Sunday, February 1, 2015

කොළඹ යුගයේ කවි සහ අපේ ගමේ විත්ති






http://lankapura.com/wp-content/uploads/ 2009/04/banyan-tree-at-kalutara.jpg


කොළඹ යුගයේ කවින්ට , මම බොහොම කැමතියි. මට හිතෙන්නෙ  අපේ කවියේ ස්වර්ණමය යුගය කොළඹ යුගය කියලයි. ඒ කාළෙ කවි මඩු , තරග වගේ එව්වත් තිබිල තියනවා.ඒ ඇරුනම  මාසික කවි සඟරා පවා තිබිල තියනවා. අපේ මේ කවියො හිටිවන කවි කියන්න රුසියො. කවියෙක්ගෙ මඟුල් ගෙදරකට ගිය මාකඳුරේ කවියා සභාව මැද මෙහෙම කිව්වලු:




මල්ලව උරා බොයි මල් කැකුලක           රේණු

හතාගොඩත්   හැඬවිය  මංගල            සීනු

උඳුවප් දුරුත්තේ සීතල බෑ                වානු

මොකටද කුඩලි, මේ කාලෙට නැති      ගෑනු


ඒකට පිලිතුරු කවිය කිව්වෙ,එවකට තනිකඩයෙකු වූ කුඩලිගම කවියා:




තිබහට වතුර කළයක් ඇදගනු                මිසක

ඒ ලිඳ තඩලන්න කිසි විටකදී             නොහැක 

කිරි අවැසි නම් වීදුරුවක් හෝ              දෙකක 

රස බලනවා මිස කීම මේ එළ              දෙනක  








තවත් මම කැමති කවියෙක් තමා මීමන ප්‍රේමතිලක. එයට හේතුව,  වික්ටෝරියානු සදාචාරයත්, " බොනවද දහම් පැන්, නැත්නම් පොවන්නද? "  සිහල බොදු මානසිකත්වයත් උපරිම ලෙස පැවතුන ඒ යුගේ  ඔහුගෙ සෘංගාරය මඳ පමණින් මුසුකල අපූරු කවිත්,  උපාසකම්මලාගේ සර්ධාව  වැඩීමට යැයි කියා අතිශයෝක්තියෙන්  දෙසූ බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් දේ නිර්දය ලෙස විවේචනය කල ලිපිත් නිසා වන්නට ඇත.





මෙහෙම කිව්වාට , බස්සොන්ට මොන කවිද? ඌ මේ   මහප්ප්‍රාණ  හෑලි ලියන්න ගියාට, කියවල තියෙන්නෙ ඔය එහෙන් මෙහෙන් කඩල  ඔතන්න ගත්ත  පි‍ටුවක තිබ්බ කයියක්, දෙකක් විතරයි. ඒත් මෙව්ව කියවපු, දැණුම් තේරුම් තියන  අය, මේ  කවි හැකි පමණින්  සංරක්ෂණය කරන්න කරපු සත් ක්‍රියාවක් , ඔය පහළින් තියෙන ලින්ක් වලට ගියාම බලාගත්තෑකි.





කවි මුතු මල්



e තක්සලාව





ඔන්න එහෙනං  මාත් හතර අතට වැඳලා , නමෝ විත්තියෙන් ඉස්සුව කයියක් ගෙඩි පිටින්ම.මේ  විමලරත්න කුමාරගම කවියගෙ " අයියනායක " කවි පෙලෙන් කොටසක්.




සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො  ණේ

කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍             ණේ

මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ              නේ

දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ     නේ



සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී                         ම

කෙම්මුර දවස්වල පානින් සැරසී                      ම

වන අතු කඩා ගස් දෙබලක දැවටී                    ම

මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී      ම


දැන් ඔහෙලට  හිතෙනව නේද, මීමන ගැන කියල  කුමාරගමගෙ කවි දාන්නෙ , මූට මඤ්ඤංද කියලා? නෑ, නෑ ඒකට හේතුවක් කියනවා. කපුවො, සාස්තර කාරයො  , ඔවුන්ගේ අනුග්‍රාහකයොන්ටත් බොහොම අපල මේ කාලෙ, මාත් ඇඟ බේරගන්න එපැයි?

අද කතාව ගම්මැදි හෑල්ලක්ද, මිත්‍යා විස්වාසයක්ද කියල මං දන්නෙ නෑ. එක තීරණය කරන එක ඔහෙලට බාරයි. මගේ රාජකාරික කතාව කියන එක විතරයි


මේ කවි කියවන කොට හිතේ මැවෙන්නෙ අපූරු චිත්‍රයක්.  ඒ විතරක් නෙමෙයි, මේ කවි ඔස්සේ ගියාම  මතක් වෙන්නෙ අපේ ගම සහ එහි සිටි අමතක නොවෙන චරිත. මේක මේ ගම හොඳා, නගරෙ හොඳ නෑ කියන කතාවක් නෙමෙයි. අපේ ගමෙත්, ඒ ගැමි සංස්කෘතියෙත් හොඳ වගේම නරකත් සම-සමව තිබුනා. එව්වා පැත්තකින් තියලා, අද මම කියන්න යන්නෙ එහි ජීවත් වු අපූරු චරිත කීපයක් ගැනයි.



ගමේ  හිටපු වැදගත් තනතුරු දැරූ ,වැඩිහිටි අයට එදා ගම්මු කතාකලේ රාළහාමි කියලයි. මේ කියන රාළහාමිත් එහෙම කෙනෙක්, මට මතක සංදිය වන විට විශ්‍රාමිකව හිටි ඔහු, කලු, උස මහත , මනා පෞරුෂත්වයක් තිබුණු අයෙක්. සරම ඇන්ඳත්, කෝට් බෑයක් අඳින්න අමතක කලේ නෑ.  කොච්චරවත්  ගම වටා ඇවිද, ඇවිද,  නැවති, නැවති  වටපිට බල, බල  ගිය ඔහු හැමෝ එක්කම කතාබහ කලා. ගැමියන්  මූණට ඔහුට කටපුරා රාළහාමි කිව්වත්, නැති තැන කිව්වෙ ඇස්වහ-කටවහ රාළහාමි කියලයි.ඔහුගෙන් තමන් සන්තක හොද දේ වහන් කිරීමට, ඉදිරියට පැමිණ කතාවට අල්ලාගෙන, අවධානය වෙනතක යොමු කිරීමට තැත් කලත්, රාළහාමිගේ උකුසු ඇස් වලින් කිසිම දෙයක් මඟහැරුනේ නෑ. රාළහාමි කතාව අවසානෙයේ, යන්නට පෙර මොකක් හරි කට-කැඩිච්ච කතාවක් කියන්නත් අමතක කලේ නෑ.

මෙවැනි පුද්ගලයකු යම් දෙයක් ගැන හොඳ කිව්වොත්, එයට අපල දෙන බවත්, අමාරුවෙන් හරි යම් දෙයක නරක කියවාගන්න හැකි නම්, එහි ප්‍රතිවිරුද්ධ දේ වන බවත් ගැමියො විස්වාස කලා.



මේ මං අසා තිබෙන, ගමේ ප්‍රසිද්ධ කතා දෙකක්:



කිට්‍ටුව ගෙදරක සාරෙට වැඩුන ඒත් ඵල නොදරන දෙහි ගහක් තිබුනා. සාමාන්‍යයෙන් රාළහාමිව මඟහරින ගෙදර  මූලිකයා එදා රාළහාමිව ගෙදරටම  කැඳවාගෙන ඇවිත් , තේ පැන් වලින් සංග්‍රහ කොට , මිදුලට කැ‍ටුව ගිහින් දෙහි ගහ පෙන්නලා මෙහෙම කිව්වා:



" බලන්නකො රාළහාමි. මේ ගහේ හැටි, එක දෙහි ගෙඩියක්වත් නෑ නෙව?"



ඔහු බලාපොරොත්තු වුනේ, රාලහාමිත් ගහ ගැන නුගුණ කියාවි කියලයි. ඒත් රාළහාමි කිව්වෙ මෙහෙමයි:



" හා, ගෙඩි නැති වුනාට මොකද, ඒකටත් එක්ක ඔය කොල තියෙන්නෙ"



බලා ඉන්දැද්දි වගේ කොල හැලෙන්න ගත්ත දෙහි ගහ කනා‍ටු වෙලා මැරිල ගිය බවයි කියවෙන්නෙ. තව දවසක් දුර තිබෙන ගස්  අතර පිමි පැන, පැන හිටිය  වඳුරු මොටෙක් දිහා බලා " හම්මේ, බලහල්ලකො මුගෙ පිම්ම" යැයි කිවූ බවත්, ඊළඟ පිම්මේදී වඳුරු මොටා පිම්ම වැරදී බිමට පත බෑවුන වගත් තවත් ප්‍රසිද්ධ කතාවක්.







http://archives.dailynews.lk/2009/08/05 /z_page-19-(ARTS)-Sybil-02.jpg


ඊළඟ අමතක නොවෙන චරිතය තමා හංදියෙ  කඩේ මුදලාලි. ගමේ හිටිය තැපැල් පියුං වුන ඔහු බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක්. පසුව පොඩියට කඩයක් පටන්ගෙන එය වැඩිදියුණු කරගත්තා.



මට මේ මුදලාලි මතක් කරන්නෙ, සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කතාවක එන මුස්ලිම් මුදලාලි කෙනෙක්. කතාවෙ ඉන්න  මුදලාලි කවදාවත් පාරිභෝගිකයින්ට " නෑ" කියල කිව්වෙ නෑ, කිව්වෙ " තිබුණා , මේ දැන් ඉවර වුනා" කියලයි. පහුවදා කොළඹ ගිහින් ඒ අහපු දේ ගෙනාව කියල තමා කතාවෙ තිබුනෙ.  අපේ මුදලාලිත් ටිකක් ඒ වගේ,  ගණුදෙණුකාරයාට අනුකූලව සුහද කතාබහ කරන්නත්. ඔහුගේ වෙළඳ භාණ්ඩ ගැන පාරට්‍ටු කරන්නත්, අපේ තැපැල් පියුං මුදලාලිට තිබුණෙ සහජ හැකියාවක්. මෙන්න මෙහෙමයි ඔහුගෙ කතාව



" මෙව්වා නියම මන්නාරම් කරවල මහත්තයො. ගන්න, නියම බඩු", සමහර විට කීරමින් කියා, වේලපු පොඩි හුරුල්ලො වික්කත්, ගණුදෙනු කාරයා ගෙදර ගියේ හිතේ සතුටින්,



තව ලියන්න දේ තිබුනත්, මට බෑ, අදට ඔය ඇති



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

44 comments:

  1. 1. කුඩලිගමගේ කවිය මතක්වීමට ඇණේ සම්බන්ධයක් තිබේද?

    2. අර ගැමි සීන් පේන්ටින් එක බස්තුමාමද කලේ?

    3. හඳහන් කාරයන්ටත් කටවහ තිබේද? ( දිනන එක ෂුවර් කිව්වහම ඒ කටවහ නිසා පැරදුනාද?එතකොට කේන්දරේට වඩා කටවහ බලගතුද? එහෙමනම් කටවහකාරයින් යොදා ගැනීම කේන්දරවලට වඩා ප්‍රොඩක්ටිව්ද?)

    4. ඉඳල ඉඳල පෝස්ට් එකක් ලිව්වහම ප්‍රශ්න ගොඩක් ඇහුවයි කියල බස්තුමා උදහස් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ වලට පිලිතුරු:

      1. err....nope. If I say "yes", the retaliation would be something like" I'll nail your a** right on the **** floor" :)

      2. නැවතන්, නැත. ඉන්දියන් පේන්ටින් එකකි. ලින්ක් එක දාන්න අමතක විය.

      3. පිලිතුර "අයියනායක" කවියේ ඇත.එවැනි කතා රස විඳිනවා මිස, විස්වාසයක් නැත. . එසේ කිව්වද, අර පිම්ම වැරදුන වඳුරා බිම පතබෑවුන විට "OMG" කී බවද කියවේ. ට්රූ ඉස්ටෝරි :)

      4. කෙසේවත් නැත.

      Delete
    2. මෙහෙනම් පිම්ම වැරදුන රිලව් කියන්නෙ "බටහිර කුමණ්ත්‍රන" කියල. ට්රූ ඉස්ටෝරි

      Canada is as western as u can get without jumping in the Pacific, eh?:)

      Delete
    3. Canada is as western as, that if u accidently (or deliberately) walk too much westward, u will be ended up in eastern Russia..

      Delete
    4. බස්සෙකුට නං යන්න අමාරුයි. සීල් හරි වොල්රස්ලට නං ගියෑකි ඒ මිදිච්ච මුහුදේ :)

      Delete
    5. "this Canada is French Canada -its the best Canada in the land
      other Canada is hardly Canada -if you lived here ud understand" :P

      බස්සුන්නාන්සෙ එකසිය ගානට රුසියාවට යනවා මැවිල පේනවා අප්පා. පොට්ට හැරී ගෙ බස්ස වගෙ ලු හිමෙන් වැහුනහම

      Delete
  2. සිංහල තේරෙනවා වැඩිකමටද මන්දා කවි තේරුනේ නෑලු.:P

    //" හම්මේ, බලහල්ලකො මුගෙ පිම්ම"//

    පොඩ්ඩිටත් හිතෙනවා වගේ දෙයක් කියල බලන්ට.:D

    ReplyDelete
    Replies
    1. බස්සා පියාඹන වෙලාවක් බලලා කියන්ට, "හම්මේ! මූ පියාඹන උසඅඅඅඅඅඅඅඅ....." වගේ දෙයක්.. කිරිගහට ඇන්නා වගේ හරියනවා.. ;-)

      Delete
    2. " හම්මේ අර ඇණේ මේ බස්සට කොච්චර කරුණාවද හ්ooooo " :-D

      Delete
    3. @ Buratheno
      එහෙම නිකං කෙනෙක් කිව්වට හරියන්නෙ නෑ. ඉන්දියන් අයගෙත් ඔහොම විවාසයක් තියනවා. එයාල කියන්නෙ දිවේ කලු ලප තියන අය එහෙමලු

      @ Pra Jay

      නෑ, නෑ, මේ වෙන ඇණයක්

      Delete
    4. @PK

      ඒක නෙව මං කිව්වෙ, ඔව්වා තේරුං ගන්න, විස්වාස කරන්නම අවශ්‍ය නෑ. කතාවක් විදිහට රස විඳින්න පුළුවනි නං එච්චරයි

      Delete
    5. " හම්මෝ මේ බස්සට තියන ඇණ තොගය !! සූ ඌඌඌ හරි ලකී නේ "

      Is that enough evil tongue? Did she pluck all ur feathers yet?

      Delete
    6. ඇයි සීවරං දෙයියනේ කවි කිව්වෙ මාකඳුරෙයි, කුඩලිගමයි නෙව? බස්සව නෙව මරන් කන්න හදන්නෙ? මේකද යහපාලණේ ?;)

      Delete
    7. හම්මේ මේ බස්සා කන හැලප ගොඩ අ අ අ අ අ අ අ අ

      Delete
    8. @ Pra Jay , PoM, Bura

      තූ, තූ , නොදෝකින් :)

      ( කට වහ අරින මන්තරේ}

      Delete
  3. මම කැමැතිම කුමාරගමගෙ 'උගත්කම' කවි පන්තියට..

    ReplyDelete
    Replies
    1. අහලා නැත. "හේරත්" හාමි නම් අසා ඇත

      Delete
    2. එළු සකු මගධ පොත් කට පාඩමට දනී
      මිනිහා පණපිටින් යන පොත්ගුලක් වැනී
      වැගිරෙන විලස සාහිත රස අමර පැණී
      පොතක් ලියන්නට සිතුවිලි පහල වුනී

      ... බුවා ලියනවා මහප්‍රාණ, ගැටපද, අටුවා ටීකා ටිප්පනි ඔක්කොම දාලා මහා සාරගර්භ පොතක්. දැන් මේ ලියාපු පොත කාටහරි ඇහෙන්ට කියවනටත් එපායැ. බුවා කතාකරනවා හාමිනේට. පොත කොච්චර සාරගර්භද කියනවානං හාමිනේට එපා වෙනවා අහන් ඉන්න එක. ඊගාවට පොර ගෙදරට එන අනිත් අයට පොත කියවන්ට යනවා. මිනිස්සු ගෙදරට එන එක නවත්තනවා. ඊටපස්සෙ බුවා පාරෙ යන අයට කියෝනවා. මිනිස්සු ඒ පාරෙන් නොගිහින් වෙන වෙන පාරවලින් ගමන් යනවා. බුවා හන්දියට ගිහිල්ලා තේ කඩේ ඉස්සරහා ඉඳන් කියෝනවා. මිනිස්සු හන්දියට යන එකත් නවත්තනවා... අන්තිමට මිනිහට නඩු වැටෙනවා. දවසකට සිතාසි හතඅටක් එනවා. මිනිස්සු නඩු දාලා, කඩේ මුදලාලි නඩු දාලා, හාමිනේ ඩිවෝස් වෙන්ට නඩු දාලා. නඩු දවසෙ බුවා පොතත් අරන් යනවා උසාවියට. නඩුකාරයා අහනවා මොකක්ද සීන් එක කියලා. බුවා කියනවා සීන් එක. නඩුකාරයට දැනගන්ට ඕන වෙනවා මොකක්ද මේ පුදුම පොත කියලා. අ‍පේ බුවාටත් ඕන කොහොමහරි පොත කියවගන්ට නෙ. ඊටපස්සෙ හිරේ ගියත් කමක් නෑ. ඉතින් බුවා උසාවියෙන් අවසර ඉල්ලනවා පොත කියවන්ට. නඩුකාරයා අවසර දෙනවා. මිනිහා පොත කියෝනවා කියෝනවා කියෝනවා... දැන් උසාවියෙ බේතකටවත් වෙන මිනිහෙක් නෑ. ඉන්නෙ අපේ වීරයයි නඩුකාරයයි විතරයි...

      උසාවියේ නීතියෙ ඇති අවසරයෙන්
      මිනිහා කියාගෙන යයි පොත ඇති විරියෙන්
      බේරෙන්නට බැරිම තැනදී මේ කරදරයෙන්
      නඩුකාරයා ඉල්ලා අස්විය ධුරයෙන්

      Delete
    3. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. //මිනිහා පණපිටින් යන පොත්ගුලක් වැනී//

      හ්ම්ම්ම්ම්.....ඔහොම දන්න කෙනෙක් නම් හිටියා වගේ මතකයි. . මොකක්ද මේ නම, බුහ්, බුහ්.....චෑ මේ දිව අග තියනවා , එන්නෙ නෑ නෙව? ;)

      Delete
    5. @ බුරාන්
      කුමාරගමගෙ මේ කවි පන්තිය අර "විමලරත්න කුමාරගම ගේ එකතු කළ කවි" කියන පොතේ නැහැනේ..:(
      කොහෙන්ද දන්නේ නැහැ මේ කවි පන්තිය හොයා ගන්නට පුළුවන් වෙන්නේ.

      Delete
    6. ඕක මම මුලින්ම කියෙවුවෙ 7 හෝ 8 සිංහල පෙළපොතෙන්.. අන්තර්ජාලයේ පොඩි සෙවීමක් කලා.. ම්හූ! හැමතැනම තියෙන්නෙ අයියනායක කවි පන්තිය ගැන විතරයි.. මම තව ටිකක් හොයලා බලන්නම්..

      Delete
    7. මනෝජ්,

      මට ලොකු වැරැදීමක් වෙලා තියෙනවා.. උගත්කම කවි පන්තිය කුමාරගමගෙ නෙවෙයි, කේයස්ගෙ.. මගේ මතකයෙ තිබුනෙම ඒක කුමාරගමගෙ කියලයි.. සමාවෙන්ට ඕන..

      මෙන්න මෙතැන තියෙනවා කවි පන්තිය.. ඒ බ්ලොග් එකේ අයිතිකරුටත් බොහොම ස්තූතියි !

      Delete
    8. @ බුරාන්
      බොහෝම ස්තූතියි,අපුරු කවි පන්තිය.
      ඔහොම අමතක වීම් කාටද නොවෙන්නේ ?

      Delete
  4. සෙවනැලි රකුස් හොල්මන් සැරිසරන වනේ
    වයර්වුඩ් ගසක බසු බෙනයක් තිබෙනු පෙනේ
    බස්සෙක් නොමැති මුත් බසු ගඳ තදට දැනේ
    බස්සා කොයිබ ගියෙදෝ පියඹලා අනේ

    සීතල කාලයට හිටගෙන බුදියෑම
    හොටයෙන් කොට කොටා චෙරි බෙරි ගෙඩි කෑම
    සොයමින් හැලප අහුමුළුවල රිංගීම
    මේ වැඩ මිසක් නොකෙරෙති බ්ලොග් එක ලීම

    ReplyDelete
    Replies
    1. ගිය සිකුරාදා ඇණයක් ඇනුනා පස්සේ
      ඒ මදිවාට කුණා‍ටුවකි, හිම වැස්සේ
      බ්ලොග් ලියන්නෙ කොහොමද ඒ අවුවස්සේ
      බෑඟිරි ගගා, කලකින් වෙලකට බැස්සේ

      Delete
    2. දොර කඩ ගහේ මුකලන් බස්සා
      කලකට පසුව ඇත වෙලකට බැහැලා
      කොළඹ යුගයේ කවි ගැන මෙහි අමතලා
      වෙහෙස නිවා ඇත සිත පුරවලා

      Delete
    3. තනි තට්ටෙන් බාල්කයක එල්ලීම
      ත‍ටු ගලවා ගින්නෙන් පලහා කෑම
      මෙහෙම ඇහෙන විට මටවත් නොදැනීම
      ඔටෝමැටික් සිදුවුනි, බ්ලොග ලියවීම

      Delete
    4. බුරෝ පලවෙනි කවියේ දෙවෙනි පෙලේ "බසු "කෑල්ල අයින් කලොත් වැඩිය ලස්සනයි නේ.

      Delete
    5. මූට වැඩිය ලස්සන කවි ලියන්ට හොඳ නෑ බින්දියො.. එතකොට මේකා වැඩිපුර උඩ යනවා.. ;-)

      Delete
  5. "විමලරත්න කුමාරගම ගේ එකතු කළ කවි"
    1987 පළමු මුද්‍රණයෙන් පසුව 2014 වසරේ නැවත දෙවන මුද්‍රණය කරන ලද පොතක්.
    1935දී රචනා කරන ලද පළමු කවි පන්තියේ සිට ඔහුගේ දිනපොතේ සඳහන් අවසන් කවිය ලියා ඇති1962 දක්වාම ඔහු විසින් ලියන ලද කවි සියල්ලේම එකතුවක් ලෙස පොත මුද්‍රණය වී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න තියෙනවා විමලරත්න කුමාරගම ගේ කවි ඔක්කොම තියෙන පොතක්.

      Delete
    2. අපිට කොයිදෑ පූසෝ මාලු !,අපි යනවැයි මූදු කිව්වලු. අර තොරණ් බැඳලා, රබන් ගහල පටන් ගත්ත BookHub.lk එකේ වත් දානවා නං ඕං ගත්තෑකි.

      ඒත් මෙහෙම හරි නැවත මුද්‍රණය කරපු එක හොඳ දෙයක්.

      පුන් සඳ ඇවිත් වැජඹෙන විට අඹර පිට
      හිනැහෙයි , මඳින්, මඳ තරුවැල් කණක කැට
      වවුලෝ පියාඹති , දොර අඹ වනයෙ සිට
      සඳ‍රැස් වැටේ කවුළුවකින්, නිදන ගෙට

      මං මේ කවි පන්තිය හොයනවා. කව්ද කිව්වා මීමනගෙ වගේ කියලා. ඉදිරියෙදි මීමනගෙ කවිති නැවත මුද්‍රණය උනොත් නියමයි

      Delete
    3. Picture this:

      හඳ පායපු රාත්‍රියක්. දොරකඩ අඹ වනය. වව්ලෝ පියාඹන නාදය ( phew!,ඇති යන්නත්ං ගියා මල වදේ). Aha! මී අඹ සුවඳ.හෙමින් හෙමි,හෙමින් ඒ දෙසට ඇදෙන මූකලං බස්සෙක්. අඹ වනයක්ම තියෙන නිසා, කාළය විසින් කෙසේ වෙතත් කොට්ටෝරුවෙක් විසින්වත් හෑරුව බෙනයක් නැති වෙන්න බෑ නෙව?

      Delete
    4. vegetarian bassek dakkamada koheda :P

      Delete
    5. එහෙම සත්තුත් ඉන්නවා. මං දන්න පූසෙක් හිටියා පාන් කන්න මරුවා. පාන් බගයක් දුන්නාම ලඟට කරන් හෙමි, හෙමිහිට දෙනවා බැස්ටිය. අපි කිව්වෙ පාන් බාස් කියල

      Delete
  6. මම ඔය කේන්දර හඳහන් කිසි දෙයක් විස්වාස කරන්නේ නැහැ . හැබැයි කටවහ නම් අනේ මන්දා. ඕක යුනිවර්සල් . එක්කෝ අපේ හිත. කීප වතාවක් මට වෙච්ච වැඩ නිසා ළමයින්ගේ හොඳ දේවල් වැඩිය කාටවත් නොකියා ඉන්න තීරණය කළා. හැමෝම නෙමේ සමහර අම්මල ඉන්නවා තමන්ගේ ළමයි කොච්චර හොඳට වැඩ කලත් අනුන්ගේ ළමයින්ගේ එව්වා හොයන. එයාලගේ ළමයි අපේ පොඩි එකි ගාවින් හිටෝලා මෙයා එයාට වඩා කොච්චර උසද කියලා බලන. සමහරු මට වඩා උනන්දුයි මෙයාගේ ස්පෙලින් ලෙවල් එක ,කියෝන පොත් හෙම දැනගන්න . ලඟදි දවසක් මෙසේජ් එකක් ආව එක ඔය ජාතියේ අම්ම කෙනෙක්ගෙන් . මෙයාගේ ජිම්නාස්ටික් ලෙවල් එක අහල. එදා රෑම සෙල්ලම් කරද්දී දඩෝන් ගාල බිම ඇදන් වැටුන . ළමයා වෙවුලනවා . පස්සේ හොස්පිටල් අරන් ගියා. අපි පුදුම බය විල්ලක් වුනේ. කෝ ඉන්සිඩන්ට් එකක් වුනත් ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඔය ජාතියේ අයගෙන් නම් පරිස්සන් වෙන එක හොඳයි.
    බස්සා පරිස්සන් වෙන එක හොඳා . මතකනේ අර පියාඹන ඉබ්බාට කොල්ලන්ගේ කට වහ වැදිච්ච හැටි :D

    ReplyDelete
    Replies
    1. ඒ පලවෙනි ඉබ්බනෙ. දෙවනි ඉබ්බා නං කොල්ලො හූ කිව්වෙට කට ඇරියෙ නෑ . ඌ අයින් අහපාගෙන්ම හිටියා. එක කොකෙක් කිව්වා , අනිකාට " මචං මූ රියල් ගල් ඉබ්බෙක්, ඇරියෙ නෑනෙ කට" කියලා. අනිත් එකා කිව්වා" යකෝ , අල්ල ගනින් , උඹ කෝට්ට අතැරියා නේද?" කියලා. ඒ ඉබ්බත් සෙත්ත පෝච්චි.

      ආදර්ශය ඉබ්බන්ට උඩින් ගමන් සුබනැත

      Delete
  7. බකමූණා.......................

    නියමයි කතා ටිකම... රාළහාමියාගේ කතා දෙකනම් ඒළස්......... පළවෙනි ඒක ඔක්කොට ම වඩා හොදයි.... මේ මදි නොකියන්න ම බ්ලොග් ඒකක් ලියල තියෙන්නේ කියලා කිව්වානම් තමා නියම.......

    ReplyDelete
    Replies
    1. එක නෙව, බලාපල්ල ලමයිනේ, මුං මට පස්පඩංගුවේ බැනින හැටි, ලියන්නෙ නෑ කියලා :)

      Delete