Friday, July 23, 2021

හිතේ ඇඳුනු කෙටි කතාවක්

කාලෙක හිටන් හොය, හොයා හිටිය කෙටි කතාවක් හම්බ වුනා. නම "තනිකම", ලියල තියෙන්නෙ "කේයස්" යන අන්වර්ථ නමින් ලියපු සාගර පළන්සූරිය මහත්තයා. චායානුවාද කියන කැටගරියට අයිති මේ කතා වලට, මම කොහොමත් මනාපයි. ඔරිජිනල් කතාවෙ අදහස අරගෙන, ඒක දේශීයකරණය කරලා, තව ආරලු-බූරලු දාලා තමා ලියන්නෙ. ඔරිජිනල් බෙංගාලි සිත්තර පටියට, කොච්චර ධනාත්මක විචාර තිබුනත්, මේ කතාවෙන් මං ලබපු රසය, මට නං ලැබුනෙ නෑ.
ජැකා කොහේ අල්ලන්නද, අපෙ මැතිඳාගෙ නැට්ට
හුරේ රන් එකක් දුන්නා, යයි මැතිඳා හැටේ හැටට    

කතාවක් නියම විදිහට රසවිඳින්න නං, ඒ පරිසරය, ජීවන රටාව හොයල බලල, කතාවට බහින්න ඕනෙ කියල කිව්වෙ , අපේ ප්‍රාජේ මැතිදා. උන්නැහේ නං කෙලින්ම බහින්නෙ, වික්ටෝරියානු එංගලාන්තෙට. බැහැල, cobblestone ගල් අල්ලපු, ගෑස් ලාම්පු කණාමැදිරි එලි වැටිච්ච, ටොක-ටොක ගගා අස්ප කරත්ත යන, ගල් අඟුරු දුම සහ මීදුමෙන් වැහිච්ච ලංඩන් නගරෙ, අඳුරු පාරවල් දිගේ ඇවිදගෙන යනවා. ආන්න එහෙම යනකොට තමා, Jack the Ripper පස්සෙන් පන්නන් ඇවිත් තියෙන්නෙ. නෑ, අහුවෙලා නෑ, ඔය දෙන්නෙ හුරේ රන් එකක්.

මේ කතාවට බහින්න, එහෙම අමුතුවෙන් හොයන්න දෙයක් නෑ, ඔක්කොම අපි දන්න යටගිය දවස, හද්ද පිටිසර ගැමි ජීවිතය. බොහොම සැහැල්ලු කියවීමක්, බලන්න, මේ කතාව ගැනම, මම කලින් පෝස්ට් එකක් ලියල තියන නිසාත්, කව්දෝ පිංවතෙක් මහන්සි වෙලා කොටලා තියන නිසාත් ලින්ක් එක විතරක් දාන්නම්:

තනිකම - පිළිරුව - සාගර පලන්සුරිය(කේයස්)


මේ කතාවෙ, ඉන්න තැපැල් මහත්තයා අපේ ජීවිතේට සමීපයි, "ගොඩට ගත් මාළුවෙකු මෙන් , දියට ලු බළලෙකු මෙන් අමුපතනයන්ට නොසැසඳී අමාරුවෙන් කල් ගෙවයි". ඔහෙලට කොහොමද මන්දා, උත්තරධ්‍රැවය කිට්ටුවට ගිහින් දාපු, ඝර්මකලාපීය මූකං බස්සෙකුට නං ඒක හොඳටම සමීපයි. මේ කතාවෙ තැපැල් මහත්තයා හා සූටි අතර තියෙන සම්බන්ධය සංකීර්ණයි ඒත් සුන්දරයි. Agape Love කියන්නෙ ඒකට වෙන්ටෑ? "Who gives a hoot about love" කියපු බස්සෙකුට, මේක පැහැදිලි කරන්න තේරෙන්නෙ නං නෑ. කතාවෙ කියවෙනවා, නවසිය බර ගණන්වල ඈත අතීතයේ පවා " ඔන්-ලයින්" ඕඩර් කරලා, මිලදී ගැනීමේ තාක්ෂණය තිබ්බ බව. ඒ දවස්වල ඒකට "V.P" කියලලු කිව්වෙ. 



මේ කතාවට ලඟින් යන, සිත සසල කල, ඒත් සත්‍ය සිදුවීමක්, කාලෙකට ඉස්සර කියවන්න ලැබුනා. දුප්පත් නව යොවුන් තරුණියක් එනවා ගෙදරක වැඩකාර කමට. ගෙදර ඉන්න තරුණ හාම්පුතා දකිනවා, තරුණිය , ආසාවෙන් ඉංග්‍රීසි පොත් දිහා බලාගෙන ඉන්නව. වචනයේ පරිසමාප්තයෙන්ම මහත්තයෙක් වන ඔහු, ඒ පිළිබඳව විපරං කරනවා. තරුණියට ඉංග්‍රීසි බෑ. ඔහු ඈට  ඉංග්‍රීසි උගන්නනවා. කුස්සියේ වැඩ ඉවර කරපු ගමන්, තරුණිය බලාගෙන ඉන්නවා, තම ගුරුවරයා එනතෙක්. 

කාලය ගලාගෙන යනවා, ඉර පායනවා, මල් පිපෙනවා, බස්සො "හූම් " කියනවා. ඒ වෙනකොට විවාහක දුප්පත් තරුණිය, තම දරු දෙන්නා කම්කරු සැමියා ලඟ තියලා, රට යනවා. පැහැදිලිවම, දක්ෂ තැනැත්තියක් වෙච්ච ඇයට පිටරටදී සෑහෙන හොඳ රැකියාවක් ලැබෙනවා. ගෙවල් දොරවල් හදා ගෙන දියුණු වෙච්ච තරුණිය, කාලෙක පස්සෙ එනවා, තම ගුරුවරයව බලන්න. ඇවිත් දණ ගහලා වඳිනවා. බාල දැරියන්ට, ටිංකිරි කවන, " දැරිය කරේ" කියල, කොලේ වහල ගහන, " අනිත්‍ රටවල් වලට සාපේක්ෂව, අපේ අඩුයි" කියල ප්‍රකාශ නිකුත් කරන රටක, තාම "මහත්තුරුත්" ඉන්නවා කියන එක හිතට සැනසිල්ලක්.
Living is easy, eyes closed
ඉස්කෝලෙ යන කාලෙ පින්සලක් අතින්වත් නාල්ලපු බස්සෙක්ව, චිත්‍ර ශිල්පියෙක් කරන්න උනන්දු කලේ මේ කෙටි කතාවයි. පලවෙනි වෑයම නං, ලත් තැනම ලොප් වුනා. මෙදා පොටේ, ඔහේ තාම ඇදගෙන යනවා. යම්කිසි දියුණුවක් නැත්තෙමත් නෑ. මේ කතාවට චිත්‍ර කීපයකුත් තිබ්බ නං පංකාදුයි.

අද වෙනකොට ඩිජිටල් චිත්‍ර ශිල්ප තාක්ෂණය බොහෝ දුර ඇවිත් තියනවා. ඔයිල්, දිය සායම්, පැස්ටල් මේ ඕනෑම පින්සලක් තෝරා ගෙන, ඇත්තම කැන්වස් එකකට බොහෝ දුරට සමානව චිත්‍ර අඳින්න හැකියාව තියනවා. එකම අවුල, හෑන්ඩ්-අයි කෝඩිනේෂන් එක මොලේට පුහුණු කරවන එක. කෙලින් ඉරක් අඳින්න, කොන් දෙක හාවෙන්න වෘතයක් අඳින්න පුළුවන් වෙනකං, හොඳ චිත්‍ර අඳිනව බොරු.
මධ්‍ය කාලීන යුරෝපයේ, වෙළදාමෙන් ධනවත් වෙච්ච ඇම්ස්ටඩෑම් වගේ නගරවල හිටි "ඕල්ඩ් මාස්ටර්ස්ල" නව ඔයිල් පේන්ටින් චිත්‍ර කලාවක් බිහිකලා. ආලෝකය සහ අඳුර මුසු වෙච්ච මේ කලාවට ඇඳපු ප්‍රසිද්ධ චිත්‍රයක් තමා මේ " The Night Watch". මේ චිත්‍රයෙ, ඇඳුම්වල තියෙන කැටයම්, කොච්චර සියුම්ද, විස්තර සහිතද කියල දැක්කාම පුදුම හිතෙනවා. ඒක හරියට බලන්න මෙතනින්. 
Dutch Golden Age කියල හැඳින්වෙන මේ කාලයෙම, තව චිත්‍රයක් තමා මේ "The Milkmaid". නෑ, නෑ ටිංකිරි නෙමෙයි. මේ මේඩ් ගිණි තියාගත්තද කියල නං සඳහන් වෙලා තිබ්බෙ නෑ. චිත්‍රය හොඳින් බලන්න මෙතනින්.

සරල කාටූන් කලාවෙ ක්‍රමවේදය මෙයිට වෙනස්. වැඩේ ලේසි නිසා මට ගැලපෙන්නෙ ඒක. අපේ දේශීය කාටුන් කලාවෙ, මම කැමතිම සිබිල් වෙත්තසිංහ මහත්මියට. හොඳට බැලුවොත් පේනවා, ඇගේ කාටුන්වල , සරල බවට එහා ගිය දෙයක් තියනවා කියලා. ඈ භාවිතා කරල තියෙන්නෙ "මැදුම් පිලිවෙත." ඒ ඇඳුම් වල පවා , යම් පමණකට සියුම් මෝස්තර, විස්තර තියනවා. ඇගේ චිත්‍ර, සරල කාටුන් වලට වඩා ලස්සන ඒ නිසයි කියලයි මට හිතෙන්නෙ.

දිය සායම් වලින් චිත්‍ර ඇඳපු ඇය, මේ චිත්‍ර අඳින්න බොහොම මහන්සි වෙන්න ඇති. ඇයි, හැම මෝස්තරේම අතින්ම අඳින්න එපැයි? ඒත් ඩිජිටල් ආටිස්ට්ලට එහෙම අවශ්‍ය නෑ. මෝස්තර ටොන් ගාණක් ඉන්ටනෙට් එකේ තියන නිසා. කොපිකලා, ඇලෙව්වා, එච්චරයි. එකම අවුල, අවුල් කම්මැලිකමට බේත් ඉන්ටනෙට් එකේ නැතිකම විතරමයි.


Side Note: ඇඳුම් වලට මෝස්තර දැමීමෙ කලාවේ, 
තව ඉස්සරහට යන්න කැමති කට්ටියට:

Wednesday, July 21, 2021

බස්සාගේ පස්සා පැත්තේ අමාරුව

Colon cancer කියන්නෙ, මේ සාවියෙ බොහොම සුලභ දෙයක්. ඇයි කියල නං දන්නෙ නෑ, ඒත් ප්‍රතිශතයක් වශයෙන් සුද්දොන්ට වඩා කල්ලො අතර වැඩියි. එහෙමයි කිව්වට colon cancer සාධාරණ හාදයා, බොහොම ධනවත්, බලවත් අයටත් සුදු, කලු බේදයකින් තොරව සලකල තියනවා. බොහොම හෙමින් වර්ධනය වන කැන්සර් එකක් නිසා, නොදැනීම අන්තිම අදියරට වර්ධනය වෙන්න ඉඩකඩ තියනවා. එහෙම වුනොත්, බඩු බනිස්ම තමා.

මෙහෙ නිදහස් සෞඛ්‍ය ක්‍රමය සෑහෙන කාර්‍යක්ෂමයි කියන එක සාධාරණයි. එක ක්‍රමයක් තමා, තැපෑලෙන් එවන කැන්සර් ටෙස් කිට් එක. මම ඕක අවුරුදු ගාණක්  නොතකා ඇරියා. ඒත් මෙදා පොටේ, ඕන පු*ක් ප්‍රීති වෙසක් කියල සාම්පලයක් ඇරියා. ආවෙ නැතෑ රිසාල්ට් එක අවුල් කියලා?  අවුලා හොල්මන් වෙලා, අඤ්ඤකොරොස් වෙලා ගියා.ජනාධිපතිවරු, සිනමා තරු, ගායක-ගායිකාවො, රැජිණියොන්ට බැස්ටිය දීපු මේ කැන්සරයාට , සඤ්ඤක බස්සෙක් කියන්නෙ නතිං. එහෙන් පවුලේ ඩොකා කතාකරලා බැන්නා, ඇයි ෆෝන් එක ආන්සර් කරන්නෙ නැත්තෙ කියලත්. විෂය භාර වෙදා කතා කරයි, ආන්සර් කරපිය කියලත් කිව්වා. ඕං ඉතිං අසරණ සඤ්ඤක පක්සියා එදා හිටන් ෆෝන් එකේ වයිබ්‍රේශන් ඔෆ් කරලා, ෆුල් ඇලට් එකේ හිටියා. ආවා කෝල් එක සඳුදා පාන්දර.  උදේට තාම කෑවෙ නෑ කිව්වම, කිව්වා හෙට 12.30pm එන්න කියලා. 

හපෝයි විඳපු දුකක්! දවස් එකහාමාරක් කෑමක් නෑ. ඊට හපන් බඩ හෝදන්න දීපු බෙහෙත. යනවා යෑමක්  වක්කඩ කැඩුව වගේ, තනිකරම යන්නෙ වතුර. අපාරාදෙ කියන්න බෑ, හෝතම්බුවා මාව එක්කන් ගියා ක්ලිනික් එකට. ප්‍රයිවෙට් කිලිනික් එකක්, ගෙවීම ආණ්ඩුවෙන්. මෙහෙ හන්දි ගානෙ චැනල් මාපිල්ලු නෑ, ප්‍රයිවෙට් ලැබ් , ක්ලිනික් වලින් ලෙඩාගෙන් සල්ලි ගන්නෙ නෑ. එකම වෙනස් දේ දත් දොස්තරලා විතරයි, උන් නං කෙලින්ම ගලවන්නෙ "දත" ම තමා.  මම ගිය තැන, බලාපොරොත්තු වුනාට වඩා ඉහල, සුහද වෘතීයමය සේවයක් ලැබුනා. ඇඳුම් ගලවල ලෝගුවක් ඇන්දුවා. කට්ටක් අතට ගහලා, අනික් අතට ප්‍රෙෂර් බලන එක දාලා. දැම්මා ඇඳකට.

දැන් පක්සියා ඉන්නවා, හුඹහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ. ලස්සන නේස් නෝන කෙනෙක් ඇවිත් ඔක්සිජන් බටයක් නහයට දාලා, ප්‍රෙෂර්, ලේ වල ඔක්සිජන් ලෙවල් දෙපාරක් බැලුවා. ඩොකෙක් ඇවිත් කිව්වා, බොට දැන් නින්ද යයි, ඇහැරෙන කොට ගේම ඉවරයි කියලා. තව ඩොකෙකුත් ඇවිත්, නේස් නෝනෙත් එක්ක බස්සව පැත්ත පෙරලුවා. කියන්න ලැජ්ජයි මහත්වරුනි, බකුසු පස්ස එලියෙ. පලවෙනි ඩොකා මොනවද විදිනව විතරයි මතක.

ලස්සන නේස් නෝනෙ, චට පට ගාලා කම්බුලට ගහලා බස්සව ඇහැරෙව්වා. ඔහෙලට කියන්න, ගෙදර බුදියෑව්වට වඩා සනීපෙට නින්ද ගිහින් තිබුනා කියහංකො. ඩොක්කු දෙන්නගෙන් එකෙක් ඇරියා කියල නං බුදු ෂුවර්. මම හිතාගෙන හිටියෙ, බලන එක විතරයි කරන්නෙ කියලා. උස ඩොකා ඇවිත් කිව්වා, කැන්සර් නෑ, ඒත් තිබිච්ච කුඩා ගැටිති දෙකක් අයින් කලා කියලා. ඒ ගැටිති පසු කාලෙක කැන්සර් වලට වර්ධනය වෙන්න ඉඩ තියෙනව කිව්වා. ආයෙ අවුරුදු පහකින් එන්න කියලත් කිව්වා. 

මම එන ගමන්, ලස්සන නේස් නෝනෙට කිව්වා " මම ආයෙ අවුරුදු පහකින් ඔයාව බලන්න එඤ්ඤං " කියලා. එතකොට අනිත් නේස් හයියෙන් හිනාවෙලා කිව්වා " Then, it's a date" කියලා. ඩොකා මට කන්න එපා කියල කිව්වෙත් නෑ, මම ඇහැව්වෙත් නෑ. ගෙදර ඇවිත් ඇදලා ඇරියා ඉඳි ආප්ප, පූරි, වඩේ පාරක්. පස්සෙ තමා ඉන්ටනෙට් එකෙන් බැලුවෙ. එතකොට මේං කියනවා, සර්ජරි එකට පස්සෙ සැහැල්ලු ආහාර ගන්නලු. අපේ බඩවල් වලට "කමාන්ඩෝ ට්‍රේනින්" දීලා තියෙන නිසාද, කොහෙද බඩ යාන්තං ඤුරු, ඤුරු ගෑවා විතරමයි. බත් කෑවෙ පස්සෙන්දා.

බොලා දැන් කියනව නෙව " ඇහුනම නං කියන්නෙ පස්සා පැත්තෙ අමාරුවක් නෑ කියලයි" වගේ කතන්දර. ඕං , රාළෙ මෙදා පොටේ නං ඒ අමාරුවත් සුවයි,  ඈ? බොරුවක්, මුසාවක් කියනව නෙමෙයි, මැඩිකල් රිපෝට් එකකුත් තියෙනවා.

පිදුම: ආයෙ ලියන්න මතක් කරපු "වම්හ"ට

ඇත්තමයි, සාලාමි මං කීබෝඩ් එකට විතරමයි කෙටුවෙ!

     ඩ්‍රැකියා                    වම්හ                    රියලා

නින්ද තරම් සොමියක් කවියෙකුට වෙන නැතේ
ගැහුවොත් ගැහැව්වමයි.....
පුස්තකාලෙමයි කාලය ගත වෙන්නේ.,ඒකයි..


බෙල්ල බේරා ගන්ට ඇඳපු, නාහෙ වෙනස් ඩ්‍රැකී

I pulled the trigger, again!
Veikk A15 Pro

Tuesday, July 6, 2021

ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?

හෝතම්බුවා පාවිච්චි කරන්නේ රජකාලෙ කම්පූටරයක්. දුවන්නෙ වින්ඩෝස් 7, එක දවසක්, ඉන්ටනෙට් සම්බන්ධ වෙන්නෙ නෑ  කියල කිව්වා. මම පාස් වර්ඩ් වෙනස් කරල කියලත් චෝදනා කල නිසා, මම ගියා උන්දැගෙ කම්පූටරේ බලන්න. ඕං ඉතිං, ගිහින් රී-ස්ටාර්ට් කරල එහෙම වින්ඩෝස් ලෝඩ් වෙනකං හිටියා. පස්සෙ මං කිව්වා "ගිහින් තේකක් බිලා එඤ්ඤං, ලෝඩ් වුනාම කියපං" කියලා. ඒක එහෙම වුනාට , ඒ  හෝතම්බු කම්පූටරේට වෙන ඉහෙන් බහින ලෙඩක් නෑ. ඩෙස්ක්ටොප් එකේ පැත්තක "This copy of Windows is not activated" කියන වෝටමාක් එක පවා තියනවා.
ඒකටත් එක්ක බකුසු  කම්පූටරේ. උන්දෑ උපන් ගෙයි ලෙඩා.ඔය හතිලව්ව, අනිවා සුමානෙකට සැරයක්වත් කහිනවා, කාරනවා, හිරවෙනවා. ඔහොම වෙච්චදාකා, මම නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්න කොට ඇයි කියල, අහැව්වා හෝතම්බුවා. මම කිව්වා කම්පූටරේ මලා කියලා. ආයෙ කිව්වා "බලපං බං, අර උඹේ ගල් යුගේ මෝල තියෙන්නෙ යස අගේට? අපට තමා පුෂ්, පුෂ්" කියලා. හෝතම්බුවා "තූ.තූ,තූ" කියල තුන්පාරක් කෙල ගැහැව්වා.

වින්ඩෝස් 11 අත්හදා බලන්න ගිහින් වෙච්ච ඇබැද්දිය ගැන මම කිව්ව නෙව? ඒ ලෙඩේ හොඳ වෙන කොටම, දැන් ආයෙ වෙන ලෙඩක් ආව. මම භාවිතා කරන්නෙ මල්ටිපල් බූට් සිස්ටම් එකක්. එදා වේල ටුවර්ස් දුවන වින්ඩෝස් 10 එකයි, එයාගෙ බැකප් එකයි තව ඔන්ලයින් බැංකු සඳහා කැටලීනා එකයි කැටලීනාගෙ බැකප් එකයි විතරමයි. 

හොඳට තිබ්බ කැටලීනා හිටපු ගමන් ලෙඩ ඇඳට වැටුනා. බොහොම කඩිසර ලෙස වැඩ කරමින් හිටි උන්දෑ, හිටපු ගමන් නොන්ඩි ගහන්න ගත්තා. ඊට පස්සෙ ඉන්ටනෙට් නැතුව ගියා. ඇත්තටම මේක ලෙඩ දෙකක්. ඕකට කියන්නෙ මල්ටි බැරල් මයලෝමා වගේ බරසාර නමක් , මහිතේ? ලංකාවෙ නං, ඔය වගේ "ඉහල පැලැන්තියේ" ලෙඩක් හැදුනාම "ආසිරි එකේ නැවැත්තුවෙ මෙයා, සේලයින් එකට විතරක් විසිදාහයි" වගේ කතා කියල ආතල් ගන්න ක්‍රමවේදයක් තියනව නේද?

එකම හොඳේ, කැටලීනාට තියනවා "ටයිම් මැෂීන්" එකක්. අනිත් අවුල තමා, මම වින්ඩෝස් 11 දාන්න බයෝස් සෙටින් වෙනස් කරපු එක. සෑහෙන තොයිලයක් නටලා ලෙඩේ හොඳ කර ගත්තා. බයෝස් වල වෙන, වෙනම "යූසර් ප්‍රොෆයිල්" හැදුවා. එකම අවුල, රෙස්ටෝර් කරල. "මම අනිත් ඔක්කෝම හැදුවා, ටයිම් මැසිමෙ පාටිශන් එක උඹම රෙපයාන් කරගනින්" කිව්ව එකයි. ඒක නොකර ටයිම් මැෂීමෙ මෝල හිටින්න ඉඩ තියනවා. 

ටයිම් මැසිමෙ 850Gb තියනවා, මට එච්චර කොපි කරන්න ඉඩක් එහෙ නෑ. වින්ඩෝස් වලින් AFPS ෆයිල් සිස්ටම් කියවන්න බෑ. මෙතෙන්දි මට උදව්වට ආවෙ මෙන්න මෙයා: Paragon Hard Disk Manger වැඩ නං හරිම හෙමින් , දැන් වරු ගානක් තිස්සෙ තාම බැකප් ගන්නවා. ඒත් නිකං ඉන්න මට, ඔහොම මඳෑ!

මේක එයාලගෙ 25 වෙනි ඇනිවසරි එකට නිකං දෙන එකක්. බැකප් සහ පාටිෂන් මැනේජර් දෙකම එකට තියනවා. මගේ "එදා වේල" බැකප් ඇප් එක Macrium Reflect වුනත්, මේ කරන වැඩේ එයාට කරන්න බෑ. මම හැමදාම Giveaway of the day   ගිහින් බලනවා. නිකං දෙන හැම එකම නොගත්තාට, ඉඳලා හිටල හරි, මේ වගේ වැදගත් එව්වත් නිකං ලැබෙනවා.

හෝතම්බුවා මට උගේ කිසිම දෙයක් හදන්න දෙන්නෙ නෑ. මේ ලඟදි කියනවා, මම උන්දැගෙ කැඩිච්ච ඇම්ප්ලිෆයර් එක උස්සන් දුවනවා දැක්කලු හීනෙන්. ඔය කතාව පොඩි කාලෙදි අපේ ගෙදර ඈයොත් කියල තියනවා, මට යමක් අහුවුනොත්, ඒක ඉවරයි කියලා. හැබෑටම, ඔහෙලටත් එහෙම හිතෙනවද, ඈ?

ඉන්ට-ගැලැක්ටික් "ටග් ඔෆ් වෝ" කොම්පිටිෂන්, රනරප් සෑ...ර්!

වීඩියෝ එක බලන්න "මෙතනට" වලට කොටන්න.

Sunday, July 4, 2021

මැකෑනිකල් කී-බෝඩ්

දැන් කම්පියුටර් කස්ටියගේ අළුත්ම විනෝදාංශය කී බෝඩ්ය. කී බෝඩ් කීවාට මෙව්වා නේක වර්ග සුවිච් තියෙන මැකෑනිකල් කී බෝඩ්ය. බොහොම වියදම් සහිත විනෝදාංශයක් නිසා, බස්සා කාලෙක සිටම කුරුමාණන් අල්ලමින් සිටියා පමණය.

ඒත් මෙන්න මේ උලව්ව, ගෙඩි සුපියල් හතලිහට, ටැක්ස් නැතුව, ගෙදරටම ගෙනත් දෙනවා කීවාම නං උන්දෑ නන්නත්තාර වුනේය. අවසානයේදී බකමූණාත් පතුරම හැපුවේය( bit the bullet).

නම: Royal Kludge RK71

මොඩලය: 71 key 70% LED Wireless Mechanical Gaming Keyboard

පහසුකම්: Wireless(Bluetooth) + Wired (detachable USB C), single colour, but individual LED illuminated keys, side RGB LED strips, double shot key caps.

තනි අඟිල්ලෙන් කොටනා අපිට එතරම්ම ප්‍රයොජනයක් නැතත්, සීරියස් ගේම් ගහනා අයට සහ කම්පුටර් වෘතීයකයන්ට නං නරකම නැත. මේකේම RGB වර්ශන් එකකුත් වැඩි ගාණට ඇත. 

ගේම් මෝඩ් එකේදී මැක්‍රෝ 4 ක් දාගත හැකි වුනත්, අත්හදා බැලුවේ නැත. මදය ගලවා, ටිකක් වැඩි ධාරිතාවක බැස්ටියකට මාරු කිරීමත්, සද්දය අඩුකිරීමට ඇතුලට ෆෝම් එබීමත් සිදු කරන ලදී. චීනෙන් කලින් ගෙන්වා ගත් USB කේබලයක් මගින්, USB C පෝට්එක මැග්නටික් කිරීමත් පමණක් සිදු කරන ලදී. Windows සහ MacOS දෙකටම භාවිතා කල හැක. මේ සඳහා යම් ආකාරයක Keyboard layout re-mapping ක්‍රමයකට පහසුකමක් ඇත. custom  key  re-mapping කරන විදිහක් ( QMK configurator) තිබුනත්, ඒ "හරාකිරි" ක්‍රමවේදයේ අවශ්‍යතාවයක් දැනට නැත.

මේ කී-බෝඩ් විනෝදාංශය කරන අය, පාට-පාට කී කැප් දමනවාය. ඒත් ඒ කී කැප් සෙට් එකක්, කී-බෝඩ් එක මෙන් තුන් ගුණයක් පමණ වෙන නිසා, ඒ අදහස සරල බස්සොන්ට අදාල නොවේ. 

නිගමනය: වියදම් කල මුදලට, සරිලන වටිනාකමක් ඇති මුත්, අත්‍යාවශ්යම දෙයක් නොවේ. ඒත් දවස පුරාම කී-බෝඩ් කොටන හාදයෙකුට නං පාඩුවක් නැත.

වීඩියෝවේ ඇති කී-බෝඩ් එකට වඩා අළුත් වර්ශන් එකක් මට ලැබී ඇති බව පෙනේ. මගේ කී කැප්ස් ඩබල් ශොට් බව පින්තූරයෙන් පැහැදිලි වේ. ගලවා ඇති කී කැප් එකේ, කලු සහ සුදු, ප්ලාස්ටික් තට්ටු දෙකක් ඇත. සුදු ප්ලාස්ටික් කී කැප් එකේ කලු පින්තාරු කර ඇති එකට වඩා ඩබල් ශොට් කී කැප්ස් මිළ වැඩි නමුත්, හොඳ වන්නේ, කී කැප් ගෙවෙන විට හම යන්නේ නැති නිසාය.

"මැෂින් ගන්" ඩ්‍රැකීට උපහාරයක්:😊


වීඩියෝ අනුග්‍රහය: යූ-ටියුබ්

Wednesday, June 30, 2021

වින්ඩෝස් 10 නැතුවම බැරි ආවුද

වින්ඩෝස් 11 bandwagon එකට පනින්න කුරුමානං අල්ලන්න ඉස්සෙල්ලා, මට හිතුනා දැනට තියෙන අටමඟුල(Windows 10) වඩා සුසර කරගත්තොත් නරකද කියලා? Windows 10 වල සමහර ප්‍රශ්ණ, උපන්ගෙයි දෝෂ. එව්වා අපට තියා, පැන්සොං ගිය ගේට්ටුවා මහතාටවත් හදන්න බෑ. ඒත් මං මේ කියන්න යන්නෙ, සැහැල්ලු ඒත් ප්‍රයෝජනවත් යුටිලිටි ඇප්ස් ගැන.

මේක එක්තරා ආකාරයක බෙදා-හදා ගැනිල්ලක්. මා ගාව තියන ඒවා මං කියඤ්ඤා, ඔහෙල ගාව තියෙන සැට් එක කොමෙන්ට් වල දාන්න ඈ? 

1. Keyman DeskTop 14.0  - completely free

තනි ඇඟිල්ලෙන් සිංග්ලිෂ් කොටන, හුදී ජනයාට මේක ජීවිත ආරක්ෂණයක්. මේක දාගෙන Sipon Phonetic Sinhala Keyboard එකත් එක්ක හාමු කරල, ෂෝට්-කට් කී එකක් දාගත්තාම, වෙන ආයෙ මොනවද?

2. QuickLook - මම Windows Flie Explorer එකේ preview pane එකට බොහොම කැමතියි. ඒත් වින්ඩෝස් ඉස්ටෝරුවෙ QuickLook ඇප් එක වෙනම ගේම් එකක්.  Flie Explorer එකෙන් අදාල ෆයිල් එක හයිලයිට් කලා, ස්පේස් බාර් එක එබුවා, එච්චරයි. වීඩියෝ, නොයකුත් පිංතූර ෆෝමැට්, Text, PDF ඕන එකක් පෙන්නනවා. මතක ඇතුව, GitHub page එකට ගිහිල්ලා, Office Viewer සහ EpubViewer Addon දෙකත් දාගන්න. දැන් ඉස්සර වගේ පිංතූරයක් ෆුල් ෆ්‍රේම් බලන්න ( ඔව්, ඔව් නෝටි පිංතූර තමා, ඇයි අවුල්ද?) නටන්න ඕනෙ නෑ

3. ඊළඟ එක Jarvis . MacOS වල spothlight  එක වගේ එකක්. Windows search තියනව නං තමා, ඒත් ......මේක සර්ව සම්පූර්ණ නැතිවුනාට ඊට වඩා නං හොඳයි. MIT එකෙන් එන එකක් නෙව, නරක වෙන්නෙ කොහොමද?

4. මම ඉස්සර පාවිච්චි කලේ WinDirStat. ඒත් ඒක දැන් තවදුරටත් අප්ඩේට් වෙන්නෙ නෑ. හොඳ වුනාට, හරිම ස්ලෝ. තාම තියාගෙන ඉන්නවා, ඒත් දැන් පාවිච්චි කරන්නෙ WizTree. නිතරම අප්ඩේට් වෙනවා වගේම, පටස් ගාලා ලෝඩ් වෙනවා. අපි හැමෝටම සමහර වෙලාවට හිතෙන දෙයක් නෙව " හෑ, ගිය සුමානෙ යස අගේට ඉඩ තිබ්බා නෙව? මොකාද යකඩෝ මගේ හාඩ් ඩිස්ක් එකේ ඉඩ ඔක්කොම කාපු බූතයා" කියලා. ආන්න ඒක බලාගන්න . කියාපු භාණ්ඩෙ තමා මෙයා.

Bonus: NotePads , EasyOffice සහ OnlyOffice 

අදට ඔය ඇති. සෙස්ස පස්සට. හා, දැන් බලලා හොර බළල්ලු වගේ ලුහුටලා යන්නෙ නැතුව, මොන හත්තිලව්වක් හරි ලියපල්ලා.

Sunday, June 27, 2021

කරුමෙට කකුල් 8 යි, ජනේල 11 යි

මේ සවස්වල, මයික්‍රොසොෆ්ට් කස්ටිය, වින්ඩෝස් 11 ගැන හරිම පුරාජේරුව. හතරැස් බෝඩරේ රවුං කරනවලු, තොරොම් බෝල කරත්තෙ වගේ සුකුරුතං එල්ලනවලු, එක විකාරයයි. හා, හොඳයි, ඔහෙලම හිතල බලාන්ට... ඉත්තෑ අමාරුවක් තියන බස්සෙකුට, අහගෙන ඉන්න පුළුවන් කතාද මෙව්වා?

සුපුරුදු බසු චාලිත්තරේ ලෙසටම, ඉස්සෙල්ලම බෑව වින්ඩෝස් 11 ලීක් වෙච්ච කොපිය. ඊලඟට ආරක්ෂක ක්‍රමවේද. වෙනම SSD drive එකකට, restore කලා අලුත්ම බැකප් එක. ගියා BIOS වලට, සිලෙක්ට් කලා TPM 2.0. හරි දැන් සටනට ලෑස්තියි.

කිසිම අතුරු ආබාධයක් නැතුව, වින්ඩෝස් 11 ඉන්ස්ටෝල් වුනා. පෙනුමත් හොඳා. බටර් වගේ ස්මූත්. ගත්තා බැකප් එකක්. ඒකත් ගිණි කසයා වගේ ඉක්මනට ඉවර කලා.මෙදා පොටේ, පරණ වැරදි වලින් මයික්‍රොසොෆ්ට් පාඩම් ඉගෙන ගෙන වගේ. ටිකාක් විතර එහාට, මෙහාට ඇවිදලා බැලුවා. කොටන්න තියෙන හැමතැනටම කෙටුවා. අප්ඩේට්ස් අවුල්, ඒත් ඒක තේරුම් ගන්න ඇහැකි නෙව? Phew......කියල හොඳ හුස්මක් ඇරලා, හිතාගත්තා ඔයින් ගියා මඳෑ කියලා. 

කෙලිය පටන් ගත්තෙ, ඊට පස්සෙ නෙව? ඉස්සෙල්ලාම රී-බූට් කරන කොට කිව්වා, Drive errors තියනවා, හදන්නද කියලා? මම හා කිව්වා. එක Drive එකක් හදලා, දෙවෙනි එකත් හැදුවා. තුන්වෙනි එක හදන කොට, මට ඒක එච්චරම ඇල්ලුවෙ නෑ. මම එබුව රී-සෙට් බටන් එක. හා, ඔය කෙලලා තියෙන්නෙ, තාප්පෙට?

වින්ඩෝස් 11 සහ වින්ඩෝස් 10 ඩ්‍රයිව් දෙකේම බූට් සෙක්ටර් වලට කෙලලා. පෙබරවාරි සිට අද දක්වා බැකප් ටිකටත් සබ්බුව දීලා. ඒත් අපි සැලෙයි ඕවට? දැම්මා ජනවාරි බැකප් එක එකකට, වින්ඩෝස් 11 බැකප් එක අනිකට. හරි නේද?  නෑ නෙව, එතකොටයි දැක්කෙ, මට BIOS වලට යන්න බෑ කියලා.

වින්ඩෝස් බූට් වෙනවා, BIOS යන්න ගියාම ස්ක්‍රීන් එක බ්ලෑන්ක් යනවා, එක සැරයක් කිව්වා, ග්‍රැෆික් කාඩ් එකේ UEFI BIOS , VGA mode  එක සපෝට් කරන්නෙ නෑ කියලා. motherboard  එකේ CMOS රී -සෙට් කලා, පරණ ග්‍රැෆික් කාඩ් එක දාලා බැලුවා, නතිං ඩුයිං. 

බස්සා දැන් ඉන්නවා ලාවුළු කෑ රිලව වගේ විරිත්තගෙන, ඔලුව කස-කස. මේ වෙලාවෙ, මගෙ ඔලුවට එනවා බොහොම භයානක සිතිවිලි: ග්‍රැෆික් කාඩ් එකේ BIOS රී-ෆ්ලෑෂ් කිරීම වගේ.  පරණ ග්‍රැෆික් කාඩ් එක ගහලා බැලුවට පස්සෙ, ඒ අදහස අත්හැරියා. ඊළඟට motherboard  එකේ BIOS අප්ඩේට් කිරීම. ඒක එච්චර අමාරු දෙයක් නූනත්, ප්‍රශ්ණෙ වුනේ, ඒක කරන්න, BIOS ස්ක්‍රීන් එකට යන්න බැරි එකයි. මගේ අවුලට, ජාල විශේෂඥයො, කෙලින් උත්තරයක් දුන්නෙත් නෑ. පැය 6-7 කට පස්සෙ, මමම හොයාගත්තා, වින්ඩෝස් වලින්ම, BIOS අප්ඩේට් ඉනීශියේට් කරන හැටි. වැඩේ කිරි ගහට ඇන්නා වගේ හරිගියා, අලුත් බෝඩ් එකක ගාන, සුපියල් 75 ඉතුරු වුනා. 

මට තේරෙනවා ඔහෙලගෙ හිතට ආපු ප්‍රශ්ණෙ. ඒත්, වින්ඩෝස් 11 එනකොට, අපි ලෑස්ති වෙලා ඉන්න ඕනෙ නේද? අනික, බලාන්ට දැන් ඔය හිම කඳු නගින කස්ටිය. යසට කාලා, බීලා ඉන්න පුළුවන් එකේ, මොකට අඞු කඩාගන්න කඳු නගිනවද, නේද? ඒක දන්නෙ හිම කඳු නගින අයම තමා, ඒකත් වෙනමම ආතල් එකක්

කරුමෙ ඩබල්. පින සිංගල්!


තාක්සන සහය:

Thursday, June 17, 2021

මලබාරි නයිට්ස් සහ ආඩතෝඩ එළුවා

ආඩතෝඩ කියන එකේ තේරුම "එළුවන් නොකන" කියලා අහල තියනවා. මේක දෙමල වචනයක්ලු. ඇත්ත නැත්ත බලන්න, එලුවෙක්ගෙන්  ඇහැව්වාම, ඌ කියාපි එහෙම ගහක් දැකලා තියා අහලවත් නෑ කියලා. අද බේතකට ගන්නවත් අඩාතෝඩ ගහක් නැතුව ඇති තමා. හැල-යක්ඛ බාසාවෙන් පාවට්ටා , අගල් ආධාර කියලත් කියනව වුනාට, මූකලං බස්සොන්ට එව්වා ආඩතෝඩම තමා.

අපේ වත්තේ, ආතා හිටවපු ආඩතෝඩ ගහක් තිබුණා. ඉඳලා හිටලා, ආයුර්වේද බෙහෙත් වලට ගන්නවා ඇරුනාම වෙන ප්‍රයෝජනයක් ගැන දන්නෙ නෑ. 

බකුසු අප්පුච්චා දුන්නා එකටත් බැස්ටිය. අපරාදෙ කියන්න බෑ උන්දෑට ගස් පේන්න බෑ. දවල්ට කාලා, පොරවත් අරං එනකොට ගස් වෙව්ලනවා. එදාට ඉතිං තවත් අසරණ ගහක් නේනගං යනවා. රඹුටන් ගහ, බෙලි ගහ, වැලි අනෝද ගහ, මුරුංගා ගහ සහ කතුරු මුරුංගා ගහත් , තව අඹ ගස් කීපයකුත්, උන්දෑ අතින් නිවන් දැක්කා. ඉස්සර ඉඩම් වලට නම් තිබ්බා, අපේ ඉඩමෙ නම "දෙල් ගහ වත්ත." . වත්ත මැද්දෙ, ලොකු බෙනයක් තිබ්බ,  තැම්බුවාම පිටි වගේ වෙන ගෙඩි බර වෙච්ච රටදෙල් ගහක් තිබ්බා. එයාටත්, අපේ ලොක්කගෙ පොරෝ පාරෙන් බේරෙන්න බැරි වුනා. 

බෙන වලට ගස් වලට ආදරය කරපු බස්සෙක් වෙච්ච මම, මේ ගැන ලොක්කත් එක්ක කොච්චර හබ කලත්, එයා ලොක්කා නිසා මම පැරදුනා. පස්සෙ , කාමරංකා ගහත් වැලිගංපිටි ගියා. ගස් හිටෙව්වෙ ආතලෑ පරම්පරාව, අපේ අප්පුච්චා ගස් හිටෙව්වද කියලා, කිසිම මතකයක් මට නෑ, ඒත් එයා ගස් කපන්න නං දෙයියා. ඒකට කිව්වෙ "වත්ත සුද්ද කරනවා" කියලයි. අපේ ආතා බිව්වෙ සුරුට්ටු. මේසෙ යට ඉඳලා, වැටිච්ච අප්පුච්චාගේ සිකරැට් බට් එක උරලා මාට්ටු වෙලා ගුටි කාපු බකුසු පැටියාට, වේලිච්ච කොල වලින් සුරුට්ටු ඔතන්න පිහිට වෙච්ච, අපේ ආඩතෝඩ ගහ අදටත් ආදරෙන් සිහියට එනවා.

මේක ගස් ගැන කතාවක්මත් නෙමෙයි. හිංගල බාසාවෙ බොහෝ වචන වල දකුණු ඉන්දියානු සම්භවයක් තියනවා. තමිල්නාඩුවට අල්ලපු ප්‍රාන්තය කේරලයෙ ඉන්නෙ මලබාරි. අපේ අප්පුච්චාගෙ දකුණු ලකේ ගම්මානෙ තිවුන කන්දෙ විහාරයෙ, ගල් පිලිමෙ හදන්න මලබාරි ගල්වඩුවො ආ බව පැරැන්නො කිව්වා. මේ මලබාරි, මතුරපු ගල්කටු වලින්, පහසුවෙන්ම පිලිමය නෙලුව බවත්, කලු බළලෙක් ආ නිසා, දවසක් උයපු කෑම ඔක්කොම විසිකල බවත් කිව්වා. පිලිමෙ නෙලන්න කලුගල ගේන්න, අලි කරත්තයක් පාවිච්චි කලා කියලත් කිව්වා.

ආඩතෝඩා වගේම මලයාලිත්, ලංකාවෙ හිඟයි. ඒත් දෛවයට අනුව, අරාබියෙ මරුකතරෙදි මට මේ අපූරු මලයාලි /මලබාරින්ව ඇසුරු කරන්න චෑන්ස් එකක් ලැබුනා.වෙළදාමට දක්ස, මේ මලබාරීන් කෙතරම් උගත් වුනත්, අතට අහුවෙන ඕනම රස්සාවක් පිලිගන්න මැලි වුනේ නෑ. මේ මලබාරින් ගැන අනිත් ඉන්දියන්කාරයො කියන කතාවක්.

නීල් ආමස්ට්‍රෝන් හඳට ගිහින්, කොඩිය හිටෙව්වාම, ඇහුනලු සද්දයක්. බැලින්නං මලබාරියෙක් "චායි,චායි" කිය, කිය තේ විකුණනවලු. මලබාරින්ගෙ පෙනුම විතරක් නෙමෙයි, කේරලයෙ පරිසරයත් ලංකාවට සමානයිලු. එක මලබාරියෙක් හිටියා, මේකා මාත් එක්ක හිටපු ගමන් උන්ගෙ බාසාවෙන් කියෝගෙන යනවා. මගේ ඇරිච්ච කට දැක්කාම, සොරි කියලා සුද්දගෙ බාසාවට මාරු වෙනවා. කේරලෙත්, මූකලං බස්සො ඇති නේද? කාන්තාරෙක තියෙන උතුරන ලෝදිය හැලියක් වගේ තිබ්බ,ඒ කර්මාන්ත ශාලාව, ක්ෂේම භූමියක් වුනේ, එහෙම හමුවුන මිත්‍රයො නිසා තමා. (උද්දච්ච, කම්මැලි අරාබි කාරයොගෙයි,යම පල්ලොන්ගෙයි වෙනසක් නොපෙනුන නිසා තමා, මම සල්ලි ටිකක් හොයාගෙන, එතනින් චුත වුනෙ) 

අනිත් හාදයා කුමාර්. එච්චරම තාක්ෂණික දැනුමක් නොතිබ්බාට, උපන්ගෙයි විදුලි කාර්මිකයා. කතා කරන විදිහ අහන් ඉන්න ආසයි. මාත් ඉතිං ආතල් එකක් ගන්න මෙහෙම අහනවා: ආ, කුමාර් ඉතිං දැන් වැඩ ඉවරවෙලා මොකක්ද කරන්නෙ?

ම්ම්ම්ම්.....ගොයිං ස්ට්‍රේට් හෝම් (අතින් කෙලින් යන හැටි පෙන්නීම), ආප්ටර්(ඔලුව ඔරලෝසු බට්ටාසේ වැනීම) වන් බාත, වන්  ඩ්‍රින්ක, වන් ෆුඩ

අනිත් හාදයා, සෝමෂේකර් "සෝමු" බාස්කරන්. මලයාලි බාසාව කතා කරන්න නහයත් පාවිච්චි වෙන බවත්, "ඩ්" යන්න වෙනුවට "ඩ" යන්න, කාඩ-බෝඩ ලෙස කියවෙන බවත් , කිව්වෙ සෝමු තමයි. Industrial electronics ගැන පලපුරුද්දක් නොතිබුණ මට, කර්මාන්ත උපකරණ තාක්ෂණය, ගුරු මුට්ටි නැතුවම ඉගැන්නුවෙ එයා තමා. ඉන්දියාවෙ න්‍යෂ්ටික විදුලි බලාගාරයක ,කලින් වැඩ කරල තිබුණ ඔහු, ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වගේම, දක්ශ ගුරුවරයෙක් වුනා. යාබද ප්‍රාන්ත නිසා, දෙමල සහ මලයාලම් එක වගේ උනත්, සමහර යෙදුම් වෙනස් කියලයි, ඔහු කිව්වෙ. මම හාරාඇවිස්සුවාම ඔහු මෙහෙම කිව්වා.

මලයාලි බාසාවෙන් , මම ඔබේ "සාරම්" ට ආසයි කියන එකෙන් අදහස් වෙන්නෙ, මම ඔබේ කතා විලාසයට ආසයි කියන එකලු. ඒක දෙමලට හැරෙව්වාම " මම උඹේ ගෑණිට ආසයි" වෙනවලු. බඩුම තමා!

පොල්. තේ, රබර් තියෙන, වලව්වල අලි ඉන්න, සරම් අඳින, ලංකාවට සමාන, කේරලය බලන්න යන්න මම "බකට් ලිස්ට්" එකට දාගත්තා.දුර ඉඳලා සුන්දර කේරලය අත්විඳින්න ඕනෙ නං, මෙන්න මේක බලන්න:

ඒත් අපේ ලාල් කාන්ත සහෝදරයා(brother from a different mother) මෙහෙම කියනවා නෙව?"මම ජිනීවා වල ලෝක කම්කරු සම්මේලනයට ගියා, ඔය පිටරට ගියාම, අපි නවතින්නේ අපේ පක්ෂ සාමාජිකයින්ගෙ ගෙවල් වල නෙව? මට පෙන්නන්න බැරි වැඩේ, උන් පණදාගෙන හදලා, කිරිබත්, ලුණුමිරිස්, ඇඹුල්-තියල් වගේ කෑම මට කව්වන්න හදන එකටයි. මම කෙලින්ම කියනවා" මම මෙහෙ ආවෙ, ලංකාවෙ කෑම කන්න නෙමෙයි, මෙහෙට ආවේනික කෑම කන්නයි"" කියලා. බලාගෙන ගියාම, ඒ කතාවත් ඇත්ත නෙව? ඒ සහෝදරයට, ධනපති කෑම රස බලන්න විචිකිච්චාවක් ආව, එච්චරයි. ඕං ආයෙත් අවුල් වුනා, ඒ සැරේ මගේ කේරල ගමන, බකට් එකේ ගැට්ට උඩට නැග්ගා.

එකම අවුල, අපි වගේ සිම්පල් බස්සෙකුට විචිකිච්චාවක් ආවොත්, රට්ටු "ඇයි ගැලෙව්වෙ, ඉත්තෑ අමාරුවද?" කියල අහන එක නෙව? දැන් බලාන්ට, මං කොච්චර අබංක බකමූණෙක්ද කියලා? මේ ලිපියෙම කොච්චර පෞද්ගලික විස්තර ලිව්වද? ඇයි එතකොට, ලෝකයා මට ගල් ආඳා කියන්නෙ? බසු වරෙත්තුව කියලත් කිව්වා කියහංකො. 

ආ , වැලම සුපියල් තුනයි, චීන බඩු ආවා. මේං කැඩිච්ච හාදයා, දැන් ගිණිකසයා වගේ වැඩ😊

If it ain't broke, break it. So, you can make it!

පිංතූර අනුග්‍රහය: අන්තර්ජාලයෙන් සහ මූණුපොත