Saturday, December 21, 2013

බස්සා සහ කොබෝ නයෙක්






කණ පැලෙන්න සීතල. කාල- ගුණේ අයියා මේ සැරේ නං දෙනව අපිට ඇස්ටි හැලෙන්න. ඕං මේ හීතල උදේක, මං බෙනේ අස්සට රිංගලා හොඳට හරි බරි ගැහිලා, දෙයියනේ කියලා ඇහැ පොඩ්ඩක් පියා ගන්ට ලෑස්ති වුනා.

මට ඇහෙනවා කව්දෝ "ෂූ..., ෂූ" ගානව. මාත් කම්මැලි කමට , තවත් හොඳට පිහා‍ටු පුම්බගෙන, නෑහුනා වගේ හිටියා. මෙන්න බොලේ ඒ වංගියෙ මයෙ කණ ගාවින්ම සද්දෙ ආපි. මං එක ඇහැක් ඇරල බැලුවා

හුටා, නයි කයිද රෝස් පාං කිව්වලු! , මෙන්න බොල නයි තඩියෙක් බෙනේ ලඟ අත්තෙ එතිලා මට පෙනේ කරනවා. මට හීං දාඩිය දැම්මා.


"නමස්කාර්"


" මං නමස්කාර් නෙමෙයි, බස්සා. අනේ පිං ඇති නයි හාමි. මේ අහිංසක පක්සියාව බය නොකර යන්න. මෙහෙම හිටියට ඇඟේ මස් කලඳක් නෑ, පිහා‍ටු විතරමයි"

" හෙහ්, හෙහ්, මං බ්රෙක්ෆස්ට් එක අරගෙනයි ආවෙ. මං ආවෙ ඔහේව ගිලින්න නෙමෙයි, රාජකාරියකට, පැමිණිල්ලක් විභාග කොරාන්ට"


"ඒක මිසක්කා. පැමිණිල්ලක් කිව්වා? මේ මට විරුද්දව? කව්ද ඒ නොසන්ඩාල වැඩේ කරපු අලුගුත්තේරුවා?"


" පැමිණිලි කරල තියෙන්නෙ මීයො කස්ටියක් - ඇනෝ මවුස්ලා"


"ඕක බොරු පැමිණිල්ලක්, නයි රාලහාමි. උන් මාත් එක්ක තරහයි"


" නයි රාළහාමි? මං ඔය සාමාන්‍ය නයෙක් නෙමෙයි. අපි කොබෝ නාග වංසෙ.
 ඉස්පැසල් එජ්න්ට් කොබා. පැමිණිල්ල බොරුද නැද්ද කියල බලන්න තමයි මං ආවෙ. තුමාරා නාම් ක්‍යා හේ - පූරා නාම්?"


"සෑර් හිමාලයෙන් නේද? මං අහල තියනවා. පියාඹගෙනද ආවෙ?සෑර්, අයි ඩෝං නෝ මෙලෝ දෙයක්, හිංගලෙන් නං ඕන දෙයක්"


" සොරි, තමාගෙ සම්පූර්ණ නම කියමු බලන්න?"


" උප්පැන්නෙ තියෙන්නෙ DGM බස්සා කියලා- දොරකඩ ගහේ මූකලං බස්සා"


" හරි, දැං තමාට තියෙන පලමු චෝදනාව: තමාගෙ වංසෙ කබල්ගෑම "


" මං කබල් ගාපු වංසයක් නෑ. අපි උභයකුල පාරිශුද්ධ බකුසු වංසෙ. ඉතිං මං බස්සෙක් නොකියා ගිරවෙක් කියල කියන්නයෑ? දැං , සර් උනත් කිව්වෙ, මං සාමාන්‍ය නයෙක් නෙමෙයි, කොබෝ වංසෙ කියලා.සර්ට ඔනෙ නං දාගන්ට, 'දකුණේ බොදු , කරාටේ උගත්' කියලා. මං නං එදත් බස්සා, අදත් බස්සා"


" හරි ඒක ඇරිච්චාවෙකො. එතකොට තමාගෙ හමේ පාට ගැන උදම් ඈණීම?"


"උදම් ඇනිල්ලක් ගැන නං දන්නෙ නෑ, සර්. මං පැණි පාටයි. පැණි පාටට , ගොඩක් අය කැමතියි. ඒක මයෙ වැරද්දයෑ?"


" නෑ, නෑ, මේකෙ තියෙන්නෙ සුද්දොන්ගෙ වගේ සුදු පාටයි කිව්වය කියලා"


" සෑර්, ඒ මං නෙමෙයි. වෙන කෙනෙක්. අනික එයා සුදුම නෙමෙයි, හෙල්මැලි පාටයි, පාණ්ඩු පාටයි -ප්‍රියංකා චොප්රා වගේ. බලන්ට එපෑ, ප්‍රියංකට මොනවත් කිව්වොත් එයෑයිට යන ඩෝං, මයෙ ත‍ටු ගලෝනව කිව්වා. එත් මං නං කැමති, පැණිපාට දීපිකාට :)"


" හරි, නේන්නං, ඒක ප්‍රින්ටින් බිස්ටේක් එකක්. එතකොට, තමාගෙ ඉහළ මධ්‍යම පන්ති සමාජ තත්ත්වය ගැන ඉඟි කිරීම. චෙරීස්- බෙරීස්, හැම් , බේකන්, චීස් ආදී ඉහළ පන්ති ආහාර ගැන කතා කිරිම. මං අහන්නෙ, ඇයි, කරවල, කොස්, දෙල් වගේ දේශීය ආහාර කන්න බැරි"

" සර් මේ මඟුලක් කියනවා. මං දුප්පත් බස්සෙක්. මෙහේ, කරවල, කොස්, දෙල් අස්ප ගණන්. අපි වගේ දුප්පතුන්ට කන්න ලාබෙට තියෙන්නෙ දේවල් ගැන තමා මං කිව්වෙ"

" හා, හා බස්සො, කට, කට, හොට, හොට. මං කියන්නෙ, ඔය ලියන කොට ඔය දේවල් එහෙම්මම නොලියා පොඩ්ඩක් දේශීය උරුවට ලියනවකො. නැත්නම් අපේ මේ සංවේදී දේශීය බ්ලොග් කියවන්නන්ගෙ හිත් රිදෙනවනෙ. ඔය අයිස් වැස්සට තෙමිලා හෙම්බිරිස්සාව හැදුනා වෙගේ දේවල් වෙනුවට, මල් වැස්සට තෙමිලා උණසන්නිපාතය හැදුනා කියල ලියනවකො"

" එතකොට මෙහෙ ඉන්න මූස්, කැරිබු වගේ මයෙ අසල්වාසියො ගැනත් ලියන්න එපාද?"


" දේශීයකරණය අයිසෙ,දේශීයකරණය. මූස්ට දානව 'අං දිග ගෝණා' කියලා. කැරිබු - මීමින්නා, අහවරයි නෙව"


" අනේ මන්දා සර්. බලාගෙන ගියාම, මට මේ සංවේදී දේශීය මීයොත් එක්ක මේකෙ ලියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ, ඔය කයියක් දෙකක් ඇරෙන්න?"


" ඔහේ කවිත් ලියනවද? කියමු එකක් බලන්න"


අඳුරු ලලා වහිනා කල පිට ඔ‍ටුවම තෙමෙන්න
ලතා මඬුලු අත වැනුවොත්, පණ එපා කියල දුවන්න
දුවන ගිරියෙ,ඉස්සො වඩේ බදිනවදැයි බලන්න
මට නොලැබෙන මසල වඩේ, ඔබට හැකිය ගිලින්න

අම්පාරට පායනවද, වහිනවදැයි කියන්න
මට නොපෙනෙන, ඒ මල්වැසි ඔබට හැකිය දකින්න




"" ඔය තියෙන්නෙ. අල වගේද ගෝව. ආන්න එහෙම ලියනව අපේ දේ අගේ කරල"


"සෑර්. ඒක නෙමෙයි. සීතල යන්නත් එක්ක කෝපි එකක් බොමුද?"


"කෝපි එපා"


" හරි, සැර්ල කෝපි නෙමෙයි බොන්නෙ චායි නෙව. ෂහ්, මා ගාව එව්ව නෑනෙ. මොකද කියන්නෙ,ෂැන්ඩි ටිකක් දාලා හීනියට බ්‍රැන්ඩි සොට් එකක් නමමුද?"


" ෂැන්ඩි එපා"

බ්‍රැන්ඩි සොට් දෙක දාන කොට කොබා නිකම්ම දේශීකරණය උනා, පෙනේ තාලෙට දෙපැත්තට වැනෙන්න ගත්තා.

" මචා.......න්, බෂ්ෂො. උඹ බයවෙන්න එපා. මං ලියන්නං මයෙ රිපෝට් එකේ, මේ චෝදනා සියල්ලටම උඹ නිවැරදිකරු කියලා. එහෙනං අපි කැපුනා, සනා. නමෂ්කාර්"

එහෙම කියපු කොබා. අත්තෙන් ගුවන්ගත වුනා. පියෑඹීම කෙසේ වෙතත්, තලපතා පොලේ ගැහැව්වා වගේ කෙලින්ම බිමට දෙරි ගහපු කොබා, කෙඳිරි ගගා පඳුරු අස්සෙන් ඇදිලා ගියා.

මං හිතන්නෙ පොරට ටේක්-ඔෆ් එක අප්සෙට්. නැහ්නං , මූ මට ඇරියෙ නයෙක් වත්ද? 



ප.ලි:
අයිස් වැහි කියන්නෙ නයි කියල හිතෙනව නං, ඔය පහල පිංතූර බලන එකයි තියෙන්නෙ. මේ ඊයෙ රෑ කාල-ගුනේ අයිය කර්පු වින්නැහිය. ලෝකෙ පෙරලෙනව කිව්වත්, මාව බෙනෙන් එලියට අදිනව නං බොරු :)
























මෙන්න නත්තලට ගස් වලට දාපු අයිසිං. දැන් වැඩේ සම්පූර්ණයි :)







14 comments:

  1. අද බස්සා ලොකු නයෙක් ඇරලා තියෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. ඇරිය නේන්නං. නැතුව තියාගන්ටයෑ? :)

      Delete
  2. දැන් කොබෝ නයා ආයේ එයිද මන්දා...
    මටත් මේ ටිකේ නයෙක් ඇරගන්නවත් ශක්තියක් නෑ. ඒ විතරක් නෙමෙයි අපේ නයි සතියත් තාම අතරමග නේද? මාත් කොහොම හරි දේශියත්වය එක්ක නයෙක් ආයෙමත් එලියට දාන්න ඕනේ. කොහෙද අප්පා නිවාඩු නොගියම දේශිය නයි පේන්නවත් නෑ නේ...

    ReplyDelete
  3. ගහෙන් බිමට වැටිලා කෙඳිරි ගගා ගිය විදිහට නං ආයි එයි කියලා හිතන්න අමාරුයි.:)
    යාන්තං නිවාඩු ටිකක් ලැබුණා , ඒකයි මේක ලිව්වෙ

    ReplyDelete
  4. ඩී. ජී. එම්. බස්සා! හි හි....

    ReplyDelete
    Replies
    1. හහ්, ඇයි හිනාවෙන්නෙ. අපෙ අප්පච්චිගෙ නම AGM බස්සා - අල්ලපු ගහේ මූකලං බස්සා :)

      Delete
  5. අදනේ දැන ගත්තේ බස්සාගේ සම්පුර්ණ නම ..DGM ...

    මෙහෙ නම් චෙරි අස්ප ගණන් . ලඟදි ඉඳන් ටිකක් ලාබයි . එක්කෝ චීනා චෙරි වවන්න අරන් වත්ද . මට නම් ලොවි වගේ තමා . බෙරිස් නම් ඉතින් ඉස්ටෝ බේරී තියෙන්නේ නැද්ද ..

    අම්මෝ හිම ටිකේ ලස්සන . අපේ කෙල්ලෝ නම් මැරෙන්න හදනවා ..මෙහෙටත් මෙච්චර සිතල එකේ හිම ටිකක් වැටුනානම් ඉවරනේ කියල

    ReplyDelete
  6. හරියට ඉඳිච්ච නැති චෙරි තමා ඇඹුල. හොඳටම ඉඳුනාම රසයි. බෙරි තව ජාති තියනවා. බ්ලූ බෙරි, බ්ලැක් බෙරි , ක්‍රෑන් බෙරි වගේ එව්වා. ඒත් ස්ට්‍රොබෙරි ඇරුනාම, අනෙකුත් බෙරි ජාති වැඩිය හොඳ ජෑම් වලට තමා.

    හිම නං කාරියක් නෑ කියමුකො. මෙව්වා අයිස්. අතුවල බැඳිලා බරට ගස්කඩා වැටෙනවා. සමහර තැන්වල පවර් ලයින් කැඩිලා, විදුලිය නැතුව හිටියා. හොඳ වෙලාවට අපි බේරුනා. ලස්සනට පෙනුනාට, ප්‍රතිපල එච්චර ලස්සන නෑ :)

    ReplyDelete
  7. හලෝ බස්සෝ!
    බොහොම කාලෙකින් මං මේ පැත්තේ ආවේ. අප අතින් බ්ලොග් ලිවීම මගහැරුනත් බස්සා ඇතුළු බොහෝ මිතුරන් දිගටම බ්ලොග් ලිවීම ගැන හුඟක් සතුටුයි.
    බෙරීස් ගැන කියන කොට මට මතක් උනේ අපේ වත්තේ තියෙන මල්බෙරි ගහ. මම නත්තලට හපුතලේ යාලුවෙකුගේ ගෙදර ගියා. එහෙදි මල්බෙරි ජෑම් සමග පාන් කෑවා. මල්බෙරි වයිනුත් බොන්න ලැබුණා. ගෙදර හදපුවා.
    හපුතලේ නං අයිස් වැහි නැති එක විතරයි. පට්ට සීතලයි.

    ReplyDelete
  8. බුදු අප්පේ ගුල්ලව දැක්ක කල්! කොහොම වුනත් හොඳින් ඉන්නව නං එච්චරයි. මල්බෙරි වලින් එච්චර දේවල් කරන බව දැණ ගත්තෙ අදයි

    ReplyDelete
  9. මූස්ට 'අං දිග ගෝණා' කමක් නෑහෑ. එවුනාට කැරිබු - මීමින්නා වෙන්න කොහෙත්ම බෑ

    ReplyDelete
    Replies
    1. හූම්.... කැරිබුට පිණි මුවා කිව්වට අවුලක් නෑ මයෙ හිතේ

      Delete
  10. කැරිබු (= rein deer) ට පිණි මුවා තමයි කියන්නෙ. Moose ට සින්හල නමක් නෑ

    ReplyDelete
    Replies
    1. [im]http://img.weburbanist.com/wp-content/uploads/2011/02/urban_moose_4b.jpg[/im]

      අම්මපා මුන්දගෙන් තියන මලවදේ. පනින එකත් පනිනව අද නං

      Delete