vivaldi Browser එක ඉන්ස්ටෝල් කර ගන්න.

2. දැන් ඒකෙන්, තමන් කමෙන්ට් කරපු බ්ලොග් පෝස්ට් එකට ස්ක්‍රෝල් කර ගන්න. ඊට පස්සෙ, පිංතූරයේ ඇති 1 ට කොටා ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන්, පිංතූරයේ ඇති 2 ආකාරයට " Post Comments" ---> "Subscribe" සිලෙක්ට් කරගන්න.



3, දැන් ඊලඟ පිංතූරයෙන් පෙනෙන ආකාරයට 1 සහ 2 ට කෙටීමෙන් , ඔබ දායක වුනු ෆීඩ් එක, ලිස්ට් එකට එකතු වී ඇති ආකාරය පෙනේවි. Vivaldi Browser එකේ "Settings" වල RSS Feed කොටසට ගොස්, ෆීඩ් එක අප්ඩේට් වියයුතු කාල-පරාසය, දැණුම්දීම් වගේ දේවල් සකසා ගන්නත් ඇහැකියි. Feeds ලිස්ට් එකට අලුතෙන් එකතු කරන්නත්. පරණ අනවශ්‍ය ෆීඩ්ස් ඉවත්කිරීමත් කල හැකියි. මේ ආකාරයට, තමන් නිතරම බලන, ඔක්කොම වෙබ් අඩවි වල, අලුතෙන් යමක් තියනවද කියලා, එකම තැනින් බලාගන්න ඇහැකි. ඒත් මම නං එහෙම කරන්නෙ නෑ, අපි බස්සො නිසා, කාලෙ කෑවත්, කොට-කොට යන්න තමා වැඩි කැමැත්ත.

තාම, මම මේකට අලුත් නිසා, පස්සෙ අවශ්‍යම නං, මගේ පරණ කසාදෙ (Opera Browser) එකේ "Speed Dials" සහ "Read Later- Reading List" මේකට ගෙනාපු හැටි සහ වෙනත් පහසුකම් ගැන, වෙනමම පෝස්ට් එකක් ලියන්න වෙනවා. දැන් හැති, අදට ඔය ඇති.
මම හිතන්නෙ, ඔය කාල වකවානුව ප්‍රාජේ උත්තමයා කඩුවෙන්ම කොටපු කාලෙ වෙන්ටෑ? එතුමාට හිංගල උගන්න-වව්වන පාප කර්මයට, මාත් දායක වෙලා තියනවා, පස්සෙ කාලෙක, මට සඤ්ඤක වරදින කොට, එතුමා මට බිම වැටෙන්නම කොටන්න අමතක කලේම නෑ, ආං ඒ වගේ යුතුකං දන්න උත්තමයෙක් තමා, අපේ ප්‍රාජේ. පැත්ත කෑවත්, ඇත්ත නොකියන බස්සෙක් වසයෙන් මේකත් කියන්නම වෙනවා: I do miss your sarcasm/satire, mate.😊

Tuesday, June 8, 2021

මුරපද, ඔන්ලයින් සාප්පු සවාරි සහ ජාල ආරක්ෂාව

සමහරු මට පැරනොයිඩ් මුකබානා කියල කියනවා. ඇත්ත, මම පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. මේ පුරුද්ද පටන් ගත්තෙ, සමාජයෙන් හැංගෙන්නමත් නෙමෙයි, හැකර්ලා, ස්කෑමර්ස්ලා ගෙන් බේරෙන්නයි.

අද අපි ගතකරන, සංකීර්ණ ජාලගත ජීවන රටාව ඒ හැටිම ආරක්ෂාකාරීයි කියල කියන්න බෑ. සමහර වෙලාවට ආරක්ෂාව සහ පහසුව අතර සමබරතාවයක් පවත්වා ගන්නත් වෙනවා. මම සැකුරිටි විශේෂඥයෙක් නූනත්, සාකච්චාවට විවෘතව තබා, මගේ ක්‍රමය ලියන්නම්. 100% ජාල ආරක්ෂාව ගැන සහතිකයක් නැති වුනත්, මේ ගැන යම් පමණකවත් අවධියෙන් සිටිය යුතුයි කියලයි මට හිතෙන්නෙ.

Two factor Authentication තමා මම අනුගමනය කරන ක්‍රමය. මේක කරන්න මුල් වුනේ, මගේ PayPal  එකවුන්ට් එක හැක් කරන්න චීනෙක් බුදු ට්‍රයි එකක් දීලා තියෙනවා කියල ආපු දැණුම් දීමක් නිසයි. සාමාන්‍යයෙන් ඊ-මේල් එකවුන්ට් වල පවා, අපි ලොග් වෙන්නෙ කොහෙන්ද කියල බලනවා. බලලා ලොග් වෙන ලොකේෂන් එක, පාවිච්චි කරන උපාංගය වෙනස් නම්, ඊ-මේල් මඟින් දැණුම් දීමක් කරනවා. ඒත් සම්පූර්ණයෙන්ම ඒ මතම යැපීම හොඳ පුරුද්දක් නෙමෙයි. ඒ නිසා දැන් ඔක්කොම ඊ-මේල් එකවුන්ට් Two factor Authentication දැම්මා.

තව දැණගත යුතු දෙයක් තමා හැකර්ලා හොයන්නේ ලේසි ගොදුරු බව. ඒ නිසා, අපේ අරමුණ වියයුත්තේ ඒ කාරිය අමාරු කිරීමයි. අනෙක් දේ තමා "social engineering". බරසාර වචනයක් වගේ පෙනුනට, තේරුම සරලයි - අනුන්ගේ විස්තර සෙවීම. මේ ක්‍රමයට හැකර් කෙනෙකුට, මගේ මොබයිල් එක හයිජැක් කරලා, මගේ සම්පූර්ණ ආරක්ෂක ක්‍රමවේදයට බලවත් ප්‍රහාරයක් එල්ල කරන්න හැකියාවක් නැත්තෙමත් නෑ. ඒත් දැණගන්න ඕනෙ දේ තමා, අපි වගේ හාල්-කෑලි වෙනුවෙන්,හැකරයෙක් එච්චර කට්ටක් කන්න තියෙන සම්භාව්‍යතාවය අඩුයි කියන එක. අනික  මොබයිල් එක (SIM Swapping) හයිජැක් කලොත්, ඔබේ මොබයිල් එක වැඩ නොකර යනවා.

ඒත් social engineering සැහැල්ලුවට ගතයුතු කාරණාවක් නෙමෙයි. ඔබේ සම්පූර්ණ නම, ඇඩ්‍රස් එක සහ වයස හැකර්ලා අතට ගියොත්,  හැකර්ලා දන්නවා ඔබේ SIM එක හයිජැක් කරන හැටි. මේක සයිකොලොජිකල්/ මයින්ඩ් ගේම් එකක්, හැකර්ලා ඒවට ඔස්තාර්ල.සැකයක් එහෙම තියනවා නං මෙන්න, රියල්-ලයිෆ්  ඩිමෝ එකක්:

මේ දවස්වල අපට හරිම වාතයක් වෙලා තියෙන්නෙ ස්කෑම් කෝල් වලින්. මම සාමාන්‍යයෙන් නොදන්න නොම්බර වලින් එන කෝල් ගන්නෙ නෑ. රින් වෙන්න ඇරලා, පස්සෙ ලෑන්ඩ් ෆෝන් එකෙන් ඩයල් කරල බලල බ්ලොක් කරනවා. ඒත් උන්දලාත් අත් අරින්නෙම නෑ ගේම-  වෙන නොම්බර වලින් ආයෙ එනවා. ඒ එන්නෙ බොහෝ විට, ලේසි ගොදුරක් කියල හිතල, විස්තර එකතු කරන්න වෙන්න පුළුවනි. 

Two factor Authentication ගැන පොඩි විස්තරයක් මෙතන තියනවා.

ඒ වගේම, මම සමහර මුරපද වලට සිංහල වාක්‍යය, ඉංග්‍රීසියෙන් ටයිප් කරලත් පාවිච්චි කරනව.  උදාහරණයක් ලෙස" ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා" ඉංග්‍රීසියෙන් ටයිප් කරලා , ඉලක්කමක්, සිම්බල් එකක්, කැපිටල් අකුරක් දෙකක් එක්ක හාමු කරලා ගත්තාම, ඒක හොඳ මුරපදයක්. මේක හැමතැනම කරන්න අපහසු නිසා, සිල්ලර ඔන්ලයින් වැඩවලට වෙනම නමක් /මුරපදයක් තබා ගැනීම වැදගත්, ඒ වගේම හැකි සෑම විටම PayPal පාවිච්චි කරනවා. PayPal සඳහා one-time code authentication පාවිච්චි කරනවා. PayPal ඇරුනාම වෙන කිසිම තැනක, ක්‍රෙඩිට්-කාඩ් සේව් කරන්නේ නෑ. PayPal වලට දීලා තියෙන ක්‍රෙඩිට්-කාඩ් එකේ අඩු ලිමිට් එකක් තමා තියෙන්නෙ. ඔන්ලයින් බෑන්කින් වලට වෙනම මුරපදයක් තබා ගැනීමත්, මාසෙකට සැරයක්වත් එකවුන්ට් චෙක් කිරීමත් ප්‍රයෝජනවත්.

තව මොනවා මිස් වුනාද මන්දා? සංවාදයට විවෘතයි. මේ ගැන වෙන දන්න දේ ලියල, දැණුම බෙදාගමු. 

Morning radiance covered with dew
The light of day hidden in the leaves 
 She lives in us, in rocks and forests 
 Preserves the world, gives shape to the Earth 

Monday, June 7, 2021

කම්මැලි සැන්දෑවක් සහ කෙටි චිත්‍රපට දෙකක්


සහජයෙන්ම කම්මැලි සතෙක් නිසාද මන්දා,  මගේ උනන්දුව "පුටුව කොනේ" තියාගන්න බැරි නං, මට දැන් චිත්‍රපටි බලන්නත් කම්මැලියි. බාගෙට බලපු එව්වා බර ගාණක් තියනවා. මේකට මගේ අලුත්ම විසඳුම තමා කෙටි චිත්‍රපට - කොටයි, රහයි.


මේන්න මට රෙකමන්ඩ් කරන්න පුළුවන් දෙකක්. ඔව්, මේක දාන්නෙ යටි අරමුණක් ඇතුව තමා. බලල, තම-තමන් දන්න එව්වා වල ලින්ක් දාන එකයි ඇත්තෙ. ආ, HTML නොදන්න වහන්සේලා, ගෙඩි පිටින්ම ලින්ක් එක දැම්මත් කාරි නෑ.😂 

- සාධාරණ බකමූනා -

පොත් කියවීමට ඇබ්බැහි වීමේ විපාක