Tuesday, July 12, 2022

පිස්සු හැදෙන මොබයිල් කැමරා තාක්ෂණය

හොම්බ දිග කැමරාවක්
හොඳ ඩිජිටල් කැමරාවක් යනු "හොම්බේ" දිග සහ ඉමේජ් සෙන්සරයේ ධාරිතාව මතම තීරණය කල කාලයක් තිබුනි. ඒත් මොබයිල් කැමරා තාක්ෂණය නිසා, මේ හැම දෙයක්ම වෙනස් විය. 

මිල අධික කැමරාවක් හිමි අයෙක් වුනත්, හොඳ චායාරූපයකට අවස්ථාව ලැබුන හැමවිටම ඒ කැමරාව අතේ තිබ්බෙ නැත.  ඒත් මොබයිල් ෆෝන් එක හැමවිටම, හැමෝම ලඟ තිබුනි. නූතන මොබයිල් ෆෝන් කැමරාව, තවදුරටත් අප දැණ සිටි බාල ෆෝන් කැමරාව නොවේ. පොල් ගහකට බඩගෑවත්, අපේ අතේ තියන මේ ෆෝන් කැමරාව ගැන, පොඩ්ඩක් දැණ ගන්න වටින්නේ එබැවිනි.

දිග විශාල ලෙන්ස්, මොබයිල් ෆෝන්වල ස්ථාපිත කල නොහැකි නිසා, මේ මොබයිල් කැමරා තාක්ෂණය දැන් යන්නෙ වෙනම පාරකය. Apple, Samsung, Xiaomi, Huawei වැනි මොබයිල් ෆෝන් දෑවැන්තයොන්ගෙ කැමරා ෆෝන් අංශ වලට  දහස් ගාණක් සේවයට බඳවා ගත්තේ එබැවිනි.

Huawei  දිග ලෙන්ස් එකක් දෙකට තුනට නමලා, ෆෝන් එකකට ඔබන්න උත්සහයක් ගත් නමුදු, අනිත් කොම්පැණි, අනුගමනය කලේ මල්ටි-ලෙන්ස් ක්‍රමවේදයයි. මේ ක්‍රමයට, ෆෝන්වල අඩු නැතිව තියෙන ප්‍රොසෙසින් පවර් එක, ලෙන්ස් පැත්තෙන් එන සීමාවල් නිසා වෙන අඩුව පුරවනු ලැබේ. මෙහිදී භාවිතා වෙන එක ක්‍රමවේදයක්, "ඉමේජ් ස්ටැකින්" ලෙස හැඳින්වේ.මේ ක්‍රමයේදී, පහත ඇති මැස්සාගේ පිංතූර රාමු 1 සහ 2  භාවිතයෙන් මැස්සාගේ කොන් දෙකම ෆෝකස් වී ඇති 3 වැනි රූප රාමුව ගණනය කිරීමක් සිදු වේ.නූතන මොබයිල් ෆෝන් වලින් සුපර් මැක්‍රෝ පිංතූර පහසුවෙන් ගන්න හැකි මේ නිසාය.

ඊට අමතර, කලින් වෙන වෙනම පිංතූර ගෙන, කම්පූටරයේ සාදා ගන්න වුන HDR -high dynamic range පිංතූර, දැන් කැමරා ෆෝන් ඒ වෙලාවෙම දීමත් සිදුවේ. අද මොබයිල් කැමරා තාක්ෂණය සඳහා කෘතීම බුද්ධිය(AI) සහ කලින් මැණ ගත් ඉමේජ් ඩේටා සහ ඇල්ගොරිතම සෑහෙන්න භාවිතාවේ. අද අපට ට්‍රයි-පොඩ් එකක් නැතුව පැහැදිලිව ෆෝකස් වූ පිංතූර ගත හැක්කේත්, වයිට්-බැලන්ස් ගැන අමතක කල හැක්කෙත් මේ ගණනය කිරීම් වලට පිං සිදුවන්නය.

අඩු ආලෝක- රාත්‍රී චායාරූපකරණය කිරීමට, කලකට පෙර ඉතා මිළ අධික වෘතීය ඩිජිටල් කැමරාවන්ට පවා සරළව, එක එල්ලේ කල නොහැකි වූ දෙයකි. ඩිජිටල් කැමරා ආ මුල් කාලයේ, හොම්බ දිග කැමරාවක් කරේ තියාගන චාරිකාවක් ගිය මට, පෞරානික දෙව්මැදුරු ඇතුලේ එකදු සාර්ථක, අඩු ආලෝක පිංතූරයක්වත් ගත නොහැකි විය. ඒත් අද, මොබයිල් කැමරා තාක්ෂණය අඩු ආලෝක- රාත්‍රී චායාරූපකරණයට සෑහීමකට පත්වියහැකි විසඳුම් සපයා ඇත.

මේ සම්පූර්ණ තාක්ෂණික විස්තර, භාවිතා කරන්නා දැණගන්න අවශ්‍යම නූනත්, පොදු දළ විශ්ලේෂණක් දැණගැනීම ප්‍රයෝජනවත් විය හැක. මේ මොබයිල් කැමරා තාක්ෂණය ගැන ඔබ උනන්දු නම්, වැඩිදුර දැණගන්න පහල වීඩියෝව බලන්න. ( ඔව්,ඔව් යූ-ටියුබ් වීඩීයෝවක් නැත්නම් ඒක බසු පෝස්ටුවක් නොවේ!🤣)




අපිට  ඇස් තුනේ-හතරෙ මිල අධික කැමරා ෆෝන් නෑ , හාංදුරුවනේ. තියෙන්නෙ ඔය පහල තියන චීන ෆෝන් කට්ට.මේ වීඩියෝව බැලුවට පස්සෙ, මෙච්චර කාළයක් තිබ්බා-ගත්තා චායාරූපකරණයේ යෙදුන බසුතොමෝ, කැමරා ඇප් එකේ තිබුණ "more...."  ඇටෑච් බාත් රූම් එකක් සොයා ගත් බව, සියලු බ්ලොග්වාසී හිතමිත්‍රාදීන්ට සන්තෝෂයෙන් දැණුම් දෙමි. ලාංකික දේශපාලනය ඉතිහාස ගතවන මේ තීරණාත්මක යුගයේ, තමන් අත ඇති ෆෝන් කැමරා වලින් ගන්නා චායාරූප, වීඩියෝ වැඩි වැඩියෙන් අපට දැකීමට හැකි වේවා! යන්න මගේ බලාපොරොත්තුවයි.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Saturday, June 11, 2022

සුසිනිඳු සුදු යටිබඩ

මේ ඉන්නෙ මාර්ක් ලෙයිටා - වෘතීය චායාරූප ශිල්පියෙක්. , එයාට හිතුනලු, මෙච්චර කල් එයා කරල තියෙන්නෙ, ඇති හැකි බලවත් කොම්පැණි තවත් පෝසත් කරන්න උදව් කරන එක කියලා. ඒ නිසා, මාර්ක් පටන් ගන්නවා යූ-ටියුබ් චැනල් එකක් "Soft White Underbelly". මේකෙ කතාකරන්නෙ "ටැබූ සබ්ජෙක්ට්" ගැන. අර අපි දැක්කා, නොදැක්කා ගානට ඉන්නෙ, ආන්න ඒවා ගැන. ආ, මාක් ඉන්නෙ ඔරුමත්තු නාඩුවෙ. මාර්ක්ගෙ කතාව, කැමති නං මෙතනින් බලන්න. Soft White Underbelly Intro Video

Portrait of Exotic

රැකියාව: වීදියේ ලඳ
වීදී නම   : Exotic 
වයස        :  23යි
බල ප්‍රදේශය( The Hood):South central Los Angeles

පොඩිකාලෙ ඇගේ පවුල අවුල්, පප්පා හිරේ. භාරකාර නිවෙස්, juvenile correctional facility වල ඉඳලා. වයස අවු 13 දී  අවු 40 ක, ලියාපදිංචි ලිංගික අපරාධකරුවෙක් එක්ක පැනලා ගිහින් ලමයි දෙන්නෙක් හදනවා. ලියාපදිංචි හාදයා වෙන, වෙන කරුමාන්තවලට හිරේ යනවා. 

ඇගේ ඇත්ත නම Asriah . මිලියන් 14 නරඹපු, 27 දාහක් කොමෙන්ට් කොටපු ඇගේ පලවෙනි වීඩියෝව, කැමති නං මෙතනින් බැලියෑකි. මාක් වගේම, එතන බහුතරය ඇයව උද්‍යෝගිමත් කරනවා, මේ ජීවිතයෙන් මිදෙන්න. 

දැන් මාර්ක් ඇයට ආර්ථිකව උදව් කරනවා. එපාර්ට්මන්ට් එකක් අරන් දීලා, නරඹන්නොත් සල්ලි දෙනවා (GoFundMe campaign). මේ ෆලෝඅප් වීඩියෝවෙ කියවෙන විදිහට, දැන් ඇය පරණ ජීවිතයෙන් මිදිලා, දරුවො දෙන්නත් එක්ක හොඳින් ජීවත් වෙනවා.

කතාව මෙතනින් ඉවර වෙන්නෙ නෑ. හිටපු ගමන්, ඇගෙන් එන ආර්ථික ඉල්ලීම් වැඩි වෙන්න ගන්නවා. දවසට ඩොලර් දාහ, දෙදහා දක්වා. මාර්ක් යනවා අරං දීපු එපාට්මන්ට් එකට බලන්න. එකේ තියෙන "සෙල්ලං බඩු" ලමයිංගෙ එව්වා නං නෙමෙයි. බිල්ඩිමේ සැකුරිටි කියනවා, ආ, කව්ද කල්ලෙක් එපාට්මන්ට් එකට රිංගනවා, ස්පෙයා කී එක උන්දෑ ගාව කියලා.

මේ ඉන්නෙ ඒ රිංගන හාදයා. වීදි නම මැස්සා(Fly). Asriahගෙ ආර්ථික කළමනාකරු( aka පිම්පියා). මැස්සා, ඇගේ පාර්ට්-ටයිම් බෝයි-ෆ්‍රෙන්ඩ්.ඇයට ලැබෙන සමාජ සත්කාරය,  ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න අවශ්‍ය උපදෙස්,  ආර්ථික කළමනාකරුගෙන් ලැබුනා වෙන්ටෑ? මාර්ක් නං ඉන්නෙ, හොඳටම කළකිරිලා. ඔහු මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙන බව කියනවා. තුන්වෙනි වීඩියෝව මෙතනින්

ඇයව උද්‍යෝගමත් කරපු, මුදල් පරිත්‍යාග කරපු, පාඨකයොත් ඉන්නෙ කළකිරිලා. එකෙක් කියනවා, මැසි ඩබල විතරක් නෙමෙයි, මාර්ක් වුනත් කරන්නෙ "සූරා කෑමක්" කියලා. හ්ම්, එහෙම කිව්වෙ ඇමරිකාවට පැනපු "සහෝදරයෙක්" වත්දෑ?🤔

එතකොට දැන් මම මොකක්ද කියන්නෙ? අනේ රාළේ මම මං මුකුත්ම කියන්නෙ නෑ. මම මේ නිකම්ම නිකං මූකලං බස්සෙක් මිසක්, සමාජ විද්‍යාඥයෙක් නෙමෙයි නෙව?. කොටින්ම ඊලොන් මස්ක් රංඩිංග පෙන්නුවෙ, ෆ්ලයිට් ඇටෙන්ඩොන්ගෙ යටිබඩ බලන්නද, බිල් ගේට්ස්, කුප්‍රකට Jeffrey Epsteinව නිතරම හම්බු වෙන්න ගියේ, කාගෙ යටිබඩ බලන්නද, ඕව්වා මොනවත්, මේ අහිංසක පක්සියා දන්නෙ නෑ, ආයිබෝං!

හහ්, අපි නොදන්න තණමල්විල යටිබඩ?


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Tuesday, June 7, 2022

කැකිල්ලේ තීන්දු

මල්වානේ, අරුම පුදුම ඉබේ හැදුන නිවස. විත්තිකරුවන් නිදොස් කර නිදහස් -පුවතක්

කපුටා: හී, හී. කොමිස් තියෙන ගහට ටමා ගල් වදින්නෙ.

විත්තියේ අබ්බගාත්: අපේ Praසන්ன ඇමටිතුමා, චූට්ටං මිලියන 65ක කොමිස් කෑල්ලක් ගන්න තර්ජනය කලා තමයි. ඒත් එතුමාගේ දුවට විසාදිය. අනික රට බංකොලොත් කරන්න දායක වෙච්ච, මේ වගේ ඇමටියෙක් හිරේ යැව්වොත්, අපේ රටේ නම තමයි කැත වෙන්නෙ. ඈ?  

අනුකම්පාව ගන්න ඇමති, උසාවියට කියූ දේවල් -පුවතක්

අධිකරණයට අපහාස කලාට රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම් - පුවතක්

රුසියානු අර්බුදය හැදූ පිස්කල්ගේ වැඩ තහනම්! - පුවතක්

අසඩක් - නැඩුකාරයෙක් කියන්නෙ හොරෙක්

වැල්පාලමේ අලියා: හී, හී. 

නන්දෙ: මේ අර්බුදය හැදුවෙ මම නං නෙමෙයි

දුමියා:  මට වලිප්පුව

බන්දනාගාරෙ ලොක්කා: එහෙම කියනවා නං. ඉතිං මං මොනවා කරන්නද?

පොලෝසිය: අපි ටීම් දෙකක්ම දාලායි තියෙන්නෙ. ඔය කියන තරම් ලේසි නෑ ජොනියව අල්ලන්න. හා, එතකොට කොච්චරකල් ගියාද බින් ලාඩන්ව අල්ලන්න?

වැල්පාලමේ අලියා: දැන් අපි ලෑස්ති වෙන්න ඕනෙ, වේල් දෙකක් කන්න පුරුදු වෙන්න

මයිනා: දැන් සැප......ද?

සතියකට දින තුනක් පාර්ලිමේන්තුවට අල. බතල -- පුවතක්

උත්තරීතර ආඞි 225 දෙනාගෙ කැඳ හැලිය: හා!

පුටානෝ: මම අගමැටිකම නොගත්තෙ, අරගලය පාවා දෙන්න බැරි නිසයි

වැල්පාලමේ අලියා: අරගලය? කෝ, කොහෙද? හී, හී

ගෑස් වෙනුවට දර භාවිත කිරීමෙන් ආයු කාලය වැඩි වෙනවා - වියත්මග

සවේ: ස'  මට නං තවත් බෑ, ටෝ එක්ක මේ කරුමෙ ගෙවන්න. 


 වැල් පාලමේ අලි ආර්ථිකය : Exhibit A


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Friday, May 13, 2022

පොහොට්ටු කවි


වියත්මගේ උපදේසෙන්

ගොවිතැන් බත කෙල වුනාය

කපුටා, කබරා හිට් ද ප්ලේන්

ආර්ථිකෙත් හිඳවුනාය ///


අහස උසට නෙලුං කුළුනු

බලුප් දමා වැජඹුනාය

සකල සිරින් පිරි සිරිලක

හතර අතට ණය වුනාය///


ආසියාවෙ සව්-බාගය

කරවන එක වැරදුනාය

ඒ වුනාට මැදමූලන

ආර්ථිකේ තර වුනාය///


කොලොම්පුරේ තණනිල්ලේ

උද්ඝෝෂණ පැතිරුනාය

බෛයන් සැට් එකක් ඇවිත්

අප්පච්චී හමු වුනාය///

පුම්කට කොටන්න එපා යකෝ!


දේශ-බැන්ජො මැතිතුමාගෙ

අනුමැතියත් හිමි වුනාය

පොලෝසියෙන් බලා ඉද්දි

කූඩාරම් ඉගිලුනාය///


මයිනා මිසින්, ජොන්ටා මිසින්

නිශාන්තයත් ලෙෆ්ට් වුනාය

බේරෙ මාලු ඇවිත් පුම්කට

කෙටුව බවත් කියැ වුනාය///


අකමැති පුටුවට අහසින්

තනි අලියා ප්ලග් වුනාය

පුතාණෝගෙ පියානෝවෙ

තිබ්බ යතුරු ගැල වුනාය


අතීතයේ සිදුවුනුදේ

අද එලෙසම සිදුනොවෙතේ

අනාගතේ ගැන හිතුවම

ඇඟේ මයිල් කෙලින් වෙතේ///


හිතෙන දෙයක් සිදු නූනට

ඒකට ලතවෙන්න එපා

අල හිටවන, වංගු ගහන

කපුටන් හිඟ වෙන්න එපා///


මේ අර /// දාලා තියන්නෙ, ඒ පේලිය තුන් පාරක් කියන්නයි, ඈ? අපට ඉතිං, ඔය අනිත් අයට වගේ හිටෝන-කවි පිහිටල නෑ.  රාජකපුරු එකෙන් හොරා කෑව තමයි, අපේ හාංදුරුනේ.   


"මේ සී ලංකා මහරත්..." , පැංසොන් ගිය ඉස්ටේසන් මාස්ටර් කෙනෙක් වත්දෑ?😮🤔


අදාල වෙනත් ලිපි:






(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Wednesday, April 27, 2022

කපුටු සැමරුම් දිනය

කොමිස්, කොමිස්
අන්තර්ජාතික කපුටන් සැමරීමේ දිනය අදයි.  පොඩි කාලෙ රචනාව ලියන්න " කපුටා ගොවියාගේ මිතුරෙකි" කියල තමයි ඉගැන්නුවෙ.  ඊට පස්සෙ කපුටො ඔහේ හිටියා, අපිත් මෙහේ හිටියා. ඊළඟට කපුටො වෙනුවෙන් යමක් කලේ අපේ අපේ නන්දිවිසාල මැතිතුමා තමයි. ඔය ජාතියේ පංචායුදේ, අප්පුච්චගෙ දෑත් සක්තිමත් කරපු කාලෙ,  නන්දිවිසාල මැතිතුමා, හැටනම දහසක ගැල් හමුදාවකට නායක වෙලා හිටියා, ආන්න ඒ කාලෙ හැටේ වත්ත, අටේ වත්ත වගේ   කොළඹ වටිනා ඉඩම්, කොළඹ පේමන්ට් කාක්කො අයිති කරගෙන හිටියා.

අපේ මැතිතුමා, කොළඹ  කාක්කොන්ට ආප්ප තට්ටු නිවාස හදලා දුන්නා. ඔය එකෙක්, දෙන්නෙක් තප්පුලෑවා තමයි, රම්නවිරුවොන්ට කියලා දැන් කානු කප්පෝනවා කියලා. සමහරු නං කියන්නෙ, කෝටි ගාණක් වටින ඉඩං ටිකට බැස්ටිය දුන්නා කියලයි. අමූලික බොරු නෙව? ඔය වගේම බොරුවක් නෙව, දැන් ලොවෙත් නැති වියත්මගේ කස්ටිය අපේ මැතිඳාව කාබනික පෝර උගුලට රවට්ටන් ගියයි කියන කතාව? අමූලික බොරු, අරන් ගියේ නෑ, දක්කගෙන ගියේ. අනික,  එතුමා ඒක කලේ, කෘෂි-රසායන කාක්කොන්ට අගුණ නිසයි.

ඊලඟට කපුටොන්ට නිසිතැන ලබා දෙන්නෙ අපේ මොළ-හතානෝ. එතුමා කපුටො යොදාගෙන , කසළ ප්‍රතිචක්‍රීකරණය කරන්න වැඩ සටහනක් ඉදිරිපත් කරනවා. කබරා නං කිව්වෙ, එතුමා කපුටොන්ගෙනුත් 10% ඉල්ලුව කියලයි. 

ඇමරිකන් කපුටා







නිකං කපුටා

 පුතාණෝගෙ සාටක කපුටා

යන්නෑ, පුළුවන් නං යවපං යකෝ



මේ හැබෑටම, මයිනා කියන්නෙත් පොඩි කපුටො ජාතියක්ද?

අද්භූත යැයි බොහෝවිට  වරදවා තේරුම්ගත් , Corvus පවුලට අයත්, මේ අපූරු, බුද්ධිමත් පක්ෂීන්, පඩි නොලබන(ගරු සේවය) පරිසරයේ කසල ශෝධකයන්‍ වේ. වනාන්තර ප්‍රතිවර්ධනය සඳහා අවශ්‍ය ඇට(seeds) ප්‍රවාහනය සහ ගබඩාකිරීමට සහය වෙන මේ සතුන්, අපේ පරිසර පද්ධතියේ වැදගත් සාමාජිකයින් වෙයි. කපුටන් සැමරීමට, ජාත්‍යන්තර දිනයක් වෙන් වන්නේ එබැවිනි.  

එබැවින් රටේ ඉහලම තනතුරට කපුටෙක් යෝජනා කරමි. එවිට අතිගරු  කපුටා, නෑඳෑ සංග්‍රහවලට ලැදි නිසා, නොබෝ දිනකින් තනතුරු 225ටම කපුටන් පත්වනු ඇත. උත්තරීතර ගවගාලේ, කපුටන් සඳහා වෙනම භෝජනාගාරයක් පවත්වා ගැනීමට එතරම් මුදලක් වැය නොවන්නේ, ඉතුරුවන මාලු ඔලු සහ කසල ඒ සඳහා යොදා ගත හැකි බැවිනි. කපුටන්ට පියාපත් ඇති නිසා, වාහන සඳහාද මුදලක් වැය නොවේ. දැනට ගවගාලේ ඉන්නා 225 තප්පුලනවාට වඩා සද්දෙට කපුටන්ට කරව් කල හැක.  කමිටු පත් කිරීම, කාඩ් කුට්ටම ඇනීම සහ ජරාව කෑම කපුටන්ට කල නොහැකි දේවල් නොවේ.



මේව්වා ලියන්න ගිහින් මාව පයින් ගහලා ගෙදරින් එලියට දැම්මා. 
වියත්මග ඔයත් මග, මාත් මග.

කපුටන්, මයිනන් එලවීම ආරම්භයක් මිස, අර්බුදයට විසඳුමක් නොවන්නේ කපුටන් වැඩියෙන් කෑ නමුත්, සැවොම මේ අර්බුදයේ කොටස් කරුවන් වන බැවිනි. අවුරුදු 75 ක් තිස්සේ කවදා හෝ කෙලවෙන බව දැන, දැනම ණයට අරං කෑ බැවිනි. වතු කම්කරුවන් නෙලන තේ ටික, "ගාමන්ට් කෑලි" රෑ නිදි මරාගෙන මසා රටයවන ඇඳුම් ටික, ගෑණු අරාබියේ ගෘහසේවයට ගොස් එවන මුදලින් පාටි දැමූ හෙයිනි. සියලුම දෙමව්පියන්ට, තම දරුවන් "ඉන්ජෙක් හෝ ඩොකෙක්" කිරීමට අවශ්‍ය වූ බැවිනි. රටේ ආර්ථිකය බංකොලෙත් කලත්, තාමත් කපුටන් රට ගොඩ දාවි යැයි සිතන්නන් සිටින හෙයිනි. කපුටන් එලවන තෙක් කුරුමානන් අල්ලන "ගිජු ලිහිනියන්" සිටින බැවිනි.

වෙනස් විය යුත්තේ සමාජගතවී ඇති මේ "පරපුටු" කපුටු සංස්කෘතියයි.  

ඩාම් වෙනව ඩූම් වෙනව:


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Monday, March 28, 2022

ටුරෙට් සින්ඩ්‍රෝමය සහ අවංක කතාව

මේ සුරූපී කාන්තාවගෙ නම ඇනිටා. ලස්සනයි වගේම උගත් ඇයට, දෙයියො දෙන්න ඕනෙ ඔක්කොම දීලා තියනවා. බාගදා, ටිකක් වැඩියත් එක්කම. ලස්සනට කතා කරගෙන යන අතරෙ, හිටපු ගමන් අමුතුම සද්ද දානවා, විසිල් ගහනවා. සද්ද විතරක් නං මොකෑ, එක වංගියක් අහවල් කරුමාන්තෙ කොර, කොර ඉන්න කොට පාට්නර්ගෙ රංඩිංගටත් පාරක් කෙලල ඇරියා කියලත් කිව්වා.ඇගේ මේ අවංක ජීවන කතාවට සවන් දුන්නොත්, ඔබට තේරේවි "ටුරෙට් සින්ඩ්‍රෝමය" කියන්නෙ මොකක්ද කියලා. 

 
ටුරෙට් සින්ඩ්‍රෝමය, හුදී ජන බාසාවෙන් "ටිපර් වෙනවා" කියන දේ නෙමෙයි. ග්‍රැමී ඇවෝඩ් වලදි කනට ගැහැව්වෙ, ටිපර් වෙලා. එතකොට ඒක "ටුරෙට් සින්ඩ්‍රෝමය" කියන්න බැරි නිසා, ඔන්-කැමරා අඞලා සමාව ගන්න සීන් එක රඟ පාන්න වෙනවා. ටුරෙට් සින්ඩ්‍රෝමයෙ "ටික්ස්" එන්නෙ, සම්පූර්ණයෙන්ම අපේ පාළනයෙන් තොරවයි. 
 
ඇනිටාගෙ ජීවන කතාව මට අල්ලලා ගිය අනිත් කාරනේ තමයි, ඇගේ කතාව අවංකයි කියල හිතිච්ච එක. අද ලෝකෙ විරල දෙයක් තමයි අවංකකම. සමහරු මටත් චෝදනා කරනවා, මම මගේ සම්පූර්ණ කතාව කියන්නෙ නෑ කියලා. ඇත්ත, එහෙම කියන්න ඇහැකි අර "සුප්පා දේවිට" විතරමයි. අනික තට්ටයා මහත්තයත් කිව්වා, එච්චරම අබංක වෙන්න අවශ්‍යම නෑ කියල. ඒත්, වෙන කව්රු හරි අවංක කතාවක් කියනවා නං, එය අගේ කරන්න, ඒක බාධාවක් වෙන්නෙ නෑ.  

මෙහෙම චිත්‍රයක් හිතේ මවා ගන්න. ඔබ රටේ වැදගත් පුරවැසියෙකුගේ කතාවක් අසාගෙන සිටිනවා. " දැන් ගෑස් තියෙනවද, දැන් ගෑස් ඇති නේද?" ,  "දැන් සැපද?" වගේ කොටසක් ඇහිච්ච ගමන් ඔබට "*&#$@**@#*^&" කියලා කියවෙනවා. මේක හිතලා කියන දෙයක් නෙමෙයි, ඉබේම කියවෙනවා. ආන්න එහෙනං ඔබටත් ටුරෙට් සින්ඩ්‍රෝමය තියෙනවා. ඒ උත්තමයන්ගෙ රංඩිංගට, පරම්පරා කුට්ටමට කෙලලා අරින්න හිතෙනවද? එහෙනං ගොයියෝ, ආයෙ දෙකක් නෑ, ටුරෙට් සින්ඩ්‍රෝමයම තමයි.

කඩයිම් ප්‍රශ්ණය:
මේ කතා ඇහැව්වාම ඔබව "ටිපර්" වෙනවද, "ටුරෙට්" වෙනවද?

1. ඔය කියන තරම් ප්‍රශ්ණයක් නෑ. මිනිසුන්ට සල්ලි තියනවා. කෝ ආර්ථිකේ අද වැටෙයි, හෙට වැටෙයි කිව්වට වැටුනද?
2. මේ අර්බුදේ ආරම්භ කලේ මම නෙමෙයි. කවුරුවත් කියන්නෙ නෑ මම කරපු හැටි.
3. මොල හතානෝ ඉන්නකං අපිට ඩොලර් ගැන බයක් නෑ. අප්‍රේල් වෙනකොට, මේ සුළු,සුළු ප්‍රශ්ණ විසඳලා රට යථා තත්ත්වය පත් කරවනවා.
4. අපි මේ නිධානයක් උඩ ඉඳගෙනයි, හිඟා කන්න යන්නෙ. මේ රට හදන්න බැරි නං, හදන්න පුළුවන් වෙන රටක් නෑ. අපි සමාජවාදී චීනෙන්, සමාජවාදී රුසියාවෙන් ආධාර අරගෙන මේ රට දියුණු කරනවා.
5. දැන් සැප......ද?

අද රට පත්වෙලා තියෙන තැනට වග කියන්න ඕනෙ කව්ද කියන එකට සරල උත්තරයක් මම දන්නෙ නෑ. හැමෝම අඩු-වැඩි වශයෙන් දායක වෙලා ඇති. නිදහසෙන් පස්සෙ, හැමෝම ණයට අරන් පිනට කන්න පුරුදු වුනා. රට කරවපු ඇත්තො ණය අරන් ඇවිත් අපිටත් දුන්නා. උනුත් කෑව, අපිටත් දුන්නා, ඉතිං අපිත් කෑවා(70-77 කාලෙ ණයට කන පුරුද්ද වෙනස් කලාට, දූෂණය, අක්‍රමිකතා සහ අසාධාරණය හුදී ජනයාව නොමරා මැරුව). රටට ආදායමක් එන දේකට අලුතින් කෙරුනෙ, ගෘහ සේවිකාවො මැද පෙරදිග යවපු එක සහ ගාමන්ට් පැක්ටරි විතරයි. ඒ දෙකත් අසාධාරණකම් එමට තිබ්බා. අපේ රටේ මොල හතේ කපුටො හිටිය නං එහෙම වෙයිද?

මොල හතේ කපුටොන්ට ඩොලර් ගේන්න, කඹුරපු සන්නාලියොන්ට සලකපු හැටි:

බයින්න නං එපල්ලා. යාන්තං මාසෙට පෝස්ට් තුනේ කෝටා එක ඉවර කොලා.😉🙏

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි

Friday, March 11, 2022

කතිපයාධිකාරීන් - Oligarchs

 " මේකත් ලෝකයක්ද මරතේලිස්" කියලා, ලොකු හාමදුරුවො ඇහුවා කියල කතාවක් තියනවා. අද ලෝකෙ එකම අවුල් ජාලයක්. හෙට පුටියා, බර අවි වලින් කෙලල අරින්නත් බැරි නෑ. අපි මේ පඹගාලෙ පැටලුනේ කොහොමද?  පුටින්,  ෂී-ජින්-පින්, බින්-ලාඩින් හැදුවෙ කව්ද? දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙ දුන්න ගත්තෙ කව්ද? මේ ප්‍රශ්ණ වලට උත්තර, විදුහල්පතිත් දන්නෙ නෑ කියලයි පොතේ ලියල තිව්නෙ.

කලින් පෝස්ට් එකට, අපේ කොළඹ ගමරාළ මෙන්න මේ කමෙන්ට් එක දැම්මා. ඕකත් මගේ හිතේ තිව්නා. දවසින්, දවස පඹගාල ලියලනවා මිසක්, ලිහෙන පාටක් නම් නෑ. 

කතිපයාධිකාරීන් - Oligarchs



විනාඩි 50ක වීඩියෝවක් නිසා, කැමති නං විතරක් බලන්න. මේකෙ සාරාංශය, පුටිංගෙ සහය ලබපු, යුක්‍රේනයෙ කලින් හිටි ජනාධිපති, රට උලා කාපු හැටි. මේ කතිපයාධිකාරී හොර කල්ලිය, කොච්චර බලගතුද, සූක්ෂමද කියල මේකෙන් පේනවා. මේ හොරුන්ට, පහසුකම් සලසන්නෙ කව්ද? බටහිර රටවල් තමයි. එතකොට, ඒ බටහිර රටවල්ම කතිපයාධිකාරීන්ගෙ දේපල ගල් කලා කියලත් කියනවා නේද? ඔය "ගල්" කිරිල්ලත් සාපේක්ෂයි. ගල් දිය කරන සෑස්තරේ, අබ්බගාත් මහත්තුරු දන්නවා. ඩුබායි වගේම ලන්ඩන්, ස්විස්ටර්ලන්තයත් කළු සල්ලි සුදු කරලා දෙන ලොන්ඩරිම තමයි. 

දැන්, කෙනකුට හිතෙන්නෙ පුළුවනි, කලින් හිටි ජනාධිපති, රට උලා කෑව, දැන් ඉන්න ජනාධිපති බටහිර ලණුව කෑව කියලත්. මේ හැම තර්කයකම අර්ධ සත්‍යයක් තියනවා වෙන්නත් ඇහැකි. යුක්‍රේනියානුවො නිදහස වෙනුවෙන් පණ දෙන්න හදන එකත් සාධාරණ වෙන්නත් ඇහැකි. තවත් ඇත්තක් තමයි "තිත් යාකල හැක්කේ පසු පසට පමණි" කියන එක. ඒ කියන්නෙ, කාටහරි වැරදුනාම, ඒක විවේචනය කරන්න ලේසි වුනාට, අනාගතය ගැන නිවැරදි අනාවැකි කියන්න අමාරුයි කියන එක. 

https://youtu.be/khFb4FTJ4Jo

නිදහස එක පාරක් රසවිඳින්න ලැබුනම, ඒක අතාරින එක අමාරු වැඩක්. සමහර රුසියානුවන්, පෝලන්තය හරහා රට හැර යන කතාවකුත් තියෙනවා. බාගදා පස්සෙ පුටිං ඒකත් නවත්තාවි. හෑ, එහෙම නෑ කිව්වා? හරි, දැන් ඔය අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ තුන්සිය හැට ගාණක් සීමාකරලා තියනවා නේද? ඒක කොහොමද බලපෑවෙ කියලා පස්සෙ කියන්නකො. ඒවගේම, රුස්සොංගෙ තෝරාගැනීමේ නිදහස නැතිවුනේ ආදායමට වැඩිය වියදං කරලා, ණය වෙලා, සම්පත්/තාක්ෂණය නැතුව එහෙම නෙමෙයි. 

Choices- freedom to choose



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Saturday, March 5, 2022

නිෂ්පාදිත ඇත්ත, බාග ඇත්ත, ඔබේ ඇත්ත සහ මගේ ඇත්ත

Beauty is in the eye of the beholder කියන එක අනුව ලස්සන, බලන්නාට සාපේක්ෂය කියන්න ඇහැකි. ලස්සන විතරක් නෙමෙයි ආචාර ධර්ම, යුක්තිය වගේ දේවල් පවා බලන්නාට සාපේක්ෂයි. 

අපි ලෝකය දකින්නෙ, පාට කණ්නාඩියක් හරහාය කියල සමහරු කියනවා. ඒත් කිසිම කෙනෙක් පිළිගන්නෙ නෑ, තමනුත් පාට කණ්නාඩි පළඳින බව. අනිවාර්‍යයෙන්ම මමත් එහෙමයි. 

ගලේ කොටපු දේ වගේ නූනත්, දැනට මට පෙනෙන දේවල්:

1. Botox(Botulinum toxin) වලට මිනිසුන්ට තරුණ පෙනුම ලබාදිය හැකි නමුත්, අමරණීයත්වය ලබා දිය නොහැක.

2. යුක්‍රේනය EU එකට පමණක් බැඳී,  NATO නොමැතිව මධ්‍යස්ථ රටක් ලෙස  සිටියා නං හොඳ යැයි සිතෙන නමුත්, වැට උඩ ඉන්නා න්‍යෂ්ඨික බළලෙක් අල්ලපු රටේ සිටින විට, යුක්‍රේනයට එසේ නොසිතෙන්නටත් ඉඩ ඇත.

3. fb සහ සමාජ මාධ්‍ය වාරණය, "කතා කිරීමේ නිදහස" අගයන බටහිරට ගැලපෙන්නේ නැත.

4. රුසියාවෙන්ම මේ ආක්‍රමණයට විරෝධයක් එල්ල වෙන අතර, ලෝකයෙ වැඩි දෙනෙක් මේ ආක්‍රමණයට විරුද්ධ වෙන බව පෙනේ.  

5. සීතල යුද්ධය අවසන් වී ඇති අතර, රුසියාවේ තවදුරටත් ඇති සමාජවාදයක් නැත. ඒ අනුව, NATO රටවලට මිසයිල එවා රුසියාවට තර්ජනයක් එල්ල කිරීමට අවශ්‍යතාවයක් ඇතැයි  නොසිතේ. 
 
6. න්‍යාත්මකව, වඩා සාධාරණ සමාජයක් සෑදීමට කැපවේ යැයි කියන, සමාජවාදී දේශපාලන ඇත්දැකීම් ඇති රුසියාව, ධනවාදී සහ සමාජවාදී ක්‍රම දෙකේම හොඳම දේ ගෙන, ආදර්ශමත් රටක් තැනුවා නම්, විදෙස් කුමණ්ත්‍රන ගැන බියෙන් සිටීමට සිදුවන්නේ නැත.

7. ඇමරිකානු යුක්තිය සහ ආචාර ධර්ම සැමවිටම හොඳ ආදර්ශයක් නොවන අතර, රුසියාව අස්ථාවර කිරීමට ඇමරිකාව කැමති නැතැයි සහතික විය නොහැක. ඒත් යුක්‍රේනය වැනසීම  සාධාරණීකරනය කිරීමට එය  හේතුවක් ලෙස නොපෙනේ.

හා, දැන් ඔය කිව්ව ටික ඉංග්‍රිසියෙන් කියන්න බලන්න. ඔන්න ඕක නෙව, ඔහෙලට ඉංග්‍රීසී ගුරු පත්වීමක් දෙන්න බැරි? මුදල් ඇමති කමක් නං තියෙනවා, ඕනෙද?

තාම වින්ටර් එක වුනත්, ඊයෙ කාක්කෙක් ආවා. ඇවිත් ඉංග්‍රිසියෙන් කාක්, කාක් කියලත් කිව්වා. කාක්කො අනික් පක්ෂීන් වගේ වින්ටර් එකට සංචාරය කරන බවක් සඳහන් වෙන්නෙ නෑ. මට ආපු ප්‍රශ්ණෙ තමයි, කාක්කො පට්ට සීතලට ඉන්නෙ කොහොමද කියන එක? උත්තරය Torpor 

වලිගෙ වනන කපුටාස්:


ඇත්තටම මේකා ක්‍රෝ නෙමෙයි රේවන්. මේ බොලා කවුරු හරි දන්නවද  රේවන්ට කියන සිංහල වචනෙ? ගූගුල් දන්නෙත් නෑ කිව්වා. එතකොට ලංකාවෙ රේවන්ලා නැත්ද? 

පස්ස වනන පූසාස්:


බයින්න එපා, හරි,හරි වංචා පෝස්ට් එකක් තමයි.  තර්ජනය කරල ලියවෙව්වා.😂

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Thursday, February 17, 2022

වින්ඩෝස් 11 නරි වාදං

වින්ඩෝස් 11, Dev version Bulild 22557 අද ආවා.ප්‍රධාන වෙනස්කම්:

1.ස්ටාර්ට් මෙනු එකේ ගෘප්ස් ආයෙ දීලා

2. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක

3. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ, ක්වික් ඇක්සෙස් එකට, අපි කැමති ඕනෑම ෆයිල් එකක්, ෆෝල්ඩරයක් පින් කිරීමට ඇති හැකියාව

දැන් ඔහෙලා කියාවි, ඉතින් වාහෙ, ඔව්වා ඔක්කොම වගේ වින්ඩෝස් 10 තියනවනෙ කියලා. ඇත්ත, ඒත් වින්ඩෝස් 11 අවුල වුනේ, වින්ඩෝස් 10 තිබ්බ, අපි කැමතිම පහසුකම් හලපු එක නෙව?  දැන් ඒ ප්‍රශ්ණෙත් කම්මුතුයි. තව ඉතිං, ටාස්ක් මැනජර්ටත් නව මුහුණුවරක් දීලා. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක ගාවට මවුසා ගෙන ගිය සැනින් විජට් වින්ඩෝව පෙන්නනවා. කොටන්න ඕනෙ නෑ.

තව මෙන්න මෙහෙම, අලුත් වින්ඩෝස් ස්නැප් ප්‍රිවීව් එකකුත් අලුතින් දීලා තියනවා

තව තියනවා, efficiency mode කියලා, අලුත් පහසුකමක් ටාස්ක් මැනේජර් එකේ. වින්ඩෝස් සර්ච් එකත් වැඩි දියුණු කරලා. තව, දැන් ටාස්ක් බාර් එකට ඇප්ස්, ඩ්‍රෑග් ඇන්ඩ් ඩ්‍රොප් කලෑකි. කොහොමත් වින්ඩෝස් 11 අසාර්ථක OS එකක් නෙමෙයි. හොඳයි හැබැයි තාමත් අසම්පූර්ණයි.

ඒත් වින්ඩෝස් 11 පාවිච්චි කරන්න, ඔක්කොම ඉවර වෙනකල් ඉන්න එක හරියන වැඩක් නෙමෙයි. ඒනිසා මම කියන්නෙ, දැන් පාවිච්චි කරන්න ගත්තට කමක් නෑ කියලයි.

ස්ටාර්ට් මෙනු ගෘප්ස් දුන්නට, මට දැන් ඒක පරක්කු වැඩියි. මම 7Stacks පාවිච්චිය අත්හරින්න අදහසක් නෑ. මේ තියෙන්නෙ මගේ 7Stacks, ටූල්ස් ගෲප් එක:

ඕකෙ ඇට-හුටාමාරක් යුටිලිටි ඇප්ස් තිබ්බට, මම අලුතෙන්ම දාගත්ත, OCCT බොහොම හුරුබුහුටි යුටිලිටි ඇප් එකක්. AIDA64, HWINFO, HWMonotor, CPUZ, GPUZ වගේ ඇප්ස් බොහොම ප්‍රයෝජනවත් වුනාට, OCCT වල විශේෂත්වය වන්නේ, දැනට මම දැකපු හොඳම UI ඩිසයින් එක නිසයි. අවශ්‍යකරන විස්තර, කියවන්න ලේසියි වගේම ඇහැට ප්‍රියයි. ඔබට අවශ්‍ය ඔක්කොම දේවල් දැන් එකම වහලක් යට ලබා ගන්න, ඔබත් අදම ගන්න OCCT (බාගැනීම නොමිලේ මෙතනින්)



කලින් පෝස්ට් එකේ, විසුල කවින්ද මැතිතුමා, වටිනා ඉල්ලීමක් කරලා තිබුනා. එයැයි හොයනවා කළුනික යූටියුබ් වීඩියෝ ප්ලේයර් එකේ තියෙන පහසුකම් තියෙන, ස්ටෑන්ඩ්-එලෝන් මීඩියා ප්ලේයර් ඇප් එකක්.  ඒක ගැන විසුල කවින්ද  බාසාවෙන් ලියූ ඉල්ලීම, සම්පූර්ණයෙන්:

මම හොයන තාමත් නොලැබුන මෘදුකාංග දෙකක් තියෙනවා.
1. යූටියුබ් වීඩියෝ ධාවකයේ මෙන් ටයිම්පීකරය තුල මූසික සූචකය තබා සිටින විට එතැනදී පෙන්වන රූප රාමුව පෙන්වන, චිත්‍රපටියක් බාගෙට නරඹා වසා දමා නැවත නරඹන්න පටන්ගත්විට කලින් නතරකල තැනින් පටන්ගන්නා මාධ්‍ය ධාවකයක්.

2. තිරස් අතට පිටු අනුචලනයවන සහ වෙබ් ගවේශකයක මෙන් ‘ආපසු‘, ‘ඊලඟ‘ පිටු වලට යන්න බොත්තම් ඇති පීඩීඑෆ් පෙන්වනයක්

මම හෙව්වම, මෘදුකාංග කීපයක්ම ලැබුනත්, PotPlayer තමයි හොඳටම කලේ. මේකෙ තියෙන විශේෂත්වය තමයි, seek/thumbnail preview පහසුකම වඩා සුමුදු ලෙස පෙන්වීම. ඒත් දාගත්ත ගමන්, ඒ පහසුකම ඉබේ එන්නෙ නෑ. ඔප්ෂන් ගිහින් ඔන් කරගන්න ඕනෙ.

පිලිගැන්වීම: ටැක්නිකල් ලිපි ලිවීම ආරම්භ කර, අසරණ නිදිව වෙන්දේසිකල නමියාට.


හොඳ වෙලාවට උදේ ගිහින්, කන්න බඩු ටික අරං ආවෙ. මේං දැන් "දෙන්න පටන් ගති, දෙන්න පටන් ගති, දණබිම ඇනගෙන"

ආ, තව Brothers Game එක ආං නිකං දෙනවා, බාගනිල්ලා. ගූගල් එකවුන්ට් එකකින් ලොග් වෙතෑකි, නූල්-සූත්තර නැත. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Saturday, February 12, 2022

අලුත් බිත්තර සහ කුණු බිත්තර

Newegg කියන්නෙ, මේ සාවියෙ ඉන්න කම්පියුටර් කොම්පැණියක්. වොල්මාට් වගේම යැංකි එකක් වුනත්, ඇමසන් එකෙන් එන තර්ජනය හමුවේ, තාමත් ඉහ ගහගෙන ඉන්න කොම්පැණි අතලොස්ස අතරින් එකක්. ඉස්සර, හොඳ නමක් තිබ්බත්, දැන්, දැන් වාර්තාවෙන සිද්ධි නිසා, මිලදී ගන්න පෙර, දෙපාරක් හිතන්න වෙනවා.

බිත්තර කියල කිව්වද?
 මේ වීඩියෝවෙ ඉන්න, කොන්ඩෙ දිග හාදයා,  ශ්‍රී නාමෙ දැළි නොගාගත්ත, ස්වාධීන තාක්සනික සමාලෝචකයෙක්. Newegg එක වරද්ද ගත්තෙ, ඔහු ඕඩර් කර,  පෙට්ටියවත් නොඇර රිටර්න් කරපු, මව්පුවරුවකට අභූත චෝදනාවක් මත, ගෙවීම පැහැර හැරීමට තැත් කිරීම නිසයි. දෙබරෙට ගල් ගැහැව්වා වගේ, ඉන්ටනැට්ටෙ තාක්සනික ගැන්සිය ඇවිස්සුනාම, Newegg එකට තේරුනා වැඩේ වැරදුන බව. අත්හිටවපු ගෙවීම කරලා, පෙට්ටියත් ආයෙම එව්වා. ඒකෙන් වුනේ, Newegg එක, දෙවනවරටත් අනා ගත්ත එකයි. පෙට්ටියෙ අලවලා තිබුන, ලේබල් එකක් ආධාරයෙන් ඔප්පු වුනා, Newegg එක, දැන දැනම කඩේ ඇරියා කියලා. 

අද මෙවැනි වෙළඳ අධිකාරි විතරක් නෙමෙයි, තව බොහෝ දේවල් ස්වාධීනව අභියෝගයට ලක් කෙරෙනවා. මේ යන අලුත් නිදහස් තාක්ෂණික නැඹුරුවට මම නං කැමතියි. අසාධාරණ වෙළඳපොල ඒකාධිකාරිය වගේම  ව්‍යාජ බමුණු කුලත් බිඳ වැටිලා, දැණුම නිදහසේ බෙදා හැරෙන හැටි හරිම අපූරුයි. සොරි, පිරිසිදු හැල බසින් නං ඒක කෙරෙන්නෙ නෑ.

මම මගේ මව්‍ පුවරුව බාගත්තෙත් Newegg එකෙන්, ගත්තට පස්සෙ, උන්දලා ඒකම තව සුපියල් 30ක් අඩුවටත් දැම්ම නිසා, මම හිටියෙ නයා මැරිව්ව අහිකුණ්ථිකයා වගේ. ඒත් මේව්වා දකිනකොට, දැන් හිතෙනවා, අතක් පයක් නොකැඩි, ඔයින් ගියා මඳැයි කියලා. 

කොන්ඩෙ දිග හාදයාගෙ කොම්පැණියට GN( Gamers Nexus), 1.57M දායක සභාවක් ඉන්නවා. නෑ, නෑ, ගෝට් චීස් එක්ක සැමන් ෆිලේ කනවද කියන්න නං දන්නෙ නෑ. එයාගෙ ලැබ් එකට අවශ්‍ය ටෙස්ට් මැෂින් ගන්න පවා දායක වෙන්නෙ, කොමියුනිටි එකේ කස්ටිය. මම ඔහුව අගේ කරන එක කාරණයක් තමයි " කිසිම සන්නාම නාමයකට(brand) ගැන, ඕනවට වඩා අන්ධ භක්තියක් ඇති කරගන්න එපා(ඔවුන්ගෙ රිවීව් ගැන පවා)"  කියලා ඔහු කියන එක ගැන.  බුදු බණේ තියෙන්නෙත් එහෙමම නේද?


මේකෙ විස්තර කරන්නෙ, හොඳ කොලිටියේ, බජට් පවර්-සප්ලයි එකක් ගැන. මේ රොකට් සයන්ස් නෙමෙයි. X,Y safety capacitor,Thermistors( surge suppression) , common-mode noise rejection, ripple filterring, EMF noise, load regulation, buck converter වගේ මූලික පවර් ඉලෙක්ට්‍රොනික්ස් සිද්ධාන්ත දැණගත්තාම, වීඩියෝව තේරුම් ගන්න අමාරු නෑ.අනික මේ හදන්නෙ, පවර්-සප්ලයි රෙපයාර් කරන්න නෙමෙයි නිසා, සරලව, උඩින්-පල්ලෙන් දැණගත්තාම හොඳටෝම ඇති.  හොඳ පවර්-සප්ලයි එකක් නම්, ඕවර් ලෝඩ් වුනත්, පියුස් යන්න ඉස්සෙල්ලා කට්-ඕෆ් වෙන්න ඕනෙ.  සාමාන්‍යයෙන් ඕවර් ලෝඩ් කට්-ඕෆ් පොයින්ට් එක 120-140% අතර තියෙන්නෙ. ඒකෙ අදහස, එහෙම දිගටම කරටියෙ පාවිච්චි කලාට අවුලක් නෑ කියන එක නෙමෙයි. ඒ ඉලෙක්ට්‍රොනික්ස්, විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොලයිටික් කැපෑසිටර් වල ආයු කාලය, උෂ්ණත්ව වැඩිවීමට  ප්‍රතිලෝමව සමානුපාතික නිසයි. ඇවරේජ් පවර්-සප්ලයි රේට් කරලා තියෙන්නෙ, 40c වලට.

තට්ට මහත්තයාගෙ නමේ  "ගල්" කියල කොටසක් තියෙනවා වුනාට, එයා ගල් ආඳා වගේ නොලිස්සා, හොඳට පැහැදිලි කලා. එයා කියනවා, අපිට තියෙන්නෙ විචාර බුද්දියෙන් අහගෙන ඉන්නයි( මෙතන තියනවා, වඩා ගැඹුරු රිවීව් එකක්). ගාණෙ හැටිය වටින භාණ්ඩයක්.
ඊයෙ බලන කොට, මේන්න ඕකම Newegg එකේම යැංකි සුපියල් 30ට දාලා. ප්‍රී ෂිපින් දෙනවාත් කිව්වා. කෙටුවද කියලත් අහනවා? ඊයෙ කෙටුව, අද  තැපෑලෙ ආවා. ඒත්, වල් තැපලා මට ඒක දුන්නෙ නෑ, බිල්ඩිමට එන සැකුරිටි කෝඩ් එක නෑ කියලා, ආයෙ අරං ගියා.ඕකව දීයාම  කාපිය! දැන් එන අඟහරුවාදා එනව කියන්නෙ.

දැන්, තියෙන එක තාම වැඩ නං, ඕක ගත්තෙ මොන උලව්වකටද? එතකොට, අර පලවෙනි වීඩියෝවෙන්වත්, Newegg එක ගැන පාඩමක් ඉගෙන ගත්තෙ නැද්ද? ම්හු....බකුසු මොටෝ එක "පලමුව කොටන්න, දෙවනුව හිතන්න" කියන එක නිසා, නොකොටා කොහොමද? ජීවිතේ කියන්නෙත් එක්තරා සූදුවක්- කැල්කියුලේටඩ් රිස්ක් එකක්. 

මේ තියෙන්නෙ, 2016 දි දැන් තියෙන EVGA PSU එක ගන්න කලින් තිබ්බ පවර්-සප්ලයි එක. ඒකත් Cooler Master ම තමයි( ඒත් අද Cooler Master තත්ත්වය සහ කොලිටිය හුඟක් වෙනස්). ඔය Cooler Master-460W එකේ, 12V රේල් එකේ උපරිම රේටින් 300W. ඒත් ඒකවත් හරියට දුන්නෙ නෑ. අලුත් GPU එකක් දාපු ගමන්, ස්ක්‍රීන් එකේ අකුරු ස්ක්‍රැම්බල් වෙන්න ගත්තා. එහෙම හදිසියේ අලුත් එක ගත්ත නිසා, ගන්න වුනේ සුපියල් හැට පහකට. ලඟකදි EVGA  ෆෑන් එකේ සද්දයක් ආ නිසා, ග්‍රීස් ගසා උඩු යටිකුරු කර භාවිතා කරන නමුත්, දැනට අවුරුදු 5කට වැඩි, සීනියර් සිටිසන්  EVGA ලඟකදී අභාවප්‍රාප්ත වීමටත් ඉඩ ඇත. එසේ වුවහොත්, විශ්‍රාම ගැන්වීමට මිස, අටවා දිවවීමට කිසිම අදහසක් නැත.

එතකොට කොහොමද, හෝතම්බුවා එකම PSU එක අවුරුදු 10 පමණ තාමත් පාවිච්චි කරන්නෙ? උත්තරය "Ignorance is  bliss"

අවුරුදු 5 ක් කියන්නෙ, කම්පියුටර් වර්ෂ වලින් දිග කාළයක්. PSU සම්මත වගේම ආරක්ෂක ක්‍රමවේදයන්ද සෑහෙන පමණ වෙනස් වෙලා.  ෆෑන් බෙයාරිං ක්‍රමවේදත්( dust proof) ඒ එක්කම දියුණු වුනා. මේ සියල්ල සලකා බැලූවිට, කම්පියුටරයේ, ඉදිරිපෙල ආරක්ෂකයා වන PSU එකට, යැංකි සුපියල් 30 ආයෝජනය, සාධාරණ බව හිතෙන්නෙ නැද්ද?

Cooler Master 650W 

ප.ලි: තැපලා ආවා. පාර්සලෙත් ගෙනාවා😊👌

 


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Wednesday, February 9, 2022

ටිං කටරය , විලි ලැජ්ජාව සමඟ ටිංටිං

ටිං කටර් ගැන කව්ද නොදන්නෙ? හා, නැද්ද? ඔහෙලට කියන්න, මාත් හිතන් හිටියෙ ඔහොමම තමයි. මෙහෙම හිටියට, මමත් ඔය සම්ප්‍රධානුකූල ටිං-කටර් සෑහෙන ගාණක් කම්මුතු කරපු බස්සෙක්. එක සැරේ ගන්නවා දෙකක්. එකක් මොට වෙනකොට, ඒක පැත්තකට දාලා, අනික ගන්නවා. ආයෙ ෂොපින් ගිය වෙලාවක, සේල් එකක් බලල, නිවිහැනහිල්ලෙ ආයෙ ගේනවා තව එකක්.

ඔන්න ඔය ක්‍රමයට තමයි, බස්සාගේ ටිං කටරයේ කතාව ගලා ගෙන ගියේ.  හැල-හැප්පුම් නැතුවම, ගලා ගෙන ගියා කියල නං කියන්න බෑ. ටිං එකට අත කපා ගත්ත වාර ගාණ මතක නෑ. ලොකුම අවුල තමයි, කපාපු ටිං පියන, නැවත ටිං එක උඩ තියන එක. ඒකටත් ක්‍රමයක් හොයා ගත්තා. ටිං එක මැදින් ඔබල, ඉලිප්සාකාර කරලා, පියන උඩින් තියන එක. ඒත් ඔය, අසමහ්ජාති පියන, කොහොම හරි රිංගනවා ටිං එක ඇතුලට. 

ඔය අතරෙ තව අත්හදාබැලීම් කලා. පියන සම්පූර්ණයෙන්ම නොකපා, ටිකක් ඉතුරු කර දොරක් සේ භාවිතා කිරීම වගේ.

ඒත් ටික වතාවක් අරින,වහන කොට පියන වෙන් වෙනවා.අනිත් අවුල තමයි, පියන හොඳ හැටි "සීල්" නොවන නිසා , අඩංගු දේ වියලෙන එක. බාලම ටිං කටර් සිට, බ්‍රෑන්ඩඩ් එව්වා දක්වා ටිං කටර් වර්ග කීපයක් අත්හදා බැලුවත් එකම සන්තෑසිම තමයි වුනේ.

ඔය අතරේ දවසක්, මෙන්න මේක ඇන්න ආවා. ටක්කෙටම කෙලගෙන එන්න ඇත්තෙ, සේල් එකකින් වෙන්ටෑ? ගෙනාවට මුන්දෑ උන්නෙ පැත්තක. ඒ පැත්ත, මේ පැත්ත පෙරලලා බැලුවා. 

ම්හු...අර දන්න ටිං කටර් වගේ නෑ, කැපෙන්නෙ කොහොමද කියලා හිතාගන්නම බෑ. මඟුලක් අහනවා? පිස්සුද, ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද මැනුවල් කියවන එක?

කියන්න කණගාටුයි මහත්වරුනි, පස්සෙ ලැජ්ජාව බිමින් තියලා යූ-ටියුබ් වීඩියෝවක් බැලුව. මේක වැටෙන්නෙ safety can opener කියන කැටගරියට. කැපෙන්නෙ පිට පැත්තෙ තියන දාරෙන්. කපාගෙන යනකොට, කැපෙනවා කියල හිතෙන්නෙත් නෑ.

ඒත් සම්පූර්ණ වටයම ගියාම, අතට සියුම් බුරුලක් දැනෙනවා. ඒත් පියන කැපිලයි තියෙන්නෙ කියල පේන්නෙ නෑ. කියල තියන විදිහට,පැත්තෙ තියෙන අඞුවෙන් අල්ලලා පියන ඉස්සුවාම, අපූරුවට ගැලවිලා එනවා.

මේ දවස්වල වැඩිය ෂොපින් නොයන නිසා, ටිං කෑම නැගලා යනවා. අලුත්ම අතුරුපස ලෙස කලවං පළතුරු තට්ටුවක් දැමූ ජෙලි සමඟ උඩින් දැමූ ටින්කිරි  අත්හදා බලන ගමන් මේ ඉන්නෙ. කුකුලා මාක් ටිංකිරි එක ලඟ, පැන්සොන් ගිය ටිං කටරයාට හේත්තුව දාගෙන ඉන්නෙ අලුත් එකා. හොඳම කොටස, දැන් පියන ඇතුලට වැටෙන්නෙ නැති එකයි, සෑහෙන තරම් හොඳට පියන සීල් වෙන එකයි.

දේශීය තාක්සනය යොදාගෙන, කටර් නැතුව සිමෙන්ති වලින් ටිං ඇරපු, ආරක්ෂක භටයෙක් අඹතලේ හිටියා . උන්දෑ ටිං අරින්න දෙයියා. ටිකක් ඈත ඉඳන් වැඩට ආවෙ පුෂ්-සයිකලේමයි. එනකොට මඟදිම සලු වෙලයි එන්නෙ. එයැයිගෙ, රෑ කෑම පොඩි සැමන් ටින් එකක් විතරයි. තව ගේනවා තක්කාලි, ලුනු-ලූණු සහ අවුමිරිස්. අර ගෙනාපු සැමන් ටිං එකේ දාරෙ උලනවා සිමෙන්ති පොලවෙ, දාරෙ ගෙවෙන කල්.  අකාලෙ මලා, ඒත් උන්දෑ නියම හැල යක්ඛ පුතෙක් .   

කෙටි වීඩියෝව:


සම්පූර්ණ තොරණෙ විස්තරේ:


ටිං වගේම බස්සා කැමතිම කෙනෙක් තමයි ටිංටිං. මැකීගිය දඩමං පොස්ට් සීරීස් එකේ තියෙන විදිහට,මම ප්‍රංසෙ ඉඳන් ඇම්ස්ටඩෑම් යද්දි කෝච්චිය බ්‍රසල්ස් හරහා ගියත් නැවැත්තුවෙ නෑ. බ්‍රසල්ස් වල ගොඩ බැහැපු බුරතීනෝටවත් ටිංටිං එක්ක කෝපි බොන්න චෑන්ස් එකක් ලැබිලා නෑ. අද වගේ පහසුකම් නැති, මගේ කුඩා කාලෙ ඉංග්‍රිසි ඉගෙන ගන්න උනන්දු කරපු  එක හාදයෙක් තමයි මේ ටිංටිං . අද වුනත්, කැත නැතුව කෙනෙකුට මේ පොත් නිර්දේශ කල හැක්කේ, එහි භාෂාව,ව්‍යාකරණ නිවැරදි නිසයි. Z-libraray එකේ මේ පොත් තියනවා. දාලා තියෙන පිංතූර, ටිංටිං මුල්කාලෙ පොතක් වන TinTin - 01 - Land of the Soviets පොතෙන්. PDF කියවන්න මම පාවිච්චි කරන්නේ Cover-Comic Reader.

ඩික්ෂණරිය ලඟ තියාගෙන, කොමික් පොත් කියවන එක ලේසි වැඩක් නෙමෙයි, ඒත් එදා ඒ ක්‍රමය සාර්ථක වුනා. අද මේ ඉන්ටනෙට් යුගේ එහෙම කරන්න අවශ්‍ය නෑ, ඊට වඩා හුඟක් පහසුකම් තියනවා. පටන් ගැනීමක් හැටියට සබ්-ටයිටල්, ගූගල් ට්‍රාන්ස්ලේට් හොඳ වුනාට, ඒවට ඇබ්බැහිවීම, බොරු වලක වැටීමක් කියන එකයි මගේ අදහස. 





මට හිතෙන දෙයක් තමයි,  කොතරම් අපහසු වුනත්, අපි අපේ පුරුදු විස්වාස/ඇදහිලි වලින් වෙනස් වෙන්න කැමති නෑ කියන එක. සුද්දා ඕකට කියන්නෙ "comfort zone" කියලයි. කොච්චර අත කපාගත්තත්, මම මෙච්චර කාලයක්ම පුරුදු ටිං කටර් එක අතනෑරියෙ ඒනිසා වෙන්ටෑ?  ඒත් සාධක නැති අපේ හැම විස්වාසයක්ම එහෙමද, නැත්නම් ඒ අපේ නොදන්නා කමද?

ගමරාළ නං කිව්වෙ, හා බොරු නං වත්තෙ ලස්සනට වැවිච්ච මල් පාත්තියක පිංතූරයක්, මූණුපොතේ දාලා බලපල්ලකො, මල් ටික හුටස් ගාලා කූරියා ගහන්නෙ නැද්ද කියලයි.


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)