Sunday, October 28, 2012

සෙල් ලිපි




හඳවල් ගානකුත් ගෙවිලා ගියා, හරි හමන් ලියුං කෑල්ලක් කොටා ගන්ට බෑරිවුනා නෙව? ඔහෙලට කියන්ට  ආයිබෝං ලියන්ට කියලා මෙලෝ සංසාරයක් හිතට ආවෙ නෑ නොවෑ? ඕං ඔහොම ඉන්න කොට තමා මට මතක් වුනේ අපි හිංගල කොටන්න විඳින දුක.



ඒත් ඉතිං අපේ පුරාණ ගල් වඩුවො  හිංගල කොටන්න විඳපු දුකත් එක්ක බලපුවාම මේකත් දුකක්ද? උදේට බත් ගෙඩියක් බැඳගෙන ඇවිත්, බුලත් විටක් එහෙම සප්පායං වෙලා, උන්දලා දවසම හිංගල කොටන්න ඇති.








ඔය පහලින් තියෙන්නෙ ක්ලියොපැට්‍රාගෙ කස්ටිය සෙල්ලිපි කොටාපු හැටි.











මේකෙ නම සෙල් ලිපි" වුනාට, මං මේ කියන්න හදන්නෙ, දැනට අපට සිංහල කොටන්න තියෙන එක එක සොෆ්ට්වෙයා ගැනයි.



 ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ ඔන්ලයින් එව්වා:



http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

(මෙකෙ  photoshop වලට නං ප්‍රයෝජනවත්:සිංහල font විදිහටම ගෙනියන්න.)

http://unicode.malindaprasad.com/

http://www.google.com/transliterate/sinhalese





මේවා වලත් වර්ග දෙකක් තියනවා. එකක් කොටන කොටම අකුරු පෙන්නන්න එව්වා, එහෙම නැති එවා.

මේ අතරින් Google Transliteration වල පහසුකං ගොඩක් තිබ්බට, කොටන කොටම අකුරු පෙන්නන්නෙ නෑ.මට නං ඒක අවුල්.





ඊට අමතරව වින්ඩෝස් වලට නං, stand-alone එව්වත් තියනවා. මං කැමති phonetic නැත්නම් සිංග්‍රීසි වර්ගයේ එව්වට විතරයි. හේතුව, ඔය සඤ්ඤක අකුරු කොහෙද තියෙන්නෙ කියලා හොය, හොය ඉන්න බැරි නිසා :). මේ තියන්නෙ මං පාවිච්චි කරන එකම එක:



Singreesi 1.8



ප්‍රස්ණෙ කියන්නෙ, මේක දැං හොයාගන්න නෑ. මා ලඟ නං කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත කොපියක් තියනවා වින්ඩෝස් වලට, දැන්නම් ඒක වැඩි දියුණු කිරිල්ල නැවතිලා පාටයි.



මේච්චර කල් කිසිම අවුලක් නැතුව මේක පාවිච්චි කලත් වින්ඩෝස් වලින් වෙන එකකට මාරු වෙච්ච දාට තමයි අවුල. එක එක එව්වා අත්හදා බලල අන්තිමට නැවතුනේ, ඒකෙම browser addon එක ලඟයි. හැබැයි, add-on එක තියෙන්නේ Google Chrome වලට විතරයි.



https://chrome.google.com/webstore/detail/singreesi/enobjimolcbaplolgmplicbkllihadig



මෙක ලියපු  එක හේතුවක් තමා ඔහෙල හිංගල කොටන්න පාවිච්චි කරන්නේ මොනවාද? එව්වයෙ ගුණාගුන කොහොමද කියල දැණගන්න එක :)



ඒක හින්දා  මේක බලලා , හොර බලල්ලු වගේ ලුහුටලා යන්නෙ නැතුව , දැන්න දෙයක් කොටලම ගියානං අපිටත් දැණගන්නත් එක්ක :))








Saturday, September 8, 2012

බකුසු සිත්තරා




බොහෝ කාලෙකට පෙර බස්සාට කියවීමේ පිස්සුවක් තිබුනා. අතට අහුවෙච්ච පොත් පත්තර , නවකතා, කෙටිකතා, පරිවර්තන, අනුවර්තන , ඔය කොයිවත් ඇරියෙ නෑ. ආං ඒ කාලෙ කියවපු කෙටි කතාවක් මේක. කතාවෙ නම, ලිව්වෙ කව්ද කියලා මතක නැති වුනාට, කතාව නං අද කියෙව්වා වාගේ මතකයි. 

කතාව පටන් ගන්නෙ"අමුපතනය අමුම අමු පිටිසරකි" කියලයි. ඔය අමුපතන ගමේ අළුතින් විවෘත කරපු තැපල් කන්තෝරුවට එනවා සිදාදියෙන් තරුණ තැපැල් මහත්තයෙක්. දන්නවනෙ ඉස්සර ගමේ තැපැල් කන්තෝරුව කියන්නෙ තැපැල් මහත්තයාගෙ නවාතැනේම කොටසක් කියලා. ගොවිතැන් බතක් කරගෙන බොහොම සරල දිවියක් ගතකල ගම්මු තැපැල් කන්තෝරුවෙන් වැඩක් ගන්න අය නූනත් ගමේ අළුතින් පටන් ගත් කොහු මෝල නිසයි ගමට තැපල් කන්තෝරුව ලැබුනෙ. ඒ නිසාම තැපල් කන්තෝරුවට කෙනෙක් ආවෙ බොහොම කලාතුරකින්. සිදාදියේ ජීවිතයට හුරුවෙච්ච තැපැල් මහත්තයට මේක බොහොම නරකට බලපානව. කම්මැලිකමේ ඈණුම් අරිමින්, තැපැල් මහත්තයා , වතුරට දාපු බස්සෙක් වගේ ජීවත් වෙනවා.



කාංසිය මැකෙන්න කියලා, තැපැල් මහත්තයා හිතනවා සංගීතයට නැඹුරු වෙන්ට. බට නලාවත් ගෙන්න ගන්න තැපැල් මහත්තයා ඒක වාදනය කරන්න හදනවා, ඒත් එකෙන් එන්නෙ ග්‍රීස් නැතිව කැරකෙන කරත්ත රෝදයකින් එනවා වගේ හඬක් මිසක් මිහිරි නාදයක් නෙමෙයි. ඒ වැඩේ හරිගියේ නැති තැන , තැපැල් මහත්තයා හිතනවා චිත්‍ර අදින්න ඕනෙයි කියලා. ඒකට ඕනෙ කරන අඩුම-කුඩුම ටික ගෙන්න ගන්න තැපැල් මහත්තයා මනස්කාන්ත දර්ශණයක් අඳින්න මුල පුරලා, අඳිනවා කන්දක් ඉස්සෙල්ලාම. ඒක කන්දක් නොව නිකම්ම නිකං මැටි ගොඩක් වගේ පේන නිසා, හිත කලකිරෙන තැපැල් මහත්තයා , නගරයේ උද්යෝගීමත් ජීවිතය ගැන සිහින මවමින්,දුකසේ කාලය ගත කරනවා.

ඒත් අපේ කතානායකයාගේ ජීවිතය දිගටම එහෙම වෙන්නෙ නෑ. ඒත් මම මේ කතාව මෙතනින් නවත්තලා , දැං කියන්න යන්නෙ මේක බස්සාගේ කතාවට සම්බන්ධවෙන ආකාරයයි.







බස්සටත් හිතුනා සිත්තරයක් අඳින්න. ගත්තා මවුසා ගැහුව ඉරක්. ඒක සරල රේඛාවක් නං නෙමෙයි. ඇන්ඳා වෘතයක් ඒක නිකං තැලිච්ච පකිස් පෙට්ටියක් වගේ වුනා. අපේ කතානායකයා නං වැඩේ ඔතනින්ම අල්ලලා දානව නෙව. හහ්, එව්ව කොහෙද මං බස්සෙක් මිසක් තැපැල් මහත්තයෙක් යෑ?

මං නෙමෙයි සැලුනෙ. ඇන්ඳා චතුරශ්‍රයක්, වෘතයක් වෙලා එයිද බලන්න. ම්හු, ඒකත් හරි ගියේ නෑ. මේක මවුසාගේ අවුලක් කියල හිතලා ගත්තා ගැ‍ෆික් මෙව්වා එක. ඇන්ඳා, ම්හු..ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? එත් ඇරියෙ නෑ. කියවන්න ගත්තා සිත්තර ඇඳිල්ල ගැන. මෙන්න හොයා ගත්ත දේ:

සිත්තරෙක් වීමට කෙලින් ඉරක් ඇඳ ගැනීමේ හැකියාවක් අවශ්‍ය නැත. ඒ තියා මොනම උලව් හැකියාවක් වත් අවශ්‍ය නැත, කෙලින්ම පාට, පාට උලාගෙන , උලාගෙන යන එකයි තියෙන්නෙ. සම්භාව්‍ය චිත්‍රයක් යනු බලන එකාට තියා ඇඳපු එකාවත් ඒකෙ තේරුම නොදන්නා එකකි. එතකොට තමා බලන එක එක එකා ඒකට විවිධ අර්ථකතන දෙන්නෙ. ඔහෙලට විස්වාස නැහ්නං බලන්න පහල තියන සිත්තර දිහා. ඔය සිත්තර දෙක ඇඳලා තියෙන්නෙ විශිෂ්ඨ චිත්‍ර ශිල්පියො දෙන්නෙක්. එක්කෙනෙක් නං ලෝක පූජිත කලා කාරයෙක් - පිකාසෝ. හා, කියන්න බලන්න කොයි එකද එයාගෙ කියලා? බෑ නේද? මං දන්නවා වෙනස් හොයාගන්න බැරි තරමට දෙකම විශිෂ්ඨ කලා නිර්මාණ බව :)



















දැං තේරෙනව නේද, මං කියාපු දේ? ඒ නිසා ඔබටත් විශිෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වීමට අවශ්‍ය නං මං කියාපු විදිහට පාට, පාට උලාගෙන , උලාගෙන යන එකයි තියෙන්නෙ.





ඔය උඩින් තියන සිත්තරේ ගත්ත පොත ලස්සන රුසියන් ලමා කතාවක්. මෙන්න ලින්ක් එක PDF එකට.
http://www.arvindguptatoys.com/arvindgupta/mir-nosov-dunno.pdf



කතාවෙ මේ පරිච්චේදයෙ නං පොඩි ආදර්සෙකුත් තියනවා: අනුන්ව සමච්චලයට ලක්වෙනකොට උඩ පැන, පැන හිනාවෙන අය, තමන්ටත් ඒදේ වුනාම හැසිරෙන හැටි :)




ප.ලි:

පොත් ගුල්ලා දීපු ඔත්තුවක් අනුව ඔරිජිනල් තාගෝර් තුමාගෙ පොත හොයා ගත්තා. මොන එකක්ද මන්දා, ඒත් ඒක අර හිංගල කෙටි කතාව තරම්ම හිතට වදින්නෙ නෑ.

STORIES FROM TAGORE


කතාව ගැන කව්දෝ ලියන තිව්ව මෙන්න මේක නං බොක්කටම වැදුනා :)





Human hopes are not always bound by reason, and such hopes are, more often than not, found to be illusory. The village girl - Ratan was tempted to find a hope in her companionship with and steady dependency upon the postmaster. But when the postmaster chooses to leave the village, and Ratan's prayer to take her with him is not granted, she is left alone with tearful eyes. The postmaster philosophises that all such finer feelings of companionship are bound to be left and forgotten in the real course of life. But, for Ratan, it means genuine hope being dashed to the hard ground of realities.




Monday, August 13, 2012

කතන්දර



තන්දර කියන එක සියුම් කලාවක්. හොඳ කතන්දර කාරයෙක් කියන්නෙ, අසන්නාව කතාවට ඈඳාගෙන තබාගන්න හැකි කෙනෙක්. මේ සඳහා කතන්දර කාරයාගේ ශෛලිය, කතාවේ ගලාගෙන යෑම, වගේම කතන්දරය අයිසිං කිරිමට යොදාගන්නා "වැනිල්ලත්" වැදගත් කියලා මට හිතෙනවා.

දැං සමහර කතන්දර, නැත්නම් වෙනත් ලිපි තියනවා නෙව, ලියල තියන විදිහට කියවන්න එපාවෙන. මං මේ ලඟදි ඉඳන් කියවන්න ගත්තා එහෙම බොහොම ප්‍රසිද්ධ පොතක කතා, බොහොම සරල, මටසිලි‍ටු විදිහට ලියන කෙනෙක්ගෙ කතා පෙලක්. කොච්චර ලස්සන, ආදර්ශමත් වුනත් විලියොං ගොයියගෙ ඔරිමජිනල් කතා ලියපු බාසාව අර පුරාණ ඉංගිරිස කියවන්න අමාරුයි නේද?  මං මේ කතාව කිව්වෙ, අනුන්ගෙ වුනාට, කොපි-පේස්ට් කලාට එහෙම කතාවක් වුනත් අපේ උරුවට, කියවන්න ලේසි ශෛලියට නැවත ලියන එක වැරද්දක් නෑ කියල කියන්නයි. කාගෙද, කව්ද, කොහෙන්ද කියක එකට වඩා වැදගත් ලියනදේ අන්තර්ගතය තමා. කෙලින්ම කිව්වොත්, අමු-අමුවෙ නැතුව, කලාවකට කොපි කරලා, නැත්නම් ආභාෂයක් අරගෙන වැඩක් කරන එකේ වරදක් මට නම් පේන්නෙ නෑ.

අපේ බාල කාලයේ අපට නින්ද යනතෙක් කතන්දර කිවූත්, හන්දියේ තෙල්-බේත් ටික වීකුන ගැනීමට කතන්දර කිවූත්, පිරිත්, මළ ගෙවල්වල නිඳිකිරා නොවැටීමට කතන්දර කිවූත්, වර්තමානයේ සයිබරයේ මොනයම්ම හේතු නිසා හෝ අප වෙනුවෙන් කතන්දර කිවූත් සියලුම කතන්දර කරුවන්/ කාරියන් වෙත කෙරෙන පිදුමකි :)









Friday, August 3, 2012

‍රැජිනගෙ ඇඳ







දැං තේරෙනව නේද, ඇයි සමහරුන්ට "තුන්දෙනෙකුට" විතර නිදාගන්ට ඉඩතියෙන ඇඳවල් ඕනෙ වෙන්නෙ ඇයි කියලා. කෝකටත් බැකප් එකක් විදිහට, පැදුරකුයි, තව අමතර කොට්ට, ෂීට් එකක් එහෙම ඇඳයට තියාගන්ට .


මොකද අර "where I actually sleep" zone එකේ බුදියන්ට වාසනාව ලැබෙන්නෙ එළිවෙනකං ඇඳ උඩ ඉන්න ලැබුනොත් නොවැ :)





පැදුරෙ ඉඳන් අපි කොහොමද බිමට වැටෙන්නේ ? :))


Thursday, August 2, 2012

බස්සාගේ කලා ඇස..

මෙව්වා ඔක්කෝම ඇඳපු චිත්‍ර. මතක ඇතුව "කලා ඇසින්" බලාපල්ලා :)
































 මං කැමතිම එක "Ouch! "







ඒත් මොකටෑ බොරු කියන්නෙ, මේං මෙව්ව දැක්කාම බස්සවත් නිකම්ම නැටවෙනවා :)










ඔන්න එහෙනං අදට හරියන නැ‍ටුමකුත්. මේකෙ බස්සෙකුත් ඉන්නවා :)













කොහොමද මේ නැ‍ටුම? ආදර්ශෙකුත් ගන්න පුළුවන් නේද? ;)







Sunday, July 29, 2012

පාරුවේ පුවක්


එදා වගේම අදත් භාණ්ඩ ප්‍රවාහනයට ලාබම ක්‍රමය තමයි වාරිමාර්ග භාවිතය. මුහුදු මාර්ග භාවිතයේ නං ඉතිං අවුලක් නෑනෙ, රුවල් නැව් සිට අද භාවිතාවන සද්ධන්ත කන්ටේනර් නැව් දක්වා තවමත් මුහුදු ප්‍රවාහණය පාවිච්චි වෙනවා නෙව.

කාර්මික විප්ලවය ,යුරෝපයේ ඇති වීමට එක හේතුවක් බ්‍රිතාන්‍ය අවට තිබුණු වැඩිදියුණු කරන ලද වාරිමාර්ග භාවිතය කියල, කව්දෝ කිව්වා මතකයි. ඒ කොහොම වෙතත්, මේ කතාවත් එහෙම වාරිමාර්ගයක් වැඩිදියුණු කිරීමක් ගැනයි:


පංච මහා විල් ගැන අහල තියනවනෙ. ඔය විල් භාවිතා කරලා ඉඳිකරලා තියන වාරිමාර්ගයක් තියනවා. හරි ඉතිං මොකක්ද ඕකෙ තියෙන විශේෂත්වය?

පුරස්නෙ, මේ විල් තියෙන්නෙ එකම මුහුදු මට්ටමේ නෙමෙයි. එක විල ඉඳලා, අනිත් විලට නැව උස්සලා තියන්න වෙනවා :). මෙන්න පොඩි ක‍ටු සටහනක්:











අමතර බල ශක්ති ප්‍රභවයක් භාවිතා නොකර ,වැඩේ කෙරෙන්නෙ මෙන්න මෙහෙමයි:













ඔන්න Welland Canal, Soo Locks වල  
time-lapse
වීඩියෝ එකක් :





අද අභාවයට ගිහිල්ලා තිබුනත් කාලෙකට ඉහත අපේ රටෙත් වාරිමාර්ග භාවිතයෙන් භාණ්ඩ ප්‍රවාහන ජයටම කෙරුනා. මේවාට ඈඳිච්ච රසකතා, ජනකවි වගේ වෙනම ගැමි සංස්කෘතියක් තියනවා. මේ ජනකවිවල දකින්න ලැබෙන විශේෂත්වයක් තමා අව්‍යාජ ගැමි සුවඳ:

මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ

එගොඩ ගොඩට යනකොට සුරියා වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ
දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ

පලාතටම සුවඳ ගහන්න උයන, පාරු බතත්, ඒවා කන්ට දොලදුක හැදෙන ඉස්තිරි පක්සෙ ඈයො ගැනත් කතා බොහොමයි- ඔව්, ඔව් පාරු බත් උයන්නෙ පිරිමි තමා :))). අමුඩය ඇඳගත්ත, උතුංග දේහධාරී, කාළවර්ණ පාරු කාරයෙක් ගාවට එදා කොළඹ කාක්කෙක්/ බජාර් එකේ කකුලක් වත් කිට්‍ටු උනේ නෑලු - ටොයිං, ටොයිං :))

ඔය ගඟවල් අද්දර , ගඟ පැත්තට මුහුණලා හදාපු වෙනම කඩපවා එදා තිබුණ කියල මං අහල තියනවා - උණු, උණු ආප්ප, ලැවරියා, වණ්ඩු ආප්ප, හැලප එහෙමත් තියන්න ඇති නේද? -චව්,චව්....:))
පාරු විතරක් නෙමෙයි, කරත්ත කවිත්,කට වහරින් පැවත එන දේවල් . වැඩිහිටි පරම්පරාවත් එක්කම එව්වා අභාවයට යාවි. කවුරු හරි ඒ දන්න දේවල් ටික, ටික හරි ලියනවා නං බොහොම හොඳ වැඩක්





කරත්ත භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත්තා වගේම, එදා ගැමියා වන්දනා ගමන් යන්නත් යොදාගත්තා. උයන , පිහින දේ පටවගෙන, මාස ගණන් හෙමීහිට ගිය මේ ගමන්, අද අපේ දඩි-බිඩි විනෝද ගමන් වලට වඩා රසවත් වූ බවට සැකයක් නෑ.




කන්නේ කටට රස හින්දයි බුලත් මම
බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම
කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම
යන්නේ වන්දනාවේ අපි කතර ගම





මෙන්න පැණි වෑහෙන කරත්ත කවියක්:

අම්බලං පෝරු පිට සිටිනා ලදුනේ
රංසලං ලෙසට ගෝමර පිට දිලුනේ

මංබොලං එහෙම දේකට නැත අගුනේ
රංදොඹෙං පිටත් වෙනකොට හඳ මුදුනේ








ඔන්න පහල තියනවා මං මේ කවි හොයාගත්ත ලින්ක් දෙකක්:

ජන කවි

සම්මත ජන කවි

පරණ පිංතූර හොයාගන්න මෙන්න කියාපු තැන:

ලංකාපුර

Friday, July 27, 2012

සාපේක්ෂ



පෝකර් ෆේස් කියන්නෙ සූදු ක්‍රීඩාවෙදි හදා ගන්නා කිසිම හැඟීමක් පිළිබිඹු නොවෙන මූණ. ඔබ සූදු ක්‍රීඩා කරනව නං, මේක අනිවාර්යයි, මොකද මූණ බලලා කොලේ කියන්න දන්න අය ඉන්න නිසා. ඒ කියන්නෙ , අඩුම ගානෙ සූදූ කාරයෙකුට එකකට වඩා මූණු තියනවා. ජීවිතේ කියන්නෙත් එක්තරා සූදුවක් කියල කව්ද කිව්ව නේද?


"මූණු දෙකේ හෝතම්බුවා", ඕං ඔහොමයි අල්ලපු ගහේ කොට්ටෝරුව මට බැන්නෙ. ඌගෙ වැඩේ හැම ගහකටම කොට, කොට යන එක, අපේ ගහටත් කොටන්න ඇවිල්ලා මං හරහට හිටියා කියල තමයි ඔහොම කිව්වෙ. මං නං කවදාවත් ඇත්ත "මූණු දෙකේ හෝතම්බුවෙක් " දැකලා නෑ :)

තව දවසක් අසනීපෙන් ඉන්න යාළුවෙක් බලන්න ගිහින් මොකක්ද එකකට හිනා වුනා කියලා " දාගනින් උඹෙ 'අවමඟුල් මූණ'" කියලත් අහගෙන තියනවා. හුටා!, ඒ කියන්නෙ අපට මූණු කීයක් තියනවද?

සමහර විට අවස්ථාවට හරියන විදිහට , එයට ගැලපෙන මූණ දාගන්න එක වැරද්දක් නොවෙන්නත් පුළුවන්. අපි හිතමු, මඟුල් ගෙදරක් කියලා, ඒ වෙලාවෙ මොකක් හරි කනස්සල්ලක් අපේ හිතේ තිබ්බත් "අවමඟුල් මූණක්" දාගෙන ඉන්න බෑනෙ. වැරදි දෙයකට, අනුන්ට අවැඩක් කරන්න නෙමෙයි නං මේ මූණු මාරු කිරිල්ලේ වැරද්දක් මට පේන්නෙ නෑ

මෙන්න මෙතනයි කොස්ස.හැම දේම සාපේක්ෂයි.  මේ හැමදේම එක එක්කෙනාට සාපේක්ෂයි. ඒ කියන්නෙ මං මේ ලියන්නෙ මට හරියි කියලා හිතෙන එක, තව කෙනෙක් කියාවි"හහ්, අපේ පොතේ එහෙම නැතේ" කියලා. අවුලක් නෑ , ඒකත් සාපේක්ෂයි.
මූණු, හරි-වැරදි, තාත්වික- අතාත්වික, බුද්ධිමත්- මෝඩ,
හුටා ඔන්න ආයෙත් මට පැටලිලා, වැඩේ අවුල් වේගන එනවා. මං ඉතිං කොහොමත් owl නිසා ඒකෙත් අවුලක් නෑ :)



ඔය පිංතූරෙ තියෙන වෙස්මූණ වැනීසියෙ එකද,ප්‍රංශ බාල් නැ‍ටුමෙ එකද? ඔන්න ආයෙත් පැටලුනා...

Everybody is special, everybody. Everybody is a hero, a lover, a fool, a villain, everybody. Everybody has their story to tell…

Tuesday, July 24, 2012

Anonymous බස්සා



ඉස්සර අපි කිව්වෙ :

“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

කියලයි. දැං මේ ටික දොහකට කලියෙන් පටන්ගෙන තාමත් ඇදෙමින් පවතින , අපේ කස්ටියෙගෙ "අපේ කම" දැක්කාම, යලි උපදින්න කෙසේ වෙතත්, නැවත කවදහරි ලංකාවෙ පදිංචියට එන එකත් ආයෙත් සළකා බලන්ට වෙනවා. අර කව්ද කාගෙන්ද ඇහුවලු "ඇයි හැමෝටම 'අයියෙ, අක්කෙ, නංගියෙ ,මල්ලියෙ' කියන්නෙ?" කියලා. " ඒහෙම කියන්නෙ 'අපේ කමට'නෙ?" කියලා උත්තරෙත් ලැබුණයි කියමුකො. අර ඩුප්ලිකේට් ඇනෝනිමසාගෙ දාලා තිබ්බ අපේ "'අයියලගෙ, අක්කලගෙ, නංගිලාගෙ ,මල්ලිලාලගෙ" සංගිස්කුරුත දැක්කාම "අපේ කම" යස අගේට තේරුනා :D

අපේ ගම්තුලාන වල ඔය කුල බේද ටිකක් තිබ්බා, ඉඳලා හිටලා කැලෑ පත්තරයක් ගැහැව්වා. . අබිලිං ලා, සොපියලා ගමේ තේ කඩේ, පංසලේ බණ මඩුවෙ ඕපදූපයක් දෙකක් කියෙව්වා තමයි, ඒත් ඒකෙන් මිනිස්සුන්ට සසර කළකිරුනෙ නෑ. ගම -නගරය එකට යාවෙන කොට, කුල භේදය තුරන්වේගන යනකොට , මං හිතුව අපේ සමාජය දියුණුවෙයි කියලා. ඒත් දැං නම් ඒ ගැන සැකයි:


ලෝකය විවිධයි, විෂමයි, ගෝලාකාරයි.
ලෝකෙ නිකං රෝදෙ වගේ කැරකෙනව

අපි ආපහු පරණ තැනට පැමිනෙණවා :(

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වල ය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී පුරයයි

නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා 




එහෙම උනයි කියලා බලාපොරොත්තු අතහරින්න හොඳ නෑ. 
මෙන්න මගේ ප්‍රාර්ථනාව:සයිබරය අර මුලින් තිබුණු තරඟ , මරාගැනීම් නැති, සුන්දර, ඇලිස්ගේ විස්මලන්තයම වේවා!


අර කෙහෙල් කොට්ටෝ කෙහෙල් කො‍ටුවේ චූටි මහතා කියල තිබ්බා" ඇත්තට හම්බ උනොත් ඔයාලා මට කතා කරන එකකුත් නෑ. ඒකට කමක් නෑ, මේ සයිබරයේදි අපි යාළුවො, ඒ ටික මට ඇති' කියලා. සරළයි වගේ පෙනුනට මේක loaded statement එකක්. 




ඇත්ත, අපි සැබෑ ලෝකෙයේ ඒ තත්ත්වෙට එන්න තරම් තාම දියුණු නෑ. ඒත් මේ සයිබරයේදි අපි ඊට වඩා දියුණුයි. ඒක නිසා මහත්වරුනි , කරුණාකරලා සැබෑ ලෝකයේ කුහකකම්, මේකට ගේන්න එපා. සයිබරයේ හැඳුනුම්කම්, සැබෑ ලෝකෙට ගෙනයන එක ඔහෙලගෙ වැඩක්, ඒත් මට නං මේ විවිධ සමාජ, අධ්‍යාපනික මට්ටම්වල ඉන්න අපි මෙහෙම එකට ඉන්න එක ඊට වඩා වටිනව.




සමහරු ආරූඩ නම් නැතුව නියම නමින් එනවා. ඒක ඒ අයගෙ කැමත්ත. හැබැයි, ඒක ලොකු කමක් කියල හිතන එක ඔහෙලගෙ නුවණක්කාර කම. මේක අපේ මෝඩ වෙන්න පුළුවනි, හැබැයි ඒක අපේ අයිතිය, ඒකට ගරු කරන්න. පාලකයෙක් හැටියට විවේචන තිබ්බත්, මං අගේ කරන අප අතර නැති කෙනෙක් මෙහෙම
කියලා තිබ්බා:"Stay foolish, Stay hungry."ඒ නිසා ඇත්ත නමින් එන්න, එළියට එන්න වගේ ඉල්ලීම් අසාධාරණ බව මගේ හැඟීමයි, මන්ද අදහස, ලිපිය මිස, ලේඛකයාගේ අනන්‍යතාවය අපට අදාල නොවන නිසා.


ඒ නිසා දැනට මං දොරකඩ ගහේ බකුසු තඩියම තමා :) 




මේ පිංතූරෙ නම් කරලා තිබ්බෙ මෙහෙම:

අල්ලපු ගෙදර පූස පල්ලා. මේක කලේ අර අසම්ජ්ජාති පූසො සැට් එක තමා!  කියලයි :)))



















Disclaimer:  මෙහි පූෂා යනු හුදෙක් නාමයක් පමණක් බවත්, පූෂන් උපහාසයක් කිරීමේ අදහසක් නැති බවත් සියලු පූෂන් වෙත දැනුම් දෙමි.

Tuesday, July 17, 2012

පාරාදීසය


හැමෝටම තමන්ගෙ ගතවුනු කාලය ගැන සොඳුරු මතකයක් තියනවා නේ.

මටත් එහෙමම තමා.




 




මේක දැක්කාම මට මතක් වෙන්නෙ එව්වා තමයි.
මෙන්න මගේ මතක ලැයිස්තුව:

ඉස්සො වඩේ
ටෙස්ට් දැමූ කඩල
පොල් වෙරළු අච්චාරු
හැලප
ලැවරියා
වණ්ඩු ආප්ප, පැනි ආප්ප
ඉඹුල් කිරිබත්
මාළු පාන්
දිවුල් සහ කිරල
හැන්දෑවට වාඩිවෙලා බකංනිලාගෙන හිටපු පහල වෙලේ බෝක්කුවක්
කුඹුකෙ ලිඳේ වතුර
කොණ්ඩෙ කපල, බෙල්ල කඩන හන්දියෙ බාබර්ගෙ හෙඩ් මසාජ් එක





මං මේ බලන් ඉන්නෙ ගුගල් කාරයා ලංකාවට ස්ට්‍රීට් වීව් දෙනකං. අම්මපා , ඇවිදිනව ගමේ පාරවල් වල කකුල් ගෙවෙනකංම :)

බලන්න මහත්වරුනි,දුරින් ඉඳන් අගේ කරන්නත්, මාස තුනකට අඩු සංචාරයකටත් කදිම , ඉන්දියන් ( හුටා, ඒකත් උන්ගෙ) සාගරයෙ කඳුළු බිංදුව!

Thursday, July 12, 2012

යතාර්ථය



හුදී ජන හිත සුව









නුහුදී ජන හිත සුව


Wednesday, July 11, 2012

dSLR

කැමරාවල auto-focus එන්ට කලින් තිබ්බ දෙයක් තමා split image focusing screen කියන්නෙ. මේ තියෙන්නෙ ඒකෙ පිංතූරයක්. වැඩේ හරිම ලේසියි. උඩ බාහෙයි, යට බාගෙයි align කලා. තිබ්බා, ගැහුවා.






dSLR වල ඕක වෙනුවට තියෙන්නෙ මෙන්න මේ වගේ එකක්.




 මේ stock screen එක split image focusing screen එකටට මාරු කරගන්න එක එච්චර අමාරු නෑ. බොහොම අඩු ගානකට split image focusing screen එකක් ගන්නත් පුළුවනි :)




ප්‍රශ්ණය: හරි , දැං මොකක්ද ප්‍රශ්ණෙ. නිකං ටිංකිරි ගාගන්නෙ නැතුව , ඔය තියෙන විදිහට තිබ්බම මොකද වෙන්නෙ?

1. 
split image focusing screen එක මාරු කරයි කියලා auto-focus  facility
එක  නැති වෙන්නෙ නෑ. තව අමතර පහසු කමක් එකතු වෙනවා විතරයි.




2. 
Auto - focus system එක
අඩු ආලෝකයක් ඇති තැන්වල focus කරන්න අමාරුයි. Auto focus system එක දඩයමේ යනවා :). 




3. Auto - focus system එක වැඩකරන්න ඇරලා,
split image
 එකෙන් ඒකෙ නිවැරදිතාවය මැන ගන්ටත් පුළුවනි. අවශ්‍ය තැන්වල දි auto focus අයින් කරලා manual ම focus කරගන්නත් හැකියි.


ප්‍රශ්ණය: මේක මාරු කලොත් මොනවද නැති වෙන දේවල්?




1. foucus dots ටික නැතිවෙනවා. නැතිවෙන්නෙ focus කරන එක නෙමෙයි. අර එක on-screen dots විතරයි.
බොහෝ විට පාවිච්චි වෙන්නෙ මැද ඩොට් එක විතරයි. බොහෝ විට කරන්නෙ focus කරලා re-compose කරන එකනෙ.




2. exposure settingවලට ටිකක් බලපාන්න පුළුවන්. exposure compensation තියෙන්නෙ ඒකට තමා.




3. සමහර වෙලාවට

split image screen 
එකේ යට බාගෙ අඳුරු විය හැක. angle එක වෙනස් කරලා ඇහැ එහාට මෙහාට කරලා ඒකත් හදා ගත හැක.




4. ලෙන්ස් කන්වටර් සමඟ අනිකුත් කැමරාවල ලෙන්ස් හෝ මැනුවල් ලෙන්ස් පාවිච්චි කරන අයට, මේක ඉතාම ප්‍රයෝජනවත් 






වෙන කියන්න තරම් අනෙක් වලට බලපෑමක් නෑ. ඔය තියෙන්නෙ light path එක

























අවශ්‍ය අඩුම- කුඩුම:

1. හොම්බ දිග හෝ ලෙන්ස් මාරු කර හැකි කැමරාවක්




2. පස්සා පැත්තේ අමාරුව - මඳ පමනට :)

3. ඉවසීම, ඉවසීම සහ ඉවසීම.

ඕඩර් කරපු බඩු එනකං - අවශ්‍ය tools ඒ සමඟ එනු ඇත.



වැඩේ බොහොම සරලයි, ඒත් ඉතාමත් සියුම්, බොහොම ඉවසීමෙන් , පරිස්සමෙන් කලයුතු දෙයක්.





Half-transparent mirror නැත්නම්  Pellicle mirror කියන්නෙ බොහොම සියුම් දෙයක්.මේකෙ තියන සියුම් silver coating එක තියෙන්නෙ mirror එකේ උඩ පැත්තෙ. ඇඟිලි සලකුනක් තිබ්බොත් හරි හූර ගත්තොත් හරි සොරිම තමා. instruction වල තියන විදිහටම කරන්න.කැමරාව ඔලුවෙන් හිටවල තමා වැඩේ පටන් ගන්න ඕනෙ, නැත්නම් focusing screen එක රඳවල තියන frame එක mirror එක උඩට වැටිලා සීරෙන්න පුළුවන්.




ඒ වගේම stock screen එකත් බොහොම පරිස්සමින් කොනකින් අල්ලලා එලියට ගන්ට. අර focusing dots, screen එකේ අලවලා තියෙන්නෙ. පිහදැම්මොත් එවා ගැලවිලා යනවා




මෙන්න
focusing screen  ගන්න තැන්. බඩු තැපෑලෙ එයි. හැබැයි ටිකක් දවස් යයි.




focusing screen - Free Shipping - DealExtreme

focusing screen | Search Results : Tmart.com




How to install -Instructions:


Canon Focusing Screen Installation Instruction


NIKON D700 Focusing Screen Installation Instruction

















Sunday, July 8, 2012

ටජ් මහලක් .....

පොඩ්ඩක් පරක්කුවෙලා හරි ජෝතිපාල සැමරුමට මොකක් හරි කරන්න ඕනෙයි කියල හිතුනා. මෙන්න මං කැමති සිංදුවක් - බකුසු වර්ෂන් එක :)

ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
බෝරියල් වනයේ පයින් ගසක මම
ගස් බෙනයක් තනමී....

තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහ තරු
ඔබය මියෙන තුරු...





Wednesday, July 4, 2012

බස්සා සහ සුරංගනාවි



ඕං ඔය පහුගිය දොහක උදේක, බේගලයක් ඇදබාපු මම, සුපුරුදු පරිදි පලමු නිදි වඩියට සැට් වුනා. මේ බේගල් කිව්වෙ අර කොටා බාන එව්වා. ඒකත් කොටා බාල, හොඳට අත්ත උඩ හරිබරි ගැහිලා දෙයියනේ කියලා ඇස් පියාගත්තා. මොන, මේං කණ ගාවම ඇහෙනව රූං,රූං ගානවා. ඇස් දෙක වහගෙනම හොඳට හඬ එන තැනට මානල දුන්නා හොඳ අත්ත‍ටු පාරක්. කව්දෝ "ඌයි" ගෑව. ඇස් ඇරල බැලින්නං සුරංගනාවියක්. කහපාට මල්පෙති වලින් හදාපු ගවුමක් ඇඳලා.


"අප්පට හුඩු, මටත් ටිකට් එක ඇදිලද? ඔයා දිවියලෝකෙන් පණිවිඩේ අරගෙනද ආවෙ?
" අනේ මේ ඔයා මොනව කියනවද මන්දා බස්z , මම ටින්කර් බෙල්, ආවෙ නෙවර්ලන්තෙ ඉඳලා."
" මාත් ඔය ටිංකරින් වැඩ ටිකක් දන්නවා නං තමා. ඇයි ඔයාටත් බ්ලොග් එකක් තියනවද. එහෙම නං කියන්න, පොඩි ටිංකරින් පාරක් දාලා දෙඤ්ඤං"
" එහෙම එකක් නෙමෙයි. දැං බලාන්ට, ඔයා ටින්කරිං බාස්, මම ටින්කර් බෙල්. මේ ඔයාට FB එක්වුන්ට් එකක් තියනවද?"
" මේ මඟුලක් කතා කරනව, බස්සො කවදද FB කෙරුවෙ"
" අයියෝ, අඩුම ගානෙ ස්කයිප්,චැට් එකවුන්ට් එකක්වත්?"
"මේ ටිංකරිං නෝනෙ, ඔව්වා මගේ නින්දට බාදා වෙන වැඩ. අපි, බස්සො, බස්සොන්ට නින්ද බොහොම වටිනව, තේරුනාද?. දැං ඔහේ ඔච්චර දුර ඉඳලා මගෙ නින්දට බාදා කරන්න ආවෙ ඕක අහන්නද?"
" මොකක්ද මෙයා, ඉඳලා හිටලාවත් ඔයාගේ සොෆ්ට් ස්යිඩ් එක පෙන්නන්නකො, කොක්කම දාන්නෙ නැතුව"
"අනේ මේ මගේ සොෆ්ට් ස්යිඩ් එක තිබිච්චාවෙ. කියන්නකො මට ඔයා ගැන?"
" මට මල්කැඩීම ගැන ගෞරව උපාධියක් තියනවා. එතකොට පැණි කළමනාකරණය ගැන පස්චාස් මෙව්වා එකකුත් තියනවා. එතකොට මං රාජකාරි කරන්නෙ බොහොම ඉහල තැනක"
"හුටා! ඔය මල් සාය කොටෙත් ඇඳගෙන ඉහල යනවයි කිව්වා. ඉතිං මල්, කුරුල්ලො පිබිදෙන එක අහන්නත් දෙයක්ද?"
" ඒක තමයි මෙයා. මේ සමහර නැහැදිච්ච කුරුල්ලො මට එව්වා මෙව්වා කියනවා නෙව"
" ඉතිං ටිං,ටිං නෝනෝ. මොන හත්තිලව්වකට ඔය ඔය, errrr..... එව්වා,මෙව්වා පෙන්නන්න ගියෙ?"
"ඔයා නං කියයි. මේ දවස්වල හරිම හොට් මෙයා. එහේ නෙවර්ලන්තෙ හැමෝම ඉන්නෙ එහෙම"
" නෝනෝ, මේක මූකලාන, නෙවර්ලන්තෙ නෙමෙයි. මේකෙ ඉන්ට ඕනෙ මේ සත්තුන්ට හරියන තාලෙට, ඔය නෙවර්ලන්ත මෝස්තර මෙහෙට හරියන්නෙ නෑ"
"ඒකනෙ මෙයා, මං ඔයාගෙ කන්ටැක්ට් ඉල්ලන්නෙ"






අවවාදය:
ඔබ අන්තර්ජාලය වෙත මුදාහල දෙය නැවත ගත නොහැක. ඔබ එය මකා දැමුවද එය ඉවත් නොවේ. මොනතරම් බලපෑම් ආවද, එය කොතරම් ආකර්ශණීය අදහසක් වුවද, ඔබගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය වෙත මුදා හැරීමට ප්‍රථම දෙවරක් නොව, තුන්වරක් සිතා බලන්න.




Tuesday, July 3, 2012

වැනිල්ල.....



ඔය වැනිල්ල කිව්වාම නොයකුත් ආකාරයේ වැනිලි තියනවා නෙව. සමහරු පරිසරය වනනවා. සමහරු නැට්ට වනනවා. එතකොට කරටි කැඩෙන්න ගැහැව්වාමත් සමහරු වැනෙනවා නෙව. ඒ එක්කම සමහරු කඩුව වනනවා, හෙළුවෙන් වනනවා.

මේක එහෙම වැනිල්ලක් නෙමයි. පුහ්, බලන් ඉන්න අපිවත් වැනෙන වැනිල්ලක්. හරියටම කියනවා ප්‍රංශ වැනිල්ලක්.




මේ ඉන්නෙ ඇලීසේ (ඇලීzසේ -  Alizée Jacotey). කොට මොඩල් ප්‍රංශ ගායිකාවක්. එයා වනන්න දක්සා....යි.

සිංදුව නං මැඩෝනගෙ.ඒත් වැනිල්ල මෙයාගෙ.




මං වැනිලිත් දැක්කා..

මේ වගෙ වැනිලි නොදැක්කා..

හැඩකාරයි, දඟ කාරයි..

ගෑණි ලලක්කා....














Saturday, June 30, 2012

නින්ද නැති ‍රැයේ....








"නින්ද නැති ‍රැයේ" කියන්නෙ මං ආසම සිංදුවක්. ඒ වගේම "Sleepless in Seattle" කියන්නෙත් මං කැමතිම පිචෑර් එකක් - R.I.P Nora Ephron :(.







අපි ඉතිං කොහොමත් නිශාචර පක්සීන් නොවැ. ඒත් නින්ද කියන්නෙ අපි කාටත් අත්‍යවශ්‍ය දෙයක්. මට නං නොකෑවත් නිදා ගන්ට ඕනෙ. ඇයි අප්පේ නැතුව කොහොමද මේ නයිට් ශිප්ට් එක අදින්නෙ? මං සාමාන්‍යයෙන් නිදා ගන්නෙ කොටස් දෙකකට. උදේ හීල කොටා බාලා, පනිනව කෙලින්ම ඇඳට, ඊට පස්සෙ මොනවද විනාඩි පහෙන් බස්සා ෂපාන් එකට දොයි (ඔහෙලට කියන්ට, එහෙම සනීපෙට තද නින්දෙ ඉන්න කොට කෝල් කරල " R U sleeping?" කියල අහන ගල් ඉබ්බියොත් ඉන්නව ආයිබොං)







ඊට පස්සෙ දවල්ට කාලා, ඉන්ටනැට්ටෙ පොඩි හැලප පාරක් කාල එහෙම දානව දෙවන නිදි වඩිය.ඔය රෑ වැඩකරන අය හරි, මල ගෙවල් , පිරිත්, දාන ගෙවල් වඳින්ට බොහොම මනාප කස්ටියට , පොඩි ගුරු කමක් මේ: මං කිව්වට එහෙම කොටස් දෙකකට බුදියගෙන බලන්ට :)





සමහරුන්ට බුදියන්ට මහ විසාල ඇඳන් ඕනෙ උනාට හැමෝටම එහම ඕනෙ නෑ. මේ බලන්නකො:













මෙයා නං නයිට් ශිප්ට් එක කරල ඇවිල්ලා, නිදි මරගාතෙම චැට් කරන කෙනක් පාටයි.

























බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදියන ටොමියලෑ කස්ටිය







































ඉගෙන ගන්නා අයට උපදෙස්: ඔබට නින්ද යාම හොර නං පාඩම් පොතක් කියවීමට ගන්න. අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි :)



















නිද්‍රා යෝග ක්‍රමය























Thursday, June 28, 2012

කුමරි බඹසර



කියන්නට බොහෝදේ ඇතත් කිසිවක් නොකියා, ඔබටම සිතාගන්ට ඉඩදෙමි.




තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබේ කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුනලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල






හුටා!









Sunday, June 24, 2012

සිහින වෙළෙන්දෝ....






ඉන්දියාව කියන්නෙ පුදුම රටක්. ඉස්සර ඒකට කිව්වෙ ජම්-බුහ් ද්වීපය කියලයි. දැං මගෙන් අහන්න එපා ඇයි කියලා. ඕක ඇතුවත් බැරි , නැතුවත් බැරි රටක් නෙව. කොටින්ම "අපේ" බුදුහාමදුරුවොත් ඉන්දියන් නෙව. එතකොට අපේ බාසාව, ඒක ආවෙ සඟිස්කුරුත වලින්. ඔය මොන කතන්දර කිව්වත්, අපේ හැම දේකම පොඩි ඉන්දියන් ආභාෂයක් , අනුකරණයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඔය අපේ ආරිය-හිංගල ඇඳුම තියනවා නේද? බලන්නකො ඒකෙත් පොඩි ඉන්දියන් ගතියක් නැහ්ද කියලා.



මට නං මේකෙ වැරද්දක් පේන්නෙ නෑ. ඔය ඉස්සර අපේ පිචෑර් වලට සිංදුවක් කාරිය ඕන වුනාම , ගත්තා හින්දි සිංදුවක් එබුව වචන ටිකක්, ඔය දෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න. දැං බලාන්ට, අද වුනත් අපිට පොර-ෆයිල් එහෙම පිංතූරයක් ඕනා වුනාම කාරිය, අපි මොකද කරන්නෙ? ගත්තා හින්දි පිචෑර් බැමිණියෙක්ගෙ පිංතූරයක්, එබුව.

ඔය පහුගිය දොහක ඉන්ට-නැට්ට පැත්තෙ ගියවෙලාවක, අහන්ට ලැබුනා හින්දි සිංදුවක්.තාලෙ එහෙම හොඳා. බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ ඔලුවටම වදිනවා. ඕං අහලම බලාන්ට...
 


             
































මේ සිංදුව අල්ලලා යන්න, අනික් කාරණේ තමා මේකෙ වචන සැට් එක.
තේරී, මේරී , මේරී තේරී ප්‍රේම් කහානී හේ මුෂිකිල්
දෝ ලෆසොන් මෙහ්-යා භයානා හෝ-පායේ.


තේරුම:


ඔබෙයි-මගෙයි, මගෙයි-ඔබෙයි පේරේම කහානියේ අවුලක් ඇත.
එය වචන කීපයකින් කීමට නොහැකි තරම් භයංකාරය.


ඇයි සීවරං දෙයියනේ. ඇත්ත නේන්නං. ඔය ලව් බිස්නස් තියනවා නේද? කවදාහරි , නැට්ට පුච්චගෙන තමා පස්ස බලන්නෙ. ඒත් වැඩේ කියන්නෙ, ඕකට ඇබ්බැහි වුනාම, ආයෙ නවත්තනවා බොරු. මට මේ සිංදුව කොච්චර නැගලා ගියාද කියනව නං . වැඩට ගිහිල්ලත් ඕකම කියවෙනවා.

" මේරී තේරී ප්‍රේම් කහානී.. භයානා හෝ පායේ" කිය කිය , එ පැත්තට යනවා, මේ පැත්තට යනවා. වැඩි සද්දයක් දාන්නත් බෑ නොවැ, එතන ඉන්න බමුණු යාළුවෙකුට ඇහුනොත් කාරිය, පටි රෝල් වෙනවා නෙව.

හුටා! පස්සෙ බලන කොට, ඒකත් කොපි කරලා තියෙන්නෙ ජන ගී ආස්‍රයෙන් හදපු රුමේනියන් සිංදුවකින් නෙව. :)




               

Monday, June 18, 2012

රොබෝ නැ‍ටුම්







සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියනවනෙ. නැ‍ටුම් කියන්නෙත් විශ්ව භාෂාවක් කියලයි මට නං හිතෙන්නෙ. අපි වැඩිහරියක් පුරුදුවෙලා ඉන්නෙ බටහිර ගීත, නැ‍ටුම් බලන්න/අහන්නයි. මං මේ ඒකට වැරද්දක් කියනවා නෙමෙයි. මට කියන්න ඕනෙ වුනේ බටහිරට එහායිනුත් ලෝකයක් තියනව කියලයි.








මේ හුරුබුහුටි කොළුව යුක්‍රේනයෙන්.

මට හිතෙනව මේ නැ‍ටුමෙන් යම් පණිවිඩයක් දෙනවා කියල. සමහරවිට, ඔබට හැ‍ඟෙන්නේ මට එන අදහසම නොවෙන්න පුළුවනි. ඒකට කාරියක් නෑ, එහෙමම වෙන්න ඕනෙත් නෑ නොවැ.





හිතෙන දේ ඔන්න ඔහේ කුරු‍ටු ගාලම ගියා නං :D







Sunday, June 17, 2012

Photoshop Basix



මේ බ්‍රසීලයේ හාවෙක්. හරිම "කියුට්" නේද?



ඒත් මං මේ කල්පනා කලා, මූ ඇයි මේ ආත-බූත කඩාගෙන හුරේ රන් එකක් දෙන්නෙ කියල?




 " ඈ බං හා නයිදෙ, ඇයි මේ හැටට-හැටේ දුවන්නෙ? අහස කඩා ගෙන වැ‍ටුනා වත්දෑ?



" මොන පිස්සුද, බලු රාළේ. එහෙම දිව්වෙ ඉස්සර උඹලෑ රටේ හිටිය හාවො. මං බ්‍රසිලියන් හාවෙක්"

" හරි මොන සිලියන් උනත් , උඹත් දුවනවා නෙව. දඩයක් කාරයො පස්සෙන් පන්නවා වත්ද?"
 " දඩයක්කාරියක්. මේ ලඟදි 'රියෝ" වලට ගොඩ බැහැල. 'කියුට්' හාවෙකුටවත් පාඩුවෙ ඉන්න නෑ. අහුවුනොත් ඉතිං'ක්ලොරෆෝම්' සාත්තුව තමයි. උඹත් දුවපාආආං..." කිය, කිය ඌ දිව්වා.





ඔය හාවට අන්දලා තියෙන්නෙ "රියෝ" වල ඉන්න කස්ටියක්, Photoshop වලින්.හා, හාවව පැත්තක තියලා ආපු වැඩේ ගැන කතා කරමුකො. Adobe Photoshop වලට තරඟයක් දෙන්න තරම් වෙන විකල්පයක් තවම නෑ කිව්වොත්, ඒක අතිශයොක්තියක් නෙමෙයි. අපේ සුප්‍රසිද්ධ ශ්‍රී ලාආආ..ආංකේය පුරුද්ද වන monkey business ක්‍රමේ, මේක ඉගෙන ගන්න එච්චරම ගැලපෙන්නෙ නෑ. මේ වැඩේට ඕනෙ කරන මූලික දැනුම ඔය පහල තියෙන සයිට් එකෙන් ගන්ට පුළුවනි. ඔක්කොම කෙටි video tutorials ඔහේ play වෙන්න ඇරලා බලාගෙන ඉන්න එකයි ඇත්තෙ. 













මේ අනික් පිංතූර නං දැම්මෙ, කස්ටියට උනන්දුව ඇතිවෙන්නයි :)

Sunday, June 10, 2012

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..



ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..







වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..

යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..







කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..

අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..


ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..







ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..


හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ.

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..










මං මේ  උදේ කෑම වේල හොයාගන්ට කියලා හන්දියෙ බේකරිය පැත්තට යන්ට පාරට බැස්සා. මේං අපෙ බකුසු  තඩියා ඉන්නවා සීයට අරගෙන පනහට දීලා වගේ. මොනව උනත් අපේ එකා නෙව . මං හිමීට කිට්‍ටු කලා.





" මොකද මචෝ, නිකං අප්සැට් මූඩ් එකේ. උඹ ආයෙ දාගත්තද වලියක්?"

" මං දාගත්ත වලියක් නෑ. පලමු වෙඩිල්ල තිබ්බෙ එහා පැත්තෙන්"


"හෑ, උඹ යුද්දෙට වත් ගියා වත්දෑ?"

" නෑ, මං කියන්නෙ. මට අනිවාරතේ දොස් කියනව. එක වංගියක්  ෆෝන් එකේ  කන්ටැක්ස්  මකා ගත්තා කියලා මාව කෑව.මේ වංගියෙ  බ්ලොග් එකේ ඇඳුම මාරු කරා කියලා"


" ඉතිං මොකටද උඹ ඔය  ඕන්නැති වැඩ කරන්න ගියෙ"

" මං ඔය ටින්කරින් වැඩ වලට කැමති හාදයා වෙච්චි. ඉතිං  පොඩි පොඩි හදිසි අනතුරු වෙන එක වලක්වන්ට පුළුවනියෑ"


"එකත් හැබෑ තමයි. උඹ කොහොමත් ටින්කරින් බාස් නොවැ. මං අහල තියෙන්නෙ, ඔය උඹ වගේ ගෙදර දොරේ වැඩ පල තමන්ම කරගන්න දන්න අයට, ඒරොප්පෙ හොඳ ඉල්ලුමක් තියනවා කියලයි"

"උඹ මේ ඉල්ලුමක් ගැන කියනවා. මං මේ මගේ  ත‍ටු සැට් එක බේරගන්ට හැටි කල්පනා කරනවා"


" ඔව්ව වැඩිය හිතට ගන්ට එපා. අර එන එන විදිහට ගහ උලු වස්සා කියල හිටහං. දැං වලිය ඉවරද?"


"ඔව්. යාන්තං ඉවරයි :D"