Tuesday, November 14, 2023

වායු සමීකරණය සඳහා විශ්ව පාලන මණ්ඩලයක්

යූ-ටියුබ් එකේ කරක් ගහන කොට දැක්කා නියම වීඩියෝවක්. ටිකක් පරණ මාදිලියේ, අර තඩි කරකවන නොබ් එකක් තියෙන රෙදි සෝදන යන්තරයක රෙපයාර් එකක්. ඒකෙ තිබුන කන්ට්‍රෝල් එක පිච්චිලාලු. මෙන්න මේකා කියපි, මේකට "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එකක් හයි කලෑකි කියලා. කිව්වා විතරක් නෙමෙයි හයි කරලා. වැඩ කරලත් පෙන්නුවා. වැදගත්ම දේ  "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" තියෙන බව සහ ඒ සංකල්පයයි. මමත් ගියා Aliexpress, මෙන්න බොලේ තියනවා, වායු සමීකරණය වලටත් "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්".


මේ "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" සංකල්පය හරිම වැදගත්. ඔය බොහෝ "ගෙදර දොර උපකරණ" වල තියෙන්නේ එකම කොටස් ටික තමයි. ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර ඔය කොයිවායෙත් මූලික ක්‍රියාකාරිත්ව පරිපාටිය, දශක ගාණකට තාම වෙනස් වෙලා නෑ. ඒ නිසා මෙහෙම, "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එකක් සවි කිරීම, න්‍යායාත්මකව හරි යනවා. දැන් මේ හාදයා ඒක ප්‍රායෝගිකවත් කරල පෙන්නුව. මට හිතුනේ, රෙදි සෝදන මැෂිමක ක්‍රියාකාරිත්වය, වායු සමීකරණයකට වඩා සංකීර්ණයි කියලයි. 

මගේ කාමරේ තියනවා, රජකාලෙ වායු සමීකරණයක්.  යාලුවෙක් නිකං දුන්නෙ. ඕක පාවිච්චි වෙන්නෙ සමර් එකේ දරුණුම කාලෙ විතරමයි. ඒ හැටිම අවුලක් වුනේ නෑ. වංගියක් නියුට්‍රල් වයර් එක ආක් වෙලා ගැලවුනා රොටරි ස්විච් එකෙන්. මම ඉක්මනටම හොයා ගත්තා, වායු සමීකරණය හිටපු ගමන් නැවතුනහම, හොඳ පයින් පාරක් දුන්නාම වැඩ කරන බව( පස්සෙ ගලවලා පෑස්සුවා). පෝටබල් වායු සමීකරණයක ක්‍රියාකාරිත්වය මෙතනින් බලා ගත්තෑකි.



මගේ පෞරාණික පෝටබල් වායු සමීකරණයේ බ්‍රෑන්ඩ් එක Fedders. 1896 ආරම්භ කරපු කොම්පැණියක්ලු. මේ පිංතූරෙ ඉන්නෙ ඒක. ඉලෙක්ට්‍රොනික්ස්, ප්‍රොසෙසර්, LCD ඩිස්ප්ලේ, රිමෝට් මුකුත් නෑ, තනිකරම මැකෑනිකල් කන්ට්‍රෝල්. ඒ ගැන නං මගේ අකමැත්තක් නෑ, මොකද මැකෑනිකල් කන්ට්‍රෝල් කරදර අඩු නිසා. ඒත් එකම අවුල, උශ්ණත්ව පාලනය. ඒක නං සතුටුදායකයි කියල කියන්න බෑ. තිබ්බ ප්ලාස්ටික් exhaust හෝස් එක දිරලා ගිය නිසා, දැන් ඇලුමිනියම් එකක් දාලයි තියෙන්නෙ.

"කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට" කිව්වැහෙ, ඔය කොයි වායු සමීකරණයෙත් තියෙන්නෙ එකම දේවල් ටික. Aliexpress වායු සමීකරණ "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එක මේ පහල තියෙන්නෙ. උඩ වීඩියෝවට ඉහලින් තියෙන්නෙ, ඒකෙම සර්කිට් ඩයගෑම් එක. 


රුපියල් 22යි. "ආවොත් ආව, ගියොත් ගියා" කියල ඔන්න ඔහේ කෙටුව. රිමොට් එකේ බටන් ඔක්කොම චයිනීස් වගෙයි පෙන්නෙ. ඒක ඒ හැටි අවුලක් නෑ, මට ගූගල් ලෙන්ස් හරහා ඒව කියවන්න ඇහැකි. මා ගාව ක්‍රිම්පින් ටූල්ස්, මල්ටිමීටර් ඔක්කොම තියනවා. ඊයම් පාස්සන බවුත් එකෙත් ප්‍රොසෙසර්, ඩිස්ප්ලේ තියෙන මේ කාලෙ, මේ පෞරාණික මැකෑනිකල් කන්ට්‍රෝල් ටිකාක් විතර අවනම්බුවක් වගේ කියල හිතෙනවා.

මේක මට අටවගන්න පුළුවන් වෙයි නේද? හිත හැදෙන්නත් එක්ක, ඔබේ වටිනා ටැක්නිකල් උපදෙස් පහතින් කොටා ගෙනම යන්න. වැඩේ ජෝන් බාස්ට ගියත්, අඩුම ගනනේ මේ නිසා, AC එක ගලවලා, සුද්ද කරලා, අඩු-පාඩු බලන්න උනන්දුවක්වත් ඇති වෙන්නෙ නැතෑ.

Electrical Safety: මේව තියනවා කියලා, මේන් ඉලෙක්ට්‍රිසිටි එකත් එක්ක, මන්කි බිස්නස් කරන්න කියන එකක් මෙයින් අදහස් වෙන්නෙ නෑ. තමන්ගෙ රටේ ඉලෙක්ට්‍රිකල් කෝඩ් එක, වයර් කලරින් කෝඩ් සහ අනෙකුත් ඉලෙක්ට්‍රිකල් ආරක්ෂක රෙගුලාසි පිළිපදින්න ඕනෙ. මේ සඳහා මූලික දැණුමක් තිබීමත් අවශ්‍ය වෙනවා.

ලාබෙට ලැබිච්ච නිසා මෙන්න මේකත් ගත්තා.


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Sunday, November 5, 2023

මධ්‍යම සැකසුම් ඒකකය, නැවත අසුන් ගැන්වීම

තේරෙන සිංහලෙන් කිව්වොත්, මේ කියන්නෙ CPU re-seating කියන එකයි. සත්තයි, ඉත්තෑ අමාරුවට කල දෙයක් නෙමෙයි, නොකරම බැරි නිසයි කලේ. 

CPU එකේ පින් තියෙන AMD වගේ නෙමෙයි,  ඔය Intel socket එක අන්තිම නරක ඩිසයින් එකක්( ද? *). සොකට් එකේ තමයි පින් තියෙන්නෙ. ඒ පින් එසේ මෙසේ ඒව එහෙම නෙමෙයි. අල්ප දයන්න වගේ ඇලේට තියෙන ලෝහ පතුරක කෙලවර නැම්මක් තියනවා. ඒ නැම්ම ගිහින් CPU එකේ තියෙන, අදාල පැතලි කන්ටැක්ට් ප්ලේට් එකත් එක්ක ස්පර්ශ වෙනවා. 

සාමාන්‍ය Intel සොකට් එකක පින් දාස් ගාණක් තියනවා. ඊට අමතරව CPU වෝල්ටේජ් එක 1.0V වලට වඩා අඩු නිසා 165W වගේ  cpu එකක් උපරිම ධාරිතාවෙන් වැඩකරන කොට, සමහර  පින් හරහා සෑහෙන ඇම්පියර්  ගානක් ගමන් කරනවා. ඒ වගේම ඩේටා ස්පීඩ් එක 3.8 GHz විතර වෙනවා. හැම පින් එකක්ම, නියමාකාරයෙන් ස්පර්ශව තිබීම වැදගත් වෙන්නෙ ඒකයි.

Intel socket එක, කොහොමත් නැවෙන, තැලෙන, ඇදවෙන පින් වලට ලෝක ප්‍රසිද්ධයි. හරි, අපි හිතමුකො පින් වලට හානි වෙන එක, භාවිතා කරන්නගෙ වරද කියල. එක පින් එකක්වත් නමා නොගත්තත්, කතාව එතනින් ඉවර වෙන්නෙ නෑ. CPU එකෙන් එලියට, නියමාකාරයෙන් හීට් ට්‍රාන්ස්ෆර් වෙන්න, CPU cooler එකේ ඉස්කුරුප්පු ඇණ හතර, බැලන්ස් වෙන විදිහට, අඩුත් නැතුව, වැඩිත් නැතුව තද කරන්න ඕනෙ. මේක කරන්න කිසිම මාපකයක් නෑ, හිත් සෝදිසියට තමයි කරන්න වෙන්නෙ. එහෙම කලා කියමුකො. ඒත් කතාව තාම ඉවර නෑ.

මේ පින් සහ කන්ටැක්ට් වල රන් ආලේප කරලයි තියෙන්නෙ, වැඩි කල් පැවැත්මට. ඒත් යන එන අධික ධාරාව හෝ වේගය නිසා කල් යනකොට (වාතයෙ තියන දූවිලි අංශු, අධික ධාරාව නිසා කාබනිකකරණය වීම වෙන්න ඇති) මේ කන්ටැක්ට් පොයින්ට්වල කාර්‍යක්ෂමතාවය හීන වෙනවා. CPU රත්වීම-සීතලවීම(thermal cycle) නිසා ඇතිවන thermal stress එකත්, කන්ටැක්ට් පොයින්ට්වල වගේම තර්මල් පේස්ට් එකෙත් කාර්‍යක්ෂමතාවයන් හීන වෙන්න බල පානවා ඇති. 

මේ ගැන සමහර විස්තර මෙතන තියනවා. Intel socket එකේ ක්‍රියාකාරිත්වය සහ ගැටළු ගැන විස්තර ටිකක් මෙතන තියනවා.


මේ වීඩියෝවෙ තියන හැම දෙයක්ම, මගේ රජකාලෙ CPU එකට අදාල නූනත් මූලික දේවල් හැම Intel CPU එකකටම පොදුයි. මට වුනේ, හිටපු ගමන් සම්පූර්ණ ස්ක්‍රීන් එකම තත්පර ගාණකට ෆ්‍රීස් වෙන එකයි. යම් උපාංගයක් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙනකොට වගේ නෙමෙයි, මේ වගේ ලෙඩ සංකීර්ණයි. ඒ එකම ලෙඩේට හේතු ගණනාවක් තියෙන්නෙ පුළුවන් නිසයි. 

වැරදි මාර්ග ගණනාවක් පස්සෙ දුවල, දුවල හති අරින කොට,  OCCT එකෙන් දැක්කා සමහර ප්‍රොසෙසර් core වල උශ්ණත්ව වෙනසක්. ඒක රෙඩ් ප්ලෑග් එකක්. සාමාන්‍යයෙන් ඒවා ලඟින් යන අගයන්වල තියෙන්නෙ ඕනෙ.

Intel CPU සොකට් එක, වැඩිය නෙමෙයි කොහොමත් සෙල්ලං කරන්න හොඳ තැනක් නෙමෙයි. කල එකම දේ නැවත අසුන් ගැන්වීම(re-seating) විතරමයි.( හා දැන් සිටිං, ඉඳින්). එහෙම සිටින්-ඉඳින් කෙරුවාම, ඔක්කොම පින් ටික කලින් හිටි තැන් වලට වඩා, සේසයක් එහා මෙහා වෙලා වාඩි වෙනවා. ඒ හොඳට ඇති සැහෙන කාලෙකට.

වාසනාවට මගේ ලාබ vetroo v5 cooler එකේ ස්ප්‍රින් ලෝඩඩ් මවුන්ටින් සිස්ටම් එකක් තියනවා. ඒකෙන් සෑහෙන දුරකට බැලන්ස් ප්‍රෙෂර් එකක් CPU ඩයි කවර් ප්ලේට් එකට ලබා දෙනවා. ඒ නිසා තට්ට සෑර්ලා, හැට්ටරේලා ඇන්ජින් සීරු-මාරු කරන නිවැරදිතාවයට වැඩේ කරන්න ඕන වුනේ නෑ. දැනට වරුවක ටෙස්ට් රන් එකක් යනවා. තාම නං අවුලක් නෑ. 


මේ තියෙන්නෙ දැන් core temp තියෙන හැටි. 100% සහතික වෙන්න බැරි වුනත්, තාම හිරවෙන, කහින ලෙඩේ ආවෙ නං නෑ. උන්න හැටියට මලා මඳැයි, නේද?

වටිනා  කියන ආවුද:
 
OCCT - https://www.ocbase.com/download
Fan Control - https://getfancontrol.com/
Furmark GPU stress test - https://geeks3d.com/furmark/
Intel CPU burn test- https://www.techpowerup.com/download/intelburntest/

Furmark සහ Intel burn test වලට වඩා හොඳ benchmark tools ඇති මුත්, ඉක්මන් සහ පහසු පරීක්ෂාවකට මේවා හොඳටම සෑහෙනවා.

Foot Note:
Intel socket එක(LGA) එච්චරම නරක නොවෙන්නත් ඇහැකි. අලුත්ම AMD CPU එන්නෙත් LGA විදිහට. CPU එකේ පින්ස් නැති නිසා, ඒ පැත්තෙන් බැලුවාම පහසුයි.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)