Friday, March 29, 2019

ඇෆ්ගන් ජෙලබි




මේ දවස්ල රබර් ඇහැ දාන එකා නැති නිසා, දෙයියනේ කියල අතපය දිගෑරලා ගන්න ඕන දෙයක් ගන්නවා. මට වෙලාවකට හිතෙනවා , මේකත් එක්තරා ඇබ්බැහිවීමක්ද කියලත්. හරි, හරි  ඔය ගන්න හැම එකම අත්‍යාවශය භාණ්ඩ ගණයට වැටෙන්නෙ නෑ තමා. එකාක්, දෙකක් "හයියෝ, ෂල්ලි" කෑටගරියටත් වැටෙනවා තමා. ඒත්  බලාන්ට, දැන් බසු කුස්සියෙ පාන් පිච්චෙනවා, කේක් හැදෙනවා. ඒ තියා  කඩලත් තැම්බෙනවා. එහෙම බැලුවාම , සමස්තයක් වශයෙන්  මේ  ව්‍යාපාරයෙන් ලාබයි කියල ඔහෙලට හිතෙන්නෙ නැද්ද?

අනික මේ ප්‍රශ්ණයෙදි මම තනිවෙලා නෑ කියලා ඔය උඩ පිංතූරෙන්ම ඔප්පු වෙනව නේද?







ගුලාබ් ජමූන් කියන්නෙ ඉංදියන් රස කැවිල්ලක්. පිටි වලින් හදාලා බැදපු බෝල  සීනි පැණියක ගිල්ලලා.  මම අහල තියනවා පැණි කැවුම් කියන්නෙ එහෙම  පැණිවල ගිල්ලපු කැවුම් වලට කියලා - එත් කාලා නෑ.


ගුලාබ් ජමූන් මුලින්ම කෑවෙ කවදද කියල මතක නෑ, ඩුබායි වලදි වෙන්න ඕනෙ. ඒත් "හව්" ගාලා එක කටයි කැවෙ- ලව් ඇට් ෆස්ට් බයිට් තමා. පස්සෙ හොයනකොට, ඔය ඉස්ටැයිල් එකේ කෑම වර්ග කීපයක්ම හම්බ වුනා. ජෙලබි නැත්නම් අපි දන්න බූන්දිත් ටිකාක් ඒ කිට්‍ටුවෙන් යන කෑමක්. අපි වගේ හුදී ජනයාට ඔව්වා හැමදාම කඩෙන් කන්න බෑ නෙව? මම ඔය ගැන කම්පනා කර, කර ඉන්න කොට තමා  බස්බූසාව හම්බ වුනේ. බස්බූසා කියන්නෙ  රුලං කේක් එකක්. හදලා ගිල්ලෝනවා සීනී පැණියක.







හැදුවා බලන්න. සාර්තකයි. දැන් මේකෙ ක්‍රමවේදය මෙහෙමයි. පිටි වලින් හදන කේක් වගේ එව්වා , ගිල්ලනවා පැණියක - බඩුම තමා, 



ඊළඟට අත්හදා බැලීම. කිවි හරි ස්ට්‍රෝබෙරි අරගෙන දානවා සිනි හැඳි තුනක් , ඔබනවා ඒකටම කේක් කෑල්ලක්. ටික වෙලාවක් ගියාම ඒකෙම වතුර උනනවා. කෙලින්ම ගුලාබ් ජමූම්.



තව මේ වගේ අත්හදා බලල සාර්ථක වෙච්ච(හෑ, අසාර්ථක වෙච්ච කෑම?  මොකෑ නැත්තෙ , ලොරියකට සැහෙන්න තියනවා)කෑමක් තමා මේ.



රෝස් පාන් හරහට කපලා  උඩින බටර් තලියක් තියලා තප්පර 20ක් මයික්‍රොවේව් කරනවා බටර් යන්තම් දියවෙගන එනතෙක්. දැන්  එකෙන් පාන් පොඟවලා හකුරු සමඟ වලඳනවා.  කිතුල් හකුරු තමා හොඳම, ඒත් හොඳ කිතුල් හකුරු හොයන එක නිකිණි හොයනවා වගේ නිසා, මං දෙන්නං ඒකට ඔත්තුවක්.



චයිනීස් සුපර් මාකට් වල තියනවා තායි  තල් හකුරු ජාතියක්. පැකට් එකේ තියෙන්නෙ "Palm Sugar" කියලා. ඒක   කිතුල් හකුරු වලට කිට්‍ටුවෙන් යනවා.දැන්  කවුරු හරි, කළු දොදොල්, වටලප්පන් එහෙම හදන්න බලාපොරොත්තුවක් තියනවා නං, බැංකුවක් නොකඩා එව්වා හදන්න මේක හොඳ ආදේශකයක් වේවි.

විනාඩි 45 කින් නියම ක්‍රමයට කළු දොදොල් කිලෝ 2ක් හදන පහසු ක්‍රමය  



මේ ඇෆ්ගන් ජෙලබි. පැන්ටම් කියන හිංදි පිචෑර් එකේ ජනප්‍රිය වෙච්ච සිංදුවක්. මේක ඔරිජිනල් එක නෙමෙයි , මම හොයා ගත්ත " ජෙලබි" වර්ශන් එක. මම වැඩිය කැමති මේකට. අර " කොඩිය සුද්දගේ , මල්ලි සිංහයා අපේ" වගේ වැඩක්.  නටන  දෙන්නා රුසියන්. මතකනෙ, ජෙලබි ක්‍රමවේදය? කේක් එක අරගෙන පැණිවල ගිල්ලන්න ඕනෙ. පැණි නැත්නම් වොඩ්කා වුනත් කමක් නැ, ගිල්ලන එකයි වැදගත් කොටස. ඔහෙල බලලම තීරණය කරන්නකො.




Tuesday, February 26, 2019

අගක් මුලක් නැති කතා




ඉඳි ගහයට වාඩිවෙලා විකුණාලා  වතුර කනක්කූ

අරාබියේ මරු කතරේ මගියන්ගේ පවස වැලැක්කූ..ඌ...ඌ....



අම්මට උඩු බස්සෙක්. ලංකාවෙ නේද? නෑ කියන්න නං එපා රජෝ, මට හොට දැක්කාම කිව්වෑකි.  ආ .. මම මාකඳුරේ බකුෂ්. මේ දවස් වල බර්-ඩුබායි බෝඩිමේ ඉන්නෙ. ඉතිං , ඉතිං කෝමද වාසෙ, දේසෙ?



බස්සා: වරදක් නෑ. ඒක නෙමෙයි  පාටිදාලා  පොලිසියට මාට්‍ටු වුනාලු නේද?



බකුෂ්: :ඒක මේමනෙ බොෂ්. පොඩි බිෂ්නස් එකක් කලා පක්කො එක්ක. පස්ෂෙ තිබ්බා  පොල්ලක්. පක්කො දුන්නා අරාබි පොලිසියට ඔත්තුව. අවුලක් නෑ, දැන් කෑම ආණ්ඩුව ගානෙ. සිකුරාදාට බුරියානිත් දෙනවා.



බස්සා: එතකොට ඇයි අරහෙ සිරා රෙද්ද කරට අරං උඩ පනින්නෙ?



බකුෂ්: ආ, එයා එහෙම තමා. දැන් බලාන්ට බොස්. කෝටි ගාණක බඩු නේද?  මං බැලුවෙ රටට විදේශ විනිමය ටිකක්වත් හොයල දෙන්න. බලාන්ටකො, මේ අසමජ්ජාති ආයෝජකයො ආවෙ නෑනෙ අපේ රට ගොඩ දාන්න.



බස්සා: මම ආරංචි ආපු උන්ගෙනුත් , සම්තිං එක ඉල්ලලා  උනුත් ගියා කියලයි.  ඒ වුනාට රට්‍ටු කියන්නෙ, සිරා ඔහේට දුන්නා බැස්ටිය. අරාබියෝ  දැං දෙනවා ඇති සබ්බුව කියලා.



බකුෂ්: මගුලක් කියනවා. මේක තමා  හොරුන්ගෙ පාරාදීසෙ. ලෝකෙම ඉන්න පාතාලයො, හොරුන්ගෙ නායකයො ඔක්කොම ඉන්නෙ මෙහෙ. තව හෝදලා අපුල්ලලා එහෙමත් දෙනවා.



බස්සා: ඒ මොනවද අපුල්ලන්නෙ?



බකුෂ්; : අයි වාහෙ, කලු සල්ලි නෙව? අපිට කොච්චර දේවල් තියනවද ඉගෙන ගන්න අරාබින්ගෙන්. මගෙත් පොඩි අදහසක් තියනවා දේශපාලනේට එන්න. ෂල්ලි ටිකක් එහාට , මෙහාට විෂි කරලා, අනික ඔය  දියවන්නාවෙ ඉන්න  හුඟකට තියෙන සුදුසුකං මටත් තියනවා නෙව?



බස්සා: මං හිතෙන්නෙ නෑ , ලංකාවෙ ඉන්න බුද්ධිමත් ජනතාව ඔහෙට චන්දෙ දෙයි කියලා.



බකුෂ්; ඒම කියන්න එපා බොෂ්. අපිටත් චෑන්ස් එකක් දීලා බලන්න. රට ගොඩ දාන එක සිම්පල්නෙ. ගන්නවා චීනගෙන ණය. ඊට පස්සෙ ලංකාවම චීනට දෙනවා අනූනම අවුරුදු බද්දට.








ට්‍රාන්සිවෙනියාවෙ මේ පෝස්ට් එක බැලුවා. එක දිගේ ගිහින් ගමයගෙ මේ කොමෙන්ට් එක 


 කියෙව්වා.




//ඊයේ පෙරේද ලන්ඩන් ආපු සිංහල අංශ මහාචාර්ය කෙනෙක් කළ කතාව ඇහුවම මට හිතුනේ ඒ මනුස්සය උගන්වන්නේ පාලි ජාතක කතා විතරයි කියල. 1990 මුල භාගේ මට මහාචාර්ය කෙනෙක් හමුවුන ලන්ඩන් වලදි . ඒ මනුස්සය ප්‍රේමදාස ගව ඉඳල මහින්දට මාරු වෙලා දැනුත් විදේශ අංශයේ ලොකු රැකියාවක. පොත් පත් කියවන එකෙක් නම් නෙමේ. මට විශ්ව විද්‍යාලේ මිනිහ කරපු දේවල් කිව්වා. හරිම ජුගුප්සා ජනකයි. පෙම්වතාට ලකුණු දෙන්න පෙම්වතියට කාමරේට එන්න කියපුව. ශිෂ්‍යවියෝ උඩ දෙනවනම් දෙන ලකුණු, යට දෙනවනම් දෙන ලකුණු. යටත් ප්‍රභේද කිහිපයක් තියන හැටි හා අනුකුලව ලකුණු දෙන හැටි. උපාධි නිබන්ධන හා ආචාර්ය උපාධි කොපි කරන හැටි. මේ වගේ උන් මහාචාර්ය වරු වෙන්නේ ලංකාවේම විතරක් වෙන්න ඕනේ. රසික ඕව කලා පීඨ වල වෙන්නේ කියල මට හිතෙන්නේ. මම හිතුව මු බොරු කියනවා කියල. නමුත් පස්සේ එහෙම වෙච්ච ගැහැණු ළමයෙක් නඩු දාන්න උත්සහ කරනකොට තේරුණා ඇත්ත කියල. අන්තරේ ඕව ගැන නිහඬව ඉන්නේ ඇයි කියල මට අදත් තේරෙන්නේ නැහැ.





එලිපිට ඇත අවකෙලි , කිසිවෙකු මැසිවිලි නොකියන්නේ...











Tuesday, January 1, 2019

පයිලට් බස්තියං සහ යක්කු


බස්ස කියන්නෙ නිසාචර පක්සියා බව ඇත්ත.  ඒත් ඔය රට්‍ටු කියන්නැහෙ, බස්සො හෝම්පොලවල් වල ඉඳන්  මහ රෑ මිනිස්සු බයකරනව කියන කතාව නං අමූලික බොරු.  මිනිස්සු අපට කටකතා නොකියැයියෑ, මේ ඩිස්නියත් අපි ගැන එහෙම කියන කොට?





බස්සො එක්ක යක්කුන්ගෙ සම්බන්ධයක් නෑ කියල මං කියන්නෙ නෑ. දැං බලාන්ට,මයෙ අසල්වාසියා යකෙක්. හරියටම කියනව නං යකින්නක්, කට්ට කලුයි. රෑට හිනා වෙනවා, දත් ටික විතරයි පේන්නෙ. මයෙ වැඩි පයුරුපාසානයක් ඇත්තෙ නෑ, උන්දෑ එහෙන් එනවා දැක්කොත් මං මෙහෙන් ලුහුටලා යනවා. යකා දන්නවා ඔය විත්තිය. කුරුමානං අල්ලලා හරියටම අපි එලියට එන වෙලාවටම කොරිඩෝවට එනවා. ඒ විතරක් නං බැරියෑ, මට පෙන්නන්නම බැරි, අර පු* ක්‍රැක් එක පේන්න බාගෙට අඳින එක. ඒත් මං හෝතම්බුවාට කිව්වා, ලංකාවෙ යක්කුන්ව බය කරන්න පු* පෙන්නුවාට, මෙහෙ උන් පු* පෙන්නන්නෙ අපිට කියලා.










කට වැහුවට වැඩක් නෑ, මං රිංගන්නෙ රස නහර අතරට

ඇස් වැහුවට වැඩක් නෑ, මං රිංගන්නෙ සිතිවිලි අතරට



යක්කු ගැන හින්දම නෙවෙයි, ජයන්ත චන්දසිරි බස්සොන්ගෙ රසනහර වලට රිංගන්න දන්නවා. ඇස්වහක් කටවහක් නෑ හොඳට රස වින්දා. අග ටයිටල්වල තියෙන විදිහට නං ඇත්ත කතාවක්ලු. ඔව්වා විස්වාස කරනවද කියලා මයෙන් ඇහැව්වොත්, මයෙ උත්තරේ වැට උඩ. ඒත් ඒ කතා රස විඳින්න ඒක බාදාවක් නෙමෙයි. ඕකට කියන්නෙ විභීෂණ රසය කියලයි කියන්නෙ. කාලෙකට ඉස්සර රෝසි අක්කලෑ කලනත් ලිව්වා ඔහොම කතාවක්, එයාගෙම අත්දැකීමක්.



හ්ම්.. මගෙ අත්දැකීමක් නේද? කාලෙකට ඉස්සර මං හිටියා බෙස්මන්ට් එකක. ඒක නං බෙනයක්ම තමා. ඒක ඇරිච්චාවෙකො, ඕකෙ එන්ට්‍රන්ස් එකේ තියනවා ආවරණයක්. මං හැමදාම කෝපි බොන්නෙ ඔතන, එක්තරා දෛවෝපගත දවසක මධ්‍යම රාත්‍රියේ , බැදපු බිත්තර ගිල්ල බකමූණා සුපුරුදු කෝපි වඩිය බොන්න එලියට ආවා.  පැන්නෙ නැතෑ යකා,වහල උඩින් ඇවිත් මයෙ ඉස්සරහට. කට්ට කලුයි,ලයිට් එලියට ගිනිකණ වැටිච්ච උගෙ ඇස් රතු පාට දිලිසුනා. බකමූණා එතනම සෙල්මුවා  වුනා, ඒත් බයක් හිතට ආවෙ නෑ. ඇයි බොලේ මේක හෝම්පොලක් යෑ, ජනාකීර්ණ නගරෙ නෙව. රවාගෙන හිටිය යකා, විරිත්තලා  චෑස් ගාලා සද්දයක් දාලා , වලිගෙ වන, වන යන්න ගියා.



දැං මට තියන පුරස්නෙ. මෙහෙ යක්කු එක්ක අපි කතා කරන්නෙ මොන බාසාවෙන්ද ? දැං  මෝහිනීව ගමුකො. ඔහෙලා දන්නව නෙව උන්දැගෙ  මායම , අර රෙද්ද කැඩෙන්න එන කතාව.  දැන් මෙහෙදි යකෙක් " හේ, මෑන් වට්ස්' අප්" කියල ඇහැව්වොත්, මං අහන්නෙ ඕන බස්සෙක් හොල්මං වෙන්නෙ නැත්ද?







නත්තල් නිවාඩුවත් ඉවරයි, හෙට වැඩ. නිවාඩු කාලෙත් ඉවරයි, හෙට වැඩ. නිවාඩුවට ජෙට් එකක් එලවන්න පොඩි ට්‍රයි එකක් දුන්නා. Digital Combat Simulator කියන්නෙ පට්ට flight simulator කරන කොම්පැනියක්. ඔය උඩ උඩ වීඩියො එකේ තියන්නෙ. ක දැක්කාම මාව හොල්මං වුනා. මට දැන ගන්න ඕනෙ වුනේ මේ  රියලිස්ටික්  ග්‍රැ‍ෆික් ඇත්තද කියලා. අපි ඉතිං උප්පත්තියෙන්ම පියාඹන කට්ටිය නෙව? කතාව ඇත්ත,මාත් හරිබරි



ගැහිලා කොක්පිට් එකේ වාඩි වෙලා ඕන පු*ක් ප්‍රිති වෙසක් කියලා "ෆ්ලයි" බටන් එක එබුවා. දැන් ජෙට් එක යනවා හෙමීට. නිකං ඩවුන්ලෝඩ් කර ගත්ත නිසාද කොහෙද උන්දලා මට දුන්නෙ පරණ රුසියන් ජෙට් එකක්.  මං වට පිට බැලුවා. කෝ බොලේ මේකෙ සුක්කානම? කෝ ඇක්සලේටරේ? දෙප‍රැන්ද මැද්දෙන්  උඩට ආපු ,  වයිවාරන්න  බටන් තියෙන පොල්ලක් විතරමයි තිබුනෙ. ටික වෙලාවකින්  ජෙට් එකේ හොට පාත් වෙලා  ඩවුන්ද පල්ලං ගමන පටන් ගත්තා.  රෙද්ද්ක් ඇඳගෙන ඒ වීඩියෝ එක නං දාන්න බෑ.



දැං ඔහෙලා දන්නව නේද ඇයි බස්සො ප්ලේන් එලවන්නෙ නැත්තෙ කියලා. වැරදිලාවත් ඔහෙලා ගොඩ වුන ප්ලේන් එකේ කැප්ටන් බස්සෙක් නං, පටස් ගාලා බෙල් එක ගහලා බැහැලා , වෙන ප්ලේන් එකක නගින්න, ඈ?

බඹට පපට, බඹට පපට පට,පට, පට...


ඕං එහෙනං, අපි අපේ පොරොන්දුව ඉස්ට කොලා, ආයිබෝවංඩ. ආයෙ එන නත්තලට හමුවෙමු. හැමෝටම සුභ නවවසරක්!