Friday, April 30, 2021

බස්සා දුටු හීනයක්


මම කැමතියි දවල්ට බුදියන්න. හරි, හරි නිසාචර කතාව හින්දම නෙමෙයි, වෙන හේතුවක් නිසා. දවල් එක්තරා වෙලාවක බුදිය ගත්තාම, අමුතුම හීන බලන්න පුළුවන් නිසා. මේ එහෙම දැක්ක හීනයක්,

මම හිටියෙ තට්ටු දෙකේ පරණ තාලෙ ගෙදරක, උඩ තට්ටුවෙ කාමරයක. ඒ කාමරේ බැල්කනියකුත් තිබුනා. කාමරේ හිටියෙ මමයි, තව මිත්‍රයො දෙන්නෙකුයි. ඔහොම ඉන්න කොට පිටසක්වල ජීවින් තුන් දෙනෙක් ආව. උන් ආවෙ පියාඹලා. ඇවිත් මගෙ ඔලුවට ගාබේජ් බෑග් එකක් දාලා, මාව බැල්කනියට ඇදගෙන ගියා. ඒ අරං ගියේ බිමට අතෑරලා මාව මරන්න. මම බෑග් එකේ එල්ලිලා, මාව ඇදගෙන ගිය එකාව ආපහු කාමරේට ඇදගෙන ආවා, අපි දෙන්නෙක් , දෙපැත්තෙන් අල්ලලා, ඇන්නා පිටසක්වලයගෙ ඔලුව බිම. තුන්වෙනි යාළුව, අතේ තිබුණ කෝප්පෙන් පිටසක්වලයගෙ ඔලුවට එකක් පතබෑව. ඒ ජවනිකාවෙ එච්චරයි මතක.

පිටසක්වලයො රොබොල සැට් එකක් එව්වා. උනුත් ආවෙ පාවෙලා. එකෙක් ෆුට් බෝලයක් විතර ඇති. ටිකක් R2-D2 වගේ, වටේටම ලයිට් පත්තු වෙනවා. උන් කෙලින්ම ගියේ පහත මාලයේ තිබ්බ ඩිෂ්-වොෂර් එක ගාවට. ගිහින් කොටස් දෙකට බෙදිලා දෙපැත්තෙ හිට ගත්තා. ඊට පස්සෙ ඩිෂ්-වොෂර් එක ඇරලා, එක එක අරගෙන පාස් කරන්න ගත්තා. උන් හෙව්වෙ, අරූට තඩි බාපු කෝප්පෙ.

හීනෙ තව දිගයි, ඒත් අසම්පූර්ණයි, කඩින්, කඩ තමා පෙන්නුවෙ. දැන් මට තියෙන ප්‍රශ්ණෙ ඇයි අර කෝප්පෙ හෙව්වෙ කියලයි? නඩු භාණ්ඩයක් විදිහට ගන්න ද?  

Imagination - that's your creation


ඒ Netflix කස්ටියගෙ imagination එකක් -  Future of mankind in 4 minutes. හැබෑටම එහෙම වෙයිද, ඈ? ජෝ ස්කොට් නං කියන්නෙ, අපේ හිත අපට බොරු කරනව කියලයි, අනේ මන්දා!


Wednesday, April 28, 2021

විකල්ප තාක්ෂණය සහ තැපෑලෙන් ආ පූසා


 Here kitty kitty kitty- nope, not that kind of cat කියලා පෝස්ට් එකක් තිබුනෙ EEVblog Electronics Community Forum  එකේ. මේ කතා කරන්නෙ multimeter වල තියෙන CAT rating ගැන.

ඔය EEVblog  Forum එක, Electronics පිස්සොන්ට යන්න කියාපු තැන. එතන වයිවාරණ කස්ටිය ඉන්නවා. උගත් පිස්සෝ, ස්මාට් පිස්සෝ, දක්ස පිස්සෝ වගේ අය.  කොටිම්ම ඒකෙම උයන්න කැමති අයට, වෙනම කොටසක කෑම රෙසිපි පවා තියනවා. 

 හොඳම දේ, මේ අපි වගේ මඤ්ඤං පිස්සොත් ඉන්නවා.. එහෙම එකෙක්,  electric bug zapper  එකකට multimeter එක අල්ලලා, අහනවා මීටරේ මලාද කියලා? ඒක දැක්කාම මට හිනා ගියත්,  මට තේරුණා මම ආවෙ හරි තැනට කියලා. මම දැක්ක හොඳම දේ තමා, වැඩි දෙනෙක් ඒ ක්ෂේත්‍රයේ විශාරදයො වුනත්, අර නවකයට අපහාස නොකර, කියා දුන්න එක. මෙතන ඉන්නෙ යමක්-කමක් දන්න අය. ඒ නිසා යූ-ටියුබ් එකට වඩා යමක් ඉගෙන ගන්න පුළුවන්.

මගේ ප්‍රියතම යූටියුබ් ඉලෙක්ට්‍රොනික්  පස්චාත් මරණ පරීක්ෂකයෙක් තමා මේ ඉන්නෙ. 


අවුල කියන්නෙ ඔය ගැලෙව්වෙ, මගේ ගාවත් තියෙන "තැපෑලෙන් ආ චීන පූසෙක්".  නිගමනය -පූසා ෆේල්. ලාබෙට අස්පයො ගත්තාම ඔහොම වෙනව කියල, කව්දෝ කිව්වා කියලත් ලාවට වගේ මතකයි. ඉතිං, මම කිසිවකට නොසැලෙන "තාදී ගුණය" ප්‍රගුණ කලා. නෑ, නෑ මගේ චාජරෙන් "මැජික් ස්මෝක්" ආවෙ නෑ. ඒත් මම තීරණය කලා උන්දැව විශ්‍රාම යවන්න.

විකල්ප තාක්ෂණය  

චීන පූසො, ඔහෙල හිතන තරම්ම නරක නෑ. 
එකම දේ, මෙන්න මේ golden rules දෙක අනුගමනය කරන්න ඕනෙ.


1. Always go for a over-kill. අවශ්‍ය වොට් 50 නං අඩුම ගානේ වොට් 100 එකක් ගන්න.
2. තම-තමන් ගේ ආරක්ෂාව තමාම සලසා ගන්න. ඒ කියන්නෙ ආපු ගමන් සොකට් එකට ඔබන්නෙ නැතුව, ගලවල බලනව. බලන්න ඕනෙ මොනවද කියල දැන ගන්න තමා EEVblog  Forum එක ඕන වෙන්නෙ.

ඔහෙලට මතකද මන්දා, "කුසුම්පුරේ කීඩෑවෝ සහ සපත්තු ලේස් -2" පොස්ට් එකේ ලියපු USB-C  powered Soldering Iron එක ගැන. ඔව්, ඔව් RISC-V ප්‍රොසෙසර් එක තමා. නෑ ඇටැච් බාත්-රූම් එකක් නෑ, ඒත් motion sensor  එකක් නං තියනවා.

මේක පොඩි උනාට 65 වොට්ස් වෙනතෙක් දෙන්න පුළුවන් භාණ්ඩයක්. මුල ඉඳන්ම ඕනෙ වුනේ මේකට USB-C හරහා වැඩ කරවන්නයි. හේතුව සරලයි: USB power delivery protocols.

තේරෙන බාසාවෙන් කිව්වොත් චාජරෙයි,  Soldering Iron එකයි කතා කරගෙන එකඟතාවයකට එනවා, වැඩ කරන්න පුළුවන් උපරිම ධාරිතාව ගැන.

Soldering Iron: මේ හලෝ.ඔයා ගාව PD 3 තියනවද?

චාජරේ: තමුසෙට පිස්සුද ඕයි? මම ලාබ චීන පූසෙක්. QC 3 නං තියනවා. 12V  තමා උපරිම දෙන්න ඇහැකි.

Soldering Iron: හා, එවනවකො. ඒත් මට ඔහේව විස්වාස නෑ. ඉස්සෙල්ලා 5V එවලා ටික, ටික වැඩි කරලා බලමු.



මේ වැඩේට කොහොමත් මගේ ගාව තිබ්බ, ධාරිතාවෙන් අඩු චාජරේ හරි නොයන බව, ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ? අනික අඩුම ධාරාවකින්, වැඩිම ධාරිතාව ගන්න නං 20V දෙන PD 3 තියන චාජරයක් ඕනෙ වෙනවා.


ඕක ගෙන්න ගන්න කොට ෂිපින් ගෙවන්න වුනා නෙව. මම කලේ ඒකට බැර වෙන්න, ගෙන්න ගත්තා එයාලගෙම PinePower DeskTop ඒ පාර්සලේම . යැංකි සුපියල් 35  කට 120W කියන්නෙ නරක ඩීල් එකක් නෙමෙයි. අනික QC 3 යකාට ගියත් PD 3 - 20V තියෙනවා.

එකම අවුල, මේකෙ සැබෑ කොලිටිය ගැන කරපු රිවීව් හොයා ගන්න නෑ. ඒ නිසා මම ගැලෙව්වා මදේ. මෙන්න තොරණෙ විස්තරේ:






මඟුලක් අහනවා? ජැපනීස් කැපෑසිටර් තිබ්බෙ නෑ. ඇයි සුපියල් 35 ට මිලිටරි ග්‍රේඩ් කම්පෝනන්ට්ද බලාපොරොත්තු වුනේ?

වැදගත්ම එක හොඳට රබර් ඇහැ දාලා බලන එක. ඒකෙන්ම කිව්වෑකි, මේක "එපා වාහෙට හොදි බෙදන්න" වගේ කරපු ජොබ් එකක්ද නැත්ද කියලා. Dry soldering joints, Flux residue traces, ට්‍රිම් නොකර ඉතුරු කරපු නැටි,  heat sink/ bridge rectifier වලට හේත්තුව දාගෙන ඉන්න උස කැපෑසිටර් වලින් telltale කතාන්දරයක් කියවෙනවා. මම එහෙම "අතපසුවීම්" දැක්කෙ නෑ.  මම අපේ චෙකොස්ලෝවැකියානු යූටියුබ් ඉලෙක්ට්‍රොනික්  පස්චාත් මරණ පරීක්ෂක මහතා තරම් දස්ස නැති නිසා, එච්චරම ගැඹුරු පරීක්ෂණයක් නොකලත්, දැකපු දේ අනුව සෑහෙන්න පැහැදුනා.  NTC thermistor සහ ඇත්තම safety capacitor පාවිච්චි කිරීම හොඳ ලක්ෂණයක්.

Fuse -OK
Creepage and clearance distance -OK
Common mode noise rejection - OK
Input/output filtering  - Not the best, but adequate
Heat sinks,  isolation and mechanical stress - OK 
Soldering - OK
Dual rail power design - Good

දැන් වැදගත්ම කොටස. මොනවද අවුල් කියන එක? output capacitor ratings එච්චරම හොඳ නෑ,  output එකට වඩා 5V තමා වැඩි. කේස් එක ප්ලාස්ටික් නිසා අදාල නූනත්, PE connection  එකක් තිබ්බ නම් තමා නියම. Dual rail power, විසාල Heat sinks  සහ  high efficiency, buck converter නිසා එච්චරම අවුලක් නැති වුනත්, ventilation ගැන නම් හිතලවත් නෑ. නිකන් දීපු අස්පයා - 10W wireless charging . Display එකෙන් එච්චරම accuracy  එකක් බලාපොරොත්තු නූනත්, වරදක් නෑ. Display එක ඔෆ් කරන්න තියෙන, ටච් සෙන්සර් එකත් හොඳ ඔප්ෂන් එකක්.




Monday, April 26, 2021

අනා-ගතේ තොපේ අතේ

 නවසිය බර ගණන් වල, ඒ කාලෙ තාක්ෂණ ලෝකෙ ලොක්කා වෙච්ච ජපානෙ Fifth Generation Computer Systems project (FGCS) කියල ව්‍යාපෘතියක් ආරම්භ කලා. මූලික අදහස වුනේ, අවු 10 ඇතුලත බුද්ධිමත් කම්පුටරයක් නිපදවීම. ලෙසටම, ව්‍යාපෘතිය අසාර්ථක වුනා.ඒ වෙනකොටත්, ලෝකෙට නව තාක්ෂණික නිෂ්පාදන ගණනාවක් හඳුන්වා දුන්න "ජපන් හපනුන්ගෙ " Asimov රොබොට්ටා තමයි මේ: 

"ඇසිමෝ" අපේ ආතා වගේ බොහොම පරිස්සමින් අඩි තියලා, දෙකට නැවිලා ඇවිද්දා, ඉඳලා හිටලා ෆුට් බෝලෙකට පයින් ගැහුවා. ඉතිං, වෙනද වගේම ඉර  පෑව්වා, මල් පිපුනා, කුරුල්ලො සිංදු කිව්වා,  ඔහොම කිසිම අවුලක්, කනස්සලක් නැතුව කාළය ගලාගෙන ගියා.

ඒ කාලෙ කස්ටිය මෙහෙම "රොබෝ නැටුං" කියල නැටුමකුත් නැටුවා.



ඒත් ලඟකදි ඉඳං මේ තත්ත්වය ( කොහොමද මගේ සඤ්ඤක, ඈ?) වෙනස් වෙන්න ගත්තා. මට නිකන් විචිකිච්චාවක් වගේ එකක් පහල වුනා. එතකොට තමා මෙයාලා අපිට නැටුං පෙන්නන්න ගත්තෙ.


ඈ බොල රොබෝ සිංඤෝ, උඹ මොකාටද එන්න හදන්නෙ? දැන් ඔහෙලට හිතෙන්නෙ මෙයාල හරි "කියුට්" කියලද? එයාල නටන්නෙ ඇයි?  මට නං ඒක එච්චර ඇල්ලුවෙ නෑ, මේක අපට ආතල් දීමක් විතරක්ම නෙමෙයි කියල හිතෙන්නෙ මට විතරමද?

ඔහෙලට කියන්න ආයිබෝං, මට නං හොටේ ඉඳන් නැට්ටටම දාඩිය දැම්මා. අර සවුදි අරාබියො බෞතීස්ම කරවපු "සොෆියා" ගැන මට අවුලක් නෑ. ඒත් Boston Dynamics රොබෝල වෙනම ලෙවල් එකක්. දැන් ඔහෙලා කියාවි, මම පිචෑර් බලල , නිකාං බයවෙන බස්සෙක් කියලා. ඇත්ත, මම agnostic බස්සා, හැම එකම ප්‍රශ්ණ කරනවා. ඒත් ඊලොන් මස්ක්ටත් එහෙම හිතෙනව කියන්නෙ?



මම ඊලොන් මස්ක් අනුගාමිකයෙක් නෙමෙයි. Apple, John Deere වගේම Tesla ගෙන යන unethical business practices ගැන මට සෑහෙන අවුලක් තියනවා, ඒත් ඒක එහෙමයි කියලා, ඊලොන් මස්ක්  අලුතෙන් යමක් ලෝකයට දුන්න බව පිලිගන්න මම මැලිවෙන්නෙ නෑ.

මෙහෙම කියන ඊලොන් මස්ක්ම, Neuralink එකත් කරනව කියල ඔබ කියාවි. ඊලොන් මස්ක්ගෙ ගේම් එක මොකක්ද කියලා මම දන්නෙ නෑ. හැමෝගෙම එක, එක ඇජෙන්ඩා ඇති. Agnostic බස්සො ඔය හැමදෙයක්ම, හැමදෙනෙක්ම දිහා බලන්නෙ සැකෙන්. ඔටුවෙක් වගේ , එකම මතයක එල්ලිලා ඉඳගෙන, මම හරි තාර්කිකයි, සුනම්‍යයි කියල හිතාගෙන හිටියට වැඩක් වෙන්නෙ නෑ. වෙනස් වන ලෝකෙත් එක්ක, අපේ විස්වාස, මත වෙනස් කර ගන්න ඕනෙ. Neuralinkවත් AI වත් යන ගමන නවත්වන්න අපට බෑ, එහෙම වෙන්න ඕනෙත් නෑ. ඒත් මේ වීඩියෝවෙ නඟන සාධාරණ තර්ක සුළුවෙන් තකන්න අමාරුයි.

ඩාර්වින්ගෙ පරිනාමවාදෙ Survival of the fittest තියරියෙන්  සතුන්ගෙ පැවැත්ම/වඳවීම පැහැදිලි කරනව. එතකොට AI අපේ පාලනයෙන් ගිලිහුනොත් මොකද වෙන්නෙ? ලෝකෙ ඉරණම තීරණය කරන සුළු පිරිස, හැමදෙයක්ම කරන්නෙ ලෝක සුභසිද්ධිය සඳහාමයි කියල මම නං හිතෙන්නෙ නෑ. මම හිතන්නෙ ඊලොන් මස්ක් මට වඩා හොඳට ඒක පැහැදිලි කරනව " අධි වේග පාරක් හදන කොට හුඹහක් තිබුනොත්,වේයන්  ස්වර්ගස්ත වන්නේ , අපි වේයන්ට වෛර කරන නිසා නොවේ" කියල.

එන්ගලාන්තෙ කුරුල්ලො ගැන පර්‍යේෂණ කරපු හාදයෙක්, සම්පූර්ණ අවුරුද්දක්ම රෑට බස්සෙක් වගේ කෑ ගහලා, ඒ සඳහා ආපු "බකුසු ප්‍රතිචාර" ලේඛනගත කලාලු. පස්සෙ තමා දැනගෙන තියෙන්නෙ " ප්‍රතිචාර බස්සා" අල්ලපු ගෙදර හාදය බව.

-පුවතක්-

පස්සෙ ඒ හාදයා මන්නෙකුත් අරන් අල්ලපු ගෙදරට ගියාද කියල, මේ දවස්වල ඩ්‍රැකියා බිසි නිසා, බුරාගෙන් තමා අහන්න වෙන්නෙ.

Tuesday, April 20, 2021

අමුතු සත්තු

 රට්ටු නං කියන්නෙ බස්සා අමුතු සතෙක් කියලයි. උලමා නැත්නම් යක් කුරුල්ලා කියන්නෙත් බස්සෙක් කියලයි සමහරු නං කියන්නෙ. ඒ කතාවෙ ඇත්ත නැත්ත මම නොදන්නව වුනාට, මට සමහරු "උලමා" කියලත් අමතලා තියන නිසා, බාගදා එහෙම වෙන්නත් පුළුවනි. ලෝකයාට මාව කොහොම පෙනුනත්, මට නං,  මම තාම  "මූකලං බස්සා."

ඔහොම කිව්වට, ඔය අමුතු සත්තු ගැන මගේ පොඩි මනාපයක් නැත්තෙමත් නෑ. මේ ඉන්නෙ එහෙම හාදයෙක්:


ඔහෙල දන්නව නෙව Lawyer ( සඤ්ඤක අවුල්ය)  මහත්තුරුන්ගෙ උඩෘත පාඨය -  I'll nail your a**, right on the court floor බව.  වැටවල් වලට තියල ඇණ ගහන්න කැමති මහත්තුරු හිටියත්, ඔය කස්ටියගෙම අතේ මිටිය වරදින්නෙ නෑ. මේ Lawyer මහත්තයා අමුතු හාදයෙක්. එයා කැමති අගුල් වලට. 

හ්ම්....  "ලාවුලු කෑ රිලවා" කියල ඉංගිලිසියෙන් ලියන්නෙ the cat who ate the canary කියල නේද?

AI -Artificial Intelligence  ගැන ලියන්න අදහසක් තියනවා. අනේ මන්දා, ඒ ගැන මගේ හැඟීම එච්චරම සුභවාදී නෑ. හැමතිස්සෙම සීරියස් පෝස්ට් ලියන එක නරක නිසා, මේක එව්වා තනුක වෙන්න දාන එකක්.

Sunday, April 11, 2021

තහවුරු කිරීමේ නැඹුරුව -Confirmation Bias

මටම මා ගැන, බය හිතෙන ජාතියෙ "TED Talks" එකක් බැලුව. මාතෘකාව "Why you think you're right -- even if you're wrong"


මාතෘකාව පොඩ්ඩක් අවුල් වගේ නේද? එහෙම කොහොමද අපි වැරදි වෙන්නෙ, නේද? අම්මපා, මට හිතුනෙත් ඔහොම්මමයි නෙව? වැඩේ කියන්නෙ ආයිබෝං,   අපි එහෙම හිතන එකටත් නමක් තියනව නෙව? ඒකට කියන්නෙ "Cognitive Bias - The self-serving bias" කියලලු.


අර පලවෙනි වීඩියෝවෙ කියවෙන්නෙ "confirmation bias" ගැනලු. ඒ කියන්නෙ ඉස්සෙල්ලා තීරණයට එළඹෙනවා"Self-regulating free market theory" වගේ එකකට. ඊට පස්සෙ පරිස්සමින් සියලු විරුද්ධ මත බැහැර කරමින්, තර්කය ගොඩ නඟනවා. මේකට දේශීය උදාහරණයක් ගමුකො " ලෝකයේ ඉන්න බුද්ධිමත්ම රාජ්‍ය සේවකයො ඉන්නෙ ලංකාවෙයි" කියල. දැන් ඕක ඔප්පු කරන්නෙ මෙහෙමයි. ගහක් දෙකක් කැපුවාට, ඔක්සිජන් හිඟවෙන්නේ නැත. ඇත්ත නෙව?  ගස් නැති කාන්තාර වලත්, ඔක්සිජන් හිඟයක් නැත. අමූලික ඇත්ත. දැන් කවුරුහරි අපතයෙක් " එතකොට මුදලාලි, කපන්නෙ ගහක් දෙකක් විතරමද?, එව්වට වැසි වනාන්තර කියන්නෙ ඇයි අපෙ හාංදුරුවනේ" වගෙ කඩාකප්පල්කාරී ප්‍රශ්ණ ඇහැව්වොත්, ටක් ගාලා කපලා දාන්න ඕනෙ, නෑ, නෑ ගහ නෙමෙයි, කඩාකප්පල්කාරී ප්‍රශ්ණ අහපු එකාව. 

ඔහෙල දන්නව නෙව, පූරුවෙ කල පව් පල දීලා, මෙහෙ හිටියට, මාත් ඝර්ම කලාපීය බස්සා වග. ඒ නිසා. මට නිකමට හිතුනා, යකඩෝ, අනුන්ට කිව්වට මාත් වැඩකරන්නෙ එහෙම වත්දෑ කියලා?  තමන් හැම විටම නිවැරදියි කියා සිතීම confirmation bias රෝග ලක්ෂණයක් කියන්නෙ. හහ්, එයාල නං කියයි, අපිනෙ දන්නෙ, තමන් වැරදියි කියල පිලිගන්න තියෙන අමාරුව.

ටිකක් කියවල බැලුවාම තිබුනා නිර්දේශ දෙකක්:

1. Reject the first impression.   ඒ කියන්නෙ, If it looks like a duck, walk like a duck, and talk like a duck, then it probably is NOT a duck.  මට තේරෙනවා, විස්වාස කරන්න අමාරු බව. හරි, අපි මෙහෙම අහමුකො? ඔහෙල ඇත්තටම හිතාගන ඉන්නෙ මම අහිංසක බකමූණෙක් කියලද?

2. තමන් නොදන්න බව දැණගැනීම සහ තම වැරදි පිලිගැනීමට තරම් නිහතමානී වීම. ඒ ගුණාංගෙ නං ඉගෙන ගත්තෙ මෙන්න මේ හාදයගෙන්:



"You could never convince a monkey to give you a banana by promising him limitless bananas after death in monkey heaven"

“Ever since the Cognitive Revolution, Sapiens have thus been living in a dual reality. On the one hand, the objective reality of rivers, trees and lions; and on the other hand, the imagined reality of gods, nations and corporations. As time went by, the imagined reality became ever more powerful, so that today the very survival of rivers, trees and lions depends on the grace of imagined entities such as the United States and Google.”

― Yuval Noah Harari, קיצור תולדות האנושות



Thursday, April 8, 2021

ජපන් ලලක්කා සහ කාමරේ ඉන්න අලියා

ලෝඩ් බස්තියං

ලක්කා ගැන ලියල හඳවල් ගාණක් ගෙවිල ගිහින්. ඒත් අලියා තාමත් කාමරේ. අපි නං ඉතිං තාමත් " දැක්කා නොදැක්කා වාගෙයි අලියව අක්කා" ඉස්ටැයිල් එකෙන්ම ඉන්නවා. 




මට ආයෙ ලලක්කව මතක් වුනේ මෙන්න මේ ගීතය අහලා:


පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම


සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට


මේකෙ වචන බොහොම තියුණුයි. ඒත්, හහ් අපි නං අහුවෙයි ඔව්වට, නැද්ද මං අහන්නෙ?
සමාජයක ආකල්ප වෙනස් කරන්න කොච්චර අමාරුද කියල මට වෙලාවකට හිතෙනව. අන්න එතකොට තමා මට ජපානෙ මතක් වුනේ. ඔය ජපන් සගිස්කුරුතිය ටිකා..ක් ඉතර වෙනස් එකක්. ජපන් Geisha කියන සංකල්පය, අපේ වීදි සුන්දරී ලලක්කාම නෙමෙයි. ඒත් ජපානෙ වුනත්, නූතන ජපන් ලලක්කල දිහා බලන සමාජ ආකල්පය එච්චරම සුභවාදී නෑ.

මම මේකෙ තියෙන දේවල් එක්ක සියේට, සීයක් එකඟ නූනත්, ඇගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරනවා. පෙනෙන විදිහට සෑහෙන උගත් කෙනෙක්, කතාවෙන් එහෙම හැඟෙනවා. කොබ්-ඩග්ලස් ශ්‍රිතයට අනුකූලව, ඉල්ලුමට අනුව සහ සැපයුම සලසනවා, අවුලක් නෑ නේද? ඔව්, ඔව් එයා තමයි කිව්වෙ. අනික, සදාචාරය, සභ්‍යත්වය , හරි, වැරදි ඔව්වා ඔක්කොම සාපේක්ෂ වචන.

ඇත්තටම ලලක්ක තාම සනීපෙන් ඉන්නවද? හරි, හරි මට තේරෙනව, දන්නව වුනත් කියෑවියෑ? ලලක්කා සූට් කේස් එකේ එහෙම ගිය නෑ නේද? ඇයි සීවරං දෙයියනේ, පොලෝසියෙන් අහන්න කියලයෑ? ආං එතකොට තමා, මට මෙන්න මෙහෙම හඩක් ඇහුනෙ " හහ්, තොට දැං ද අපිව මතක් වුනේ, අර අහවල් පෝස්ට් ලියන කොට මතක් වුනේම නැත්ද? ". මාත් ඔලුව අංසක 360 කරකවල බැලුව, කව්රුත්ම හිටියෙ නෑ.


සඤ්ඤක බස්සෙක්