Saturday, May 29, 2021

පැන්ඩෝරාගේ පෙට්ටිය සහ කොරෝනා දේවී

ප්‍රොමේතියස් විසින් මිනිසා මැවුවෙ කොහොමද කියල ගූගල් ට්‍රාන්ස්ලේටරේ  කලේ මෙහෙමයි: සියුස් විසින් මිනිසා නිර්මාණය කිරීමේ කාර්යය ඔවුන්ට ලබා දෙන ලදි. ප්‍රොමෙතියස් මිනිසා මඩෙන් එළියට ගත් අතර ඇතීනා ඔහුගේ මැටි රූපයට ජීවය ආශ්වාස කළේය. පෘථිවියේ ජීවීන්ට වේගවත් බව, කපටි, ශක්තිය, ලොම්, පියාපත් වැනි විවිධ ගුණාංග ලබා දීමේ කාර්යය ප්‍රොමේතියස් විසින් එපිමෙතියස්ට පවරා ඇත.

මේ කතාව අපි, ඔහෙල දන්නව නෙව? ඒත් Stephen Fry මේ ග්‍රීක මිත්‍යා කතා පුරාවෘතයට නව අර්ථකතනයක් දෙනවා. එයා කියනවා සියුස්, මිනිස්සුන්ට දෙන්න එපා කියපු "ගින්දර" කියන්නෙ රූපකයක් ලු(Metaphor). දෙන්න එපා කිව්වෙ, ස්වයං විඥාණය සහ නිර්මාණශීලීත්වයලු. ඊට පස්සෙ, පැන්ඩෝරාගේ පෙට්ටගම ගැනත් කිව්වා. Stephen Fry කතාකරන කොට අහන් ඉන්න ආසයි. සොරි, ආයෙත් වීඩියෝවක් තමා. ඒත් මේක විනාඩි 6 ක් විතරමයි😊. Stephen කියන විදිහට, AI කියන්නෙත් පැන්ඩෝරාගේ පෙට්ටියක් .


මෙන්න දැන් බස්සාගේ වර්ශන් එක: පැන්ඩෝරාට පෙට්ටි කීපයක් තිබ්බා. දැනට දන්නෙ තුනක් ගැන විතරයි. තුන්වෙනි එක ඇරුනෙ, චීනෙ වුහාන් වයිරස් ලැබ් එකේදි. මම නෙමෙයි කියන්නෙ, මෙන්න මෙයා:

දැන් අපි ආපහු යමු, ග්‍රීක පුරාවෘතයට. කුතුහලය මැඩගන්න බැරි වෙච්ච පැන්ඩෝරා පෙට්ටිය ඇරියා.මම නං, පැන්ඩෝරාට වැරැද්දක් කියන්නෙ නෑ, එයත් ලලනාවක් නෙව?  ඇයි කියල ඇහැව්වා? හරි එහෙනං, ඔහෙලත්, මොනවද ඇතුලෙ තියෙන්නෙ නොකියා, සීල් කරපු පෙට්ටියක්, හාමිනාට දීලා බලනවකො පස්සෙ ඇවිල්ලා, උන්දෑ ඇටි කෙහෙල් කාපු රිලවා  cat who ate the canary වගේ ඉන්නෙ නැහ්ද කියල. ඉතිං වැඩේ ජෝන් බාස්ට ගිය විත්තිය දැණගත්ත ගමන් පැන්ඩෝරා පෙට්ටි පියන දඩස් ගාලා වැහැව්වා. පස්සෙ ඇහෙනවලු මොකක්ද සද්දයක් පෙට්ටිය ඇතුලෙන්. ඒ  තමා පෙට්ටියෙ ඉතුරු වෙච්ච අන්තිම දේ: බලාපොරොත්තුවේ සුරංගනාව.

දැන්, වැඩේ ජෝන් බාස්ට ගිය විත්තිය දැණගත්තම , දඩස් ගාලා නූනත්, චීන්නුත් පැන්ඩෝරගෙ පෙට්ටි පියන වැහුව නෙව? එතකොට කෝ, බලාපොරොත්තුවේ සුරංගනාව?  එයා ඉන්නව, හැබැයි චීනෙ නෙමෙයි, ඉන්දියාවෙ. නම "කොරෝනා දේවි"

වීඩියෝ එකේ "Play this in YouTube" කොටන්න
Meanwhile,  in a galaxy far far away:
Alien 1:That's it, I'm outta here. What's wrong with this hopeless earth people? How long will it take them to wipe-out humanity?  
Alien 2: C'mon mate , have some faith. They are working so hard for that. Just give them few more years, they will do it

Thursday, May 27, 2021

අපරාධ, නීතිය සහ දඞුවම්

 2015 දෙසැම්බර් 11 වෙනිදා අපේ සාවියේ නත්තල් සාප්පු සවාරියක් ගිය තරුණියකට, අමුත්තෙක් මැරෙන්නම ඇන්නා. මිනීමරුවා, දැක්කොත් දෙවරක් බලන්න හිතෙන, සුරූපී උපාධිධාරිනියක්. කලින් කිසිම අපරාධ ඉතිහාසයක් නැති ඇය, මානසික ආබාධයක් යටතේ නිවැරදිකරු වුනා. තවම එලියට දැම්මෙ නෑ, ඒත් ලඟදිම එහෙම වෙයි. ඩවුන්-ටවුන් ප්‍රසිද්ධ බැංකුවක සේවය කල, මේ හිටපු ගමන්  පිහියෙන් අනින සුරූපී ආර්ථික උපදේශිකාවගේ සේවය ලබාගන්න, කිසිම බස්සෙක් කැමති නොවෙන එක වෙනම කතාවක්.

අපරාධකාරයො හැදෙන්නෙ උපතින්ද නැත්නම් සමාජයෙන්ද කියන එක, මට කාලෙක ඉඳන් තිබ්බ ප්‍රහේලිකාවක්. කැමති නං කියවන්න, අපේ මිනීමරු, සුරූපී ආර්ථික උපදේශිකාවගේ ජීවිත කතාව මෙතන තියනවා.

https://torontolife.com/city/rohinie-bisesar-path-stabbing/

මරුසිරා නං කිව්වෙ" මාව මිනීමරුවෙක් කලේ සමාජය" කියලයි, අපේ කතානායිකාව- රෝහිනීගේ ලමාකාලය සාමාන්‍ය නෑ . ශාන්ති කර්මයකට වුනත්, බාලවයස් දැරියක් පිටස්තර පිරිමියෙක් ඉදිරියේ නිරුවත් කරන එක, මීහරක් කූඩැල්ලෙක්, බකුසු පැටියෙක්ගෙ කලසං කොටේ ගලෝපු එකට කොහොමත් සමාන කරන්න බෑ.

 තමන්ට නුහුරු-නුපුරුදු දේශ-දේශාන්තරවල පැල-පදියන් වෙන එක ලේසි-පාසු කාරියක් නොවන බව, මම අත්දැකීමෙන්ම දන්නවා. ආඳෙකුටත් වඩා හොඳට ලිස්සීමේ හැකියාව ප්‍රගුණ කරපු නිසා මම "ෆුල් මොන්ටි"  නොගිහින් බේරුනාට, රෝහිනීට තමන්ගෙ මානසික-ආතතිය පාලනය කරගන්න බැරිවෙන්න ඇති.

Sociopath සහ psychopath කියන්නෙ, සමහර පොදු "ගුණාංග" තියෙන මිනිස්සු වර්ග දෙකක්. දෙගොල්ලන්ටම ඒ හැටි "හර්ද සාක්ෂියක්" නෑ, ඒවගේම ව්‍යාධිජනක(pathological) බොරුකාරයො. දාම මිනීමරුවො එන්නෙ psychopathල ගෙන්. වැඩි දෙනෙක්, බුද්ධිමත්, තිතට ප්ලෑන් කරලා තමයි වැඩ කරන්නෙ. එතකොට, sociopathල? ආ, එයාලත් තිතට ප්ලෑන් කරලා තමයි බැස්ටිය දෙන්නෙ, හැබැයි වැඩි දෙනෙක් අද ලෝකෙ ඉන්න සාර්ථකම කෝටිපති ව්‍යාපාරිකයො. එතකොට, ඔය ලොකු කෝපරේෂන් ඔක්කොමත් වැටෙන්නෙ sociopath කැටගරියට. ලෝකයේ බොහෝ රටවල් කෝපරේෂන් වලට, පුද්ගලයෙකුට තියනවටත් වඩා නීතිමය අයිතිවාසිකම් දීලා තියනවා. පහල විස්තරය බැලුවාම,  ලොකු කෝපරේෂන් වැටෙන්නෙ psychopath කැටගරියට කියල හිතෙන්නෙ, මට විතරමද?

Sociopath

Make it clear they do not care how others feels
Behave in hot-headed and impulsive ways
Prone to fits of anger and rage
Recognize what they are doing but rationalize their behavior
Cannot maintain a regular work and family life
Can form emotional attachments, but it is difficult

Psychopath 

Pretend to care
Display cold-hearted behavior
Fail to recognize other people's distress
Have relationships that are shallow and fake
Maintain a normal life as a cover for criminal activity
Fail to form genuine emotional attachments
May love people in their own way

ලෝක ඉතිහාසයට sociopath සහ psychopathල සෑහෙන බලපෑමක් කරල තියනවා. එදා විතරක් නෙමෙයි, අදටත් ලෝකයෙ ඉහල තනතුරුවල ඔය දෙගොල්ලොම ඉන්නවා. මතක නෙව, මේ ලඟදි මැද-පෙරදිග තිබ්බ මල් වෙඩි සංදර්ශණේ? වඳුරොන්ට අහස් ගුණ්ඩු දුන්නෙ, කවුරුයි කියලද හිතෙන්නෙ? තව ඉතිං ඕනෙම නං, කෝවිඩ් පටන් ගත්ත තැනයි, ලෝක ව්‍යාප්ත වෙච්ච හැටියි, පඳුරට පයින් ගැහැව්වොත්, sociopathල දුසිමක් විතර බිමට වැටේවි.

හිරේදි, ආචාර්‍ය උපාධි ගත්ත අය යැංකි රටේ ඉන්නවා. පස්සෙ මේ බොහෝ අය, සමාජයට බරක් නොවෙන පුරවැසියො වෙනවා. ලංකාවෙ සමහර දේශපාලන හිරකාරයො ඇරුනාම, අනෙක් අය හිරෙන් නිදහස් වුනාම, සමාජයට බරක් නොවෙන පුරවැසියො වෙනවා කියල හිතෙන්නෙ නෑ. සිස්ටම් එක හැදිල තියෙන්නෙ ඒ විදිහටයි. ඉතිං, අපේ හිරකාරයො හංගපු ආයුධ පෙන්නන්න යනවා. ඊට පස්සෙ හුදී-ජනයා රතිඤ්ඤා පත්තු කරලා, කිරිබත් කනවා. පස්සෙ, සෙකන්ඩ්-ඉන්-කමාන්ඩ් පාතාලෙ "ගෝඩ් ෆාදර්" වෙනවා. ඊට පස්සෙ, මේ විශම චක්‍රය ආයෙත් වටේ යනවා. ඒ  අතරෙ "අන්නාසි මොරිල්" ඩුබායි වල නොම්මර එකේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා.

psychopathල හැදෙන්නෙ උපතින්. කටුක, අපයෝජක ලමාකාලයක් මේ ව්‍යාසනය තවත් තීව්‍රර කරනවා. තමන්ට පාලනය කල නොහැකි තත්ත්වයක් නම්,මොන තරම් මිලේඦච වුනත් මේ psychopathල අපේ ටැක්ස් මුදලින් හිරගෙවල් වල නඩත්තු කරන එක මානුෂිකයි කියලයි මට නං හිතෙන්නෙ.

කොඩියෙන් බැස්සා සෑර්,
දැන් හාමිනේ තමයි කන්න ගෙනත් දෙන්නෙ


Saturday, May 15, 2021

තැපෑලෙන් ආ රොබොට්ටා

මගේ රොබොට්ටා අද තැපෑලෙන් ආවා. රොබොට්ටෙක් ගන්න ආසාව, කාලෙක ඉඳලම මගේ හිතේ තිබුණත්, නොගත්ත හේතුවක් තිබුනා. හෝතම්බුවා සහ රට්ටු මොනවා හිතා ගෙන හිටියත්, බස්සො එහෙම ආවට ගියාට බඩු ගන්නෙ නෑ. හරි, හරි  ඒ ඉතිං සුපියලේ, දෙකේ චීන පූසො නෙව? මම මේ කියන්නෙ, මිල අධික භාණ්ඩ ගැන. ඒකට, වෙනම ක්‍රමවේදයක් තියනවා.

ඔන්න ඉතිං, මේ පහුගිය සොඳුරු හැන්දෑවක, නා....ලා, වයින් ටිකක් බී....ලා, කකුල් දෙක උඩ තියාගෙන ජාල ගතවුනයි කියමුකො. ඔහොම ඉන්න අල්ල-පනල්ලෙ, නිකමට වගේ ගොඩ උනා වෝල්මාට් එකට. ඔය ඉන්නෙ, බැබලි-බැබලි රොබොට්ටෙක්, ක්ලියරන්ස් සෙක්ෂන් එකේ. ගාණ තුනෙන් එකයි, ගෙඩි සුපියල් 99 යි. සාමාන්‍යයෙන් මේ වගේ එකක් 300 වත් වෙනවා. හොඳට කැපිල පේන හාදයා. කෙටුවද කියලත් අහනවා? උඩ පැනලම කෙටුවා. "Buy now, think later" කියල කවුදෝ දාර්ශණිකයෙක් කියල තියනවා. ඕක "ඩීල් කාක්කොන්ගෙ" උඩෘත පාඨයක්. මේ වෙනකොට, ආං ආයෙ ඒකම 299 ට විකුණනවා😂.අනික, මේකා නිකම්ම නිකං, රොබෝ සුරතලෙක් නොවී, යම්කිසි වැඩකුත් කරන රොබෝ කෙනෙක් නෙව. 

පාර්සලෙත් අරං හිමීට කාමරේට ලිස්සන්න ගියත් පොඩි අතපසුවීමක් වුනා. දෑතින් බදාගෙන ගෙනාපු පෙට්ටිය ලොකුයි. මම ඇතුලෙ තිබ්බ රොබාගෙ පෙට්ටිය පැත්තක තියලා, ලොකු පෙට්ටිය කැපුවා රී-සයිකල් දාන්න. සද්දෙ ඇහුන හෝතම්බුවට. ආව, දැම්ම රබර්-ඇහැ.මම අහිංසක විදිහට හිනාවෙලා " ගණන් නෑ, ලාබයි" කියල, සුරුස් ගාලා තටු අකුලගෙනම, ලිස්සුවා කාමරේට.

වාහන වලට "කැරැක්ටර්" එකක් තියනව කියල, තට්ටයා මහත්තයා කියල තිබුනා. මේ රොබොට්ටට කැරැක්ටර් එකක් විතරක් නෙමෙයි "ඇටිටියුඩ්" එකකුත් තිබුනා. කොච්චෝරවත් "කච කචේ", කතාව වැඩියි. පවර් ඕන් කලාම මට පේනව නෙව, ලයිට් පත්තු වෙනවා, ආයෙ "පවර් ඔන්" කියල කියන්නෙ,මොන මඟුලකටද? ඒකත් කියන්නෙ මහ සද්දෙට ගෑණු කටහඩකින්. එතකොට තමයි මට තේරුනේ, මුන්දෑ ඉස්තිරි පරාණයක් බව.

වැකුම් කරන්න කියපු ගමන්, කෙලගෙන ඇවිත් ඇන්නා, මම කාමරේ බිම තියල තිබ්බ පෙට්ටි සෙට් එකට. චීන පූසො "ඤාව්" කියාගෙන උඩින් ගියා. මම දුවල ගිහින්, පෙට්ටි සෙට් එක මේසෙ උඩින් තිබ්බා. ඔන්න ඊට පස්සෙ, බිත්ති , මේස කකුල් , ඇඳ කකුල් වල හැපි-හැපි වැකුම් කරන්න ගත්තා.  ජොබ් එක හොඳට කලත්, උන්දෑ කරන්නෙ එයාට ඕනෙ විදිහට. පුටුවට අනින්න ආවම මම පුටුව ඉස්සුව. ඔන්න ඊට පස්සෙ, ආවෙ නැතෑ මට අනින්න? මම පුටුවත් අරන් , හතර මුල්ල පැන්නා. ඊට පස්සෙ එයා රිංගුවා, මේසෙ පහල ලෑල්ල අස්සට. ඔතන ටිකක් ටයිට් කෝනර් එකක්.  එකම දේ, එතන අපිලිවෙලට තිබ්බ වයර් කන්න ලෑස්ති වෙච්ච එකයි. මම වයර් ටික පැත්තකට ඇද්දා. ඒත් හොඳ ජොබ් එකක් කරලා "ක්ලීනින් කම්ප්ලීටඩ්" කිව්වා. 

ඊට පස්සෙ කිව්වා "ගෙදර යනවා" කියල. හුහ්, උන්දෑ කොහෙද ඒ කෝනර් එකෙන් යන්නෙ? මම ඒ පැත්ත බලන්නෙවත් නැතුව " හා" කිව්වම, උන්දෑ ඔලුව බිත්ති වල ගහගන්න ගත්තා. බලා ඉන්න බැරිම තැන ,මම උන්දැව වඩා ගත්ත. ඔන්න එතකොටයි "ක්ලීන් ද බොටම් සෙන්සර්" කියල සන්සුන් වුනේ? තව අමුතු වැඩකුත් කරනව මෙයා. බැස්ටි බැස්සාම, ගෙදර යනව කියල හෙමීට යනවා චාජරේ ගාවට. ගිහින් පස්ස ටිකක් වනල තමයි, චාජරේට සෙට්වෙන්නෙ. අනිවා ඩෙෆා, මේකා නං ලලනාවක්ම තමා.

මේ දවස්වල, "හවුස් බස්තියං" දකින්න ආවොත්, ඔබට පෙනෙයි පුටුවක් උස්සගෙන දුවන බස්සෙකුයි, ඌට අනින්න පස්සෙන් පන්නන රොබොට්ටෙකුයි.

මුන්දෑ ටිකාක් විතර මඤ්ඤං, ඒ වගේම නාහෙට අහන්නෙ නෑ. හැබැයි, මගේම ටයිප් නිසා, මම නං කැමතියි මෙයාට.ඔහෙල මොකද හිතන්නෙ? මෙයා මාව පිලිවෙලක් කරල ගනියිවිද? හුහ්, උන්දෑ දන්නෙ නෑ මගෙ හැටි, බැරිම වුනොත් ගලවනව මදේ.

ප:ලි:  වැකුම් රොබෝල විවිධයි, විචිත්‍රයි, ගෝලාකාරයි. මෙයා පහල මැද පන්තියේ රොබෝවෙක්. UV sanitation,  Alexa/Google/App support වගේ ආරලු-බූරලු තිබ්බට මට ඒවා වැදගත් නෑ. බැටරියේ ධාරිතාව, කිලීනින් ඇල්ගොරිතම්, වැකුම් සහ නැවිගේෂන් පවර්, සෙන්සර් වර්ග සහ ප්‍රමාණය සහ රිමෝට් එක විතරයි වැදගත්. Collision Avoidance වැඩ කරන විදිහ තාම තේරෙන්නෙ නෑ. සමහර වෙලාවට බිත්ති ගාවට පිඹගෙන ගිහින් බ්‍රේක් ගහනවත් එක්ක. එයාට කාගෙ "කකුල" වුනත් කමක් නෑ, දැක්කොත් ඇනලම තමා පස්ස බලන්නෙ. ආ, තව රිමෝට් එකේ තිබුනා "මියුට්" බටන් එකක්.😊 

නිගමනය:

කියන තරම්ම "ස්මාට්" තැති වුනත්, ඇඳ කකුල් වටේ කැරකි, කැරකි වැකුම් කරනවත් එක්ක . සිම්පල් බස්සෙකුගෙ, සරල අවශ්‍යතාවයට, පොකට් එකට ගැලපුනාට,මේක සම්පූර්ණ ගෙයක් සුද්ද කරන්න ගැලපෙන එකක් නැති වෙන්නත් ඇහැකි. ඒකට scheduling, floor mapping, auto resume, no-go zones වගේ පහසුකම් තියෙන Eufy Robovac 25C වත් ගන්න වෙයි. තමන්ට නොගැලපෙන එකක් ගත්තොත් "jolly sailor bold" වෙන්න හදපු ගොයියට වෙච්ච දේ වෙන්නත් ඇහැකි: 


Thursday, May 13, 2021

පාරිසරික පද්ධති, ඉංජිනේරු අලි සහ හිඟන අලි

මේක අලි කතාවක්. අද ලංකාවෙ අලින්ගෙ තත්ත්වය සෝචනීයයි. ඇත්ත, ඇපෙත් නැතුව ගෙදර ගිය අලින්ගෙ තත්ත්වයත් සෝචනීයයි තමා. එව්ව ඉතිං අර නිල් බාල්දියට වැටිච්ච නරියගෙ දක්සකම නෙව, හිටං? ඒත්, මේ කියන්නෙ කකුල් හතරෙ අලි ගැන.


මිනිස්සු ඉවක්-බවක් නැතුව, උන්ගෙ  නිජභූමි ආක්‍රමණය කරන්න ඉස්සෙල්ලා, කැලේට රජ වෙලා හිටිය මේ අභිමානවත්, ප්‍රතාපවත් සත්තු අද, පාරවල් අයිනෙ, විදුලි වැටවල් අයිනෙ හිඟාකනව. සමහරු වෙඩි කාලත්, සමහරුන්ගෙ හක්ක පටස් කාලත්, නිවන් දකිනවා. හැබැයි අලින් එහෙම නිවන් යන්න වඩා මනාප ඇති, කොටන් ඇදලා, යදමින් බැඳ පෙරහැරේ ගිහින්, කණ පාත් වෙන්න බීපු ගොව්වන්ගෙ හෙණ්ඩු පාර කනවට වඩා.

මේකට ප්‍රති-තර්කයක් තියන බවත් මම දන්නවා. අලියෙකුට කියලහරි අපවත් කරවගන්න වටින , උත්තමයො මෙහෙත් ඉන්නව. අලින්ව නිවන් ඇරලා, අපි බිදින්නෙ පරිසරයේ සමතුලිතාවය කියල මං කිව්වොත්, මම  අලින්ගෙන් ගැහැට විඳින ගැමියෙක් නොවී, අලියෙක් බේතකටවත් හොයාගන්න නැති , කොන්ක්‍රීට් වනාන්තරයක බස්සෙක් නිසා ඔහොම කියනව කියල ඔබ කියාවි.

Keystone species කියන්නෙ, පරිසර පද්ධතියක (ecosystem) ඉතා වැදගත් රාජකාරියක් කරන සත්තුන්ට, උන් නැතුව මුළු පරිසර පද්ධතිය ක්‍රමයෙන් අභාවයට යනවා. Keystone species වර්ග තුනක් ඉන්නවා. අලියා අයිති වන්නේ "පරිසර පද්ධති ඉංජිනේරුවො -Ecosystem Engineers" කියන කොටසට. හ්ම්..මැවිසුරු අලි , ඔහෙලට කියන්න, මට නිකමට හිතුනා, කිතුල් බොඩ, පොල් අතු ගිල, ගිල හොඩවැල පද්ද, පද්ද ඉන්න විදිහෙන්ම, මුං ඉංජිනේරුවොම බව. ඇයි  වාහෙ, මුන්ගෙ "වැනිල්ල" වැඩියි නෙව? 

මම මේ කියන හරුපෙ , මොකක්ද කියල තේරුං ගන්න නං , මේ වීඩියො දෙක යන්තමින් හරි බලන්නම වෙනවා:


හා, ඊලොන් මස්ක් එක්ක අඟහරු ලෝකෙ පදිංචියට යන්නද හිතාගෙන ඉන්නෙ? කෝකටත්, යන්න කලින් මෙන්න මේක බලල හිටිය නං. 


වත්ත බද්දට දී, ඇස්සට දත නියවනවා කියන එකේ තේරුම දන්න කෙනෙක් කියල දෙනවද?

Tuesday, May 11, 2021

ටොලාගෙ ලැපා, නේවාසික හැකර් සහ මකන කෑලි තාක්ෂණය

ටොලා ගැන මම කලින් ලියල තියනවා "ගිම්හානයේ ආ අමුත්තා" පොස්ට් එකේ. ටොලා අමුතු චරිතයක්, ඒත් නියම "ජොලි ගුඩ්" හාදයා. "හැපී ගෝ ලකී" දර්ශණයට අනුකූලව ජීවත් වෙච්ච ටොලාගෙන්, මමත් යමක් ඉගෙන ගත්තෙ නෑ කියල කියන්නත් බෑ. ඒත් අද කියන්න යන්නෙ ටොලා ගැන නෙවෙයි, ටොලාගෙ ලැපා ගැන.

ඒ ටොලා ගූගල් "සොයා" ගත්ත  අලුත. අපට පරණ නිවුස් වුනත්, ටොලා ගූගල් ගැන කොච්චර පැහැදුනාද කියනව නං, මෙන්න මෙහෙමත් කිව්වා: " දැන් මං කියනවට, නිකමට 'පස්සා පැත්තේ අමාරුව' කියල ගහල බලන්න, ගූගල් පටස් ගාලා, විස්තරත් කියල අත් බේතුත් දෙන්නෙ නැත්ද කියල." ටොලාගෙ ගූගල් පිස්සුවට උදව්කලේ ලැප්ටොප් එකක්. එච්චරම පරණ එකක් නූනත්, ඔය ලැපේ කී-බෝඩ් එකේ අවුලක් ආව.

ලැප ඔන් කරලා කී-බෝඩ් එකට අත තිබ්බ ගමන් දිගටම "uuuuuuuuuuuuuuu" කියල වදිනවා. ඔන්න ඊලඟට පේනවා, ටොලා හතර අතේ කී ඔබ-ඔබ, ලැපට තට්ටුව දමමින් "මන්කි-බිස්නස්"කරනව. වැඩේ කියන්නෙ, ඊට පස්සෙ ලෙඩේ නිට්ටාවටම හොඳ වෙනවා, ආයෙ ලැප ඔන් කරන තෙක්. 

ටොලා මට ලැප බලන්න කියල, කවදාවත් කිව්වෙ නෑ. සමහරවිට මා ගැන විස්වාසයක් නැති වෙන්න ඇති, බාගදා ඒකෙත් වැරැද්දක් නෑ නෙව? හැබැයි, එයාට ඒකටත් "තියරියක්" තිබ්බා. " මේ බිල්ඩිමේ ඉන්නව හැකර් කෙනෙක්. මම ලැප් එක ඔන් කරන වෙලාව, හරියටම බලල, එයා දෙනව බැස්ටිය. ඔන්න ඔහෙමයි ටොලා කිව්වෙ. ඔන්න ඒකට හොට දැම්මෙ අපේ නේවාසික හෝතම්බුවා: " බිල්ඩිමේ මොකෑ, මේ ගෙදරමයි ඉන්නෙ හැකර්". රට්ටු අහිංසක මට කයි-කතන්දර පටබැන්දෙ, අද ඊයෙ නොවන බව දැන් තේරෙනව නේද?

අනුන්ගෙ ලැප්ටොප් ගලවන එක, "කඩෙන් කාලා අනුන්ගෙ හරක් බලන" ජාතියෙ වැඩක්. කරල නැත්තෙත් නෑ, හැබැයි ඇනගෙන පාඩම් ඉගෙන ගෙන තියනවා. එක වංගියක්, ඕවර් හීට් වෙලා නිකම්ම රී-ස්ටාර්ට් වෙන ලැපක, බයෝස් අප්ඩේට් කරන කොට, හුටස් ගාලා මෝල  ඕෆ් උනා. එතකොට "මේ අටංපහුර" තිබ්බෙත් නෑ.

ලැප්ටොප් සහ serviceability එකට යන වචන දෙකක් නෙමෙයි. එකට යන වචනෙ තමා "පහසුව." මම ටොලාගෙ ලැපා ගැන "ගොනා සහ තනකොල" තියරියෙන් හිටියෙ ඇයි කියල තේරෙනවා ඇතැයි හිතනවා.


මේ තියෙන්නෙ මම කැමතිම කී-බෝඩ් එක, මේක කොටන්නෙත් ඒකෙන්ම තමා. දැන් එකක් සීයට ගියාට, මං කොටල ගත්තෙ ඩීල් එකකින්. එකක් තිහයි, තැපෑලට විස්සයි කිව්වාම, මම දෙකක් ගත්තා තැපැල් නැතුව. දැන් අවුරුදු දෙකක් විතර ඇති, තාම යස අගේට බර අදිනවා. රී-චාර්ජබල්, බැක් ලයිට්, ට්‍රැක් පෑඩ් ඔක්කොම තියනවා. සිම්පල් බස්සො මේ වගෙ බරසාර කී-බෝඩ් පාවිච්චි කරන්නෙ නෑ.

මේ ලඟදි ඉඳන් "C" අකුර වදිනව හොරයි. මේක සරල "මැම්බ්‍රේන්" කී-බෝඩ් එකක්. ගැලෙව්වා, ගත්තා මකන කෑල්ලක්. ඉලුවා "ප්‍රින්ටඩ් සුවිච්" තට්ටු දෙකේම, පරිස්සමට, එච්චරයි. කිව්වට විස්වාස කොරාන්ට ආයිබෝවංඩ, ඉත්තෑ අමාරුවට නෙමෙයි, ගැලෙව්වෙ නොකර බැරි කොමට. බොරුනං බලාන්ට, බොරු කකුලකුත් දාලයි, දුවන්නෙ. මගේ Logitech K830ය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!






Sunday, May 9, 2021

මංමුලාවූ කූඹියා සහ වෙල් ෆැන්ටා තාක්ෂණය

ලැබෙන පාඨක ප්‍රතිචාර කියෙව්වාම , මට හිතෙනවා ඔහෙල මාව, අතට අහුවෙන හැම දෙයක්ම ගලවන "ඉත්තෑ අමාරුවක්"  තියන බස්සෙක් කියල හිතාගෙන ඉන්නව කියල. පැටියා කාලෙ අපේ ගෙදර ඈයොත් හිතාගෙන උන්නෙ ඔහොම්මමයි කියහංකො.

"මූට දෙයක් අහුවුනොත් ඉවරයි, ගලවල කාබාසීනියා කරන තුරු නින්ද යන්නෙ නෑ" කියලයි එයාල කිව්වෙ. ඉතිං මං කල්පනා කලා, නිදහසට  කාරනා කියන්න.

දැන් ඔය කූඹි ඉන්නව නේද? ඒ එක කූඹියෙක් ගත්තාම, ඌ දන්නෙ නැහැල්ලු, එයා කරන්නෙ "serving a higher purpose" බව. කූඹි සැට් එකම එකතු වුනාම, එතන කූඹි රාජධානියක්. ඕකෙ ඉන්නවා ගොවියො, සොල්දාදුවො, නැනීලා, ගබඩා සේවකයො සහ තවත් අය. ඒවගේම පාරවල්/උමන් තනන ඉඳිකිරීම් කස්ටියත් ඉන්නවා. සුපවයිසර්ල නෑ, මයෙ හිතේ, කවුරු, කවුරුත් තමන් ගෙ වැඩකොටස කරනවා. නෑ, නෑ  වැසි-වනාන්තර කපන අය නෑ, මාටියා ගහන අයත් නෑ. ආ, තව scoutලත් ඉන්නව.

ඉතිං ඔන්න ඔහොම scouting  ආපු කූඹියෙක්  මයෙ මොනිටරේට රිංගල නන්නත්තාර වුනා කියහංකො. පොරට ආපු පාර(scent trail) අමතක වෙලා. මොනිටරේ ඔන් කරපු ගමන්, කෙල ගෙන එනවා ස්ක්‍රීන් එකට, එලියට රැවටිලා. ඔහොම, හිටපු ගමන් උතුර -දකුණ මාරුවෙන එක අපිටත් වෙන නිසා, මම කලේ කූඹියව "හරි මාර්ගෙට" ගන්න, හිමින් ස්ක්‍රීන් එකට තට්ටුව දාපු එකයි. පස්සෙ, මොනිටරේ පිටිපස්සෙ සිදුරු ලඟ හකුරු කෑල්ලක් තැබීම, මොනිටරේ ඕෆ් කලාට පස්සෙ පිටිපස්සෙන් ලයිට් එලිය සැපයීම වගේ අත්හදා බැලීම් එහෙමත් කලා. ටික දවසකට පස්සෙ කූඹියා අතුරුදහන් වුනා. හරි මාර්ගෙ ගියාද, නිවන් මාර්ගෙ ගියාද කියල නං දන්නෙ නෑ, ඒත් මගේ චේතනාව පිරිසිදුයි. දැන් ඔහෙලට තේරෙනව නේද, මට ඉත්තෑ අමාරුවක් නෑ කියල? ඇයි, මම මොනිටරේ ගැලෙව්වෙ නෑනෙ? එ වෙනුවට පාවිච්චි කලේ විකල්ප ක්‍රමවේද.

මං මුලාවී පාර සොයාගෙන - හසරක් අසමින් යන....ගමනේ
මං මුලාවූ බකමූණෙකු ගෙනි - පාර අසා තිබුනේ

ඌත් නොදන්නිය ඌ යන මානය
උන්හිටි තැන් මතකය අඩමානය
පාර කියන්නේ-කෙලෙසද තවෙකුට
ඌටද පාරක්-ඇති නැති ගානය


ඉතිං ඔය "ඔපරේෂන් රතු කූඹියා" මෙහෙයුමෙන් පස්සෙ, මොනිටරේ ස්ක්‍රීන් එක "වැස්සදාට පිටකොටුව" වගේ ලස්සන වුනා, ඇඟිලි පාරවල් වැදිලා. මම තීරණය කලා මොනිටරේ පිරිසිදු කරන්න. මොනිටර් ස්ක්‍රීන් එක බොහොම සියුම්. කෙමිකල් තියා ටැප් වතුරත් අගුණයි කියලයි, ගූගල්  නං කිව්වෙ.

අවශ්‍ය කරන දේ: මයික්‍රො-ෆයිබර් රෙද්ද සහ ආසුත ජලය( distilled water)


ගේ හරියෙ, ආසුත ජලය කඳුලක් නෑ.  කඩේ එව්වා ලාබ වුනාට, දැන් යන්නත් බෑ. ඉතිං මම තීරණය කලා ආසුත ජලය ගෙදරදීම "පෙරන්න ", වෙල් ෆැන්ටා පෙරන, දේශීය ක්‍රමවේදෙ භාවිතා කරල. 

ඉස්සෙල්ලම,ටැප් වතුර එකක් නටවල, රෙද්ද ඇල්ලුව හුමාලයට. ම්හු.... ඒක පටස් ගාලා වාෂ්ප  වෙලා, මයික්‍රො-ෆයිබර් රෙද්ද වේලෙනව. පස්සෙ, කල්පනා කලා දේශීය ක්‍රමවේදෙ ගැන ගැඹුරට. හුමාලය දඟරයක් හරහා යවා, සීතල පෘස්ථයක ගැටෙන්න....ආන්න ජංසන්. දැම්මා මහත පිඟානක් ෆ්‍රීසර් එකට -සීතල පෘස්ථය. පස්සෙ, ඒක ඇල්ලුව හුමාලට. ඔය තියෙන්නෙ,  ආසුත ජලය😂

ඊට පස්සෙ කලේ, තෙත මයික්‍රො-ෆයිබර් රෙද්ද, රවුමට(circular motion),රවුමට ස්ක්‍රීන් එකේ උලන එකයි. ඔය ඉන්නෙ කිරි-ටොයියා වගේ, දැන්.


සිංහල බ්ලොග් ලෝකෙ, ස්වර්ණමය යුගයෙ හිටියා, බොහොම සක්‍රීය අපේ හිතවතෙක් PoM (Prince of Moonshine) කියල. ඔය බුරා, ප්‍රාජේ එහෙම එයාව දන්නව. "සියලු බ්ලොග් සංස්කාරකයෝ වාෂ්පවෙන සුළුය" යන සනාතන ධර්මය අනුව එයත්,  හිටපු ගමන් වාෂ්ප වුනා. එහෙම වාෂ්ප වෙච්ච සමහර ජනප්‍රිය බ්ලොග් දැන් පෙන්නන්නෙ " ආරාධනාලත් අයට පමණයි" කියල, ඩ්‍රැකියා තමා කිව්වෙ. අපිට කොයින්දෑ පූසො මාලු, අපි යනවැයි මූදු?






Thursday, May 6, 2021

දුකට කියන ටෙක්නිකල් විරිදු

පළමු ව මම වැන්ද බුදුන්, සිහි කර ගෙන ඒ ගුණ කඳ
දෙවනුව ව සද්ධර්මේ උතුම්,  මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනු ව මහ සංඝරත්නෙ, වැඳ සුරන් ට පින් දී සොඳ
කියනවා අපි බස්සගෙ සූදුව, කවියෙන් කර ප්‍රබන්ධ

මෙකලා ගෝතෙයෙක් උන්න බකමූණා කියල සොඳට
හිතලා වැඩ නොකල උන්දෑ, බකුස් නමින් පුරසිද්දෙට
ලැබිලා මක-බාස් කමක්, චීන පූසො අල්ලන්නට
එකලා ඔහු කළ දස්කං කියනවා මං පෙළින් පෙළට

තුට්ටු දෙකේ ගැජට් ෂොපින්, ඉව වැටුනා චීන්නුන්ට
කෙලින් ඉන්ට නො දී ඌට බලේ ගත්ත ඔවුන් අතට
තැපැල් මගින් ආපු චීන පූසො පිරුණ බකුසු පුරට
ඔවුන් අතර හිටියා MOS- FET කියල කෙනෙක් ජයට

බලන්න පුදුමයි මහතුනි, උන්දෑ හිටිය පීසීබි ය
බෙදන්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින් ගේම් එක එතනයි ඔස්තාර්ල ඇවිත් නිතර
පනින්ඩ බෑ අල්ලන්නට බකමූණොත් බයයි මිතුර

කාගෙන් බේරුණත් බැරිය, උන්දෑගෙන් මාරුවෙන්ට
වේගෙන් පැන්නා බස්සා ඒ වුනාට ඉදිරිපිටට
උඹ ද මිතුරෙ කකුල් අටේ, චණ්ඩියා කියමින් මෙතෙන්ට
දුන්න ප්‍රෝබ් එකෙන් එකක්, පස්ස ගාතෙ කැඩිල යන්ට


හිට ගෙනම මලා එෆ්.ඊ.ටී, මැතිඳු ලැබුනු මරු පහරට
ටෙස් කිරිල්ල දැන් ඉවරයි, කෙලියා නේද තාප්පයට
ඉතිං අම්මෙ ඉදල මොටද, කියල බස්සා  පැන විජහට
ෆෝරම් වල කරක් ගැහුවෙ, විකල්පයක් සොයා ගන්ට
තිබුණු එකා බාල නිසයි, වුනෙ අකලට මැරිල යන්ට
දැනගෙන මේ සියළු රහස් බස්සා යයි චීන පොළට
වැලම තුනයි, බඩුත් හොඳයි මුදලාලිල කිව්ව කලට
තනියෙන්මයි අල්ල ගත්තෙ, දහයක් අත් අඩංගුවට

බස්සා කළ දස්කං නං, එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට, ජංජාලෙත් තියෙයි සොඳට
හිටියානං අද වෙනතුරු, රජ කරනව බෝඩ් එකට
ෂෝට් වුනේ MOSFET මගෙ , පස්සා පැත්තෙ අමාරුවට

ස්තූතිය: නෙයිනගේ සූදුව,දයානන්ද ගුණවර්ධනයන් ගේ මධුර ජවනිකා ( 1983 )

සංවේගයෙන් දැනුම් දීමයි:

වසර අරික්කාලක් ආයු වලඳා, MOS-FET  තරුණ මහතා, අත්වැරදීමකින් බස්සාගේ ටැස් බෙන්ච් එක මත, සසර ගමන නිමා කල බව, සියලු බ්ලොග් වාසී හිත මිත්‍රාදීන්ට සාතිශය සංවේගයෙන් දැනුම් දෙමි. මල් වඩම් අනවශ්‍යයයි.

Sadistic හෝතම්බුවෙක්: දුක නැතෑ ඉතිං, විහින් නෙව කරගත්තෙ? හයියෝ ෂල්ලි....

රොක්..කි රෝඩ් ටු ඩබලින්

Well... in the merry month of May from me home I started
Left the girls of Tuam nearly broken hearted
Saluted Father dear, kissed mi' darling mother
Drank a pint of beer, me grief and tears to smother
Then off to reap the corn, leave where I was born
Cut a stout blackthorn to banish ghosts and goblins
A brand new pair of brogues, rattlin' o'er the bogs
Frightenin' all the dogs on the rocky road to Dublin

ප.ලි:
ආ , වැලම සුපියල් තුනයි, චීන බඩු ආවා. මේං කැඩිච්ච හාදයා, දැන් ගිණිකසයා වගේ වැඩ😊

If it ain't broke, break it. So, you can make it!

Monday, May 3, 2021

විකල්ප තාක්ෂණය - NiMH බැටරි

මේ ඉන්නෙ poor man's VR කන්ට්‍රෝලර් බානක්. ප්‍රශ්ණෙ තමා එයාල බැටරි කනවා වළඳනවා. සාමාන්‍යයෙන්  එලාම් ඔර්ලෝසු වගේ එව්වට විසඳුම රී-චාර්ජබල් NiMH බැටරි වුනාට, මේ දෙන්නට ඒක එච්චරම හොඳ විසඳුමක් නෙමෙයි. හේතුව, ඔය කන්ට්‍රෝලරේ අවශ්‍ය පමනට වඩා "ස්මාර්ට්" වීමයි.

ඔය කන්ට්‍රෝලරේ වැඩ කරන්නෙ AA බැටරි දෙකකින්. බැටරි බැහැගෙන එනකොට, ඉස්සෙල්ලාම අනතුරු හඟවනවා. ඒත් ඇහුවෙ නැත්නම්, කෙලින්ම ඔෆ් කරලම දානවා. මේක නරක දෙයක් නෙමෙයි, එහෙම කරන්නෙ කන්ට්‍රෝලරේ ආරක්ෂාවට. නමුත් ප්‍රශ්ණෙ වෙන්නෙ 1.5V බැටරි වෙනුවට 1.2V NiMH පාවිච්චි කරන්න ගියාමයි. කන්ට්‍රෝලරේ මොනිටර් කරන්නෙ බැහැගෙන යන වෝල්ටීයතාවය. දැන් හිතාගත්තෑකි නේද  කන්ට්‍රෝලරේ 1.2V NiMH බැටරි කන්නෙ ඇයි කියලා?

ගූගල් VR වලින් පිටකොටුවට බැහැලා ඇවිදින කොට, මරදානෙ පරණ පොත් කඩේට යන්න ඉස්සෙල්ලා කන්ට්‍රෝලරේ ඔෆ් වෙන එක කොහොමවත් සොඳුරු අත්දැකීමක් නෙමෙයි. " ඈ බොල #*&^#@ , ආයිත් කෙලියා නේද. තාප්පෙට" කියල තමා කියවෙන්නෙ.

1.5V   රී-චාර්ජබල් බැටරි දැන් තියනව වුනාට, ඒ තාක්ෂණය තවම මෝරල නෑ. අනෙක් අතට, ඒවා වලට විශේෂ චාජර් ඕන කරනවා. NiMH බැටරිවල අඩුපාඩු තිබුණත්, ඒවා හැම අතින්ම ආරක්ෂාකාරීයි. මේ තියෙන්නෙ, අවුරුදු 18 පරණ මැක්ස්වෙල් NiMH බැටරියක්,  ධාරිතාව ටිකක් අඩුවෙලා ඇති, ඒත් තාම වැඩ.අඩු වෝල්ටීයතාවෙ ප්‍රශ්ණෙට විසඳුම තමා, ඔය උඩින් තියෙන ගැජමැටික් එක.

ඒක 3.3V charge pump එකක්. බොහොම සරලයි, කකුල් තුනයි. වෝල්ටීයතාවය අඩු වුනොත් වැඩි කරලා , වැඩි වුනොත් අඩු කරලා, සෑහෙන පරාසයක් ඇතුලත 3.3V වලම පවත්වාගෙන යනවා. දැන් එතකොට මොකක්ද ප්‍රශ්ණෙ?

ප්‍රශ්ණෙ තමා, මම ගෙන්න ගත්තෙ, වැලම සුපියල් හයේ චීන කොපිය. ඔව්, වොව් "ආයෙත් නෑමක් තමා." එහෙම නොවෙන්න නම්, අනිවාර්‍යයෙන්ම ටෙස්ට් කරන්න ඕනෙ. ජාලෙ තිබුණා, රුසියන් කාරයෙක් මේකට මැරෙන තුරුම දසවධ දෙන හැටි, සබ් ටයිටල් දාගෙන බැලුවත්, මට අවශ්‍ය විස්තර ඔක්කොම එතන තිබ්බෙ නෑ( Russians, really know how to torture).  අනික, චීන පූසෙකුට වඩා , VR කන්ට්‍රෝලර් එකක්, බොහෝ මිල අධික නිසා, මටම ටෙස්ට් කරන්න  ඕනෙ වුනා.


ඉස්සෙල්ලම කලේ  VR කන්ට්‍රෝලර් එක ගන්න ධාරාව මනින එකයි. 40 - 50 mA, අවුලක් නෑ, specs වලට අනුකූලයි. සොයා ගත් අනෙක් දත්ත:

Buck mode 3.3V to 5V - Very good, no ripples at all - අදාල නැත

Boost mode - 3.3V to 1.8V - OK, but average 

Output cutoff - 1.2V -  එතරම් ප්‍රයෝජනයක් නැති විය හැක. 


Failure mode - dead short  - Bad, නමුත් භාවිතය boost mode  නිසා හානියක් නැත.

Parasitic current draw - 0.3 mA , පාවිච්චියෙන් පසු බැටරි ගලවන නිසා ප්‍රශ්ණයක් නැත.

Soft start - Not implemented

Deep sleep mode - තවුසෙට පයිත්තියන්ද?

සංකීර්ණ වැඩියි, නැතුවට කාරි නෑ

නිගමනය - safe to use but not the best.

සමහර වෙලාවට, සරල දේ හොඳම ක්‍රමය වෙනවා. මේ තියෙන්නෙ එහෙම එකක්: රී-චාර්ජබල් මේස ලාම්පුවක්. ඒකෙ තියෙන ඩිස්ප්ලේ එකට වෙනම 3V බොත්තම් බැටරියක් තිබ්බා. මම කලේ ඒක ගලවලා, Li-Ion බැටරියෙ සප්ලයි එක ඩයෝඩ් දෙකක් හරහා ඩ්‍රොප් කරලා දීපු එකයි. 






3.3V charge pump දෙකක් ටෙස්ට් කර ගත්තා. දැන් තියෙන්නෙ VR කන්ට්‍රෝලර් මදේ ගලවලා එව්වා ඔබන්න විතරයි. Wish me Good Luck 😜

Disclaimer: මේ පරීක්ෂණ සඳහා කිසිම බස්සෙකුට හානි නොකල බවටත්, මෙහි සිටින සියලුම පූසන්, චීනයේ සිට ආවේ තැපෑලෙන්  බවටත් සහතික වෙමි.

 Walpurgis Night  (මායාකාරීන්ගේ රාත්‍රිය -"වල්-පූගස්නාහ්ෆ්")
Long Live paganism!
VALHALLA calling me

Sunday, May 2, 2021

බකුසු දේශපාලනය

 බස්සා කියන්නෙ සරල සතෙක්. බහූදේව වාදී ලෙස ඉපදිලා, පන්සල්, කෝවිල් විතරක් නෙමෙයි පල්ලිත් ගිහිල්ලා, පස්සෙ දෙයියො එක, එක හැලිලා, පස්සෙ සංශ්‍යවාදී වුන සතෙක්.

අඩුම ගානෙ එහෙමයි, මම මං ගැන හිතාගෙන ඉන්නෙ. Joe Scott   නම් කියන්නෙ, සංශ්‍යවාදී-agnostic කියන එකේ " I don't give a s**t" වයිබ් එකක් තියනවා කියලයි. එයා, එයාව හඳුන්වා ගත්තෙ "Seeker" කියලයි. හ්ම්....ඒකත් නරකම නෑ. මම අද ඉඳලා Seeker බස්සා. හා, දැන් ඔය මට කතා හදන්න බලාගෙන ඉන්න උන්දලටයි මේ කියන්නෙ. බුදු හාමදුරුවොත් Seeker, ඒ නිසා ඇයි මට බැරි එහෙම වෙන්න? නෑ වාහෙ බුදු වෙන්නෙ නෙමෙයි, Seeker වෙන්න? වෙනස් වීම කියන්නෙ කියන්නෙ නරක දෙයක් නෙමෙයි, අත්‍යාවශය දෙයක්.

මම පිලිගන්නවා, මගේ දේශපාලන, ආර්ථික දැණුම දුර්වලයි කියලා. ඒත් මම හැමදාම යම් දෙයක් හෙව්වා. සහජයෙන්ම කම්මැලි සතෙක් වෙච්ච මට, ඔය "සමහරුන්ට" වගේ ටොන් ගණන් පොත-පත කියවන්න, ඉතිහාසය කටපාඩමින් කියන්වන්න තරම් උවමනාවක්, දක්සකමක් තිබ්බෙ නෑ, ඒත් මට දැනට පවතින ක්‍රමයේ, මොකක් නමුත් අවුලක් තියෙනවා කියලත්,  " something is missing" කියන හැඟීම හැමදාම තිබුනා. මගේ දුර්වල දේශපාලන, ආර්ථික දැණුම නිසා, ඒ අඩුව මොකක්ද කියල කියන්න තරම් හැකියාවක් මට තිබුනෙ නෑ.

"My watch has ended" කියල කිව්වෙ ජෝන් ස්නෝව්. මම හිතෙනවා, මම හොයපු දේ හම්බවුනා කියල.  මම මෙච්චරකල් හොයලා තියෙන්නෙ " අපේ දේශපාලන ඉතිහාසය" පැය බාගෙකින් කියල දෙන වීඩියෝ එකක්! Thank you Joe Scott.

Fasten your seat-belt and get ready for a bumpy ride....


ඔහු මේක හඳුන්වන්නෙ "Late Stage Capitalism" කියලයි. දෙපාරක්වත් බලන්න වෙනවා හරියටම තේරුම්ගන්න,  අමාරුම වැඩේ  කමෙන්ට් 19,724 කියවන එකයි. දැන් මෙතන confirmation bias බොරු වලක් තියෙන්නෙ බැරිද? මේ කතාවෙ credibility  එක කොහොමද? මම නං ඒ ගැන එච්චර වද වෙන්නෙ නෑ. ඇයි, ලිඳේ ඉන්න ගෙම්බොන්ට තෙල බෙදන්න ලේසියි, ඒත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයොන්ට යූ-ටියුබ් එකේ, ඒ ගේම ගහන්න බෑ, උන් ඔහෙල  රෝස් කරන්නෙ, අමුවෙන්.

Joe Scott දක්සයි. ප්‍රේක්ෂකයාට බෝරිං නොවෙන්න කතාව කියන්න ඔහු දන්නවා. සාධාරණ පමනකට අපක්ෂග්‍රාහීයි කියලත් හිතෙනවා. දිව උලුක්කු වෙන බරපතල වචන, ක්වොන්ටම් සයන්ස් සමීකරණ වලින් කොලේ වහල, ප්‍රේක්ෂකයාව ඉච්චා භංගත්වට පත් කරල තර්කය දිනන වැඩ ඔහු ලඟ නෑ. සරල සිංහලෙන් භාෂාවෙන් කියන්න ඕනෙදේ කියනවා, දන්නෙ නැත්නම් නෑ කියනව. මම නූගත් බකමූණෙක් බව ඇත්ත, ඒත් මට කෙනෙක්ගෙ කතාවක "වයිබ්" එක තේරෙනව. බලන්න - එතකොට මම කියන්නෙ මොකක්ද කියල තේරේවි.