Friday, December 15, 2023

Death + RoboVac

අපේ ගම්වල කතාවක් තියනවා, ගමේ කෙනෙක් මලොත් තව හය දෙනෙක් මැරෙනවා කියල. මේක සමහරවිට මිත්‍යා විස්වාසයක් වෙනත් ඇහැකි, ඒත් මගේ රොබෝවැක් එකත් මලා. ඒක තමයි මගේ කාමරේ වැකුම් කලේ, මම නාන්න යන වෙලාවට. 

මම කාමරේ පුටුවයි, ස්ටූල් එකයි එලියට දාලා,  කාමරේ වැකුම් කරන්න  දාලා, නාන්න ගියා. එනකොට, කාමරේ මැද්දෑවෙ දපා තියල උන්නා . බොරුවක් මුසාවක් නං, පාරෙ යන එකෙකුට හෙන ගහන්න ඕනෙ. මේක වෙලා දැන් දවස් දෙකක් වෙනවා. කියන්න විදිහක් නැතුව හිටියෙ, එක ලඟ පෝස්ට් ලියනවා කියල නමියා බයින නිසා. 

අරගෙන, දැන් අවුරුදු තුනකට කිට්ටුයි. මම කලින්  පෝස්ට් එකක එයා ගැන කියල තියනවා.  වෝල්මාට් එකෙන්, සුපියල් 100කට ගෙනාවෙ සේල් කාලෙක.

https://frozenlazyowl.blogspot.com/2021/05/blog-post_15.html

නිදිට මල පනිනවා, විස්තර වැඩි වුනොත් . චාර්ජ් වෙන්න පටන් ගන්නවා, ඒත් නැවතිලා රතු ප්ලෑෂ් වෙනවා. ගූගල්ගෙන් ඇහැව්වාම කිව්වෙ, බැටරිය ඩෙඩ් නිසා කියලා. බැටරිය ගලව ගන්න, මදේ ගලවන්න වුනා. පිංතූරයක් ගත්තා , ඒක Note 7 එකේ. දාන්න විදිහක් නෑ, ෆෝන් එක හාල් ගෝනියෙ. වැකුම් ක්ලීනර් මවු-පුවරුව, එපොක්සි ලේයර් එකක් දාලා(Conformal coating) සම්පූර්ණයෙන්ම සීල් කරලා, නතිං ඩුයිං. 


ගලව ගත්තා බැස්ටිය. චෙක් කලාම 13.6v තියනවා. ඉතිං ඩෙඩ් නෑ වගේ නේද? වැරදියි. බැටරි දෙකක් හොඳටම හොඳයි එකක් බාගෙට හොඳයි, අනික අවුල්.

මේකෙ BMS (battery management system)  එකේ අවුලක් වෙන්න බැරිද? එහෙම වෙන්නත් ඇහැකි, ඒත් එක දිගට අවු 3 ඇද්ද නිසා වැඩි අවාසිය තියෙන්නෙ බැටරි පැත්තට.

චෙක් කරන්න ඇහැකිද? - පුළුවනි

ෂුවර් ද?   - නෑ

ඊළඟ පිංතූරෙ තියෙන්නෙ ලිතියම් බැස්ටි (1865) ටෙස්ටරේ සහ අමතර BMS කාඩ් එකක්. දෙකම පට්ට ලාබයි, ඈ?මා ගාව, තව වෙන බැටරි පැක් එකක් තියනවා, එක බැටරියක් විතරක් අවුල්. ඕන්නං ඒකෙන් හොඳ ඒව ගත්තෑකි.

Links:

ලිතියම් බැස්ටි ටෙස්ටරේ 


3S-4S-5S selectable  BMS කාඩ් එක

මේ කාඩ් එක ගැන හොඳ ටියුටෝරියල් එකක් සිංහලෙන්ම:



දැන් ඔය බැට්‍රි ගලවලා ටෙස්ට් කරලා ඕක ගොඩ දානවද?
පිස්සුද !
මෙන්න මේක ඕඩර් කලා


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Wednesday, December 13, 2023

මොබයිල් රෙප්‍යාර්කෙරේ

හෙඩිම ඉස්සුවෙ හැට්ටරේගෙන්. අපිට කොයින්දෑ පූසෝ IGBT? මගේ මොබයිල් එකට අවුරුදු 5 ලැබුවා. වර්ගය Xiaomi Redmi Note 7. දැන් ටික කාලෙක ඉඳන් ඕකෙ බැස්ටියෙන් ඉස්සර වගේ දවස් ගාණක් දුවන්න බැරි ගතියක් ආව. හැමදාම චාර්ජ් කරන්න වෙනවා. ඔය අවුල ඇරුනාම ෆෝන් එකට, ඉහෙන් බහින ලෙඩක් නෑ. අමතර බැස්ටියක් සුපියල් 15කට ගෙන්න ගෙන දැන් අවුරුද්දකටත් වැඩියි.

ඔහෙලා දන්නව නෙව දැන් මොබයිල් වල ඉස්සර වගේ ලේසියෙන් බැස්ටි මාරු කරන්න බැරි බව. ඒත් ගෙන්න ගත්ත බැස්ටිය දකිනකොට වරදකාරී හැඟීමකුත් එනවා. නෑ මං අහන්නෙ, බැස්ටියක් මාරු කරගන්න බැරි බස්සෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද, නේද?

ඒත් බැස්ටිය මාරු කරන්න හිතෙනකොටම "දැන් මොකටෑ ඔහේ ඕක ගැලෙව්වෙ, ඇයි ඉත්තෑ අමාරුවටද" කියල කව්දෝ අහනව මැවිල පේනවා.


තව දුරටත් මේ මානසික ආතතිය දරන්න බැරිම තැන, යූ-ටියුබ් වීඩියෝ කීපයක්ම බලල කාරිය, පහුගිය දොහක මම වැඩේට බැස්සා. ඉස්සෙල්ලාම මොබයිලාගෙ පශ්චාත් භාගය ලාවට රත් කලා. ඊට පස්සෙ තුනී ප්ලාස්ටික් කාඩ් එකක් දාරෙ අතරින් රිංගෙව්වා. සිරිංජරේක දාලා, වටේටම අයිසොපොර්ෆයිල් ඉන්ජෙක්ට් කලා. 

ලොකු අවුලක් නැතුව බැක් කවර් එක ගලෝගත්තා. ෆින්ගර් සෙන්සර් කේබල් එකත් පරිස්සම ගැලෙව්වා. පරණ බැස්ටිය, කෝටුවෙ ගිය ඉබ්බා වගේ, දත කාගෙන අයින හපාගෙනම ඉන්නවා. හෙලවෙන්නෙවත් නෑ.

මම නිතර දකින මේ වගේ නිවුස් නිසා, පරන වුනත් ලිතියම් බැටරි වලට ගවුරවයෙන් සලකන්න ඕනෙ බව දැන ගෙන හිටියා. නවන්න, අනින්න බෑ. අඞු-පඞු වලින් අදින්න බෑ. රත් කරන්න බෑ.

ඒ වංගියෙ, ප්ලාස්ටි ප්‍රයින් ටූල් එකක් ආධරයෙන් යාන්නත්  බැටරියෙ පැත්තක් උස්ස ගත්තා. ඊට පස්සෙ යහමින් අයිසොපොර්ෆයිල් වඩියක්  පොවලා කාරිය, වදෙන් පොරෙන් පරණ බැටරිය ගලව ගත්තා.

අලුත් බැටරිය දැම්මා. ආයෙ ඒකත් එක්ක ආව, ගම් ස්ටිකර් ඕන වුනේ නෑ. පරණ එකෙන් ඉතිරි වෙච්ච ටික වැඩියත් එක්ක සෑහුනා. එහෙන් මෙහෙන් සර්කිට් බෝඩ් වලට විසිවෙලා තිබ්බ අයිසොපොර්ෆයිල් බිංදු වලට "පුහ්" ගාලා කටින් පිඹලා, දෙයියන්ට පිං දීලා මොබයිල්  එක ඔන් කලා.

මුලදී ඒ හැටි අවුලක් තිබ්බෙ නෑ. ඒත් ස්ක්‍රීන් එක යටින් සිතියමක් වගේ පැල්ලමක් මතු වෙන්න ගත්තා. ඊට පස්සෙ  ස්ක්‍රීන් එක

ගැහිලා........ගැහිලා..................ගැහිලා.............................................මලා. ආ, මැරෙන්න කලින් එයාම හතර වටේටම කෝල් කීපයක්ම ගත්තා. පොලෝසියට මන්දා?

මාගේ නිගමන සහ නූගත් උගත් පාඩම්:

1. 50%  අයිසොපොර්ෆයිල්වල බාගෙට, බාගයක් තියෙන්නේ වතුරය.

2. දෛයන් මොබයිල් රෙප්‍යාර් කරන්නේ නැත.

3. "ඩොලර් ඉස්ටෝරුව" මොබයිල් රෙපයාර් බඩු ගැනීමට හොඳ තැනක් නොවේ.( වටේ පිටේ කිසිම තැනක් 99.99% අයිසොපොර්ෆයිල් නැත. ගිණිගන්නා සුළු නිසා විය හැක.

4. මොබයිල් වතුරට අකමැතිය. නාන්න නං කොහොමවත් කැමති නැත.

5. මලකඩ කෑම ( corrosion ) යනු රසායනික ප්‍රතිකිරියාවකි. බැටරි විදුලිය එයට උත්ප්‍රේරකයකි. ෆෝන් එක "ඕෆ්" කිරීම යනු සම්පූර්ණ බැටරි විදුලිය විසන්ධි කිරීමක් නොවේ.

6. අවුරුදු 5ක් වයස වුවද, ඇන්ඩ්‍රොයිඩ් 10 දිව්වද, WiFi 5GHz, LTE, biometric, fast charging ඇති 4Gb/64Gb  Redmi Note 7 තාමත් අපූරු මොබයිලයකි.

7. මොබයිල් රෙප්‍යාර් යනු වෘතීයමය රැකියාවකි. සුපියල් 20-30 මොබයිල් කඩේ චීනාට දුන්නා නං , අද මේ දුක විඳින්නේ නැත. ඒත් එහෙම වුනා නං මට ලියන්නට පෝස්ට් එකකුත් නැත..

 නඩු භාණ්ඩ - Exhibit A

අද ඕඩර් කරපු බඩු ආවා. රුපියල් 12 කට, Touch screen සහිත සම්පූර්ණ  LCD  මුහුණතක් දෙන්නේ කෙසේද කියා මා දන්නේ නැත. ඒකටම ඇල්කොහොල් වයිප් සහ ප්‍රොටෙක්ෂන් ග්ලාස් එකක්ද ඇතුලත් වී තිබුනි. මේ දිනවල චීනයේ මොබයිල් දන්සැලක් පවතිනවා විය හැක.

ඊලඟ පිංතූරයේ ඇත්තේ. බැක්-ලයිට් කොන්ට්‍රෝල් IC වැලකි. සංසංදනයට තබා ඇති, පොල් උලක් මෙන් පෙනෙන්නේ ඉඳිකටුවකි. වාසනාවට ඒ IC එකට හානියක් වී තිබුනේ නැත.

රෙප්‍යාර් කල මොබයිලයා ගිණිකසයා සේ වැඩය. ඒත් තාම ගම් දමා අලවා නැත. පවර් ඔන් ලෝගො එක දැක්කාම, බාප්පව දැක්ක වගේ සතුටක් ආවා. 

මොබයිල් එක නැති කාලෙ මට දැණුන දෙයක් තමයි, අපි තාක්ෂණය මත කොතරම් යැපෙනවද කියන එක. තාක්ෂණය මඟින් මිනිසෙක්ගේ පැවැත්ම මකවලා දාන්න හැකි දිනය වැඩි ඈතක නෑ කියලත් හිතෙනවා.

මෙන්න මේකත් ලාභ වුනත් මයික්‍රො-සොල්ඩරින් වලට සුපිරි භාණ්ඩයකි. සේල් වෙලාවෙ ෆ්‍රී ෂිපින් එක්ක රුපියල් 40 කට තිබ්බා.


චීනා බුදු වේවා!



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Monday, December 11, 2023

වින්ඩෝස් 11ට මල් මිටක්

මේක අහඹු රස්තියාදු සහ ස්පර්ශකය දිගේ යෑමේ පෝස්ට් එකක්. තේරෙන බාසාවෙන් random ramblings සහ going off on a tangent කිව්වොත් තේරේවි නේද? මේවා ලියන්න ගිහිල්ලා ආයෙ මොකටෑ කතන්දර අහගන්නෙ කියල හිතුනත්, අපේ බ්ලොග් තානාපති නමියත්, පංචතන්තරේ නිදි, පොල්කට්ටේ ගමයත්, තට්ටයා මහතා ප්‍රමුඛ තිලකේ, වවුලා, හැට්ටරේ, නයා, ප්‍රාජේ, ඉවාන්, ඉයන්, සඳවතී,ලිට්සීකර්  සමඟ කී-නොකී පාත්‍ර වර්ගයා ,  බ්ලොග් ප්‍රවර්ධනට ගෙන යන වෑයම දැක්කාම, ඔන්න ඔහේ ලියලම දානව කියල හිතුන.

මේවා මෙලෝ යකෙකුට වැඩක් නැති මාතෘකා කියල කියන්නමත් බෑ. අපි කාගෙත් ඇඟේ "කම්මැලි ජානය" තියන නිසා, ලේසි පහසු "කෙටි ක්‍රම" වලට අපේ සහජ කැමැත්තක් තියනවා.

අද මාතෘකාව:

මවු-පුවරුව මාරු කිරීමෙන් පසු, පැරණි වින්ඩෝස් 10/11 නැවත පාවිච්චි කල හැකිද?  

මේක ගැන බොහෝ අය කියන්නෙ, "කල හැකියි, ඒත් නොකල යුතු දෙයක්" කියලයි. 


මෙතන ඉදිරිපත් කරන තර්කයෙ ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් ප්‍රශ්ණය වෙන්නේ, ඔවුන් කියන ලෙස වින්ඩෝස් අලුතින්ම ස්ථාපිත කොට, සියලුම ඇප්ස් නැවත ස්ථාපිත කිරීමට, මට හැකියාවක් හෝ ඉවසීමක් නැති කමයි.

ඒත් අනෙක් අය දරන්නෙ වෙන මතයක්. මේක මගේ කම්මැලි ජානයත් සමඟ සමපාත වෙනවා.


වින්ඩෝස් 11ට මල් මිටක්:

මගේ අත්දැකීම අනුවත්, මා දැනටමත් වින්ඩෝස් අලුතින්ම ස්ථාපිත නොකොට, පැරණි වින්ඩෝස් මතම මවු-පුවරු පහක් පමණ මාරු කර ඇත. විශේෂයෙන්ම, නවතම වින්ඩෝස් 11 මේ ක්‍රියාවලියේදී, වැඩේ අල නොකර, ගොඩ දැමීමට විශිෂ්ඨ හැකියාවක් දක්වන බව කියන්නම වෙනවා. වින්ඩෝස් ඇක්ටිවේෂන්, මවු-පුවරුට සම්බන්ධ නිසා, ඇක්ටිවේෂන් එක මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකත් එක්ක ලින්ක් කරගැනීම නුවණට හුරු දෙයක්.

ඒත් මෙහෙම කිරීමේදී, පැරණි මවු-පුවරුවල "චිප්-සෙට්" සහ අනිකුත් දෘඩාංග ඩ්‍රයිවර්වලට මොකද වෙන්නෙ? ඒවා නිකං ඔහේ තියනවද? ඒ නිසා වින්ඩෝස් කාර්‍යක්ෂමතාවයට බලපෑමක් තියනවද? 

උත්තරේ - මම දන්නෙ නෑ කියන එකයි. කිසිම කෙනෙක් ඒ ගැන කියන්නෙ නෑ. දැන් එතකොට, දන්නෙත් නැත්නම්, මොකක්ද මේ කියන්නෙ? අවාසනාවට උත්තරය එතරම් කලු-සුදු නැත. වින්ඩෝස් Task-Manager හරහා, දැනට සක්‍රීය "ප්‍රොසෙස්" පරීක්ෂා කිරීමේදී, මගේ  පැරණි මවු-පුවරුවක් වූ Asus ඩ්‍රයිවර් හමුවුන බව මතකයේ ඇත.

සමහරවිට, රැව්ලයි-කැඳයි දෙකම බේරගෙන, වින්ඩෝස් වලින් පැරණි  "චිප්-සෙට්" ඩ්‍රයිවර්ස් ගලවන්න ක්‍රමයක් තියෙන්නත් හැකියාවක් ඇත. GPU එකට නං එහෙම ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් තිබෙන බව දනිමි.

Display Driver Uninstaller (DDU)

මේ DDU ක්‍රමවේදය ගැන, යූ-බටේ ඇති වෙන්න වීඩියෝ තියනවා. කෙටියෙන් කියනවා නං, වින්ඩෝස් "සේෆ් මෝඩ්" එකට බූට් කරලා, DDU රන් කරලා පරණ ඩැයිවර්ව ගලවලා, ආයෙ වින්ඩෝස් නෝමල් මෝඩ් එකේදී අලුත් ඩැයිවර්ව ඉන්ස්ටෝල් කරනව, එච්චරයි.

Sysprep ක්‍රමවේදය:

මේකට කියන්නෙ entering OOBE(Windows Out of Box Experience) with "Sysprep" කියලලු. මේක සිස්ටම් ඇඩ්ඩිංලගෙ කමාන්ඩ් එකක්. මට තේරුන විදිහට sysprep කමාන්ඩ් එකෙන් කරන්නෙ, "platform independent" OS image එකක් හදන එකලු.

මෙහෙම බරසාර අර්ථදැක්වීමක් තිබ්බට වැඩේ කජු කනවා වගේ ලේසියි. කරන්න තියෙන්නෙ පහලින් තියෙන ෆයිල් එක රන් කරන්න  විතරයි.

c:\windows\system32\sysprep\sysprep.exe

ඒත් ප්‍රශ්ණය වෙන්නෙ, ඒකෙ සාර්ථකභාවය සහ අනතුරුදායක කමයි. දැනට තියෙන වින්ඩෝස්වල ෆුල් බැකප් එකක් නැතුව මේක කරන්න එපා කියලයි මම නං කියන්නෙ.

මගෙන් වැඩි විස්තර  අහන්න එපා, දන්නෙ නෑ. මෙතන වැඩිහරියක් තියෙන්නෙ, මගේ තර්කාණුකූල අනුමාන(educated guesses) විතරයි. මට කියන්න ඇහැකි මගේ අත්දැකීම විතරයි. ටික වෙලාවක් ගත්තත්, කිසිම අතුරු ආපදාවක් නැතුව, අලුතින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරනව වගේම ගියා. මැද හරියෙදි ඇහැව්වා, "පැරණි වින්ඩෝස් බැක්-අප්" එකක් තියනවා, සෙටිංග්ස්, ඇප්ස් ඒකෙන් ගන්නද කියලා? මම  Sysprep රන් කලේ, වැඩිය පාවිච්චි නොකරන admin profile එකකින්. වැඩේ අහවර වෙලා, Local User profile එකට මාරු වුනාම, ඔක්කොම පරණ ඇප්ස් ටික තිබ්බා.

මට කියන්න තියෙන්නෙ, මෙහෙම එකක් තියනවා කියල විතරයි. මේ ගැන දන්න, අපේ උගත් සොෆ්ට්වෙයා ඉන්ජිනේරු ඇනෝලා, ඇඩ්මින්ලා, වැඩි විස්තර සපයනවා නං කුරුතග්ඥ වෙමි.


WizTree
හරහා ලබාගත් Drive image පරීක්ෂා කිරීමෙන් පෙනී ගියේ, වින්ඩෝස් 11 core system අරගෙන ඇත්තේ 36Gb ඉඩක් පමණක් බවයි. වින්ඩෝස් 11 Downloads ෆෝල්ඩරය අමතර HDD එකකට යොමු කල හැකි අතර, බොහෝ ඉඩක් ගන්නා ඇපස්ද අමතර HDD එකකට දැමිය හැකිය. නිතර බැක්-අප් ගන්නේ නම්, 33Gb වන "Old Windows"  ෆෝල්ඩරයද ඉවත් කල හැකිමුත්, මට එසේ කිරීමට අවශ්‍යතාවයක් ඇති වූයේ නැත. 

මගේ ආපදා ප්‍රතිසාධන සැලසුම
සමහරු de-bloating windows ගැන කීවත්, තවත් දන්න කියන අය කියනා ලෙස, නවතම වින්ඩෝස් 11වල "අදාල" ඩ්‍රයිවර් පමණක් ලෝඩ් කරගෙන, අදාල නොවන ඒවා නොසලකා සිටීමෙ හැකියාව නිසා, මේ අනවශ්‍ය ඩ්‍රයිවර් ගැන කරදරවීම අත්‍යාවශ්‍යම නොවන බව මගේ පෞද්ගලික අදහසයි.


(කෙසේ වුවත් De-bloating windows මාතෘකාව, වැඩි අවධානයක් යොමු කරන්නේ, මයික්‍රොසොෆ්ට්, බ්ලෝට්වෙයා මඟින් යූසර් ඇක්ටිවිටි ට්‍රැක් කිරීම ගැනයි.) 


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)