Saturday, May 20, 2023

මීයා මලා


මගේ ප්‍රියතම නැට්ට සහිත මීයා  මලා. වසර දෙකහමාරක් කියන්නෙ මීයෙකුට ඒ හැටි වයසක් වෙන්න බෑ නේද? වම් කකුලෙ තමා ලෙඩේ ආවෙ. එකක් කෙටුවාම, දෙකක් වදින්න ගත්තා. මට මුලින් තේරුනේ නැහැ, ඇයි බ්‍රව්සරේ පිස්සු කෙලින්නෙ කියලා. පස්සෙ ඔන්ලයින් "ක්ලික් කවුන්ටර්" එකක් පිහිටෙන් ලෙඩා මවුසා කියල තහවුරු කර ගත්තා.

ඊළඟ පියවර

දැන් මෙහෙම එකක් වුනාම, සාමාන්‍ය බකුසු ප්‍රොටෝකොල් එක මීයා මස් කරන එකයි. ගූගල්ගෙන් ඇහැව්වාම කිව්වෙ, මයික්‍රො ස්විච් එක මාරු කරන්න කියලයි. ඒක පිලිගන්න ඇහැකි, ලොජිකල් තර්කයක් කියල හිතෙනවා. කොන්ටැක්ට් ක්ලිනර් වලින් මයික්‍රො ස්විච් එක ක්ලීන් කිරීම වගේ විසඳුම්, බොහෝ විට තාවකාලික වෙන්න ඉඩ තියනවා. මිඩ් රේන්ජ් මීයෙක් වෙච්ච, මේ Logitech MX518 වැනි මීයෙක්, අකාලයේ අභාවප්‍රාප්ත වීම, කලකිරෙන සුලු හේතුවක්. ඒ නිසාම, ඕන පාං බාගයක් කියලා, චීනෙන්ම මයික්‍රො ස්විච් පහක්ම දෙකයි පනහයි ඕඩරයක් දැම්මා.

සහයට ඩැනී - G 305

හවුස් බස්තියන් වල මීයන්ගෙන්  හිඟයක් නෑ. බකුසා, සේල් කාක්කා. ඩීල් එකක් දැක්ක ගමන් කොටන්නෙ උඩ පැනලා. එහෙම ගත්ත ඩීල් මීයෙක් තමා දැනට පාවිච්චියට ගත්තෙ . දෙවනි පිංතූරෙ නැට්ට කොටාට හේත්තුව දාගෙන ඉන්නෙ ඒකා තමයි. ඒත් මගේ පරණ නැට්ට ඇති මීයාව මිස් වෙනවා. ලොගො එකේ සායම යනකං, අපි දෙන්නා එක්ක කොච්චර කොටන්න ඇද්ද? හිටින්, චීන බඩු ආපු ගමන් මම උඹව ගොඩ දානවා.

බ්ලොග් ලෝකේ සැරිසැරුවේ අපි එකට
වැටක් ගහල ලිස්සුවෙ බං අපි එලට
ලෝගෝ එකේ සායං ගියෙ මගෙ අතට
ඇයි මස්සිනේ , ටෝ මැරුනේ අකාලෙට

කඩවුනු පොරොන්දුව

තව මීයෙක් ( Logitech touch T400) : අනේ පලයං බස්සො යන්න. උඹ ඔහොමම තමයි මටත් කිව්වෙ. දැං බලපං, මාව වලදාලා අවුරුදු කීයක්ද? කෝ හැදුවද? 

ඔහෙලට කියන්න, වැඩි විච්චූරණ නැතුවට, ඔය T400 හරි අපූරු මවුසා. ස්ක්‍රෝල් වීල් එක වෙනුවට තියෙන්නෙ ටච් ස්ට්‍රිප් එකක්. මම ගොඩගන්න උත්සාහ කලා. ඒත් වැඩේ ජෝන් බාස්ට ගියා. 

වෑල්ඩිං බාස්

අපි හැමෝම හිතනවා මෙහෙම: අපෝ soldering මහ කජ්ජක්ද? ගත්තා බවුත් එකයි, ඊයම් රෝලයි. රත්කලා එබුවා , එච්චරයි නෙව?

මාත් හිතුවෙ එහෙමම තමයි. ඒත් micro soldering ඊට වඩා අමාරුයි. මවුසගෙ PCB එකේ තියනවා තඩි ground plane එකක්. ඒ නිසා හොඳ heating mass එකක් තියෙන, ටිකක් හොඳ බවුත් එකක් ඕනෙ. හොඳ බවුත් එකක් ඕනෙ, ground plane උරා ගන්න තාපය, ඉක්මනට සමතුලිත කරන්න. ඕනවට වඩා බවුත් එක රත් කරලා ඒ වැඩේ කරන්න බෑ, වැඩි රස්නෙට PCB pad ගැලවෙනවා.

අනික ඔය කාලෙ, මම soldering වල wetting action එකේ වටිනාකම දැනගෙන හිටියෙ නෑ. කතාවට කියනවා, ආධුනික සහ පලපුරුදු පාස්සන්නන් අතර වෙනස flux කියලා. ඊයම් වාතය නිරාවරණය වෙලා තත්පර ගානක් ඇතුලත, වාතයේ ඔක්සිජන් එක්ක ක්‍රියාකරල ඔක්සයිඩ ස්ථරයක් හදනවා. මේ ඔක්සයිඩ ස්ථරය තාප සන්නයනය බ්ලොක් කරනවා. පාස්සන කොට, ජොයින්ට් එක  flux වලින් නාවන්න ඕනෙ ඒක වලක්වගන්නයි.  

බොහෝ ඊයම් රෝල් වල එන කම්බිය ඇතුලෙ flux ටිකක් තියනවා. බොහෝ අය හිතනවා, ඒ මඳෑ කියල. තව අය රත් වෙච්ච බවුත් එක flux ටින් එකේ ඔබල ගත්තාම ඇති හිතනවා.  ඒ එකක්වත් හරි ක්‍රමය නෙමෙයි. මොකද, පෑස්සිල්ල වෙනකොට flux වාෂ්ප වෙලා ඉවරයි. ඇත්තටම පෑස්සිල්ල වෙන්න ඕනෙ, flux දියරය ඇතුලෙ. එතකොට තමයි, ඩ්‍රයි ජොයින්ට් නැති වෙන්නෙ. ඊයම් සහ තඹ අතර සීමාවෙ, මිශ්‍ර ලෝහයක් හැදිලා, බන්ධනය ශක්තිමත් වෙන්නෙ.

පාස්සන්න flux මහෝපකාරී වුනාට,පෑස්සිලෙන් පස්සෙ ඒක එහෙම තියෙන්න අරින්නත් බෑ. පෑස්සුවට පස්සෙදී, මුලදී වාතයක් වුන ඔක්සයිඩ ස්ථරය ආයෙ ඕන වෙනවා. ඒක තමයි, එක දිගටම ඊයම් ටික ඔක්සයිඩ් වෙන එක වලක්වන, ජොයින්ට් එකේ ආරක්ෂක පටලය. flux තියෙන්න ඇරියොත්, උන්දෑ වැඩ පටන් ගන්නවා - ඉස්සෙල්ලම flux, ඔක්සයිඩ පටලය කනවා, එතකොට, යටින් තියෙන ඊයම් නිරාවරණය වෙනවා. ඒක ආයෙ වාතයේ ඔක්සිජන් එක්ක ක්‍රියාකරල ඔක්සයිඩය හදනවා. ආයෙ flux ඒ පටලයත් කනවා..... 

මතක ඇතුව, අවසානයේ අයිසොප්‍රොෆයිල් දාලා ජොයින්ට් එකේ flux ඉවත් කරන්න ඕනෙ ඒ නිසයි. මෙන්න,  පෑස්සීම ගැන පොඩි වීඩියෝවක්:



වැරදුනු කුරුමාණම


ඉතිම් ඒකාලෙ බකුසා ඔව්වා දැණගෙන හිටියෙ නෑ. කොසු මිටක් අරං යුද්දෙට ගිය සොල්දාදුව වගේ ගිහින් ඇණ ගත්තා. අසරණ T400 හතර අතේ පුච්චලා, PCB එකක් අඥ්ඥකොරොස් කරලා, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ නියවන්න ගත්තා. දැන් ඔහෙලට තේරෙනවා නේද, මම නැට්ට කොටාගෙ රෙපයාර් වැඩේට පස්ස ගැහැව්වෙ ඇයි කියලා?
වැඩි දෙනෙක්, යමක් කැඩුනාම ඒක විසි කරලා අලුත් එකක් ගන්න එක නාස්තියක් හැටියට දැකපු මට, දැන් ඒ ගැනත් ආයෙ හිතන්න වෙලා තියනවා.




පස්චාත් මරණ පරීක්ෂණයක්:

ඔය ඉන්නෙ මවුසා මෝචරියෙ එම්බාම් එකට දාලා. කට කපල "ටිකිලා" සොට් එකයි දුන්නෙ, Hallelujah!  සියලු රෝග සනීපයි, ආයෙ මොනවද, බොක්සරයා පිරිත්පැන් බිව්වා වගේ තමා?

මවුසා ගැලෙව්වාම, ඇතුලෙ තිබ්බ දූවිලි බෝලෙ හැටිය, අනුමාන කරන්න ඇහැකි micro switch එකට රිංගපු ඉතා කුඩා දූවිලි අංශු, කොන්ටැක්ට් එක මත කාබනීකරණය වෙන්න ඇති කියලා. නිකං මොකටද ඉල්ලං කන්නෙ කියලා, micro switch එක නං ඇරියෙ නෑ.  micro switch එකට ඇල්කොහොල් ඉන්ජෙක්ෂන් එකක් තමයි දුන්නෙ. දැනට ආපදාවක් නෑ, ලෙඩේ සනීපයි.

ඔපරේෂන් මල්ලෙ-පොල්:


ඇත්තම රෙපයාර් එකට යන්නෙ විනාඩි 5. ඒත් මං මේ අවවාදයක් විදිහටයි කියන්නෙ, අනවශ්‍ය රිබන් කේබල් ගලවන්න නං යන්න එපා.  කරුමෙට කකුල් අටයි කියලා, කනෙක්ටරේ ප්ලාස්ටික් කෑල්ලකුත් ගලෝගත්තොත්, තව පැය බාගයක් එකතු කරගන්න, ඈ?  සාමාන්‍යයෙන් රිබන් කේබල් එකක් ගලවන්නෙ, ලොක් වෙන ප්ලාස්ටික් කෑල්ල පොඩ්ඩක් ඉස්සරහට ඇදලා. කොයි පූසිගෙ පුතාද යකෝ, ඒක පියන වගේ ඇරෙන්න ඩිසයින් කලේ? $#@*****...😡

යූ-ටියුබ් එකේ තියෙන විදිහට, ස්ටොක් Omron switch ඔය ඩබල්-ක්ලික් ලෙඩේට කුප්‍රකටයිලු. ස්ථීර විසඳුමක් විදිහට, මම ආයෙ kailh GM 2.0 ස්විච් දෙකක් ඕඩර් කලා.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)