Friday, July 23, 2021

හිතේ ඇඳුනු කෙටි කතාවක්

කාලෙක හිටන් හොය, හොයා හිටිය කෙටි කතාවක් හම්බ වුනා. නම "තනිකම", ලියල තියෙන්නෙ "කේයස්" යන අන්වර්ථ නමින් ලියපු සාගර පළන්සූරිය මහත්තයා. චායානුවාද කියන කැටගරියට අයිති මේ කතා වලට, මම කොහොමත් මනාපයි. ඔරිජිනල් කතාවෙ අදහස අරගෙන, ඒක දේශීයකරණය කරලා, තව ආරලු-බූරලු දාලා තමා ලියන්නෙ. ඔරිජිනල් බෙංගාලි සිත්තර පටියට, කොච්චර ධනාත්මක විචාර තිබුනත්, මේ කතාවෙන් මං ලබපු රසය, මට නං ලැබුනෙ නෑ.
ජැකා කොහේ අල්ලන්නද, අපෙ මැතිඳාගෙ නැට්ට
හුරේ රන් එකක් දුන්නා, යයි මැතිඳා හැටේ හැටට    

කතාවක් නියම විදිහට රසවිඳින්න නං, ඒ පරිසරය, ජීවන රටාව හොයල බලල, කතාවට බහින්න ඕනෙ කියල කිව්වෙ , අපේ ප්‍රාජේ මැතිදා. උන්නැහේ නං කෙලින්ම බහින්නෙ, වික්ටෝරියානු එංගලාන්තෙට. බැහැල, cobblestone ගල් අල්ලපු, ගෑස් ලාම්පු කණාමැදිරි එලි වැටිච්ච, ටොක-ටොක ගගා අස්ප කරත්ත යන, ගල් අඟුරු දුම සහ මීදුමෙන් වැහිච්ච ලංඩන් නගරෙ, අඳුරු පාරවල් දිගේ ඇවිදගෙන යනවා. ආන්න එහෙම යනකොට තමා, Jack the Ripper පස්සෙන් පන්නන් ඇවිත් තියෙන්නෙ. නෑ, අහුවෙලා නෑ, ඔය දෙන්නෙ හුරේ රන් එකක්.

මේ කතාවට බහින්න, එහෙම අමුතුවෙන් හොයන්න දෙයක් නෑ, ඔක්කොම අපි දන්න යටගිය දවස, හද්ද පිටිසර ගැමි ජීවිතය. බොහොම සැහැල්ලු කියවීමක්, බලන්න, මේ කතාව ගැනම, මම කලින් පෝස්ට් එකක් ලියල තියන නිසාත්, කව්දෝ පිංවතෙක් මහන්සි වෙලා කොටලා තියන නිසාත් ලින්ක් එක විතරක් දාන්නම්:

තනිකම - පිළිරුව - සාගර පලන්සුරිය(කේයස්)


මේ කතාවෙ, ඉන්න තැපැල් මහත්තයා අපේ ජීවිතේට සමීපයි, "ගොඩට ගත් මාළුවෙකු මෙන් , දියට ලු බළලෙකු මෙන් අමුපතනයන්ට නොසැසඳී අමාරුවෙන් කල් ගෙවයි". ඔහෙලට කොහොමද මන්දා, උත්තරධ්‍රැවය කිට්ටුවට ගිහින් දාපු, ඝර්මකලාපීය මූකං බස්සෙකුට නං ඒක හොඳටම සමීපයි. මේ කතාවෙ තැපැල් මහත්තයා හා සූටි අතර තියෙන සම්බන්ධය සංකීර්ණයි ඒත් සුන්දරයි. Agape Love කියන්නෙ ඒකට වෙන්ටෑ? "Who gives a hoot about love" කියපු බස්සෙකුට, මේක පැහැදිලි කරන්න තේරෙන්නෙ නං නෑ. කතාවෙ කියවෙනවා, නවසිය බර ගණන්වල ඈත අතීතයේ පවා " ඔන්-ලයින්" ඕඩර් කරලා, මිලදී ගැනීමේ තාක්ෂණය තිබ්බ බව. ඒ දවස්වල ඒකට "V.P" කියලලු කිව්වෙ. 



මේ කතාවට ලඟින් යන, සිත සසල කල, ඒත් සත්‍ය සිදුවීමක්, කාලෙකට ඉස්සර කියවන්න ලැබුනා. දුප්පත් නව යොවුන් තරුණියක් එනවා ගෙදරක වැඩකාර කමට. ගෙදර ඉන්න තරුණ හාම්පුතා දකිනවා, තරුණිය , ආසාවෙන් ඉංග්‍රීසි පොත් දිහා බලාගෙන ඉන්නව. වචනයේ පරිසමාප්තයෙන්ම මහත්තයෙක් වන ඔහු, ඒ පිළිබඳව විපරං කරනවා. තරුණියට ඉංග්‍රීසි බෑ. ඔහු ඈට  ඉංග්‍රීසි උගන්නනවා. කුස්සියේ වැඩ ඉවර කරපු ගමන්, තරුණිය බලාගෙන ඉන්නවා, තම ගුරුවරයා එනතෙක්. 

කාලය ගලාගෙන යනවා, ඉර පායනවා, මල් පිපෙනවා, බස්සො "හූම් " කියනවා. ඒ වෙනකොට විවාහක දුප්පත් තරුණිය, තම දරු දෙන්නා කම්කරු සැමියා ලඟ තියලා, රට යනවා. පැහැදිලිවම, දක්ෂ තැනැත්තියක් වෙච්ච ඇයට පිටරටදී සෑහෙන හොඳ රැකියාවක් ලැබෙනවා. ගෙවල් දොරවල් හදා ගෙන දියුණු වෙච්ච තරුණිය, කාලෙක පස්සෙ එනවා, තම ගුරුවරයව බලන්න. ඇවිත් දණ ගහලා වඳිනවා. බාල දැරියන්ට, ටිංකිරි කවන, " දැරිය කරේ" කියල, කොලේ වහල ගහන, " අනිත්‍ රටවල් වලට සාපේක්ෂව, අපේ අඩුයි" කියල ප්‍රකාශ නිකුත් කරන රටක, තාම "මහත්තුරුත්" ඉන්නවා කියන එක හිතට සැනසිල්ලක්.
Living is easy, eyes closed
ඉස්කෝලෙ යන කාලෙ පින්සලක් අතින්වත් නාල්ලපු බස්සෙක්ව, චිත්‍ර ශිල්පියෙක් කරන්න උනන්දු කලේ මේ කෙටි කතාවයි. පලවෙනි වෑයම නං, ලත් තැනම ලොප් වුනා. මෙදා පොටේ, ඔහේ තාම ඇදගෙන යනවා. යම්කිසි දියුණුවක් නැත්තෙමත් නෑ. මේ කතාවට චිත්‍ර කීපයකුත් තිබ්බ නං පංකාදුයි.

අද වෙනකොට ඩිජිටල් චිත්‍ර ශිල්ප තාක්ෂණය බොහෝ දුර ඇවිත් තියනවා. ඔයිල්, දිය සායම්, පැස්ටල් මේ ඕනෑම පින්සලක් තෝරා ගෙන, ඇත්තම කැන්වස් එකකට බොහෝ දුරට සමානව චිත්‍ර අඳින්න හැකියාව තියනවා. එකම අවුල, හෑන්ඩ්-අයි කෝඩිනේෂන් එක මොලේට පුහුණු කරවන එක. කෙලින් ඉරක් අඳින්න, කොන් දෙක හාවෙන්න වෘතයක් අඳින්න පුළුවන් වෙනකං, හොඳ චිත්‍ර අඳිනව බොරු.
මධ්‍ය කාලීන යුරෝපයේ, වෙළදාමෙන් ධනවත් වෙච්ච ඇම්ස්ටඩෑම් වගේ නගරවල හිටි "ඕල්ඩ් මාස්ටර්ස්ල" නව ඔයිල් පේන්ටින් චිත්‍ර කලාවක් බිහිකලා. ආලෝකය සහ අඳුර මුසු වෙච්ච මේ කලාවට ඇඳපු ප්‍රසිද්ධ චිත්‍රයක් තමා මේ " The Night Watch". මේ චිත්‍රයෙ, ඇඳුම්වල තියෙන කැටයම්, කොච්චර සියුම්ද, විස්තර සහිතද කියල දැක්කාම පුදුම හිතෙනවා. ඒක හරියට බලන්න මෙතනින්
Dutch Golden Age කියල හැඳින්වෙන මේ කාලයෙම, තව චිත්‍රයක් තමා මේ "The Milkmaid". නෑ, නෑ ටිංකිරි නෙමෙයි. මේ මේඩ් ගිණි තියාගත්තද කියල නං සඳහන් වෙලා තිබ්බෙ නෑ. චිත්‍රය හොඳින් බලන්න මෙතනින්.

සරල කාටූන් කලාවෙ ක්‍රමවේදය මෙයිට වෙනස්. වැඩේ ලේසි නිසා මට ගැලපෙන්නෙ ඒක. අපේ දේශීය කාටුන් කලාවෙ, මම කැමතිම සිබිල් වෙත්තසිංහ මහත්මියට. හොඳට බැලුවොත් පේනවා, ඇගේ කාටුන්වල , සරල බවට එහා ගිය දෙයක් තියනවා කියලා. ඈ භාවිතා කරල තියෙන්නෙ "මැදුම් පිලිවෙත." ඒ ඇඳුම් වල පවා , යම් පමණකට සියුම් මෝස්තර, විස්තර තියනවා. ඇගේ චිත්‍ර, සරල කාටුන් වලට වඩා ලස්සන ඒ නිසයි කියලයි මට හිතෙන්නෙ.

දිය සායම් වලින් චිත්‍ර ඇඳපු ඇය, මේ චිත්‍ර අඳින්න බොහොම මහන්සි වෙන්න ඇති. ඇයි, හැම මෝස්තරේම අතින්ම අඳින්න එපැයි? ඒත් ඩිජිටල් ආටිස්ට්ලට එහෙම අවශ්‍ය නෑ. මෝස්තර ටොන් ගාණක් ඉන්ටනෙට් එකේ තියන නිසා. කොපිකලා, ඇලෙව්වා, එච්චරයි. එකම අවුල, අවුල් කම්මැලිකමට බේත් ඉන්ටනෙට් එකේ නැතිකම විතරමයි.


Side Note: ඇඳුම් වලට මෝස්තර දැමීමෙ කලාවේ, 
තව ඉස්සරහට යන්න කැමති කට්ටියට:

Wednesday, July 21, 2021

බස්සාගේ පස්සා පැත්තේ අමාරුව

Colon cancer කියන්නෙ, මේ සාවියෙ බොහොම සුලභ දෙයක්. ඇයි කියල නං දන්නෙ නෑ, ඒත් ප්‍රතිශතයක් වශයෙන් සුද්දොන්ට වඩා කල්ලො අතර වැඩියි. එහෙමයි කිව්වට colon cancer සාධාරණ හාදයා, බොහොම ධනවත්, බලවත් අයටත් සුදු, කලු බේදයකින් තොරව සලකල තියනවා. බොහොම හෙමින් වර්ධනය වන කැන්සර් එකක් නිසා, නොදැනීම අන්තිම අදියරට වර්ධනය වෙන්න ඉඩකඩ තියනවා. එහෙම වුනොත්, බඩු බනිස්ම තමා.

මෙහෙ නිදහස් සෞඛ්‍ය ක්‍රමය සෑහෙන කාර්‍යක්ෂමයි කියන එක සාධාරණයි. එක ක්‍රමයක් තමා, තැපෑලෙන් එවන කැන්සර් ටෙස් කිට් එක. මම ඕක අවුරුදු ගාණක්  නොතකා ඇරියා. ඒත් මෙදා පොටේ, ඕන පු*ක් ප්‍රීති වෙසක් කියල සාම්පලයක් ඇරියා. ආවෙ නැතෑ රිසාල්ට් එක අවුල් කියලා?  අවුලා හොල්මන් වෙලා, අඤ්ඤකොරොස් වෙලා ගියා.ජනාධිපතිවරු, සිනමා තරු, ගායක-ගායිකාවො, රැජිණියොන්ට බැස්ටිය දීපු මේ කැන්සරයාට , සඤ්ඤක බස්සෙක් කියන්නෙ නතිං. එහෙන් පවුලේ ඩොකා කතාකරලා බැන්නා, ඇයි ෆෝන් එක ආන්සර් කරන්නෙ නැත්තෙ කියලත්. විෂය භාර වෙදා කතා කරයි, ආන්සර් කරපිය කියලත් කිව්වා. ඕං ඉතිං අසරණ සඤ්ඤක පක්සියා එදා හිටන් ෆෝන් එකේ වයිබ්‍රේශන් ඔෆ් කරලා, ෆුල් ඇලට් එකේ හිටියා. ආවා කෝල් එක සඳුදා පාන්දර.  උදේට තාම කෑවෙ නෑ කිව්වම, කිව්වා හෙට 12.30pm එන්න කියලා. 

හපෝයි විඳපු දුකක්! දවස් එකහාමාරක් කෑමක් නෑ. ඊට හපන් බඩ හෝදන්න දීපු බෙහෙත. යනවා යෑමක්  වක්කඩ කැඩුව වගේ, තනිකරම යන්නෙ වතුර. අපාරාදෙ කියන්න බෑ, හෝතම්බුවා මාව එක්කන් ගියා ක්ලිනික් එකට. ප්‍රයිවෙට් කිලිනික් එකක්, ගෙවීම ආණ්ඩුවෙන්. මෙහෙ හන්දි ගානෙ චැනල් මාපිල්ලු නෑ, ප්‍රයිවෙට් ලැබ් , ක්ලිනික් වලින් ලෙඩාගෙන් සල්ලි ගන්නෙ නෑ. එකම වෙනස් දේ දත් දොස්තරලා විතරයි, උන් නං කෙලින්ම ගලවන්නෙ "දත" ම තමා.  මම ගිය තැන, බලාපොරොත්තු වුනාට වඩා ඉහල, සුහද වෘතීයමය සේවයක් ලැබුනා. ඇඳුම් ගලවල ලෝගුවක් ඇන්දුවා. කට්ටක් අතට ගහලා, අනික් අතට ප්‍රෙෂර් බලන එක දාලා. දැම්මා ඇඳකට.

දැන් පක්සියා ඉන්නවා, හුඹහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ. ලස්සන නේස් නෝන කෙනෙක් ඇවිත් ඔක්සිජන් බටයක් නහයට දාලා, ප්‍රෙෂර්, ලේ වල ඔක්සිජන් ලෙවල් දෙපාරක් බැලුවා. ඩොකෙක් ඇවිත් කිව්වා, බොට දැන් නින්ද යයි, ඇහැරෙන කොට ගේම ඉවරයි කියලා. තව ඩොකෙකුත් ඇවිත්, නේස් නෝනෙත් එක්ක බස්සව පැත්ත පෙරලුවා. කියන්න ලැජ්ජයි මහත්වරුනි, බකුසු පස්ස එලියෙ. පලවෙනි ඩොකා මොනවද විදිනව විතරයි මතක.

ලස්සන නේස් නෝනෙ, චට පට ගාලා කම්බුලට ගහලා බස්සව ඇහැරෙව්වා. ඔහෙලට කියන්න, ගෙදර බුදියෑව්වට වඩා සනීපෙට නින්ද ගිහින් තිබුනා කියහංකො. ඩොක්කු දෙන්නගෙන් එකෙක් ඇරියා කියල නං බුදු ෂුවර්. මම හිතාගෙන හිටියෙ, බලන එක විතරයි කරන්නෙ කියලා. උස ඩොකා ඇවිත් කිව්වා, කැන්සර් නෑ, ඒත් තිබිච්ච කුඩා ගැටිති දෙකක් අයින් කලා කියලා. ඒ ගැටිති පසු කාලෙක කැන්සර් වලට වර්ධනය වෙන්න ඉඩ තියෙනව කිව්වා. ආයෙ අවුරුදු පහකින් එන්න කියලත් කිව්වා. 

මම එන ගමන්, ලස්සන නේස් නෝනෙට කිව්වා " මම ආයෙ අවුරුදු පහකින් ඔයාව බලන්න එඤ්ඤං " කියලා. එතකොට අනිත් නේස් හයියෙන් හිනාවෙලා කිව්වා " Then, it's a date" කියලා. ඩොකා මට කන්න එපා කියල කිව්වෙත් නෑ, මම ඇහැව්වෙත් නෑ. ගෙදර ඇවිත් ඇදලා ඇරියා ඉඳි ආප්ප, පූරි, වඩේ පාරක්. පස්සෙ තමා ඉන්ටනෙට් එකෙන් බැලුවෙ. එතකොට මේං කියනවා, සර්ජරි එකට පස්සෙ සැහැල්ලු ආහාර ගන්නලු. අපේ බඩවල් වලට "කමාන්ඩෝ ට්‍රේනින්" දීලා තියෙන නිසාද, කොහෙද බඩ යාන්තං ඤුරු, ඤුරු ගෑවා විතරමයි. බත් කෑවෙ පස්සෙන්දා.

බොලා දැන් කියනව නෙව " ඇහුනම නං කියන්නෙ පස්සා පැත්තෙ අමාරුවක් නෑ කියලයි" වගේ කතන්දර. ඕං , රාළෙ මෙදා පොටේ නං ඒ අමාරුවත් සුවයි,  ඈ? බොරුවක්, මුසාවක් කියනව නෙමෙයි, මැඩිකල් රිපෝට් එකකුත් තියෙනවා.

පිදුම: ආයෙ ලියන්න මතක් කරපු "වම්හ"ට

ඇත්තමයි, සාලාමි මං කීබෝඩ් එකට විතරමයි කෙටුවෙ!

     ඩ්‍රැකියා                    වම්හ                    රියලා

නින්ද තරම් සොමියක් කවියෙකුට වෙන නැතේ
ගැහුවොත් ගැහැව්වමයි.....
පුස්තකාලෙමයි කාලය ගත වෙන්නේ.,ඒකයි..


බෙල්ල බේරා ගන්ට ඇඳපු, නාහෙ වෙනස් ඩ්‍රැකී

I pulled the trigger, again!
Veikk A15 Pro

Tuesday, July 6, 2021

ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?

හෝතම්බුවා පාවිච්චි කරන්නේ රජකාලෙ කම්පූටරයක්. දුවන්නෙ වින්ඩෝස් 7, එක දවසක්, ඉන්ටනෙට් සම්බන්ධ වෙන්නෙ නෑ  කියල කිව්වා. මම පාස් වර්ඩ් වෙනස් කරල කියලත් චෝදනා කල නිසා, මම ගියා උන්දැගෙ කම්පූටරේ බලන්න. ඕං ඉතිං, ගිහින් රී-ස්ටාර්ට් කරල එහෙම වින්ඩෝස් ලෝඩ් වෙනකං හිටියා. පස්සෙ මං කිව්වා "ගිහින් තේකක් බිලා එඤ්ඤං, ලෝඩ් වුනාම කියපං" කියලා. ඒක එහෙම වුනාට , ඒ  හෝතම්බු කම්පූටරේට වෙන ඉහෙන් බහින ලෙඩක් නෑ. ඩෙස්ක්ටොප් එකේ පැත්තක "This copy of Windows is not activated" කියන වෝටමාක් එක පවා තියනවා.
ඒකටත් එක්ක බකුසු  කම්පූටරේ. උන්දෑ උපන් ගෙයි ලෙඩා.ඔය හතිලව්ව, අනිවා සුමානෙකට සැරයක්වත් කහිනවා, කාරනවා, හිරවෙනවා. ඔහොම වෙච්චදාකා, මම නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්න කොට ඇයි කියල, අහැව්වා හෝතම්බුවා. මම කිව්වා කම්පූටරේ මලා කියලා. ආයෙ කිව්වා "බලපං බං, අර උඹේ ගල් යුගේ මෝල තියෙන්නෙ යස අගේට? අපට තමා පුෂ්, පුෂ්" කියලා. හෝතම්බුවා "තූ.තූ,තූ" කියල තුන්පාරක් කෙල ගැහැව්වා.

වින්ඩෝස් 11 අත්හදා බලන්න ගිහින් වෙච්ච ඇබැද්දිය ගැන මම කිව්ව නෙව? ඒ ලෙඩේ හොඳ වෙන කොටම, දැන් ආයෙ වෙන ලෙඩක් ආව. මම භාවිතා කරන්නෙ මල්ටිපල් බූට් සිස්ටම් එකක්. එදා වේල ටුවර්ස් දුවන වින්ඩෝස් 10 එකයි, එයාගෙ බැකප් එකයි තව ඔන්ලයින් බැංකු සඳහා කැටලීනා එකයි කැටලීනාගෙ බැකප් එකයි විතරමයි. 

හොඳට තිබ්බ කැටලීනා හිටපු ගමන් ලෙඩ ඇඳට වැටුනා. බොහොම කඩිසර ලෙස වැඩ කරමින් හිටි උන්දෑ, හිටපු ගමන් නොන්ඩි ගහන්න ගත්තා. ඊට පස්සෙ ඉන්ටනෙට් නැතුව ගියා. ඇත්තටම මේක ලෙඩ දෙකක්. ඕකට කියන්නෙ මල්ටි බැරල් මයලෝමා වගේ බරසාර නමක් , මහිතේ? ලංකාවෙ නං, ඔය වගේ "ඉහල පැලැන්තියේ" ලෙඩක් හැදුනාම "ආසිරි එකේ නැවැත්තුවෙ මෙයා, සේලයින් එකට විතරක් විසිදාහයි" වගේ කතා කියල ආතල් ගන්න ක්‍රමවේදයක් තියනව නේද?

එකම හොඳේ, කැටලීනාට තියනවා "ටයිම් මැෂීන්" එකක්. අනිත් අවුල තමා, මම වින්ඩෝස් 11 දාන්න බයෝස් සෙටින් වෙනස් කරපු එක. සෑහෙන තොයිලයක් නටලා ලෙඩේ හොඳ කර ගත්තා. බයෝස් වල වෙන, වෙනම "යූසර් ප්‍රොෆයිල්" හැදුවා. එකම අවුල, රෙස්ටෝර් කරල. "මම අනිත් ඔක්කෝම හැදුවා, ටයිම් මැසිමෙ පාටිශන් එක උඹම රෙපයාන් කරගනින්" කිව්ව එකයි. ඒක නොකර ටයිම් මැෂීමෙ මෝල හිටින්න ඉඩ තියනවා. 

ටයිම් මැසිමෙ 850Gb තියනවා, මට එච්චර කොපි කරන්න ඉඩක් එහෙ නෑ. වින්ඩෝස් වලින් AFPS ෆයිල් සිස්ටම් කියවන්න බෑ. මෙතෙන්දි මට උදව්වට ආවෙ මෙන්න මෙයා: Paragon Hard Disk Manger වැඩ නං හරිම හෙමින් , දැන් වරු ගානක් තිස්සෙ තාම බැකප් ගන්නවා. ඒත් නිකං ඉන්න මට, ඔහොම මඳෑ!

මේක එයාලගෙ 25 වෙනි ඇනිවසරි එකට නිකං දෙන එකක්. බැකප් සහ පාටිෂන් මැනේජර් දෙකම එකට තියනවා. මගේ "එදා වේල" බැකප් ඇප් එක Macrium Reflect වුනත්, මේ කරන වැඩේ එයාට කරන්න බෑ. මම හැමදාම Giveaway of the day   ගිහින් බලනවා. නිකං දෙන හැම එකම නොගත්තාට, ඉඳලා හිටල හරි, මේ වගේ වැදගත් එව්වත් නිකං ලැබෙනවා.

හෝතම්බුවා මට උගේ කිසිම දෙයක් හදන්න දෙන්නෙ නෑ. මේ ලඟදි කියනවා, මම උන්දැගෙ කැඩිච්ච ඇම්ප්ලිෆයර් එක උස්සන් දුවනවා දැක්කලු හීනෙන්. ඔය කතාව පොඩි කාලෙදි අපේ ගෙදර ඈයොත් කියල තියනවා, මට යමක් අහුවුනොත්, ඒක ඉවරයි කියලා. හැබෑටම, ඔහෙලටත් එහෙම හිතෙනවද, ඈ?

ඉන්ට-ගැලැක්ටික් "ටග් ඔෆ් වෝ" කොම්පිටිෂන්, රනරප් සෑ...ර්!

වීඩියෝ එක බලන්න "මෙතනට" වලට කොටන්න.

Sunday, July 4, 2021

මැකෑනිකල් කී-බෝඩ්

දැන් කම්පියුටර් කස්ටියගේ අළුත්ම විනෝදාංශය කී බෝඩ්ය. කී බෝඩ් කීවාට මෙව්වා නේක වර්ග සුවිච් තියෙන මැකෑනිකල් කී බෝඩ්ය. බොහොම වියදම් සහිත විනෝදාංශයක් නිසා, බස්සා කාලෙක සිටම කුරුමාණන් අල්ලමින් සිටියා පමණය.

ඒත් මෙන්න මේ උලව්ව, ගෙඩි සුපියල් හතලිහට, ටැක්ස් නැතුව, ගෙදරටම ගෙනත් දෙනවා කීවාම නං උන්දෑ නන්නත්තාර වුනේය. අවසානයේදී බකමූණාත් පතුරම හැපුවේය( bit the bullet).

නම: Royal Kludge RK71

මොඩලය: 71 key 70% LED Wireless Mechanical Gaming Keyboard

පහසුකම්: Wireless(Bluetooth) + Wired (detachable USB C), single colour, but individual LED illuminated keys, side RGB LED strips, double shot key caps.

තනි අඟිල්ලෙන් කොටනා අපිට එතරම්ම ප්‍රයොජනයක් නැතත්, සීරියස් ගේම් ගහනා අයට සහ කම්පුටර් වෘතීයකයන්ට නං නරකම නැත. මේකේම RGB වර්ශන් එකකුත් වැඩි ගාණට ඇත. 

ගේම් මෝඩ් එකේදී මැක්‍රෝ 4 ක් දාගත හැකි වුනත්, අත්හදා බැලුවේ නැත. මදය ගලවා, ටිකක් වැඩි ධාරිතාවක බැස්ටියකට මාරු කිරීමත්, සද්දය අඩුකිරීමට ඇතුලට ෆෝම් එබීමත් සිදු කරන ලදී. චීනෙන් කලින් ගෙන්වා ගත් USB කේබලයක් මගින්, USB C පෝට්එක මැග්නටික් කිරීමත් පමණක් සිදු කරන ලදී. Windows සහ MacOS දෙකටම භාවිතා කල හැක. මේ සඳහා යම් ආකාරයක Keyboard layout re-mapping ක්‍රමයකට පහසුකමක් ඇත. custom  key  re-mapping කරන විදිහක් ( QMK configurator) තිබුනත්, ඒ "හරාකිරි" ක්‍රමවේදයේ අවශ්‍යතාවයක් දැනට නැත.

මේ කී-බෝඩ් විනෝදාංශය කරන අය, පාට-පාට කී කැප් දමනවාය. ඒත් ඒ කී කැප් සෙට් එකක්, කී-බෝඩ් එක මෙන් තුන් ගුණයක් පමණ වෙන නිසා, ඒ අදහස සරල බස්සොන්ට අදාල නොවේ. 

නිගමනය: වියදම් කල මුදලට, සරිලන වටිනාකමක් ඇති මුත්, අත්‍යාවශ්යම දෙයක් නොවේ. ඒත් දවස පුරාම කී-බෝඩ් කොටන හාදයෙකුට නං පාඩුවක් නැත.

වීඩියෝවේ ඇති කී-බෝඩ් එකට වඩා අළුත් වර්ශන් එකක් මට ලැබී ඇති බව පෙනේ. මගේ කී කැප්ස් ඩබල් ශොට් බව පින්තූරයෙන් පැහැදිලි වේ. ගලවා ඇති කී කැප් එකේ, කලු සහ සුදු, ප්ලාස්ටික් තට්ටු දෙකක් ඇත. සුදු ප්ලාස්ටික් කී කැප් එකේ කලු පින්තාරු කර ඇති එකට වඩා ඩබල් ශොට් කී කැප්ස් මිළ වැඩි නමුත්, හොඳ වන්නේ, කී කැප් ගෙවෙන විට හම යන්නේ නැති නිසාය.

"මැෂින් ගන්" ඩ්‍රැකීට උපහාරයක්:😊


වීඩියෝ අනුග්‍රහය: යූ-ටියුබ්